V2025

පුවත්

තැපැල් ඡන්දය කල් යයි

පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා දීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.

2023041701

බැංකු පොළිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉන්ධන මිල, විදුලි ගාස්තු, යන්ත්‍ර සූත්‍ර නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ අනෙකුත් සියළුම නිෂ්පාදන හා පරිපාලන වියදම් ඉහළ යාම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇති බවත්, එම නිෂ්පාදන මිලට සාපේක්ෂව දැනට වෙළඳපොළේ පවතින සහල් මිලට තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවත් සහල් මෝල් හිමියන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එසේම වී මිලදී ගැනීමට ලබාගත් බැංකු ණය සඳහා 28% ක පොළියක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාව පිළිබඳව ද ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.

ගොවිතැන් කටයුතුවල ගොවි යෙදවුම් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා වී කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී අති අතර, වගා කටයුතු සඳහා ගොවීන් බැංකුවලින් ලබා ගෙන ඇති ණය සඳහා ඉහල පොළියක් ගෙවීමට සිදුව තිබෙන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙලෙස ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම සහල් මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා වී කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු වී තිබෙන අතර රජයේ මැදිහත්වීමෙන් ඊට කඩිනමින් සහනයක් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන් කළේ පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවින්ට ද ලබාදිය හැකි සියලු සහන ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරිහු ද, ඩඩ්ලි සිරිසේන  ඇතුලු සුළු හා මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විදුලි බිල වැඩිවන හැටි............

විදුලි බල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන් ගෙවූ රුපියල් 214ක මාසික විදුලි ගාස්තුව රුපියල් 753ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාණ්ඩයේ පාරිභෝගිකයන් ලක්‍ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 400ක් දක්වා ඉහළ දමා ඇත.

විදුලි ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ සඳහා පැවති රුපියල් 677ක විදුලි ගාස්තුව රුපියල් 2,178ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 550ක් දක්වා ඉහළ දමා තිබේ.

රුපියල් 1,625ක්ව පැවති විදුලි ඒකක 61ත් 90ත් අතර විදුලි ගාස්තුව රුපියල් 3,970ක් දක්වා ඉහළ දමා තිබේ. එහි ස්ථාවර ගාස්තුව රුපියල් 650ක් දක්වා ඉහළ යනු ඇත.

විදුලි ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයන් 1,550,000ක් සහ විදුලි ඒකක 61ත් 90ත් අතර පාරිභෝගිකයෝ ලක්‍ෂ 14ක් සිටිති.

විදුලි ඒකක 91ත් 120ත් අතර පාරිභෝගිකයන්ගේ මෙතෙක් පැවති රුපියල් 3,358ක විදුලි ගාස්තුව රුපියල් 6,238ක් දක්වා ඉහළ දමා තිබේ. එමෙන් ම, එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,500ක් දක්වා ඉහළ දමා ඇත.

රුපියල් 5,467ක්ව පැවති විදුලි ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 8,347ක් දක්වා ඉහළ දමා තිබේ. එහි ස්ථාවර ගාස්තුව ද රුපියල් 1,500ක් දක්වා ඉහළ දමා ඇත.

විදුලි ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ගේ රුපියල් 15,460ක්ව පැවති ගාස්තුව රුපියල් 18,300ක් දක්වා ඉහළ දමා ඇති අතර එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ දමා තිබේ.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, මෙම ගාස්තු ඉහළ දැමීම ඊයේ (පෙබ. 15) වන දා සිට ක්‍රියාත්මක බව ය.

PUCSL සභාපතිගේ කාර්යාලයට 'මුද්‍රා තියයි'

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එය සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, එම නියෝගය ලබාගත් බව, ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ වනවිට ඔස්ට්‍රේලියාවට ගොස් සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු ඉදිරිපිටදී අදාළ කාර්යාලය විවෘත කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

සබරගමුව සරසවිය දින නියමයකින් තොරව වසා දැමේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර හැර, සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක  නිවේදනය කළේ, අද (16)පස්වරු 4.00ට පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි.

