Image

ඩිජිටල් රටක් හදන්න ආපු ඇවිදින පුස්තකාල ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඩිජිටල් රටක් හදන්න ආපු ඇවිදින පුස්තකාල ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ රාජ්‍ය දේපළ සම්පත් සාංගික සම්පත් ලෙස ආරක්ෂා කරනවා කියා බලයට පැමිණ අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කිරීමට ද රජය අපොහොසත් වී ඇතියි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු අද (23) මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මුදල් අහිමි වීම රහසක් ලෙස පවත්වාගෙන ගියේ ඇයි...?

''අප රටේ විදේශ ණය ගෙවීම, ණය හා පොලි වාරික ගෙවීමේ වගකීම මහබැංකුව සතුව පැවැතියත් පසුකාලීනව නව ක්‍රමවේද සහ අනපනත් අනුව එහි ප්‍රධාන වගකීම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරුවා. මේ පැවරීම ක්‍රියාත්මක කරන විට විදේශ ණය, වාරික හා පොලි වාරික ගෙවීමේ ක්‍රමවේදයන් නිශ්චිත ආරක්ෂා සහිතව නිර්මාණය වූයේද යන්න දැන ගැනීමට අවශ්‍ය යි. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ණය වාරික ගෙවීමට තිබූ ඩොලර් ලක්ෂ 25ක මුදල අතුරුදන්වීම තුළ මේ ගැටලුව දැවැන්ත ලෙස ඉස්මතු වී තිබෙනවා. රටේ, ජනතාවගේ සහ රජයේ බදු අරමුදල් වන ඇ. ඩොලර් ලක්ෂ 25ක් හැකර්කරුවකු පිට්පොකට් ගහනවා කියන්නේ අප රටේ මූල්‍ය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කිරීමක්. මේ සිදුවීම ජනවාරි මාසයේ සිදුවූ පසු මාර්තු මාසයේ මේ ගැන සොයන්න කමිටුවක් පත්කර තිබෙනවා. මේ කරුණු ඊයේ දින අනාවරණය වන තුරු වත්මන් රජය සහ මුදල් අමාත්‍යාංශය විසින් මේ මුදල් අහිමි වීම රහසක් ලෙස පවත්වාගෙන ගියේ ඇයි ද කියා ගැටලුවක් ඇති පවතිනවා.

මේ මූල්‍ය පාඩුව පාර්ලිමේන්තුවෙන් සැඟ වූයේ ඇයි...?

මේ මූල්‍ය පාඩුව සිදුවූ පසු ඒ ගැන සොයන්න පත් කළ තාක්ෂණ කමිටුව සහ කණ්ඩායමේ ස්වාධීනත්වය සහ වැඩපිළිවෙළේ ක්‍රමවේදය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු පවතිනවා. මේ කරුණු ගැන සොයා බලන්න ඒ ආයතනයේ ම අය පත් කිරීම ගැටලුවක්. මෙවැනි බරපතළ සයිබර් ආරක්ෂක ගැටලුවක් මතුව ඇ. ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම යන සිදුවීම මාස 4-5 සඟවා ගෙන පාර්ලිමේන්තුව දැනුවත් නොකළේ ඇයිද කියා ගැටලුවක් පවතිනවා. මුදල් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව යි. මෙවැනි බරපතළ සිදුවීම් සිදුව තිබිය දී එය රහසක් ලෙස තබා ගත්තේ ඇයි ද කියා ගැටලු සහගතයි.

විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි

මේ ඩොලර් ලක්ෂ 25 අහිමි වීමට ප්‍රධාන ලෙස වගකිවයුතු රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය මේ ගැන පරීක්ෂණ කරන විට පවා පොදු රාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මානයක් පවා ලබා තිබෙනවා. මේ ආයතනය සම්මාන ලබන විට පවා මේ තරම් විශාල මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමට යැවීම ගැන පරීක්ෂණ සිදුවනවා. රජයන් දෙකක් අතර සිදුවන මෙවැනි ගණුදෙනුවක් තුළ මේ ආකාරයෙන් බරපතළ මුදල් අහිමිවීමක් සිදු වුයේ කෙසේද කියා තවදුරටත් සෙවිය යුතු යි. බැංකු පද්ධතිය හරහා මූල්‍ය හුවමාරු සිදුවන විට අනුගමනය කරන ආරක්ෂිත ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. Registered White listed email වැඩපිළිවෙළ, Email indemnities වැඩපිළිවෙළ, Call of verification යනාදි වැඩසටහන් රැසක් මෙහි දී සිදු වෙනවා. බැංකු ගනුදෙනු සිදුවන විට සයිබර් ආරක්ෂාව සුරක්ෂිතවන වැඩපිළිවෙළ ක්‍රමවේද රැසක් පැවැතියත් ඒවා ක්‍රියාත්මක කිරිමට මුදල් අමාත්‍යාංශය සහ වගකිවයුතු ආයතන කටයුතු නොකළේ ඇයි...? එසේම මේ ගනුදෙනු ක්‍රියාවලිය තුළ මහබැංකුව අවස්ථා කිහිපයක දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ණය කළමනාකරණ ආයතනයට අනතුරු අගවා තිබියදී පවා නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළේ ඇයි...? මෙ ගැන ස්වාධින පරීක්ෂණයක් විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය යි.

ඇවිදින පුස්තකාල ටික හැකර්කරුවකුට අහුවෙලා

අද සමාජය තුළ සයිබර් ආරක්ෂාව ගැන කතා වෙනවා. රාජ්‍ය ආයතන සහ බැංකු පද්ධතියේ ඇති සයිබර් අනාරක්ෂිතභාවය ගැන අනතුරු අඟවන විට මේ ආරක්ෂාව තහවුරු කරන්න රජය නිසි පියවර නොගත්තේ ඇයිද කියා ගැටලුවක් පවතිනවා. මේ සයිබර් ආරක්ෂාව ගැන මීට වඩා වැඩි උනන්දුවක් දැක්වීම සිදු නොකළේ ඇයි...? සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියා සුහුරු ලෙස රට ඩිජිටල් කරනවා කියා ඩිජිටල් යටිතල පසුකම් ක්‍රමවේදවලට යොමු වෙනවා යැයි කිව්වත් අද වන විට සුහුරු රාජ්‍ය පාලනය අභිබවා ගොස් වංචනික හැකර්කරුවකු අප රටේ ඩොලර් ලක්ෂ 25ක් පිට්පොකට් ගසා තිබෙනවා. ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ, රාජ්‍ය දේපළ සම්පත් සාංගික සම්පත් ලෙස ආරක්ෂා කරනවා කියා බලයට පැමිණ, අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කරන්න නොහැකි වෙලා. රටේ අද ඇත්තේ වැඩබැරි රජයක්. මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවීම ගැන ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු යි. මේ අහිමි වූ මුදලට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාවගේ බදු මුදලින්ද කියා ප්‍රශ්න කරනවා. මේවාට රජය කඩිනම් පිළිතුරු දිය යුතු යි. දැන්වත් රටේ සයිබර් ආරක්ෂාව හා මූල්‍ය ගනුදෙනු ගැන උනන්දු වී නව ක්‍රමවේද අනුගමනය කළ යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න