පුවත්

නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මතයි
නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මෙමගින් නෛතික ප්‍රතිපාදන සැලසේ.
නව දූෂණ විරෝධි පනතින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගල ලැයිස්තුවට, මෙතෙක් ඇතුළත්ව නොසිටි ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉකුත් අප්‍රේල් 27 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ජුනි 21 වනදා සහ ජුලි 07 වනදා එය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.
පනත් කෙටුම්පත තුන් වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද පැවති අතර, එහිදී කෙටුම්පතට නව සංශෝධන රැසක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගනු ලැබීය.
පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නව දූෂණ විරෝධි පනතින් අල්ලස් සහ දූෂණ වැරදි පිළිබඳ චෝදනා අනාවරණය සහ විමර්ශනය කිරීමට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට විධිවිධාන සලසා තිබේ.
මේ යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙනු ඇත.
කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර, එය සිදුකෙරෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, එම තනතුරට මෙතෙක් පැවති බලයට වඩා වැඩි ක්‍රියාකාරී බලයක් නව පනතින් ලබා දී තිබේ.
එමෙන්ම නව පනතින් එක් එක් ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති විමර්ශන නිලධාරින් කොමිසමට සෘජුව බඳවාගැනීමේ අවස්ථාවද හිමි වේ.
එමෙන්ම නව පනත ඔස්සේ කොමිසමට නඩු පැවරීමේ බලය හිමිව ඇති අතර, අවශ්‍ය අවස්ථාවකදී ඊට නීතිපතිවරයාගේ සහාය ද ලබාගත හැකිය.
නව පනතින් අල්ලස් සහ දූෂණය යන වචන සඳහා පුළුල් අර්ථයක් ලබා දී ඇති අතර, ලිංගික අල්ලස් ලබාගැනීමද මෙමගින් සාපරාධි වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.
රාජ්‍ය ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම් මෙන්ම රාජ්‍ය ආයතන හා බැඳුණු පෞද්ගලික ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම්ද නව පනත යටතේ වරදක් ලෙස සලකනු ඇත.
නව දූෂණ විරෝධි පනතින් මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් නොවුණු ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, මහ ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ඔවුන් වාර්ෂිකව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව කොමිසමට හිමිවෙයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම්වල අස්වාභාවික ඉහළ යාමක් දකින්නට ලැබෙන්නේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ බලයද කොමිෂන් සභාවට හිමිය.
නව දූෂණ විරෝධි පනත තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංගම් ආශ්‍රිතව සිදුවන්නා වූ දූෂණ හා වංචාවලට අදාළවද නීති සම්පාදනය කර තිබේ.

යුධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී අඟහරුවාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. ආගමික වතාවත් සමාප්තියේ භික්‍ෂූන් වහන්සේලා වෙත පිරිකර සහ ගිලන්පස පූජාකරනු ලැබීය.
මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2021 වර්ෂයේ සිට මාස 21 කට අධික කාලසීමාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූවේය.
වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදි එතුමන් 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද හොබවනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1968 ඔක්තෝබර් මස 31 දින කොට්ටාව ප්‍රදේශයේදී උපත ලැබූ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පන්නිපිට්ය ධර්මපාල විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හදාරා ඇති අතර පාසල් කාලය තුළ ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුලින් කැපි පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරනු ලැබීය. වර්ෂ 1987 දි කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණු අතර මේ වනවිට වසර 35 ක නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.
එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 4 ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 4 ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 4 ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 16 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 10 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරී අණදෙන, 524 පාබල බලසේනාවේ බලසේනා මේජර්, අනුරාධපුර අතරමැදි කඳවුරේ මාණ්ඩලික නිලධාරි II, 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ඕමන්තේ යුද්ධ හමුදා මාර්ග බාධකයේ අණදෙන නිලධාරි, කොත්මලේ ඒකාබද්ධ භාෂා පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරී I, 64 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 11 පාබල සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, 652, 662 සහ 532 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 23 සහ 58 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
යුද බිමේදී සතුරා හමුවේ දැක්වූ නිර්භීතකම ඇගයීමට ලක්කරමින් එතුමන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.
මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී බලඇණි ආධාරක අවි පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, ඒකක පරිපාලක පාඨමාලාව, නිලධාරි ආධාරක අවි පාඨමාලාව - බංගලාදේශය, තරුණ නිලධාරි පාඨමාලාව - බංගලාදේශය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හොබවා ඇත.
දීපරේඛා රණසිංහ සමඟ විවාහ ගිවිසගෙන සිටින එතුමන් දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතනුවෙකුගේ ආදරණීය පියෙකු ද වේ.

