අපේ රටේ අධ්‍යාපනය පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට සීමා වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අපේ රටේ අධ්‍යාපනය පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට සීමා වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වෙස්ට්මිනිස්ටර් ක්‍රමවේදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාත්මක වන විට Green paper එකක් සකස් වී එය White paper එකක් ලෙස ඉදිරියට ගොස් මෙහි නිගමන හරහා ප්‍රතිපත්ති සම්පාදනය ඉදිරියට ක්‍රියාත්මක වන නමුත් අප රටේ අධ්‍යාපනය අද පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට සීමා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ විවාදයට එක්වෙමිනි.

එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

කටපාඩම් ගිරාපෝතක විභාග ක්‍රමය වෙනස් කළ යුතුයි

''අපි මේ පිළිබඳව විමසද්දි වෙන වෙන පාටවල කොළ පිළිබඳ ප්‍රකාශ කරමින් Green paper, White paper හි අර්ථය ගැන නොදැන වත්මන් රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියවනවා. ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස මෙවැනි දේවල් ගැන නිවැරදි දැක්මක් තිබිය යුතු යි. අප රටේ අද ඇත්තේ යල්පැනගිය කටපාඩම් ගිරාපෝතක විභාග ක්‍රමය ඉලක්ක කර අධ්‍යාපන ක්‍රමයක්. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වී ශ්‍රම වෙළෙදපොළේ ඉල්ලුම සැපයුම මත අවශ්‍යතාව නිර්මාණය වන නිපුණතාවෙන් කුසලතාවෙන් පිරි ශ්‍රම බළකායක් නිර්මාණය වන අධ්‍යාපනයක් සඳහා විධිමත් සාකච්ඡාවක් සදහා ඉදිරියට යන ධවල පත්‍රිකාවක් අවශ්‍ය යි. වර්තමානයේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු තුළ මේ අරමුණු කරා යා නොහැකි යි. ශිෂ්‍යත්වය, සාපෙළ, උසස්පෙළ විභාගය ගුරු පුහුණුව, ළමුන් පාසලට නොපැමිණීම ආදි ගැටලු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සහ පුරප්පාඩු රැසක් ඇති මුත් ඒවාට විසඳුම් උත්තර නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන් ම ක්‍රියාත්මක වන විට අඩුපාඩුකම් රහිත ව සිදුවිය යුතු යි.

මොඩියුල සකස් කිරීමේ ගැටලු

අද අප රටේ නිදහස් අධ්‍යාපනයේ බෙදීමක් මෙන්ම සමස්ත අධ්‍යාපන ක්‍රමයේ බෙදීමක් පවතිනවා. මේ ඌනතාව විෂමතාව මගහරවා ගැනීමට විසඳුම් නැහැ. ඒ නිසා සබුද්ධික සාකච්ඡාවකට ප්‍රවේශ විය යුතු යි. රජය කියන දෙයට එකඟයි; නමුත් 6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයේ 51 සහ 52 පිටු තුළ අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් කර තිබෙනවා. අපි එයට විරුද්ධ වූ නමුත් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුණේ නැහැ. මේ අසභ්‍ය දේවල්ට පිළියම් නොයොදා විපක්ෂය ප්‍රතිසංස්කරණ නතර කළ බවට ආණ්ඩුව චෝදනා කළාට ජනාධිපතිවරයා ගේ නිවේදනය අනුව මොඩියුල සකස් කිරීමේ ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාද හා තාක්ෂණික ගැටලු නිසා ප්‍රතිසංස්කරණ කල් දැමුවා. ජනාධිපතිවරයා පවා අගමැතිවරිය ගේ සහ රජයේ ගැටලු පෙන්වා දී තිබෙනවා.

