V2025

පුවත්

කෙහෙලියට එරෙහි විශේෂාංග යෝජනාව පරාදයි !

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය.

එහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණ ඡන්ද සංඛ්‍යාව 73ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර අලිසබ්‍රි රහීම්, ඒ.එච් එම් ෆවුසි යන මන්ත්‍රීවරුද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුළත් වූහ.

ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8) පැවැත්විණ.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විසිනි.

චැනල් 4 වීඩියෝවට ගෝඨාභයගේ ප්‍රතිචාරය මෙන්න !

චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

අරගලය හමුවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකී ඉල්ලා අස්වීමෙන් පසුව නිකුත්කළ පළමු නිවේදනය ලෙස මෙය සැලකේ.

චැනල් 4 නාලිකාව විකාශය කළ අදාළ වීඩියෝව තුළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු කාරණා කිහිපයක් සමග ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති සම්බන්ධ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ගෝඨාභය නිකුත්කළ නිවේදනය මෙන්න :

පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.

සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කලේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ.

මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මම ද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.

මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්‍ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි.

මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති. පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එෆ්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග්  තානාපති සමරසිංහට පිළිතුරු ලිපියකින් මෙසේ දන්වා තිබුණි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි... ප්‍රහාරයෙන් ඉක්බිතිව, සහ අද දක්වාම, එක්සත් ජනපද රජය වගකිවයුත්තන් විමර්ශනය කිරීමට සහ ඔවුන්ට නඩු පැවරීම සඳහා සහාය ලබා දී ඇත. 2021 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිණිල්ලක් ද ගොනු කළේය. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඔබේ රජයට දිගටම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටියත්, ප්‍රහාරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත... මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා යෙදවූ බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ සහයෝගීතාවයට සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්‍ෂා කිරීම යනාදිය ඇතුළත් විය...”

ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල් මාසයේ දී) කොළඹ රැඳී සිටී ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ඩ්බර්ග්  තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි. මීට පෙර 2021 ජනවාරි 08 වන දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, එහි මෙසේ සඳහන් විය.

“...අයිඑස්අයිඑස් නැමති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත... ඔවුන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ ලෙස හැඳින්වූ අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසක සාමාජිකයන් විය. එම කණ්ඩායම 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අතර, එම ප්‍රහාරය නිසා එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු විය... ප්‍රහාරයෙන් දින දෙකකට පසු, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එම ඝාතන ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්’ වෙත ආරෝපණය කරමිනි... 2020 දෙසැම්බර් 11 වැනි දා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ දී පවරනු ලැබූ අපරාධ නඩුව, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයින් නිතර ගැවසෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ එෆ්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තුල කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.”

චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය.

යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කලෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.

 ගෝඨාභය රාජපක්ෂ
හත්වන විධායක ජනාධිපති

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් !

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යාන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සූදානම් යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ විජයදාස රාපක්ෂ පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන කාලසීමාවේදී ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට විරුද්ධව විවිධ වාර්තා සහ වීඩියෝ ඉදිරිපත් කරන බව ද කී අමාත්‍යවරයා චැනල් 4 නාලිකාව ඩයස් පෝරාව හිතවත් නාලිකාවක් බැවිනි ඔවුන් විකාශනය කරන පරිදි යම් සිදුවීමක් වී ඇත්නම් ඒ පිළිඳ පූර්ණ පරීක්ෂණයක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

සහල් මිල වැඩි නම් දැනුම් දෙන්න !

සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කළ 2278/02 දරණ ගැසට් පත්‍රය නොසලකා හරිමින් වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

එසේම පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 යේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් ද අධිකරණයට නියම කළ හැකි බව ද එම අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 260 කට, සම්බා කිලෝවක් රුපියල් 230 කට, නාඩු කිලෝවක් රුපියල් 220 කට සහ රතු කැකුලු කිලෝවක් රුපියල් 210 කට යන උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළ යුතු බවත් සහල් අලෙවි කිරිමේදී ඉහත මිල ගණන් නොඉක්මවා සහල් අලෙවි කරන ලෙස වෙළඳුන්ට දැනුම් දෙන බවත් එම අධිකාරිය සඳහන් කර සිටියි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අධිකාරිය පවසයි.

විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ වෙනසක්

ඉදිරි වසර තුළ මෙරට සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර බිහි කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඒ අනුව ලබන වසරේ සිට ගුරු අභ්‍යාසලාභීන් විද්‍යාපීඨවලට නොව මෙම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට ම බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දමා අවසන් ව ඇති අතර ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් කී ය.

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ය. එහි දී විද්‍යාපීඨ 19 සඳහා ම ‘ස්මාට් බෝඩ්’ දෙක බැගින් ඉදිරි මාස දෙක තුන ඇතුළත ලබා දෙන බවත් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා සෑම අංශයක ම සමබර වර්ධනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

බංකොලොත් ආර්ථිකයක් පවතින මොහොතක වුව පාසල් පෙළපොත්, නිල ඇඳුම් සියල්ල ලබා දුන් බවත් අතපසු ව පැවති විභාග තියා අවසන් කර ඉතිරි ඒවා සැලසුම්ගත ව පවත්වාගෙන යන අතර උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ද සිදු කළ බවත් පැවසූ අමාත්‍යවරයා පාසල් දිවා ආහාර ලබා දෙන දරුවන් සංඛ්‍යාව ඉදිරියේ දී තව දුරටත් වැඩි කරන බව ද පැවසී ය.

මෙහි දී විභාග කල් යෑම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි උසස් පෙළ විභාගය පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවත් එම දින කල් යැවීමට කිසි දු අපේක්ෂාවක් නොමැති බවත් ය.

එසේ කල් තැබීමක් සිදු කළ හොත් සාමාන්‍ය පෙළ අතුළු අනිකුත් විභාග ද දීර්ඝ වශයෙන් කල් ගොස් විභාග කාලසටහන හා පාසල් කාලසටහන ද නැවතත් වියවුල් සහගත තත්වයකට පත් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

විභාග හා අධ්‍යයන කාලසටහන් යථා තත්වයට පත් කෙරෙමින් සිටින මෙවන් අවස්ථාවක අවශ්‍ය කැපවීම් සිදු කරමින් ඊට සහාය දැක්වීම සියලු දෙනාගේ ම වගකීම බවත් එසේ නොවුණහොත් අවසන සියලු පාඩු දරාගැනීමට සිදු වන්නේ දරුවන්ට බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා නව කුලපතිවරයෙකු පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.

ඒ අනුව, මහාචාර්ය ජයන්ත බලවර්ධන ඔක්තෝබර් 9 වන දා සිට ක්‍රියාත්මක පරිදි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය   නිවේදනය කරයි.

ඔහු පිළිකා රෝග සම්බන්ධ මහාචාර්යවරයෙකු වන අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වෙයි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ දිස්ත්‍රික් 10කට තද වැසි ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැක.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නවීන වාණිජ කර්මාන්තකරණයක් ඔස්සේ සීඝ්‍රයෙන් රට දියුණු කිරීමේ වැඩපිළිවෙළක්

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, ඉරණවිල, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

මෙරටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්ව ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද පස්වරුවේ මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.

විද්‍යාලයට වසර සියයක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල් තැබීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු කෙරිණි.

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රථමවරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා විද්‍යාලයේ සියවස් සමරු ස්මාරකය ද විවෘත කළේය. විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු කෙරිණි.

සරසවි ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

2022 - 2023 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවයි.

අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බව මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් පවසයි.

දයාසිරිගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි 15 වන වගන්තියේ පක්ෂ සභාපතිවරයා වශයෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 15 වන වගන්තියෙ i (ඇ) යටතේ ඔබගේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (05) දින සිට තහනම් කරනු ලබන බවත්, ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා වශයෙන් තවදුරටත් වැඩ කිරීමට ද ඔබට හැකියාවක් නොමැතිබවත් දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත ඊයේ ලිඛිත දැනුම්දීමක් කර ඇත.

