V2025

පුවත්

ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ ජපාන ව්‍යාපාරිකයින්ගේ අවධානය !

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙ‍ෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් මැතිවරණය කොමිසමට කැඳවයි !

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.

ඒ, කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙනි.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ලිපිය ආපසු කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරයා පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි .

ආදර්ශා කරඳන පොලිස් අත්අඩංගුවට !

සිය සුරතල් බලුපැටියා අදාළ කරගනිමින් මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහට චෝදනා කළ, ආදර්ශා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ඒ අදාළ සැකකාරිය විසින් රුපියල් මිලියන 100ක මුදලක් තමාගෙන් බලෙන් ලබාගැනීමට තැත්කරන බවට මහාචාර්ය ආශූ මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ලක් සම්බන්ධයෙන් ය.

වාර්තා වන ආකාරයට පරිගණක අපරාධ කොට්ඨාශය හමුවේ සිය නීතීඥවරයෙක් සමඟ පැමිණ ඉදිරිපත් වූ ආදර්ශාගෙන් පෙරවරු 11.30 සිට කළ දිර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර අනතුරුව සවස 5.40ට පමණ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .

අදාළ මුදල ලබානොදුනහොත් ඇය සතුව ඇති වීඩියෝවක් ප්‍රසිද්ධකරන බවට ඇය විසින් තමාට තර්ජනය කළ බව ආශු මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

රුපියල් මිලියන 100 ක මුදලක් තර්ජනයකර බිය ගන්වා බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ අසභ්‍ය ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම ඇයට එරෙහිව ඇති චෝදනා වෙයි.

ආදර්ශා කරඳන පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් අපේක්ෂිත ඇප අයදුම් කළ නමුත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කැනඩාවෙන් පැනවු සම්බාධකවලට ලංකාවේ විරෝධය !

මෙරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ඒ අනුව අදාළ විරෝධය පළකිරීම නිල වශයෙන් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අද (11) පෙරවරුවේ මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබු බවත් වාර්තා වෙයි.

කැනේඩියානු රජය ඊයේ (10) නිවේදනය කර සිටියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බවය.

ඒ අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට අමතරව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයද සිටියි.

1983 සිට 2009 දක්වා පැවති මෙරට සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ බවට චෝදනා කරමින් කැනේඩියානු රජය මෙලෙස සම්බාධක පවනවා තිබුණි.

කැනේඩියානු රජය ඊයේ නිවේදනය කළේ එලෙස සම්බාධක පැනවීමත් සමග හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු එම සිව්දෙනාට කැනඩාව තුළ සංක්‍රමණික හෝ සරණාගත රැකවරණ හිමි නොවන බවය.

එමෙන්ම ඔවුන්ට කැනඩාව සමග හෝ එහි පුරවැසියන් සමග කිසිදු ගනුදෙනුවක නිරතවීමට හැකි වන්නේද නැහැ.

කැනඩාව තුළ ඔවුන්ට අයත් යම් දේපළක් වේ නම් ඒවාද තහනම් කරන බවද කැනඩා රජය අවධාරණය කරයි.

සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ලොක්කාගේ දඬුවම ස්ථිරයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් නියම කළ සිරදඬුවම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර ඇත.

2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායක යන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් නියම කර තිබුණි.

ඊට අමතරව පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

US ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ජනපති හමු වෙයි !

එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කළාය.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.

ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය අගය කරන අතරම දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=2772#sigProId370c73e3e3

රනිල් සහ බයිඩ්න් ගේ සහය බ්‍රසීල ජනාධිපති ලූලාට : ජුලි චංග්ගේ සහය කාටද ?

"බ්‍රසීලියා නගරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. විවිධ කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ එවැනිම උත්සාහයන් මීට ඉහතදී ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවිය. එවැනි උත්සාහයන් හෙළා දකින අතර, මේ අවස්ථාවේදී අප බ්‍රසීලයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ ජනතාවට සහයෝගය දක්වමු. ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් ආරක්ෂා කරනු ඇතැයි මම විශ්වාස කරමි." යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට කොංග්‍රසය, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.

බයිඩ්න්ගේ සහය ලූලාට !