මෙය නිදහස් අධ්‍යාපනයට සිදු කළ හානියක්

අගමැතිවරිය ගේ පෞද්ගලික ජීවිත ගැන කතා කරන අය සිටියත් සමගි ජන බලවේගය කතා කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අසභ්‍යදේවල් ඇතුළත් කිරීම ගැනයි. ආණ්ඩුව සබුද්ධිකභාවය ගැන කතා කළාට මේ සිදු කර ඇත්තේ අබුද්ධික දෙයක්. මොවුන් 41 ලක්ෂයක් පාසල් දූදරුවන් අනතුරට ලක් කරලා. මේ මොඩියුල ස්ථාන කිහිපයක දී එනම්: ලියන අය, සෝදුපත් බලන අය, සංස්කාරක මණ්ඩලය, විෂය අධ්‍යක්ෂකවරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ කවුන්සිලය, මුද්‍රණය කරන අය පවා මේවා පරීක්ෂා කරනවා. පිටපත් 5ක් 6ක් පමණ මුද්‍රණය කර නැවත ගෙන්වා පරීක්ෂා කර කෝටි ගණනක් වියදම් කර මෙය මුද්‍රණය කර ඇති තිබෙනවා. මෙය නිදහස් අධ්‍යාපනයට සිදු කළ හානියක්.

IT ඉගැන්නුවාට පාසල්වලට අවශ්‍ය සම්පත් නැහැ

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කෘත්‍රීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණික ක්‍රම ගැන කිසිදු ඉගැන්වීමක් සිදු කරන්නෙ නැහැ. විධිමත් Green or White paper වැනි ලේඛන නොමැති වීම මෙයට හේතුවයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මොඩියුලය ආරම්භ වී ඇත්තේ ද 6 ශ්‍රේණියේ සිට වුනත් ලෝකය පිළිගෙන ඇත්තේ ප්‍රථමික අධ්‍යාපනයේ සිට යි. මේ රජය ඉන්වත් පාඩමක් ඉගෙන ගෙන නැහැ. මෙවැනි අඩුපාඩුකම් රැසක් පවතිනවා. පරිගණක ක්‍රියාකාරීත්වය ගැන ඉගැන්වීම ආදිය සිදු කළත් පාසල්වල පරිගණක හිගයක් පවතිනවා. අවම අන්තර්ජාල සම්බන්ධතා, ඩිජිටල් පරිගණකාගාර, සුහුරු පන්ති කාමර, පුවරු ආදිය නොමැතිව මේවා සිදු කළ නොහැකි යි. නිදහස් අධ්‍යාපනය ගැන කතා කළ මේ රජය අද දෙමාපියන්ට මේ උපකරණ මිලදී ගන්න යැයි කියමින් යනවා.

ආණ්ඩුවේ දෙබිඩි රංගනය අනුමත කළ නොහැකි යි

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පෞද්ගලික අධ්‍යාපන වරමක් ලබා ගැනීමට කැමති ළමුන්ට ඒ වරමත් අහිමි කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනවා සේම සැමට අධ්‍යාපනය ලබා ගත හැකි පෞද්ගලික අධ්‍යාපනයද දියුණු කළ යුතු යි; නමුත් වත්මන් රජය එයටත් බලපෑම් කර අවසානයේ ඔවුන්ගේ ළමයි පෞද්ගලික මුදල් ගෙවන අධ්‍යාපනය ලබනවා. මේ දෙබිඩි රංගනය අනුමත කළ නොහැකි යි. ජවිපේ සාමාජිකයන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපනය ලබා ලෝකය දිනීම ගැන සතුටු වෙනවා. ජවිපේ සාමාජිකයන් ගේ දරුවන් පමණක් නොව සෙසු දූදරුවන්ට ද ඒ අවස්ථාව ලබා දිය යුතු යි. බොරු කිය කිය බලය ලබා ගත් මේ රජය එදා සිට බොරුව ව්‍යාප්ත කරමින් සිටිනවා. මොවුන් ටොම් පච කියමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ සජබය කියා කියමින් යනවා. එදා සමගි ජන බලවේගය සුහුරු පන්ති කාමර, පරිගණක ලබා දෙන විට ඉංග්‍රීසි භාෂා ඇතුළු විදේශ භාෂා අධ්‍යාපනය ගැන කියන විට ඒවා විවේචනය කළේ වත්මන් රජයේ මැති ඇමතිවරු ම යි. දැන්වත් අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් බවට පත් කරන සමගි ජන බලවේගය ප්‍රතිපත්තියට එකග වන ලෙස ඉල්ලා සිටිනවා.'' 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න