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්තාවේ 15 වන වගන්තියේ i (ඇ) යටතේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඉදිරි දින 14 ඇතුළත විනය කඩ කිරීම සම්බන්ධ චෝදනා පත්‍රය එවීමට කටයුතු කරනු ලබන බවත් එම ලිපියේ සඳහන් වේ.

තවද ශ්‍රීලනි පක්ෂ ව්‍යවස්ථාවේ 16 වන වගන්තියේ දේශපාලන මණ්ඩලයේ ix වන ඡේදය යටතේ සභාපති සහ දේශපාලන මණ්ඩලයට පැවරී ඇති බලතල ද මේ අනුව ක්‍රියාත්මක වන බව දැනුම්දී ඇත.

WhatsApp Image 2023 09 06 at 12.15.47 AM

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

තරග පාවා දීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර ඇත්තේ, සැප්. 15 වන දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත ලෙස ය.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකුට අවස්ථාවද ලබාදීමටද කටයුතු කර තිබූ බවයි වාර්තා වෙයි.

ඒ අනුව සචිත්‍රට එරෙහිව සිදු කළ විනය විමර්ශන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ඔහු තරග පාවාදීමකට හවුල්කරුවෙකු වී ඇති බවට වාර්තා වී ඇති බවය.

2019 අංක 24 ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනතට අදාළව ඔහුට එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බවත් තොරතුරු අනාවරණය විය.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරග පාවාදීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

2023 අගෝස්තු මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට මාස තුනක විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයා එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ, ඒවා තමා සහ තමාගේ පවුලේ අය අපකීර්තියට පත් කිරීම අරමුණු කරගත් පදනම් විරහිත චෝදනා බව පවසමිනි.

නව අධ්‍යාපන ක්‍රම සකස් කිරීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අදහස් ගන්නවා - ජනපති

21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එසේම ඉදිරි සති දෙක තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ‍නව කොමිසමට ද ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සමඟ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 140 දෙනෙක් පමණ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවට එක්ව සිටි අතර අනතුරුව පිරිස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් වූහ.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය මෙන්ම මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය ඇතුළුව කාර්ය භාරය පිළිබඳ මෙහිදී සිසුන් වෙත පැහැදිලි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ද සිදු කළේය.

ඉදිරියේ දී අවම වශයෙන් නව විශ්වවිද්‍යාල 10ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන බවත්, ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදී රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිසුන්ට තම අනාගතය සැලසුම් කර ගැනීම සඳහා අවශ්‍ය විෂය ක්ෂේත්‍ර තෝරා ගැනීමේ අවස්ථාව එම විශ්වවිද්‍යාල හරහා ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා නව තාක්ෂණික විද්‍යාපීඨ ආරම්භ කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.

විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සිසුන්ගෙන් විමසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කථානායක, අගමැති, විපක්ෂනායක ඇතුළු නිල තල පත් කර ගැනීමෙන් පසු මෙරට පළමු පාර්ලිමේන්තුව රැස් වූ වත්මන් ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී රැස්වීමක් පැවැත්වීමට ද ඔවුන්ට ආරාධනා කළේය.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ මීට පෙර කණ්ඩායමේ සිසුන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටී අතර තමන්ට හිමි නොවූ මෙම අවස්ථාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දීම පිළිබඳව ස්තූතිය පළ කර සිටියේය.

 

කිසිම මැතිවරණයක් කල් දාන්නේ නැහැ – කැබිනට් ප්‍රකාශක

කිසිදු මැතිවරණයක් රජය විසින් කල් නොදමන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරණය හෝ කිසිදු මැතිවරණයක් කල් නොදමන බවත් සෑම මැතිවරණයක්ම නියමිත දිනට නීත්‍යානුකූල ආකාරයට පැවැත්වීම සිදුකරන බවද ඒ පිළිබඳ සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අන්තර්ජාලය මගින් අසරණ වන අවිහිංසක මිනිසුන්ට නීතියෙන් සාධාරණයක්

