V2025

පුවත්

කුරුණෑගලට නව නගරාධිපතිවරයෙක්

කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේධ අරුණ ශාන්ත තේරීපත්ව තිබේ.

නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත එම ධුරය සඳහා තේරී පත්ව ඇති බව සඳහන්ය.

සුමේධ අරුණ ශාන්ත කුරුණෑගල මහ නගර සභාවට පත්වූ 17 වැනි නගරාධිපතිවරයා වේ.

වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයකු වන සුමේධ අරුණශාන්ත, කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහලේ සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පනස් දෙහැවිරිදි ඔහු දෙදරු පියෙකි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 06ක් පමණය

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාන ආසන දිනා ගැනීම තුළ තුන්ණ්ඩු ඇදිමෙන් නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව තෙරීපත්විය.

මෙවර අයවැය දෙවරක් පරාජය වීම හේතුවෙන් ඔහු එම තනතුරින් නෙරපා හැරීමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තේ ය.

ඒ අනුව නව නගාරාධිපතිවරයකු පත්කරගැනීම වෙනුවෙන් අද ඡන්ද විමසීම පැවැත්විය.

පෙට්‍රල් මිල ඉහළට !

ඛණිජ තෙල් නීති ගත සංස්ථාව විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව නව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වුවත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස්වීමකට ලක්නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසයි.

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨයන් 77 කට සේවා විභූෂණ සම්මාන

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් අද (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයේදීය.

රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරේ.

2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදි පදක්කම් ප්‍රදානය සිදු කෙරිණි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා “75 වන නිදහස් සංවත්සර අනුස්මරණ” පදක්කම් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

"විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබා දිය යුතු අයට අපි අද එය ලබා දුන්නා. ඒ වගේම 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් මෙම සේවා සම්මාන ලබා දෙනු ලැබුවා. අද එම පදක්කම් ලැබූ සියලු දෙනාට මම සුබපතනවා. ඒ වගේම ඔබ කළ සේවය අපි අගය කරනවා. මෙම උත්සවය තමයි ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන පළමු උත්සවය. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මේ උත්සවය පැවැත්වීමට හේතුවක් තිබෙනවා."

"අපේ රටට නිදහස ලබාදුන්නේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ ඒ ජාතික නායකයන්. අද ඇතැමුන් කියනවා රටට නිකන් නිදහස ලැබුණා කියලා. නිදහස නිකන් ලැබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයේදී ආසියාවේ මිත්‍ර රටවලට සහයෝගය ලබා දුන් රටවල් 2ක් තිබුණා. ඉන් එකක් චීනය. අනෙක ශ්‍රී ලංකාව. එයින් සර්ව ජන ඡන්දයෙන් තේරුණු ව්‍යවස්ථාදායක් පැවතියේ ලංකාවට පමණයි."

"යුද්ධය ඇති වූ අවස්ථාවේ මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස හිටපු ඩී.බී. ජයතිලිකටත්, ඉන් පසුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාටත් දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ලබාදුන් සහාය අගය කරලා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් (Winston Churchill) මැතිතුමා පැවසුවා එක කොන්දේසියක් මත යුද්ධයෙන් පසුව ලංකාවට නිදහස ලබා දෙනවා කියලා. ඒ තමයි පළමුව ඉන්දියාවට නිදහස ලබා දීම. ඒඅනුව තමයි අපට මේ නිදහස ලැබුණේ."

"දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර රටවලට සහාය ලබාදුන් ඒ තීරණය ගත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් දෙවන ලෝක යුද්ධයට සහයෝගය දැක්වූවා. අපි නිදහස් ලැබුවයින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා මෙය අගය කර ඒ සේනාවන්ගෙන් අපේ ත්‍රිවිධ හමුදාව ආරම්භ කළා. අපි දෙවන ලෝක යුද්ධයට සහාය ලබා දී නිදහස ලබාගත්තා නම් එය සමරන අවස්ථාවේ අපේ ත්‍රිවිධ හමුදාවන් කළ සේවයත් අගය කළයුතුයි.

අපගේ ආරක්ෂාක හමුදාව රටේ ආරක්ෂාව සඳහා දිවි හිමියෙන් සටන්කළා. අප හමුදාව ආරම්භ කළේ ලෝක යුද්ධයකින්. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. දෙවැනි යුද්ධය තිබුණේ මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමට. ඒ සඳහා අපේ ත්‍රිවිධ හමුදාව දිවි හිමියෙන් කැප වුණා."

