Image

පිළිකා කලින් හඳුනාගැනීමේ මැමෝග්‍රෑම් පරීක්ෂණ සඳහා දින ලබාදීම සම්පූර්ණයෙන්ම නවතියි

පිළිකා කලින් හඳුනාගැනීමේ මැමෝග්‍රෑම් පරීක්ෂණ සඳහා දින ලබාදීම සම්පූර්ණයෙන්ම නවතියි

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය ( Cancer Early Detection Centre) වසර 20 ට වැඩි කාලයක් නාරාහෙන්පිට, ඇල්විටිගල මාවතේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ රොටරි සමාජයෙහි (Rotary Club) අනුග්‍රහය මගිනි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට එම මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහලේහි බාහිර රෝගී අංශයට යාබද නව ගොඩනැගිල්ල වෙත ගෙන ගියේ ය. එහි සායන කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා විසින් සිදුකරන ලදී.

යන්ත්‍රය ස්ථාපනය කිරීමට තැනැක් නැහැ

සායන කටයුතු පෙබරවාරි 09 දා සිට නව ගොඩනැගිල්ල තුළ ආරම්භ වුවත් පියයුරු පිළිකා හඳුනාගැනීම සඳහා අත්‍යාවශ්‍යයෙන්ම සිදුකල යුතු මැමෝග්‍රෑම් (Mammogram) පරීක්ෂණ සිදුකිරීමට මේවනතෙක් හැකියාව ලැබී නොමැත. එයට හේතු වී ඇත්තේ මැමෝග්‍රෑම් පරීක්ෂණ සිදු කරන යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහා ස්ථානයක් නොලැබීමයි. සායනයට යොමුවන කාන්තාවන් ගේ  මැමෝග්‍රෑම් පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු වුවත් මෙම ගැටලුව හේතුවෙන් මේ වන විට මැමෝග්‍රෑම් පරීක්ෂණ සඳහා කාන්තාවන්  1200කට ආසන්න ප්‍රමාණයක් පොරොත්තු ලේඛන ගතව සිටී. යන්ත්‍රය ස්ථාපනය කරන දිනය සහ ස්ථානය පිළිබඳ නිශ්චිත තීරණයක් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට මැමෝග්‍රෑම් පරීක්ෂණ සඳහා දින ලබාදීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

වසරකට පියයුරු පිළිකා සහිත රෝගීන් 100 ට වැඩි ප්‍රමාණයක්

පියයුරු පිළිකා රෝග තත්ත්වය කලින් හඳුනා ගතහොත් සංකූලතා අවම කරගනිමින් පිලිකා රෝගය සුව කර ගැනීමේ හැකියාව පවතින නිසා සහ මේ වන විට පියයුරු පිළිකා රෝග තත්ත්වය ලංකාව තුල බරපතල ගැටලුවක් වීම හේතුවෙන් වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන්ගේ පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සඳහා මෙම මධ්‍යස්ථානය මගින් සුවිශේෂී සේවාවක් ලබාදෙන ලදී. යම් කාන්තාවකට තම පියයුරුවල අසාමාන්‍යතාවයක් පවතීනම් ඒ පිළිබඳව මැමෝග්‍රෑම් පරීක්‍ෂණ සහිතව පරීක්ශා කර ගැනීම සඳහා දැනට ලංකාවේ පවතින එකම මධ්‍යස්ථානය මෙය වන අතර මෙම ආයතනය මගින් වසරකට පියයුරු පිළිකා සහිත රෝගීන් 100 ට වැඩි ප්‍රමාණයක්  හඳුනාගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදුකර ඇත.

පුද්ගලික රෝහලකින් සිදු කර ගතහොත් රුපියල් 25000 කට වැඩි මුදලක්

මේ වන විට ලංකාව තුළ පියයුරු පිළිකා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කොට මෙවැනි සායන මගින් පූර්ව හඳුනා ගැනීම මගින් පිලිකා ප්‍රතිකාර සඳහා වැය කිරීමට සිදුවන විශාල මුදල අවම කර ගැනීමට ද හැකියාව ලැබී ඇත. එමෙන්ම මේ වන විට ලංකාවේ කාන්තාවන් පියයුරු පිළිකා තත්ත්වය පිළිබඳව දැනුවත්ව මෙම සායනවලට යොමු වන අවස්ථාවක දී මෙලෙස එම පහසුකම ලබාගැනීමට රජයේ ආයතනවල පහසුකම් නොමැති බරපතළ ගැටලුවක් වී ඇත. මෙම සායනය මගින් ලබා දෙන පහසුකම පුද්ගලික රෝහලකින් සිදු කර ගතහොත් රුපියල් 25000 කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. සායනයට යොමුවන පුද්ගලයින්ට තම පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම මැමෝග්‍රෑම් යන්ත්‍රය සායනය තිබෙන ස්ථානයේම පෙර පරිදිම ස්ථාපනය කළ හැකිනම් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි වන අතර මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ගේ සහ සෞඛ්‍ය බලධාරීන් ගේ කඩිනම් අවධානය කඩිනමින් යොමුවීම අත්‍යවශ්‍ය බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

memo1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න