V2025

පුවත්

විප්ලවයේ කෙළවර කුමක්ද?

මාගේ මතය වී තිබුනේ එක විශාල නැගිටීමට පසු ලඟ ලඟ වඩා විශාල නැගිටීමක් ඇති විය නොහැකි බවය. එහෙත් මාගේ ඒ මතය බොරු කරමින් පසුගිය ජූලි 9 වනදා වඩා විශාල (පරණ නැගිටීම මෙන් කිහිප ගුණයක් විශාල) නැගිටීමක් සිදු විය. ඊට අදාළව මා පළකල තිබුන තවත් නිරීක්ෂණයක් ද තිබුනි. එනම් ජනාධිපති ව්‍යවස්ථාපිත රාමුවෙන් පිටස්තර අකාරයකට පලවා හැරීමට දරන බලවත් උත්සහායක් රටේ තිබෙන සංකීර්ණ අර්බුදය උග්‍ර කිරීමට හේතුවී දැන් සිටින අගාධයෙන් ගොඩ එනවා වෙනුවට ගොඩ ඒම ඉතා දුෂ්කර දෙවැනි අගාධයකට ද රට තල්ලු කිරීමට හේතුවනු ඇති බවය. ඇතිවූ මහජන නැගිටීම මගේ දෙවැනි නිරීක්ෂණය බොරු කරන්නේ නැත.

ජූලි 9 වනදා නිරායුධ ස්වරූපයකින් සිදුවූ තරුණ නැගිටීම ලංකාවේ ජේවීපී ආරයකට සිදුවූ තුන්වැනි නැගිටීම ලෙස සැළකිය හැකිය. එහි පළමු සංස්කරණය සිදුවූයේ 1971 දී ය. එය බොහෝ දුරට තමන් විසින්ම තනා ගත් ආයුධ ඇතිව සිදු කල හා ආරක්ෂක හමුදා විසින් ඉක්මණින් පරාජය කල නැගිටීමක් ලෙස සැළකිය හැකිය. ඉන්පසු එහි දෙවැනි සංස්කරණය ක්‍රියාත්මක වුයේ 1986/89 කාලයේදී ය. එය 71 පළමු කැරැල්ලට වඩා විශාල, අවුරුදු දෙකකට වැඩි කාලයක් අල්ලාගෙන සිටීමට සමත්වූ, විශාල ජීවිත හා දේපළ විනාශයක් ඇති කිරීමට හේතුවූ හා බලය අල්ලා ගැනීමට ආසන්න තත්වයකට පැමිණි පසු ආරක්ෂක හමුදාවන් විසින් අනුකම්පා විරහිතව පොඩි පට්ටම් කරනු ලැබූ ප්‍රබල කැරැල්ලක් ලෙස සැළකිය හැකිය. 2022 ජූලි 09 වනදා සාමකාමි නැගිටීමක ස්වරූපයෙන් සිදුවූ තුන් වැනි කැරැල්ල ජේවීපී දෙවැනි කැරැල්ල මෙන් කිහිප ගුණයක් විශාල මෙතෙක් රටේ සිදුවී තිබෙන විශාලතම මහජන නැගිටීම ලෙස සැළකිය හැකිය. එම නැගිටීම රාජ්‍යයේ හමුදා බලය අභිබවා හිමිකරගත් ජයග්‍රහණය සැබෑ ලෙස පෙන්නුම් කරන්නේ මහජන බලයේ ප්‍රබලත්වයට වඩා දීර්ඝ කාලයක් තුළ ප්‍රතිසංස්කරණ නැතිව ජරාජීර්ණභාවයට පත්වෙමින් තිබූ රාජ්‍යයේ බෙලහීනත්වයේ තරමය. ඇතිවූ එම අර්බුදයේ දී මධ්‍යස්ත තත්වයකින් ක්‍රියා කල යුතු ආයතන පක්ෂපාතව ක්‍රියාකරන තත්වයකට පත්වීමෙන් ද රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය ජරාජීර්ණ වී තිබෙන තරම පෙන්නුම් කරයි. ගෝඨාභය රාජපක්ෂ වැනි අධිචෝදනා තිබුන පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉඩ ලැබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද රාජ්‍යයේ ඇතිවී තිබුන පරිහානියේ තරමය. නැවත ඒ පුද්ගලයා බලයෙන් පහ කෙරුන ආකාරයෙන් ද දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණු වීමේ තරම පෙන්නුම් කරයි.

