පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක්
අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.
අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම ණය මුදල පිරිනැමේ.
ඒ අනුව අදාළ යෝජනාවට එළැඹීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024දී සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට පියවර - අධ්‍යාපන ඇමති
සියලූ ශ්‍රේණි සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරන බවත් දේශීය හා විදේශීය අනුග්‍රාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය සඳහා පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ඉදිරියේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
2024 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 237ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම පළාත් මට්ටමින් අධ්‍යාපනයට වෙන් කළ රුපියල් බිලියන 280ක් සමඟ මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 517ක් පමණ වෙන් කර තිබෙනවා.
එසේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව සඳහා විවිධ වැඩසටහන් සකස් කළා. සාමාන්‍ය දරුවන් ඉගෙන ගන්නා පන්ති කාමරවලට ඔවුන් ඇතුළත් කළ හැකි පරිදි අධ්‍යාපන ක්‍රමයත් අප ඉදිරියේදී හඳුන්වා දෙනවා.
බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ STEAM අධ්‍යාපනය තුළින් ගොඩ නැගුණු මානව සම්පතක්. මෙරට පාසල් පද්ධතිය තුළ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත ක්ෂේත්‍රයන් හරහා විධිමත් ප්‍රවේශයක් සිසු දරුවන්ට ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදීමට අප පියවර ගනිමින් සිටිනවා.
සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුගාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව පියවර ගන්නවා. 1-5 සහ 6-9 මෙන්ම 10-13 ශ්‍රේණි වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ද ලබන වසරේ දී ආරම්භ කරනවා.
එමෙන්ම වයස අවුරුදු 21ට පෙර සරසවියෙන් පිටවීමට හැකිවන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරනවා.
ඒ වගේම ඉදිරි වසර තුළ වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් 2535ක් බඳවා ගනිමින් ඔවුන් සඳහා පුහුණු අවස්ථා ලබාදීමට ද කටයුතු කරනවා.
වයස අවුරුදු 3-5 දක්වා වන මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ළමා ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යාපන ආයතනය හා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවා, ගුරු පුරප්පාඩු ඇතුළු අධ්‍යාපන සේවයේ දැනට පවතින සියලුම පුරප්පාඩු ද ලබන වසරේ පාසල් ආරම්භ කිරීමට පෙර පිරවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පොහොට්ටුවට තවත් පරාජයක් !
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය අද (05) පරාජයට පත්ව ඇති බව වාර්තා වෙයි .
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් 2024 වසරට අදාළ අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී වැඩි ඡන්ද 9කින් එය පරාජයට පත්ව ඇත.
සභාවේ උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මෙවර අයවැයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීම මෙහිදී විශේෂත්වයකි.
එහිදී අයවැය ට පක්ෂව ජන්දය ලබාදී ඇත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් 10 ක් පමණි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 7ක් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 3ක් සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 2ක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

වැට් විවාදයට ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව රැස්වෙයි !
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එළඹෙන දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (5)හිමිව තිබේ.
ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ඉරිදා දින රැස් කිරීමට හැකියාව නොමැති අතර එසේ රැස්වීමක් සිදුකෙරෙනවා නම් ස්ථාවර නියෝග අත්හිට විය යුතුව තිබේ.
ඒ අනුව මෙම විවාදය වෙනුවෙන් සභාව එදින රැස් කිරීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමටද පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමිවූ අතර එසේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඊයේ (04) ඉදිරිපත් කරනු ලැබීය.
මේ අනුව පාර්ලිමේන්තුව එදින උදේ 9.30 සිට සවස 4.30 දක්වා රැස්වීමට නියමිතය.

කුමන්ත්‍රණ අරගල වලින් පොහොට්ටුව බය කරන්න බෑ - නාමල්
කුමන්ත්‍රණවලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
විශාල ජන සහභාගීත්වයකින් යුතුව පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.
පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බවත් ඒ සමග එක්වන ලෙස ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය .

නෙදර්ලන්තයෙන් ආපසු දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට !
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.
නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.
පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.
මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබාහ් (Bonnie Horbach), ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සජානි කස්තුරිආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ ලස්සන කරන වැඩේට සාගල මැදිහත් වෙයි !
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
එසේම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස සාගල රත්නායක අදාළ ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සාගල රත්නායක මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.
බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය කර භාවිතා කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීම මෙන්ම බේරේ වැවට හරවන ලද මළ අපද්‍රව්‍ය නළ මාර්ග වළක්වාලීම සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය ද මෙහිදී විමසා බැලීම සිදුවිය.
මේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැසයාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම එළැඹෙන නත්තල් සමයේ කොළඹ නගරයේ තදබදය අවම කර ගැනීම සහ කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, කොළඹ මහ නගර සභාව හා වෙළෙඳ සංගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.
කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ශිෂ්‍යත්ව විභාගය අහෝසියි - OL 10 දී AL 12 දී !
පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් එවැනි අවධානයක් යොමුවීම පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා සතුටට පත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
පාර්ලිමේන්තුවේ අද(05) ට යෙදී තිබුණු අධ්‍යාපන වැය ශිර්ෂය සම්බන්ධව සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
2023 වර්ෂයේ අධ්‍යාපනය වෙනුවෙන් තිබූ මුදල රුපියල් බිලියන 466. 276 වන බවත් මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 517.05 ක් වෙන්ව ඇති බව ද එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 55ක වැඩිවීමක් බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
පෙළ පොත් මුද්‍රණයට කඩදාසි නොතිබුණු, ගුරුවරුන්ට විභාග රාජකාරී සඳහා යාමට තෙල් පෝලිම්වල සිටින්නට සිදුවුණු රට ම අර්බුදයකට පත්ව තිබූ මොහොතක විෂය භාර අමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපතිතුමන් විසින් 2022 වර්ෂයේ තමා පත්කරන ලද බවත් එතැන් සිට මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති බොහෝ ගැටළු හඳුනාගනිමින් පියවරෙන් පියවර මෙම තත්වයට පත්කරගැනීමට කටයුතු කළ බවත් මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ STEAM අධ්‍යාපනය තුළින් ගොඩනැගුණු මානව සම්පත් බවත් මෙරට පාසල් පද්ධතිය තුළ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත ක්ෂේත්‍රයන් හරහා විධිමත් ප්‍රවේශයක් දරුවන්ට ලබාදිය යුතු බව ද ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙවර උසස් පෙළ සමත් සිසුන්ගෙන් සිසුන් 43000කට සරසවි ප්‍රවේශයට අවස්ථාව සලසා දෙන බවත්, විෂය වර්ග අනුව විශ්වවිද්‍යාල 17ටම සරසවි ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සියල්ල පිරවීමට පියවර ගන්නා බවත්, සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුගාහක පාර්ශවයන්ගෙන් ද සහාය ඇතිව පියවර ගන්නා බවත්, 1-5/6-9/10-13 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරන බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වයස අවුරුදු 21ට පෙර සරසවියෙන් පිටවීමට හැකිවන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනයට සැලසුම් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට සැලසුම් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඉදිරි වසර තුළ වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් 2535ක් බඳවා ගනිමින් ඔවුන් සඳහා පුහුණු අවස්ථා ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වයස අවුරුදු 3-5 දක්වා වන මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ළමා ලේකම් කාර්යාලය ජාතික අධ්‍යාපන ආයතනය හා යුනිසෙෆ් සංවිධානය සමග එක්ව සැලසුම් කර ඇති බවත්, මෙරට විශේෂ අධ්‍යාපනය සංවර්ධනයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සැලසුම් සකස් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
2030 වසර වනවිට සෑම දරුවෙකුට ම දිවා ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව ද, පාසල් දරුවන්ට පාවහන් ලබාදීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500 ක් වෙන්ව ඇති බවත් එබැවින් පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එළඹෙන වසරේ මුල වනවිට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් පියවීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.
– Media unit

මධ්‍යම තැපැල් හුවමාරුවේ කෝටි 4ක මත්ද්‍රව්‍ය !
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ සඳහන් කරන අතර මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යයි සැක පිට පාර්සල් 25 ක් පරීක්ෂණ කළ බවත් මෙම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය සිට කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණද සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වූ බවත් සඳහන් කළේය.
එම පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 2193 ක්, කුෂ් නැමැති ගංජා විශේෂය ග්‍රෑම් 1740 ක් සහ එම්පෙතමින් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29 සොයා ගත් බවත් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බවත් ඔහු පවසයි.
මෙම වැටලීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකර ඇති අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලැබුණු බවද ඔහු පැවසීය.
පරීක්ෂණ කටයුතු අවසානයේ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවද රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තේරීම් කමිටුව තරුණ වෙයි !
නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව තේරීම් කමිටුවක් පත්කර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තේරීම් කමිටුවේ සියලුම ක්‍රීඩකයන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබුවන් වීමය.
ඒ අනුව හිටපු ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් මෙන්ම හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.

