Image

සජිත්ගේ දේශපාලන සතිය : කල්තියා කී IMF අනතුරු ඇඟවීම

සජිත්ගේ දේශපාලන සතිය : කල්තියා කී IMF අනතුරු ඇඟවීම

2027 අයවැයත් සමඟ දේශපාලන කරළිය පමණක් නොව දැන් දැන් සමාජ ආර්ථික ව්‍යුහයද ගිනියම් වී තිබේ. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය කාරක සභා අවස්ථාවට පිවිසෙද්දී, විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළත්, වැඩකරන ජනතාවගේ හඬ වීදි පුරාත් පැතිරෙන්නට පටන්ගෙන තිබේ. ‘පරිවර්තනීය වෙනසක්’ බව කියමින් ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති හමුවේ එය ඇස්බැන්ඳුමක් බව මේ වනවිට සමාජය අවබෝධ කරගනිමින් තිබේ.

ජීවන වියදම දිනෙන් දින අහස උසට යද්දී, වෙළඳපොල කළමණාකරනය දැන් ආණ්ඩුවේ පාලනයෙන් ගිහිලී ඇති බව හොඳින් ප්‍රත්‍යක්ෂ වෙමින් තිබේ. ඉදිරිය අතිශ්‍යය භයානක විය හැකි බවටද ඉඟි පළවෙමින් ඇත. දිනෙන් දින උද්ධමනය ඉහළ යාමත්, ජනතාව මත විවිධ බදු පැටවීමත් හැර රටතුළ සිදුවන සුබවාදී ක්‍රියාවලියක් නම් පෙනෙන්නට නැත. මහබැංකු දත්ත අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මහ බැංකු අධිපතිවරයාම පවසන්නේ, එය මේ වසර අවසන් වෙද්දී 9% දක්වා ඉහළ යාහැකි බවය.

එවැනි පසුබිමක, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩි කරන්නැයි ඉල්ලා මහමගට අවතීරණ වෙමින් සිටී.

මෙම ආර්ථික කඩා වැටීම කල්තියා දුටු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අයවැය ඉදිරිපත් කිරීමටත් පෙර සිට අවස්ථා ගණනාවකදී පැවසූවේ කුමක්ද?

 

අනේ ප්ලීස් එපා ද? - අනේ ප්ලීස් ඕන ද?

2022 වසරේ රට ආර්ථිකමය වශයෙන් බංකොලොත්වීමට පෙර එවක විපක්ෂ නායකවරයාව සිටි සජිත් ප්‍රේමදාස ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ 145 ට අවධාරණය කළේ, ජනතාවට ආර්ථික පීඩනය දැනෙන්නෙ පෙර IMF සමඟ වැඩසටහනකට ප්‍රවේශ වෙන ලෙසටය. එහෙත් එදා සිටි මුදල් ඇමති බැසිල් රාජපක්ෂත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාලුත් සජිත්ට කිව්වේ, අනේ ප්ලීස් ඔයාගේ උපදෙස් එපා අපිට දේශිය වැඩපිළිවෙලක් තියෙනවා මේ අර්බුදය කළමණාකරනය කරන්නට කියාය.

ඒත් 2022.04.12 වනදින සිදුවූයේ අප ණය ගෙවීමට නොහැකි රටක් බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් ප්‍රකාශයට පත් කිරීමය. ඉන් පසු සිදුවූ සිද්ධි දාමය ගැන අමුතුවෙන් ඔබට මකත් කළ යුතු නැත.

දිට්වා ව්‍යසනයෙන් පසුවද 2025 වසරේ දෙසැම්බර් 04 වනදාය විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව හමුවේ අනාගත අවධානම සිහිපත් කරමින් ජනාධිපති අනුර කුමාර ඇතුළු 159 ට යෝජනා කළේ, දිට්වා ආපදාවත් සමග රටේ අතිවූ වාතාවරණය මත යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජාවකට ප්‍රවේශ වී, කොන්දේසි ලිහිල් කර ගැනීමට අවධානය යොමු කරන ලෙසටය. ඒත් අනුරද “ අනේ ප්ලීස් එපා” කියා සජිත්ට කියුවේය. එම ප්‍රකාශය රටේම ආන්දෝලනයක් ඇති කළ අතර, ඇතැම් මාධ්‍ය අනුරගේ එම කථාව පෙන්වමින් සජිත්ට කොචොක් කළේය.

