V2025

පුවත්

නොබැඳි ජාතීන් තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ : ජනපති අවධාරණය කරයි !

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. 
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමිනි.
 
උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය අද සහ හෙට (20) යන දෙදින පැවැත්වෙයි.
 
සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවයි.
 
 එම පරිවර්තනයේදී, මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බවත් පෙන්වා දුන්නේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය 
අමතා සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය,
 
නොබැඳි ජාතීන්ගේ 19 වන සමුළුවේදී, එම සංවිධානයේ නායකත්වය භාර ගැනීම පිළිබඳව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි මැතිතුමාට සුබ පතමින් මම මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි.
 
ගෝලීය දකුණේ රටවල් අතර සාමූහික දැනුවත්භාවයක් පැවතිය යුතු මෙවැනි තීරණාත්මක අවස්ථාවක උගන්ඩාව මෙම භූමිකාව භාර ගැනීම වඩා කාලෝචිත බව කිවයුතුයි. 
වසංගතයේ ආරම්භය, ණය අර්බුදය, දේශගුණික ව්‍යසන, නව ගෝලීය තරගකාරිත්වය සහ ලෝකයට, විශේෂයෙන් ගෝලීය දකුණට ඉන් අනතුරුව ඇති වූ විවිධාකර බලපෑම්වලින් පසුව පැවැත්වෙන පළමු නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙයයි.
 
ජනාධිපතිතුමනි, අද අප මෙහි හමුවන අවස්ථාව වන විට ගාසා තීරයේ සහ ඉන් ඔබ්බෙහි මානුෂීය අර්බුදයක් දිග හැරෙමින් තිබෙනවා.
මාස තුනකට අධික කාලයක් පුරා පලස්තීනයේ සිවිල් වැසියන් දැඩි දුක් වේදනා හා අහිමිවීම් වලට ලක්ව ඇති අතර එමගින් කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය ද අනතුරේ හෙළා තිබෙනවා.
මේ දක්වාම නොබැඳි ජාතීන්ගේ සංවිධානය බොහෝ දුරට නිහඬව සිටියා. ගාසා තීරය විනාශ වන විට අප මෙසේ නිහඬව සිටින්නේ කෙසේද?
 
එම ජනතාවට මානුෂීය ආධාර ලබා නොදුන්නා වගේම මියගිය අය අතර බහුතරයක් අහිංසක සිවිල් වැසියන් වෙනවා. නිශ්ශබ්දතාවයෙන් එකඟතාව ප්‍රකාශ වෙනවා.
උගන්ඩාවේ නායකත්වය යටතේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මෙම 19 වන සමුළුව මගින් ගාසා තීරයේ මෙම අර්බුදය පිළිබඳ මෙන්ම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දී තිබීම අගය කළ යුතුයි.
ගාසා තීරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ගෙන ඇති නිර්භීත ස්ථාවරයට අපි සුබ පැතිය යුතුයි. වහාම මානුෂීය සටන් විරාමයක් ඇතිකරන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ඉල්ලා තිබෙනවා.
 
ඊශ්‍රායලය නැමති තනි රාජ්‍යයක් මත ද්විත්ව රාජ්‍ය විසඳුමක් පැවතිය නොහැකියි. පලස්තීන රාජ්‍යයක් නොමැතිව කිසිදු විසඳුමක් ද ලබාගත නොහැකියි.
 
එබැවින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවතින විවිධ යෝජනා මෙන්ම මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුව, ජාත්‍යන්තර ප්‍රජාව විසින් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ලෙස පිළිගත යුතුයි. එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතුයි. ඒවගේම වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටිනවා.
 
ජනාධිපතිතුමනි, අප දැන් සීතල යුද්ධයෙන් පසු පැවැති තත්ත්වයේ අවසානය සහ විකාශනය වෙමින් පවතින බහු ධ්‍රැවීය ලෝකයේ ආගමනය ද අත්දකිමින් සිටිනවා. භූ දේශපාලනික පෙරමුණ තුළ, පැරණි බලවතුන් සහ බලවතුන් බවට පත්වීමට අපේක්ෂිත පාර්ශ්ව අතර පැවති සැඟවුණු සහ විවෘත ගැටුම් නැවත මතුවීම ද අප අත්දකිමින් සිටිනවා. යුරෝපයේ අත්ලාන්තික් සාගරයේ හමුදා සන්ධානය ශක්තිමත් වී තිබෙනවා. ආයුධ පාලනයට අදාළ අතීත ගිවිසුම් බිඳ වැටී තිබෙනවා. හමුදා සඳහා කෙරෙන වියදම් ඉතිහාසය පුරා පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී ඇති අතර න්‍යෂ්ටික අවි සම්බන්ධව යළිත් වරක් ප්‍රභල වශයෙන් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක් විය යුතුව තිබෙනවා.
 
ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අපගේ අවට ප්‍රදේශ ඇතුළු කළාපයේ භූ-උපායමාර්ගික තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර අභ්‍යවකාශය සහ සාගර, ගැටුම් ඇති විය හැකි වේදිකා බවට පත් වී තිබෙනවා. ප්‍රධාන බලවතුන් අතර පවතින උපායමාර්ගික තරගකාරීත්වය හේතුවෙන් ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළඳ ආරක්ෂණවාදයේ නැගීම නිසා නිදහස් වෙළඳ හා ආර්ථික ඒකාබද්ධතාවය පසුපසට ගමන් කරවමින් තිබෙනවා.
 
එමෙන්ම වියුගලනය සහ අවදානම අවම කිරීම යන සංකල්පයන් මගින් මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත කර තිබෙනවා.
නව වෙළඳ ක්‍රමයක් පිළිබඳ ඒකපාර්ශ්වික ප්‍රකාශයක් සහ බටහිර ජාතීන් විසින් ලෝක වෙළඳ සංවිධානයේ බහුපාර්ශ්විකත්වය පසෙක දමා තිබෙනවා. ඩොලරය ආයුධයක් බවට පත් කර තිබෙනවා. ආර්ථික හා ණය අර්බුදය, දේශගුණ යුක්තිය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවය නව අභියෝග බවට පත්ව තිබෙනවා. ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි ගබඩාවන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ සිටින සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ සංවර්ධිත ලෝකය අතර පවත්නා අසමානතා උග්‍ර කර තිබෙනවා.
 
මෙම සමුළුවේ තේමාව බවට පත්ව ඇති " හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම" අපගේ ලෝකයන් දෙක අතර පවතින අසමානතාවයන් විසඳීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරනවා. එය සාර්ථක කර ගැනීමට නම්, සියල්ලන්ටම යහපත් ලෝකයක් සඳහා දායක වන ශක්තිමත් සහ එක්සත් නොබැඳි සංවිධානයක් අවශ්‍ය බව අපට අත්දැකීම් මගින් පෙන්වා දෙනවා.
එසේ කිරීමට නම් අප අපවම ප්‍රතිනිර්මාණය කර ගත යුතුයි. නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ.එය එසේ සිදුව තිබෙන්නේ, ඇතැම් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල අත්කරගෙන සිටින වේගවත් ප්‍රගතිය හා ආර්ථික දියුණුව නිසා බව අප හඳුනාගත යුතුයි.
 
2050 වසර වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික දහය අතුරින්  බහුතරයක් මෙම සංවිධානයට අයත් වනු ඇතියි. ගෝලීය කටයුතුවලදී නායකත්වය ගත හැකි රටවල් අප අතරින් මතුවෙමින් පවතින බව ද දක්නට ලැබෙනවා. ඔවුන් නායකත්වය ලබා දීමට සූදානම් විය යුතුයි. එමෙන්ම, මහා බලවතා වීම සඳහා පැරණි සහ නව ප්‍රධාන බලවතුන් අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා යුධමය වශයෙන් භූ-උපායමාර්ගික තරගකාරී තත්ත්වයන් මතු වන විට අප විසින් ඉටු කළ යුතු අත්‍යාවශ්‍ය කාර්යභාරයක් තිබෙනවා.
ජනාධිපතිතුමනි, එබැවින් නොබැඳි ජාතීන්ගේ සංවිධානය ඔබගේ සභාපතිත්වය යටතේ ප්‍රතිනිර්මාණය කළ යුතුයි.
එසේම, බහු ධ්‍රැවීය ලෝකයක් තුළ ගෝලීය දකුණ නියෝජනය කරන විශාලතම රටවල් සමූහය ලෙස පරිවර්තනය වීම සඳහා නව භූමිකාවක් ඔබ භාරගත යුතුයි. 
 
