V2025

පුවත්

අති විශේෂ අරක්කු මිල අඩු කරන්න දැනුම්දීමක් !

අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මත්පැන් නිෂ්පාදකයන් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී බවද දැනගන්නට ඇත.

එහිදී අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස දන්වා ඇති බවත් වාර්තා වන අතර මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට බවත් වාර්තා වෙයි.

නමුත් මත්පැන් නිෂ්පාදකයන් ඊට එකඟතාවක් දක්වා නොමැති අතර සුරාබදු හා මත්පැන් නිෂ්පාදන වලට පනවා ඇති බදු ඉහළ නිසා මිල අඩු කිරීමට නොහැකි බව ඔවුන් පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

පොහොට්ටුවේ ඉතිරි මන්ත්‍රී පිරිසෙන් කොටසක් රනිල්ගේ සහායට එනවා - පියල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම සඳහා එක්වන බව රාජ්‍ය ඇමති පියල් නිශාන්ත සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට තීරණයක් ගත්තේ පාක්ෂිකයන් හා හා රට ගැන සිතා බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ බව සඳහන් කර සිටියේ බම්බලපිටිය ලෝරිස් පෙදෙස පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

‘පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉතාම සුළු පිරිසක්, සියලු මන්ත්‍රීවරු එක්ක කතා කරානම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. මේක කීපදෙනකුගේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක්. බැසිල් සහ මහින්ද බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව හොඳ තීරණයක හිටියා. හැබැයි එතැනට කුමන හෝ විෂබීජයක් ඇතුළු වුණා. කොහොම වුණත් අපිට පොදුජන පෙරමුණ හෝ අපේක්ෂකයෙක් එක්ක තරහක් හෝ තරගයක් නෑ’

උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුම් ලබා දීමට “යාපනයට ගංගාවක්”

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.

මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

මෙම ජල පවිත්‍රාගාරය ලංකාවේ ප්‍රධාන ජල පවිත්‍රාගාරය ලෙස ආරම්භ කෙරෙනවා. මෙම පවිත්‍රාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය ලබාදුන් මෙම ප්‍රදේශයේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. මෙම ගම්මානයට ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එය ඉටුකරන ලෙස මම ආණ්ඩුකාරතුමියට උපදෙස් ලබා දෙනවා. මේ පවිත්‍රාගාරය ආරම්භ කිරීමත් සමඟ යාපනයේ පානීය ජල ගැටළුවට බොහෝ දුරට විසඳුම් ලැබෙනවා. ඉදිරියේ පුනරින් ප්‍රදේශයට ජලය ලැබෙන පාලිආරු ජලාශයේ කටයුතු ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම යාපනයට ගංගාවක් වැඩසටහන ආරම්භ කිරීමට ද මම තිරණය කර තිබෙනවා. මේ පවිත්‍රාගාරය සහ යාපනයට ගංගාවක් වැඩසටහන ක්‍රියාත්මක වූ විට යාපනයේ ජල ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසඳෙනවා. එවිට වඩමාරච්චි ප්‍රදේශය නැවත සශ්‍රික ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පානීය ජලය සඳහා අප මුදල් ගෙවිය යුතුයි. සුර්ය බලශක්ති ව්‍යාපෘති මගින් එම පිරිවැය අඩුකර ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදේශයට බිංදු ජල සම්පාදනය (Drip Irrigation) වැනි වාරිමාර්ග ක්‍රම ගෙනවිත් නවීන කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. අපි ජලයට මුදල් ගෙවනවා නම් අප ලබා ගන්නා ජලයෙන් උපරිම ලාභය ලබා ගැනීමටත් කටයුතු කළයුතුයි. මෙම වැඩසටහන් හරහා අප තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළයුතුයි.

ඒ වගේම ඉන්දියාව සමඟ එක්ව කංකසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. සිමෙන්ති කර්මන්ත ශාලාව තිබු ස්ථානයේ ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. ඒ වගේම පලාලි දියුණු කළ විට එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකියි. විශේෂයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය විශාල වශයෙන් නිපදවිය හැකි අතර එයින් තවත් ආදායම් ලබාගත හැකියි. ඒ අනුව ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි.

