V2025

පුවත්

ජනපති හමුවූ බිල් ගේට්ස්ගෙන් ප්‍රතිඥාවක් !

දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) පැවසීය.

ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් අතර හමුවක් අද (03) සිදු වූ අතර දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ගෝලීය අභියෝගය සහ නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමට අදාළ වැඩසටහන් සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම දැනටමත් සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් බිල් ගේට්ස් පැවසීය.

ශ්‍රි ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද බිල් ගේට්ස් සඳහන් කළේය.

දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම සඳහා සාමුහික කැපවීමක අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකාව විසින් COP28 සමුළුවට ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බිල් ගේට්ස් මහතා දැනුවත් කළ අතර ලෝකයටම අභියෝගයක් වී ඇති පාරිසරික ගැටළු විසඳා ගැනීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයන් තුළ ඵලදායි කාර්යභාරයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමේ දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ පුළුල් සහ ඵලදායී හවුල්කාරිත්වයක් ඇති කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ නියෝජිත පිරිස සාකච්ඡා කළහ.

අලුත් ගැසට් එක ගැන විශේෂ පැහැදිලි කිරීමක් !

දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම ගැසට් නිවේදනය හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2360/52 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .financeministry

ව්‍යාජ ස්ටිකර් පරීක්ෂාවෙන් සුරා බද්දේ කල්ල මරේ !

මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබෙන ඇති බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබෙන අතර සුරාබදු පනතේ සංශෝධන සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ වන විට වැඩිකරගෙන ඇති ආදායම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියට ද කරගෙන යාම ව්‍යාජ ස්ටිකර් මත්පැන් බෝතල්වල ඇලවීම තවදුරටත් අවම කිරීමට හේතුවන බව මෙහිදී කමිටුව පෙන්වා දී ඇත.

ආර්.ඒ.එම්.අයි.එස් පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එම පද්ධතිය අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.

ඒ අනුව පවතින අඩුපාඩු මඟ හරවා ගනිමින් ලබන ජනවාරි මස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත්කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ප්‍රකාශ කරනු ලැබිණි.

තව ද දැනට පවතින බදු ලිපිගොනු ලක්ෂ 07ක ප්‍රමාණය ඉදිරියේ දී ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා - බ්‍රසීල ජනපතිවරුන්ගේ හමුවක් !

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) අතර හමුවක් ඊයේ (02) පැවැත්විණි.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණ දී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.

එමෙන්ම නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ඇරයුම් කළේය.

කාලගුණයෙන් රතු නිවේදනයක් !

තද සුළං සමඟ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන එම නිවේදනයට අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

111111111111111111

22222222222222222

3333333333333333333

දේශගුණික යුක්ති සංසදයක්” සඳහා ජනපතිගේ යෝජනාවට එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ සහාය !

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව ඊයේ (02) සිදුකරනු ලැබිණ.

ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් (Inger Andersen) සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇසිං ජේන් රූත් Dr. Aceng Jane Ruth) ද එක්ව සිටියහ.

“දේශගුණික යුක්ති සංසදය” දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමුහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකරාශි කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවීමේ ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේය.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව ඉටු කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අලාභ හා පාඩු අරමුදලට වෙන් කර ඇති මුදලට වඩා වැඩි මුදලක් යුක්‍රේනය යුද්ධයටත්, ගාසා තීරයට බෝම්බ හෙළීමටත් වැයකර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශගුණය පිළිබඳ ගැටලුවලට මුදල් වෙන් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස ඉහළ යාමේ තර්ජනයට ස්ථීර විසඳුමක් ලෙස “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඒ සමඟ එක්වන ලෙස තමා සියලු රටවලට ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට පාර්ශ්වකාර රටවල් සමඟ සහයෝගයෙන් එක්වන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉල්ලීමක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයත්නයන් අතර පවතින විෂමතාව අවධාරණය කළාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු අවම කර ගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම “දේශගුණික යුක්ති සංසදය” කටයුතු කරනු ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂවරිය “දේශගුණික යුක්ති සංසදය” සාදරයෙන් පිළිගත්තාය.

පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමේදී දේශගුණික යුක්ති සංසදය වැනි මුලපිරීම් ඉතා වැදගත් බවයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද මෙහිදී අදහස් දැක්වීය. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව ඉන් ඔබ්බට ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. තිරසර අනාගතයක් සඳහා ගෝලීය වේදිකාවකට බලපෑම් කිරීම ඉලක්ක කර ගනිමින් දේශගුණික යුක්තිය සංසදය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ඇතුළත් කරන බවද විදේශ අමාත්‍ය අලි සබ්‍රි වැඩිදුරටත් පැවසීය.

උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ඇසිං ජේන් රූත් (Aceng Jane Ruth) ද දේශගුණික යුක්තිය සංසදය සාදරයෙන් පිළිගත් අතර දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට ප්‍රබල නායකත්වයක් ලබාදීමට එයට හැකිවනු ඇති බව සඳහන් කළාය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, මධුර විතානගේ, අජිත් මාන්නප්පෙරුම, එම්.රමේෂ්වරන් යන මහත්වරුන් ද දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන පිරිසද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2023 12 02 at 18.29.15

හිටපු පොලිස්පතිට ඉහළ තනතුරක් !

