V2025

පුවත්

භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට !

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කරමින් අද (20) මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඩොලර් හිඟය හේතුවෙන් රටින් ඩොලර් පිටවීම වැලැක්වීමේ පියවරක් ලෙස රජය භාණ්ඩ රැසකට වසර දෙකකට ආසන්න කාලය සිට සීමා පනවා ඇති අතර මීට පෙර ද භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කළේය.

මහ බැංකු පනත සම්මතයි !

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ(20) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහාවූ විධිවිධාන රැසක් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

ප්‍රථම වතාවට ජනාධිපති ලේකම් ධූරයේ වැඩබැලීමට කාන්තාවක් !

ජනාධිපති ලේකම් සමන් ඒකනායක  ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන  පත් කර තිබේ.

අද (20) සිට බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්වරයා නැවත දිවයිනට පැමිණෙන තුරු එය ක්‍රියාත්මකය.

ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරයි.

1994 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට එක් වූ විජේවර්ධන මහත්මිය වසර 22ක් මහා භාණ්ඩාගාරයේ විවිධ තනතුරු හොඹවා ඇති අතර අවසානයේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළාය.

එසේම අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ චාන්දනී විජේවර්ධන  2015 වසරේ සිට 2019 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලැබුවාය.

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන එතුමිය රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර නෙදර්ලන්තයේ හෙග් විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් ද වේ.

ථෙරවාදය ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදාගන්නවා !

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය අද( 20)සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වේ.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේට හා පූජ්‍ය මුගුණෙවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද සමරු තිළිණයක් පිළිගැන්විණි.

රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද "පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය" මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

රාමඤ්ඤ මහා නිකායේ 73වන උපසම්පදා මහෝත්සවයට සහභාගීවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඉන්දීය සංචාරය හමුවේ වුවත් මට මෙම අවස්ථාව සඳහා සහභාගීවීමට ලැබෙන පරිදි උත්සව කටයුතු සංශෝධනය කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේලාට මෙන්ම දායක සභාවට ද මම ස්තූතිවන්ත වෙනවා.
මම මෙවර ඉන්දියානු නිල සංචාරය සිදු කරන්නේ දෙරට අතර ඉදිරි සබඳතා පිළිබඳ සාකච්ඡා කිරිමටයි. ඒ වගේම මෙරට ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඉන්දීය රජය අපට ලබාදුන් සහාය පිළිබඳ ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

රාමඤ්ඤ මහා නිකාය මෙම උපසම්පදා මහෝත්සවය මාතලේ ප්‍රදේශයේ පැවැත්වීම බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂ වනවා. ඒ වගේම මාතලේ පුරවරයට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට තැබූ පළමු පියවර තැබුවේ මාතලේ අලුවිහාරයේදියි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මේ වන විට අප කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටකය සුරකිනවා යනු උතුම් සද්ධර්මය සුරැකීමයි. බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා.

මහායාන බුදු දහම තුළත් ත්‍රිපිටකය පිළිබඳ සඳහන් වෙනවා. චීනය මුද්‍රණය කර තිබෙන ලෝටස් සූත්‍රය ඇතුළත් මහායාන ත්‍රිපිටකය ලෝකයේ පළවෙනි මුද්‍රණය ලෙස සළකන්න පුලුවන්. ගර්ටන්බර්ග් මහතා බයිබලය මුද්‍රණය කළේ ඉන් පසුවයි. ඒ වගේම ථෙරවාද බුදුදහම ඇතුළත් ත්‍රිපිටකයත් මේ වන විට මුද්‍රණය කර තිබෙනවා.

ධර්මය ආරක්ෂා කිරීමට වර්තමානයේ තිබෙන තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැනුවත්භාවයක් තිබෙන නිසා ඊටත් වඩා පහසුවෙන් ධර්මය සුරක්ෂිත කිරීමට එය දායකකරගත හැකියි.

කෘතිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට හැකියාව තිබෙනවා. දුටුගැමුණු රජතුමා පිළිබඳව තිබෙන සියලුම තොරතුරු කෘතිම බුද්ධියට ලබා දුන්නොත් ඊට අදාළව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට කෘතිම බුද්ධියට හැකියාව තිබෙනවා. වික්ටෝරියා රැජණ පිළිබඳව තොරතුරු ඇතුළත් කළත් එලෙසම පිළිතුරු සැපයීමට කෘතීම බුද්ධියට හැකියාව තිබෙනවා. තොරතුරු ලබා දෙනවා පමණක් නොව එය ප්‍රකාශ කිරිමේ හැකියාව GPT තාක්ෂණයෙන් ලැබී තිබෙනවා. මෙම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් බුදු දහම තවදුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකියි.

බෞද්ධ ධර්මය දෙවියන් පදනම් කර ගත් ආගමක් නොවන බව අද සියලුදෙනා පිළිගන්නවා. බුද්ධ දේශනයේ සඳහන් වෙන්නේ ධර්මයක්. එය ඕනෑම අයෙකුට පිළිපැදිය හැකියි. කැමති නම් පිළිපදින්නෙ නැතුව සිටිය හැකියි. ධර්මය පිළිපදිනවා නම් එය තවදුරටත් විග්‍රහ කළ හැකියි. ඒ නිසා තමයි ධම්ම පදයේ “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා” යනුවෙන් සඳහන් වෙන්නේ. ධර්මය පිළිපදින්නේ මනසින්. මිනිස් ඥානය වගේ, අනෙක් පැත්තෙන් දැන් කෘතිම ඥානය ද තිබෙනවා. මෙම කෘතිම ඥානය අපට තර්ජනයක් වෙයිද, අපට අවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකිද? ඊළග දශක දෙක තුන තුළ ඇතිවිය හැකි ප්‍රශ්නය එයයි.

දැන් ඇතැම් අය කෘතිම ඥානයෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ජපානයේ සෙන් බුදු දහම කෂුමා කියල පුද්ගලයෙක් hotoke.ai වැඩසටහනින් සෙන් බුදුදහමට අදාළව පිළිතුරු ලබාදෙන ආකාරය පසුගිය දිනක දකින්න ලැබුණා. එහි සඳහන් වන්නේ “බුද්ධ ධර්මය අත ළඟ” යනුවෙනි. නමුත් අපි බලාපොරාත්තු වෙන්නේ එවැන්නක් නොවෙයි. එතැන විකෘති කිරීමක් සිදුව තිබෙනවා.

බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්” යනුවෙනි. නමුත් එය එසේ විය නොහැකියි.
මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරිමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.

ඒ වගේම කෘතිම බුද්ධිය ධර්මය සදහා භාවිතා කිරීමේ දී අප මීට වඩා ගැඹුරින් ඒ පිළිබඳ පරීක්ෂණ කළයුතුයි. ඒ නිසා අපි තීරණය කළා මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වෙන් කිරිමට. තවත් වැඩිපුර මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ද කටයුතු කළ හැකියි.

ථෙරවාද බුදුදහම ලෝකයට ගෙන යාමේ දී කෘතිම බුද්ධිය භාවිතා කිරීම පිළිබද අපේ අවධානය යොමුව තිබෙනවා. එහිදී අභිධර්මය පිළිබඳව ද ගැඹුරු විග්‍රහයක් සිදු කළයුතුයි. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා උන්වහන්සේලාට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා මිස අද බෙහෝ දෙනෙක් බයිබලය, ත්‍රිපිටකය වැනි ආගමික ග්‍රන්ථ කියවන්නේ නැහැ.

අතීතයේ සිටම ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකාව එය තවදුරටත් සුරක්ෂිත කරමින් ලෝකයට ගෙන යාමට කැපවිය යුතුයි. කෘතිම බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මෙම උතුම් කාර්යය ඉටුකිරීමේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා මෙන්ම උගත් වියත් පිරිසකගේ අදහස් ලබාගෙන ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම කටයුතු සම්බන්ධීකරණය සදහා ජනාධිපති ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාද පත් කර තිබෙනවා. ඉන්පසුව සාකච්ඡා මාර්ගයෙන් මෙම කටයුතු ඉදිරියට කරගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

වසරේ පළමු කාර්තුවේ ඩොලර් මිලියන 211ක ස්ථිර ආයෝජන ලැබිලා !

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම  පැවසීය.

එසේම මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.
.
වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  මෙසේද පැවසීය.