විප්ලවයේ ඇතැම් ලක්ෂණ

පළමු හා දෙවැනි කැරැල්ල පිරිසිදු ජවිපෙ කැරලි දෙකක් ලෙස සැළකිය හැකිය. සාමකාමි හා ඉතා බලවත් මහජන නැගිටීමක් ලෙස සැළකිය හැකි තුන් වැන්න පිරිසිදු ජවිපෙ දෙයක් ලෙස සැළකිය නොහැකිය. එය විශාල ප්‍රමාණයකට පක්ෂ දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන තරුණ කණ්ඩායම් විශාල ගණනකගේ දෙයක් වී තිබුන ද අවසාන මොහොතේ එහි ආධිපත්‍යය සියතට ගනිමින් එම නැගිටීම විශාල ප්‍රමාණයකට තමන්ගේ දෙයක් බවට පත් කර ගැනීමට පෙරටුගාමි පක්ෂය සමත් විය. එම පක්ෂය ජවිපෙ දේශපාලන ගර්භාෂයේම ඉපදුන, එම පක්ෂය සමග තරඟ කරන පක්ෂයක් ලෙස සැළකිය හැකිය. ජවිපෙන් කැඩී වෙන්වී තමන්ගේ පක්ෂයක් හදා ගත්දා සිටම මේ පක්ෂ දෙක අතර තරඟයක් තිබුණද ජූලි නැගිටීම දක්වාම එම තරඟයෙන් ඉදිරියෙන් සිටියේ ජවිපෙය. එහෙත් ජූලි නැගිටීම තුලින් පෙරටුගාමි පක්ෂය ජවිපෙ අභිබවා ගිය දේශපාලන ශක්තියක් හා ආධිපත්‍යයක් පෙන්නුම් කිරීමට සමත් විය. එම තත්වය එම පක්ෂ දෙක අතර ගැටුම් ඇති කිරීමට හේතු විය හැකිය. පෙරටුගාමි පක්ෂය පෙන්නුම් කළ ශක්තිය කෙරෙහි එම පක්ෂයේ විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය ලෙස සැළකිය හැකි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එම නැගිටීම සදහා සටන්කාමි කණ්ඩායම් සුදානම් කිරීම වෙනුවෙන් ඉටු කරන ලද පුරෝගාමි කාර්‍යභාරය ද බලපෑ බව පෙනේ. මේ පක්ෂ දෙක අතරින් ජවිපෙ දැඩි මාක්ස්වාදි රාමුවෙන් ඉවත්වී කිසියම් විශාල ප්‍රමාණයකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයකට යොමුවූ පක්ෂයක් ලෙස සැළකිය හැකිය. පෙරටුගාමි පක්ෂය ඊට වඩා දැඩි මාක්ස්වාදි රාමුවක පිහිටා ක්‍රියා කල ද වර්ග, කුල, ආගම් ප්‍රශ්නයේදී එම පක්ෂය දරන අදහස්, නවීන හා ඉදිරිගාමි බව ද කිව යුතුය.

ජේවීපී කැරලි දෙකේම අරමුණ වූයේ ආයුධ සන්නද්ධ අරගලයක් මගින් බලය අල්ලා ගැනීමය. එහෙත් ජනාධිපති ගෝඨාභය එළවීම ජුලි නැගිටීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබීම නිසා එම න්‍යාය පත්‍රයට ගැලපෙන ලෙස ක්‍රියා කරන්නට පෙරටුගාමි පක්ෂයට සිදුවූ බව පෙනේ. ඒ නිසා ඔවුන්ට හැකිවුයේ රාජ්‍යය බලය වෙනුවට දේශපාලන බලයට අදාල සංකේතාත්මක වැදගත්කමක් ඇති ගොඩනැගිලි තුනක් (ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිරය) අල්ලා ගන්නා ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන්නටය. කෙසේ වෙතත් පෙරටුගාමි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් උස් හඬකින් කියන්නේ කරන්න යන හැම දෙයක දීම පාර්ලිමේන්තුව තම අදහස් සැළකිල්ලට ගෙන ඊට අනුකූලව ක්‍රියා කල යුතු බවය. 9 වනදා සිදුවූ නැගිටීම පෙරටුගාමි පක්ෂයට තිබෙන මහජන බලයේ තරම පෙන්නුම් කරන දෙයක් ලෙස සැළකිය නොහැකි වුවද එම පක්ෂය වර්තමාන දේශපාලන ක්‍රීඩාවේ දී නොසළකා සිටිය නොහැකි ක්‍රීඩකයෙකු බව සනාථ කළේය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුමක් සොයා ගැනීම සදහා වැඩ කරන ජාතික මට්ටමේ දේශපාලන කණ්ඩායම සකස් කර ගැනීමේදී ජවිපෙන් එල්ලවන විරෝධයක් තිබිය හැකි වුවද පෙරටුගාමි පක්ෂයට ද නිසි නියෝජනයක් ලබාදීමට ව්‍යවස්ථාපිත ක්‍රමයක් සොයා ගැනීමට සිදුවනු ඇති අතර ඊට අතිරේක වශයෙන් එම පක්ෂයට සම්බන්ධ නැති තරුණ නැගිටීමට සම්බන්ධ වෙනත් කණ්ඩායම් වලට ද සුදුසු කිසියම් නියෝජනයක් ලබා දීමට සිදුවනු ඇත.

අවසානය කුමක්ද?