"ජනරජයක් ලෙස රටේ නිදහස සමරන අවස්ථාවේ දී අපේ ආරක්ෂක හමුදාව ඉටු කළ මෙම උදාර සේවය සිහිපත් කළ යුතුයි. ඒ නිසා මම තීරණය කළා 75 වන නිදහස් සැමරුමේ පළමු උත්සවය ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පැවැත්වීමට. අපගේ ත්‍රිවිධ හමුදාව දැන් ලංකාවේ පමණක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෙසත් කටයුතු කරනවා. මේ සාම සාධක හමුදාවට බඳවා ගන්නා පිරිස අනාගතය දී වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අප පනස් වන නිදහස සැමරුවේ රටේ යුද්ධයක් තිබිය දී. දැන් තවත් යුද්ධයක් තියන අවස්ථාවක තමයි අපි 75 වන නිදහස් උත්සවය සමරන්නේ. ඒ අපි තුවක්කු අරගෙන, එකිනෙකා සමග ගැටුම් ඇතිකරගෙන කරන යුද්ධයක් නෙවෙයි. විශාල ආර්ථික යුද්ධයකට අද අපි මුහුණ දී තිබෙනවා. අද සම්පුර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා.අප ඒ ආර්ථිකය යළි ගොඩනගන්නේ නැත්නම්, අපි මේ ණය උගුලෙන් නිදහස් වෙන්නේ නැත්නම් අපේ රටේ ආර්ථික නිදහස නැති වෙනවා. රටේ ආර්ථික නිදහස නැති වුණොත් දේශපාලන නිදහසින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද ලෝකයේ සිටින ආර්ථික බලවතුන්ට අපට යටත්වෙන්න බැහැ. එසේ නම් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මේ ආර්ථිකය ගොඩනඟා ජනතාව ජීවත් කරවීමයි. ඒ වගේම ඔවුන්ගේ අහිමිවූ ආදායම් මාර්ග නැවත උදා කර දිය යුතුයි."

"අද බොහෝ දෙනෙක් දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ණයත් ලබාගෙන, බදුත් ගෙවීමට සිදු වීම නිසා ආදායමක් නැති තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා මේ පීඩනය දරා ගන්නවා. අපට මේ පීඩනය නැති කරගන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද මාව මුණගැසුණා. අපි ගෙන යන මෙම ආර්ථික වැඩපිළිවෙළට ඇමරිකා රජයේ පුර්ණ සහය ලබාදෙන බවට වූ ඇමරිකා ජනාධිපතිවරයාගේ පණිවිඩය එතුමිය මා සමඟ ප්‍රකාශ කළා. මේ විදියට රටවල් ගණනාවක සහාය අපට හිමි වී තිබෙනවා. මම විශ්වාස කරනවා එළැඹෙන මාස දෙක, තුන තුළ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඉන්දියාව සහ චීනය සමග පැවැත්වෙන සාච්ඡා අවසන් අදියරේ පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ එකඟත්වය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමත් සමග එය ලෝකය පිළිගන්නවා."

"මේ වසර අවසන් වන විට අපට මෙයට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ලැබෙයි කියා මම විශ්වාස කරනවා. ඒ සමගම රාජ්‍ය සේවකයින් සියලුදෙනාට යම් සහනයක් ලබාදීමට අපිට අවස්ථාව ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. අපි නිවැරදි මාවතක ගමන් කරනවා නම් උපක්‍රමශීලිව කටයුතු කළයුතුයි. ජයග්‍රහණය උදාකරගත හැකිවන්නේ එවිටයි. ත්‍රස්තවාදී යුද්ධය සහ ආර්ථික යුද්ධය අතර ඇත්තේ එක් වෙනසක් පමණයි. එදා ජීවිත නැති වුණා. අද ආදායම් නැතිවෙලා. ඒ වෙනස පමණයි තිබෙන්නේ. නැති වූ ජීවිත අපට නැවත ගෙන දිය නොහැකියි. නමුත් අඩු වූ අදායම නැවත ලබාගත හැකියි. ආණ්ඩුවක් ලෙස අපි සියුලදෙනා කැප වී සිටින්නේ ඒ වැඩපිළිවෙළ සඳහායි."

