V2025

පුවත්

ගුරු මාරු මණ්ඩලය විසුරවයි

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝගකර ඇත.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇත.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බවත් එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී තිබේ.

එසේම ආර්ථික අර්බුදය සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධිකවීම, බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කාරනා රැසක් පදනම් කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනකු ලිපි මගින් ජනාධිපතිවරයා වෙත දුක් ගැනවිලි යොමුකර තිබිණි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාසිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරුමාරුවීම් සඳහා නිර්දේශව තිබූ බවත් වාර්තා වෙයි. ඒ අතරින් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බවත් ජනාධිපතිවරයාට වාර්තා වී තිබෙි.

ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ මෙම කරුණු කාරනාද සලකා බැලීමෙන් අනතුරුවය.

සරසවි වරම් අහිමිවූ සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා පොළී රහිත ණයක්

උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිත ය.

අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය  සඳහන් කරයි.

මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසු කම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිසුන් 5,000 කට මෙම ණය පහසුකම් ලබා දීමට නියමිතය. මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අදාළ ණය මුදල විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.

අප්‍රේල් 25 ඡන්දෙට ඉඩක් නැහැ - පැෆ්රල්

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන 'පැෆ්රල්' සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය.

"මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ."

"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා."

"නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවා ද? නැද්ද? කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ."

"ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබාදුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි."

මැතිවරණ කොමිසමේ තීරණය කල් යයි !

2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර තිබිණ.

අද දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි.

මේ අතර අද සිට දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

 

බලාසිටීමේ 200 වන දවසේ : IMF ලංකාවේ බලාපොරොත්තු ඉටුකරයිද ?

අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් (IMF) අපේක්ෂිත ණය සහනය තවත් දින 04කින්, එනම් මාර්තු 20වැනිදා අනුමත වනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් පසුවෙයි.

එම අපේක්ෂාව සමගින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට විවෘත ලිපියක් යොමුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු 14වැනිදා පියවර ගත්තේය.

ජනපතිගෙන් සහතිකයක්...

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම ලිපියෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් සහ නිරන්තර යාවත්කාලීන කිරීමකින් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ඉන් සහතික කර ඇත. ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන වර්තමාන තත්ත්වය දක්වා ගෙන ඒම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා එහිදී විශේෂයෙන්ම පැරිස් සමාජයට සහ ජපානයට ස්තුතිය පළකර ඇති අතර, මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුකූල ලෙස මූල්‍ය සහතික කිරීම් ලබාදීම පිළිබඳව ඉන්දියාවට සහ චීනයට සිය කෘතඥතාව පළ කර ඇත.

"සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස අපි ඉල්ලා සිටි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා විසින් 2023 මාර්තු 20 වන දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන බවට පසුගිය අඟහරුවාදා කරන ලද නිවේදනය මම සාදරයෙන් පිළිගත්තේ ඉමහත් තෘප්තියකින් සහ අවංක බලාපොරොත්තුවකිනි. ඔබගේ කඩිසරකමට ප්‍රශංසා කිරීමට සහ විශේෂයෙන්ම පැරිස් සමාජයේ ණයහිමියන්ට හා ජපානයට මෙම අවස්ථාවට පැමිණීමට අවශ්‍ය සහයෝගීතාව ලබාදීම සහ IMF නිර්දේශයන්ට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම පිළිබඳව ඉන්දියාවට සහ චීනයට මගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. මෙම ප්‍රයත්නයන්ට සහාය වීම ගැන පැරිස් සමාජ ලේකම් කාර්යාලයට ද මම ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් එහි සඳහන් වේ.