ඇතිවූ එක් දින මහජන විප්ලවය රටට ලබා දෙන්න යන ප්‍රතිඵල මොනවා විය හැකිද? එය ලංකාවේ දේශපාලන දේහය වෙලා ගෙන තිබූ රාජපක්ෂ පවුල් ආධිපත්‍යය නැමැති බිහිසුණු පිළිකාව කපා ඉවත් කිරීමක් සිදු කළේ යැයි කිව හැකිය. එහෙත් ඒ මගින් පමණක් රටට කිරි ඉතිරෙන්නේ නැත. දේශපාලන තලයේදී අයථා ලෙස ධනය උපයා ගැනීමේ ලක්ෂණය රාජපක්ෂවරුන්ට පමණක් සීමාවූ දෙයක් ලෙස ද සැළකිය නොහැකිය. 78 ආණ්ඩු ක්‍රමය යටතේ බලයට පත්වූ සියළු ජනාධිපතිවරුන් අතින් ද එම බරපතල වරද සිදුවී තිබෙන්නේ යැයි කිව හැකිය. රාජපක්ෂවරුන් ප්‍රමුඛ වන්නේ ඒ අකාරයට උපයා ගත් ධනයේ පරිමාවේ විශාලත්වය අනුව පමණය. උසස් රාජ්‍ය නිලධාරින්ගේ සහාය නැතිව දේශපාලකයින්ට පමණක් තනියෙන් හොරකම් කල නොහැකිය. දේශපාලන තන්ත්‍රය පමණක් නොව නිලධර තන්ත්‍රය ද දූෂිතය. බංකොළොත්භාවය කෙරෙහි බලපා තිබෙන විදේශ ණය ගැතියාවේ තරම ඩොලර් බිලියන 50 කි. නිදහසෙන් පසු රටේ ඇතිවූ කැරලි කෝලාහල හා යුද්ධ ව්‍යාපාර නිසා සිදුවී තිබෙන විනාශයන්ගේ ප්‍රමාණය ගණනය කර තිබෙන්නේ ඩොලර් බිලියන 200 ක් වශයෙනි. රට බංකොළොත් කිරීමට බලපා තිබෙන එකම හේතුව දූෂණය පමණක් නොවන බව ඉන් පෙනේ. අපට වර්ග, කුල, ආගම් ප්‍රශ්නය ප්‍රචණ්ඩ ගැටුම් ඇති නොවන ලෙස කළමණාකරනය කර ගැනීමට හැකිවී නම් රටේ ආර්ථිකයට එකතුවන අතිරේක අගය ඩොලර් බිලියන 200 කි. රාජ්‍යය සේවක සංඛ්‍යාව කොතරම් විශාල ද කිවහොත් හත් ලක්ෂයක් අවශ්‍ය තැනට පහලොස් ලක්ෂයක් සිටින්නේය. රජයේ ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි සමහර පාඩු ලබන රාජ්‍ය ආයතන, ලංකාවේ ඇති වී තිබෙන බංකොළොත්භාවයට ලබා දී තිබෙන දායකත්වයේ ප්‍රමාණය අති විශාලය.

ව්‍යුහමය ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය ප්‍රධානම දේ ලෙස සැළකිය හැකිය. රාජ්‍යය තිබෙන්නේද, සමාජ-දේශපාලන ක්‍රමය තිබෙන්නේද, අධ්‍යාපන ක්‍රමය හා සමස්ථ ආර්ථිකය තිබෙන්නේද හොඳටම ජරාජීර්ණ වූ තත්වයකය. ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබෙන්නේ ඒ හැම තැනකම තිබෙන ජරාජීර්ණ තත්වය ජයගනිමින් ඒවා අදූෂිත, කාර්‍යක්ෂම හා ඵලදායි තත්වයකට ගැනීම සදහාය. ප්‍රතිසංස්කරණ විෂය ලංකාවේ දේශපාලන හා නිලධර තන්ත්‍රයට නොතේරෙනම හා ඔවුන් අත ගැසීමට කැමතිම නැති විෂය ලෙස සැළකිය හැකිය. අරගලකරුවන්ගෙන්ද එම විෂයට අලුත් ආලෝකයක් ලැබී තිබෙන බවක් පෙනෙන්නේ නැත. මේ මොහොතේ රටේ පැවැත්ම ගැන උනන්දුවක් ඇති හැම කෙනෙකුම තේරුම් ගත යුතු වැදගත්ම දේ වනුයේ ලංකාව දැන් තිබෙන්නේ බිහිසුණු අගාධයක බවත්, ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කරන්නට අසමත් වෙතොත් දැන් සිටින අගාධයටත් වඩා බිහිසුණු, ගොඩ ඒමට පහසු නැති තවත් අගාධයට ඇද වැටීමේ හැකියාව තිබෙන බවත් ය. එම අගාධයට ඇද වැටුන හොත් අපට දශකයක පමණ කාලයක් දිවි ගෙවන්නට සිදුවනු ඇත්තේ 19 වැනි සිය වසේය. ඒ සමග ලංකාව ප්‍රඥාව අහිමි කරගත් හා පරිනත නායකයින් නැති රටක් බවද අමතක නොකළ යුතුය. අපි 21 වැනි සිවසේ ජීවත් වෙමින් ඉදිරියට යනවාද නැතිනම් සියවස් දෙකක් ආපස්සට යනවාද යන්න තීරණය වනු ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ය. මේ තීරණාත්මක මොහොතේදීවත් රටේ දේශපාලන නායකයින්ට බලලෝභයෙන්, ආත්මාර්ථකාමයෙන් හා කට්ටිවාදයෙන් තොරව සමගි සම්පන්නව හා එක්තරා ප්‍රමාණයකට හෝ බුද්ධිමත්ව ක්‍රියා කරන තත්වයකට ආ හැකි වේද?◼️

වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් ගිනුමෙනි

ගෝඨා ගියාද ? කතානායකට වුනේ ටයිමිං ප්‍රශ්නයක් !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ ලිපියකට අත්සන් තබා අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වූ බව lanka lead වෙබ් අඩවිය පවසයි .

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අද ඔහුට ජීවිතයේ කිසි දිනයක නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ පිට වීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ තම ටිකට් එක සහ පාස්පෝට් එක රැගෙන බලපත්‍ර නියමිත කවුන්ටරයට පැමිණෙන ලෙසයි .

එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගුවන් යානයට යාමට හැකි ඉක්මනින් අවශ්‍ය නිසා නැවත එය වෙනත් නිලධාරියෙකු අත යවා තිබුණා එම ආගමන විගමන නිලධාරීන් එහි මුද්‍රා තැබීම ප්‍රතික්ෂේප කොට ඇත.

මේ උද්ගත වූ තත්වයත් සමගම ජනාධිපතිවරයාට ඩුබායි බලා පිටත් වන ගුවන් යානය මගහැරී ඇත මේ වන විට ජනාධිපතිවරයා වහාම කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් සිටි .

කතානායක කතාව වරද්ද ගෙන !

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින්නේ යයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ANI ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

ජනාධීපතිවරයා රටේ නැතැයි තමන් ප්‍රකාශ කළේ වැරදීමකින් බවද ඔහු සදහන් කර ඇත.

කතානායකගේ ටයිමිං ප්‍රශ්නයක් !

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ කතානායක ප්‍රකාශය බොහෝ දුරට වෙලාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මිස, සිදුනොවිය හැක්කක් නොවන බවයි.

ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ සතු ජනාධිපති මුක්තිය අහිමි වන බවත් ඒ තුළ ඔහු රටින් පිටවීම හැර වෙනත් තීරණයක් අපේක්ෂා කිරීම දුෂ්කර බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට බැසිල් රාජපක්ෂ ද රටින් පිටව තම ඇමරිකානු රටට යාමට උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථව ඇති බවත් , ඒ මාර්ගය මිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද වෙනත් මගක් වෙත යොමුවීමේ ඉඩ ඉතා අඩු බවත් දේශපාලන විචාරකයන් පවසයි .

ඊළඟ ජනාධිපති පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි - 43 සේනාංකය

ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී 24 පැයක් තුළ පාර්ලිමේන්තුව මගින් රටට නව ජනපතිවරයෙක් පත් කරදීමට අවස්ථාව උදා කර දිය යුතුය යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු 43 සේනාංකයේ ස්ථාවරය වී ඇත.

ඒ බව සඳහන් කරන්නේ වර්තමාන අර්බුදය හමුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව, පසුගියදා 43 සේනාංකය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති සාකච්ඡාව පිළිබඳ සිදුකර ඇති කරුණු පැහැදිලි කිරීම තුළය.

ඊට අනුව අදාළ සාකච්ඡාව අවස්ථාවේ 43 සේනාංකය විසින් මින් පෙර යෝජනා කළ වහා සිදු කළ යුතු කරුණු 4 ක යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද විශේෂ අවධානය යොමු කරවා ඇත .

එම කරුණු 04 නම්,

1. පුළුල් සන්ධානයකට, එක වේදිකාවකට එළඹෙමින් දැනට ඉදිරිපත් කර තිබෙන, 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ප්‍රශස්ත මට්ටමෙන්, හැකි ඉක්මනින් සම්මත කරගත යුතුය.

2. පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ, ස්වාධීන කණ්ඩායම් වල නායකයන් එක්ව අවබෝධතා ගිවිසුම් සකස් කරගෙන තිබෙන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ සභාවක් පිහිටුවිය යුතුය.

3. වැදගත් ආයතන වලට කාටත් පිළිගත හැකි වෘත්තීය මට්ටමේ නායකත්වයන් පත් කළ යුතුය. අන්තර් කාලීන පොදු වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුය.

4. ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී 24 පැයක් තුළ පාර්ලිමේන්තුව මගින් රටට නව ජනපතිවරයෙක් පත් කරදීමට අවස්ථාව උදා කර දිය යුතුය.
යන්නය.

ප්‍රභූන් රට පැණීම වලක්වන්න : ආගමන විගමන නිලධාරීන් තීන්දුවක් අරගෙන !

ප්‍රභූවරුන් කිහිප දෙනකු මත්තල ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට (MRIA) අනුයුක්ත ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අද (12) සිය සේවාවලින් ඉවත් වීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මත්තල ගුවන්තොට භාවිත කරමින් හිටපු දේශපාලන ප්‍රභූවරුන් රටින් පලායාමට ඇති ඉඩකඩ වැලැක්වීමට මෙම තීරණය ගෙන ඇත.

කටුනායක ප්‍රභූ පර්‍යන්තයේ රාජකාරිවලිනුත් ආගමන විගමන නිලධාරීන් ඉවතට !

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා " සේද මාවත " ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ බව එහි සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මාධ්‍ය වෙත තහවුරු කර ඇති අතර නිවේදනයක් ද නිකුත්කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර , අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .

ගුවන් තොටුපළ මගී විරෝධය නිසා : බැසිල්ට ගෙදර යන්න බැරිවෙලා !

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාරතා වෙයි.

මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කර ඇත .

අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එහිදී " සේද මාවත " (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.

 

අත්පත් කරගත් මන්දිර අස්සේ හොරකම් ඉස්සේ !

අරගලකරුවන් විසින් අත්පත් කරගත් කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ අරලිගහ මන්දිරය යන ස්ථානවල තිබූ වටිනා භාණ්ඩ, පෞරාණික බඩු භාණ්ඩ රැසක් හොරුන් විසින් ගෙනගොස් ඇති බව වාර්තා වෙයි .

ඒවායේ ඇති බඩු භාණ්ඩ ඇතැමුන් ඉවතට ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ ද සමාජජාලාවල වූ හුවමාරු වෙමින් පවතී.

එමෙන්ම එම ගොඩනැගිලිවල තිබූ නාන කාමර, මුළුතැන්ගෙයි ඇතුළු උපකරණ ද විශාල වශයෙන් හානි කර ඇති බව දැක්වෙන ජායාරූප සහ වීඩියෝ ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

ඉකුත් නව වැනි දා එම ගොඩනැගිලි පාලනය අරගල කරවන විසින් අත්පත් කරගත් පසු මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතින අතර ඒ සමගම අතිවිශාල පිරිසක් ඒ වෙත ඇදී එමින් පවතී.

මේ අතර අදාළ ස්ථානවලට අලාභහානි කිරීම වැලැක්වීමට සහ දේපළ සොරා ගැනීම වැලැක්වීමට ගෝල්ෆේස් අරගලකරුවන් හැකි උපරිමයෙන් කටයුතු කරන නමුත් ඒ කටයුත්ත දුෂ්කර වී ඇති බවත් එහි නියෝජිතයන් කිහිපදෙනෙකු පැවසීය .

 

අරගලකරුවන් සහ කතානායක අතර සාකච්ඡාවක් නෑ : අරලිය මැදුරේ ගෝරි !

කථානායක විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්' යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලක් බව 'සර්වපාක්ෂික අරගලකරුවෝ' පවසයි.

 සමාජ මාධ්‍ය ජාලවල පළ වී ඇති නම් ලැයිස්තුව ගැන පැහැදිලි කරමින් 'සර්වපාක්ෂික අරගලකරුවෝ' මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මේ බව සඳහන් කර ඇත .

ඒ අනුව අද (12) පස්වරුවේ ගෝල්ෆේස් අරගලකරුවන් සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ බව කියන සාකච්ඡාවක් සිදුනොවන බවත් වාර්තා වෙයි .

මේ අතර අරගලය නියෝජනය කළ සංවිධානයක ප්‍රමුඛයකු වන ලහිරු වීරසේකර ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ කතානායක සමග අද කිසිදු සාකච්ඡාවක් නොමැති බවය.

අරලිය ගහ මන්දිරයේ අරගලකරුවන් අතර ගෝරි !

තවද අරලියගහ මන්දිරය අත්පත්කරගෙන සිටින අරගලකරුවන් දෙපිරිසක් අතර අද අලුයම් කාලයේදී හටගත් ගැටුමකින් 10 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති බව වාර්තා වෙයි .

එහිදී තවත් පිරිසක් සුළු තුවාල ලබා ඇතත් රෝහල්ගතකර නැති බව දැනගන්නට ඇත .

අරගලයේ නිරත කණ්ඩායම් විසින් අරලියගහ මන්දිරයේ කාමර වෙන්කරගෙන සිටින බවත් එක් කණ්ඩායමක් විසින් වෙන්කරගෙන සිටින කාමරයක් වෙනත් කණ්ඩායමක් විසින් අද අලුයම් කාලයේදී නිදා ගෙන සිටීම මෙම ගැටුමට මුල්වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ජනමතයට කන් දෙනවා - අගමැති

ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11) පැවසීය.