මහරගම අපේක්ෂා රෝහලේ තවත් අවනඩුවක් !
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ පොරොත්තු ලේඛනය දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කමිටුවක් පත් කරනු ලැබූවද මේ වන තෙක් එම ගැටළු නිරාකරණය වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
විකිරණ තාක්ෂණවේදීන් සිය සේවා කටයුතු මන්දගාමීව සිදු කිරීම හේතුවෙන් මේ වන විට විකිරණ ප්‍රතිකාර අපේක්ෂිත පොරොත්තු ලේඛනය 390 ද ඉක්මවා ඇති අතර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ විකිරණ ප්‍රතිකාර ඉතා ඉක්මණින් අත්‍යවශ්‍ය රෝගීන් රැසකගේ ජීවිත මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
මෙම රෝගීන්ගේ ප්‍රතිකාර දිනකට හෝ ප්‍රමාද වීම තුළින් සුව කළ හැකි රෝග තත්ත්වයන් සුව කළ නොහැකි තත්ත්වයකට පත් වන බව ඔවුහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් පිළිකා රෝගීන් අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම අවාසනාවන්ත තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
මීට පෙර පැයකට රෝගීන් 8-10 අතර ප්‍රමාණයකට විකිරණ ප්‍රතිකාර ලබා දුන්නද විකිරණ තාක්ෂණවේදීන් සිය කටයුතු මන්දගාමී කිරීම හේතුවෙන් මේ වන විට එම සංඛ්‍යාව පැයකට රෝගීන් 4-5 කට අඩු වී ඇත.
දීප ව්‍යාප්තව රෝහල් සේවකයින් වැඩ වර්ජන දියත් කළද මහරගම අපේක්ෂා රෝහල ඒවාට සම්බන්ධ නොවන්නේ අසරණ පිළිකා රෝගීන්ට එමඟින් සිදුවන අයහපත් ප්‍රතිඵල හේතුවෙනි.
එහෙත් මෙම විකිරණ තාක්ෂණවේදීන් ගෙන යන මෙම අමානුෂික වැඩ පිළිවෙල කිසි සේත්ම අනුමත කළ නොහැකි බව පවසන පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍යවරු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ගැටළුව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසයි.

ජනාධිපති රනිල්ගේ නිල සංචාරය ගැන ඉන්දීය විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා එළඹෙන සිකුරාදා (21) ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .
මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පදවියට පත්වීමෙන් පසු එරට නිල සංචාරයක යෙදෙන්නේ පළමු අවස්ථාව ද වෙයි.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි , ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, සහ එරට ප්‍රධාන පෙළේ කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.
මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඉවහල් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

තිරිඟු පිටි මිල පහළට : පාන් සහ බේකරි නිෂ්පාදන මිලත් අඩුවෙයිද ?
ප්‍රීමා තිරිඟු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිඟු පිටි කිලෝවක මිල අද සිට (18) රු 10කින් අඩුකර ඇත .
ඒ බව එම සමාගම නිවේදනයක් නිකුත්කරමින් දිවයින පුරා එම සමාගමේ තිරිඟු පිටි බෙදාහරින සියලු අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දීමට පියවර ගෙන ඇත .
ඒ අනුව, පාන් නිෂ්පාදනය සදහා භාවිත කරනු ලබන ප්‍රීමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම අලෙවි නියෝජිතයන්ට රු 210කට නිකුත් කළ අතර, එය වෙළෙඳපොළේ රු 230ක් වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණි.
නව මිල අනුව එම සමාගම ග්‍රීන් තිරිඟු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිඟු පිටි කිලෝවක් රු 210ක සිල්ලර මිලකට අලෙවි කරන බව අලෙවි නියෝජිතයන් කියා සිටියි.
මෙම මිල අඩුකිරීම සමග වෙළඳ පොළ තුළ පාන් සහ බේකරි නිෂ්පාදන මිල අඩුවිය යුතුව ඇති බව පාරිභෝගික අපේක්ෂාව වී ඇත.
ඔවුන් පවසන්නේ නිෂ්පාදන අයිතමයන් ගේ සුළු මිල වැඩිවීමක් හමුවේ ඉහළ දැමෙන ආහාර මිල මෙවැනි මිල අඩු වීමක් හමුවේ පෙරළා පාරිභෝගිකයන් වෙත ලබාදීමට නිෂ්පාදකයන් කටයුතු කළ යුතු බවයි . එසේ නොමැති නම් උද්ධමනය එක ඉලක්කමක් වෙත පැමිණීමේ වාසිය ජනතාව වෙත නොලැබෙන බවත් ඔවුන් පවසයි . එබැවින් රජයද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව පාරිභෝගිකයන් අවධාරණය කර සිටියි.