"පසුගිය ජූලි මස බලයට පත් වූ දා සිට, මගේ රජය සහ මම ඔබ සියලු දෙනා සමග සද්භාවයෙන් කටයුතු කරමින්, අපගේ ණය තත්ත්වය පිළිබඳ නිසි තක්සේරුවක් කිරීමට, ණය තිරසාරත්වය පවත්වාගෙන යෑමට සහ අපගේ අරමුදල් පරතරය පියවා ගැනීමට මෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය සියලු තොරතුරු සපයමින් සිටිමු. විස්තීරණ අරමුදල් පහසුකම(EFF) සඳහා අපගේ කැපවීම ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ මාවතේ අඛණ්ඩව ඉදිරියට යෑමට මගේ රජය සියලු උත්සාහයන් යොදවා ඇත. IMF සමඟ එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග මගින් අපගේ පරිපාලනය දැනටමත් විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත." යනුවෙන් වැඩිදුරටත් එහි සදහන් කොට තිබේ.

මෙය රටේ ආර්ථික යහපැවැත්ම සහ අනාගත සංවර්ධනය සඳහා පෙර නොවූ විරූ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

"ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75 ක කාලය තුළ අපගේ ආර්ථික යහපැවැත්ම සහ අනාගත සංවර්ධනය සඳහා මීට වඩා තීරණාත්මක කාල පරිච්ඡේදයක් නොතිබිණි. ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම, පාලනය ශක්තිමත් කිරීම, වඩාත් අවදානමට ලක්විය හැකි අයට සහාය වන සමාජ ආරක්ෂණ දැල් පුළුල් කිරීම සහ අන්තර්ජාතික ව්‍යාපාර සඳහා ආකර්ෂණිය ආර්ථිකයක් වර්ධනය කිරීමට අපට හැකි බව සහතික කිරීම ඉලක්ක කරගත් ශක්තිමත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් අප හඳුන්වා දී ඇත්තේ එබැවිනි. අපි අපේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන ආකාරය සහ අපගේ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීමෙන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔවුන් ඉදිරියෙන්ම සිටින බව සහතික කරන්නෙමු.” ජනාධිපතිවරයා යවන ලද ලිපියේ දැක්වෙයි.

“අපේ රට වෙනුවෙන් මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන ඉතා වැදගත් වනු ඇත. එබැවින්, මෙම නව යුගය ආරම්භ වන්නේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීන හවුල්කරුවන් ලෙස ඔබ සමඟ මෙන්ම අපගේ වාණිජ ණය හිමියන් සමඟ අපගේ ණය තත්ත්වය නිරාකරණය කිරීමත් සමගිනි. අපට එකට කළයුතු තවත් කටයුතු රැසක් පවතී. අපගේ ඉදිරි කාර්යභාරය තුළ, නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ සම්බන්ධීකරණය පවත්වාගෙන යෑමට සහ එම කටයුතු පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට මම ඔබව දිරිමත් කරමි. එය අපගේ ණය වැඩසටහන කාර්යක්ෂම, විනිවිදභාවයෙන් හා සාධාරණව ක්‍රියාත්මක කිරීමේ හොඳම ක්‍රමයයි. ඒ සඳහා, මම පැරිස් සමාජයේ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන්, විශේෂයෙන් ජපානයෙන්, ඉන්දියාව සහ චීනය ඇතුළු අපගේ අනෙකුත් නිල ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන්, ඔබට සුදුසු යැයි පෙනෙන පරිදි සම්බන්ධීකරණය කර, එම වැඩසටහන පෝෂණය කරන ලෙස ඉල්ලා සිටිමි.”

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී සාධාරණ ලෙස වගකීම් බෙදා ගැනීම සහතික කිරීම සඳහා, සියලුම බාහිර ණයහිමියන්ට සමාන සැළකීමක් සඳහා වන සිය කැපවීමද ජනාධිපතිවයා මෙහිදී අවධාරණය කර තිබේ.