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් ද බ්‍රසීලයේ සිදුවීම "ප්‍රජාතන්ත්‍රවාදයට පහරදීම" ලෙස හෙළාදැක ඇත.

පසුගිය වසරේ මැතිවරණයෙන් බොල්සොනාරෝ පරාජය කළ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමඟ දිගටම වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේම "බ‍්‍රසීලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම සාමකාමී බල හුවමාරුවකට එල්ල කරනු ලද ප්‍රහාරය මම හෙළා දකිමි. බ‍්‍රසීලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට අපගේ පූර්ණ සහයෝගය ඇති අතර බ‍්‍රසීල ජනතාවගේ කැමැත්ත පීඩාවට පත් නොකළ යුතුයි," ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත්කළ ට්වීටර් පණිවිඩයේ සඳහන්ව ඇත.

බයිඩ්න් සහ ජුලි චංග් ප්‍රතිපත්ති දෙකක ?

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ, රටක ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට ලක්කරමින් ප්‍රචණ්ඩත්වයක් හරහා දරුණු අරාජිකත්වයක් නිර්මාණය කෙරුණු බ්‍රසීලයේ ඇතිවූ තත්ත්වයට සමාන තත්ත්වයක් පසුගිය සමයේ මෙරට ඇතිවූ නමුත්, පෙරළා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට රජය ගනුලැබූ උත්සාහය මෙරට ඇමරිකානු තානාපතිනියගේ අගය කිරීමට ලක්නොවීම ගැටළු සහගත බවය. එහිදී ඔවුන් සංසන්දනාත්මක ලෙස දක්වන්නේ, ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතනික ව්‍යුහය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට සහය සහය දක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඇමරිකාවේ මෙරට තානාපතිනිය වූ ජූලි චංග් එකී ප්‍රතිපත්තිය ලංකාවට වලංගු නොවන බවක් ප්‍රදර්ශනය වන අයුරින් හැසිරුණු බවය. ඒ අනුව ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මෙරට ඇමරිකානු තානාපතිනිය වූ ජූලි චංග් ට අදාළ නොවුණේ කෙසේද යන්න ගැටළු සහගත බවත්, විචාරක මතය වී ඇත.

අලි පොහොට්ටු සන්ධානය - මහ ලේකම් රංගේ මොනවද මේ කියන්නේ ?

එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් සෑදීම සඳහා වන සාකච්ඡා සාර්ථක බවත්, මේ වන විට ඒ ඒ පළාත් පාලන ආයතනවලට පක්ෂ සඳහා ලැබෙන අපේක්ෂක ප්‍රමාණයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත පවසා තිබුණත් ඊට වෙනස් නිවේදනයක් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි .

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙම මැතිවරණයට තරග කිරීමට අදාළව සාකච්ඡා ගණනාවක් පසුගිය දින කිහිපය තුල පක්ෂ නිලාධාරීන් සහ සෙසු පක්ෂ ප්‍රධානීන් අතර පැවැත්විනි.

එසේ සාකච්ඡා කල පක්ෂ අතර ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ද වේ. ඉදිරියේදි ද තවත් පක්ෂ හා පාර්ශව කිහිපයක් සමග ද සාකච්ඡා කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු මෙම සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ.

සාකච්ඡා තවම අවසන්ව නැති අතර සියලු සාකච්ඡා අවසානයේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරනු ඇත.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය

හම්බන්තොටට ඛනිජ තෙල් පිරිපහදුවක් !

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

අද (10) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය වූ අතර විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බවත් ප්‍රකාශ විය.

ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

විදුලි බිල ගැන කැබිනට් තීන්දුවේ වෙනසක් නෑ : PUCSL වෙතත් දින දීලා !

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කාලය ලබා දී ඇත.

