V2025

පුවත්

උඩරට මැණිකේ පීලි පනී

අද පෙ.ව.05/45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පැමිණි උඩරට මැණිකේ සීඝ්‍රගාමී මගී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසල දී පීලි පැන ඇත.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=342#sigProIdfa1285aa9c

දුරකථන පාටියේ තවත් අවුලක් !

දුරකථන පාටියේ මේ දවස්වල අභ්‍යන්තර ප්‍රශ්නයක්ලු.

ඒ පක්ෂයේ ලොකු තැන විසින් දෙන නියෝගවලට වඩා වෙන කෙනෙක්ගේ නියෝග පක්ෂයේ සමහර සමහර අයට යන්න පටන් අරන් නිසාලු.

ලොක්කගෙ දකුණු අතක් වගේ ඉන්න මේ කෙනා ලොක්කට වඩා බලය පෙන්නනවා කියලයි ආරංචිය. සමහර වෙලාවට ලොක්කා දන්නේ නැති දේවලුත් එයා කරලලු.

මේ දවස්වල ගොඩක් අයට මේක වෙලා තියෙන නිසා ඒ අය ඉන්නේ තරහෙන්ලු. සමහර අය ලොක්කට නොකියම එළියට යන්නත් ප්ලෑන් කරනවලු. මෙයා ගැන කාලයක් පැමිණිලි කළාට වැඩක් නැති නිසා හැමෝම කතා නොකර ඉන්න තීරණය කරලලු ඉන්නේ.

ඒත් කොයි වෙලේ හරි මෙයාගේ අසාධාරණ වැඩවලට එරෙහිව කණ්ඩායම් රැස්වීමකදී කට්ටියම නැගිටලා යන්නත් තීරණය කරලලු තියෙන්නේ.

  • deshaya

රට මෑතකදී මුහුණදී සිටි අභියෝගාත්මක කාරණයේ අලුත්ම තත්ත්වය මෙන්න !

මෑතකාලීනව රට මුහුණ දුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට , දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් කර ඇති අතර ජූනි මාසය වන විට සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීම ඉලක්කය වී ඇත.

මේ අතර, විදේශ ණය බහු පාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළ සියඹලාපිටිය අමාත්‍යවරයා , එම බහු පාර්ශ්වීය ණය අඛණ්ඩ ව ගෙවීමට කටයුතු කළ බව ද සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ද්වි පාර්ශ්වීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථක ව මේ වන විට පැවැත්වෙමින් ඇති බවත් රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමා කොට ගිවිසුම්ගත වීමට හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත.

එමෙන්ම ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විට හා ණය ප්‍රතිව්‍යුහගතකරණය ජූනි මාසය වන විට සම්පූර්ණයෙන්ම නිමා කිරීම ඉලක්කය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසීය.

ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂක ඉත්තෑවා ආයෙත් එළියට : මෙන්න සාක්ෂි !

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකට අදාළ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ද වසා ඇති බැවින් එම කවුළු වෙත පැමිණ අපහසුතාවට පත්නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ සඳහන් කර ඇත.

දඹුල්ලේදී පැවැති දෙරට අතර පළමු විස්සයි20 තරගය ප්‍රේක්‍ෂකයන් 18,000 ක් පමණ නැරඹූ බවත් දෙවැනි තරගය හෙට (19) ද, තෙවැනි තරගය 21 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.

ඉබ්බාගමුව පාසලක මත්වූ සිසුන් රෝහලේ !

ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසල සිසුන් සිව් දෙනකු දැඩි ලෙස මත්ව සිහිසුන් වී පාසලේ ගසක් යට වැටී සිටයදී කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ඉන් එක් සිසුවකු දැඩි ලෙස මත්ව සිටි නිසා ඔහුගේ තත්වය බරපතල බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

රෝහල් ගතකොට සිටින සිසුන් ලිහිනිවැහැර අවට පදිංචි කරුවෝ වෙති.

මෙම සිසුන් සිව් දෙනා කිසියම් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැකකරන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ පාසල පැවැත්වෙන වෙලාව තුලදී මෙම සිසුහු මෙසේ මත් ගතියෙන් පාසලේ ගසක් යට වැටී සිටියදී හමුවීමෙන් පසුව ඔවුහූ රම්බඩගල්ල රෝහලට ඇතුලත් කර ඇතත් සිසුන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් ගතකල බව ‍ රම්බඩගල්ල රෝහල් ප්‍රකාශකයෙක් සනාත කලේය.

හදුනානොගත් පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට සැකකෙරෙන බව සිදුවීම පිළිබදව පරීක්ෂණ මෙහෙය වන මදුරාගොඩ පොලිසිය පවසයි.

කිසියම් පෙතිවර්ගයක් ගසයට වැටීතිබි අහුලාගෙන පානය කල බවට සිසුහූ පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියෙකු විසින් එම සිසුන්ට ලබාදුන්නේද යන්න පිළිබදව සොයා බලන බව මදුරාගොඩ පොලිසිය සදහන් කළේය.

මින් එක් දරුවකුගේ පියකු දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවත් ඔහුගේ මත් පෙති රැගෙන ඇවිත් පානය කළේය යන්න ගැන පරීක්ෂණ මෙහෙයවයි.

  • lankadeepa

බන්ධනාගාර රෝහලේ තදබදයක් - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර රෝහලේ දැඩි තදබදයක් මතුව ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක  සඳහන් කළේ, බන්ධනාගාර රෝහලේ ඇඳන් 185 ක් පවතින බවයි.