"ඕනෑම ණයහිමියෙකු හෝ ණයහිමියන් කණ්ඩායමක් සමඟ, එකඟ වූ ඕනෑම ණය සහන කොන්දේසි පිළිබඳව ඔබ සියලුදෙනා සමඟ විනිවිදභාවයෙන් සන්නිවේදනය කිරීමට අපි බැඳී සිටිමු. ඒ ආකාරයෙන්ම, රට විසින් දරනු ලබන කිසිදු මූල්‍ය වගකීමක් අනාවරණය නොවන බව සහතික කරමින්, අපගේ ණයගැතිභාවය පිළිබඳව නිතිපතා වාර්තා කිරීමට අපි බැඳී සිටිමු. දෙවනුව, එම ණයහිමියා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව විස්තීර්ණ ණය සහනයක් සඳහා එකඟ වන්නේ නම් මිස, කිසිදු ණයහිමියෙකු වෙත ණය සේවා නැවත ආරම්භ නොකිරීමට අපි බැඳී සිටිමු.”

තෙවනුව, ප්‍රතිව්‍යුහගත කරන ලද සියලුම ණය සඳහා සර්ව-පූර්ණ සාධාරණ බර බෙදාගැනීම සහතික කිරීමේ අරමුණින්, අපගේ සියලුම බාහිර ණයහිමියන්ට සමාන සැළකීමක් සඳහා අපගේ කැපවීම අපි නැවත අවධාරණය කරමු. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ණය ඉලක්ක මගින් නියම කර ඇති පරිමිතියෙන් පිටත ණය සහනයක් පිරිනැමීම මගින් ශ්‍රී ලංකාවේ ණය නැවත දරාගත නොහැකි තත්ත්වයට පත් කිරීමේ අවදානමක් නිර්මාණය වේ. මෙම පැහැදිලි කිරීම් මගින් ඔබ සැමට සැනසීමක් ලබා දෙන අතර ණය සහන පිළිබඳ සාකච්ඡාවල මීළඟ අදියර වෙත වේගයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකි වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. මෙය අපේ රටට ඉතා වැදගත් ය. මගේ පරිපාලනය සහ මම කිරීමට කැපවී සිටින ආකාරයටම, නිවැරදි දේ කිරීමට අපි ඔබ සැම මත විශ්වාසය තබමු." ජනාධිපතිවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රාදේශීය සභාවේ ජන්දයට අතුරු තහනමක්

කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ කළුතර ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්ය.

පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමට ද නියම වුණි.

රට බංකොලොත්වූ ප්‍රධාන හේතු 2 ක : මහ බැංකු අධිපති හෙළිකරයි !

රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (16) අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති දේශනයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අලුත් පනත යටතේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මුදල් පාලනය.. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්.

බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා."

"2020 වසරේ සිට මහ බැංකුවේ මත වෙනසක් තිබුණා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක තියාගමු කියලා කිව්වා. ඒකෙන් වුණේ අත්දෙක ගැටගැහුවා වගේ දෙයක්."

"මේක තමයි දේශීය සහ විදේශීයව ඉල්ලුම පාලනය කරන්න මහ බැංකුවට තිබෙන උපකරණ දෙක."

"මේ දෙක පාලනය කරන්නේ නැතුව ආර්ථික වර්ධන වේගය ස්ථාවර කරන්න බැහැ."

"ඒ නිසා 5%ට පොලී අනුපාතය අඩු වෙනකොට හැමෝම අඩු පොලියට ණය අරගෙන අද හිරවෙලා ඉන්නවා."

"විනිමය අනුපාතය 203ට තියෙගෙන හිටපු නිසා අද අපේ සංචිත ඔක්කොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒකෙ ප්‍රතිඵල මේ."

"මේක වෙනස් කළ යුත්තේ ඇයි කියන එකට මේක හොඳම සාධකයක්."

"මේ රටේ ලොකුම ණයකරු එක්කො රජය.. නැත්තම් රජය සතු සංස්ථා."

"රටේ ණය ගන්න අය වැඩියි ඉතුරු කරන අයට වැඩිය."

"විදේශ විනිමය වියදම් කරන අය වැඩියි.. උපයන අයට වැඩිය."

"ජනමත විචාරණයක් තිබ්බොත් බහුතරය කියන්නේ විනිමය අනුපාතය 203 තියාගන්න කියලා. හැබැයි මහ බැංකුව ගන්නේ ජනප්‍රිය තීරණ නෙමෙයි..හරි තීරණය."