මේ බව අද (10) අනාවරණය කෙරුනේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවස්ථාවේය.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ, කිසියම් සංශෝධනයක් කළ යුතුවන්නේ නම් 2023 පෙබරවාරි මස 15 වනදිනට හෝ එදිනට පෙර එකී සංශෝධනයන් ඉදිරිපත් කළ යුතු බවය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මේ ගාස්තු වැඩිකිරීම ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි. මහජන උපයෝගීතා කොමිසම තාර්කික පදනමක් යටතේ මේ තත්ත්වයෙන් ගැළවෙන්න අදාළ වෙන ආකාරයට යම් යම් සහනයන් සැලසිය හැකි නම්, ඒවා නිර්දේශ කරන්න කාලය ලබාදීලා තියෙනවා 2023.02.15 දින දක්වා. එතෙක් විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනයන්ට අනුව අන්තර්කාලීන පියවරක් වශයෙන් 2023.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම් සභාව එක්ව අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය දැනුම්දුන්නා.

මහජන උපයෝගීතා කොමිසම සංශෝධන ඉදිරිපත් කළොත්, එකී සංශෝධන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන ඉදිරි මාසික විදුලිය බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට ප්‍රතිපත්තියක් ලෙස දැනුම් දුන්නා 2023 වසරේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව මහජනතාවට විදුලිබලය ලබාදිය යුතු බවත් මිල වෙනස්කම් සිදුවන විට ලෝක වෙළෙඳපොළේ ගල්ඇඟුරු මිල, ඛනිජ තෙල් මිල වෙනස් වුණොත්, වර්ෂාව ලැබුණොත් එහි වාසිය මහජනතාවට ලබාදෙන්න බලශක්ති ඇමතිට කිව්වා මිල සුත්‍රයක් සෑම මාස 6කටම වරක් හඳුන්වා දෙන ලෙසත් උපදෙස් දුන්නා."

උපයෝගීතා කොමිසමේ සභාපති කියන කතාව

කෙසේ වුවත් මෙම කැබිනට් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ, කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බවය.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කල අතර විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (09) දිනයේ දී බවත් එහෙයින් ගත යුතු ක්‍රියාමාර්ගයන් සිදුකිරීමට දින 45ක පමණ කාලයක් ගතවන බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙසේද පවසා ඇත.

"අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අදාළ පාර්ශවයන් සමග විමසමින් කිසියම් සංශෝධනයක් වියයුතු නම් එය පෙබවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන අපිට ගැටලුවක් නෑ. අපිට ප්‍රශ්නේ තියන්නේ අපිට මේ යෝජනාව ලැබුණේ ඊයේ. මේ ක්‍රමවේදය කරගෙන යනකොට මේකට සාමාන්‍යයෙන් දවස් 45ක - 50ක කාලයක් යනවා. ඒ ක්‍රමවේදය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව සාධාරණ පිරිවැය අයකර ගැනීමේ ක්‍රමවේදයක්, මේ පනතේ තියෙන ආකාරයට ලබාගන්නා සියලුම වියදම් අයකර ගන්නා ක්‍රමවේදයකට, ඒ කටයුත්ත ඉදිරියේ කෙරෙනවා ඇති. ඒ වගේම අපි කතා කරනවා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍යයි කියලා. ඒ පිළිබඳ අවධානය යොමුකරනවා.

හැබැයි අපි කැබිනට් පත්‍රිකාවේ දෙවැනි ජේදයේ තියෙනවා මේ මාර්ගෝපදේශයන්ට අනුව මේ සංශෝධනය අන්තර් කාලීන පියවරක් වශයෙන් 2023 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය යෝජිත විදියට කරන්න ඕනේ කියලා. අතීතයට බලපාන විදියට විදුලි බිල සංශෝධනය කරන ක්‍රමවේදයක් නෑ. ඒ වගේම අන්තර්කාලීන විදුලි බිල සංශෝධනයක් කිරීමේ හැකියාවකුත් නෑ. පනත අනුව. ඒ අනුව අපි කරන්නේ ඊයේ ලැබුණ යෝජනාව අනුව මේ අවුරුද්දට තියෙන විදුලි ඉල්ලුම හා එය සපයා ගන්නේ කුමන ආකාරයෙන් කියන එක අනුව ඉදිරියේ දී එවලා තියෙන යෝජනාව අපි සැලකිල්ලට භාජනය කරනවා."

සමෘද්ධිය සති දෙකක් ප්‍රමාද වෙයි !