එහෙත්, මේ වන විට රැඳවියන් 350 දෙනෙකු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව, ඔහු සඳහන් කළේ ය‍

ඉදිරියේදී එම තත්ත්වය ඉහළ ගියහොත්, දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බන්ධනාගාර ගත රැඳවියන් ප්‍රමාණය, ශීඝ්‍රයෙන් ඉහළ යාම, එම තත්ත්වයට හේතුවයි.

newsfirst

නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි !

දීර්ඝ කාලයක් පුරා අතපසු වූ නමුත් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් අද රට තුළ සිදු කෙරෙමින් තිබෙන අතර ඒවා දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

අතීතයේ දී මැතිවරණ පිළිබඳ පමණක් සිතා තීන්දු ගැනීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා වත්මන් රජය සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අද දවසේ හිමි නොවුණද, රටේ තරුණ තරුණියන් සහ අනාගත පරපුරට නිසැක වශයෙන්ම එම ප්‍රතිලාභ හිමිවනු ඇති බවද සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (15) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. ජනාධිපති වෘත්තීය සබඳතා අංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි වුවද වැඩිවූ ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි නොවූ බවත්, ඒ හේතුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනතාවට උපරිම සහන සැලසීමට රජය කටයුතු කරමින් සිටින බවත් මෙහිදී පැවසූ සාගල රත්නායක මහතා විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් සමඟ ජනතාවගේ ආදායම් මට්ටම ද ඉහළ යන බව පෙන්වා දුන්නේය.

තවද ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නැවත නඟා සිටුවීමට මෙවර අයවැය මඟින් මුදල් වෙන් කර ඇති බවත්, ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීම තුළින් නැවත විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවත් සාගල රත්නායක පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේ ද පැවසීය.

මීට වසර එක හමාරකට පෙර මේ රටේ තිබූ තත්ත්වය අපට අමතක නැහැ. එදා ජනතාවට ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල කාලය ගත කිරීමට සිදු වුණා. අවශ්‍ය ඖෂධ ටික ලබා ගැනීම පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ජීවිතයේ ඉතා අසීරු තත්ත්වයකට අප පත්ව සිටියා.

එදා රටක් ලෙස අප සම්පූර්ණයෙන් බංකොලොත් භාවයට පත්ව තිබුණා. ආණ්ඩුව ගෙනයාමට අවශ්‍ය රුපියල් ශත ආදායමවත් තිබුණේ නැහැ. ඉන්ධන සහ ගෑස් ආනයනයටවත් මුදල් තිබුණේ නැහැ. ඒ වගේම ජනතාව පාරට පැමිණ නීතිය හා සාමය කඩවෙලා තිබුණා. අරගලය යහපත් අරමුණකින් ආරම්භ වුවත් අවසන් කාලය වන විට රටේ රාජ්‍ය දේපළ විනාශ කරමින් රටේ නීතිය හා සාමය කඩවන තත්ත්වයකට පත්ව තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගෙන සතියක් දෙකක් යන විට රට තුළ නීතිය හා සාමය නැවත ස්ථාපිත කිරීමට හැකි වුණා. ඒ වගේම මූල්‍ය අර්බුදයට යම් විසඳුමක් ලබා දී අවශ්‍ය මූලික සැපයුම් වන ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදීමට කටයුතු කළා. එද පොහොර නැතිව කෘෂිකර්මාන්තය කඩා වැටීමකට ලක්ව තිබුණා.

මේ රටේ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන කරුණු දෙකක් හේතු වුණා. ඉන් පළමුවැන්න තමයි පොහොර ප්‍රතිපත්තිය නිසා ඇති වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කඩා වැටීම. දෙවැනි හේතුව වූයේ රාජ්‍ය ආදායම් පිළිබඳ දැරූ ප්‍රතිපත්ති අනුව සිදුකළ බදු ආදායම අඩු කිරීම නිසා රජයට බදු ආදායම් අහිමි වීම. ඒ වගේම මැතිවරණ පිළිබඳ පමණක් සිතා ගත් තීන්දු තීරණ නිසා මතු වූ ප්‍රශ්න ගණනාවක් තිබුණා. මේ අර්බුද යම් තරමක් දුරට සමනය කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා විදේශ රටවලින් අපට ආධාර උපකාර ලැබුණා.

ඉන්පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇතිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමට ජනාධිපතිතුමා තීරණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පීඩනයන් අවම කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එකඟ වුණා. එහිදී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට නම් බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුව තිබුණා.

රුපියලේ අගය පහළ යාම නිසා රටේ ජනතාවගේ ජීවන බර වැඩි වුණා. මේ සමඟ බදු වැඩි කළ විට ජනතාව තවත් පීඩාවට පත් වෙනවා. නමුත් එය සිදු නොකළහොත් කෙසේවත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වෙනවා. නමුත් වසර දෙක තුනක් මෙම අසීරුතා විඳ දරාගතහොත් අපට සහනයක් ලබා ගත හැකියි. ඒ අනුව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වෙලා එම වැඩසටහනට එළැඹුණා.

මේ තත්ත්වයට පත් වූ අනෙක් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට දීර්ඝකාලයක් ගත වුණා. නමුත් අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් ගිවිසුම්ගත වීම නිසා ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වුණා.