ලංකාවේ දරුවන්ට ජපානයෙන් ඩොලර් මිලියන 1.8 ක මුදල් ආධාර !

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ වඩාත් අවධානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබාදීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත,ඩොලර් මිලියන1.8කට අධික මුදල් ආධාර ලබාදී ඇත.

මෙම අරමුදල් මඟින් ලක්ෂ 06කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානිය ජලය,සනීපාරක්ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරුවන් දැඩිලෙස බලපෑමට ලක්වී ඇත. ඉන් වැඩි පිරිසක් දුප්පත් පවුල්වල සහ වැඩි අවදානමක් සහිත පවුල්වල දරුවන්වේ.

මේවනවිට දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම ඉතා අසීරුකාරි තත්වයක් බවට පත්ව තිබේ.

පසුගිය වර්ෂයේ ආර්ථික අර්බුදයේ ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් හරහා ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය මේවනවිට ඇමරිකානු ඩොලර් මිලියන3.8 ඉක්මවා ඇති අතර ජපානය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දක්වන බවට දන්වා ඇත.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර අවසන් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් අදියරෙන් අදියර සිදු කරමින් පවති.

ඒ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 46%ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පිළිවෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ 34%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 32%ක් ද ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීම සිදු කර ඇති බව ද පැවසීය.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වන දිනෙන් අවසන් වන බැවින් කඩිනමින් තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා සියලුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අවධාරණය කරයි.

IMF මැජික් එකෙන් රට ගොඩදාන්න බෑ - ජවිපෙ විජිත

දූෂණ නාස්තිය නැති නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැජික්වලින් රට ගොඩදාන්න බැරි බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය විසින් ගම්පහ දී පැවති ජන හමුවක් අමතමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පහළොවක් දමා ඇති බවත් ඉන්ධන විදුලි ගාස්තු ඉහල දැමීම, රුපියල පා කිරීම, රාජ්‍ය ආයතන විකිණීම ඇතුළු එම කොන්දේසි සම්පූර්ණ කර දැන් එම මුදල බලාගෙන සිටින බවද ඔහු පවසයි.

මීට පෙරද 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ශ්‍රී ලංකාව ලබාගෙන ඇතත් එම කිසි අවස්ථාවේ ආර්ථිකය ශක්තිමත් නොවූ බවද සඳහන් කල මන්ත්‍රීවරයා හොරකම දූෂණය නාස්තිය නැති නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැජික් පෙන්නුවට රට ගොඩ දැමිය නොහැකි බව ද පැවසීය.

මෙරට ආර්ථිකය ගොඩදැමීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් සකස් කර දේශපාලන සංස්කෘතිය වෙනස් කර කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවත් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ, IMF වැඩ පිළිවෙල විවේචනය කිරීමට ජවිපෙ කටයුතු කළත් IMF සමඟ වැඩසටහනකට ඇතුළත්වීමට ආණ්ඩුව ගනුලැබූ තීන්දුව සම්බන්ධව ජවිපෙ විරෝධයක් නොදැක්වීම සාධනීය තත්වයක් බවය. IMF සමඟ වැඩසටහනකට ඇතුළත් නොවී මෙම අර්බුදයෙන් ගොඩයාම සඳහා කිසිඳු කෙටි කාලීන උපක්‍රමයක් නොමැති බවත් ජවිපෙ විවේචනය එල්ලවී ඇත්තේ ඒ වෙනුවෙන් සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධව පමණක් බවත් විචාරකයන් සඳහන් කරයි. බංකොලොත් වූ රටක් ලෙස IMF සමඟ වැඩසටහනකට යාම හැර වෙනත් විකල්පයක් ඇත්නම් ඒ බව ජවිපෙ ප්‍රසිද්ධියේ පැවසිය යුතු බවද විචාරක මතය වී තිබේ.

වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නෑ - ජවිපෙ ලාල්

දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත සඳහන් කරයි.