අග්‍රාමාත්‍යවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, පසුගිය ජුලි මස 09 වනදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව කී අග්‍රාමාත්‍යවරයා, කෙසේ වුවද දැන් රටට සර්වපාක්ෂික ආණ්ඩුවක් උවමනා වී තිබෙන බවද සඳහන් කළේය.

තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිවේ, "ගිනි තැබුවේ මට තිබූ එකම නිවසයි. ලංකාවේ මෙන්ම පිට රටත් මට වෙනත් ගෙවල් තිබුණේ නැහැ. ඒ නිවස අද ගිනිබත් කර තිබෙනවා. මගේ ලොකුම ධනය වූයේ පුස්තකාලයයි. එහි පොත් 2500ක් තිබුණා."යනුවෙනි.

මාධ්‍යවේදීන්ට පහර දුන් SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කළ බවයි.

පසුගිය 9 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසල පැවති විරෝධතාවක තොරතුරු වාර්තාකරණයේ යෙදී සිටියදී නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් පිරිස පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසිය පහරදීමට ලක්විය.

පසුව පහරදීම්වලින් තුවාල ලැබූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට එම ස්ථානයට ගිය තවත් නිව්ස් ෆස්ට් කණ්ඩායමකට ද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් අමානුෂික ලෙස පහර දුන්නේ ය.

ඒ අනුව පහර දීමේ සිදුවීමට අදාළව සහ එම පහර දීම වැළැක්වීමට කටයුතු නොකිරීම මත පොලිස්පතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

මෙම නිර්ලජ්ජිත ප්‍රහාරයෙන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 07 දෙනෙකුට තුවාල සිදුවිය.

සර්ව පාක්ෂික ආණ්ඩුවට ඉඩක් : තමන් සූදානම් බව සජිත් කියයි !

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එකී පාර්ශ්වය වෙත වගකීම් භාර දීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින් පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් සමඟ අද ‍(11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

මෙකී සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ විගස, නව රජයට වගකීම් භාර දීම ය.

එසේ නොවුණුහොත් රට අරාජික විය හැකි බව ඔවුන්ගේ අදහසවී ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව වත්මන් කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තෙක් කටයුතු කරනු ඇත.

අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම්! - සජිත්

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, තමන් අලුත් ආණ්ඩුව ස්ථාපිත කිරීමට සුදානම් බවය.

මේ වන විට ඒ වෙනුවෙන් ඔවුන් විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් වාර්තා වෙයි .

 

ඉන්දීය හමුදා එවීම : ඉන්දියාව ප්‍රතිකේෂ්ප කරයි !

ඉන්දීය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොමු කරන බවට පළවූ සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය මේ බව සඳහන් කරන අතර , නිකුත්කළ වාර්තා සහ අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බවත් පවසයි .

ඉන්දියාව සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට උත්සහ දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැහැදිලිව සඳහන් කළ බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත .

වගකීම ගන්න අනුර සූදානම් !

කඩිනම් මැතිවරණයකට යන තුරු ස්ථාපනය කරන අන්තර්කාලීන ආණ්ඩුවේ අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවරෙන වගකීම ඉටු කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

රටේ අරගලකරුවන් අපේක්ෂා කරන දේශපාලන හා ආර්ථික වෙනස සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම ස්ථිර කළ හැක්කේ ලැබෙන ජනතා වරම අනුව බැවින් එතෙක් ජනතාවගේ පොදු වූත් ප්‍රධාන වූත් ගැටලු කිහිපය කඩිනමින් විසඳිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම ජනතා අරගලයේ සැබෑ අරමුණ තුළ විශාල ගැඹුරක් තිබෙන බැවින් එය ක්‍රමානුකූලව කළ යුතු බවත් ඒ අනුව ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බව ත් මන්ත්‍රීවරයා කීය.

මුලින් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තව ත් “අලුත් අලුත් ජිල්මාට් නොදා” වහා ම ඉවත් විය යුතු බව ත් ඒ සමග ම අගමැති රනිල් වික්‍රමසිංහ ද විවිධ තර්ක විතර්ක කරමින් බලයේ රැඳී සිටීමට ප්‍රයත්න නොදරා ඔහු ද ඉවත් විය යුතු බව ත් පැවසීය.

විශේෂයෙන් ම රටේ දේශපාලනයේ ත්, ආර්ථිකයේ ත්, සංස්කෘතිය තුළත් වෙනස් විය යුතු විශාල කරුණු රාශියක් අරගලය තුළ තිබෙන අතර ඒවා ඉටු කිරීම වෙනුවෙන් තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ඇපකැප වන බව ඔහු සහතික කළේ ය.