අපේ රටේ ආර්ථිකය නැවත හැරවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබාදුන් සහතිකය අපට වඩා වාසිදායක වුණා. ඒ අනුව නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ අප ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ වගේම ජනතාවට මුහුණ දීමට සිදු වන අසීරුතා පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත්, වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟත් සාකච්ඡා කර සහන ලබා ගැනීමට කටයුතු කළා.

“අස්වැසුම” ඒ අනුව ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහනක්. ඉදිරියේ දී එය තව තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. මෙම වැඩසටහන සමඟ ජනතාවගේ මූල්‍ය දුෂ්කරතා යම් තරමකින් හෝ පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවගේම එහි ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකර තිබෙනවා. සමෘද්ධියට වෙන් කරන මුදලට වඩා තුන් ගුණයක් අප අස්වැසුම සඳහා වෙන් කළා. එම මුදල සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කෙරෙනවා. ඉදිරියේ දී ඩිජිටල්කරණය සමඟ එම වැඩසටහන තවත් දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ගර්භණී මවුවරුන්ට ලබා දුන් පෝෂණ මල්ල නැවත ලබාදීමට කටයුතු කළා. වැඩිහිටියන්ට, වකුගඩු රෝගීන්ට ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ දීමනා නියමිත පරිදි ලබා දෙමින් එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ වගේම පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු හඳුනාගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මෙවැනි වැඩසටහන් අපි දිගින් දිගටම දියුණු කරමින් ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද මේ වන විට සාර්ථකව සිදු වෙනවා. එහි පළමු පියවර වන ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පැරිස් සමාජය සමඟ එකඟතාවකට පැමිණ තිබෙන අතර එය ප්‍රකාශයට පත් කිරීම ආසන්න තත්ත්වයේ පවතිනවා. එය ප්‍රකාශයට පත්වීමත් සමඟ අපේ රට සම්පූර්ණයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වෙනවා. ඒ අනුව ජාත්‍යන්තරයේ ණය ලබා ගැනීමේ තත්ත්වය ශක්තිමත් වන අතර රටට සහන ලැබෙනවා වගේම රටට ආයෝජකයන් පැමිණීමට පටන් ගන්නවා.

බංකොලොත්භාවයෙන් නිදහස් වී අප සාමාන්‍ය රටක් ලෙස නැවත ගනුදෙනු ආරම්භ කළ යුතුයි. ඒ වගේම අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. ඒ සඳහා අප ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රමුඛ වැඩසටහනක් බව කිව යුතුයි. දැනට ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකින් අස්වැන්න ලැබෙන්නේ ටොන් 04ක පමණ ප්‍රමාණයක්. එය දෙගුණයක් කර ගැනීමට හැකි වැඩසටහනක් දැන් සකස් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන් මෙම වර්ෂයේ දී ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

ඒ වගේම සංචාරක කර්මාන්තය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දැනටමත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර පසුගිය වසරේ සංචාරකයක් 14,89,000ක් මෙරටට පැමිණ තිබෙනවා. එය ඊට පෙර වසරට වඩා දෙගුණයක වැඩිවීමක් බව කිවයුතුයි. ඒ වගේම මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියේ 2017 වසරේදීයි. එම සංඛ්‍යාව ලක්ෂ 25ක්. අපේ ඉලක්කය වන්නේ එම ප්‍රමාණය අභිඹවා යාම පමණක් නොවෙයි. ලබන වසර වන විට එය තවත් ඉහළ නංවා ගැනීමයි. එමෙන්ම දැනට මෙරටට පැමිණෙන සංචාරකයන් දිනකට ඩොලර් 100ක් පමණ වැය කරන සංචාරකයන්. ඔවුන්ට අමතරව දිනකට ඩොලර් 500ක් පමණ වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් ද මෙරටට ගෙන්වා ගැනීමට අප නව වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් කර්මාන්තය යන මේ සියලු අංශවල පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට රජය සැලසුම් සහගතව කටයුතු කරනවා.

පසුගිය ආර්ථික කඩාවැටීම නිසා අප සියලුදෙනා පීඩාවට පත් වුණා. දීර්ඝ කාලයක් පුරා අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් අප මේ වන විට සිදු කරමින් සිටිනවා. මෙය දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි.

ඇතැම් විට මෙහි සිටින අපට එහි ප්‍රතිඵල සියයට සියයක්ම දැක ගැනීමට නොහැකි වෙයි. නමුත් අනාගත පරපුරට සහ තරුණ තරුණියන්ට නිසැක වශයෙන්ම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ සඳහා අප මෙම මාර්ගයේම ඉදිරියට යා යුතුයි. මෙම බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ අප සිදු කරන්නේ නැවත හරවන්න බැරි අන්දමින් පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමෙන් පසුවයි. නමුත් අපි ඒ වැඩකටයුතු ක්‍රමානුකූලව අවසන් කළයුතුයි. ඒ සඳහා අප රටක් ලෙස එක්විය යුතුයි.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග :

2022 අප්‍රේල් මාසයේ 12 වැනි දින ණය ගෙවිය නොහැකි බවට පළමු වතාවට රජය ප්‍රකාශයට පත් කළා. නමුත් අපි ණය නොගෙව්වේ විදේශ රටවලින් ගත් ණය සහ ජාත්‍යන්තර බැදුම්කරවලට ගත් ණය පමණයි. අප එදා සිට අපේ දේශීය ණය, ජාත්‍යන්තර ප්‍රධාන මූල්‍ය ආයතනවලින් ගත් ණය අඛණ්ඩව ගෙවා ගෙන ආවා. නමුත් වැඩි කොටසක් තිබුණේ විදෙස් රටවලින් ගත් ණය සහ පුද්ගලික ණය නිසා ඒවායේ ගෙවීම් සිදු කළේ නැහැ.