හරීන් සහ මනූෂ සජබයෙන් ඉවත් කරලා !
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සජබ පක්ෂය නිර්මාණය කරමින් සජිත් ප්‍රේමදාස එහි නායකත්වයට ගෙන ඒමට මූලිකව කටයුතු කළ අයෙකු ලෙස ප්‍රකට අතර පසුව එම නායකත්වය විවේචනය කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය දක්වමින් අමාත්‍ය ධූරයක් ද ලබාගත්තේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට සජිත් සමග සජබ ගොඩනැගීම සඳහා එක්වූ පුරෝගාමීන් කිසිවක් ඒ සමග නොමැති වීම කැපීපෙනෙන ලක්ෂණයක් බවය.

ඇමරිකානු තානාපතිනිය දෙමළ පක්ෂ නායකයන් හමුවෙයි !
උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසයි .
ඇය මේ බව සඳහන් කර සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය .
සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා පිළිතුරු සෙවීම, බලය බෙදීමේ වැදගත්කම සහ ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපතිනිය එහිදී සඳහන් කර ඇත .
ශ්‍රී ලංකාව සත්‍යය, සංහිඳියාව සහ තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

උතුරු නැගෙනහිර ජනතා ගැටළු විසඳීමට හොඳම යෝජනාවලිය දීලා තියෙන්නේ !
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.
තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.
තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තිය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේ දී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමඟ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බවත් පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළත් කර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඊට අදාළ නීති පැනවීමෙන් පසු විධිමත් යාන්ත්‍රණය ආරම්භ වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයින් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි.
උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශිය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයින්ගේ වාර්තා පමණක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි 21,374කින් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරිණි .
අතුරුදන්වූවහන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි අතුරුදන්වූවන් පිළිබඳ සමස්ත තොරතුරු නොවන බව මෙහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරු සඳහන් කළ අතර, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසත් ඒවා සත්‍ය සෙවිමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
දූෂණ විරෝධී නීතිය ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනවලට ලක් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය දැනට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
උතුරු නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලෙස හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයට ආයෝජන අවස්ථා කැඳවිමටත්, හරිත හයිඩ්‍රජන් මගින් කොළඹ වරාය නගරයේ ආකර්ශණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.
උතුරේ සංවර්ධන සැලැස්මේ විශේෂ අරමුණක් වන්නේ හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය හරහා කලාපයේ පුනර්ජනනීය බලශක්ති විභවය ප්‍රයෝජනයට ගැනීමය. මෙමඟින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ කොළඹ වරාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර පුනරීන් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස නම් කර එමඟින් ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම “උතුරට ජලය” ව්‍යාපෘතිය යටතේ පූනරින් වැව සංවර්ධනය කිරීම, යාපනයට නැවුම් ජලය සැපයීමේ ගංගා ව්‍යාපෘතිය, ඉරණමඩු ජලාශයේ ධාරිතාව ඉහළ නැංවීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, කංකසන්තුරේ වරාය සහ වව්නියා හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව යා කරන බෝට්ටු සේවාව, කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් ආයෝජන ප්‍රවර්ධන කලාප පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.
උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යාපනයේ සහ මන්නාරම සංචාරක ආකර්ශණිය ස්ථාන සංවර්ධනය, මන්නාරම කොටුව සහ දූපත් කන්කසන්තුරේ වරාය සහ වඩමාරච්චි ආශ්‍රිතව සංචාරක බෝට්ටු සවාරි ව්‍යාපෘතිය, වන්නි දිස්ත්‍රික්කයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල නගරයක් ලෙස යාපනය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබදව ද ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරු දැනුවත් කෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්, සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂවරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෛකලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලෛයිඅරසන්, කේ. දිලීපන්, ජී. කරුණාකරන් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රිවරු සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-18