ඒ සඳහා අප අපගේ අරමුණු ද නැවත සකස් කළ යුතුයි. විකාශනය වන බහු ධ්‍රැව ලෝකය තුළ බැන්ඩුන්ග් මූලධර්ම ආරක්ෂා කරන අතරම මහා බල එදිරිවාදීකම් වලට මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීම සඳහා සිදු කරන බලපෑම්වලට විරුද්ධ වීම,  ගෝලීය දකුණේ රටවල දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන්  ඇතුළත් බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය ගෝලීය දකුණේ රටවල සහ එහි මිත්‍ර රාජ්‍යයනගේ ක්‍රියාශීලී කඳවුරක් බවට පත්කර ගැනීමට අප අපවම පරිවර්තනය කරගනිමු. එමෙන්ම ගෝලීය දකුණ මුහුණ දෙන සමකාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා සන්නද්ධ වූ ඵලදායී ස්ථිර මෙහෙයුම් ව්‍යුහයක් ස්ථාපිත කරගනීමට අප කටයුතු කරමු කියා මා යෝජනා කරනවා. එසේම අප මෙම නව පිළිවෙල හැඩගස්වා ගැනීමේ හැකියාවක් ඇති සංවිධානයක් බවට පත් වෙමු. 
 
ජනාධිපතිතුමනි, අපගේ අනාගතය රැඳී තිබෙන්නේ අපගේ දෑත් මතයි. අපට එය සිදු කිරීමට හෝ, විනාශ කිරීමට හැකියාව තිබෙනවා. අපි එය සිදු කරමු. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය සාර්ථකව පැවැත්වීමට ඉතා උසස් අයුරින් එම කටයුතු සංවිධානය කළ උගන්ඩාවේ ජනාධිපතිතුමා ඇතුළු රජයට මාගේ ස්තුතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.
 
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 

උගන්ඩා ගිය ජනපති අද නොබැඳි සමුළුව අමතයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද (19) සහ හෙට (20) පැවැත්වීමට නියමිතය.

හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය.

සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබු අතර එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගෙන තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෙම උගන්ඩා සංචාරයේදී නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සඳහා සහභාගිවීමට නියමිතය. උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.

G77 සහ චීනය  3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ 'කිසිවෙකු අත් නොහරිමු' යන්නයි.

මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර බැන්ඩුන්ග් මුලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව  නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජයේ නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.
 
G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් ද, නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපති ධූරය අසර්බයිජාන ජනරජය මගින් ද දැරූ අතර, මෙම සමුළු ද්විත්වයෙහිම සභාපති ධූරය මෙවර උගන්ඩා ජනරජය විසින් භාර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන  ද එක්ව සිටිති.

සේවා කටයුතු වලට බාධා කළ විදුලි සේවක පිරිසකගේ වැඩ තහනම් !

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටින්නේ පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය.

විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.

ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර  විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණි.

වාරණ මණ්ඩලය අහෝසියි..!

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම් පත ඒ සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දුනි.
 
මෙම නව කෙටුම් පත සැකසීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුවට සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.
 
චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර , ජාත්‍යන්තර නව ප්‍රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කෙටුම්පත සකස් කර තිබේ.
 
මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රුඟුම් පාලන ආ ඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිතය.
 
වර්තමානයේ කලා නිර්මාණයන් සම්බන්ධයෙන් මතුවන බොහෝ ගැටළු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් ලබා දී ඇති බවත්, මෙය ක්‍රියාත්මක කරලීම සමගම නිර්මාණ නිදහස පූර්ණ ලෙස ම ආරක්‍ෂා වන බවත් කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි පැවසීය.

ජනාධිපති අපේක්ෂකත්වය : ධම්මික සහ පොහොට්ටුව අතර එකඟතාවක් නෑ -ප්‍රසන්න

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව  ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවත්  එවැනි සාකච්ඡාවක් සිදුවූ බවට දැනුවත් නොමැති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පැවති  මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට  ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නය විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බවයි.

ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ඩොලරයේ ගැනුම් මිල පහළට : විකුණුම් මිල ඉහළට !

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.92ක් දක්වා පහළ ගොස් ඇති අතර  විකුණුම් මිල රුපියල් 326.06ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහත දැක්වෙයි.