ඒ අනුව අද පස්වරු 4.00න් පසුව සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් වන බව ද, උපකුලපතිවරයා නිවේදනය කළේ ය.

මෙලෙස විශ්වවිද්‍යාලය වැසීමට හේතුව වී ඇත්තේ ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් නිසා බව උපකුලපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

2023041605

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ගොනුකර තිබු විදෙස් ගමන් තහනම එළඹෙන අප්‍රේල් මස 06 වන දින තෙක් යළි දීර්ඝ කිරීමට අද (16) නියෝග කර ඇත.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල  විසින් එම නියෝගය නිකුත් කර තිබෙයි

හිටපු මහ බැංකු අධිපතිවරයා ට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රජිත කීර්ති තෙන්නකෝන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙයි.

මේ සම්බන්ධයෙන්අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝගය කර තිබේ.

අද සිට අඛණ්ඩව විදුලිය ලබා දෙනවා - විදුලි ඇමති

අද (පෙබ. 16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ලංකා බැංකුව රුපියල් බිලියන 22ක් සහ මහජන බැංකුව රුපියල් බිලියන 50ක ණය මුදලක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදු කරනු ලැබුවේ අඛණ්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා වැය වන වියදම පියවා ගැනීම සඳහා පමණක් බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ඉදිරියේදී සහන ලබා දීමට සහ ආගමික සිද්ධස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතනය සඳහා සූර්ය පැනල ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව රැස් වෙයි !

ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පැන නැඟී ඇති ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කරනු ලබයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ක්‍රමානුකූලව නිරාකරණය කර ගනිමින් එය යළි නඟාසිටුවීමට කටයුතු කළ යුතු බව සාගල රත්නායක මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිකිරීම් පුනර්ජීවන කමිටුව යටතේ ස්ථාපිත කිරීමට යෝජිත විධායක කමිටුව මගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි පණ ගැන්විය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එම විධායක කමිටුව, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන්ගෙන් හා පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගෙන් සමන්විතව පිහිටුවීමට ද මෙහිදී යෝජනා විය.

ක්ෂේත්‍රය තුළ දැනට හඳුනාගෙන ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහිදී දර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර බැංකු පොළි අනුපාත අයකර ගැනීමේ ක්‍රියාමාර්ග, ආනයන සීමා කිරීම සහ තීරු බදු, රජයේ ව්‍යාපෘති වල සිදුකරන ලද වැඩ සඳහා ගෙවීම් යාන්ත්‍රණය ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ගෙවිය යුතු ගෙවීම් ගණනය කරමින් ඒවා ගෙවා අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලික අංශය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්ව සිටි නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20230215 WA0011

වර්ජන තර්ජනයක් : ගොමාව බදු ගෙවන්නම බෑ කියයි !

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම බදු ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට අවශ්‍ය පෙර සූදානමක් පෙන්වා ඇති නමුත් ඒ අනුව කටයුතු නොකරන්නේ නම් එම පියවරයන්ට එළඹෙන බව ද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

මූල්‍යමය නොවන ප්‍රතිලාභ සදහා ලබා දුන් සංශෝධන හරහා මේ බදු ප්‍රතිපත්ති වෙනස් කළ හැකි බව ද පෙන්වා දී ඇතැයිද ඔහු පැවසීය.

එවැනි පසුබිමක ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොහැකි බව පවසන්නේ නම් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි.

වර්ජන තර්ජනවලට ඇඹරෙන්නේ නැතැයි ජනාධිපති කියයි !

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. ඒ වගේම සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කරන ලෙස වෘත්තිය සමිති පවසනවා. මට අසන්නට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඉවත් කරන්න කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න අවශ්‍යයි කියන අයගේ මට්ටමට පැමිණ තිබෙනවා ද කියන කාරණයයි.

සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ආණ්ඩුවේ කටයුත්තක්. නමුත් විරෝධතා දියත් කළ පමණින් ආණ්ඩුව ඔහුව ඉවත් කරන්නේ නැහැ. ඔහුගේ යම් බරපතළ අඩුපාඩුවක් තිබෙන බව ඔවුන් සිතන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා. උපකුලපතිවරුන් සම්බන්ධයෙනුත් එම තත්ත්වය එලෙසම බව සඳහන් කළයුතුයි.

සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක වේවා වැඩ වර්ජන කළ පමණින් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ.

අපි නීති රීති අනුව ක්‍රියා කරනවා. නැතිනම් ඊළඟ වතාවේ පීඨාධිපතිවරුන් සහ ඉන් පසුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වේවි. අනතුරුව ඔවුන් කියයි අපේ කැමැත්ත නැතිව ඔබට මහාචාර්යවරයෙක් පත් කරන්න බැහැ කියලා.

විශ්වවිද්‍යාලවල ඇතිවීමට යන මෙම තත්ත්වය පිළිබඳ අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි. සිදුවන්නේ කුමක්ද කියා නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ විශ්වවිදයාල සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් නිසා. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. රුහුණු විශ්ව විද්‍යාලය තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීම පිළිබඳව මම කණගාටු වෙනවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, හේග් විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය හාවර්ඩ් නිකොලස්, උපකුලපති සහ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 5726d71ba0

විදුලි බිල ඉහළ දැමීමට අනුමැතිය දීලා !

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසයි .

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

මෙම නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

එසේම මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ,ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබේ.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව වැඩිවී ඇත්තේ රුපියල් 1500 දක්වාය.

ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර තිබේ.

ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරේ.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වාත් වැඩි කිරීමට යෝජිතය.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණකි.

ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබේ.

පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත්, ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600 දක්වා පමණකි.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කර තිබේ.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.

ඉන්දීය වීසා මධ්‍යස්ථානය වසාදැමේ

ආරක්ෂක හේතුවක් මත කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.‍ෙ

එම ආරක්ෂක සිදුවීම ඊයේ (14) රාත්‍රී සිදුවී තිබුණි.

ඒ හේතුවෙන් වීසා හමුවීම් සඳහා නිකුත්කර තිබු වේලාවන් වෙනස් වෙන බවත් ඒ වෙනුවෙන් නව කාල වේලාවන් ලබා ගන්නා ලෙසත්ව් එම නිවේදනයේ දැක්වෙයි.

හදිසි කොන්සියුලර් සහ වීසා කරුණු සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය දුරකථනයෙන් අමතන ලෙස ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

 011 232 6921

011 2422860

OIC ඇතුළු පොලිසියේ 04කට මරණ දඬුවම

වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ.

2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ එකල තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 04දෙනෙකුටය.

 

රනිල් කරන්න : බැරි නම් යන්න (video)

මේ දින වල ආණ්ඩු විරෝධීන්ගේ සටන් පාඨය.. ‘රනිල්, කරන්න බැරි නම් අයින් වෙන්න‘ කියන එකය. නමුත් දැන් මේ රනිල්ට කරන්න බැරි වැඩ මොනවාද කියා හරියකට කියන්නේ නැත. ඒ කියන්නේ රනිල් කළ යුතුව තිබෙන වැඩ මොනවාද කියා විපක්ෂ කණ්ඩායම් නොකියන එකය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් වී තවම ගෙවී ගියේ මාස හය හතක කාලයකි. රනිල් ජනාධිපතිධුරය ලබා ගන්නා විට රට තිබුණ තැනත් දැන් රට තිබෙන තැනත් සලකා බලා විපක්ෂය රනිල්ට කරන්න බැරි නම් අයින් වෙන්න කියනවා විය යුතුය. පළාත්පාලන ඡන්දය ජයග්‍රහණය කර රනිල්ව එළවනවා කියා ජාජාබය, සජබය කියන්නේද රනිල් වැඩ නොකිරීමේ අවුල නිසා විය යුතුය.