අඛණ්ඩ පානීය ජල සැපයීමක් වෙනුවෙන් ජල ගාස්තු සූත්‍රයක් !
මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.
ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම වසර වන විට කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණ වන අතර, එය නිමිති කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙසේද පැවසීය.
පසුගිය සමයේදී මාසිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය වෙනුවෙන් අතිරේකව යෙදවීමට ජලසම්පාදන මණ්ඩලයට සිදුවුණා. මීට අමතරව ආයෝජන පිරිවැය වශයෙන් මාසිකව රුපියල් බිලියන 2.8ක පමණ අලාභයක් මණ්ඩලයට දැරීමට සිදුවුණා. ජල ගාස්තු සංශෝධනය නොකළහොත් ජලසම්පාදන මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 34ක් පමණ විය හැකියි. එබැවින් මෙම අලාභ තත්ත්වය තවදුරටත් සිදුවුවහොත් රටට සුරක්ෂිත ජල සේවාවක් සැපයීම බාධාවක් විය හැකියි.
කෙසේ වෙතත් යම් ජල ගාස්තු සංශෝධනයක් සිදු වන විට සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළුව වතු නිවාස පාරිභෝගිකයන්ට මෙම ජල ගාස්තු වැඩිවීම අදාළ වන්නේ නැහැ. ඒ වගේම දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින ප්‍රජාව මත අසමානුපාතික බර පැටවීමක් සිදු නොවන බවට සහතික වෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිවැය ඉතුරුම් ක්‍රියාමාර්ගවලට සමගාමී අතිරික්ත සේවක කප්පාදුව, ජල සම්පාදනයට නවීන තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ප්‍රශස්ත ආයතනික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් පිරිවැය - ඵලදායීතාවය උපරිම කිරීමට සහ පාරිභෝගික ජනතාවට අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට ඇති නොවන පරිදි කටයුතු කිරීමට ජල සම්පාදන මණ්ඩලය සෑම විටම කටයුතු කරනවා.
ආසියානු සංවර්ධන බැංකුව - ශ්‍රී ලංකා රජය දක්වන එකඟතාවය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූතයක් සහ ප්‍රතිපත්තියක් ළඟදීම හඳුන්වා දෙනවා.
ජල කේෂ්ත්‍රයේ දිගුකාලීන ශක්‍යතාව සහ සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ අනුව 'තිරසර සංවර්ධන ඉලක්කයට අනුකූලව 6' (SDG 6) සපුරාලීම ඉතා වැදගත් වෙනවා.
කඳුකර වතු ජනතාව මෙරටට පැමිණ මේ වසර වන විට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් 13ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

රජයේ බදු ආදායම 92 % කින් ඉහළට....
වසරේ මුල් මාස හය තුළ රජයේ බදු ආදායම 92% කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා තිබේ.
පසුගිය වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 361.8 ක් වූ රජයේ බදු ආදායම, මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 696.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වසරේ මුල් මාස 6 තුළ වැඩිම බදු ආදායම උපයා ඇත්තේ, සමාගම් සහ සමාගම් නොවන ආයතන හරහා ය .
එම මුදල රුපියල් බිලියන 243.8 ක් ලෙස සඳහන් වේ.
එකතු කළ අගය මත, බද්ද ලෙස රුපියල් බිලියන 230.6 ක මුදලක් අය කරගෙන තිබේ.
මේ වසරේ මුල් මාස 6 තුළ ඔට්ටු හා සූදු බදු ලෙස අය කරගෙන ඇති මුදල රුපියල් බිලියන 2.5 ක් වේ.

ත්‍රිවිල් හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් !
ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එහි සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් සඳහන් කළේ, කෙසේවෙතත් සෙසු වාහනවලට හෝ පදිකයින්ට අවහිරයක් වන ආකාරයට සකස් කළ කිසිදු ත්‍රීරෝද රථයකට ධාවනයට ඉඩ ලබානොදෙන අතර දැඩි නියාමනයක් සිදුකරන බවය.
මිලියන 08ක් පමණ වන සමස්ත ලියාපදිංචි වාහනවලින් මිලියන 02ක් පමණ ත්‍රීරෝද රථ වීම විශේෂත්වයකි.
තම තමන්ගේ ආශාවන් මත ත්‍රීරෝද රථය විවිධ වෙනස්කම්වලට ලක්කිරීම් අද සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ.
ඒ අනුව ත්‍රීරෝද රථ සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ පිළිබඳව අදහස් දැක්වු එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන් මෙසේ සඳහන් කළේය.
"ත්‍රීවිල් හිමිකරුවන් මේ මොඩිෆිකේෂන් කරලා තියෙනවා. හැබැයි මෝටර් ප්‍රවාහන පනතට අනුව ත්‍රීවිල් රථයක් එනකොට තිබුණු ආකාරය මොන විදියෙන්වත් වෙනස් කරන්න බැහැ කියලා. වෙනස් කරන්න බැහැ කියලා තියෙද්දි මේවා වෙනස් කරලා තියෙද්දි මේ වාහනයක් පාරේ දි ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම නැත්නම් වෙන පරීක්ෂාවක දී මේවා හම්බවුණොත් ඒ වාහනවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාරේ යන අනෙකුත් වාහනවලට හෝ පදිකයින්ට අනතුරක් නොවෙන විදියට කරන්න පුළුවන් පොඩි පොඩි මොඩිෆිකේෂන් තියෙනවා. යම්කිසි වෙනස්කමක් කරලා තියෙනවා නම්, තමන්ගේ ප්‍රදේශයේ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ඉන්න මෝටර් රථ පරීක්ෂකට මේක පෙන්නලා වාර්තාවක් ගන්න ඕනේ. ඒ වාර්තාව තියෙන විදියට ඒ අයකරන ගණන් ටික අයින් කරලා එයාගේ ලියාපදිංචි සහතිකයේ අපි ගහලා දෙනවා. මේකේ තියෙන මොඩිෆිකේෂන් එක අපි ගහලා තිබුණට ඒක අනතුරුදායක විදියට කරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම පොලීසියට පුළුවන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට 0112 203 3333 හෝ 0112 203 3371 යන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්."
කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එළැඹුණු මෙම තීරණයට එකඟ නොවන බවය. "ත්‍රීවිල් රියදුරන් තමන්ගේ ත්‍රීරෝද රථය අලංකාර කරන ආසාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමන්ගේ ආදායම වැඩිකර ගන්න, ආණ්ඩුවේ උවමනාව ඉටුකරන්න, ත්‍රීවිල් රියදුරාගේ කරේ කෑලි එල්ලලා ඒකෙන් ගාණ හොයා ගන්න උත්සාහ කරනවා..." යයි එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර පැවසිය.
(aruna.lk)

