ජයග්‍රාහී ගමනක යෙදී සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රනිල් හමුවට ආවේ විසඳා ගන්නට මෙන්ම කතාබහ කරන්නට ප්‍රශ්න රාශියක් සිත්හි තබාගෙන ය. මන්ත්‍රී කණ්ඩායම පැමිණෙන විටත් රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධව සාකච්ඡාවක යෙදී සිටියේ ය.
ආණ්ඩුව බෞද්ධ විරෝධී ද...?
රනිල් හමුවට ආ මන්ත්‍රීවරුන්ගේ මූලික කතාබහ වූයේ බුදු දහමට එල්ල වෙමින් පවතින අවැඩ දායක තත්ත්වයන් ගැන ය. රනිල් වැනි ප්‍රායෝගික බෞද්ධ නායකයෙක් සමග ඒ සම්බන්ධයෙන් කරුණු ගැඹුරින් කතා කිරීම ඔවුන් ගේ ඒකායන අරමුණ විය. ධර්මාධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුවකට කිසිම බලයක් නැතැයි ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂය තම ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.
"වෙසක් කියලා ආණ්ඩුවෙන් දවසක් ප්‍රකාශයට පත් කළත් වෙනදා තරම් වෙසක් සිරියක් ඇත්තෙන් ම අපි දැක්කේ නෑ."
වජිර කතාවට මුල පිරුවේ ඇත්තෙන්ම වෙනදා වෙසක් සිරියෙන් ඇලලී තිබූ කොළඹ වීදි පාළුවෙන් වෙළී තිබෙන ආකාරය සියැසින්ම දුටු නිසා ය.
" සිංහල අවුරුද්දකුත් තිබුනෙ නෑ නේද? ඒ වගේම තමයි වෙසක්.පොසොන් එකට මොනවා වෙයිද කියලා දන්නේ නෑ."
රනිල් පැවසුවේ සංවේගයෙනි.
බෞද්ධ ළැදි ප්‍රවීණයෝ ඉවත් කරයි ද...?

"සර් ආණ්ඩුවට විරුද්ධව බෞද්ධ බලවේගයක් බිම් මට්ටමෙන් නිරායාසයෙන්ම පැන නගිමින් තියෙන්නේ. ආණ්ඩුව සිංහල බෞද්ධ නායකයන් දඩයම් කිරීම ගැන සමාජයේ පැහැදීමක් නෑ. මේ රටේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළ ඔබතුමා වගේම මහින්ද, මෛත්‍රී වගේ නායකයන්ගෙන් පළිගන්න ආණ්ඩුව බලාගෙන ඉන්නේ. ඒ වැඩේ වෙන්නේ ආගමට පහර ගැහීමේ ගමනේම තවත් දිගුවක් විදියට. උසස් තනතුරුවල ඉන්න ප්‍රධාන බෞද්ධ අයත් දැන් පැත්තකට දමමින් ඉන්නවා," යැයි සුගීශ්වර පැවසී ය.
''පරිපාලන ක්ෂේත්‍රයේ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ ආරක්ෂක අංශයේ බෞද්ධ ළැදි ප්‍රවීණයෝ ඉවත් කරන්න මේ අයගේ සූදානමක් තියෙනවා. ඒ දේ යටින් කෙරෙමින් තියෙනවා,'' යැයි මාන්නප්පෙරුම තවත් චෝදනාවක් එල්ල කළේ ය.
''ඔව්, ඒ පුරප්පාඩු වලට බෞද්ධ නොවන අය රිංගන්න බලනවා කියලත් ආරංචියි.සෙසු ආගම්වල අය මේ හැප්පීමට කැමති නෑ. ඒ නිසා ආණ්ඩුවේ වැඩ පිළිවෙළට ඔවුන්ගේ සහයක් දෙන එකක් නෑ.''
තලතා කීවේ කලින් කතා බහට ලක් වූ කරුණු අනුමත කරමිනි.