කෙසේ වුවත් පුද්ගලිකවත් ලබාගත් ණය ගෙවිය නොහැකියි කියන්නේ බංකොලොත්භාවය තමයි. අවුරුදු 100ක වැනි මෑත ඉතිහාසය තුළ කවදාවත් මෙවැනි තත්ත්වයකට පත් වී නැහැ. ඒ නිසා එම 2022 අප්‍රේල් 12 වැනිදාව ශ්‍රී ලංකා ආර්ථික සහ සමාජ දේශපාලන ඉතිහාසයේ කඩඉම් වර්ෂයක් හා දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවත් ජනතාවත් කියා සිටියේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කළ යුතු එකම දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කළත් එම නිලධාරීන් ඒ අවස්ථාවේ මෙරටට පැමිණීමට බිය වුණා. සූම් සාකච්ඡා හරහා ඉතා අසීරු ගමනක් ගිහින් සැප්තැම්බර් 01 වැනිදා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි සහිත එකඟතාවකට පැමිණීමට හැකි වුණා. වසර 04ක කාලපරිච්ඡේදයක් සඳහා ඩොලර් බිලියන 03ක එකඟතාවයකට පැමිණියත් ශ්‍රී ලංකාව ණය නොගෙවන බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින් එය ලබා දිය නොහැකි බව ඔවුන් පැවසුවා. ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ණය ගෙවන වැඩපිළිවෙළක සිටින බවට එකඟතාවකට පැමිණෙන ලෙස ඔවුන් දැන්වුවා. ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන දෙකක උපදෙස් ලබා ගනිමින් මාස 07ක් තිස්සේ සාකච්ඡා සිදු කර 2023 මාර්තු 20 වැනිදා තමයි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලැබුණේ. එය ලොකු මුදලක් නොවෙයි වුවත් ලංකාවේ හොඳ ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන බවට සහතිකයක් ලබා ගැනීමට හැකි වුණා.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :

2024 අය වැය ලේඛනය කියන්නේ මෙම වසර තුළ රට ගෙන යන්නේ කොතැනටද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන මූල්‍යමය ලියවිල්ලයි. එය නිසි ලෙස අධ්‍යයනය කර ඊට දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි අදහසක් ලබා ගැනීම අතිශය වැදගත් කාරණාවක් බව කිවයුතුයි.

පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන උප සංස්කෘතිකයක් අපේ රටේ නිර්මාණය වුණා. ඒ වගේම තෙල් බවුසරයක් ඉන්ධන හළ වෙත පැමිණෙන විට අත්පොළසන් දෙන සමාජයක් අපට දකින්න ලැබුණා. එවන් අසීරු යුගයක් තමයි අප දැන් යම් ප්‍රමාණයකට අවසන් කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අද අපට රටක් ලෙස නැවත නැගී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එම වැඩපිළිවෙළ අද ලෝකය පිළිගෙන තිබෙනවා. වැටුණු රටවල් අතරින් ඉක්මණින් නැගි සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන් ද පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SLRC සහ SLBC එක් කරන සමාගමක් එයි !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දේශයට වාර්තා වෙයි.

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවද සඳහන්ය.

මෙම ආයතන දෙකම දැනට අධික ණය බරින් මිරිකෙන බව මේ සම්බන්ධව රජය කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත. ඒ අනුව රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1300ක්ද ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක්ද ණය ගෙවීමට ඇතැයි වාර්තා වෙයි.

එසේම මෙම ආයතන දෙකේ විදුලිය බිල මසකට රුපියල් මිලියන 60ක් පමණ වෙයි. ආයතන දෙකෙහි වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වෙයි. ඊට අවශ්‍ය අරමුදල් පවා උපයා ගැනීමට මෙම ආයතනවලට අසීරු වී ඇති නිසා මෙලෙස අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් දේශයට ලැබුණු තොරතුරු අනුව මෙකී සංස්ථා දෙකෙහිම සමස්ත සේවක සංඛ්‍යාව 1100ක් පමණ වන බවද සඳහන්ය.

  • deshaya

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා - පැසිෆික් කලාපීය සමුළුව 19 ඇරඹේ !

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද (17) දිවයිනට පැමිණීමට නියමිතයි .

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා - පැසිෆික් කලාපීය සමුළුව ලබන 19 වැනි දා සිට 22 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ අවසන් සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබේ.

මීට සමගාමී ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද හෙට මෙරටට පැමිණීමට නියමිතයි.

චීනය, මැලේසියාව, ජපානය, පාකිස්තානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව ද සඳහන් ය.

සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පැවති ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයන් පිරිසක් එකවර සහභාගි වන සමුළුව මෙය වන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සහාය පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන  ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ජනපති කැපවෙයි : ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි කරයි !

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වේ.

බුද්ශ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීමටත්, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කළේය.