මින් පසු අන්තර්ජාලය හරහා අන්ත අසරණ නිරායුධ අවිහිංසක මිනිසුන්ට සමාජයේ පොදුවේ සිදුවන විවිධ අතවරයන්ට අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට නීතිය මගින් සාධාරණ පිළිසරණක් ලබාගත හැකි ආකාරයේ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සිදුකරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම පනත් කෙටුම්පත අනූව අසත්‍ය නොවන ද්වේෂ සහගත නොවන ප්‍රකාශන සඳහා කිසිදු බලපෑමක් මෙමගින් සිදුනොවන බවද ද්වේෂසහගත, අසත්‍ය චේතනාන්විතම වෙනත් ආගමික, වාර්ගික හැඟීම් පාරවන සහ චේතනාන්විතවම සමාජය ප්‍රකෝප කරවන දේ සඳහා පමණක් මෙහි වැරදි වශයෙන් දක්වා ඇතැයිද පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම, අසත්‍ය ප්‍රකාශයන් මගින් කැරළි ගැසීමක් සිදුකිරීම සඳහා නිකරුනේ ප්‍රකෝප කිරීම, අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම් රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයන් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේෂ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයන් සන්නිවේදනය කිරීම, අන්තර්ජාලයන් හරහා වංචා සිදුකිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කිරීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයන් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධ වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳප්‍රකාශන සන්නිවේදනය කිරීම, ළමා අපයෝජනය ආදිය මෙහිදී වැරදි වශයෙන් සැලකෙන බව අවධාරණය කළේය.

මෙම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය ලද පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

තර්ජනාත්මක FB පෝස්ටුවක් දැමූ තරුණයා රිමාන්ඩ්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

ඔහු එප්පාවල, මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා චූන් පාන් වෙළෙඳාමේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ මෙම තරුණයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (03) දින පෙරවරුවේ දීය. අනතුරුව ඔහුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන එනු ලැබිය.

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත අතර, එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය.

එම උත්සවය වෙනුවෙන් එළැඹෙන 07 වැනි දින ජනාධිපති සහභාගී වීමට සිටින පසුබිමක අදාළ තරුණයා විසින් ඊයේ (03) දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ “මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් සැප්තැම්බර් 07 වැනිදාට ගන්න එප්පාවලට රට කාපු ලොකුම කාලකන්නි හොරා එනවා ඌට වෙඩි තියන්න” යනුවෙන් සටහනක් තබා තිබිණ.

eppawala

එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොතිබු බව සඳහන් කර ඇත.

මේ වන විට එම තරුණයා විසින් අදාළ සටහන සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කර ගෙන ඇත.

අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් පොලිසිය පවසයි.

අදාළ තරුණයා ස්නයීෆර් ගැන දන්නේ කෙසේදැයි පොලිස් විමර්ශකයින් විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.

තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බවද ඔහු පවසා ඇත.

අදාළ තරුණයා පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බවද පරීක්ෂණ නිළධාරීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(සටහන- තිසර සමල් - අනුරාධපුර)

රැකියා සඳහා විදෙස් ගත වීම ලක්ෂ 02ක ඉක්මවයි

2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

 ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ සෞදි අරාබියට වන අතර, එම ප්‍රමාණය 44,827 කි.

ඊයේ පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණේ, පසුගිය වසරේදී ය.

එම සංඛ්‍යාව තුන් ලක්ෂ එකොලොස් දහසකි.

මේ වසරේදීත් ලක්ෂ තුනකට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.

2023 උසස් පෙළ විභාගය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2023 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපනය අමාත්‍යංශය විසින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම කරුණු පැහැදිළි කිරීම සිදුකර ඇත.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ 2023. අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර තිබුණ ද 2022 අ.පො.ස. (උසස් පෙළ) සමීක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා අදාළ විභාගය පැවැත්වීමට නියමිත බවට පූර්ව දැනුම්දීමක් 2023.07.17 දින සිදුකළ බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2023 අ.පො.ස. (උසස් පෙළ) ප්‍රථම වතාවට පෙනී සිටින සිසුන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටියේ 2021 මාර්තු වන බවත් එහි ප්‍රතිඵල 2021 සැප්තුම්බර් මස නිකුත් වූ බවත්ය.