මහජන බැංකුව - රු. 315.30 - රු. 326.28

ලංකා බැංකුව - රු. 317.25 - රු. 325.25

කොමර්ෂල් බැංකුවේ - රු. 314.92 - රු. 325.00

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 316.00 - රු. 325.00

සෙලාන් බැංකුව - රු. 314.00 - රු. 326.00

ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.314.50 - රු. 326.50

එන්.ඩී.බී. (NDB) - රු. 312.75 - රු. 325.75

අමානා බැංකුව - රු. 318.00 - රු.324.00

 

හිටපු ලොක්කෙකුගේ අමුතුම පරිස්සමක් !

පසුගිය දවසක මැතිසබා ලොබියෙ ආණ්ඩුවටත් විපක්ෂයටත් සම්බන්ධ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රසකතා කිය කියා හිටියලු.

මෙහෙම ඉන්නකොට පසුගිය කාලෙ රට පාලනය කරපු එක්තරා පක්ෂ නායකයකුත් එතැනින් යන්න ගියේ මේ අයට පොඩි හිනාවක් එහෙම දාගෙන. ඈත රජරටටත් එහා පළාතකින් ආපු මේ නායකය එතැනින් ගියාම කතා කරමින් හිටපු තරුණ කටකාර මන්ත්‍රී කෙනෙක් අපූරු කතාවක් කිව්ව...

''දන්නවද වැඩක්. ඔය පරණ ලොක්ක පසුගිය දවස්වල තමන්ගෙ පක්ෂයට බදවාගත්ත දෙන්නෙක් ගැන අමුතුම ප්‍රතිපත්තියක් අනුගමනය කරනවය කියල.''

''මොකද්ද බං ඒ කතාව?'' තවත් මන්ත්‍රී කෙනෙක් ඇහුව.

''මේකයි වැඩේ. කලින් මහින්ද ලොක්කගෙ ළඟම ඉඳල දේශපාලන කරණමක් ගහපු දෙන්නෙක් ඉන්නව. එක් කෙනෙක් බොහොම ගුණය වර්ධනය කරපු කෙනෙක්... අනෙක... හුඟක් ලොකුම ලොකු - ඩාර කෙනෙක්.''

ඔය දෙන්නම ළඟදි හිටපු ලොක්ක තමන්ගෙ ළඟට ගත්ත...
ඒ වුණත් දවසක් උන්නැහේ මේ දෙන්න එයාගෙ
කන්තෝරුවට එනකොට තමන්ගෙ ගෝලයන්ට
කතා කරල කියනවලු, මේ අරගොල්ල එනකොට
ඔය වටින කියන දේවල් ඇතුළෙන් තියන්න කියල.
එහෙම කියල උන්නැහේ මහ හයියෙන්
හිනා වෙනවලු...
ඒකට හේතුව මොකද්ද කියල කාටවත්
කියන්නෙත් නැතිලු. ඒත් හැමදාම ඔයගොල්ලො
එනකොට අර විදියටම කියනවලු...

Deshaya - gossip

කැරට් අල කතාවලට අහුවුනොත් අනාගතයක් නෑ - අකිල

කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප කරන ආකාරය නොකියන බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි .

සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතු බවද හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව ද සඳහන් කළේය.

ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බවද සඳහන් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත් ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද පැවසීය.

ජාතික රෝහලේ ආහාර ටෙන්ඩරය හිල්ටන් හෝටලයට දුන්නා නම් මීට හොඳයි !

ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන හැත්තෑ හයක් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි.

එම මුදල හීල්ටන් හෝටලයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේනම් උසස්ම තත්වයේ ආහාර සපයා ගැනීමට හැකියාව ඇති බවද ඔහු පවසයි .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව සඳහන් කළ අතර මෙවන් අංශ පුද්ගලික අංශයට භාරදිය යුතු බව තමන් ආණ්ඩුවට යෝජනා කරන බවද පැවසීය .

රියදුරු බලපත්‍ර අවුල ඔක්තෝබර් වන විට විසඳනවා !