මේ කියන විදිහට රනිල් රට බාර ගන්නා විට, රටේ තිබුණේ තෙල් පෝලිම්ය, ගෑස් පෝලිම්ය, බෙහෙත් පෝලිම්ය, කෑම පෝලිම්ය, පොහොර පොලිම්ය. ඒ අස්සේ විදුලිය පැය දහයකට දොළහකට කපමින් තිබිණි. බඩු මිල දරා ගන්න බැරි තරමට වැඩිවී තිබිණි. ව්‍යාපාර කර්මාන්ත බිඳ වැටෙමින් තිබිණි. ආදායම් මාර්ග අහිමි වූවන් බඩ ගින්නේ සිටියේ. මෙහෙව් රටේ ඉඳීමෙන් වගතුවක් නැතැයි කියමින් පාස්පෝට් පෝලිම් වල ලක්ෂගනනින් සිටියේය. කොටින්ම සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී කර කියා ගන්න දෙයක් නැතිව රටෙන් දෙකෙන් පංගුවකට වඩා සිටියේ හෙට දවස ගැන කෙසේ වෙත්ත වේලක් කෑවොත් ඊලඟ වේල කන්නේ කොහොමදැයි සිතා ගන්න බැරිවය.

අනෙක් පැත්තෙන් පීඩාවන් දරාගැනීමට බැරිව මිනිස්සු අරගල බිමේය. පාලකයන්ට එරෙහිව මරාගන් මැරෙන්න තරම් වියරුවකින් අරගලය ප්‍රචණ්ඩකාරීව රට පපුරා පැතිර තිබිණි. පොලිසියට ආරක්ෂක අංශවලට ඒ පාලනය කිරීමේ හැකියාව පවා අහිමිව තිබිණි. අරගලය රටේ නීතිය අතට ගෙන තිබිණි. රට අරාජික වීම දක්වා පාලනයකින් තොරව අරගලය දියත් විය. හිටපු පාලකයෝ වගකීම් අත්හැර පලාගොස් තිබිණි. රට බාර ගන්නැයි හිටපු ජනාධිපති ගෝඨා විපක්ෂයෙන් ඉල්ලීම පිට ඉල්ලීම් කළත් එය මඟ හැරිය විපක්ෂය නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත්පට්ට්යකුත් තව චුට්ටකුත් ඔනෙයි කියන්නා සේ ප්‍රායෝගික නොවන විවිධ කොන්දේසි දමමින් සිටියේය. විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකුව හිඳිමින් රනිල් රට භාර ගත්තේ මෙවැනි ව්‍යාකූල තත්වයක් හමුවේය. රනිල් ජනාධිපතිධුරය භාර ගන්නා විට තමන්ගේ එකම නිවසත් අරගලකරුවන් විසින් ගිණිතබා විනාශ කර තිබිණි. රාජ්‍ය මර්මස්ථාන අරගල ත්‍රස්තවාදයේ ග්‍රහණයට හසුව තිබිණි.