රජය යාපනය විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු නොකරන්නේ මෙහි විශ්වවිද්‍යාල දෙක තුනක් ආරම්භ කිරීමට පළාත් සභාවට හැකියාව තිබෙන නිසයි.යුද්ධය අවසන් වී මේ වන විට වසර 20ක් පමණ ගතවි තිබෙනවා. දැන් අප සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ආරම්භ කළයුතුයි.

මෙම පවිත්‍රාගාරය ලබා දුන් ආසියනු සංවර්ධන බැංකුවට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. අප බංකොළොත් රටක් බව ප්‍රකාශ කර තිබු සමයේත් ඔවුන් අප වෙනුවෙන් මෙම කටයුත්ත ඉටු කර දුන්නා. දැන් අපි අපේ නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනය එක්සීම් බැංකුව සමඟත් ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. ඒ වගේම බැදුම්කර හිමියන් සමඟත් අපි එකඟත්වයට පැමිණ තිබෙනවා. නිල ණයකරුවන් සමඟ අප මේ වන විටත් එකඟත්වයට පැමිණ තිබෙන නිසා එම රටවල ආධාර දැන් අපට ලැබෙනවා. ජපානය මෙරට ආරම්භ කර අතරමග නැවතුණ ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් රටවල සංවර්ධන ව්‍යාපෘතිද ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මම එකඟත්වයට පැමිණි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර එම ගිවිසුම් අත්සන් තැබීම මේ වන විට සිදු වෙනවා. දියර කිරි නිෂ්පාදනය දියුණු කිරීමට අමුල් සමාගම සමඟ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි රටේ ආදායම් ඉහළ නංවාගත යුතුයි. අප මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. එවිට රටේ ආර්ථිකය දියුණු වෙනවා වගේම යාපනය මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.

මේ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් ඇමතිතුමාට මා ස්තූති කරනවා. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වි කඳුකරයේ නව ගම්මාන ඉදිකිරීමට අපි කටයුතු කරනවා.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්,

පානීය ජලය යනු මූලික අයිතිවාසිකමක්. එය පුරවැසියාට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට වියදම වැඩියි කියා ප්‍රශ්නයක් ආවා. නමුත් පුරවැසියන්ගේ පානීය ජල අවශ්‍යතාව තහවුරු කිරීමට අප මේ අභියෝගය භාර ගත්තා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරය භාරගන්නා විට උතුරේ පානිය ජල සැපයුම 4%යි. අද සිට එය 40%ක් දක්වා වැඩි වෙනවා. මෙම ව්‍යාපෘතිය ගෙන ඒමේදී ගම්මාන කිහිපයක් ඉඩම් ලබාදීමට කැමැති වුණේ නෑ. නමුත් මේ ඉඩම ලබාදීම පිළිබඳ තලෙයිඅඩි ගම්මානයේ වැසියන්ට ස්තුතිවන්ත වෙනවා.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,

දෙමළ ජනතාවට පිපාස කිහිපයක් තිබෙනවා. එනම් සංවර්ධනය සම්බන්ධව පිපාසයක්, අයිතීන් සම්බන්ධව පිපාසයක් වගේම පානීය ජල පිපාසයක් තිබෙනවා . ජනාධිපතිවරයා මේ පිපාසවලට විසඳුම් ලබාදෙමින් සිටිනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මේ ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ උතුරේ ජනතාවගේ පානීය ජල අයිතිය ලබාදීමට යි. මේ පළාතේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ජනාධිපතිතුමා සමඟ සම්මුතියෙන් ඉදිරියටත් යා යුතු බව මා ප්‍රකාශ කරනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මිය,

උතුරු පළාතේ මෙම දැවැන්ත පානීය ජල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහාය වීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. 2015 වසරේදී එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ සමස්ත ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ සඳහා අවශ්‍යව තිබූ අතිරේක මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. 2017 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ අතිරේක මූල්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ මෙම ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රගතියක් අත්කර ගත්තා. මෙම ගිවිසුම මඟින් මුහුදු ජලය නිර්ලවණ කරන පවිත්‍රාගාරය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසූ අතර, එහි ඉදිකිරීම් සහ වසර පහක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව ව්‍යාපෘතියේ අතිරේක වියදම් ආවරණය කිරීම ද සිදුවුණා.

ජනාධිපතිතුමාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 3ක පමණ ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් වු සුරක්ෂිත පානීය ජල පහසුකම අද ලැබී තිබෙනවා. මීට අමතරව, යාපනය නගරයේ වෙසෙන පුද්ගලයින් 80,000කගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු වී ඇති අතර උතුරු පළාතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ද මින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති : ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි (පොඩි හාමුදුරුවෝ) අපවත් වී තිබේ.

අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය.

අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අගෝස්තු 05 වනදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.

ජනපතිවරණයට පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්....

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අදාළ මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

police 1

gov 2

පොහොට්ටුවේ තවත් පිරිසක් රනිල්ගේ සහායට !

පොදුජන පෙරමුණේ තවත් පිරිසක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට එක් වීමේ සූදානමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්විය යුතු බව පවසන පාර්ශ්වය ලෙස තවත් පක්ෂ එක් කර ගනිමින් නව සන්ධානයක් ගොඩනැගිමට තීරණය කර ඇතිබවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංත්‍රීවරුන් 93 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ඊයේ (31) පැමිණි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු දකින්න ලැබුණත් පොදුජන පෙරමුණේ කියා අපේක්ෂකයකු පෙනෙන්නත් නැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සිරිසේනගේ වාරණය දීර්ඝ වෙයි : විජේදාසට සොරි වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන ට පැන වූ වාරණය ඔක්තෝබර් මස 04 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද (01) නියෝග කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනුකුළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම වාරණය නිකුත් කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

මේ සමඟ එළැඹෙන ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පෙනී සිටීමට කිසිදු හැකියාවක් හිටපු ජනාධිපතිවරයාට නොලැබේ.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ද පසුගියදා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙනි. කෙසේ වුවත් එම අපේක්ෂාව මේ සමඟ බොඳ වෙන තත්ත්වයක් පෙන්නුම් කරේ.

පොලිසියේ පරිපාලනය පතිනායකට !

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - (පරිපාලන) තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන ඇත.

පොලිස් කොමිසමේ සාමාජිකයින් අද (01) රැස්වී වහාම ක්‍රියාත්මක වනපරිදි නැවත දැනුම්දෙන තුරු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩබැලීම සඳහා ලලිත් පතිනායක පත් කිරීමට පියවර ගත් බව පොලිස් කොමිසම පැවසීය.

නීතිපති උපදෙස් අනුව මෙම පත් කිරීම සිදුකර තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරන ලලිත් පතිනායක එම ධුරයේ රාජකාරී කටයුතුවලට අමතරව මෙලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) තනතුරේ වැඩබැලීම සඳහා පත් කර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.

දිනේෂ් එක්ක පක්ෂයම රනිල්ට !

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර ඇත.

පොහොට්ටු අපේක්ෂකයා නම් කරන්න බැරි අර්බුදයක !

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු පැවසීය.

කෙසේ වුවත් මීට පෙර සඳහන්ව තිබුණේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙත පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි සඳහන් කර තිබුණත් පක්ෂ අභ්‍යන්තරයේ තවමත් ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයන් කිහිපදෙනකු ඊට එකඟතාවයක් දක්වා නැති බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙස විවිධ පාර්ශව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

රනිල්ට සහාය දෙන්න : සාගර වෙනුවට රමේෂ් දාන්න : මාතරදී සම්මතයි !

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට සහ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ අමාත්‍යවරයා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද (01) සිදුව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ යෝජනා දෙක ඉදිරිපත් කර ඇති අතර ඒකජන්දයෙන් එම යෝජනා සම්මත වී ඇත.

මාතර පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගීව තිබේ.

රජයේ පාසල් සිසුන්ට අද සිට රක්ෂණයක්

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා  අත්සන් තැබී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රු. 300,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රු. 20,000ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රු. 1,500,000ක් දක්වා ප්‍රතිලාභ හිමි වන බවයි. එමෙන් ම අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවක දී – රු. 200,000ක් ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000ක් ද, තාවකාලික අකර්මණ්‍යතාවයක දී – 25,000 සිට 100,000 දක්වා ද ප්‍රතිලාභ හිමි වන බවත් ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රු.180,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම ‘ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000 බැගින් ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000 වන බවත් පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තවද පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයකි.

දැනට හයක් ඇප තියලා !

එළැඹෙන 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි.

