V2025

පුවත්

නිපා ගැන සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.

ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.

මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකු හට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා.

වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.

උසස්පෙළ විභාගය කල් යයි

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත  පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා අද(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

ඒ අනුව, ලබන සතියේ සංශෝධිත උසස් පෙළ විභාග කාලසටහන ප්‍රකාශ කරනු ඇත බවත් පාසල් වාර සටහනට හානියක් සිදු නොවන පරිදි එය සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන් : තීන්දුව ලබන බ්‍රහස්පතින්දා

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර සිදුකිරිමේ චෝදනා මත පැවති නඩු විභාගය අවසන් කර තිබේ.

දින 04 ක් පුරා සාක්ෂි විමසීම් සහ විත්ති වාචික කැඳවීම සිදුකෙරුණේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයේදීය.

නඩු විභාගය අද (21) අවසන් කෙරුණද තීන්දුවක් ප්‍රකාශයට පත් නොකෙරුණු අතර එය ලබන බ්‍රහස්පතින්දා (28) නිවේදනය කිරීමට නියමිතය.

මෙම චෝදනා මුලුමණින්ම අසත්‍ය බවත් සිය සේවාදායකයාගේ චරිතයට හාණියක් කිරීමේ අරමුණින් ගොතන ලද්දක් බවටත් පසුගිය දින 04 පුරා ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ් විසින් අධිකරයේදී අවධාරණය කළේය.

කෙසේවෙතත් අදාළ තරුණියගේ පාර්ශවය එම මතය බැහැර කල අතර මෙම සිදුවීම හමුවේ ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බයි සඳහන් කෙරුණි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණි.

එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු විමර්ශන අංශ පියවර ගත්තේය.

කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාවට අදාළව ධනූෂ්ක ගුණතිලකට එරෙහිව මෙම නඩු විභාගය සිදු කෙරුණි.

ජනපති සහ සමන්තා පවර් අතර හමුවක් 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ජාත්‍ය ජනපති සහ සමන්තා පවර් අතර හමුවක් න්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර්  අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සමන්තා පවර්  වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිළි කිරීමක් සිදු කළ අතර, එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කළේය.

දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත්ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරිමේ අභියෝගයට මුහුණ දී සිටින බවත්, මෙම තත්ත්වය හමුවේ දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.

කෙසේ නමුත්, දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන් අනුගත කරවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම කටයුතු කඩිනමින් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වාදීම තුළින් සමාජ සුබසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා අඛණ්ඩව සහය දක්වන අතරම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ද ලබා දීමට කටයුතු කරන බව සමන්තා පවර්  මෙහිදී ප්‍රකාශ කර සිටියා ය.

IMG 20230920 WA0016

ඕස්ට්‍රේලියානු කාන්තාව ධනුෂ්කගේ පෙර ආත්මයත් කියලා !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර ඇත .

අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි.

එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි.

එහි දී ධනුෂ්ක පොලිසියට පවසා තිබුණේ, තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බව පැවසූ බවයි.

තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවට පැවසීමත් සමඟ ඇය ගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බව ධනුෂ්ක අත්අඩංගුවට ගත් දිනයේදීම ඔස්ට්‍රේලියානු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

අලුයම 03ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයට යා යුතු බව තමා ඇයට පැවසූ බවත් ඇගෙන් වෙන් වීම ඉතා සුහද ආකාරයෙන් සිදු වූ බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන්ය.

එමෙන්ම තම හෝටලයට යාම සඳහා කුලී රථය ගෙන්වා දුන්නේ ද එම කාන්තාව විසින් බව ධනුෂ්ක පොලිසියට පවසා තිබිණි.

ධනුෂ්ක දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තමාට කාන්තාව එල්ල කරන ලද අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

අධිකරණයේ දී අද අනාවරණය වූ තවත් කරුණක් වන්නේ, අදාළ කාන්තාව ගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන් ඉරා විසිකොට ඇති බවයි.

සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කාන්තාව ධනුෂ්ක ගුණතිලක ගේ නිතිඥ මුරුගන් තංගරාජ් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එය පිළිගනු ලැබීය.

එය අත්වැරදීමක් ලෙස සඳහන් කළ ඇය, අදාළ කාන්තාවට ලිංගික අපයෝජන චෝදනාවක් ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් කළේ දැයි ධනුෂ්ක ගේ නීතිඥයා නැඟූ ප්‍රශ්නය පොලිස් කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම ධනුෂ්ක විසින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදු කළ බවට අදාළ කාන්තාව මූලික පැමිණිල්ලේ සඳහන් නොවන්නේ මන්දැයි නීතිඥයා මෙහි දී විමසා තිබේ.

මේ අතර, ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව පළමුවෙන් හමුවූ දිනයේ සීසීටීවී. දර්ශන අද පළමු වරට අධිකරණය විසින් මාධ්‍යයට අනාවරණ කළේය.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය හෙට අවසන් වීමට නියමිතය.