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින නීති පද්ධතිය සංශෝධනය කළ යුතුව තිබෙනවා. ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් ආයෝජනය කිරීමට හැකි පසුබිමක් සකස් කළ යුතුයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අප කටයුතු කර ගෙන යනවා. ඒ වගේම මෙරටට පැමිණෙ ආයෝජකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි ඔවුන්ට තම ආයෝජනවල අයිතිය නොලැබීම. ඊට විසඳුම් වශයෙන් අප ඔවුන්ගේ ආයෝජන අයිතිය තහවුරු වන ආ‍කාරයට නීති පද්ධතිය යාවත්කාලීන කළ යුතුව තිබෙනවා.

යම් ආයෝජකයෙක් මෙරට සිදු කරන ආයෝජනවලදී ඔවුන් අපනයන තත්ත්වයට පත්ව වසර දෙකක් ගත වන තුරු ඔවුන් වෙනුවෙන් විශේෂ බඳු සහන ලබා දීමට රජය අපේක්ෂා කරනවා. ආයෝජකයන් සඳහා ඉඩම් ලබා දීමේදීද පවතින ක්‍රමවේද වෙනුවට නව්‍ය හා විධිමත් ක්‍රමවේද අවශ්‍යතාව නිරීක්ෂණය වී තිබෙනවා. දැනට පවතින ආයෝජනවල බදු කාලය අවසන් වූ පසුව ඒවා නැවත බදු දීමේදී ඔවුන් මෙරට ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය මත සහාය ලබා දීමටද කටයුතු කරනවා. එහි අරමුණ වන්නේ එම ආයෝජකයන් තව දුරටත් අප රට තුළ රඳවා ගැනීමයි.

ඒ වගේම මෙම වසර අවසන් වීමට පෙර සියලුම වර්ගයේ ආයෝජන අවස්ථා ආවරණය වන ආකාරයටනව නීති හඳුන්වා දීම සිදු කරනවා. එම නීති ගෙන ඒමේදී සෙසු රාජ්‍ය ආයතනවල පවතින නීතිවලට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීමටද අප අපේක්ෂා කරනවා.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බැලීමට අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධානීන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ආයෝජකයන්ට කෙටි, මධ්‍ය හා දිගු කාලීන විසඳුම් ලබා දීමද මෙයින් අපේක්ෂා කරනවා. ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමත් මෙම කමිටු හරහා සිදු කෙරෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා තිබූ ආයෝජන ව්‍යාපෘති 73න් 70ක් මේ වන විටත් යළි ආරම්භ කර තිබෙන බවද සඳහන් කළ යුතුයි.

ඒ වගේම “ One Village – One Product” සංකල්පය යට‍තේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන් අපනයන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. එය ප්‍රාද්ශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමෙන් පුළුල් කිරීමට පියවර ගැනීම රජයේ අරමුණයි.

මෙහිදී යම් නිෂ්පාදනයක් සිදු කර ඒ වෙනුවෙන් වෙළෙඳපොළක් සෙවීම වෙනුවට වෙළෙඳපොල අවශ්‍යතාවයට අනුව නිශ්පාදනය සිදු කිරීමට නිෂ්පාදකයන් පෙළඹවීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම අපනයන කේන්ද්‍රයක් ස්ථාපිත කර ග්‍රාමීය අපනයනකරුවන් හා අපනයන මණ්ඩලය අතර සම්බන්ධතාව පුළුල් කිරීමට ද පියවර ගන්නවා.

කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 150ක් පමණ ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා. මෙම නීති සම්මත කර ගැනීමෙන් පසුව රක්ෂිත කලාපවල නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ වනවා. එසේම ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීමටත් ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (20) ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරයා එම සංචාරයේදී ඉන්දීය ජනාධිපති ශ්‍රී මතී ද්‍රොපදී මුර්මු මහත්මිය මුණ ගැසෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී අනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන්ධන කෝටාව ලබන මාස සිට යළිත් ඉහළට

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව ය.

ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නංවන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඩිල්මා නිර්මාතෘ මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

අද (20) උදෑසන කොළඹ දී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මිය යන විට 93 වන වියේ පසුවුණි.

1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.

1985 වසරේ දී Dilmah සන්නාමය යටතේ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් මෙරට තේ කර්මාන්තය නව මඟකට ගෙන ඒමට ඔහු පුරෝගාමී කාර්යයක් ඉටුකළේය.