වැඩ වර්ජන සිදු කළ යුත්තේ හිතුවක්කාර පාලකයන් මට්ටු කිරීමට මිස ජනතාව තවත් පීඩාවට පත් කිරීමට නොවන බව ද ඔහු අවධාරණය කර සිටින අතර ඒ ඊයේ (15) පැවැත්වුණු වැඩ වර්ජනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය උද්ඝෝෂණ වැඩවර්ජන කරන්නේ ජනතාවගේ පැත්තේ හිඳීමෙන් මිස ෆැෂන් එකට හෝ රැල්ලට නොවන බවද එහිදී සඳහන් කළ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්තා මේ වන විට ජීවන බරින් අසීමිතව බැටකන ජනතාවගේ සුබසිද්ධිය ගැන අනිවාර්යෙන්ම සිතිය යුතු බවද අවධාරණය කර සිටියේය.

ඇතැමුන් අඛණ්ඩ වැඩ වර්ජනය ගැන සඳහන් කරන නමුත් එක් දින වර්ජන ගැන පාලකයාගේ ප්‍රතිචාර ධනාත්මක ද නැද්ද යන්න ගැන සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ වෘත්තීය සමිති නායකයන් විසින් ගත යුතු බවද ඔහු කියා සිටියේය.

සහන මිළට සතොසින් අභ්‍යාස පොත්

එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ SPC අභ්‍යාස පොත් මිළ දී ගත හැකි ස්ථාන පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ශ්‍රි ලාංකික ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි

මේ අනුව රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ SPC පොත් මිළට ගත හැකි ස්ථාන පහතින් දැක්වෙයි.

spc

නිල ණය හිමියන්ට ජනාධිපති රනිල්ගෙන් විවෘත ලිපියක් !

ශ්‍රී ලංකාවේ නිල ද්වීපාර්ශවික ණය හිමියන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත ලිපියක් යොමුකර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අදාළව, ශ්‍රී ලංකාවේ බාහිර ණය හිමියන් වෙත යොමු කරන ලද එම විවෘත ලිපිය මගින් ජනාධිපතිවරයා, රටේ ණය අර්බුදය විසඳීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කරගැනීම උදෙසා පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගැනීමට කළ දැඩි කැපවීම පිළිබඳවද සිහිපත් කර තිබේ.

“රාජ්‍ය ණය තත්ත්වය කඩිනම් විසදීම සඳහා ඔවුනොවුන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාව සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමටත් මම ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් දිරිමත් කරමි.” යැයි ජනාධිපතිවරයා සිය ලිපිය පිළිබඳ අදහස් දක්වමින් කියාසිටී.

ජනාධිපතිවරයා විසින් නිල ද්වීපාර්ශවික ණය හිමියන් වෙත යොමුකරන ලද ලිපිය පහතින් දැක්වේ.

rw letter 1000px 15 3 23

රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීමේ සැර කප්පාදුවක් !

රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීම හා ඒ ආශ්‍රිත වියදම් සීමා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංච් මාර්ග සඳහන් කරයි.

2015 මැයි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වූ, මු.අ.01/ 2015/ 01 චක්‍රලේඛය අනුව ප්‍රකාශයට පත් කළ රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීම් මේ ආකාරයට සීමා කිරීමට නියමිත අතර මෙම තීරණය මාර්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් දැනගන්නට ඇත.

එහිදී අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාළ විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා වූ දීමනාව අමෙරිකානු ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කිරීමට තීන්දු කර ඇත.

එසේම නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කිරමින් විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා වූ දීමනාව ද අමෙරිකානු ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමටද පියවර ගෙන තිබේ.

තවද සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් සිදු කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද තීන්දු කර ඇත.

එසේම නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකානු ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇත.

මේ සමග අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්/ මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙම සීමා කිරීම් හේතුවෙන් බලපෑමට ලක්වනු ඇති බවත් වාර්තා වෙයි .

වර්ජන යකා හිතපු තරම් කළු නෑලු !