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳන බවත්, ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීම අපගේ ප්‍රධාන අරමුණ වනවා. ඒ වෙනුවෙන් දැනටමත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

පවතින මෝටර් රථ පනත සංශෝධනය කර නව පනතක් ගෙන ඒමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වන වේග සීමා ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. තවද රියදුරන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම පමණයි. නමුත් මේ වසරේ සිට මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රටපුරා ක්‍රියාවට නංවා තිබෙනවා. එහි මූලික අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කෙරුණා.

එමෙන්ම රිය අනතුරකදී අවශ්‍ය ප්‍රථමාධාර පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී රියදුරු බලපත්‍ර පරීක්ෂණයේදී ප්‍රථමාධාර සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

අප රටේ වාහන මිලියන 8.9ක් පමණ භාවිත වෙනවා. එලෙසම රියදුරන් ලක්ෂ 85ක් පමණ රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා.

ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම ජනපති ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට පහදයි !

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමිනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේ, සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බවයි .

ශ්‍රී ලංකාව සිය වෙළඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත් ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹුණු අතර පෙබරවාරි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ තුළින් ගෝලීය ආර්ථික ඒකාබද්ධතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදු කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කළේය.

වෙරළාසන්නයේ පවතින සුළං බලශක්තිය මෙන්ම සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර බලශක්ති විසඳුම් සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතාවයෙන් යුතු ද්වි දිශා විදුලි සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා එකඟතාවක් පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉන්දියාව සමඟ භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳාම, රේගු සහයෝගිතාව මෙන්ම වෙළඳ පහසුකම් සැලසීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තාක්ෂණික සහයෝගිතාවය මෙන්ම වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ සමාජීය වශයෙන් ද දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කරගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති මෙම වටමේස සාකච්ඡාවේදී, සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්තිය වැනි ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

විවිධ ආයෝජන සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී ස්ථානගත වූ අතර ඩිජිටල් තාක්ෂණය තුළ පවතින වැදගත් අවස්ථා මෙන්ම, යටිතල පහසුකම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ද සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

IMG 20240117 WA0010

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව 260000 කින් වැඩිවිය යුතුයි - GMOA

නිවැරදි ලෙස ගෙවන්නේ නම් වෛද්‍යවරුන් සඳහා DAT දීමනාව රුපියල් 260,000කින් වැඩි විය යුතු බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වැඩිවීම හරහා ලබා දී ඇත්තේ ලැබිය යුතු මුදලින් 15%ක් පමණක් බවත් ඉන් ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ දීමනාව අවසාන වරට යාවත්කාලීන වුණේ 2015දී. එහිදී රු. 25,000ක දීමනාව රු. 35,000 දක්වා වැඩිවුණා. 2015න් පසුව අපි විටින් විට මතක් කළා කාලානුරූපව මෙය යාවත්කාලීන විය යුතු බව. සෞඛ්‍ය අමාත්‍යාංශය 2018දී ඒ ඉල්ලීම් සලකා බලලා මෙය නැවත ගණනය කිරීම කළා. මෙතැනදී ආපු ඉලක්කම තමයි රුපියල් 120,000. 2023 මුල අපි නැවත ගණනය කිරීම් කරන විට හඳුනා ගත්තේ එම දීමනාව 260 000ක මුදලක් බවයි. මේ මොහොතේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය ගැන සලකා බලලා ආණ්ඩුව රුපියල් 35,000ක පමණ දීමනාවක් දීමට පොරොන්දු වුණා. මේ ලබාදීම අපේ ඉල්ලීමෙන් 15%ක ප්‍රතිශතයක් විරතයි. නිවැරදි විදිහට අපිට DAT දීමනාව ලැබෙනවා නම් රුපියල් 260 000ක මුදලක් විය යුුතුයි”

දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන්න : ජනාධිපති ලෝක බලවතුන්ගෙන් ඉල්ලයි !

දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොව ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීමේ න්‍යාය පත්‍රය බවට ද පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංසදය විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමිනි.

පසුගියදා ඩුබායිහි පැවති COP-28 සමුළුවේදී, දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් 20ක් විසින් සිය දේශගුණික සෞභාග්‍ය සැලසුම් එළිදක්වන ලදී.