තිරසර සංවර්ධන ඉලක්ක  සපුරා ගැනීමේ ප්‍රගතිය ගැන ජනාධිපති ගේ නොසතුට !

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (19) ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුලපිරිමක් බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර ගැනීමට අප කැපවී සිටියද සම්පත්වල මතුව ඇති දැඩි හිඟය ඊට බාධාවක් වී තිබෙනවා.

එසේම 2020දී මුහුණදීමට සිදු වූ ගෝලීය වසංගත අපේක්ෂිත ඉලක්ක කරා ළගා වීම තවදුරටත් පසුබෑමට ලක්කර තිබෙනවා. ඒ නිසා සීමිතව පැවති සම්පත් තවදුරටත් සීමිත වුණා.

වසංගත තත්ත්වය මගින් පෙර පැවති ගෝලීය ණය අර්බුදය තවදුරටත් උග්‍ර කළ අතර එම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් බංකොලොත්භාවයට ඇද දැමුවා.

දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ වත්මන් තත්ත්වය තුළ තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර හැකිද යන්නයි.

අප ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගතහොත්, 2019 දී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අපගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් ආයෝජනය කිරීම ප්‍රමාණවත් වනු ඇතැයි අප ඇස්තුමේන්තු කර තිබුණා.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ සිදු වූ ආර්ථික බිඳ වැටීම හා ඉන් අනතුරුව මුහුණදීමට සිදුවූ ආර්ථික අර්බුදය මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මහත් බාධාවක් වූ බව කිවයුතුයි.

එසේම ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම 2030 ට පෙර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍යයි. එය සපුරා ගැනීම ද විශාල අභියෝගයක්.

මෙම දරුණු ආර්ථික ගැටලුකාරී තත්ත්වයට ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවේ සහ අප්‍රිකානු බොහෝ රටවලට ද මුහුණදීමට සිදුව තිබෙනවා. බංකොළොත්භාවයෙන් මිදීමට සමත් රටවල් පවා මෙම අර්බුදය හමුවේ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදෙමින් සිටිනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට 2030 වන විට ඩොලර් ට්‍රිලියන 5.9ක මුල්‍ය සම්පාදනයක් අවශ්‍ය බව G20 සමුලුව මෑත කාලීනව පෙන්වා දී තිබෙනවා. මීට අමතරව, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට පිවිසීම සඳහා ඩොලර් ට්‍රිලියන 4 ක වාර්ෂික ආයෝජනයක් අවශ්‍ය වෙනවා.

බොහෝ ජාතීන්ට බලපා ඇති පෙර නොවූ විරු මූල්‍ය ව්‍යසනය හමුවේ මෙම ඉලක්ක සපුරා ගත හැකිද යන්න පිළිබඳ විවේචනාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.නව ගෝලීය මූල්‍ය පනත සඳහා වූ පැරිස් සමුළුව මූල්‍ය අභියෝගවලට මුහුණ දීමේ සහතිකයක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, ගෝලීය මූල්‍යකරණයේ මෙම සංකීර්ණ සහ භයංකර තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග ජය ගැනීමට මෙම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ප්‍රවේශවීමේ කඩිනම් අවශ්‍යතාවය අවධාරණය කිරිමට කැමතියි.

IMG 20230920 WA0015

ජනපති සහ නේපාල අගමැති හමු වෙති !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්  අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා සහ නේපාල ජනතාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් බොහෝ සමානතාවයන් පවතින බවත්, දෙරට අතර සබදතා පුළුල් කර ගැනීමේ දී එය මනා රුකුලක් වනු ඇති බවත් මෙහිදී නායකයන් දෙපළ පිළිගත්හ.

එසේම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අධ්‍යාපන අවස්ථා ඉහළ නංවා ගැනීම මගින් අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර බහුපාර්ශ්වික සංසදවලදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයන් විසින් සාකච්ඡා කරන ලදී.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

ලංකාව මෙච්චර ඉක්මනින් ණය ගෙවයි කියා හිතුවේ නෑ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අගමැතිනි ෂෙයික් හසීනා  සහ බංග්ලාදේශ ජනතාව වෙත සිය කෘතඥතාව පළ කළේය.

එහිදී බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා බංග්ලාදේශයේ ත්‍යාගශීලී ගුණය පිළිබඳව සිය බලවත් ප්‍රසාදය පළ කර සිටියේය.

මීට ඉහතදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා ලැබුණද නොවැළැක්විය හැකි හේතුන් මත ඒ සඳහා අවස්ථාව අහිමි වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

IMG 20230920 WA0008

විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩි කිරීමට පියවර !

පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පවසයි .

සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා වසර පහක පමණ කාලයක් ගත වන බවත් වසර පහකදී මෙම ප්‍රශ්නය අනිවාර්යෙන්ම විසඳීමට ඒ අනුව හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කරයි.

ඉදිරියේදී වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ විජේසූරිය මහතා එම පිරිස පැමිණි පසු මෙම අර්බුදකාරි තත්වයට විසඳුම් ලැබෙනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කර සිටියි.