නවීන තාක්ෂණය කෘෂිකර්මයට යොදා ගන්නවා - කෘෂිකර්ම ඇමති
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ යටතේ 2025 වන විට මෙරට පරිභෝජනයෙන් 80%ක කෘෂි නිෂ්පාදන ඵලදාවක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නවීන තාක්ෂණය කෘෂිකර්මයට යොදා ගැනීම තුළින් අපනයනය ඉලක්ක කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ඒ තුළින් ආනයන කෘෂි බෝග සීමා කිරීමටත් හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ‘වසරක ප්‍රගතිය’ මැයෙන් අද(17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර:
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී වසරක කාලයක් තුළ ගොවියාගේ ප්‍රශ්න කඩිනමින් විසඳමින් ඔවුන් නැවත වගා බිමට යොමු කිරීමට කටයුතු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට භාර ගන්නා අවස්ථාව වන විට සහ මා කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාව වන විට රටේ තිබූ තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. ගොවි ජනතාව පොහොර ඉල්ලමින් පාරවල්වල උද්ඝෝෂණ කළා. ජනතාව කෘෂිකර්මාන්තයෙන් බැහැර වුණා. ගොවි ජනතාව දැඩි ආවේගශීලීව කටයුතු කරමින් සිටියා. ගොවි පවුල්වල තරුණයන් ගොවි බිම් අතහැර, වෙනත් ප්‍රදේශවලට ගියා. ඇතැම් තරුණයන් රටත් හැර ගියා. එවන් තත්ත්වයක් තුළ ජනතාව නැවත ගොවි බිමට යොමු කිරීමේ ප්‍රධානතම අභියෝගය අපට තිබුණා. ජනතාව තුළ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ගැන කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ. අඩුම තරමින් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නවත් ගොවීන් ආවේ නැහැ.
නැවත කුඹුරුවලට යන්න නම් පොහොර ලබාදෙන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. එම යල කන්නයේ හෙක්ටයාර් 2,75000 ක් වගා කරන්න සැලසුම් කර තිබුණා. නමුත් හෙක්ටයාර් 2,12000 ක් පමණයි වගා කර තිබුණේ. ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පොහොර මෙට්‍රික් ටොන් 6500 ක් ලබා දෙන්න කටයුතු කළා. නමුත් ඉන්දීය ණය පහසුකම යටතේ පොහොර ලබා දෙන්න බැහැ. ඕමාන්වලින් ගෙනා පොහොර තමයි අපට ලබා දුන්නේ.
ගොවි ජනතාව නැවත කුඹූරවලට ගියේ පොහොර නැවක් වරායට එන බව දැනගත් පසුවයි. මේ නිසා හෙක්ටයාර් 5,12000 ක් වගා කිරීමට හැකියාව ලැබුණා. වසර 10කට පසුව යල කන්නයේ වගා කළ වැඩිම හෙක්ටයාර් ගණන ලෙස එය ඉතිහාසගත වෙනවා.
ඒ වන විටත් ලෝක ආහාර අර්බුදයක් එන බවට අනතුරු අඟවා තිබුණා. කොහොම නමුත් ගොවි ජනතාව නැවත ගොවි බිමට යැවීමට අපට හැකි වුණා. එදා යල කන්නයේ යම් සාර්ථකත්වයක් ලබා ගත්තත්, පොහොර අර්බුදය නිසා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කිරීමට සිදුවුණා. ඒ අනුව ඩොලර් මිලියන 300ක් සහල් ආනයනය කරන්න රජයට සිදු වුණා. සත්ත්ව ආහාර සඳහා තවත් ඩොලර් මිලියන 100ක් පමණ වැය කළා. මාස් කන්නයේ සැලසුම්සහගත ලෙස වගා කිරීමට යූරියා සහ බණ්ඩි පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගත්තා. ගොවීන්ට අවශ්‍ය වගා කටයුතු කිරීමට ඉන්ධන, මූල්‍යමය සහනාධාර ලබා දුන්නා. කුඩා ගොවීන්ට වෙනම යූරියා පොහොර සහනාධාරයක් ලබාදීමට ද පියවර ගත්තා. කාබනික පොහොර මෙන්ම අනිකුත් පොහොර ලබා ගැනීමටත් ගොවීන්ගේ ගිණුම්වලට මුදල් යොමු කළා. ජනාධිපතිතුමා අයවැයෙන් වෙන් කළ මුදල්වලට අතිරේකව තවත් විශාල මුදලක් ලබා දෙන්න කටයුතු කළා.