මේ අතරතුර දේශපාලන ආර්ථික විද්‍යා ආයතනය (Institute of Political Economy - IPE ) නමින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය නියෝජනය කරන ලොව පුරා සිටින ප්‍රමුඛථම ආර්ථික විශ්ලේෂකයින් සහ විද්වතුන් 120 දෙනෙක්, 2025 දෙසැම්බර් 21 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේත්, 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු රට යළි ගොඩනැගීමට සහ ජනතා සුබසාධනය සඳහා මූල්‍ය ඉඩකඩ සලසා ගැනීමට අරමුණු කර ගනිමින්, අලුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට IMF සමඟ එකඟතාවක් ඇති කරගත යුතු බවය.

2027 මාර්තුව වනවිට මේ රටේ ජනතාවට විඳින්නට සිදුවන පීඩාව කල්තියා හඳුනාගත් සජිත්, යළිත් වටයකින් 2026 මැයි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට යෝජනා කළේ, IMF සමඟ අනුප්‍රාප්තික වැඩසටහනකට ප්‍රවේශවීම වැදගත් බවය. කල්වේලා ඇතිව IMF සමඟ සාකච්ජාවට ප්‍රවේශ වන්නේ නම්, ඒ ඔස්සේ ලිහිල් කොන්දේසි මත රටේ ජනතාවගේ ආර්ථික පීඩනය අවම කරගැනීමේ වැඩසටහනකට එකඟතා ඇතිකර ගැනීමට හැකිවනු ඇති බව සජිත් පෙන්වා දුන්නේය.

 

ගෝඨාභය සහ අනුර එකම කාසියක දෙපැත්තද?

WhatsApp Image 2026 11 29 at 8.13.33 PM

එදා 2022 වසර ආරම්භයේදීම විපක්ෂ නායකවරයා ලෙස සජිත්, ගෝඨාභය ජනාධිපතිවරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය සමඟ ගිවිසුම්ගත වී රට ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන්නට නොදී ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

අදත් විපක්ෂ නායකවරයා ලෙස සජිත්, අනුර ජනාධිපතිවරයාගෙන් 2026 වසර ආරම්භයේදීම ඉල්ලා සිටියේ කඩිනමින් IMF සමඟ අනුප්‍රාප්තික ගිවිසුමකට ප්‍රවේශවන ලෙසටය. එසේ වූවානම් ලිහිල් කොන්දේසි මත ජනතාවට පීඩාවක් නොදැනෙන අයුරින් මූල්‍ය කළමණාකරණය කරගැනීමට හැකියාව උදාවනු ඇත.

එහෙත් එදා යළිත් IMF සමඟ ගිවිසුම් නැතැයි වහසිබස් දොඩමින් සිටි ආණ්ඩුව, සජිත් යෝජනා කළ දේ නිවැරදි බව දැන් අවබෝධකරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

ඒත් ගෝඨාභය ලෙසම අනුරද එය සිදුකරන්නේ, කල්මරමින් සිට කරකියා ගත නොහැකිව දණින් වැටීමෙන් පසුවය. එවිට අර සජිත් මෙන්ම ජාත්‍යන්තර දේශපාලන ආර්ථික විද්‍යා ආයතනය (IPE) ප්‍රකාශ කළ අයුරින්ම රටේ ජනතාවට හොඳම ප්‍රතිඵලය ලැබේවිද? එය ඉදිරියේදී අපට අත්දකින්නට හැකිවනු ඇත.

 

සමගියේ තර්ක හමුවේ විවාදය මගහැර පලායන ඇමතිවරු...

WhatsApp Image 2026 11 29 at 8.14.02 PM

මාළිමා ආණ්ඩුව හීනෙන්වත් නොසිතූ ලෙස සමගියේ පාර්ලිමේන්තු කණ්ඩායම අයවැයට ඇටෑක් කළේ තුන්කල් බලා සිදුකළ සමීක්‍ෂණ හා ඒ තුළින් එළැඹි නිරීක්‍ෂණ මත පදනම්වය. ජ්‍යෙෂ්ඨයින් මෙන්ම සමගියේ නවක මන්ත්‍රීවරුද පදනමක් ඇතිව තර්කානුකූලව අයවැය විවේචනය කරන්නට වූයේ ආණ්ඩුවට තරු පෙන්වමිනි. සමගියේ නවක මන්ත්‍රීවරු දක්වන අදහස්වලට උත්තර නැති මාළිමා ආණ්ඩුවේ මැති ඇමතිවරු මුහුණ පසෙකට හරවා සභාගැබෙන් පිටව යන අයුරුද පාර්ලිමේන්තු ගැලරියේ සිටි කාටත් ගෙවුණු දින කිහිපයේදීම දැකගන්නට ලැබුණි.