"අප එදා දිනාගත් දේශපාලන නිදහස සහ එදා ආරක්ෂා කළ භෞමික අඛණ්ඩතාව සමග ආර්ථික නිදහසත් උදා කර ගනිමින් අපට ඉදිරියට යා හැකි බව මම විශ්වාස කරනවා."

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=4032#sigProIdc31e23f13c

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රංශයෙන් සහයෝගය....

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීම සඳහා සහයෝගය දැක්වීමට ප්‍රංශ රජය එකඟතාවය පළකරයි.

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ අද(01) දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ප්‍රංශ තානාපතිවරයා එම එකඟත්වය පළකර තිබේ.

ප්‍රංශ - ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

වික්ටෝරියා නූලන්ඩ් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland)  අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිය කෘතඥතාවය පළ කර සිටියේය.

එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්  සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සිය රජයේ සහයෝගය ලබා දෙන බවය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වූ අතර මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව සහය දක්වන බව වික්ටෝරියා නුලන්ඩ්  අවධාරණය කළාය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඒ සම්බන්ධව රටේ සුළු පක්ෂ සමඟ පැවැත්වෙන සාකච්ඡා මෙන්ම සංහිඳියාවට අදාළව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර ඒ සඳහා එක්සත් ජනපදයේ පූර්ණ සහාය ලබා දෙන බව වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ප්‍රකාශ කළාය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්  ඇතුලු නියෝජිත කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.

UN Delegation 01

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදාහැරේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද(01)  නියෝග කළේය.

අධිකරණ තීන්දු බාර නොගැනීම හා උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනාවලට මෙසේ ඇප ලැබී ඇත.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවෙන් ද ඊයේ නිදහස් කෙරිණ.

ජනවාරි උද්ධමනය පහළට : ඉදිරිය කොයිබටද ?

ජනවාරි මාසය අවසන් වෙද්දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0% දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 69.8% මට්ටමෙහි පැවති අතර, ආහාර උද්ධමනය 94.9% මට්ටමෙහි පැවතුණා.

FB IMG 1675176313630

අපගේ පුරෝකථනය වනුයේ පෙබරවාරි මාසය තුළ උද්ධමන අගයේ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවයි. එහෙත්, මාර්තු මාසයේදී මෙම අගය 50% මට්ටමට පැමිණ, අප්‍රේල් මාසය වෙද්දී 40% මට්ටමට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. උද්ධමනය වේගයෙන් පහත වැටෙනු ඇත්තේ ඉන් පසුවයි.

බදු හා පොලී අනුපාතික ඉහළ දැමීමේ පීඩාව බොහෝ දෙනෙකුට දරුණුවටම දැනී ඇතත්, බදු හා පොලී වැඩි කර උද්ධමනය පාලනය නොකළේනම්, උද්ධමනය නිසා සිදු විය හැකිව තිබුණු පීඩාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිව තිබුණු බව අපගේ අදහසයි. එය ඇතැම් විට අධි-උද්ධමන තත්ත්වයක් වුවද විය හැකිව තිබුණා.

කෙසේ වුවත්, මැතිවරණය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වීමේ යම් ප්‍රමාදයක් සිදු වෙමින් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. මැතිවරණ ප්‍රතිඵල වලින් පසුවද මෙම තත්ත්වයෙහි දිගුවක් දකින්නට ලැබෙන්නට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ගාස්තු ලංවිම වියදම් හා ගැලපීම ප්‍රමාද වීමට මැතිවරණය හේතු වී ඇති බව අපගේ අදහසයි. විදුලි ගාස්තු ගැලපීමෙන් දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමට පිටිවහලක් ලැබෙන නමුත්, කෙටිකාලීනව උද්ධමනය ඉහළ ගොස් උද්ධමන අපේක්ෂා ඉහළ යා හැකි නිසා මෙවැනි ගාස්තු ගැලපීමේ තීරණයක් වසර මැද දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසු වෙන්නත් පුළුවන්.

නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් වී නැතත්, අපට අනුමාන කළ හැක්කේ චීනයේ දෙවසරක ණය පමාවෙන් ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ප්‍රමාද වීමක් පමණක් බවයි. අවම වශයෙන් මාර්තු මාසය වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. එය සිදු වනු ඇත්තේ චීනය විසින් මීට වඩා වැඩි සහනයක් ලබා දීමට එකඟ වීමෙන් පසුව පමණයි. බොහෝ විට එම තීරණය ලැබෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුවයි.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

පාස්කු ප්‍රහාරය ගැන සිරිසේනට සමාවක් නෑ : කතෝලික සභාව !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි .

ඔහුට කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලීමට සිහිපත්ව ඇත්තේ වසර 4කට පසු කරමුලටම හිරවූ අවස්ථාවේ බවත්, සමාව ඉල්ලීමට අවශ්‍ය නම් මෙය සිදුවූ මොහොතේ ජනාධිපතිධූරයෙන් ඉවත් වී කළ යුතුව තිබූ බවත් පියතුන් සඳහන් කරයි.

තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය සිදුවන්නට සැලැස්වීම විශාල වරදක් බවත්, යුද්ධය කාලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලට එය සමාන කළ නොහැකි බවත් පියතුමා පැවසීය.

තොරතුරු ලැබුණු නිලධාරීන් තමාව දැනුවත් කර නොමැති බවත්, තමා පත්කළ නිලධාරීන් වගකීම් පැහැරහැරීම නිසා තමන්ට වන්දි ගෙවන්නට සිදුවූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ නඩු තීන්දුව හරි ආකාරයෙන් කියවා නොමැතිව විය යුතු බව ද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි .

සහරාන් සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වෙද්දීත් ජනාධිපතිවරයා ඒ ගැන නොසලකා කටයුතු කිරීමත්, පහළ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබීමත් නිසා මෙන්ම ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වගකීම් පැහැර හැරීම, විදෙස්ගත වන විට වැඩබලන ඇමතිවරයෙක් පත්කර නොයාම ආදී වැරදි ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇතැයි ද පියතුමා සඳහන් කළේය.

කතෝලික සභාව එම නඩු තීන්දුව හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලීමට එතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයකු නොවන බවත් පියතුමා පැවසීය .

සියලුම ජනතාවගේ ආරක්‍ෂාව තැකීමට ලක්නොකිරීම නිසා එතුමා රටේම ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු යැයි ද පියතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පළාත් පාලන ජන්දයේ පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 4 ක් !

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මෙරට පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 04 දෙනෙකු බැගින් නියෝජනය වන බව මැතිවරණ කොමිසම හරහා වාර්තා වෙයි .

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80720 දෙනකු තරග කරන බවයි .

දේශපාලන පක්ෂ 58ක් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් එම පිරිස තරග කරන බව ද ඔහු පවසයි .

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ කල්මුනේ නගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 339 සඳහා එම මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව බැලීමේදී රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සැසදීමේදි මෙවර මෙරට පුද්ගලයින් 1000කට අපේක්ෂකයින් 04 දෙනෙකු නියෝජනය වෙයි.

පාස්කු ප්‍රහාරය ගැන සොරි කියන සිරිසේන ඊළඟ ජනාධිපතිවරණයටත් එනවා කියයි !

තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසු‍වේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී ජයගත හැකි බව තමන් විශ්වාස කරන බව ද මෛත්‍රීපාල සිරිසේන කීවේය

තමන්ට එරෙහිව කුමන කුමන්ත්‍රණ කළත් බියනොවන බවත්, තමා කිසිදේකින් පස්සට යන මිනිසෙක් නොවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

තම පාලන කාලයේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව මෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත්ව එකතැන්ව සිටින ජනතාව වෙනුවෙනුත් තමා සමාව ඉල්ලා සිටින බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම වූ දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ - ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ සාගල මුල්වී සාකච්ඡාවක් !

“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ - ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ලෝක බැංකු ආධාර වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ ක්‍රමානුකූල අවදානම අඩු කිරීම, සමාජ ආරක්ෂණ ආයතන බෙදාහැරීම් පද්ධතිය සහ ඉලක්ක ගත කිරීම ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම යන කරුණු සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් විමසා බැලිණි.

මෙම පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක  විසින් පෙන්වා දෙනු ලැබීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ ද ඊට එක් වූහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=4032#sigProId25881f56eb

“ණයට බඩු ගන්න එපා” – ජනපති

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙස ය.