එකී නිවේදනය අනුව මෙතෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයන් මෙසේය.

වත්මන් රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක යන අය ඇප මුදල් තැන්පත්කර ඇත.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.E 01

පොලිස් ඇමති ටිරාන්ට මරණ තර්ජන !

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අමාත්‍ය ටිරාන් අලස් ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බවයි.

ඉතුරු පොහොට්ටු ටිකත් ඉදිරි දින කිහිපයේ රනිල්ට පිපෙනවා !

පොදුජන පෙරමුණ පක්ෂයේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “එක්ව ජයගමු” තේමාව යටතේ බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි .

පෙර සූදානමක් වෙනුවෙන් : ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක් !

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ.

එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් කටයුතු කරති.

මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.

අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ.

ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.

එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය.

අවුරුදු දෙකෙන් රට ගොඩගැනීම ආශ්චර්යයක් !

දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව ද සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ආයෝජන මණ්ඩලය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත මෙම වසරේ ලබාදී ඇති ආයෝජන ඉලක්කය ඩොලර් බිලියන එකක් වනවා. මේ වන විට ඩොලර් මිලියන 800ක ආයෝජන රටට පැමිණ තිබෙනවා. නමුත් මේ වසරේ අවසානය වන විට අප ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් සඳහා ගමන් කළ හැකි බවට අප විශ්වාස කරනවා. 2024 වර්ෂය වෙනුවෙන් ව්‍යාපෘති 35ක් සඳහා ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රදේශ රැසක ආයෝජන අවස්ථා ඇති කර තිබෙනවා. නමුත් මැතිවරණය ආරම්භ වීම නිසා ආයෝජනවල යම් අඩුවක් සිදුවිය හැකි බව අප විශ්වාස කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි.

ඒ වගේම නව ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ආර්ථික කොමිසම හරහා බව සඳහන් කළ යුතුයි. එහි සාමාජිකයන් විසින් ඊට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමට නියමිතයි. ඒ වගේම ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම ඉතා කෙටි කලකින් සිදු කරන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

අප විසින් අලුතින් ආරම්භ කළ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (Office of International Trade) මඟින් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා බදු රහිතව අපනයන ඉහළ නැංවීම සඳහා අවස්ථාව හිමිවන බව ද සඳහන් කළ යුතුයි.

ඒ වගේම පෝට්සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක් අවසන් කර තිබෙනවා. ඒ වෙත ජල විදුලිය සැපයීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපායමාර්ගික වැදගත්කම (Business strategic Importance) පනත යටතේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා අයදුම්කරුවන් විසින් තම ව්‍යාපෘති වාර්තාව පෝට්සිටි කොමිසම වෙත ලබාදිය යුතු වනවා. මේ වන විට BSI විස්සකට අධික ප්‍රමාණයක් අප විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. තවත් BSI පනහක් පමණ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද මේ මොහොතේ ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිනවා. දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බව සිහිපත් කළ යුතුයි. මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බව ග්‍රීසිය සහ ලෙබනනය ඇතුළු වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනවා.

මීට වසර දෙකකට පෙර වැටුණු රට ගොඩ ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. එහිදී අපේ යෝජනාව වුණේ දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඒ සඳහා ඔහුට අවස්ථාව ලාබාදිය යුතු බවයි. අපි ඒ බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා සිටියා. එම තෝරා පත්කර ගැනීම නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම මේ මොහොතේ යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව සඳහන් කළ යුතුයි.

පළාත් සභා හිටපු පොහොට්ටුවේ සහ එජාප ප්‍රබලයන් 116 ක් : රනිල් දිනවන්න පෙරමුණ අරගෙන !

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වළක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. අපි සියලුදෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි. අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා. රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. මේ ආණ්ඩුව භාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා. මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා. පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා. දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා.

ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා. එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා. මන්ත්‍රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද, අපි පසු කළේ එවන් තත්ත්වයක්. අපි දැන් රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි. එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා.

ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි. අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියට යා යුතුයි. අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි. ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි. එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා.

නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද, එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා. අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද, නැද්ද, කියා අප තීරණය කළ යුතුයි.

ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසදිය යුතුයි. ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි, රට දියුණු කළ යුතුයි. එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා.

ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි. පක්ෂග්‍රාහී නොවී අලුත් විය යුතු නිසයි. අපි ඒ ගමන යමු. ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු.

2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා. ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ. ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තූති කරනවා. එය රට බේරගත් තීන්දුවක්. අපි දැන් ඉදිරියට යමු. පක්ෂ කැඩීමට අවශ්‍ය නැහැ. අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.

අද ලෝකයේ ප්‍රශ්න තිබෙනවා. අද අළුයම ටෙහෙරාන් නගරයේදී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා. එම ක්‍රියාව මම හෙළා දකිනවා. එය වැරදියි. ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා. එවන් අවස්ථාවක මෙම ක්‍රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ. රටක් සහ රාජ්‍යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි.

එම ජාත්‍යන්තර ප්‍රශ්නය නිසා තවත් කරුණු කිහිපයක් මතුව තිබෙනවා. යුද්ධයක් ඇති වුණොත් තෙල් මිලට මොනව වෙයිද, ඒ වගේම යම් ප්‍රශ්නයක් මතු වුණොත් මැද පෙරදිග සිටින සියලුදෙනා නැවත ලංකාවට ගෙන්වීමට සිදු වෙනවා. 1991 දී ඉරානය විසින් කුවේට් අල්ලා ගත් විට අපට එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. එවිට රටට ආදායම් නැති වෙනවා. දැන් නැගී එන ශ්‍රී ලංකාවට එම තත්ත්වයට මුහුණදීම අසීරුයි.

මේ පිළිබඳ අනිත් රටවල විදේශ ඇමතිවරු සමඟ සාකච්ඡා කරන ලෙස මම විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

මෙම තත්ත්වය පාලනයට ඒකාබද්ධව කළ හැකි වැඩපිළිවෙළ ඔවුන් සාකච්ඡා කරනවා. අපි එම කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ කථානායකවරයා මේ වන විට ටෙහෙරාන් නගරයට ගොස් සිටිනවා. ඔහුව හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. අපි දැන් මෙම තත්ත්වයට සූදානම් විය යුතුයි. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ වගේම මේ නිසා ඇති විය හැකි ආර්ථික විපාක පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට ජාතික ආරක්ෂක උපදේශකතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විතව කමිටුවක් පත් කර තිබෙනවා. ඒ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ආණ්ඩුව දැන් සිටම පියවර ගන්නවා. වේදිකාවේ සිට කෑගහලා වැඩක් නැහැ. ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ඉවත් කරන්න බැහැ. එය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි. මැතිවරණ පැවැත්වුණත් එම වැඩකටයුතු කිරීම අපේ යුතුකමයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. 1988 ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. මම එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග ඊයේ මේ පිළිබඳ කථා කළා.

ඔහුත් ඊට එකඟයි. එම මැතිවරණයේ දී කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කළයුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන මීට තරග කර පළාත් සභාවටද ඒමට හැකි වෙනවා. අපි සියලුදෙනා ආණ්ඩුවක් විදියට කටයුතු කළයුතුයි.

ජනාධිපති, අගමැති ඇතුළු මේ 09 දෙනා සමග ආණ්ඩුව යටතේ ප්‍රධාන මූල්‍ය ඇමතිවරුන්ගේ කමිටුවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සභාවක් අපි යෝජනා කරනවා. ජනාධිපති, අගමැති, පක්ෂ නායකයන් සහ මහඇමතිවරුන් ඊට ඇතුළත් වෙනවා. 2017 වසරේ පළාත් 07ක මහ ඇමතිවරු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ලබා දුන් වාර්තාවේ යෝජනා අනුව වැඩකටයුතු කරනවා. ද්‍රවිඩ පක්ෂ ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී අපි දැනුම් දීලා තිබෙනවා පොලිස් බලතල ගැන පසුව කථා කළ හැකියි, අනෙක් කටයුතු වෙනුවෙන් දැන් අපි ක්‍රියාත්මක වෙමු කියලා. අපිට විශාල වැඩකොටසක් තිබෙනවා කෘෂි නවීකරණය වගේම, පාසල් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරයේ වගකීම් පළාත් සභාවලට දිය යුතුයි. මේ ආණ්ඩු 10න් මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අප සූදානම් වෙමු.

Page 48 of 463