ඩිල්හාන් සහ මලික් යන ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් සම්බන්ධ කරගනිමින් Dilmah තේ සන්නාමය නිර්මාණය කර ඇති අතර පසුකාලීනව එය ලෝකප්‍රකට සන්නාමයක් බවට පත්වුණි.

මේ වන විට යුරෝපය, ඔස්ට්‍රේලියාව මැදපෙරදිග අප්‍රිකානු කලාපය ඇතුළු රටවල් 100කට අධික ප්‍රමාණයකට Dilmah Tea අපනයනය කරයි.

GSP ප්ලස් සහනය දීර්ඝ කෙරෙයි

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද (19) තීරණය කර තිබේ.

එම තීරුබදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බව යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

මේ අතර, 2022 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක වටිනා අපනයනයන් සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මතයි

නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන 193ක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මෙමගින් නෛතික ප්‍රතිපාදන සැලසේ.

නව දූෂණ විරෝධි පනතින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගල ලැයිස්තුවට, මෙතෙක් ඇතුළත්ව නොසිටි ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉකුත් අප්‍රේල් 27 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ජුනි 21 වනදා සහ ජුලි 07 වනදා එය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.

පනත් කෙටුම්පත තුන් වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද පැවති අතර, එහිදී කෙටුම්පතට නව සංශෝධන රැසක් සමඟ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගනු ලැබීය.

පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නව දූෂණ විරෝධි පනතින් අල්ලස් සහ දූෂණ වැරදි පිළිබඳ චෝදනා අනාවරණය සහ විමර්ශනය කිරීමට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට විධිවිධාන සලසා තිබේ.

මේ යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙනු ඇත.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර, එය සිදුකෙරෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අතර, එම තනතුරට මෙතෙක් පැවති බලයට වඩා වැඩි ක්‍රියාකාරී බලයක් නව පනතින් ලබා දී තිබේ.

එමෙන්ම නව පනතින් එක් එක් ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති විමර්ශන නිලධාරින් කොමිසමට සෘජුව බඳවාගැනීමේ අවස්ථාවද හිමි වේ.

එමෙන්ම නව පනත ඔස්සේ කොමිසමට නඩු පැවරීමේ බලය හිමිව ඇති අතර, අවශ්‍ය අවස්ථාවකදී ඊට නීතිපතිවරයාගේ සහාය ද ලබාගත හැකිය.

නව පනතින් අල්ලස් සහ දූෂණය යන වචන සඳහා පුළුල් අර්ථයක් ලබා දී ඇති අතර, ලිංගික අල්ලස් ලබාගැනීමද මෙමගින් සාපරාධි වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.

රාජ්‍ය ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම් මෙන්ම රාජ්‍ය ආයතන හා බැඳුණු පෞද්ගලික ආයතනවල අල්ලස් සහ දූෂණ සිදුවීම්ද නව පනත යටතේ වරදක් ලෙස සලකනු ඇත.

නව දූෂණ විරෝධි පනතින් මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් නොවුණු ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, මහ ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඔවුන් වාර්ෂිකව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව කොමිසමට හිමිවෙයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම්වල අස්වාභාවික ඉහළ යාමක් දකින්නට ලැබෙන්නේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ බලයද කොමිෂන් සභාවට හිමිය.

නව දූෂණ විරෝධි පනත තුළින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංගම් ආශ්‍රිතව සිදුවන්නා වූ දූෂණ හා වංචාවලට අදාළවද නීති සම්පාදනය කර තිබේ.


යුධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී අඟහරුවාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. ආගමික වතාවත් සමාප්තියේ භික්‍ෂූන් වහන්සේලා වෙත පිරිකර සහ ගිලන්පස පූජාකරනු ලැබීය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2021 වර්ෂයේ සිට මාස 21 කට අධික කාලසීමාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූවේය.

වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදි එතුමන් 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද හොබවනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

177a3be8 bf7a 428a 9db5 684e4895fc87වර්ෂ 1968 ඔක්තෝබර් මස 31 දින කොට්ටාව ප්‍රදේශයේදී උපත ලැබූ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පන්නිපිට්ය ධර්මපාල විද්‍යාලය වෙතින් අධ්‍යාපනය හදාරා ඇති අතර පාසල් කාලය තුළ ක්‍රීඩා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුලින් කැපි පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරනු ලැබීය. වර්ෂ 1987 දි කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණු අතර මේ වනවිට වසර 35 ක නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 4 ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 4 ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 4 ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 16 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 10 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරී අණදෙන, 524 පාබල බලසේනාවේ බලසේනා මේජර්, අනුරාධපුර අතරමැදි කඳවුරේ මාණ්ඩලික නිලධාරි II, 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ඕමන්තේ යුද්ධ හමුදා මාර්ග බාධකයේ අණදෙන නිලධාරි, කොත්මලේ ඒකාබද්ධ භාෂා පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරී I, 64 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 11 පාබල සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, 652, 662 සහ 532 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 23 සහ 58 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

යුද බිමේදී සතුරා හමුවේ දැක්වූ නිර්භීතකම ඇගයීමට ලක්කරමින් එතුමන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී බලඇණි ආධාරක අවි පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, ඒකක පරිපාලක පාඨමාලාව, නිලධාරි ආධාරක අවි පාඨමාලාව - බංගලාදේශය, තරුණ නිලධාරි පාඨමාලාව - බංගලාදේශය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හොබවා ඇත.

දීපරේඛා රණසිංහ සමඟ විවාහ ගිවිසගෙන සිටින එතුමන් දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතනුවෙකුගේ ආදරණීය පියෙකු ද වේ.

මහරගම අපේක්ෂා රෝහලේ තවත් අවනඩුවක් !

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ පොරොත්තු ලේඛනය දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කමිටුවක් පත් කරනු ලැබූවද මේ වන තෙක් එම ගැටළු නිරාකරණය වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

විකිරණ තාක්ෂණවේදීන් සිය සේවා කටයුතු මන්දගාමීව සිදු කිරීම හේතුවෙන් මේ වන විට විකිරණ ප්‍රතිකාර අපේක්ෂිත පොරොත්තු ලේඛනය 390 ද ඉක්මවා ඇති අතර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ විකිරණ ප්‍රතිකාර ඉතා ඉක්මණින් අත්‍යවශ්‍ය රෝගීන් රැසකගේ ජීවිත මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

මෙම රෝගීන්ගේ ප්‍රතිකාර දිනකට හෝ ප්‍රමාද වීම තුළින් සුව කළ හැකි රෝග තත්ත්වයන් සුව ‍කළ නොහැකි තත්ත්වයකට පත් වන බව ඔවුහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් පිළිකා රෝගීන් අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම අවාසනාවන්ත තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

මීට පෙර පැයකට රෝගීන් 8-10 අතර ප්‍රමාණයකට විකිරණ ප්‍රතිකාර ලබා දුන්නද විකිරණ තාක්ෂණවේදීන් සිය කටයුතු මන්දගාමී කිරීම හේතුවෙන් මේ වන විට එම සංඛ්‍යාව පැයකට රෝගීන් 4-5 කට අඩු වී ඇත.

දීප ව්‍යාප්තව රෝහල් සේවකයින් වැඩ වර්ජන දියත් කළද මහරගම අපේක්ෂා රෝහල ඒවාට සම්බන්ධ නොවන්නේ අසරණ පිළිකා රෝගීන්ට එමඟින් සිදුවන අයහපත් ප්‍රතිඵල හේතුවෙනි.

එහෙත් මෙම විකිරණ තාක්ෂණවේදීන් ගෙන යන මෙම අමානුෂික වැඩ පිළිවෙල කිසි සේත්ම අනුමත කළ නොහැකි බව පවසන පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍යවරු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ගැටළුව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසයි.

ජනාධිපති රනිල්ගේ නිල සංචාරය ගැන ඉන්දීය විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක් !

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා එළඹෙන සිකුරාදා (21) ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පදවියට පත්වීමෙන් පසු එරට නිල සංචාරයක යෙදෙන්නේ පළමු අවස්ථාව ද වෙයි.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි , ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, සහ එරට ප්‍රධාන පෙළේ කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඉවහල් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

තිරිඟු පිටි මිල පහළට : පාන් සහ බේකරි නිෂ්පාදන මිලත් අඩුවෙයිද ?