එම නිසා ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බව ත් ඊට කලබල විය යුතු නැති බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

මෙම ජයග්‍රහණය ස්ථිර ජයග්‍රහණයක් බවට පත්කිරීමට නම්, ජනතාවගේ අරගලයේ සැබෑ හරය තේරුම් ගත යුතු බවත් ගෝඨාභය – රනිල් එළවීමෙන් ම පමණක් එය ඉටු නොවන බව ත් ඔහු පැවසීය.

- මව්බිම

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි : විපක්ෂයේ දේශපාලන නායකයන් තනතුරු වෙනුවෙන් සටනේ !

කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා ම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ සලසමින් මෙම තීන්දුව ගන්නා ලද බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (11) සඳහන් කළේය.

මහින්දට ජනාධිපති ආරක්ෂාවක් !

මේ අතර වාර්තා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නිල නිවසේ ආරක්ෂක විදිවිධාන තරකර ඇති බව ය.

මේ වන විට එම නිවසේ ආරක්‍ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බට පිරිස් කැදවා ඇති බවත් වාර්තා වෙයි .

ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට නියමිතව ඇත.

විපක්ෂයේ රැසක් : ජනාධිපති සහ අගමැති වෙන්න සූදානම් !

මේ අතර රාජපක්ෂ හිතවාදී දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අද (11) පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීමෙන් පසු ලබන බදාදා (13) පාර්ලිමේන්තුව රැස්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම අද (11) උදෑසන එකොළහට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

එහිදී ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රධාන අරමුණ වෙයි.

ලබන බදාදා (13) පාර්ලිමේන්තුව රැස්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු මසක කාලයක් සඳහා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා පත්කිරීම එක් ක්‍රමයකි. එසේ නොමැති නම් මසක කාලයක් සඳහා කථානායකවරයා වැඩබලන ජනාධිපති ධුරයට පත්කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත. එසේ නොමැති නම් පාර්ලිමේන්තුව තුළින් අගමැතිවරයකු හා ආණ්ඩුවක් පත්කර ජනාධිපතිවරයාට දැනුම් දීම තවත් ක්‍රමයකි.

ඉන්පසු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්ව එම ආණ්ඩුවෙන් නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට හැකිය.

කෙසේ වෙතත් ජනාධිපති ධුරය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවන් වන සරත් ෆොන්සේකා හා පාඨලී චම්පික රණවකගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ඊයේ (10) කතාබහට ලක්වී තිබිණ. අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායකගේ නම් යෝජනා වී ඇති බවට කතා බහට ලක්විය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත්තේ මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අගමැති ධුරය භාරදිය යුතු බවයි. එහෙත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය මත විපක්ෂයට යාම සුදුසු බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති සහ අගමැති ධුරවලට නම් කිරීමේ යෝජනාවකට දේශපාලන පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් ඊයේ (10) පැවැති සාකච්ඡාවකදී එකඟත්වයට පත්ව ඇත.

නුගේගොඩ ජුබලිකණුව ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරලගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. සමගි ජන බලවේගයෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මන්ත්‍රි විමල් වීරවංශ නායකත්වය ලබාදෙන දේශපාලන පක්ෂ දහයේ නියෝජිතයන්, මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

අදාළ නම් දෙක පාර්ලිමේන්තුවේදී යෝජනා කර බෙදීමක් ඇති නොවන පරිදි සම්මුතියකින් කටයුතු කිරීමේ මැදිහත්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම සාකච්ඡාවට කලින් සහභාගි වන බව දැනුම් දී තිබුණත් පසුව සහභාගි වූයේ නැත.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු මන්ත්‍රි විමල් වීරවංශ මාධ්‍ය සඳහා ප්‍රකාශයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු විරෝධය පළ කිරීම නිසා මන්‍ත්‍රිවරයා සිය වාහනයේ නැගී පිටව ගියේය.

– අරුණ

අරගලයේ ඉදිරිය ගැන : සජිත්ගෙන් උපදෙස් නිකුත් වෙයි !

අරගලයේ ඉදිරි දිශානතිය සම්බන්ධයෙන් නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත්කර ඇත .

ඊට අනුව අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වල නිරතවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මෙකී නිවේදනය අනුව අරගලයේ මූලික කොන්දේසි ආරක්ෂා කරගන්නට නොහැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත.

විපක්ෂ නායක නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ප්‍රචණ්ඩත්වය හෙළා දකිමු!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ ගිනිතැබීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බව අවධාරණය කරමු.

ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ සාධාරණත්වය රජයන සමාජයක් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව පුරවැසි අරගලයකට එක්වූ අතර එහි උදාර අරමුණු කිසිම විටක පාවා නොදෙන්නට තරම් ඔවුන් විනයගරුක හා ශිෂ්ට සම්පන්න වූ බව අප තිරව විශ්වාස කරමු.

එහෙත් එකී අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වලට අපි කොන්දේසි විරහිතව එරෙහි වෙමු.