පසුගිය 26 වැනිදා අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කළේ සමගියේ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. ඔහු අධිකරණ හා බන්ධනාගාර ක්‍ෂේත්‍රයේ මතුව ඇති ගැටලු ගණනාවක් ගැන ආණ්ඩුවට ඇඩෙන්නම මතක් කර දුන්නේය.

“22 දැන් සම්මත වෙලා ඉවරයි. ඒ වුණත් නඩු කටයුතු කඩිනම් වෙනවාද ? ඒ වගේම එමඟින් දැනෙන වෙනසක් සිදුවෙනවාද කියන එක ගැන අපි බලන් ඉන්නවා. 2025 අයවැයේදීත් බන්ධනාගාර හදන්නයි අමාත්‍යංශය හදන්නයි, උසාවි හදන්නයි කියලා මුදල් වෙන් කළා. ඒත් ඒවා වියදම් කරල වැඩක් කරල නෑ. ප්‍රසම්පාදනය ප්‍රමාදයි. අමාත්‍යංශ ලේකම්වරු බයවෙලා ඉන්නේ. තමන්ට අගතියක් වෙයි කියල බයේ එයාල මේවාට අත්සන් කරන්නේ නෑ. අපි මේ බව කිව්වාම අපිට සමාජ මාධ්‍යයේ මඩ ගැහුවා. හැබැයි දැන් ජනාධිපතිවරයාගේ උපදේශක හුලංගමුවත් අපි කියපු එකම කියනවා.” යනුවෙන් චිත්‍රාල් කීවේය.

මේ අතර මූලික අයිතිවාසිකම් නඩු පැවැරීමේ මන්දගාමී තත්ත්වයක් ගැනද අදහස් දැක්වූ චිත්‍රාල් කීවේ, එලෙස ගොනුකරන නඩු ඉවත් කිරීමේ ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක වෙමින් ඇති බවය.

“දැන් තියෙන තත්ත්වය ඇතුලේ මූලික අයිතිවාසිකම් නඩු පැවැරීම වැඩක් නැති දෙයක් කියලා ජනතාවගේ ඔලුවේ පැල පදියම් වෙලා තියෙන්නේ. 2024 අවුරුද්දේ මූලික අයිතිවාසිකම් නඩු 350ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුනා. ඒත් 2025 ඒ ප්‍රමාණය 227 යි. 2026දී මූලික අයිතිවාසිකම් නඩු පවරා තියෙන්නේ 89ක් විතරයි. මේකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. කාටවත් නෑ කියන්න බෑ අපි බලපෑම් කරන්නේ නෑ, අපි සුපිරිසිදුයි කියලා. මේවා දකිද්දී අපිට කියන්න තියෙන්නේ නීතියේ ආධිපත්‍යයටත් දෙයියන්ගේ පිහිටයි කියලා තමයි” යනුවෙන් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේය.       

 

සමගියේ හඬට වියරු වූ නියෝජ්‍ය ඇමතිගෙන් මාළිමා මන්ත්‍රීවරියකට තර්ජන...

WhatsApp Image 2026 11 29 at 8.15.40 PM

අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබද කාරක සභා අවස්ථාවේ විවාදයට චිත්‍රාල් හොඳ ආරම්භයක් ලබාදීමත් සමඟ ආණ්ඩුව දණිම්ම වැටී සිටින අයුරු පැහැදිලිව නිරීක්‍ෂණය විය. ඔවුන් කිව්වේ “අපි බැලුවා අද අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා ඇයි අධිකරණ විවාදය ආරම්භ කළේ නැත්තේ කියලා.” එහෙම කීවද විපක්ෂයේ තර්ක හමුවේ ඇති වූ කේන්තිය ඇතැමුන් පිටකළේ අසළ සිටින ආණ්ඩු පක්ෂයේම තම සහෝදර මන්ත්‍රිවරියන්ට බැණ වදිමින්ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පක්ෂ විපක්ෂ නියෝජිතයින් තැඹිලි පැහැයෙන් සැරසී පාර්ලිමේන්තු පැමිණි සතියේම මෙවැනි ක්‍රියාකාරීත්වයක් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකුගෙන් ඉස්මතුවීම සමාජය තුළ දැඩි පිළිකුලත් ජනිත කළ සිදුවීමක්ද වී තිබේ.