ප්‍රීමා තිරිඟු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිඟු පිටි කිලෝවක මිල අද සිට (18) රු 10කින් අඩුකර ඇත .

ඒ බව එම සමාගම නිවේදනයක් නිකුත්කරමින් දිවයින පුරා එම සමාගමේ තිරිඟු පිටි බෙදාහරින සියලු අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දීමට පියවර ගෙන ඇත .

ඒ අනුව, පාන් නිෂ්පාදනය සදහා භාවිත කරනු ලබන ප්‍රීමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම අලෙවි නියෝජිතයන්ට රු 210කට නිකුත් කළ අතර, එය වෙළෙඳපොළේ රු 230ක් වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණි.

නව මිල අනුව එම සමාගම ග්‍රීන් තිරිඟු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිඟු පිටි කිලෝවක් රු 210ක සිල්ලර මිලකට අලෙවි කරන බව අලෙවි නියෝජිතයන් කියා සිටියි.

මෙම මිල අඩුකිරීම සමග වෙළඳ පොළ තුළ පාන් සහ බේකරි නිෂ්පාදන මිල අඩුවිය යුතුව ඇති බව පාරිභෝගික අපේක්ෂාව වී ඇත.

ඔවුන් පවසන්නේ නිෂ්පාදන අයිතමයන් ගේ සුළු මිල වැඩිවීමක් හමුවේ ඉහළ දැමෙන ආහාර මිල මෙවැනි මිල අඩු වීමක් හමුවේ පෙරළා පාරිභෝගිකයන් වෙත ලබාදීමට නිෂ්පාදකයන් කටයුතු කළ යුතු බවයි . එසේ නොමැති නම් උද්ධමනය එක ඉලක්කමක් වෙත පැමිණීමේ වාසිය ජනතාව වෙත නොලැබෙන බවත් ඔවුන් පවසයි . එබැවින් රජයද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව පාරිභෝගිකයන් අවධාරණය කර සිටියි.

හරීන් සහ මනූෂ සජබයෙන් ඉවත් කරලා !

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සජබ පක්ෂය නිර්මාණය කරමින් සජිත් ප්‍රේමදාස එහි නායකත්වයට ගෙන ඒමට මූලිකව කටයුතු කළ අයෙකු ලෙස ප්‍රකට අතර පසුව එම නායකත්වය විවේචනය කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය දක්වමින් අමාත්‍ය ධූරයක් ද ලබාගත්තේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට සජිත් සමග සජබ ගොඩනැගීම සඳහා එක්වූ පුරෝගාමීන් කිසිවක් ඒ සමග නොමැති වීම කැපීපෙනෙන ලක්ෂණයක් බවය.

ඇමරිකානු තානාපතිනිය දෙමළ පක්ෂ නායකයන් හමුවෙයි !

උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසයි .

ඇය මේ බව සඳහන් කර සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්ය .

සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා පිළිතුරු සෙවීම, බලය බෙදීමේ වැදගත්කම සහ ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපතිනිය එහිදී සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාව සත්‍යය, සංහිඳියාව සහ තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

උතුරු නැගෙනහිර ජනතා ගැටළු විසඳීමට හොඳම යෝජනාවලිය දීලා තියෙන්නේ !

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්  කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.

තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.

තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තිය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේ දී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

IMG 20230718 WA0007

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමඟ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බවත් පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළත් කර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඊට අදාළ නීති පැනවීමෙන් පසු විධිමත් යාන්ත්‍රණය ආරම්භ වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයින් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි.

උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශිය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයින්ගේ වාර්තා පමණක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි 21,374කින් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරිණි .

අතුරුදන්වූවහන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි අතුරුදන්වූවන් පිළිබඳ සමස්ත තොරතුරු නොවන බව මෙහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරු සඳහන් කළ අතර, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසත් ඒවා සත්‍ය සෙවිමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

IMG 20230718 WA0006

දූෂණ විරෝධී නීතිය ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනවලට ලක් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය දැනට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

උතුරු නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලෙස හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයට ආයෝජන අවස්ථා කැඳවිමටත්, හරිත හයිඩ්‍රජන් මගින් කොළඹ වරාය නගරයේ ආකර්ශණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

උතුරේ සංවර්ධන සැලැස්මේ විශේෂ අරමුණක් වන්නේ හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය හරහා කලාපයේ පුනර්ජනනීය බලශක්ති විභවය ප්‍රයෝජනයට ගැනීමය. මෙමඟින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ කොළඹ වරාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර පුනරීන් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස නම් කර එමඟින් ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම “උතුරට ජලය” ව්‍යාපෘතිය යටතේ පූනරින් වැව සංවර්ධනය කිරීම, යාපනයට නැවුම් ජලය සැපයීමේ ගංගා ව්‍යාපෘතිය, ඉරණමඩු ජලාශයේ ධාරිතාව ඉහළ නැංවීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, කංකසන්තුරේ වරාය සහ වව්නියා හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව යා කරන බෝට්ටු සේවාව, කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් ආයෝජන ප්‍රවර්ධන කලාප පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යාපනයේ සහ මන්නාරම සංචාරක ආකර්ශණිය ස්ථාන සංවර්ධනය, මන්නාරම කොටුව සහ දූපත් කන්කසන්තුරේ වරාය සහ වඩමාරච්චි ආශ්‍රිතව සංචාරක බෝට්ටු සවාරි ව්‍යාපෘතිය, වන්නි දිස්ත්‍රික්කයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල නගරයක් ලෙස යාපනය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබදව ද ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරු දැනුවත් කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්, සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂවරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෛකලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලෛයිඅරසන්, කේ. දිලීපන්, ජී. කරුණාකරන් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රිවරු සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-18

අඛණ්ඩ පානීය ජල සැපයීමක් වෙනුවෙන් ජල ගාස්තු සූත්‍රයක් !

මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්  පැවසීය.

ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම වසර වන විට කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණ වන අතර, එය නිමිති කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙසේද පැවසීය.

පසුගිය සමයේදී මාසිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය වෙනුවෙන් අතිරේකව යෙදවීමට ජලසම්පාදන මණ්ඩලයට සිදුවුණා. මීට අමතරව ආයෝජන පිරිවැය වශයෙන් මාසිකව රුපියල් බිලියන 2.8ක පමණ අලාභයක් මණ්ඩලයට දැරීමට සිදුවුණා. ජල ගාස්තු සංශෝධනය නොකළහොත් ජලසම්පාදන මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 34ක් පමණ විය හැකියි. එබැවින් මෙම අලාභ තත්ත්වය තවදුරටත් සිදුවුවහොත් රටට සුරක්ෂිත ජල සේවාවක් සැපයීම බාධාවක් විය හැකියි.

කෙසේ වෙතත් යම් ජල ගාස්තු සංශෝධනයක් සිදු වන විට සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළුව වතු නිවාස පාරිභෝගිකයන්ට මෙම ජල ගාස්තු වැඩිවීම අදාළ වන්නේ නැහැ. ඒ වගේම දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින ප්‍රජාව මත අසමානුපාතික බර පැටවීමක් සිදු නොවන බවට සහතික වෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිවැය ඉතුරුම් ක්‍රියාමාර්ගවලට සමගාමී අතිරික්ත සේවක කප්පාදුව, ජල සම්පාදනයට නවීන තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ප්‍රශස්ත ආයතනික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් පිරිවැය - ඵලදායීතාවය උපරිම කිරීමට සහ පාරිභෝගික ජනතාවට අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට ඇති නොවන පරිදි කටයුතු කිරීමට ජල සම්පාදන මණ්ඩලය සෑම විටම කටයුතු කරනවා.

ආසියානු සංවර්ධන බැංකුව - ශ්‍රී ලංකා රජය දක්වන එකඟතාවය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූතයක් සහ ප්‍රතිපත්තියක් ළඟදීම හඳුන්වා දෙනවා.

ජල කේෂ්ත්‍රයේ දිගුකාලීන ශක්‍යතාව සහ සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ අනුව 'තිරසර සංවර්ධන ඉලක්කයට අනුකූලව 6' (SDG 6) සපුරාලීම ඉතා වැදගත් වෙනවා.

කඳුකර වතු ජනතාව මෙරටට පැමිණ මේ වසර වන විට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් 13ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

Page 152 of 445