V2025

පුවත්

සෞඛ්‍ය ලේකම් ඇතුළු 09කට රට ගමන් තහනම්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ (ඉමියුනොග්ලොබියුලීන්) එන්නත් ගනුදෙනුවට සම්බන්ධ බවට සැක කරමිනි.

එලෙස මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රාජ්‍ය රෝහල් වෙත බෙදා හැරීමේ වංචාවට මේ පුද්ගලයන් සම්බන්ධ බවත්, ඔවුන් අධිකරණය මගහැර විදේශගත වීමට හැකි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කර ඇත.

එකී ඉල්ලීම සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු පහත සඳහන් උසස් නිලධාරීන් 9 දෙනෙකුට මෙම තහනම් නියෝගය පනවා තිබේ.

1 - සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත
2 - අත්තනායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක
3 - හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්
4 - බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්
5 - යූ. එස්. කේ. දෙනාවත්ත
6 - ඩී.එච්.ආර්. එන්. ප්‍රේමතුංග
7 - ටී. ඩී. සොලමන්
8 - මරක්කල මානගේ නිරාන් ධනංජය
9 - එම්. සුජිත් වසන්ත කුමාර

මෙම පුද්ගලයන් විදේශගත වීමට ක්‍රියා කළහොත් හෝ විදේශගතව සිට මෙරටට පැමිණියහොත් එම ගමන නවතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස මාලිගාකන්ද අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඒ, 1948 අංක 20 දරන ආගාමික විගාමික පනතේ 1993 අංක 16 දරන පනතින් සංශෝධිත ආගාමික විගාමික පනතේ 51 (ඇ) (1) වගන්තිය සමග කියවිය යුතු 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය අනුව බව ද අධිකරණ නියෝගයේ දක්වා තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දෙන අවස්ථාව වන විටත් තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී විදෙස්ගත වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ අනුමැතියකින් තොරව, සහකාර ලේකම්වරයාගේ අනුමැතිය යටතේ විෂය භාර ඇමැතිවරයාගේ අවසරය මත ඔහු විදෙස්ගත වී ඇති බව ද හෙතෙම කීය.

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වී මිල දී ගත් මානව ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු ගොනු කර ඇත.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වන ලදැයි කියන සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් 'අරුණ දීප්ති', ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන තිදෙනාට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මිට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණ.

මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි අංශය විසින් වෙන වෙනම විමර්ශන සිදුකරමින් පවතී.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කර තිබුණ ද මෙතෙක් ඔවුන් ඉදිරිපත් කර නොතිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නොවැම්බර් 18 වන දා සිට සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබිණ.

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරමටත් මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වේ.

උතුර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ තද වැසි ඇති වේ.

ඉමියුනොග්ලොබියුලින් ඖෂධ මගඩියේ විමර්ශන ගැන සෞඛ්‍ය ඇමති කියයි !

ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කරයි.

අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් කිසියම් කාල සීමාවක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කර සිටියේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

එම ප්‍රශ්නය යොමුකරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති පුද්ගලයෙකු මෙරටින් පළා ගොස් ඇති බවය.

මේ අතර, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට මාලිගාකන්ද අධිකරණය නියෝග කර තිබේ.

එසේම මෙම සිදුවීමට අදාළ තවත් තිදෙනෙකුට මීට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණි.

VAT බදු අය කිරීම ගැන කෝපාවෙන් දේශීය ආදායමට උපදෙස් !

ජනතාව ගෙවනු ලබන VAT බද්ද රජයට නිසියාකාරව ලැබෙන්නේ ද යන්න තහවුරු කරගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019, 2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීක්ෂාව සඳහා කෝපා කමිටුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ වර්තමානය වනවිට VAT බද්ද සඳහා ආයතන 13,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මඟින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බවය.

කෙසේ වුවත් කෝපා කමිටුව අවධාරණය කර ඇත්තේ ජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවය.

තවද ,RAMIS පද්ධතිය තවමත් භාරගත නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහිදී කෝපා කමිටුවට දැනුම් දී ඇති අතර එහිදී RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වීමට වහාම තමන්ගේ පරිගණක පද්ධතියේ අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන ලෙස කෝපා කමිටුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

එසේම 2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් 198,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී පවසා ඇත .

කෝප් සභාපතිට බාල්දි පිට බාල්දි !