විද්‍යෝදය පරිවෙණාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපද්‍යාය අමරපුර චූලගන්ඨී පාර්ශ්වයේ මහානායක සාහිත්‍ය ශුරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත ගංතුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේ, ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාල පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමිපාණන් වහන්සේ මෙහි මුලසුන හෙඹ වූ අතර පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහ පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානයන්හි දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පූජා භූමි සන්නස්පත්‍ර පිළිගැන්වීමට පෙර මෙම අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නය විෂයයෙහි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දානමය පුණ්‍යකර්මයක් ද සිදු කෙරිණි.

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා ලිංගික අධ්‍යාපනය ලබාදීමට දින නියම වෙයි !

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදී‍මේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මාර්තු මස 7 වැනිදා සිට ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වැඩසටහන සඳහා ඒකාබද්ධ කරගැනීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ට බෙදාහැරිය යුතු පොත් සකස් කිරීමේ කටයුතු මේ දක්වා අවසන් කිරීමට අමාත්‍යාංශයට නොහැකිවීම ඉහත තීරණය ගැනීමට හේතු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනය සමග ඒකාබද්ධව විෂය නිර්දේශ සකස් කර අවසන්ව ඇති අතර එම විෂය නිර්දේශ අනුව පොත් සකස් කිරී‍ම් කටයුතු භාරගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ය.

අමාත්‍යාංශය එම වගකීම මෙතෙක් ඉටුකර නොමැති හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කළ බව සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පැවසුවාය.

විෂය නිර්දේශයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ රූපමය නිර්මාණ එදින අන්තර්ජාලයට ඇතුළත් කරන බවත් සභාපතිනිය කීවාය.

  • aruna

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක් බව වාර්තා වේ.

ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් සදහන් කළේ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

ලොතරැයි මණ්ඩලයෙන් බිලියන 7ක් ඒකාබද්ධ අරමුදලට

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාල චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවැත්විණි.

ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල් ත්‍යාග සහ වාහන ත්‍යාග පිරිනැමීම සහ ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතින් මෙහිදී සිදුවිය.

මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලුතින් හඳුන්වාදෙන “අද සම්පත” නව ලොතරැයි ටිකට් පත එළි දැක්වීම ද සිදු වූ අතර එම ලොතරැයියෙහි පළමු ටිකට්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන  විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තවද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සිදු කළ මෙහෙවර අගයමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමරු තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක දායකත්වයක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදල වෙත පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර ඊට අදාළ වෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත බාර දෙනු ලැබීය.

රටින් පැන්න අපරාධකරුවන් අල්ලන්න රතු නිවේදන 42ක්

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි.

මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි.

ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන පියුමා නමැත්තාගෙන් මෙරට කුඩු ජාවාරම් සහ භයානක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නකොට ඒවා විසඳීමට ක්‍රියාකරන බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන හරක් කටාට පළා යාමට සහය දැක්වූ දැනට පළා ගොස් සිටින පොලිස් නිලධාරියා ද අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබේ !

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී අති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේ ද පැවසීය.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද පෙරවරුවේ අත්සන් තැබුණා. ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු ගිවිසුමට අනුව දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමඟ මගීන්ට අවශ්‍යතාව පහසුකම් සැපයීම අපගේ අරමුණයි.

එසේම ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වනවා. ඊශ්‍රායල ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය අප සමඟ සදහන් කළා.

ඒ වගේම පලාලි ගුවන් තොටුපළ හරහා දිනපතා ඉන්දියාව දක්වා තවත් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම (Indigo Airlines) සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව අභිලාෂ කැඳවීමක් සිදු කළා. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් එක් ආයෝජකයෙකු තෝරාගෙන තිබෙනවා. එම ආයෝජකයා සමඟ වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන සතියේ දී සම්මුතියකට එළඹීමට හැකිවනු ඇතියි. ඒ සමඟ එම ගුවන්තොටුපළ ද ලාභදායී තත්ත්වයට පත්කළ හැකි වනවා. එම ගිවිසුම රුසියානු සහ ඉන්දීය ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ පවතින තදබදය වළක්වා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර කවුළු 31ක් සහ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිරිකිරීමට ද අභිලාෂ කැඳවීම් සිදුකර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 06ක් වනවා. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිත අතර මාස 09ක් තුළ පවතින තදබදයට විසඳුම් ලබාදිය හැකි වනවා.

ඒ වගේම ජයිකා ආයතනයේ සභාපතිවරයා ඊයේ දින (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවේදී දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එකඟතාව පළකළා.

ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාව මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. වැඩිවන දාරිතාව අනුව වරාය ප්‍රසාරණය කිරීම සඳහා වරාය අධිකාරියට අයත් මුදල්වලින් නැගෙනහිර පර්යන්තය ඇමරිකන් ඩොලර් මිලියන 580ක් වැය කරමින් සංවර්ධනය කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ අනුව ECT පර්යන්තය හරහා විශාල කන්ටේනර් ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි අතර ඉන් ඉහළ ආදායමක් මෙරටට උපයාගැනීමට හැකියාව පවතිනවා.

1917 රුසියානු විප්ලවයේ දී ලෙනින් කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ - ජනපති

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මෙහි පළමු අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය පාලන සමයේ සැලසුම් කළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බවත්ය.

දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් එකට එක්වන ලෙස සියලු පාර්ශ්ව වෙත නැවත ආරාධනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාරගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය ලබාදීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මෙම ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කදුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප එම ගැටළුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මෙම කාර්යයන් දෙකම අද ජීවන් තොණ්ඩමන් මැතිතුමා භාරගෙන ඉටුකරමින් සිටිනවා.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2013 වසරේදීයි. මෙම ප්‍රදේශවල ජනතාව පීඩාවිඳින වකුගඩු රෝගයට පිළියම් සොයමින් පිරිසුදු පානීය ජලය සපයා දිය යුතුව තිබෙනවා. අනිත් අතින් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජලය ද ලබාදිය යුතුයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නැතිවෙයිද කියා ඇතැමුන් තුළ සැකයක් මතුව තිබෙනවා.නමුත් එවැන්නක් සිදු නොවන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අප ඒ පිළිබඳව වගබලා ගන්නවා.

මේ ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් කටයුතු සඳහා ජලය අවශ්‍යයි. ඒ වගේම නිවාසවලට ජලය අවශ්‍යයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාවද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවට මම පොරොන්දු වෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය නිසා අපට කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුත්ත අවසන් කිරීමට හැකිව තිබෙනවා. මෙම ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා.

2022 මම මේ ආණ්ඩුව භාර ගත්තේ ඒ සඳහා වෙන කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා බව ඔබ දන්නවා. ඉන් පසුව විවිධ පක්ෂවල සහාය ඇතිව අපි ආණ්ඩුවක් ඇතිකරගෙන රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා. එවන් අසීරු තත්ත්වයකින් තමයි අප මෙය ආරම්භ කළේ.

එදා අප සමග බොහෝ දෙනෙක් හිටියේ නැහැ. ඇතැම් අය කිව්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. එදා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. මෙවන් තතත්වයක් තුළ ඡන්දයක් පවත්වන්නේ කොහොමද, අපට අවශ්‍ය වුණේ ඉස්සෙල්ලම මේ ප්‍රශ්න ටික විසඳගෙන නියමිත කාලයේදී මැතිවරණ පවත්වන්න.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් අප මේ වන විට බොහෝ වැඩකොටසක් සිදුකර තිබෙනවා. නමුත් අප තවම ණය බරින් නිදහස් වී නැහැ. ණය ගෙවීම සඳහා සහනයක් ලෙස ණය ගෙවීමට තව වසර 20ක් ලැබෙයි. අපි කඩිනම් ආර්ථික පරිවර්තනයකට යොමු නොවුනහොත් ඒ ණය ගෙවන විට තව ණය ගැනීමට සිදුවෙනවා.

අපි මේ රට භාරගන්න අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර ටික තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ. පළමුව සිදු කළ යුතුව තිබුණේ මෙම අවශ්‍යතා ඉටු කිරිමයි. යුදමය අවස්ථාවලදී, ආණ්ඩු කඩා වැටෙන විට ඕනෑම ආණ්ඩුවක් පළමුව කළයුත්තේ මෙම මූලික අවශ්‍යතා සපුරාලීමයි.

ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රැසියානු විප්ලවයේ දී ලෙනින් මැතිතුමා ප්‍රකාශ කළා. එතුමා එම අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. වෙන මොකුත් කිව්වේ නැහැ. බලය ලබා ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ.

අපත් පළමුව කටයුතු කළේ රට තුළ සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීමට. අද රට තුළ ස්ථාවරභාවයක් තිබෙනවා. ඒ වගේම නීතිය හා සාමය තිබෙනවා. ඕන කෙනෙක්ට ආණ්ඩුවට බනින්න පුළුවන්, පෙළපාළි යන්න පුළුවන්. එම ස්ථාවරභාවය අද ඇති කර තිබෙනවා.

දෙවනුව අප ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සඳහා අපට වී වගා කරන්න ඇමරිකාවෙන් පොහොර ලබා දුන්නා. 2022, 2023 වගා කටයුතුවලින් අපට හොද අස්වැන්නක් ලැබුණා. අපි ජනතාවට අවශ්‍ය සහල්, පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා.

තෙවනුව තිබුණේ ඉඩම් ලබාදීම. අපි ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියද එම ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

රට තුළ හොඳ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟ ජල කළමනාකරණය වඩා හොඳින් සිදු වෙනවා. ඒ වගේම නව බෝග හඳුන්වා දීම සිදු වෙනවා. රජ සමයේ වී වගා කළේ රටේ ජනතාවගේ ආහාර සඳහා පමණක් නොවෙයි. අප පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස සහල් අපනයනය කළා. අද අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි ඇයි.

අප එදා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් අද අපට හිඟා කන ජාතියක් වීමට සිදු වන්නේ නැහැ. ඒ වගේම නව කර්මාන්ත රට තුළට ගෙන ඒමට, එමෙන්ම සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. ආහාර සපයාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදිය යුතුයි. පසුගිය වසර දෙක තුන තුළ රැකියා ලබා දීමක් සිදු කර නැහැ. තව වසර පහක් හයක් රැකියා නොමැතිව මෙහෙම බලාගෙන ඉන්නත් බැහැ. අපි කඩිනමින් විදේශ ආයෝජන ලබාගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා වන ආර්ථික පරිවර්තන ක්‍රියාවලිය වෙනුවෙන් නව නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමු.