මේ ගැන පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයේදීද කතාබහට ලක්විය. එහිදී කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු කියා සිටියේ…,

“මේ බජට් එකෙන් පස්සේ ආණ්ඩුව හොඳටම වියරු වැටිලා ඉන්නේ, වටගලගෙනුත් පිට වුනේ ඒ පෙෂර් එක, ඒ වගේම තමයි බිමල් සභානායකතුමා බලන්න රාජ්‍ය නිළධාරීන්ට වහෙන් ඔරෝ කියන දේවල්, PhD තිබුනට, AI ටූල්ස් තිබුනට දැනුම අතින් ඒ අය පහළලු. ‘අමාත්‍යාංශයට මොළයක් ඕනෑකර තිබේ’ කියලා එයා workshop එකකුත් කළා කියන්නේ. මේක තමයි ඇත්ත යථාර්තය මේ ආණ්ඩුව මිනිස්සුන්ට වැඩ කරන්නේ දෙන්නේ නැතුව දැන් කියනවා, නිළධාරීන් වැරදීලු, දැනුම නෑලු. දැනුම තියෙන පොරවල් ඇවිත් කරේ මොනවද? මුකුත් නොකර දැන් නිළධාරීන් පිට ඒක පටවනවා. පැල්බැඳගෙන ඡන්දය දීපු රාජ්‍ය නිළධාරීන්ටත් දැන් මාර වැඩේ වෙලා තියෙන්නේ. පැලවත්තේ කාඩර් එක ඉස්සරහ ඒ මිනිස්සු දැන් අසරණ වෙලා.”

 

අලුත් ව්‍යවස්ථාව කෝ... ආණ්ඩුව එක මිටට ගෙන හාන්සි කරපු අජිත්

WhatsApp Image 2026 11 29 at 8.16.06 PM

අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ කාරක සභා අවස්ථා විවාදයේදී සජබ මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන ආණ්ඩුවේ පොරොන්දුව ගැන යළිත් විමසා සිටියේය. “දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා බලයට එන්නත් පෙර මාළිමාවේ ඔබලා කීවා. මම අදට හරියටම අවුරුද්දකට කලිනුත් මේ ගැන විමසුවා. එතකොට කිව්වේ ඔයාට ඕන වෙලාවට නෙමෙයි ඒක ගේන්නේ අපිට ඕන වෙලාවට කියලා. මම මේ ගැන අගමැතිතුමියගෙනුත් ඇහුවා. ඇය කිව්වේ ආණ්ඩුවේ කාලසටහනක් තියෙනවා. ඒකට අනුව ඒ වැඩේ වෙනවා කියලා. නමුත් ආණ්ඩුව තවමත් නිහඬයි. ජනතා මුදලින් පඩි ගන්න, වරප්‍රසාද ලබන අධිකරණ ඇමතිටයි මේකේ බලය තියෙන්නේ. ඔබතුමා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න ඕන.” අජිත් එහෙම කියද්දීම අධීකරණ ඇමති හර්ෂණ නානායක්කාර හොර රහසේ සභා ගැබෙන් පිටව ගියේ සිය ඡංගම දුරකතනයටද තට්ටු කරමින්ය.

එය දුටු අජිත්ට මල පැන්නේය. ඒ අනුව අජිත් ස්ථාවර නියෝග පෙන්වමින් කියා සිටියේ, කිසියම් ඇමතිවරයෙකුට අයත් අමාත්‍යංශයක් ගැන සාකච්ඡාවක් සිදුවන අවස්ථාවක ඔහු අනිවාර්යෙන්ම සභාවේ රැදී සිටිය යුතු බව ස්ථාවර නියෝගවල දැක්වෙන බවය.

“මේ පුදුම ඇමතිවරුනේ. එතුමා අධිකරණ ඇමති විදියට මේවට උත්තර දෙන්න බැදිල ඉන්නවා. පැනලා යන එක නෙමෙයි වගකීම මේ වගේ ඇමතිවරු රටට බරක්. මේවට උත්තර දෙන්න බැරිනම් වහාම ඉල්ලා අස්වෙන්න ඕන.” යැයි අජිත් තදින්ම කීවේය.