දැන් යල කන්නය ආරම්භ වෙලා තිබෙනවා. කන්න තුනකට පසුව මඩ පොහොර නොමිලේ ලබා දීමට පියවර ගත්තා. එතැනින් නතර වෙන්නේ නැතිව අලුතින් ආනයනය කරන යූරියා පොහොර රුපියල් 9000කට ලබා දෙනවා. බණ්ඩි පොහොර ලබා ගන්න හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 2000ක වවුචර් පතක් ලබා දෙනවා.
ගොවි ජනතාව බලාපොරොත්තු නොවූ ආකාරයේ සහනාධාරයක් දැන් ලැබී තිබෙනවා. ඔවුන් නොමිලේ පොහොර ඉල්ලුවේ නැහැ. නමුත් ඉන්න තත්ත්වයෙන් තවත් ඉහළට ගැනීමට තවත් උදව් උපකාර කළ යුතුයි කියන මතයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටිනවා.
අපේ රටේ කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ගෙන එන්න පුළුවන්කම තිබෙනවා. ඒක කරන්න අපහසු නැහැ. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙන ඒමට පියවර ගනිමින් තිබෙනවා. මෙහිදි නොයෙක් බාධා එන්න පුළුවන්. නමුත් නවීන තාක්ෂණය ඇසුරෙන් කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට ගත හැකි සෑම පියවරක් ගනු ලබනවා. මේ කටයුතු කරගෙන යෑමේදී දේශපාලන කේෂ්ත්‍රය තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් විවිධ විවේචනය එල්ල කරන පිරිස් සිටිනවා. ආනයනය කළ පොහොර බාල ඒවා කිව්වා. අස්වැන්න ලැබෙන්නේ නැහැ කිව්වා. එවැනි චෝදනා එල්ල වුණා.
ගොවීන් අධෛර්යය කිරීමේ ඒ කටයුතුවල තවමත් අඩුවක් නැහැ. ඔවුන් කියන දේවල් නොතකා ගොවි ජනතාව යළිත් ගොවි බිමට ගිහින් තිබෙනවා. මේ වන විට අප ගොවිජන සේවා පනත සංශෝධනය කරමින් සිටිනවා. එමගින් දැනට ලබා දෙන සහනාධාරවලට අමතරව වෙනත් බෝග වගා කිරීමේදීත් සහන ලබා දීමට පියවර ගන්නවා. කුඹුරු වගා කිරීමේදී ලාභයක් ගන්න බැරි ප්‍රදේශ තිබෙනවා. ඔවුන්ට වෙනත් බෝග වගා කරන්න උදව් කරන්න රජය සූදානම්. ඔවුන්ට වෙනත් බෝග වගාවන්ට යොමුවීම හරහා වැඩි ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ජනාධිපතිතුමා බලයට පත් නොවෙන්න, මේ රටේ ගොවි ජනතාව කුඹුරු බිමෙන් ඉවත් වෙලා පමණක් නොව, විශාල පිරිසක් මේ වන විට දිවිනසාගෙන. ඒ වගේම අප ආහාර හිඟකම නිසා දුර්වල ජාතියක් බවට පත්වෙන්න ඉඩ තිබුණා.
මීට වසරකට පෙර ජනාධිපතිතුමා රට භාරගන්න වෙලාවේ ආහාර උද්ධමනය තිබුණේ 90%කට ආසන්න අගයක. මේ වන විට ආහාර උද්ධමනය 4.1%කට අඩුවෙලා. මෙරට කෘෂිකර්මානතයේ පුනරුදයක් ඇති කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කැපවු ගොවිජනතාවට මේ රටේ සමස්ත පුරවැසියන්ගේ ආචාරය සහ ප්‍රණාමය හිමි විය යුතුයි. ඒ වගේම ගොවි ජනතාව යළි වගා කටයුතුවල නිරත වූ නිසා රටට ඩොලර් මිලියන 400ක් ඉතිරි වෙලා තිබෙනවා.