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් අද (15) දිනය තුළ දියත් කළ වැඩ වර්ජනය හමුවේ වුවද මහජනතාවට ලබාදෙන සේවය අඩපණ නොකර ලබාදීමට හැකි වූ බව රාජ්‍ය ආයතන ප්‍රධානීහු පවසති.

නව බදු ප්‍රතිපත්තිය අදාළ නොවන වෘත්තීය සමිති පවා වර්ජනයට කැඳවමින් රාජ්‍ය අංශයේ කටයුතු අඩාල කිරීමේ උත්සාහයක් ද පැවති බවත් ඔවුන් සඳහන් කරයි.

කැඳවා තිබූ වැඩ වර්ජනය වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධ නොවන්නක් බැවින් බොහෝ වෘත්තීය සමිති වර්ජන කටයුතුවලින් බැහැරව දෛනික රාජකාරී කටයුතු පවත්වා ගෙන යාමට සහාය වූ බවත් ඔවුහු පෙන්වා දෙති.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  සඳහන් කර සිටියේ ජාතික රෝහලේ කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බවයි.

හෙදියන්ගෙන් 99%ක් සේවයට වාර්තා කර ඇති බවත් බාහිර රෝගී අංශය හැර අනෙකුත් අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් තහවුරු කළේ අද පෙරවරු 11.00 වන විට දිවයින පුරා ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වූ බවයි.

ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 08 න් ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තිය සමිතිය හැර සෙසු වෘත්තිය සමිති 07 ම සහයෝගය ලබා දුන් බවද ඔහු පැවසීය.

මේ අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව එහි සභාපති එම්.යූ. මොහොමඩ් මහතා පැවසුවේය.

ඒ අනුව සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා අද දින පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කෙරුණ බවද ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා සඳහන් කර සිටියේ දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය ගමන්වාර 21ක් ක්‍රියාත්මක කළ බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වූ බව බැංකු ප්‍රධානීන් සඳහන් කරයි.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පවසා සිටියේ මහජන බැංකුවේ ශාඛා 352න් 330ක් පූර්ණ ලෙස අද මධ්‍යාහ්නය වන විට ක්‍රියාත්මක වූ බවය. එසේම පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් ඔහු පැවසීය.

මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා  සඳහන් කළේය.

එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වූ බව එම බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය පවසා සිටියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ මෙහෙයුම් කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය එහි සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කර තිබුණේ තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත්ය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න : තවත් රටවල් කිහිපයක් එකඟයි !

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය.

ඒ අනුව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බව අලි සබ්රි අමාත්‍යවරයා තැබූ සටහනේ සඳහන් වෙයි.

එසේම නැවත වරක් ඉන්දියාවට , පැරිස් සමාජයට සහ චීනයට ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන බත්ව අලි සබ්රි අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අඛණ්ඩ වැඩ වර්ජනය හබක් : දොස්තරලා වැඩට යන්න තීන්දුවක් !

තම සංගමය විසින් දියත් කිරීමට නියමිතව සූදානම සිටි අඛණ්ඩ වැඩ වර්ජනය ජනාධිපති ලේකම්වරයා විසින් ලබාදුන් ලිඛිත එකඟතාවයන් කිහිපයක් මත අත්හිටුවීමට තීරණය කරන ලද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8.00 ට තාවකාලිකව අත්හිටුවන බවද එම සංගමය නිවේදනය කරයි.

ඒ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය

පසුගිය සිකුරාදා දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාවේදි තීරණය කළ පරිදි රජයේ ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පසුගිය සදුදා දින සිට ආරම්භ විය. ඒ අනුව සඳුදා දින දිවයිනේ පළාත් 4කත්, අඟහරුවාදා එනම්, ඊයේ දිනයේදී සෙසු පලාත් 5 ත් ක්‍රියාත්මක වූ වෛද්‍ය වැඩවර්ජනය අද දින උදෑසන 8.00 සිට දිවයිනේ පළාත් 9 ම ආවරණය වන දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා තීව්‍ර කිරීමට සිදු විය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසිසේත්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තේරීම නොවුණු අතර මාස ගණනාවක් තිස්සේ අප විසින් සිදු කළ සාධාරණ කරුණු දැක්වීම් හමුවේ මුනිවත රැකි අසංවේදී පාලකයන් වැඩවර්ජන ක්‍රියාමාර්ග කරා වෘත්තීය සමිති ව්‍යාපාරය යොමු කල බව පැහැදිලිය.