උප්පැන්නය ඩිජිටල් වෙයි
මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය අද (දෙසැ. 5) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නිකුත් කර තිබේ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු E – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම සිදු කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කර තිබේ.
එමෙන් ම ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, නිකුත් කළ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය මගින් ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබා දීම ද අරමුණ කර ගෙන E – ජනගහන ලේඛන වැඩසටහන ආරම්භ කරන තිබේ.
ඒ යටතේ නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය ” ලෙසින් නම් කර ඇත.
මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේදී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව ඇතුළත් කර තිබේ.
ඒ් අනුව දරුවකුට උපතේදී ම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබෙනු ඇත.
ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය පහතින් දැක්වේ.
සහතිකයේ ඇතුළත් වන තොරතුරු
උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
මගේ අංකය
සම්පූර්ණ නම ( සිංහල / ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම / ජාතිය / ජාතිකත්වය
මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම / ජාතිය / ජාතිකත්වය
මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ
රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම.
සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම.
මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම.
මෙම උප්පැන්න සහතිකය සිංහල / ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම.
විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම.
සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම.
mawbima.lk

ශානි ඝාතන කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ අනාවරණයක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ [CID] හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් ඊයේ (දෙසැම්බර් 04 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය.
ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුණි.
ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.
ශානි අබේසේකරට බරපතළ තර්ජනයක්
අදාළ පෙත්සම අධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය දැක්වෙන වාර්තාවක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ බුද්ධි අංශය විසින් ඒවා ඇති බව සඳහන් කළේය.
එම වාර්තාවට අනුව පෙත්සම්කාර ශානි අබේසේකරට බරපතළ තර්ජනයක් පවතින බව අනාවරණය කර ඇති බවත් ඔහු ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව එම බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියේය.
පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවටත් චෝදනා කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය ලබන 14 වැනිදා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබීය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.
- BBC සිංහල

ජනාධිපති සහ ජෝන් කෙරී අතර හමුවක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී අතර හමුවක් ඊයේ (04) සිදු වූ අතර එහිදී නව්‍ය මුලපිරීම් තුළින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු මෙන්ම දේශගුණික අභියෝගවලට තිරසර විසදුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සකස් කර ඇති විස්තීරණ සැලැස්ම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
දේශගුණික විපර්යාසවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමේ තීරණාත්මක ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර දේශගුණය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මූල්‍ය සම්පත් වැඩි දියුණු කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ද අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සියැසින් දැක බලා ගැනීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජෝන් කෙරී ට ආරාධනා කර සිටියේය.

