පසුගිය දිනයක රජයේ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක විමර්ශන වැඩසටහනක් මගින් ගල්ගමුව අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශිය ලේකම්වරයා සතු රජයේ ඉඩම්වල නීති විරෝධිව බොරළු කැණීම් සිදු කරන බවට තොරතුරු හෙළි කළ බවත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනතා පෙරමුණ මහරගම ආසන සංවිධායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් ඉල්ලා සිටියේ ය.
ඔහු මෙම ඉල්ලීම කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා වෙත සංදේශයක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිනේෂ් අබේකෝන්..
නීති විරෝධී බොරුලු ප්‍රාදේශිය සභාවේ සභාපති ගේ නිවසට
''භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලංචිය අන්කෙන්ද රක්ෂිතයේ බොරළු කැපීම් සොයා වැටලීම් සිදු කළ අවස්ථාවේ දී නීති විරෝධිව පස් කපා රැගෙන පැමිණි ට්‍රැක්ටර් රථ 7ක් රියදුරන් සමග භූ විද්‍යා නිලධාරින් ගේ බාරයට ගත්තා. නමුත් එම අවස්ථාව සඳහා පොලිස් නිලධාරින් ද කැඳවා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී ගල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති විජේරත්න බණ්ඩා මහතා එම ස්ථානයට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ අදාළ බොරළු කැපීම සිදු කරන්නේ ප්‍රදේශයේ විනාශ වී ඇති මාර්ග ප්‍රතිසංස්කරණයට බව ය. නමුත් එලෙස සිදු කිරීමට නම් නීත්‍යානූකුල ලෙස බලපත්‍ර ලබාගත යුතු යි. මෙම නීති විරෝධි ලෙස සංවේදි පරිසර කලාපය තුළ පස් කැපීම සිදු කරන්නේ ගල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති විජේරත්න බණ්ඩා මහතා ගේ පූර්ණ අධීක්ෂණය යටතේ. අපිට ලැබුණු තොරතුරු අනුව මේ කපන ලද පස් බහුතරය ගෙනහින් තියෙන්නේ සභාපතිතුමා ගේ ගෙදරට.
සහායට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන්
ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් ගේ වත්තට පස් දාන්න රක්ෂිත කැලෑ කැපීම සිදු කරන්න දෙනව නම් මොකක්ද මේ රටේ ඔවුන්ට පවතින නීතිය...? වන ජීවි නිළධාරින් පැමිණ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී සභාපතිවරයා හැසිරුණේ ඉතා නරක ආදර්ශ රටට ලබා දෙමින්. ඒ වගේම මෙම ක්‍රියාකලාපයට ජාතික ජන බලවේග ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතා ද සහය දැක්වුවා. ඔහු ද එය අනුමත කළා. ඒ නිසා වනජීවී නිලධාරින් ද නීතිය ක්‍රියාත්මක කිරිමේ දී අපහසුතාවයට පත් වුණා.
ඉහළින් ම ඉන්නෙ මහජන ආරක්ෂක ඇමති
අපට ලැබී තියෙන තොරතුරු අනුව මෙලෙස නීති විරෝධි ලෙස පස් කැණිම් සිදු කරමින්, නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙමින් පොලිසියට ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් කරමින් කටයුතු සිදු කර තියෙන්නේ ජාතික ජනබල වේග ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල යි. අපි අහන්න කැමති ආනන්ද විජේපාලට කොහොමද එහෙම බලයක් ලැබි තියෙන්නේ අපරාධ කරුවන් නිදහස් කරන්න...? මේ රටේ පරිසරය විනාශ කරන්න මාලිමා ආණ්ඩුවට පුළුවන් ද...? එක රටක් සැමට එක නීතියක් යයි ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙත අපි දැඩි ලෙස හෙළා දකිනවා. ඒ වගේම මේ නීතිවිරෝධි පස් කැපීම සඳහා පුර්ණ අවසරය ලබා දුන් ගල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති විජේරත්න බණ්ඩාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් ට ඒ වගේම අනීතික අණ නිකුත් කළ නීතියට බලපෑම් සිදු කළ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල වහාම අත්අඩංගුවට ගත යුතු යි.''