රනිල් නම් මේ ධෛර්යවන්ත මිනිසා, පරිණත දේශපාලනඥයා රට යළි ගොනැඟුමේ අසීරු අභියෝගය බාර ගන්නකොට තිබු එ වියවුල්කාරී තත්වය මාසයක් දෙකක් යන විට වෙනස් කිරීමට සමත් විය. විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් කඩිනම පියවරයන් ක්‍රියාත්මක කෙරිනි. එය විසඳිය හැකි බව පෙන්වා තිබිණි. බිංදුවටම වැටී තිබු රාජ්‍ය ආදායම් යළි උපදවාගැනීමට මෙන්ම හදිස්සයකට ඩොලරයක් සොයා ගන්න නැතිවෙන තරමට වැටී තිබුණු විදේශ සංචිත යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් කටයුතු කෙරිනි. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලබා ගත හැකි මානුෂීය ආධාර උපකාර ලබාගැනීම සිදු විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් අවශ්‍ය සහය ගැනීම සිදුකළේය. එහි ණය ආධාර පැකේජය ලබාගැනීමේ සාකච්ඡා අවසන් අදියරකට ගෙන ඒමට මේ වන විට සමත්ව ඇත. ලෝක නායකයන්ගේ අවදානයට රටේ ප්‍රශ්න යොමු කර අවශ්‍ය සහයෝගයන් ලබාගැනීම වෙනුවෙන් පියවර රාශියක් ක්‍රියාත්මක කෙරිනි. රටේ ඉදිරි ගමන වෙනුවෙන්, මෙතෙක් ආ වැරදි පාර නිවැරදි කරමින් අලුත් බලාපොරොත්තුවක් සමඟ රට නිවැරදි පාරට ගැනීම සිදු කෙරිනි. අනාගත සංවර්ධනාත්මක ගමන වෙනුවෙන් අවශ්‍ය පදනම සකස් කෙරිනි. මේ සියල්ල විසින් යළි සාමාන්‍ය ජීවන රටාවට මිනිස්සුන්ට එන්න හැකියාවක් ලැබිණි. දුෂ්කර තත්වයන් යටතේ හෝ මිනිස්සු යළි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අපේක්ෂ සහගත වන්නට විය. මේ දේවල් නැවත් නැවත් මතක් කරමින් අපට කියන්න වෙන්නේ රට මෙහෙම අර්බුදයකට ගොදුරුව තිබු බව මිනිස්සුන්ට නිතර අමතක වන නිසාය. නැතිනම් අමතක කරවන්න විපක්ෂය කටයුතු කරමින් සිටින නිසාය. කොහොම නමුත් දැන් රනිල් කර තිබෙන දේ පැහැදිලිය.

රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න යැයි විපක්ෂය කියන්නේ මේ දක්වා රනිල් කරපු දේවල් නිසා තිබුණ විනාශකාරී තත්වයන් වෙනස් වීම ඔවුන්ට දිරවන්නේ නැති නිසා විය හැකිය. ඒ නිසා ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකුලත්වය තවදුරටත් පවත්වාගෙන යෑම විපක්ෂය රනිල්ගෙන් බලාපොරොත්තු වූවට සැක නැත. කරන්න බැරිනම් අයින් වෙනන් කියන්නේ ඒ නිසාය.

විපක්ෂයට වුවමණා වුයේ ආර්බුද අතරින් එම අර්බුදයන් දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලන බලයක් ගොඩ නඟා ගැනීමේ මළපෙරේත ආශාව මුදුන්පත් කරගැනීමම පමණි. රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මේතාක් විපක්ෂ පක්ෂ වලින් කිසිදු සහයක් ලැබී නැතිවීම, ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කිසිදු සහයක් ලැබී නැතිවීම මඟින් නැවත නැවත කියන්නේ ඔවුන්ට අවශ්‍යවවන්නේ රට මේ ජරාජීරණ වෙනන් දී බලය අත්පත්කර ගැනීමේ වුවමණාව ගැන පමණය. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන වන සිහිනය සැබෑවුණොත් එදාට හෝ අර්බුදයකින් තොරව ආණ්ඩු කරන්නටවත් අද මේ අර්බුදවලින් ගැලවිය යුතු බව විපක්ෂය කල්පනා කරන්නෙ නැත. අවශ්‍ය බලයම පමණි. මේ නිසා ඔවුන්ට අනුව තමන්ගේ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් පත් කරගන්නා තෙක් කිසිදු අර්බුදයක් විසඳීම නොවිය යුතුව තිබු දේවල්ය. ඒ අනුව රනිල්ට කරන්න බැරි වූ දෙය එයය. ඔවුන්ගේ රනිල් විරෝධයේ පදනම එයය.