ඔවුන් අ.පො.ස. (උසස් පෙළ) පන්තිවලට 2021 දෙසැම්බර් 20 දින වනවිට ඇතුළත් ව ඇති අතර ඒ අනුව 2023 නොවැම්බර් 24 වන විට පාසල් දින 343ක් පවත්වා විෂය ආවරණය කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දරුවන්ගේ වයස සලකා කඩිනමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබා ගැනීම දෙමාපිය අපේක්ෂාව වන බැවින් සිසුනටද හැකි ඉක්මනින් විභාගවලට පෙනී සිට ප්‍රතිඵල ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බවය.

මේ වන විට 2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයදුම්පත් කැඳවා ඇති අතර දැනට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 323,913 කි.

පෙර වර්ෂයේ දී එනම් 2022 වර්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709කි.

ප්‍රතිඵල නිකුත් කළ පසු ද දෙවන හෝ තෙවන වතාවට පෙනී සිටින සිසුන් ට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙයි.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මගීන් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ඒ සඳහා ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමිවන නමුත් මෙම සිසුනට නොවැම්බර් 24 දක්වා දින 343 ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වී ඇති බවය.

අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම 80% සිට 40% දක්වා අඩු කර ඇති අතර පාසල්වලින් ලබා ගත් තොරතුරු අනුව විෂය නිර්දේශය ආවරණය වී ඇති බැවින් 2023 අ.පො.ස.(උසස් පෙළ) පන්තිවලට සිසුන්ගේ පැමිණීම දැනට අවම මට්ටමක පවතින බව ද වාර්තා වේ.

2022 වර්ෂයේ අග භාගයේ පැවති විදුලි අර්බුදය කෙටි කාලයක් තුළ අවසන් විය.

රටේ මතු වූ තත්ත්වය හා විවිධ ගැටළුකාරී තත්ත්ව මත වසා දමන ලද පාසල් ආරම්භ කිරීමෙන් පසුව සිසුන්ගේ සාමාන්‍ය නිවාඩු කාලයද අවම වන සේ උපරිම දින ගණනක් අධ්‍යාපන කටයුතුවල නියැලීමට ඉඩ ලැබෙන පරිදි පාසල් පැවැත්විය හැකි දින ගණන තීරණය කර ඒ අනුව කටයුතු කර ඇති බැවින් සිසුනට ගැටළුකාරී තත්ත්වයක් ඉස්මතු නොවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට යෝජිත විභාග කාල සටහන හා වාර සටහන නැවත සංශෝධනයක් සිදු වුවහොත් අති බහුතරයක් වූ සිසුන් ප්‍රමාණයකට අසාධාරණයක් සිදු වන අතර එමගීන් සමස්ත සිසුන්ගේ මානව හිමිකම් කඩවන බවට දෙමාපියන්ගේ සහ සිසුන්ගේ අදහස වී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පවසයි.

අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 04ක පමණ කාලයක් ගතවන අතර මෙවර විභාගය පෙබරවාරි 17 දින අවසන් වුව ද අදාළ පාර්ශ්ව සහභාගි නොවීම හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මැයි 20 දින ය.

එදින සිට ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

adaderana.lk

ලිට්‍රෝ ගෑස් නව මිල ගණන් මෙන්න

අද ( සැප්. 4) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත් පිරිස් පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, ගෑස් මිල මාසිකව සංශෝධනය කරන අතර ලෝක වෙළෙඳපොළේ මිල සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේදී එහි සැලකිය යුතු වැඩිවීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,127ක් දක්වා ඉහළ යනු ඇත.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587ක් දක්වා ඉහළ යනු ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම අවසන් වරට කළ මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දැමූ අතර එය වෙළෙඳපොළේ රු. 2,982ක මිලකට අලෙවි විය.

Page 154 of 459