අපට මැතිවරණ කාලයේදී වෙන් වෙලා තම තමන්ගේ දේශපාලනය කළ හැකියි. නමුත් ඡන්දයෙන් පසුව නැවත එකතු විය යුතුයි. එවන් ක්‍රමයක් තමයි අපි ඇති කළ යුත්තේ. අපි බෙදී සිටීමෙන් ගමේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. අදත් මම සියලු දෙනාට කියන්නේ අපි එකතුවෙලා මේ වැඩකටයුතු කරමු. ආණ්ඩුව වෙනුවෙන් හෝ විපක්ෂය වෙනුවෙන් එකතුවෙන්න කියලා මම කාටවත් කියන්නේ නැහැ. අපි එකතුවෙන්න ඕන ජනතාව වෙනුවෙන්. සියලුදෙනා එකට එකතුවුවහොත් මේ වැඩකටයුතු අපට වේගයෙන් ඉදිරියට ගෙන යාමට හැකි වෙනවා.

උතුරු මැදට ජලය ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී කාර්යයක් බව කිවයුතුයි. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

මෙම ජල ව්‍යාපෘති වගේම උතුරු මැද විදුලි බලාගාර ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා.මෙම ප්‍රදේශයේ තාප බලය තිබෙනවා. ඒ වගේම උතුරේ සුළං බලය තිබෙනවා. එසේනම් අපට විශාල පුනර්ජනනීය විදුලි බලාගාරයක් බවට මෙම පළාත පත් කරන්න පුළුවන්.

ඒ වගේම වැව්වල විදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ අප මේවන විට සාකච්ඡා කරමින් සිටිනවා. අපට මේ තුළින් විශාල ආර්ථික ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටේ නව ආර්ථිකයක් ඇති කර ජනතාවට හොද අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් මම සියලුදෙනාගේ සහය ඉල්ලා සිටිනවා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් :

IMG 20240215 WA0016මෙම අමාත්‍යාංශය භාරගන්නා විට ජල සබඳතා 10000ක් වත් ලබාදීමට නොහැකි වනු ඇතැයි කියා සමාජ මතයක් ගොඩනඟා තිබුණා. පසුගිය වසරේ පමණක් ජල සබඳතා 103,000ක් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. මේ වසර අවසානය වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් 60%ක ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය ලැබෙනවා. ජල බිල් පත ජනතාවට බරක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමට අප කටයුතු කරනවා .

රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොපැකිලිව රටේ නායකත්වය භාරගත්තා. තවදුරටත් රට අස්ථාවරභාවයට පත් වීමට ඉඩ නොතබා ආර්ථිකය නිවැරදි මාවතට යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ප්‍රශංසාව හිමි විය යුතුයි.
වතු ජනතාවගේ පෝෂණ සහ ඉඩම් ප්‍රශ්නය තවමත් තිබෙනවා. උරුමය වැඩසටහන යටතේ වතු ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ :

මෙම ව්‍යාපෘතිය තුළින් පවුල් 25000ක පානීය ජල අවශ්‍යතාව සපුරාලිය හැකියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට මෙම පානීය ජල ව්‍යාපෘතිය මඟින් අස්වැසිල්ලක් ලැබෙනවා .මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම තුළින් කැබිතිගොල්ලෑව ,හොරොව්පතාන ,පදවිය හා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් 55,000කට පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරනවා.

අද කන්න රැස්වීම පවත්වා නැහැ. නමුත් වෙනත් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව තුළ ගොවිතැන සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරමින් මේ ව්‍යාපෘතියේ දෙවන අදියරට බාධා ඇති කරන්න උත්සාහ කරනවා. මේ සඳහා ඉඩදිය යුතු නැහැ.

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ :

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට සාක්ෂි දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශයේ වාර්තාවලින් එය ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇතියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව පිරිසුදු පානීය ජලය නොමැතිවීමයි. අද මේ පළාතේ එක් කණ්ඩායමකට පිරිසුදු පානීය ජලය ලබාදීමට හැකි වෙනවා. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර නිමා වනවිට තවත් කණ්ඩායමක පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකිවෙනවා.

මෙම ව්‍යාපෘතියට අදාළව කිසිදු ගැටලුවක් මතු වී නැහැ. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අප පසුගිය සතියේ වගකිවයුතු සියලුම නිලධාරීන් ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරිතුමා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉංජිනේරුවරුන්, ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන් යන මේ සියලුදෙනා සමග මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් වාරිමාර්ග අමාත්‍යාංශය නියෝජනය කරන ලේකම්තුමාගේ සිට අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සියලුදෙනා කැදවලා අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.

යම් ජන කොටසක් අගතියට පත්වෙනවනම් ඒ දේ කළමනාකරණය කර නිවැරදි දේ ජනතාවට ලබාදීම අපේ වගකීමයි. ඒ සාකච්ඡාව දීර්ඝ වශයෙන් සිදු කෙරුණා. කිසිවෙකුට අගතියක් නොවන විදියට කටයුතු කිරීමට එහිදී අප එකඟ වුණා. මෙම මහකනදරාව වැවෙන් වතුර අරගෙන තම කෘෂිකර්ම කටයුතු සිදු කරපු ජනතාවට මොනම ආකාරයෙන්වත් අගතියක් වීමට අප ඉඩ තබන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිළිව මෙම අවස්ථාවේ කිවයුතුයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විටම වැවේ ධාරිතාව වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ වැඩිකරන ධාරිතාවෙන් අඩක් පිරිසිදු පානීය ජලය ලෙස මෙම ප්‍රදේශයේම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඇතැම් විට කන්න දෙකම වගා කිරීමට නොහැකි වන විට, අතුරු බෝග වගා කිරීමට නොහැකිවන විට, ජලය අඩු වන විට ගොවි ජනතාව කලබල වෙනවා. ඒ නිසාම මෙවර අයවැයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයට බිලියනයක මුදලක් වෙන් කර තිබෙනවා මෙම වැවට ජලය රැගෙන ආ හැකි බේරුවැව වාන් දොරටු උස්සලා, වාන් දොරටු විවෘත කර අඩුම තරමේ දෙපාරක්වත් බේරු වැවෙන් මහකනදරා වැවට ජලය රැගෙන ඒමට. දැනට ඇල මාර්ග සකස් කර තිබෙනවා. එම අඩුපාඩු සම්පුර්ණ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙනවා.