පසුගිය 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ ජඩ විපක්ෂය විසින් නොපිළිගන්නා ඔවුන් විසින් නොවිය යුතු දේවල් ලෙස පිළිගන්නා දේවල් රැසක් තමන් කර තිබෙන බව පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබිණි. අඩුම තරමින් රනිල් මේ මොනවාද කරන්නේ කියන්නේ කියා අසන්නට විපක්ෂය පැමිණ තිබුණේත් නැත. එසේම එම ප්‍රකාශයට ආදල විවාදයට හෝ විපක්ෂය සහභාගී නොවී මඟ හරිමින් තිබිණි.

රනිල් කරමින් සිටින්නේ වැරැද්දක් නම් නොකළ යුතු දේවල් නම්, අඩුම තරමින් රනිල්ට අභිමුඛ වී ඒ ගැන තමන්ගේ තිබෙන විරෝධය පළ කළ යුතුව තිබිණි. විවේචනය ඉදිරිපත් කළ යුතුව තිබිණි. වැරැද්ද අඩුපඩුව පෙන්වා දිය යුතුව තිබිණි. එහෙත් විපක්ෂය ආවේ නැත. ඒ රනිල්ට අභිමුඛ වන්නට ඇති බියද, අසමත් කමද, ලැජ්ජාවද, කොන්ද පණ නැති කමද, නැතිනම් තමන්ගේ වරදකාර හැඟිමද ? කියා පැහැදිලි නැත. සමහර විට ඒ සියල්ලම විය හැකිය.

කොහොමටත් අරබුදයෙන් රටත් ජනතාවක් ගලවා ගැනීම වෙනුවෙන් කළ යුතුදේ මේ යැයි කියන්න තරම් දෙයක් විපක්ෂය සතුව නැත. සජබයත් ජජබයත් රනිල් නැති තැන නැතිනම් ඔහුව මඟ හැර, තැන් තැන් වලට ගාල් වී රංචු ගැසී තමන්ගේ විසඳුම් නැතිනම් උත්තරය කියා කියවන්නේ රනිල්ගේ වැඩ පිළිවෙල ගැනය. රනිල් යන මාර්ගය ගැනය. නමුත් එය රනිල්ගේ කියා නොකියා සිටීමට පරිස්සම් වෙයි.

රටේ ආර්ථික අර්බුදය විසඳන මූලික ක්‍රියාමාර්ග ගැන ජාජබයෙ අනුර කුමාර කිසි ලැජ්ජාවක් හිරිකිතක් නැතිව තමන්ගේ විසඳුම් විදිහට ව්‍යාපාරික හමුවකදී කීවේ රනිල් දැනටමත් ක්‍රියාත්මක කර ඇති දෙයය. සජබයේ ආර්ථික ඔස්තාර්ලා කියා සිටින්නෙත් මේ යන මාර්ගය හැර වෙන විකල්ප නැති බවය. ඇතත්ම කතාව රනිල් මෙහෙම විසඳුම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණා නම් මේ නල්ලමලේ විපක්ෂයට කියන්න කිසිවක්ම ඇත්තේ නැත. තිත්තම තිත්ත ඇත්ත මෙයය. මැතිවරණ වේදිකා ගානේ මොන නරිවාදන් දෙඩෙව්වත් අර්බුදය හමුවේ රනිල් මඟ හැර, යන්න වෙන පාරක් නැති බව විපක්ෂයට කොහොමටවත් ප්‍රතික්ෂේප කළ නොහැකිව තිබෙන බව දැන් පැහැදිලිය.

ජනාධිපති රනිල් නිදහස් දිනයදා කියා සිටියේ,
“..අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. මෑත ඉතිහාසයේ මෙවැනි බරපතළ තත්ත්වයකට අප මුහුණ දීලා නැහැ.
අපට එවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවුද?
අපි ඇත්ත කතා කරමු. මේ තත්ත්වයට අපි සියලුදෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි කාටවත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර වරද පටවන්න බෑ.
අපි මුල ඉදලාම වරද්දා ගත්තා. ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුණා. වෙහෙසීම් කෙරුණා. එහෙත් සියයට සියයක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නැහැ.. යනුවෙනි.