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්වරයාට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙම තනතුරට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පොලිස්පතිවරයා පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එසේ වුවද රජයට වැඩි ප්‍රමුඛතාව ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධූරය චන්දන වික්‍රමරත්න පැවරීමට බව වැඩිදුරටත් සඳහන්ය.

  • aruna

ජනපති සහ ප්‍රංශ ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙයි !

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (02) පැවැත්විණි.

දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායකයන් සාකච්ඡා කළහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම ජනපති COP28 ට ඉදිරිපත් කරයි !

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම" ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය.

දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ සිය දේශනය ආරම්භ කළේය.

මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.

එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කළේය.

මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය .

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

ශ්‍රී ලංකාව සහ ‍මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහිදී එළිදක්වනු ලැබීය.

මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බවද පැවසීය.

තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතයි : පොලිස් දඩ පත්‍රිකාවල දඩ මුදල් ගෙවීමේ පහසුකම්

බස්නාහිර පළාතේ තෝරාගත් තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්මේන්තුව විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාල එසේ පැය 24 පුරා විවෘතව පවතී.

 එම තැපැල් කාර්යාල හරහා පොලීසිය මගින් නිකුත්කරන දඩ පත්‍රිකාවල දඩ මුදල් ගෙවීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

'විපක්ෂනායක ගැන තීරණයක් ගන්න' - අගමැති

විපක්ෂනායකවරයා ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කරන හෙයින් ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (01) ඉල්ලීමක් කළේය.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත් පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත් නාඩගමක් නොකරන ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන හෙයින් දේවාලයේ නැටුමක් මෙන් මේ සභාව ක්‍රියාත්මක කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මේ ගැන එක් නියෝගයක් ලබා දිය යුතු බවත් එය හෙට සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  හමුවී තිබේ.

ඒ, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරයි.

රනිල් වික්‍රමසිංහ  සමග විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතුවේ ය.

සමුළුව අතරවාරයේ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සමග ද ජනාධිපතිවරයා සාකච්ඡාවල නිරත විය.

උසස් පෙළට පෙනී සිටින සිසුන්ට ශිෂ්‍යත්වයක්

අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් දී තිබේ.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත් එම ශිෂ්‍යත්වය ලබාදීමට නියමිතය.

ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මඟපෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අද (01) දින සිට ආරම්භ කෙරේ.

දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට මේ අනුව කටයුතු කරනු ලබයි.

පසුගිය වසරේද ළමුන් 3,000ක් වෙනුවෙන් මාස 24ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල මඟින් කටයුතු කරනු ලැබීය.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk, ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත එම අයදුම්පත් භාරදීමට කටයුතු කළ යුතුය.

දේවගැති ජෙරම් රිමාන්ඩ්

බෞද්ධාගමට හා ආගමික සහජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබිය.

බෞද්ධාගමට හා ආගමික සහජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවීමෙන් පසු විදේශගතව සිටි දේවගැතිවරයා පසුගියදා යළි දිවයිනට පැමිණියේය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර, ඔහුගෙන් පැය 10 ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඩයනා, සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුව‍යි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව නිර්දේශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන පළමු වාර්තාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ විසින් අද(01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත්, එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව සහ මෙම වාර්තාව අතර පරස්පරතාවයක් පවතින බවයි.

නියෝජ්‍ය කතානායකවරයාගේ කමිටුව විසින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට මාස 3ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස නිර්දේශ කර තිබූ නමුත්, ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව එය මසක කාලයක් දක්වා අඩුකර ඇති බව සිද්ධියට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරිමේදී විවාදාත්මක තත්ත්වයක් ද හට ගැනිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවිය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු CID අත්අඩංගුවට

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ​​​​​​​

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව  පැවසුවේ, පාස්ටර් ජේරම් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පාස්ටර් ජේරම් ප්‍රනාන්දු මීට ටික වේලාවකට පෙර අධිකරණයට රැගෙන විත් තිබේ.

අභියාචනාධිකරණය කරන ලද නියෝගයක් අනුව ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරිමෙන් අනතුරුව ප්ලාස්ටර් ජේරම් ප්‍රනාන්දු පසුගිය කාලයේ විදේශගතව සිටියේ ය.

ඒ ඔහුට විදේශගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබියදියි.

පාස්ටර් ජේරම් ප්‍රනාන්දු විදේශයක සිටම තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණ.

එම අභියාචනය සලකා බලමින් අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ, ඔහු දිවයිනට පැමිණ පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

එම නියෝගය අනුව පෙරේදා දිවයිනට පැමිණි පාස්ටර් ජේරම් ප්‍රනාන්දු ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

ක්‍රිකට් පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් අස්වී තිබේ.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ශාරීරික අභ්‍යාස කළමනාකරු ග්‍රාන්ට් ලූඩ්න් යන දෙදෙනාය.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ එම ඉල්ලා අස්වීම් දෙකම පෞද්ගලික හේතු මත සිදුවූ ඒවා බවය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත්කළ විශේෂ ඇමති අනුකමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ජාතික කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති ක්‍රීඩකයින් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව සඳහා මේ දිනවල අබුඩාබි ටී ටෙන් ලීග් තරගාවලියට සහභාගි වී සිටින දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවී තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ක්‍රියාවලිය, ක්‍රිකට් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ගෙන් අදහස් ලබාගත් බව වාර්තාවෙයි.

ජනපති ඩුබායි යයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියේ ය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Page 139 of 473