මෙම පානීය ජල ව්‍යාපෘතිය සාර්ථකවීමට නම් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාවටත් අගතියක් සිදු වීමට නොහැකි බව අප වගකීමෙන් අවධාරණය කරනවා. මේ පාර්ශ්ව දෙකටම කිසිදු ආකාරක අසාධාරණයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට අප වගකිම භාරගන්නවා කියන එකත් ඉතාමත් පැහැදිළිව මම ප්‍රකාශ කරනවා.

මෙම ව්‍යාපෘතිය කෙතරතම් හොද වුවද ආත්මාර්ථකාමී ලෙස මේ දෙස බලා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා නම් එය ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව රටටම කරන අපරාධයක් ලෙස අප දකිනවා. මෙය ඉතාම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්. මොන තරම් වතුර ප්‍රමාණයක් මේ පොම්පාගාරවලට ගත්තද කියලා ගොවි සංවිධාන නියෝජනය කරන කෙනෙකුට ඇවිල්ලා බලන්න අවස්ථාව සලසා දීලා තිබෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයත්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවත්, ගොවි සංවිධානත් එකඟතාවකට පැමිණ එම එකඟතාව ලිඛිතව අවබෝධතා ගිවිසුමකටත් එළැඹීමට අප තීරණය කළා. එවිට කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු වන්නේ නැහැ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සභාපති ටනකා අකිහිකෝ :

මෙම ජල ව්‍යාපෘතිය සඳහා යෙන් මිලියන 5,166ක් ජපන් අරමුදල් සපයා තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතියෙන් රඹෑව සහ මැදවච්චිය ප්‍රදේශවල පවුල් 25,000කට පමණ සෙත සැලසෙනවා.අද මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විමට ලැබීම මට මහත් සතුටක්.
ඒ වගේම මෙම අනුරාපුර ඓතිහාසික පුරවරය දැක බලා ගැනීමට මට අද අවස්ථාව ලැබුණා. එය මම මහත් භාග්‍යයක් කොට සලකනවා. මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට මගේ ස්තුතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්, එච්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු මහා ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්,ජපාන ජාත්‍යන්තර සහයෝගික ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240215 WA0017

නඩුවට ගෙනා Onmax DT අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විරෝධයක් !

නීති විරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළ බවට චෝදනාලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇප ලබාගැනීමෙන් පසු රහසිගතව විදේශගතව ඇති බවට විමර්ශන නිලධාරීන් අද (15) අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ නීතිවිරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැම්පත්කරුවන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා ලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට එරෙහි නඩුව අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අනාවරණය වූ ආකාරයට නඩුවේ 6වන සැකකරු වන Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ධනංජය ජයාන් චාමර නැමැත්තා ඇප ලබාගැනීමෙන් පසුව මෙලෙස රහසිගතව විදේශගතව ඇත.

කෙසේ වුවත් එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබේ.

මෙහිදී සමාගම් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්ත  කරුණු දක්වමින් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් අදාළ අධ්‍යක්ෂවරුන්ට අයත් බැංකු ගිණුම් 58ක් අත්හිටුවා ඇති බැවින් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවා නිමකිරීමට නොහැකිව ඇති බවය.

එමෙන්ම මෙම අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ අන්සතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ මහාධිකරණයට පමණක් වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්  පැවසූවේ විමර්ශන පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් ඉල්ලීමක් කරන්නේනම් විමර්ශන සඳහා සහාය වීමට දේපොළ හෝ බැංකු ගිණුම් තහනම් කිරීමේ හැකියාව තම අධිකරණයට පවතින බවය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.ඒ. පී රණවක  අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් දේපොළවලින් සුළු කොටසකට පමණක් තහනම් නියෝග ලබාගෙන ඇති බවත් විමර්ශනයට ලක් නොවූ තවත් රුපියල් කෝටි ගණනක දේපොළ අධ්‍යක්ෂවරුන් සතුව පවතින බවත්ය.

එවන් තවත් දේපොළ පිළිබඳ ලියවිල්ලක් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් එකී දේපොළ තහනම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සළකා බලා අදාළ දේපොළ තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරුව නඩුව මැයි මස 2 වනදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර Onmax DT ගනුදෙනුකරුවන් අද අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටි අතර චෝදනා ලත් අධ්‍යක්ෂවරුන් අධිකරණයෙන් පිටව යද්දී ගනුදෙනුකරුවන් පැමිණ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථයේ මග හරස් කර විරෝධය පළකළේය.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තේය.

Page 20 of 383