ජාතිය අමතා රනිල්ට මෙහෙම කියන්න තරම් කොන්දක් තිබුණත් එය පිළිගනන්වත් ප්‍රතික්ෂේප කරනන්වත් විපක්ෂය ඉදිරිපත් වුයේ නැත. නප්පියටම කෙළවෙලා තිබියදීත් තමන්ගේ හවුල්කාරිත්වයත් සමඟ වැරදි සිදුවූ බව පිළිගන්න විපක්ෂයට නොහැකි වීමේ තේරුම ඔවුන්ට මෙතැනින් එහාට ඉදිරි ගමනක් නැති බවය. වැරදි නිවැරදි කරගැනීමට සූදානමක් නැතිව නැවත නැවත ඒ වැරැද්දම වන්නට ඉඩ දෙන්නේ නම් රටට ඉදිරිගමනක් තිබිය නොහැක. කොහොම නමුත් මේ අය මැතිවරණ වේදිකාවල කරන නන්දෙඩවීම් වලින් පැහැදිලි වන්නෙ පරණ බංකොලොත් තියරි, වැඩ පිළිවෙලවල් සමඟ තවමත් රැඳි සිටින්න තිබෙන කැමැත්තය. ඒ ජනතාව චූන් කර රවටා බලය ගැනීමට තිබෙන කෑදරකමය.

රනිල් 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, “මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා..“

 “..මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ..සිස්ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්..වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි…ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න. ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න..සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි..අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි..“ බවය.

මේ සරළ කරුණ තේරුම් ගන්න බැරිනම්, තවදුරටත් දේශපාලනය කියා කිසිවක් කිරීමෙන් පලක් නැත. රටට අවශ්‍ය සාමුහික ව්‍යායාමයකි. පක්ෂ ජාති ආගම් භේද තවදුරටත් අර්බුදය හමුවේ වලංගු නැත. අර්බුදය ඉල්ලා සිටියේම මේ ක්‍රමයේ වෙනසකි.
රනිල් කරන්න හදන්නේ ඒ වෙනසය. දැන් රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න කියන විපක්ෂයේ සටන කුමක්ද යනන් පැහැදිලි විය යුතුය.

-ඝෝෂක

රටවල් කිහිපයක ණය ගැන තවත් IMF සාකච්ඡාවක් !

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නියෝජිතයන් එළඹෙන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර් තා කරයි.

එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන් ය.

දැනටමත් මූල්‍ය අර්බුදයකට මුහුණ දී ණය පහසුකම් අපේක්ෂා කරන ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනම් සහ ඉක්වදෝරය වැනි රටවල නිලධාරීන් ද එම වටමේස සාකච්ඡාවට සහභාගී වනු ඇති බව ද නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කර ඇත.
තවද ඔවුන් ජී 20 රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති බවත් එහි සඳහන් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී 20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන ඉන්දියාව එහි සම සභාපතිත්වය දරනු ඇති බව ද රොයිටර් පුවත් සේවය වාර් තා කර ඇත.

මෙම හමුව පැවැත්වෙන්නේ ජී 20 කණ්ඩායම නියෝජනය කරන රටවල මූල්‍යමය අංශය භාර නිලධාරීන් ලබන 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වෙන හමුවක් සඳහා ඉන්දියාවේ බෙංගලූරු හිදී හමුවීමට නියමිත පසුබිමක් තුළය.

සේපාල තවදුරටත් ඇතුලේ !

දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ අදාළ නඩුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය සේවාදායකයා දැනටමත් කණගාටුව පළ කරමින් නීතිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර ඇති බවය.

තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් කිසිදු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැගීම් ඇවිස්සෙන ආකාරය කිසිදු ප්‍රකාශයක් මින්මතුවට සිදු නොකරන බවට ඔහු එකග වන බවත් එම නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර සිටියේය.

අවශ්‍යතා ඇති කිසිවකු මඟ නොහැර සහල් බෙදීමට ජනපතිගෙන් උපදෙස් !

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 6 1,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ පවුල් 2 850 000ක් සඳහා ලබා දීමට රුපියල් බිලියන 20ක් වටිනා වී තොග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. සහතික මිලක් ලබා දෙමින් වී මිල ආරක්ෂා කිරීමත් ඉන් අපේක්ෂා කරනවා.

මෙහි පළමු කටයුත්ත වන්නේ වී තොග මිලදී ගැනීමයි. වී තොග මිලදී ගැනීමේ කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දී තිබෙනවා. රජය සහල් අළෙවි කිරීමට පියවර ගන්නේ නැහැ. දුප්පත් පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමට රජය කටයුතු කරනවා. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරනවා.

නමුත් මේ සඳහා පූර්ණ කාලීනව යෙදවීමට කණ්ඩායමක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමඟ පැවැත්වු සාකච්ඡාවේදී එකඟත්වය පළ කෙරුණා.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සිදුකරන අනවශ්‍ය බලපෑම්වලට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දෙන මෙම ප්‍රදානය “ සහන සහල්” ලෙස නම් කර ඒවා නැවත විකිණීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමත්, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමත් සිදු කෙරෙනවා.

මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ කණ්ඩායමක් බඳවා ගෙන හෝ දත්ත එක් රැස් කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුයි.

ඉදිරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිශ්චිත කාල රාමුවුක් තුළ මෙම කටයුතු අවසන් කිරීමට සැලසුම් කළයුතුයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙසේ පැවසීය.

සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ සහාය ලැබී තිබෙනවා.

නමුත් දත්ත එකතු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට තිබෙන තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. එම නිසා මේ පිළිබඳ දිසාපතිවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙසේ පැවසීය.

සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමට බාධා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට කිසිඳු ඉඩක් නැහැ. මාර්තු 31 වන දා වන විට මෙම කටයුතු අවසන් කළ යුතුයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය,අනූප පැස්කුවල්, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික)ජෙනරල් කමල් ගුණරත්න, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික් ලේකම්වරු රැසක් සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්ව සිටියහ.

රට විරුවන් විපක්ෂය නොතකා මුදල් එවයි !

මෙම වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 68.8කින් ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, බන්දුල ගුණවර්ධන පවසයි.

පසුගිය ජනවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ ආණ්ඩුව බලයේ සිටින තුරු විදෙස්ගත ශ්‍රමිකයන් රටට ඩොලර් නොඑවන බව විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂ පැවසුවත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහළයමින් පවතින බවද එහිදී සඳහන් කෙරිණ.

පුහුණු ශ්‍රමිකයන් වැඩියෙන් විදේශගත වුවහොත් මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ට ලබාගැනීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ පක්ෂ විදෙස් ප්‍රේෂණ මෙරටට නොඑවන ලෙසට බලපෑම් කරමින් තිබෙන පසුබිමක මෙවැනි තත්වයක් ඇතිවීම ආණ්ඩුවේ වැඩපිළිවෙල කෙරෙහි එම ප්‍රජාවේ විශ්වාසය ගොඩනැගීම තහවුරු වන්නක් බවයි. එසේම එම එවනු ලබන ප්‍රේෂණ නීති විරෝධී ආකාරයට සිදුනොකර බැංකු හරහා එවීමට රජය උනන්දු කිරීමක් පසුගිය සමයේ සිදුකළ බවත් එම වැඩපිළිවෙළ ද සාර් ථක වූ බවද මේ හරහා පෙන්නුම් කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

Page 143 of 386