කෙසේ නමුත් අප සංගමය ඇතුලු සමස්ත රටෙහි ක්ෂේත්‍ර ගණනාවකට අයත් සියගණනක් වූ වෘත්තිය සමිති විසින් මේ මොහොතේ දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා පාලකයින්ට යම් පණිවිඩයක් ලැබී ඇති බව පෙනී යයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අප ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය අප වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇත.

අදාල ලේඛණයට අනුව,

1. අප ඇතුලුව වෘත්තිය සමිති ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර ඇති බදු සංශෝධන පිළිබඳ විකල්ප යෝජනා අඛණ්ඩව සාකච්ඡාවට බඳුන් කිරීමට රජයේ ඇති අභිලාශය ප්‍රකාශයට පත් වී ඇත.

2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය අත්සන් කර ඇති ගිවිසුම 2023.03.20 වැනි දින සිට ආරම්භ වන බව ප්‍රකාශයට පත් කර ඇත. ඉන් අනතුරුව එළඹෙන ආසන්නතම පළමු සමාලෝචන අවස්ථාවේදිම අප විසින් ඉදිරිපත් කර ඇති බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා සලකා බැලීමට රජයේ ඇති කැමැත්ත දක්වා ඇත.

3. බදු සංශෝධන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඍජු ලෙස සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති සඳහා අවස්ථාවක් ලබා දීමට එකඟතාව පල වී ඇත.
4. රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින් රජයේ සේවකයන් වෙත 2023 අග කාර්තුවේදී විශේෂ දීමනාවක් ලබා දීමට ඇති ඉඩකඩ පිළිබඳ කරුණු දක්වා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හරහා ජනතාවට වන අපහසුතාවයන් පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ඉතිහාසය තුලත්, වර්තමානයේත් හැකිතාක් සංවේදි වෙමින් කටයුතු කර ඇත.

ඒ අනුව ඉහත සංවේදි කරුණ මෙන්ම සාමාජිකයන්ගේ අදහස්ද සමීපව සැලකිල්ලට ගනිමින් සිටි මොහොතක, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අප වෙත යොමු කළ ලිපිය හරහා ලබා දී ඇති සංඥා පිළිබඳව ද අවධානය යොමු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, මේ වන විට ආරම්භ කර අඛණ්ඩව දියත් කිරීමට සැලසුම් කර තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙට දින උදෑසන 8.00 ට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී.

කෙසේ නමුත් අප විසින් අපේක්ෂා කළ සුවිශේෂි විසඳුම් කිසිවක් මෙම ලියවිල්ල තුල අන්තර්ගතව නොමැති තත්ත්වය යටතේ අපේක්ෂිත නිශ්චිත විසඳුම් ප්‍රකාශයට පත් වන මොහොත දක්වා මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට සපථ කරමු.

ස්තූතියි.
මීට විශ්වාසී,

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

රවී නිවැරදියි : යළිත් තහවුරුයි !

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නීතිපතිවරයාට නියෝග කළේය.

ඒ අදාළ නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබු අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව ප්‍රකාශ කළේය.

එහිදී අදාළ තීන්දුවේ පිටපතක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණු අතර එය පරීක්ෂාවට ලක්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බවයි.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය තීන්දුව පිරික්සීමේදී කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යා නොහැකි ආකාරයක් පෙනී යන්නේ යැයි ද සඳහන් කර සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව කියා සිටියේය.

මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් සිදුකළේය.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළ අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කෙරිණ.

චීන රජයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක් !

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත භාර දෙනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා එම පරිත්‍යාගය නිරික්ෂණය කිරීමට ද එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230315 WA0022

Page 140 of 390