සමෘද්ධි දීමනාව සති දෙකක් ප්‍රමාද විය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී සඳහන් කෙරුණු ආකාරයට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ. ඒ අනුව සියලු අමාත්‍යංශවලට 2023 අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 05 ක් කපා හැරීමට ද යෝජනා වී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර විචාරකයන් පවසන්නේ, දැඩි මුල්‍ය දුෂ්කරතාවක සිටින අතරේ විපක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා සිටීම නියත වශයෙන්ම තිබෙන ආර්ථික පීඩනය තවදුරටත් උත්සන්න කිරීමක් වනු ඇති බවය. එසේම පළාත් පාලන ජන්දයක් පැවැත්වීම තුළ කිසිම ආකාරයට ආණ්ඩු වෙනසක් සඳහා ද අවස්ථාව නොමැති බවත්, එබැවින් දුෂ්කරම මොහොතේ පළාත් පාලන මැතිවරණයක් වෙත යාම දේශපාලන පක්ෂ කිහිපයකට අවශ්‍යව තිබීම ජාතික අවාසනාවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා ගැන : තීන්දුවක් අරගෙන !

රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.

“පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා.මේ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නොවේ.” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අධියරයන් වශයෙන් වැඩපිළිවෙලක් මේ වන විට අදාල අමාත්‍යාංශ සමඟ සාකච්ඡා මට්ටමින් පවතී.

ආදර්ශනී කරඳනගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි !

ආශූ මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශනී කරදන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(10) ප්‍රතික්ෂේප කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවත් ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්ය.

ආදර්ශනී කරඳන වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවය.

මෙසේ අත්අඩංගුවට පත්වූවවොත් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී ආශු මාරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන හෙයින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් බවය. එබැවින් අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය විමර්ශන කටයුතුවලට සහාය දීමක් ලබානොදෙන හෙයින් එම අවස්ථාවේදී ඇයට ඇප නියම කරනු ලැබුවවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවය.

මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශ කර සිටියේ මෙලෙස අදාළ පාර්ශව වල කරුණු දැක්වීමෙන් අනතුරුවය.

පුංචි ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනක වියදම බිලියන 72ක් : කොහේ තියෙන සල්ලිද මේ ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ජනතාවගේ දුක ගැන කිඹුල් කඳුළු හෙලන දේශපාලන පක්ෂ සැබෑ ලෙසම ජනතාවට ආදරේ නම් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවන්නට පාවිච්චි කළ නොහැක්කේ මන්දැයි ඔවුන් එහිදී ප්‍රශ්න කර ඇත.

දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට මෙම වියදම දරන්නට සිදු වනුයේ මැතිවරණය සඳහා රජයට දරන්නට සිදුවන වියදමට අමතරව බව ද අදාල විශ්ලේෂක කණ්ඩායම රජයට යොමු කළ ලිපියේ සඳහන් වේ.

ආර්ථික විශ්ලේෂක කණ්ඩායම සංඛ්‍යා දත්ත සහිතව කරුණු දක්වමින් සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේදී එක අපේක්ෂකයකුට අවම වශයෙන් රුපියල් ලක්ෂ තිහක් වියදම් වෙතියි උපකල්පනය කළහොත් එක දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් 8000 සඳහා බිලියන 24 ක් හෙවත් රුපියල් කෝටි 2400ක් වියදම් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් මෙලෙස එක් පක්ෂයකින් බිලියන 24 බැගින් රුපියල් බිලියන 72ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන බව ආර්ථික විශ්ලේෂක වාර්තාවේ සඳහන් වේ. අත් පත්‍රිකා මුද්‍රණයේ සිට මුද්‍රණ කටයුතු ආදී අනෙකුත් වියදම් ගත් කළ එක් අපේක්ෂකයෙකුට මෙවැනි මුදලක් වැයවෙනු ඇතැයි ඔවුන් ගණන් බලා තිබේ.

මෙම මුදල සමෘද්ධිය ලබා දීමට රජයට වැයවන වියදමෙන් සියයට 50ක් පමණ බව පවසන ආර්ථික විශ්ලේෂක කණ්ඩායම රට දරුණු ආර්ථික අනතුරක පවතින මොහොතක ප්‍රමුඛතාවය හඳුනාගෙන වැඩ නොකලොත් රටේ සමස්ත ජනතාවට ම එහි වන්දිය ගෙවීමට සිදුවනු ඇතැයි සඳහන් කරයි.