පුහුණුව ලැබීම සඳහා වෛද්‍යවරුන් 600 ක පමණ පිරිසක් විදේශගතව සිටින බවත් මෙම පිරිසෙන් කොටසක් නොපැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

නමුත් ඉන් සියයට 50ක් පැමිණියත් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පිරිස තව වසරකින් පැමිණීමට නියමිත බවද ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල පහළට

අත්‍යවශ්‍ය පාරිභෝගික අහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

ඒ අනුව සොයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සන් ඇතුළු අහාර ද්‍රව්‍ය 6ක මිල පහළ දැමීමට සතොස පියවර ගෙන ඇත.

නව මිල ගණන් අද (සැප්. 20) සිට ක්‍රියාත්මක ය.

සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.

එමෙන් ම, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූණු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 620කි.

ලොකු ළූණු කිලෝවක් ද රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299ක් දක්වා පහළ ගොස් ඇත.

ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග්  (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමඟ සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රිම බුද්ධිය ( AI) භාවිතා කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකාවේ ආර්ථිකය යළි ගොඩ නැගීමේ වැඩපිළිවෙළට සහය දෙනවා - දකුණු කොරියානු ජනපති

ආර්ථිකය යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් පවසයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදීය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෙන යන වැඩපිළිවෙළ දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට, දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන්නැයි ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කළේ ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වීමට ජනාධිපතිවරයා මේ දිනවල අමෙරිකාවේ රැඳී සිටි.

අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (සැප්. 18) නිකුත් කර ඇත.

ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වලට, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව සියලු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධනගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

18 785x1024

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනයක් !

ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් සහ අඩුආදායම් ලාභී පවුල්වල විදුලි බිල තුළනය කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රැන්චේ සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .

අදාළ සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (18) පවත්වා ඇත.

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති සහ සැළසුම්, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .

ප්‍රවීන නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්ත වෙයි

සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද(18) අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය පසුවූයේ 64 වැනි වියේය.

1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් විය.

1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ මහත්මිය 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දැක්වූවාය.

2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඇය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළාය.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළුත් කිරීමේන අනතුරුව ඇය අද(18) අළුයම ඇය අභාවප්‍රාප්ත විය.

දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය.

ලවක් දෙවක් නැතුව පොලිසියට බනින අයට ටිරාන් කිව්ව කතාව !

සමහරුන් පොලීසියට කොතරම් බැන වැදුනද, අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේද ශ්‍රී ලංකා පොලිසිය පමණක්ම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අමතමිනි .

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත උත්තමාචාර පිළිගැන්වීමත්, සර්වාගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කළේය.

ඉන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍ය වරයා, ඒ හා සමගාමීව පොල්පිතිගම පොලිස් ස්ථානය විසින් සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනකට සහ මහජන හමුවකට සහභාගී විය.

මෙම මහජන හමුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  ප්‍රකාශ කර සිටියේ, වසර ගණනාවක් අවශ්‍යතාවයක්ව තිබූ නව ගොඩනැගිල්ල නිම කොට ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත්, පසු ගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්වයක පැවති බවත්, පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණු බවත්, පසු ගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහල නංවා තැබීමට හැකී වූ බවත්‍ ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ, පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලීසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු නිසා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීමට හැකි වූ බවද, එයට ප්‍රති උපකාරයක් ලෙස සියළුම පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරන බවත්, මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බවත් ය.

මෙවර උසස්පෙළ විභාගයේ වාණිජ අංශයේ කුරුණාගල දිස්ත්‍රික් ප්‍රථමයා මෙන්ම දිවයිනේම 12 වැනි ස්ථානය හිමි කරගත්, පොලිස් නිලධාරියෙකුගේ දියණියක වන කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ එම් සාවින්දි පූර්ණිමා ජයවර්ධන දියණියට අමාත්‍ය ටිරාන් අලස්  විසින් විශේෂ ඇගයීමේ ත්‍යාගයක් පිරිණැමීමද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.

zdfsdfe33

කවුදෝ කෙනෙක් සජිත්‍ට අගමැති වෙන්න කියා ආරාධනා කරලා !

ආන්ඩුවේ අගමැති කම බාර ගන්නා ලෙස අදට ද ඇතැමුන් තමන්ට යෝජනා කරන නමුත් ප්‍රතිපත්ති කඩ කරමින් පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් අගමැතිකම් භාර ගැනීමට තමන් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එනිසා සක්විති කම රජකම දෙන බව පැවසුවත් ජනවරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැති කම බාර ගැනීමට තමන් සූදානම් නැති බව ද ඔහු සඳහන් කරයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.

තමන් සහ ආණ්ඩුව අතර කිසිදු දේශපාලන ඩීල් එකක් නැති බව ද ඔහු එහිදී පැවසීය .

ජනාධිපති කියුබාවෙන් ඇමරිකාවට !

කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා මෙවර සැසිවාරය පැවත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සැප්තැම්බර් 21 වනදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 18 වනදා පැවැත්වෙන, 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.

එසේම එදින ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු - පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.

Page 141 of 449