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍යවන රටවලට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික තත්ත්වය සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා දියුණු ආර්ථිකයක් ඇති රටවලින්, පුද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම හමුවට එක් වන ලෙස මෙහි අභිනව මහලේකම් ලෙස පත්වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් මහතා කළ ආරාධනය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික ක්‍රියාකාරකම් තුළින් සමෘද්ධිමත් සංවර්ධනයක් කරා ළඟාවීම වෙනුවෙන් වූ අපගේ සාමූහික ඉල්ලීම, නවෝත්පාදන විසඳුම් මගින් මෙහෙයවනු ලබන තිරසාර ලෝකයක් සඳහා වූ අපගේ දැක්ම තුළ අන්තර්ගත වෙනවා.

දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේදී පවතින සංකීර්ණ අසමානතාවයන් පිළිබඳ අපි සෑම කෙනෙකුම දැනුවත්. ගෝලීය කාබන් විමෝචනයට සුළු හෝ දායකත්වයක් ලබා නොදෙන, ගෝලීය දකුණේ අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට මුහුණ දෙනවා.

මේ හමුවේ සමතුලිතතාවය නැවත ඇති කරවීම සඳහා වූ බහුපාර්ශ්වික ප්‍රයත්නයන්හි කැපවීම් ඉහළ මට්ටමක පවතින නමුත් එහි ප්‍රතිඵල අඩු මට්ටමක පවතිනවා.

ඩුබායි හි පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් "නිවර්තන කලාපීය මුලපිරීම" දියත් කරන ලද්දේ දේශගුණික යුක්තිය පිළිබඳ මෙම ගැටලුව මත පදනම්වයි. මෙම මුලපිරීම මගින් නිවර්තන කලාපයේ තීරණාත්මක දේශගුණික සම්පත් තිරසාරව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අරමුදල් ආයෝජනය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලබා දීමට අදහස් කරනවා.

මේ සඳහා අපේ වනාන්තර, කඩොලාන, සාගර, පුනර්ජනනීය බලශක්ති සම්පත් ඇතුළු අනෙකුත් දේ ඇතුළත් වෙනවා. එවැනි ආයෝජන වෙනුවෙන් පවතින ක්‍රම හඳුනා ගැනීම සඳහා, සංවර්ධනය වෙමින් පවතින රටවල් ශක්තිමත් සැලසුම් මෙන්ම ප්‍රාග්ධනය සැපයීම සඳහා ආයෝජකයාගේ අවශ්‍යතා සපුරාලිය හැකි ව්‍යාපෘති හඳුනාගත යුතුයි.

ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සකස් කිරීමේ අභියෝගාත්මක පියවර ගෙන ඇති අතර එමඟින් අපගේ දේශගුණික හා ජෛව විවිධත්ව ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි වන අතරම ශ්‍රි ලාංකිකයින්ට තිරසාර සමෘද්ධියක් ද හිමිකර දෙනවා.
ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මඟින් අපගේ කර්මාන්ත සහ සැපයුම් දාම සුරක්ෂිත කිරීම සඳහා සම්පත් මත පදනම් වූ අංශ ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල ආයෝජනය සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කෙරෙනවා.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් යෝජනා කර ඇති ඉලක්කගත මැදිහත්වීම්, අපගේ ජාතික තත්වයන් මත පදනම් වී ඇති අතර 2025 වන විට ශුද්ධ බලශක්ති අපනයනකරුවෙකු බවට පත්වීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මගින් දේශීය බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම අරමුණු වී තිබෙනවා.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් ඉදිරිපත් කර ඇති ආයෝජන අවස්ථා සපුරා ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවෙනු ඇති අතර 2040 වන විට දේශීය බලශක්ති අවශ්‍යතාවයෙන් 100% ඉක්මවනු ඇතියි.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මෙහි ඇතැම් ව්‍යාපෘති මගින් අඩු කාබන් විමෝචනයක් සිදු කරමින් සහ වඩා ඵලදායී වීමට අපේක්ෂා කරන කෘෂිකාර්මික ව්‍යාපෘති මෙන්ම දේශීය නිෂ්පාදන සහිත වෙරළාසන්න සුළං බලය පිළිබඳ ව්‍යාපෘති ද ඇතුළත් වෙනවා.

ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයන් සහ දේශීය නිෂ්පාදන වටිනාකම් දාමයන් ඒකාබද්ධ කරන එවැනි ආයෝජන සතු බලපෑම මෙමඟින් සහතික කෙරෙනවා.
මෙම දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ සඳහන් ආයෝජන අවස්ථා සාක්ෂාත් කර ගැනීමට අප කැපවී සිටින අතර මූල්‍ය පහසුකම් සලසා, ආයෝජනය කළ හැකි ව්‍යාපෘති සඳහා ආයෝජන පත්‍රිකා සැකසීම වැනි තීරණාත්මක ඉදිරි පියවර ගනිමින් සිටිනවා.

කෙසේ වෙතත්, මෙම බලාපොරොත්තු සහගත ව්‍යාපෘති මගින් රැකියා උත්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වන පුහුණුව, කුසලතා සහ ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන ඉල්ලා සිටිනවා. තිරසර සහ දේශගුණික සුරක්ෂිත පරිවර්තනයක් තුළ උපරිමයෙන් රැකියා ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මෙමගින් හැකියාව ලැබෙනවා.

අවදානමට ලක්විය හැකි 20 දෙනාගේ කණ්ඩායම විසින් (V20) එක්ව ඉදිරිපත් කරන ලද දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොවෙයි. මෙම සැලසුම්, ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීම සඳහා අපගේ න්‍යාය පත්‍රය බවට ද පත්වෙනවා.

අපේ ධනවත් සහ ප්‍රධාන ආර්ථික සගයන් සතුව පවතින සම්පත් අප සතුව නැහැ.දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්ව තිබෙනවා. එසේම මේ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය අයට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික පසුබිම සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණ කර තිබෙනවා.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලසුම්වල පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට අපට උපකාර කරන ලෙස අපගේ සංවර්ධන හවුල්කරුවන්ගෙන්, පුද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවෙන් අප ඉල්ලා සිටිනවා.

IMG 20240117 WA0004

IMG 20240117 WA0005

පිරිමි රිලවු වන්ද්‍යකරණයට !

පිරිමි රිලවුන් වඳ බවට පත්කරන නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බවත් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වෙන්කර ඇති බවත් වාර්තා වෙයි .

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රිලා ගහනය වැඩිවීමත් සමඟ දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන කෘෂිකර්ම ගැටළුවට විසඳුමක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.

ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලීකකරණයට !

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.

රජය ව්‍යාපාර කටයුතු කිරීමෙන් ඉවත්ව සිටීමට ගෙන ඇති රජයේ ප්‍රතිපත්තියේ දිගුවක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.5ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් !

රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම ඊයේ (16) කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

2023 දෙසැම්බර් මස 30 වනදා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 04 වනදා තෙල් මෙට්‍රික් ටොන් 13.1ක් රුසියානු රජයෙන් මෙරටට ලබාදීම සිදු වූ අතර එම සමස්ත පරිත්‍යාගය වන තෙල් මෙට්‍රික් ටොන් 130.41කට අදාළ පරිත්‍යාගය මෙලෙස නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදු විය.
මේ අතර මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2023 ජූලි 04 වනදා ද සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 351.9ක ප්‍රමාණයක් රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කරනු ලැබේ.

විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගයන්ට මුහුණ පා සිටින ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙම සාමූහික ප්‍රයත්නය රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වන ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබේ.

රුසියානු සමූහාණ්ඩුවේ මෙරට තානාපති ලෙවන් එස්. ඩගයරාන් මහතාද, ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්ෂ ජෙරාඩ් රෙබෙලෝ මහතා ඇතුළු එහි නිලධාරීන් සහ ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමීර් අජ්වාඩ්, කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශ්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්. රිෆ්ලාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240117 WA0002

තෙවන පාසල් වාරය ඇරඹීම 05 ‍වැනිදා දක්වා කල් යයි

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමගයි.

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කළේ ය.

අවලංගු කළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයම පෙබ.01 දා නැවතත්

මෙවර උසස්පෙළ විභාගයේ, කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් අවලංගු කර තිබේ.

ඒ , එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ද විභාගයට පෙර පිටවී ඇති බවට අනාවරණය වීමත් සමගයි.

මේ හේතුවෙන් කෘෂි විද්‍යාව 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු කොටස පෙබරවාරි 01 වැනිදාම පස්වරු 01.00 සිට 3.00 දක්වා පැවැත්වෙනු ඇත.

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය පසුගිය 12 වැනිදා අවලංගු කෙරුණි.

 

Page 15 of 367