රජයට කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ ළමා මන්දපෝෂණය කුසගින්න දරිද්‍රතාවය සහ විරැකියාව වැඩිවෙමින් පවතින සමයක දේශපාලන පක්ෂ මෙන්ම රජය කළ යුත්තේ යම් කැපකිරීමක් කොට ආර්ථීකය නැමැති කෝච්චිය හරි පීල්ලට දමා ගැනීම බවයි.

මේ මොහොතේ පටු දේශපාලන වාසි තකා කටයුතු කළහොත් මෙතෙක් පසුකර පැමිණි යුගයටත් වඩා අන්ත තත්ත්වයකට රට ඇද වැටීමට ඉඩ තිබෙන බව ද විමලරතන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම ජනතා නියෝජිතයන් යැයි කියන අය ඡන්දයක දී වියදම් කරන්නේ ජනතාවගෙන්ම වංචා කළ මුදල් යැයිද ඔවුන් එලෙස මුදල් වියදම් කරන්නේ වියදම් කලා මෙන් තවත් කිහිප ගුණයක් ජයගත් පසුව ඉපයීමේ අරමුණින් යැයිද විමලරතන හිමියෝ සඳහන් කරති.

එමෙන්ම ජයග්‍රහණය කරනවා යැයි සිතන පක්ෂයක් වටා ව්‍යාපාරිකයන්ද පෙළ ගැසෙන්නේ ජයගත් පසුව තවත් මල්ල තර කර ගැනීමට බව කී විමලරතන හිමියෝ මෙවැනි විකෘති තත්ත්වයන්ට මුහුණදීමට ලංකා ආර්ථිකය ශක්තිමත් නැති බව රජය අවබෝධ කර ගත යුතු යැයිද සදහන් කරති.

ජනහද හදුනන මහජන බැංකුවට චෝදනාවක් !

සිය බැංකුවෙන් පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇති ණය සදහා පොළී අනුපාත වැඩි කිරීමට ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

සිය බැංකුවෙන් ණය මුදල් ලබාගත් පාරිභෝගිකයින්ට මේ බව දන්වමින් ලිපි නිකුත් කිරීම මහජන බැංකුව විසින් ආරම්භ කර ඇති බවත් පවසන එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි .

කිසියම් පාරිභෝගිකයෙකු බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමේදී එම ණය මුදලට අදාල බැංකු පොළිය පිළිබදව අනෙක් වාණිජ බැංකුවලින්ද විමසීමක් කරනු ලබයි. ඒ අනුව අඩුම බැංකු පොළියක් අයකරනු ලබන බැංකුවකින් තමාට අවශ්‍ය ණය මුදල ලබා ගැනීමට කටුයුතු කරන අතර තමන්ට ගෙවිය හැකි වාරික මුදල මත ණය ලබා ගැනීමද සිදු කරනු ලබයි. එසේ තිබියදී ණය මුදල ලබාගත් පසු පොළි අනුපාත ඉහළ දැමීම පාරිභෝගිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණකි.

ණය පොළී අනුපාත ඉහළ දැමීම නිසා තමන්ට ගෙවන්නට සිදුවන වාරික මුදල වැඩිවන අතර රටේ උද්ගතව ඇති ආර්ථික තත්වයන් හමුවේ එම මුදල ගෙවීම පාරිභෝගිකයින්ට දුෂ්කර වී තිබේ.

රට මුහුණදෙනු ලබන ආර්ථික අවපාතය හමුවේ ණය ලබාගත් පාරිභෝගිකයින් විසින් ණය වාරික ගෙවීමේ අඩුවීමක්ද දක්නට ලැබෙන මෙම අවස්ථාවේ ලබා ගත් ණය සදහා ණය පොලී අනුපාත වැඩි කිරීමට කිසියම් බැංකුවක් තීරණය කරයි නම් එය අසාධාරණ කෲර හා අනීතික තීරණයකි.

