ඝාතනයට ලක්වූ වැලිගම සභාපතිට ආණ්ඩුවෙන් චෝදනා වැලක් !

ඝාතනයට ලක්වූ වැලිගම සභාපතිට ආණ්ඩුවෙන් චෝදනා වැලක් !

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට එරෙහිව නඩු හයක් විභාග වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදි අද (22) පැවැසීය. ‍

මෙම වෙඩි තැබීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

ඇමතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.

"වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ඝාතනයට ලක්වුණා. මෙයින් මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙලා නෑ. සංවිධානාත්මක අපරාධකරුවන් අතර අවි ආයුධ තිබෙනවා. ගැටුම් තිබෙනවා. අද දින සිදුවුණ ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා මහජන නියෝජිතයෙක් බවට පත්වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්.

නඩු 6ක් තිබෙනවා. සිර දඩුවම් ලබා තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි. ඉන්දුනිසියාවෙන් ගෙනාපු අපරාධකරුවන්ගෙන් ප්‍රකාශ අනුව මොහු සතුව ආයුධ තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට චෝදනා තිබෙනවා.

අපි කිසිසේතම පාතාල හෝ වෙනත් පුද්ගලයෙක් මිය යාම අගයන්නේ නෑ. මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරු වුණත් මහජන ක්‍රියාකාරිකයෙක් බවට පත්ව තිබෙනවා. මෙයා මහජන නියෝජිතයෙක් කියන කැටගරියට නෙමෙයි පාතාල ක්‍රියාකාරිකයෙක් බවට පත්වෙනවා. මහජන නියෝජිතයෙක් ලෙස පත්කරන පුද්ගලයා නීතිගරුක පුද්ගලයෙක් නම් මෙවැනි දේවල් වෙන්නේ නෑ."

වීඩියෝ

ලසන්ත වික්‍රමසේකර මහතා සම්බන්ධයෙන් පහත අපරාධ සම්බන්ධයන් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව,

* STF මගින් 2018.03.11 වන දින බලපත්‍රයක් නොමැතිව තුවක්කුවක් හා උන්ඩ 10 ක් ලග තබා ගැනීම,

* බිය ගන්වා කොල්ලකෑම,

* හබරාදුව පොලිස් ස්ථානයේ 2014.03.22 වන දින අන් අයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කිරිම ,

* 2011.03.11 වන දින වංචා කිරීම, වංචා කිරීමට ආධාර අනුබල දිම,

* සාපරාදී සාවද්‍ය පරිහරණය මෙන්ම 2015.10.28 වන දින මුදල් වංචා කිරීමට තැත් කිරීම, විශ්වාසය කඩකිරීම, සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ සටහන් වී තිබෙනවා.

* තවද අවි ආයුධ ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් 2018.03.11දින සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සටහන් වී තිබෙනවා

* 2021.09.03 වන දින පුද්ගලයකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට යොදා ගත් රථය ලබා දෙමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් කොටවිල පොලිස් ස්ථානයේ ද සටහන් වී තිබෙනවා

* තවද (AMIS) අනුව පරීක්ෂා කිරීමේදී පහත පරිදි අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. ඒ අනුව 2017.09.16 දින වැලිගම පොලිස් ස්ථානය මඟින් පහර දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 2018.03.11 දින සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් නිති විරෝදි ගිණි අවි හා ජීව උන්ඩ ලග තබා ගැනීම සම්බන්ධයෙ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් විය.

ඔහු උදැසන10:40 ට පමණ වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදීය.

FZ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්කතෝල වර්ගකේ ගිණි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩාම් හතරක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක F.U වුට්ලර් අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ය.

ඔහු පැවසුවේ, මෙම ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර ඇති බවයි.

ලසන්ත වික්‍රමසේකර කවුද?

ලසන්ත වික්‍රමසේකර පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ පසුගිය මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් තරග කරමිනි.

පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි කර නොගැනීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ලද විවෘත ඡන්ද විමසීමකින් ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.

ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අවස්ථාවේදී, ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත්තේය.

සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයේ (NPP) සභිකයාට ලැබී තිබුණේ ඡන්ද 22ක් පමණි.

විපක්ෂයේ සභික පූජ්‍ය දෙනගම රාහුල හිමි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය විවිධ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාද විය.

'එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන කොට ඇතුළේ නොයෙක් කලබල ඇතිවුණා'

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ සමගි ජනබලවේගය නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් පැවසුවේ මහජන දිනය පවත්වන අතරතුර වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බවයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, පොලිසිය මෙම සිද්ධිය ගැන විමර්ශන කරමින් පවතින බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරි පැය කිහිපය තුළ මෙම විමර්ශන ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ඔහු සඳහන් කළේය.

"රටේ ආරක්ෂාව සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මෙතන මතුවෙනවා."

මේ අතර, අද (ඔක්තෝම්බර් 22 වැනිදා) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙම වෙඩි තැබීම ගැන අදහස් පළ කළේය.

"අද රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නය කොච්චර බැරෑරුම් ද කිව්වොත් අපේ පක්ෂයේ නොබෝදා ජනතා ඡන්දයෙන් තේරී පත්වෙච්ච වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට කාර්යාලට ඇවිල්ල වෙඩි තියලා තියෙනවා"

"අපිට මතකයි එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන කොට ඇතුළේ නොයෙක් කලබල ඇතිවුණා. මැරකල්ලි ඇවිල්ලා එතුමා සභාපති වෙනවාට විරුද්ධව කටයුතු කළා. මන්ත්‍රීවරු අතුරුදන් වුණා. ඉතින් එවැනි වාතාවරණයක් යටතේ තමා මේ සභාපතිවරයාට වෙඩි තියලා තියෙන්නේ."

"අද රටේ ජාතික ආරක්ෂාව විශාල ප්‍රශ්නයක්. මේ රජය යටතේ මේ අවුරුද්ද ඇතුළත විතරක් මෙවැනි සිද්ධි 100කට වඩා වෙලා තියෙනවා. 50කට වැඩිය ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා." යැයි ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තවදුරටත් පැවසුවේ වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ධූරයට පත්වූ දිනයේදී ද නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවයි.

"ඇතුළේ ගහ ගත්තා, දෙතුන් සියයක් සෙනඟ ගෙනවා. මන්ත්‍රීවරු අතුරුදන් වුණා. රජය මං හිතන්නේ ආරක්ෂාව සම්බන්ධ වගකීම භාර ගන්න ඕනේ කියලා මං මෙතන ප්‍රකාශ කරනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න