රජයේ ආදායම්, සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමගින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා, ශුභසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එමෙන් ම රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගතහොත් ඒවායෙහි වියදම් සඳහා පෞද්ගලිකව වගකීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

වසන්ත මුදලිගේ එක් නඩුවකින් නිදහස්.....

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජන. 31) නියෝග කළේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නියෝගය ලබා දුන්නේ ය.

වසන්ත මුදලිගේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටියේ ය.

අදාල නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන කිසිදු වරදක් සැකකරු සිදු කර නොමැති බව අනාවරණය වන බැවින් ඔහු නිදහස් කරන බව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවට අනාවරණය වන බව ද එම නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ දින 150කට අධික කාලයක් සිරගතව පසු විය.

නිදහස් දිනය දා 'ශ්‍රී ලංකාභිමාන්‍ය' රාජ්‍ය සම්මානය කරුට

මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 'ශ්‍රී ලංකාභිමාන්‍ය' සම්මානය හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.

'ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය' මෙරටදී පිරිනෑමෙන ඉහලම සම්මානය වේ.

කරු ජයසූරිය විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස ඔහු වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

2023 පෙබරවාරි 03 වැනිදා ජනාධිපති මන්දිරයේ දී එම සම්මානය පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.

හෙලිකොප්ටර් ඩීල් ගැන : තිස්ස හෙලිකොප්ටරයේ සිට කියයි !

නිදහස් ජනතා සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නායකයකු වන තමන්ට ආරාධනා නොකිරීම කනගාටුදායක තත්ත්වයක් බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පැවසීය.

මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ 07ක් තිබෙන බවත් ලංකා සමසමාජ පක්ෂය එහි සාමාජික පක්ෂයක් බවත් කී හෙතෙම සියලු පක්ෂ එකතු වී මැතිවරණයට මුහුණදීම සඳහා ගොඩනැගූ නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක සමාරම්භක රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැටලුකාරී තත්ත්වයක් බවද සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානය යටතේ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා ලබාදීමේදී සිය පක්ෂය මගින් ද අපේක්ෂක ලැයිස්තු සඳහා නම් ඉදිරිපත් කළත් අවසන් ලැයිස්තු පිරික්සීමේ දී එම නම් බොහොමයක් හැලී ගොස් තිබුණු බවද හෙතෙම පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා ලංකා සමසමාජ පක්ෂය මගින් අපේක්ෂකයන් නම් ඉදිරිපත් කළත් ඒ කිසිවකුට නිදහස් ජනතා සන්ධානය තුළ ඉඩක් නොලැබුණු බවත් මේ නිසා පළාත් පාලන ආයතන කිහිපයකට සමසමාජ පක්ෂය යටතේ නාම යෝජනා ලබාදීමට සිදුවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වාමාංශික බලය වැඩිපුර පවතින මාතර දිස්ත්‍රික්කය සඳහා සමසමාජ පක්ෂය ඉල්ලා සිටියේ එක් අපේක්ෂක ධුරයක් පමණක් වුවත් එයද නොලැබුණු බව විතාරණ මහතා කීවේය.

ලංකා සමසමාජ පක්ෂයට විරුද්ධව නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ කිසිවක් හමුවේ තමන් නොසැලෙන බවත් මහාචාර්වරයා වැඩිදුරටත් පැවසුවේය.

තම පක්ෂයට සිදුවන කෙනෙහෙලිකම් සම්බන්ධව තරහක් නොමැති බවත් මෙම සන්ධානය කඩා ඉහිරවීම පිණිස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු කීවේය. වෙනත් පාර්ශ්වයකින් මුදල් ලබාගෙන සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා පිරිසක් ඒ තුළට රිංගා ඇති බවට තමා සැකකරන බවද මුදල් මත සිදුවූ එවන් කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් නිදසුන් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එදා යහපාලන ආණ්ඩුව සමයේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ එම්.සී.සී. ගිවිසුම හා සෝපා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටියද මැතිවරණ පරාජය හේතුවෙන් එම උත්සාහය වැළකී ගිය නමුත්, අද වන විට රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ හා ඇමරිකානු තානාපතිවරිය එක්ව මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රහසේ සකස් කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් කෙසේ හෝ මෙම උත්සාහය ව්‍යර්ථ කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.