ලබාගත් ණය සදහා බැංකු පොළී අනුපාත වැඩි කිරීම සදහා මහබැංකුව කිසිදු අවසරයක් ලබා දී නැති අවස්ථාවක මහජන බැංකුව විසින් සිය පොළී අනුපාත වැඩිකිරීම සදහා කටයුතු කිරීම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර අදාල නීති විරෝධී, සදාචාර විරෝධී, කෲර තීරණයට එරෙහිව අපි අපිට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නෙමු.

මහජන බැංකුවේ ඉහළ නිළධාරීන්ගේ ආදායම් බදු පවා බැංකුව විසින් ගෙවා දමමින් සිටියදී පාරිභෝගිකයා සූරා කෑමට කටයුතු කරමින් ‘’ජනහද හදුනන’’ මහජන බැංකුව ලෙස තවමත් තම බැංකුව හදුන්වාදීමට කටයුතු කිරීම පිළිබදව මහජන බැංකුව ලැඡ්ජාවිය යුතුය. ‘’ජනහද හදුනනවා’’ නම් ජනතාවට මෙම අවස්ථාවේ බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි බව හදුනන්නේ නැත්තේ ඇයිද? යන්න අපි ප්‍රශ්ණ කරමු.

ලබාගත් ණය මුදල් සදහා බැංකු පොළි අනුපාත වැඩි කිරීමට මහජන බැංකුව ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි රජයට බලකරමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මොනරාගල SSP ගැන පරීක්ෂණ CID යට !

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව සඳහන් කර සිටින්නේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාරගේ නිල රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා, නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම කටයුතු සඳහා භාවිත කළ ජීප් රථයක් හා භූගත ලෝහ වැනි ද්‍රව්‍ය නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග මත මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මොනරාගල බලා පිටව ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අලි පොහොට්ටු සන්ධාන සාකච්ඡා සාර්ථකයි !

පළාත් පාලන ජන්දය කැඳවීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ පවත්වා ඇති අතර එය සාර්ථක බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණ පාර්ශ්වය නියෝජනය කරමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ රෝහිත අබේගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ, සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීව ඇත.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහභාගීව ඇත්තේ එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , එජාප ජාතික සංවිධායක සාගල රත්නායක , හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර සහ එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් ය.

මෙම මුලික වටයේ සාකච්ඡාවේදී තෝරාගත් පළාත් පාලන ආයතන සඳහා එජාප අලියා ලකුණින් සහ පොදුජන පෙරමුණට වැඩි වාසි ඇති පළාත් පාලන ආයතන සඳහා පොහොට්ටුව ලකුණින් මෙන්ම තවත් තෝරාගත් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් තරග කිරීමට මුලික එකඟතා ඇතිවූ බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම මූලික එකඟතා මත ඊළඟ සාකච්ඡා වටයක්ද සංවිධානය කර ඇති අතර එය හෙට (10) පැවැත්වෙන බවත් සඳහන් කරන දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ සඳහා දෙපක්ෂයේම පළාත් සහ දිස්ත්‍රික් නායකයන් ද සහභාගීකර ගන්නා බවය.

අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද?

අබ මල් රොනක තරම් හෝ මොළයක් ඇති අයකුට රට වැටී තිබෙන ප්‍රපාතයේ ගැඹුර වටහා ගැනීම අසීරු නැත. එහෙත් මහජන මුදල් කාබාසිනියා කිරීම සිය ජීවිතයේ පරම අරමුණ කරගත් තක්කඩියන්ට රටේ ඉරණම ගැන වගේ වගක් නැත. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වගකිව යුත්තෝ යනු විනාශකාරයෝ නැත්නම් තක්කඩියන් වශයෙන් හැඳින්වීම අසාධාරණදැයි අපට නොහැඟේ.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් සමයේ බෝනස් ගෙවා ඇත. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතන දෙකෙහි සභාපතිවරුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.