සංඝයා වහන්සේට පිළිගන්නැයි කියන සංකල්ප පත්‍රිකාව කුමක් ද
පල්ලේගම හිමියන් සම්බන්ධ කාරණාව ද නොයෙක් විවාදාත්මක තත්ත්වයන්ට පැමිණ ඇති බව ආරංචි යැයි මෙහි දී කියැවිණි.
ධර්මාධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් කතාබහට ලක් කෙරුණේ මහා නායක හිමිවරුන් ගේ ඉල්ලීම අනුව බවට පැවසුව ද කාරක සංඝ සභාවල හිමිවරුන් පවසන්නේ ඒ කාරණය කතාවට ලක් කළේ වත් නැති බවයි. විනය ප්‍රශ්න ගැන කිසිම කතාවක් නොකළ බව ඒ හිමිවරුන් පවසා ඇති බවද ආරංචිය.
"ආණ්ඩුවේ සංකල්ප පත්‍රිකාවක් අපට පිළිගන්න කියනවා," යනුවෙන් සංඝ සභාවල නාහිමිවරුන් පවසා ඇති බව ද දැනගන්නට තිබේ. චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකර පල්ලේගම හිමියන් තනතුරුවලින් ඉවත් කිරීම සිදුකර ඇති බව ද මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී සාකච්ඡාවට බඳුන් විය.
ඇමතිවරයකු ගේ පන්සල් රංගනය
" සුද්දන්ගේ කාලෙත් නීති සකස් කළා.ඒත් සුද්දෝ ඒ නීති සකස් කළේ බුද්ධාගම ගැන දැනගෙන.දැන් වර්තමානයේ ඉන්න උදවිය මේවා කරන්න හදන්නේ බුද්ධාගම ගැන මෙලෝ හතරක් නොදැන, යැයි" රනිල් පැවසුවේ නළල රැලි ගන්වමිනි.
"අඩු ගානේ මේ උදවිය වඳින ඉරියව්ව වත් දන්නෙ නෑනේ."
සුගීෂ්වර පැවසූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් පන්සලක උත්සවයකට ගිහින් මෑතකදී කළ රංගනයක් සිහිපත් කරමිනි.
ධර්මාධිකරණයක් ද, සංඝාධිකරණයක් ද...?

"ධර්මය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැනේ. එහෙම තත්ත්වයක් යටතේ ධර්මාධිකරණයක් ඇති කරන්නේ කොහොමද? ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කළොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය කොහොම පිළිගනී ද?ව්‍යවස්ථාවේ ඉඩ තියෙන්නේ සංඝාධිකරණයකට විතරයි. ධර්මාධිකරණයක් ඇති කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද කියලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න සිද්ධ වෙනවා. එහි දී අනිවාර්යයෙන් තීරණය වෙනවා ධර්මාධිකරණයකට බලය නැති බව. ව්‍යවස්ථාවෙන් බලය තියෙන්නේ සංඝාධිකරණයක් පිහිටුවීමට පමණයි. විජේදාස රාජපක්ෂ කෙටුම්පතක් සැකසූයේත් සංඝාධිකරණයක් සඳහා යි.''
රනිල් නීතිය සහ පවතින තත්ත්වය ඇසුරින් විස්තරයක් කළේ ය.
ආණ්ඩුව මෙහෙම දෙයක් කරන්නට පෙළඹී ඇත්තේ මන්දැයි මාන්නප්පෙරුම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් කීවේ ආගමික වැඩ පාලනයක් කිරීම මෙහි අරමුණ වී ඇති බවයි.
"හාමුදුරුවෝ මරපු අයට පියවර ගන්නේ නැතුව මේවා කරන්නේ මොකට ද?'' යැයි දොළවත්ත විමසී ය.
ආගමට මෙතරම් පහරක් එල්ල වෙමින් තිබිය දී සජිත් කටේ මැහුම් දමා ගෙන සිටීම ගැන මන්ත්‍රීවරුන්ට ද තිබුනේ පුදුමයකි. රනිල් සමග කතාබහ කරන සජබ මන්ත්‍රීවරුන් ද ඒ සම්බන්ධයෙන් හොර රහසේ අප්‍රසාදය පළ කර තිබිණි.
"ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කරන්න සංකල්ප පත්‍රිකාවක් හදපු නිලධාරීන් කවුද කියලා හොයන්න ඕන. මොනවා පාලනය කළත් ධර්මය පාලනය කරන්නේ කොහොම ද?''
ධර්මය ගැන කියවා අතැඹුලක් සේ දැන සිටි රනිල් කීවේ සංවේගයකිනි.
පළාත් පාලන ආයතන පරිපාලනය බිංදුවට ම...
ඒ අස්සේ පළාත් පාලන ආයතන පරිපාලනය බිංදුවටම ඇද වැටෙමින් තිබේ. කොළඹ නගරයේ කුණු කසළ එකතු කිරීම පවා අඩාළ වී පවතී. මේ නිසා කොළඹ මහල් නිවාසවල ජීවත්ව සිටින ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇත.
එපමණක් නොව වෙසක් දවසේ නිදහස් චතුරස්‍රයේ එකතු වූ කුණු පවා ඉවත් කර නැත. අද මෙහෙම හැසිරෙන්නේ එදා ඡන්දෙට පෙර රැස්වීමක් පවත්වා අවසන් වූ පසු කොළ කෑල්ල පවා අහුලාගෙන ගෙදර ගෙන ගිය උදවිය යි.
"මේවට අලුත් අය විතරක් දාලා හරියන්නෙ නෑ. දන්න මිනිස්සු දාලා ගෙනියන්න ඕන," යැයි රනිල් එහිදී සඳහන් කළේ ය.
පළාත් සභාවට ටියුෂන් ගුරෙක්...?
පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දැනටමත් ජනප්‍රිය චරිත රනිල් හමුවෙමින් සිටින බව ආරංචි ය. ජනප්‍රිය හිටපු යුද සෙන්පතියෙක් ද බෞද්ධ බලවේගයක් සහිත ටියුෂන් ගුරුවරයෙක් ද රනිල් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
සජිත්ට දැන් තිබෙන එකම විකල්පය ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවීම යි. නාමල් ද වඩා කැමැත්තෙන් සිටිනුයේ ඒකාබද්ධ විපක්ෂය සමග වැඩ කිරීමට යි.
" මේ අය දැන් අයි.එම්.එෆ් එකට අන්තිමට යට වෙලා. සර්, අයි.එම්.එෆ් එකට යට වෙලා කියලා තමයි කලින් චෝදනා කළේ. එදා ඔවුන් නගපු චෝදනාව සත්‍යයක් නෙමෙයි කියල දැන් පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා ඇති. සර් කළේ අයි.එම්.එෆ් එක ලවා රටට ඕන දේවල් කරගන්න එක. සර් අයි.එම් එෆ් එකෙන් ප්‍රයෝජනය ගත්තා. ඒක යට වීමක් නෙමෙයි. මෙන්න මේවට තමයි යටවෙනවා කියන්නේ," යැයි වජිර පැවසූයේ පොදු සමාජයේ නිරන්තරයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් උපුටා දක්වමිනි.
"මම භාණ්ඩාගාරය සහ මහ බැංකුව එක්ක කටයුතු කළේ ස්ථාවරය ඇති කරන්න. ඒක කලේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරමින්. දැන් ඒ වැඩ කටයුතු කරන දක්ෂයො ඔක්කොම ඉවත් වෙලා ගිහින්,'' යැයි රනිල් කීය.
ඒකාබද්ධ විපක්ෂය ගැම්මෙන් වැඩ

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් ගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය මේ වන විට විශාල වශයෙන් ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත. ඔවුන් පළමුවෙන් ම ආණ්ඩුවේ දූෂණ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පටන් ගත්තේය. එහි පළමු වැන්න කොස්ගම දී ද, දෙවැන්න මාතර දී ද, තුන්වැන්න ජා ඇළ දී ද පැවැත්වූ අතර හතර වැනි රැස්වීම මහනුවරදී ලබන 14වෙනි දා පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන වී තිබේ. එමෙන්ම එම සම්මන්ත්‍රණ කළුතර, ගාල්ල ඇතුළු තම ප්‍රදේශවල පවත්වන ලෙස සංවිධායකයින් ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. මේ වෑයම සඳහා එකතු වන පක්ෂ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී.
ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණයක් (inform public opinion) අමාරි හෝටලයේ දී සඳුදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ ආර්ථික විශේෂඥයන්ගේ ප්‍රමුඛත්වයෙනි. ඊට අමතරව මහා සංඝරත්නය දැනුවත් කෙරෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත. එහි පළමු පියවර ලෙස ඒකාබද්ධ විපක්ෂ නායකයින් තිනියාවල පාලිත නා හිමි බැහැ දුටු අතර පැපිලියානේ ප්‍රසිද්ධ විහාරස්ථානයකටත් ගියේ ය. මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමටත් නියමිත ය.
මේ වැඩ පිළිවෙල ගැන අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් පැවසූයේ කරුණු දැනගත් සමාජයක් බිහි කිරීම තම වැඩ පිළිවෙළෙහි මූලික අරමුණක් බවයි.
රනිල් සහ සමන්ත භද්‍ර හිමි අතර හමුවක්

"මැද පෙරදිග යුද්ධය පොදුවේ කාටත් තියෙන කාරණයක්. හැබැයි වෙනත් රටවල පාලකයින් ජනතාවට ඇත්ත කියනවා. ඒ වගේම හානිය අවම කරගන්න ඔක්කොම එකතුවෙලා සාමූහික විසඳුම් හොයනවා. මේ රටවල් වැඩිපුර කාලය යොදවන්නේ ජනතාව එක්ක අවංක සංවාදයකට. ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්. ඔවුන් ජනතාවට බොරු කියනවා. උදාහරණයක් විදිහට භාණ්ඩාගාරයේ නැති වෙච්ච සල්ලි ආපහු ලබාගන්නා බව ආණ්ඩුව කියනවා. නමුත් ඔවුන් හොඳටම දන්නවා මේ මුදල් නැවත නොලැබෙන බව.
ඒ වගේම අපි අයි.එම්.එෆ් එක හම්බවෙන්න ලියුමක් ලියා අවස්ථාවක් ඉල්ලනවා. ඔවුන් අපිට මුදල් දෙන්නේ පරිත්‍යාගයක් ලෙස නොවූ ණයක් හැටියටයි. මේවා වාණිජ ණය. පොලිය සියයට අට දක්වා විතර ගමන් කරනවා.
මේ ණය නැවත ගෙවන්න ඕන අපේ රටේ ජනතාව. මේ මුදල් නිසි අරමුණකට යොදවනවා ද කියා වග බලාගන්න මූල්‍ය අරමුදලට වගකීමක් තිබෙනවා. එහෙම නැත්නම් මේ මුදල් හොරකම් කරලා මගඩි වැඩ කරලා අවසානයේ ජනතාවට ගෙවීම් කරන්න වෙනවා යැයි ජී.එල් අදහස් දැක්වීය.
ඉකුත් සතියේදී රනිල් හමුවට අමුත්තෙක් ආවේය. ඒ උමන්දාව නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර හිමියෝ ය. උන්වහන්සේ වැඩම කළේ හිස් අතින් නොවේ. උමන්දාවේ හදන නිෂ්පාදන කදමලු බැඳගෙන ය.
රනිල් බලන්නට පැමිණි සමන්ත භද්‍ර හිමි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්
"අඩුවැඩි වශයෙන් සියලු ම පක්ෂ සහ නායකයින් ගේ අදුරදර්ශී මුග්ධ ප්‍රතිපත්ති සහ දූෂිත ක්‍රියා නිසා රට අරාජික වූ මොහොතේ, දේශපාලනිකව සහ ආර්ථිකව සමතුලිත කරමින් නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඉදිරිපත් වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ සුවදුක් විමසීමට ගියා," යනුවෙන් සටහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