පසුගිය දින කිහිපය තුළ, අරගල කරුවන්, මාධ්‍යවේදීන්,සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසකට ද ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වූ අතර ඒ පිළිබඳව ද පුළුල් පරීක්ෂණ පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් වෙනුවෙන් මෙතෙක් කල් සුරක්ෂිතව රැකගෙන ආ පුරවැසි අරගලයට කළු පැල්ලම් එක් කිරීමට වෙර දරන පිටස්තර බලවේග පිළිබඳව අපි අවධානයෙන් සිටිමු යැයි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටිමු.

මේ එළඹ ඇත්තේ ඉතාම තීරණාත්මක මොහොතක් හෙයින් සංසුන්ව සාමකාමීව,ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් සංහිඳියාව පෙරදැරිව කටයුතු කරන්නට එක්වන්න යැයි සමස්ත පුරවැසියන්ට ගෞරවයෙන් ආරාධනා කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

පෞද්ගලික දේපළ හානි එපා : නීතිඥ සංගමය අවධාරණය කරයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම ඇතුළුව දේපළ හානි කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් හෙළාදැක නිවේදනයක් නිකුත්කර ඇත .

මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවට විශාල හානියක් සිදු කරනු ඇති බවත් මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙසටද වෙනත් අයට මෙවැනි පහත් සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද ඉල්ලා සිටින බවත් අදාළ නිවේදනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් ගේ අත්සනින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

293096509 10158991767568562 3575692311380970645 n

යුරෝපා සංගමයෙන් සහ ඇමරිකාවෙන් දැනුම්දීමක් !

ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රජාත්නත්‍රවාදී,සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කර ඇත .

ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සහයෝගය ලබා දෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කර ඇති අතර ඒ, ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ය.

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වයට විසඳුමක් ලබා ගැනීමට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් බවත් එම සටහනේ දැක්වෙයි .

එසේම ශ්‍රී ලංකා ජනතාවට ලබා දෙන සහාය ඉහළ දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත .

ඇමරිකානු නිවේදනය !

මේ අතර ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇත .

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මේ ඉල්ලීම සිදුකර ඇත .

එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් එහිදී සඳහන් කර ඇත .

ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරන ලෙස මෙම රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්වන නව රජයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටින බවත් අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

එහිදී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ අප්‍රසාදය පළ කළ අතර සෙනසුරාදා විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වයද විවේචනයට භාජනය කර ඇත .

සර්ව පාක්ෂික ආණ්ඩුවකට : සාකච්ඡා පිට සාකච්ඡා !

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සාකච්ඡා සභා රැසක් ක්‍රියාත්මක කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ සාකච්ඡා සභා කිහිපයක් අද (10) දිනයේ ද පැවැත්වෙන බවත් වාර්තා වෙයි .

ඒ අනුව පක්ෂ 09 කණ්ඩායමේ නායකයින්ගේ හමුවක් අද පැවැත්වීමට නියමිත බව කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි .

එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පවසයි .

එසේම සමගි ජන සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ මතුවී ඇති දේශපාලන තත්ත්වය, ඉදිරියේදී ගත යුතු කඩිනම් දේශපාලන තීන්දු රැසක් ගැනීමේ අරමුණින් අද රැස්වීම පැවැත්වෙන බවයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම්, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින් ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට සහභාගිවීමට නියමිත බවත් වාර්තා වෙයි .

නැව් දෙකක ගෑස් එයි !

ගෑස් මෙට්‍රික්ටොන් 3700 බැගින් රැගත් නෞකා දෙකක් අද (10) සහ හෙට (11) දිනයේදී මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වෙයි .

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ අද දිනයේදී මෙරටට ලඟාවීමට නියමිත නෞකාවේ ගෑස් හෙට (11) දිනයේ සිටම බෙදාහැරීමට කටයුතු කරන බවය.

ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළත කොළඹ නගරයේ තෝරා ගත් ස්ථාන 140 කදි ගෑස් සිලින්ඩර් 140,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා පවසා ඇත .

මේ වන විට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ වැඩි කළ යුතු වුවත්, ජනතාව විඳින පීඩාවන් පිළිබඳව අවධානය යොමු කර රුපියල් 50 කින් පමණක් මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොහොර නැව ආවා : කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්වීමට නියමිතයි !

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු යූරියා පොහොර තොගය ඊයේ (09) මෙරටට ළඟා වූ බවත් අද (10) එය ඉන්දීය මහ කොමසාරිස් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාරදෙනු ඇති බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අදාළ පොහොර තොගය මෙට්‍රික් ටොන් 40000කි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ අදාළ පොහොර තොගය 10 ක් ඇතුළත ගොවීන් වෙත බෙදාහරින බවයි .

එම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ලොරි රථ මේ වනවිටත් සූදානම් කර ඇති බවය.

මේ අතර පොහොර තොගය නිල වශයෙන් බාරගැනීමෙන් පසුව තමන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත .

Page 226 of 384