මුදල් අමාත්‍යාංශයේ නියෝගවලට අවනත නොවීම තුළම එම ආයතනවල සභාපතිවරුන්ගේ උද්දච්ඡකම මෙන්ම දඩබ්බරකම පැහැදිලිය. රට මේ අඳුරු ආගාධයට ඇද වැටුණේද බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත්ව රටට මහා බරක් වී තිබෙන්නේද එබඳු පරිපාලනයන් නිසාමය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද දවසේ කෙතරම් පාඩුවක් ලබන්නේ ද යන්න කවුරුත් දන්නා කාරණාවකි. ඉන්ධන ඇඟට හලාගෙන ගිනි තබා ගන්නට බැරිකමට වරින්වර වැඩිවන ඉන්ධන මිල ගෙවමින් ජනයා ඉන්ධන ලබා ගනිති. එසේ ලබාගන්නා මුදලින් ආයතනය ලාභ ලබා ඇතැයි එම සමාගමේ ලොක්කන් වාර්තාවක් සකස් කර එම සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන්ට ගෙවා ඇත. අප ප්‍රවෘත්තියට අනුව ඉන්ධන සංස්ථාව ලාභ ලබන බවට දැක්වූ වාර්තාවට සංස්ථාවේ ණය ඇතුළත්වී නොමැති බව අප සඳහන්ය. මෙසේ විකෘති කරන ලද වාර්තාවෙන් ගෙවා ඇති බෝනස් මුදල රුපියල් කෝටි 120 කට අධිකය.

ඉන්ධන පෝලිම්වල සාපිපාසිතව මියගිය පුරවැසියන්ගේ වගකීම බාර ගැනීමට කිසිවකුත් නැත. ඉන්ධන නෞකාවලට ගෙවීමට ඩොලර් නොමැතිව එම නෞකා සති ගණන් නතර කර තැබීමට සිදුවේ. ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකි. එසේ තිබියදී නිවැරදි දත්ත වසන් කර සකස් කරන ලද වාර්තා උපුටා දක්වමින් රුපියල් කෝටි 1200 ක මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ගෙවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන වචනය ඇසෙන විටත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඇඟලොමු ඩැහැගැන්වෙන බව රහසක් නොවේ. ඒ තරමට එම සමාගම මෙරට ජනයාට බරක් වී ඇත. කිසිදාක ගුවන් යානයකට පය නොතැබූ අන්ත දිළිඳු මිනිසාත් ගුවන් යානයක් නොදුටු නූපන් දරුවාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවැත්ම වෙනුවෙන් බදු ගෙවති. තුන් වේල එක වේලට අඩු කර ගත් දිළිඳු ජනයාගෙන් සූරා ගන්නා බදු මුදලින් එහි ලොක්කෝ සුර සැප විඳිති. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එම සමාගමේ සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ගෙවා ඇති බවය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයෝ 5800 ක් සිටිති. ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇත. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් කෝටි 58 කි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කරගෙන ඇති බවය.

අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මුදල් අමාත්‍යාංශයේ නියමයන්ට පිටුපා මෙසේ බෝනස් ලබාදුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට නියමිත බවය. එසේ නිදහසට කරුණු විමසීමට පෙර මෙම සභාපතිවරුන් දෙදෙනා පියවි සිහියෙන් සිටීද යන්න පරික්ෂා කර බැලිය යුතුය. නැතහොත් මේ තරම් අසීරු අවස්ථාවක මෙතරම් වගකීම් විරහිතව තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැති හෙයිනි.

සේවකයන්ට බෝනස් දීම සම්බන්ධයෙන් අපේ අමනාපයක් නැත. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ පහන් හැඟීමකි. එහෙත් මේ ආකාරයට බෝනස් දීමට යාමෙන් ඉදිරියේදී බෝනස් නොව සේවකයන්ට වැටුප හෝ ගෙවීමට නොහැකි වනු ඇත. බිමට සමතලා කර ඇති මෙම ආයතන කෙළින් කර ලාභ ලබන ආයතන බවට පත් කර බෝනස් ලබා දෙන්නේ නම් මෙරට ජනයා කිරිබත් කමින් සතුට සමරනු නියතය. මේ මොහොතේ මෙරට ජනයාට එසේ කිරිබත් කා ප්‍රීති වීමට ඇති එකම අවස්ථාව අදාළ තක්කඩි සභාපතිවරුන්ට මතක සිටින දඬුවමක් ලැබීම පමණි.

-lankadeepa

Page 155 of 386