රටේ තිරසාර ආර්ථික වර්ධනය වේගවත් කිරීමට සමගාමීව කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය සඳහා වූ ලේකම් කාර්යාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදුන්නා. විවිධ උප අංශවලට බලපාන විශේෂිත ගැටලු ඇතුළුව නවීකරණයේ විවිධ මානයන් හා සම්බන්ධ ගැටලු විසඳීම කෘෂිකර්ම අංශ නවීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ ප්‍රධාන වගකීම වෙනවා. කාලානුරූපී ක්‍රියාමාර්ග සහ කාර්යසාධන මිණුම් සලකුණු සමඟ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා එක් එක් උපඅංශ සඳහා මාර්ග සිතියම් සකස් කිරීම එමඟින් අපේක්ෂා කරනවා.
මෙම වගකීම විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම විෂයට අදාළ සියලු අමාත්‍යාංශ, පුද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල සම්බන්ධ කරගනිමින් මෙම කෘෂිකර්ම නව්‍යකරණ මහ ලේකම් කාර්යාලය පිහිටුවා තිබෙනවා. නවීන තාක්ෂණය භාවිතයෙන් කෘෂිකාර්මික, ධිවර හා සත්ත්ව නිෂ්පාදන යන අංශයන්හි නිෂ්පාදන හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීමත්, ගොවියාගේ අදායම වැඩි කිරීමත්, අපනයන ආදායම වැඩිකිරීමත් යන කරුණු පදනම් කරමින් මෙම කෘෂිකර්ම නව්‍යකරණ මහලේකම් කාර්යාලය මේ වසරේ මැයි 31 දින සිට ක්‍රියාත්මකයි.
තිරසර කෘෂිකාර්මික සංවර්ධනය තුලින් වර්ෂ 2048 වන විට “සංවර්ධිත ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම සඳහා, අපනයනය ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදයන් බිහි කිරීම, දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා තරුණ පිරිස, “නව තාක්ෂණය හා බැඳුනු කෘෂි ව්‍යවසායකයින්” බවට පත් කිරීම යන අරමුණු සපුරා ගැනීම හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු ආයතන නියාමනය කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමට ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සකස් කරමින් තිබෙනවා. මෙම ප්‍රතිපත්ති රාමුව 2023 අගෝස්තු මස අවසන් වන විට නිම කිරීමට නියමිතයි.
ඒ වගේම මෙරට සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7 ක් පමණ වනවා. හම්බන්තොට තෝරාගත් ගොවීන් විසින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම තුළින් සහ සහ ගුණාත්මක බීජ ද්‍රව්‍ය භාවිතයෙන් හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් 10.25 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එනිසා වී සඳහා දැනට පවතින සාමාන්‍ය වාර්ෂික අස්වැන්න මෙ.ටො. 3.7 සිට මෙ.ටො. 7.4 දක්වා කන්න 06 කින් දෙගුණ කිරීම මුලික ඉලක්කයයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය බඩඉරිඟු අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7 ක් පමණ වෙනවා. එය 2026 වසර අවසන් වන විට මෙ.ටො. 60 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. එසේම අනෙකුත් බෝග සඳහා ද පළාත් සභාව, රේඛීය අමාත්‍යාංශය සහ මධ්‍යම රජයේ, පෞද්ගලික අංශයේ සහ විශ්වවිද්‍යාලවල, දෙපාර්තමේන්තුවල සහභාගීත්වයෙන් සෑම පළාතකම භෝග සහ පශු සම්පත් යන දෙකටම නියමු ව්‍යාපෘති ලෙස අධිතාක්ෂණික ආදර්ශ වගා බිම් පිහිටුවීමට කටයුතු කරනවා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න, පොහොර සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