සභාපතිගේ සේරම සංදර්ශන : ලොකු පුටුවට පැනගන්න !

ආණ්ඩුව විසින් තනතුරෙන් අස් කරන්න හදනවය කියන සුප්‍රකට කොමිෂන් සභාවක සභාපතිවරයෙක් රකින්න සංඝයා වහන්සේලා පවුරක් වගේ ඉන්න යනවය කියලා ආරංචියි...

මේ දවස්වල ආණ්ඩුවත් තමන්ගෙ විෂයභාර ඇමැතිවරයත් සමඟ ප්‍රසිද්ධියෙ සටන් කරන මේ සභාපතිවරයා, ඉදිරි කාලෙ ලංකාවෙ ලොකුම තනතුරකටත් සටනක් දෙන්නලු සූදානම

ඉතින් උන්නැහේට දේශපාලන පැත්තෙන් නොගියත් සෝලි වැටෙද්දී ඊයෙ පෙරේදා එයා කොළඹ 7 සුප්‍රකට ආරාමෙක වෙසෙන සටන්කාමී හිමිනමක් හමුවෙලා මේ අවනඩුව කිව්වලු...

''හාමුදුරුවනේ මම සටන් කරන්නෙ ජනතාව වෙනුවෙන්. ජනතාවට සහන දෙන්න. විභාගෙට යන දරුවො වෙනුවෙන්. ඒ නිසයි මට මේ විදියට නොයෙක් දේවල් කරන්න යන්නෙ...'' කියමින් මේ සභාපතිවරයා කියූ කතාව අහගෙන හිටපු නායක හාමුදුරුවො මෙහෙම කිව්වලු.

''ඔබතුමා ජනතාව වෙනුවෙන් වැඩකරන නිසා අපි ඔබතුමා ආරක්ෂා කරනවා . ඒකට මම විතරක් නොවෙයි තවත් නායක හාමුදුරුවරුන්ගෙ සහයෝගයත් ලැබෙනවා ... බලමු එයාල ඔබතුමා හිතුවක්කාර විදියට අස්කරයිද කියලා. එදාට තමයි අපි සටන පටන් ගන්නෙ...''

නායක හාමුදුරුවන්ගෙ මේ ප්‍රතිඥාව ලබාගත්ත සභාපතිවරයා උන්වහන්සේට නමස්කාර කරල පිටත්වෙලා ගියාලු. ඊට පස්සෙද දන්නේ නෑ මීඩියා ඉස්සරහට ගිහින් ආයෙත් ඇමතිට නොසෑහෙන්න ඇමතුවේ. මොනවා වුනත් ඉතින් පාර්ලිමේන්තුව නැවත කැඳවන පළමු දවසෙම ඔය සභාපතිව එලවන්න නියමිත බවයි විෂය භාර ඇමතිතුමා නම් කියන්නේ.

-දේශපාලන වාර්තාකරු

ෆොනී සජිත්ටත් උඩින් යයි : නාමයෝජනාවලිනුත් පළි ගනියි !

ජාතික ජනබලවේගය හැරුනම අනිත් සේරම පක්ෂවලට පළාත් පාලන ඡන්දෙ මහ වනයක් වෙලාලු තියෙන්නේ. ප්‍රශ්න පිට ප්‍රශ්න. සේරටම වඩා ඇතුලේ ප්‍රශ්න. නාමයෝජනා හදන්න ගිහිලත් ප්‍රශ්න. නාමයෝජනා බාර දුන්නට පස්සෙත් ප්‍රශ්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ගේ අත්සන හොරට ගහපු සීන් එක මතකනේ .

සමගි ජනබලවේගයේ නාමයෝජනා හදද්දී ඇති වෙච්ච ගැටලු කිහිපයක තොරතුරුත් ඔන්න කරළියට ඇවිත්.. සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිසා , කැලණිය ප්‍රාදේශීය සභාවේ නාමයෝජනා සම්බන්ධව ගැටලුවක් මතුවෙලා කියලත් ආරංචියි.