අනතුරුව ටික වේලාවකින් සභාවට පැමිණි අධිකරණ ඇමතිවරයා නිදහසට කරුණක් ලෙස කියා සිටියේ, “මට මේ දුරකතන ඇමතුමක් ආවා...ඒකයි මම පොඩ්ඩක් එළියට ගියේ... කියාය.”

 

නවක මන්ත්‍රිවරුන්ට සජිත්ගෙන් සහතිකයක්…

WhatsApp Image 2026 11 29 at 8.21.09 PM

අයවැය විවාදය පැවති සෑම දිනකම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයද උණුසුම් සංවාද මණ්ඩපයක් බවට පත්ව ඇති ආකාරයද දැකගත හැකි විය.

“අපි හැම විවාදයකටම ශක්තිමත්ව කරුණු සහිතව තර්කානුකූලව සම්බන්ධ වුණා. ඒක අපි සැලසුම් සහගතව ලබාගත්ත ජයග්‍රහණයක්.” ලැබුණු කෙටි විවේකයකදී සජිත් සිය කාර්යාලයට පැමිණ සිටි මන්ත්‍රිවරුන් අමතමින් කීවේය.

ඔව් සර්... “ආණ්ඩුව කියන්නේ බොරු කියල ජනතාවට ඔප්පු කරල පෙන්නන්න අපිට පුළුවන්වීම ලොකු ජයග්‍රහණයක්.” එහෙම කිව්වේ චතුර ගලප්පත්ති මන්ත්‍රීවරයාය.

සර්, අපි අලුත් කියල බලන්නේ නැතිව අපිට වගකීම් දුන්නා. අපිට හොඳ කාලයක් ලබාදීලා ආණ්ඩුවට උත්තර දෙන්න අවස්ථාව දුන්න එකට ස්තුති කරන්න ඕන. ඒ නිසා තමයි අපිට මෙහෙම කරන්න පුලුවන් වුණේ.. චතුර කියපු කථාවට, ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා අඩුම, කුඩුම ටිකකුත් එකතු කළේ එලෙසය.

 

හිට්ලර් දිවිනසා ගත්තා නම්, අනුර කියන්නේ කවුද ?

WhatsApp Image 2026 11 29 at 8.21.44 PM

අයවැයෙන් සාධාරණයක් ඉටුනොවීම හේතුවෙන් සියලු රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධාන කරමින් සිටින පසුබිමක, සමගි වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රියන්ත පත්බේරිය පසුගියදා කියා සිටියේ ආණ්ඩුව දණගස්වන වෘත්තීය අරගලයකට නායකත්වය ලබාදීමට සූදානම් බවය.

ඇති වෙමින් පවතින තත්ත්වය බරපතල බව තේරුම් ගත් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නියෝජිත හමුවක් සංවිධාන කළේය. තත්ත්වය පාලනය කිරීමට කියා කැඳවූ මෙම හමුවේදී ජනාධිපති හත්පොලේ ගාගත් බව කියා සිටියේ, සජබයේ මහරගම සම සංවිධායක හේමප්‍රිය කවිරත්නය... “කෑගහල ගන්නත් බෑ - කෑගහුවට දෙන්නෙත් නෑ “ කියලා ජනාධිපතිවරයා කළ ප්‍රකාශයද ප්‍රතිවාදනය කරමින් හේමප්‍රිය අවධාරණය කළේ,  “මේක ඉතා බරපතල තර්ජනයක්. ඒත් අපිට ඉතිහාසයේ මතකයි මීටත් වඩා කෑගහලා තර්ජන කරපු, මීටත් වඩා පැය ගණන් කතා කරපු හිට්ලර්ටත් අන්තිමට වුනේ සියදිවි හානි කරගන්න.” ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයින්ගේත්, ගුරු විදුහල්පතිවරුන්ගේත් කර මතින් බලයට ආ අනුර කුමාරට දැන් තමන් කියූ පච අමතක වෙමින් වියරුවෙන් මෙන් දොඩවමින් සිටින බවය. අනුර කියන්නේ කවුදැයි වටහා ගැනීම දැන් මේ රටේ ජනතාවට අපහසු නැති බවද හේමප්‍රිය කවිරත්න අවධාරණය කළේය.