ජනපති ඉන්දීය සංචාරයට සූදානම් වන විට චීන ප්‍රබලයකු ලංකාවේ සංචාරයක !
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සමීපයේම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට , ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව සඳහන් වෙයි.
යුවාන් ජියාජුන් ගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී මෙරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇතැයි ද වාර්තා වේ.

අනුර යාපාගේ නායකත්වයෙන් පොහොට්ටු මන්ත්‍රීන් 40ක නව සන්ධානයක් !
නිමල් ලන්සා ප්‍රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරෙනු ඇතැයි දේශය පුවත්පත වාර්තා කරයි.
මන්ත්‍රී එකතුවට සම්බන්ධ ප්‍රකාශකයකු උපුටා දක්වමින් එම පුවත සඳහන් කරන්නේ දැනට තම කණ්ඩායම සමඟ මැතිසබයේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීන් 40 ක් පමණ සිටින බවයි.
එසේම මෙම පිරිස ඉදිරියේදී රැස්වී නිල වශයෙන් සන්ධානගත වීමට අපේක්ෂා කරන අතර ඔවුන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙනු ඇතැයිද එම පුවතේ සඳහන්ය.

ආයෙත් හිරිහැර කළොත් පොළියත් එක්ක වන්දි ගෙවීමට සිදුවෙයි !
මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොළියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .
ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බව සඳහන් කළ අඅමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් සදහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ අද (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.
තමා තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම් යැයි කී අමාත්‍යවරයා පක්ෂය දෙකට දමා රට එකට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩ නගන්න සහය දීමට පොහොට්ටුව ඉදිරිපත් වූ බවද කීය.

තැපෑල නව්‍යකරණයට නව පනතක් !
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අනාවරණය කළේය.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩිජිටල් කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ලාභ ලබන පරිසරයක් තැපෑල තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත්, 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසීය.
දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බව ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙසේ ද පැවසීය.
මේ රටේ තිබෙන පැරැණිතම දෙපාර්තමේන්තුවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ දැනටත් පවතින්නේ රැජිනගේ කාලයේ ගෙනා ආඥා පනතක්. එය තවමත් සංශෝධනය වී තිබෙන්නේ එක් වරක් පමණයි. එය තැලෑප නව්‍යකරණයට විශාල බාධාවක්ව පවතිනවා. එය වෙනස් කිරීම මඟින් අදායම් වැඩි කර ගැනීමට අප බලාපොරොත්තු වනවා.
තැපෑලේ සමස්ත සේවකයන් 27,000ක් පමණ සිටින අතර, තැපෑල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3342, නියෝජ්‍ය තැපැල් කාර්යාල 140කින් සමන්විතයි. මෙපමණ ජාලගත තැපෑලක් අපට තිබුණත් ගිය වසරේ අලාභය රුපියල් මිලියන 7000ක් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අමාත්‍යාංශය මට භාරදුන් පසු මෙම තැපෑල ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ගෙන යන වැඩපිළවෙළ නිසා මේ වසරේ තැපෑලේ අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තත්ත්වය, 2024 වසර වන විට ආදායම වියදම අතර පරතරය සමපාත කිරීමට සැලසුම් කර තිබෙනවා. 2025දී තවදුරටත් භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තැපෑලක් බිහි කිරීම අපේ අරමුණයි.
තැපෑල ඩිජිටල්කරණයෙන් නව අදායම් උත්පාදන මාර්ග ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. දැනට මුද්දර අලෙවියෙන් රුපියල් මිලියන 4000ක් උපයන අතර, තැපැල් මුද්‍රා තැබීමෙන් රුපියල් මිලියන 668ක් ඉපයීමට සමත්ව තිබෙනවා. ලිපි හා භාණ්ඩ හුවමාරුවෙන් රුපියල් මිලියන 131ක් හා කෑෂ් ඔන් ඩිලිවරි සේවාව මඟින් රුපියල් මිලියන 200ක අදායමක් උපයා ගැනීමට තැපෑල සමත්ව තිබෙනවා.
ඒ වගේම ඉදිරියේදී කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමය තවත් ප්‍රචලිත කරමින් අදායම් තත්ත්වය ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා. විදේශ ගමන් බලපත්‍රය, විභාග ලේඛන, ඉඩම්, උප්පැන්න හා මරණ සහතික මෙන්ම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම හා බෙදාහැරීමෙ ක්‍රියාවලියට අනුගතවීමට තැපෑල් දෙපාර්තමේන්තුව සූදානම් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ස්මාර්ට් තැපෑල නිර්මාණය කිරීමේදී දිගු කාලයක් පවතින සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සේවාවට යොදවා තිබූ පාපැදිය වෙනුවට ත්‍රීරෝද රථ 1000ක් දිවයින පුරා යෙදවීමටත් සැලසුම් කර තිබෙනවා.ඒ වගේම නිල ඇඳුම් ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා. මේ සියලු දේ සැලසුම් කර ශක්තිමත් තැපෑලක් නිර්මාණය කිරීම අපේ සැලසුමයි.

මහ කන්නයේදී ගොවීන්ට තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලේ
එළඹෙන මහ කන්නයේදී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇති අතර, ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත.
මේ අතර, ලබන මහ කන්නයේදී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබේ.
ඒ අනුව, ගොවි ජනතාවට සිය කැමැත්ත පරිදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මගින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව අමරවීර වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ජනාධිපති සහ උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් !
උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දමිළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ලබන 18දා (අඟහරුවාදා) සවස 3.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම හමුව යොදාගෙන ඇත්තේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට එකඟ විය හැකි කරුණු ගැන සාකච්ඡා කිරීමට ය.
දැනටමත් මේ හමුව සඳහා එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් හට ආරාධනා කර ඇති බවත් වාර්තා වෙයි .
Page 156 of 448