ඒ ආරංචිවල හැටියට, කැලණියේ හිටපු විපක්ෂනායකවරයාට නාමයෝජනා ලබාදීම සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරලා. ඔවුන් දෙදෙනා අතර පවතින දේශපාලන ගැටුමක් හේතුවෙන් මේ විදිහට නාමයෝජනා කපා හරින්න ෆොන්සේකා කටයුතු කරල කියලයි කියන්නේ..

කැලණියේ හිටපු විපක්ෂ නායකවරයට නාමයෝජනා දෙන්න කියලා, විපක්ෂ නායකතුමා කියලත් තිබුන ලු..ඒ විතරක් නෙමෙයි, මේ අවුල විසඳන්න සජබ ඉහළ තනතුරු දරන්නන් කිහිප දෙනෙක් උත්සාහ කරලත් තියනවා.

තමන්ට අවශ්‍ය දේ කරන්නට නොලැබුණහොත් පක්ෂයෙන් ඉවත් වෙනවා කියලා ෆොන්සේකා ඒ වෙලාවේ ෆීල්ඩ් මාර්ෂල් පාට් අරන් පොඩි පහේ තගක් දැම්ම ලු.. සරත් ෆොන්සේකා මේ දිනවල සමගි ජන ජනබලවේගයේ ඇතැම් දේශපාලන ක්‍රියාමාර්ග අනුමත නොකරන පාටක් තමයි පේන්න තියෙන්නේ.

ඔය අතරේ බේරුවල නගර සභාවේ නගරාධිපතිව සිටි මසාහිම් මොහොමඩ්ට සජබෙන් නාමයෝජනා නොලැබීම ගැනත් තොරතුරු ලීක් වෙලා. එක්සත් ජාතික පාක්ෂිකයකු වන ඔහු පසුගියවර පොහොට්ටුවට සම්බන්ධ ස්වාධීන කණ්ඩායමකින් තරග කර ජයග්‍රහණය කෙරුවා. මෙවර සජබ නගරාධිපති අපේක්ෂකයා විදියට එන්න තමයි ප්ලෑන් ගහල තියෙන්නේ .. ඒත් ඉතින්, නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේ ඔහුගේ නම කපා දාලා ..

''අවසාන දිනයේ උදේ 8.30 තමා මෙයාලා ඇවිත් භාරදුන්නේ මගේ නම නැතුව. ඒක තමා මේ අය කරපු වැඩේ. නායකතුමා මගෙත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කෝම එකතුවෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් කළා.''

බේරුවල නගර සභාවේ නගරාධිපතිව සිටි මසාහිම් මොහොමඩ් කියා කියා යනවා කියන්නේ එහෙම..

චන්දෙට ඔය විදියට පක්ෂ ඇතුලෙම කට්ටිය මරා ගන්නකොට, පක්ෂ නායකයෙක් වෙච්ච හිටපු ඇමති කුමාර වෙල්ගම කියන්නේ අපුරු කතාවක්..

''අපිව රවට්ටලා ඇප තැන්පත්වලින් කෝටි ගණක් හොයා ගත්තා…'' වෙල්ගම කියනවා.

''මැතිවරණය තිබ්බොත් ආණ්ඩුව පරදිනවා.. ඒ නිසා ආණ්ඩුව ඡන්දය පවත්වන්නේ යැයි ප්‍රදර්ශනය කලත්, ඡන්දයක් තියන්නේ නෑ .. මෙන්න කැට '' කියලත් වෙල්ගම කියනවා..

ඡන්දය පවත්වන බව පෙන්වමින් ආණ්ඩුව කෝටි ගණනක් ඇප මුදල් ලබා ගෙන සිය වියදමට මුදල් සොයා ගත්තා කියලයි වෙල්ගම කියන්නේ..

-දේශපාලන වාර්තාකරු

සිංහල සංස්කෘතික ආයතනයේ අනාගතය ගැන සාකච්ඡාවක් !

සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  වෙත උපදෙස් දුන්නේය.

මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම උපදෙස් දෙනු ලැබුවේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදී ය.

සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් ආයතනයේ ගොඩනැඟිලි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැළපෙන ක්‍රියාකාරකම් මගින් ආදායම් ඉපැයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

දැනට සිංහල සංස්කෘතික ආයතනයේ සාමාජිකයෝ 300ක් පමණ සිටින අතර, තවදුරටත් එම සාමාජිකත්වය පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසා දීම තුළින් නව අදහස් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

IMG 20230130 WA0008

Page 225 of 463