 

සජිත් හමුවී දුක කියූ ගොවීන්…

WhatsApp Image 2026 11 29 at 8.27.00 PM

විපක්ෂ නායක සජිත්ගේ සහභාගීත්වයෙන් අම්පාරේ අති සාර්ථක ගොවි ජන හමුවක් පසුගිය සති අන්තයේ පැවැත්වුණි.

සජිත් එහි යනවිටත් තම ගැටළු ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් ගොවීන් විශාල පිරිසක් රැස්වීම් භූමියට ප්‍රවේශවන මාර්ගයේ තෙරපෙමින් රැස්වී සිටියේය.

ඒ මොහොතේ ගොවි ජනතාව අතරට පැමිණි සජිත් ගොවීන්ගේ අදහස්වලට සවන් දෙමින් ඔවුන් මුහුණ දී සිටින අස්වනු මිල, පොහොර ප්‍රමාදය, වියදම් ඉහළ යාම, ණය බර සහ අලි-මිනිස් ගැටුම ආදී ප්‍රධාන ගැටලු පිළිබඳ සෘජුව අදහස් හුවමාරු කරගත්තේය.

ඒ අතර සිටි ගොවීන් ”අනේ සර්, අපිව ගොඩගන්න. අපි රැවටුණා” යනුවෙන් සජිත් වටකර ගනිමින් ප්‍රකාශ කරන්නට විය.

තවත් ගොවියකු කියා සිටියේ, “අපි මාළිමාවට ඡන්දය දුන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ගොවි පුතෙක් රටේ නායකයා වුණාම අපිට සලකයි කියලා අපි හිතුවා. ඒත් අපි තවත් අසරණ වුණ එක විතරයි වුණේ. අපිට දැන් තමයි තේරෙන්නේ ගොවි පුතෙක් වෙච්ච පලියටම රටක් පාලනය කරන්න බෑ කියලා.”

“අපට වී කිලෝවට රුපියල් 150ක් දෙනවා කියලා. නාමල් කරුණාරත්න ඇමතිතුමා මෙහේ ඇවිත් කිව්වා. ඒත් අද අපිට වී කිලෝඑක රුපියල් 80 - 90ටවත් විකුණගන්න බෑ. වී මිල අඩු වුණාට පොහොර, තෙල්, කුලී වියදම් අඩු වෙලා නැහැ. මේ අයවැයෙනුත් අපට කිසිම සහනයක් නෑ.  අපි කණ කර උකස් කරල මේව කරන්නේ. දැන් ඒවායේ පොලියත් වැඩියි. කොහොමද අපි ගොඩයන්නේ සර්, මෙහෙම ගියෙත් අපිට පාරට බහින්න තමයි වෙන්නේ” යනුවෙන් තවත් ගොවි මහතෙකු සජිත්ට තම මැසිවිල්ල ඉදිරිපත් කළේය.

මේ සියල්ලට සාවදානව ඇහුම්කන් දුන් සජිත් කියා සිටියේ, “අද ජීවන වියදම වැඩි වෙලා. මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන විදිහට උද්ධමනය සියයට 9කට වඩා ඉහළ යන්න පුලුවන්. පොලී අනුපාතයත් 9% දක්වා වැඩි කරලා. මේව ගැන කියලා මහබැංකු අධිපතිවරයා පරමාණු බෝම්බයක් අතහැරලා ආණ්ඩුව අයවැයෙන් මවපු සුරංගනා ලෝකය සුණු විසිනු වෙලා. දැන් ඔබතුමන්ලට ඇත්ත තේරෙනවා ඇති. බොරු කියලා බලය ගත්තට, බොරු කියමින් බලය රඳව ගන්න බෑ.”

 

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ගෙන් සජිත්ට තුති..

WhatsApp Image 2026 11 29 at 8.27.35 PM

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා සංවර්ධන අභියෝග හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාව සහ විදේශ සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම අවධානයට ලක්ව ඇති පසුබිමක, සජිත් ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පැවැත්වූ විශේෂ හමුවකට සහභාගී විය. අනාගත සංවර්ධන ප්‍රමුඛතා සහ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අවස්ථා පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටද මෙම හමුව අවස්ථාවක් විය. ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්හි වැදගත්කම ඉස්මතු වූ මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වය ඉතා වැදගත් බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී පැවැසීය.