අද රාත්‍රියේ කාලගුණය ගැනත් නිවේදනයක් !
අද (04) රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.
සෙසු ප්‍රදේශවල අද රාත්‍රියේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර අද දවස පුරාම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි අඳුරු සහිත කාලගුණයක් පැවතියේය.
මේ අතර හෙට දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් වට වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
සෙසු ප්‍රදේශවල හෙට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකිය.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මීජවුම් සුළි කුණාටුව අද පෙරවරු 11.30ට පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී යාපනයේ සිට කිලෝමීටර් 440ක් ඊසාන දෙසින් පැවතුණි.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධන වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, උතුරු දෙසට ගමන්කර හෙට (05) දිනයේ දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළතීරයෙන් ඉන්දියාවට ඇතුළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික ක්‍රීඩා කවුන්සිලයත් අලුත් වෙයි !
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කරනු ලැබ තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එම පත් කිරීම සිදු කර ඇත.
විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර 15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සභාවේ සභාපති ධූරය සඳහා පත් කර තිබේ.
මේ අතර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ එහි ලේකම්වරයා ලෙස අර්ජුන් රිෂ්‍යා ප්‍රනාන්දු පත්කර තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක් !
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පැවසීය.
ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත්, එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් පිහිටුවීම තුළින් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙසේද පැවසීය.
අධිකරණ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක වගකීම පැවරී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු විෂයන් ගණනාවක් ඊට ඇතුළත්ව තිබෙනවා. මෙරට අධිකරණ තුළ ලක්ෂ 11කට අධික ප්‍රමාණයක නඩු කටයුතු තිබෙනවා. අධිකරණවල පවතින මෙම නඩුවල ප්‍රමාදය වළක්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ විශාල වැඩකොටසක් සිදු කරමින් තිබෙනවා. සමථ මණ්ඩලවලින් ද ඇතැම් නඩු විසඳීමට පියවර ගනිමින් තිබෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. නමුත් අප රටේ පවතින්නේ ඉතාමත් යල්පැනගිය නීති රාමුවක්. එම නිසා අපරාධ නඩුවක් අවසන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. අපරාධ නඩු ප්‍රමාද වීම බරපතල ප්‍රශ්නයක්. ඒ නඩු ප්‍රමාද වීම තුළින් කාටවත් යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ නිසා දෙපාර්ශ්වයම එකඟතාවකට ඇවිත් අඩු දඬුවමකට යටත්ව හෝ නඩුව අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එමගින් සියලුම දෙනාටම යම් වාසියක් අත් වෙනවා.
අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා සකස් කළ නීති කෙටුම්පත එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඇතැම් දියුණු රටවල්වල සුළු වරද කරන පුද්ගලයන් සිරගත කරන්නේ නැහැ. බොහෝ අය සිරගත වෙන්නේ ඔවුන්ගේම වරදින් නෙමෙයි. සමාජයේ වැරදි නිසාත් ඇතැම් අය සිරගත වෙනවා. මේ නිසා ඇප කොන්දේසි සහිතව ඔවුන්ට නිදහස ලබාදීමට හැකියාව පවතිනවා.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ පැමිණිලි 14,000 ක් පමණ පවතිනවා. අප මේ අමාත්‍යාංශය භාර ගන්නා විට එම පැමිණිලිවලින් විමර්ශන කටයුතු අවසන් කර තිබුණේ 62ක් පමණයි. අද වන විට එම පැමිණිලි 4795ක විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී තිබෙන සියලු පැමිණිලි ලබන වසර වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට නව පනත් අටක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කිව යුතුයි.
'සංහිඳියා' සමාජයක් සෑම ගමකම නිර්මාණය කිරීමට පියවර ගන්නවා. එම 'සංහිඳියා සමාජය'ට රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ගමේ සිටින වැඩිහිටියන්, ප්‍රභූවරු, ආගමික නායකයන්ට අවශ්‍ය ආකාරයට තමයි එම සිංහිඳියා සමාජවල වැඩකටයුතු සිදුවන්නේ. ගමට පාරක් හදන්න, විදුලිය දෙන්න දේශපාලනඥයන් අවශ්‍ය නැහැ. ගමේ ආගමික උත්සව, ක්‍රීඩා උත්සව, සංස්කෘතික උත්සව සංවිධානය කරන්නෙත් ගමේ අයයි. අපේ බලාපොරොත්තුව සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක්ම එකම ජාලයක් බවට පත් කිරීමයි. සංහිඳියා සමාජයට කවුරුත් ඇඟිලි ගහන්න බැහැ. ගම ආරක්ෂා කර ගැනීමත් මේ සංහිඳියා සමාජයට පැවරෙනවා.
අද කවුරුත් රටේ ආර්ථිකය ගැන කතා කරනවා. රටේ ආර්ථිකය කඩාවැටීමට බලපෑ කරුණු කිහිපයක් තිබෙනවා. ප්‍රභාකරන්ගේ යුද්ධය නිසා රටට අහිමි වූ ජීවිත හා දේපළ අතිවිශාලයි. ඒ වගේම එදා ජවිපෙ විසින් බස්, ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බා. අධිකරණ 25කට වඩා ගිනිතබා විනාශ කළා. ඒවා ගිනිතබා විනාශ නොකළා නම් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි. මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන බරපතල තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.

පුලතිසි වීරයාගේ ඉල්ලීමට දුරකථන පාටියේ ලොක්කා කොර වෙලා !
ක්‍රීඩාව වෙනුවෙන් තනි සටනක් කරලා අවසානයේ බඩුත් අකුලන් යන්න වුණු පුලතිසිපුර සිංහයා අලුත් සටනක් පටන් ගන්නලු යන්නේ. ඒ සටන පටන් ගන්න සුදුසු තැනක් හොය හොයා ඉන්නකොට එයාට දුරකථන පාටියේ තැනක් දෙන්න ඒකේ ලොකු තැන කතා කළාලු. ඉතින් මේ පුලතිසිත් වැඩේට කැමති වුණාලු.
ඒත් පොඩි යෝජනාවක් ආවලු. එයාට රට බාරගන්න රාජයෝග සහිත වාසනාවක් තියෙන නිසා ඒ අවස්ථාවට එයා ලබන අවුරුද්දේ මුහුණ දෙන්න ඕන, ඒ වෙනුවෙන් සහාය දෙන්න පුළුවන්ද කියලා. කොහොම වුණත් ඒකට දුරකථන පාටියේ ලොකු තැනයි කිහිප දෙනකුයි කැමැති වුණේ නෑලු. ඒත් බෑ කියලා මූණට කිව්වෙත් නෑලු. කොහොම වුණත් ඒ යෝජනාව ගැන පක්ෂයේ ලොකු තැනයි, නුවර පැත්තේ ඉන්න පක්ෂ ප්‍රබලයකුයි දිගින් දිගටම සකච්ඡා කරනවලු. නුවර පැත්තෙ ලොක්ක නම් කියන්නේ ඉක්මනින් මෙයාව ඇතුළට අරන් තනතුරක් දෙමු කියලලු. ඒත් පුලතිසි වීරය සාමාන්‍ය තනතුරකට වඩා රටේ ලොකු බලයක් ගන්න බලාපොරොත්තු වෙනවලු.
- Deshaya gossip

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී අද (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Page 138 of 473