 

ක්‍රිකට් පිරිසිදු කරන්න විනිවිද පෙනෙන වැඩපිළිවෙලක් ගේන්න…

WhatsApp Image 2026 11 29 at 8.31.25 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ගැටලු, දේශපාලනීකරණය සහ ක්‍රීඩකයන් තෝරාගැනීමේදී පවතින පක්ෂග්‍රාහීත්වය පිළිබඳ සංවාදය යළිත් කරළියට පැමිණ ඇති පසුබිමක පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ සඳහා සජිත් ද විපක්‍ෂනායකවරයා ලෙස සම්බන්ධ වූ අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඊට පැමිණ සිටියහ. එහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැඟීමේදී ක්‍රීඩකයන් තෝරාගැනීම පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සිදුකළ යුතු බවය. “සියල්ලට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් ඕන. ක්‍රීඩකයන්ගේ දක්ෂතා, සහ ක්‍රීඩා කුසලතා මත තේරීම් සිදු කිරීමයි වැදගත්. ඒ වගේම ගමෙන් බිහිවන දක්ෂයන් හඳුනාගන්නටත්, ඔවුන් ජාතික තලයට ගෙන එන්නත් වැඩපිළිවෙලක් සකස් කරන්න.”

දශක කිහිපයක් අතීතයට යමින් කරුණු දැක්වූ සජිත් කීවේ 1970 සහ 1980 දශකවල දී දක්ෂතාවට මුල්තැන දීම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම තුළින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිරියටම පැමිණි බවය. දක්ෂතා තිබුණත් වැඩක් නෑ. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය දුර්වල නම්. සජිත් කළ යෝජනාවලට සහභාගී වී සිටි සියලු දෙනාගේ එකඟතාව හා ප්‍රසාදය පළවිය.

 

සජිත්ගෙන් ‘දරුවන්ට කෝටියක්’

WhatsApp Image 2026 11 29 at 8.32.18 PM

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ට ලබාදෙන රුපියල් කෝටියක විමධ්‍යගත මුදල් යොදාගනිමින් කොළඹ දිස්ත්‍රීක්කයේ පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශය සුහුරු පුවරු (Smart Boards) පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 25 වනදා ආරම්භ කළේය.

ඔහු එය නම් කර තිබෙන්නේ ‘දරුවන්ට කෝටියක්’ ලෙසිනි. හෝමාගම, පිළියන්දල, ජයවර්ධනපුර සහ කොළඹ අධ්‍යාපන කළාපවල පාසැල් 36 සඳහා මෙවර ස්මාට් බෝඩ්ස් පිරිනැමීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විමධ්‍යගත මුදල් ලබාදීමේ අරමුණු රටට අගයක් එකතු කරන ව්‍යාපෘති දියත් කිරීම බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් රටේ බදුගෙවන ජනතාව සතු මෙම රුපියල් කෝටියක මුදල, රටේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා යෙදවීමට තමන් අදහස් කළ බව එහිදී අවධාරණය කළේය.

2027 වසරේදීත් මෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, ලෝකය අධ්‍යාපනය තාක්ෂණ අතින් වේගයෙන් ඉදිරියට යද්දී, ඊට සරිලන ලෙස අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත්, ඊට සමගාමීව භෞතික පහසුකම්ද සංවර්ධනය කළ යුතු බවත් සජිත් කියා සිටියේය.

එහෙත් අධ්‍යාපන පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ගුරුවරයා බව අවධාරණය කළ සජිත් පෙන්වා දුන්නේ, ස්මාට් තිරයකට හෝ කෘතිම බුද්ධියට ගුරුවරයාගේ කාර්යභාරය ඉටු කිරීමට නොහැකි බවයි. “ ගුරුවරයා කියන්නේ උපදේශකයෙක්, මග පෙන්වන්නෙක්, නායකත්වය ගැන අවබෝධයක් ලබාදෙන කෙනෙක්. ඒනිසා මොන තාක්ෂණයක් ආවත්, ගුරුවරයාගේ කාර්යභාරය ඉටුකරන්න ඒකට බෑ. ඒ නිසා නවීන අධ්‍යාපනය දරුවන්ට ලබාදීමේදී ගුරුවරයා සමඟ තාක්ෂණය සම්බන්ධ කළ යුතුමයි.” විපක්ෂ නායක සජිත් අවධාරණය කළේය.

මම | බංගලා හන්දියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න