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි .

අදාළ විශ්වාස භංග යෝජනාව එළැඹෙන සඳුදා (20) කතානායකවරයා වෙත භාරදීමට නියමිත බවත් දැනගන්නට ඇත .

ඊට නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර ඇතැයි පැවසෙන ළබැදියාවන් අතර ගැටුම බවත් එබැවින් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි .

එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට එකඟ නොවීමට ද ඔවුන් තීරණය කර ඇත .

මේ අතර කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (17) තීන්දු කළේය .

මහින්දගේ ජන්ම දින සැමරුමේ මැති ඇමති හිඟයක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්වු අතර ඒ සඳහා අපේක්ෂා කළ තරම් පිරිසක් සහභාගීව නොමැති බව වාර්තා වෙයි .

මෙම කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකම අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වා ඇති අතර ඒ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වී ඇතත් මැති ඇමතිවරුන් ගේ සහභාගිත්වයේ අඩුවක් කැපීපෙනී තිබේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත .

"මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්"

ඉමියුනෝග්ලොබින් එන්නත නිසා සෞඛ්‍ය ලේකම්ට සේවා දිගුව අහිමිවෙයි : අලුත් ලේකම් පාලිත !

සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වන අතර ඔහුගේ සේවා කාලය අද (18) අවසන් වෙයි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනිද්දා (20) පත්කිරීමට නියමිතය.

කෙසේ වුවත් අද විශ්‍රාම යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා ඇති නමුත් ඒ සඳහා අනුමැතිය නොලැබී ඇති බවත් දැනගන්නට ඇත. ඒ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ හෙවත් හියුමන් ඉමියුනෝග්ලොබින් එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේ කුප්‍රකට සිද්ධියට ඔහුගේ නම ද ගෑවි වී ඇති නිසාය.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගේ නමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා නම් කර ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබුනද ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගණුදෙනුව සම්බන්ධ විමර්ශන වලදී මේවනවිට ඔහුවද ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා ද අවසර දී නොමැති බවත් වාර්තා වෙයි.

එසේම මේ වන විට පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ නමද අද පුරප්පාඩු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා යෝජනා වී ඇතත් පරිසර අමාත්‍යංශයේ වැදගත් ව්‍යාපෘති කිහිපයක් ඔහුගේ අධීක්ෂණය යටතේ ඇරඹි ඇති බැවින් ඔහුව නිදහස් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ප්‍රතිකේෂ්ප කර ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීමට නියමිත බවත් ඔහු මීට පෙර ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති නිලධාරියෙකු බවත් වාර්තා වෙයි .

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු කෙටුම්පත් 4ක් බලාත්මක වෙයි !

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අතර කතානායකවරයා ගේ සහතික කිරීම සමඟ අදාළ පනත් කෙටුම්පත් හතර මෙතැන් සිට බලාත්මක වෙයි.

ඒ අනුව මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් හතරය.

දයාසිරිගේ ඉල්ලීම විසිවෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කල අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.

එහිදී පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්‍ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ට බලය ඇතැයි පෙන්වා දෙමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගනිමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කල අභියාචනය ප්‍රතික්ෂේප කිරරීමට අධිකරණය තීන්දු කර ඇත.

බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිණ .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට පක්ෂය ගත් තීරණය අභියෝග කරමින් තමන් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කරමින් දුන් තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කොට තිබිණී.

හිටපු CID ප්‍රධානියා පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ආන්දෝලනාත්මක අනාවරණයක !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන හිටපු රජයේ බලපෑම මත අඩාල වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ඔස්ට්‍රේලියානු රූපවාහිනි සේවාවක් වෙත ප්‍රකාශ කර තිබේ.

ABC ප්‍රවෘත්ති සේවාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමත් සමඟ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙරම සිය විමර්ශන කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කළ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තාමය වැඩසටහනක් ඔස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති සේවය විසින් ඊයේ (16) විකාශය කර තිබිණි.

එම වැඩසටහන මඟින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඇතුළු කණ්ඩායම අදාළ විමර්ශනවලින් වහා ඉවත් කළේ, කිසිදු දැනුම්දීමකින් තොර බව ඔහු පවසයි.

එහි දී ඇතැම් බුද්ධි අංශ නිලධාරින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම එම පරීක්ෂණවලට බාධාවක් වූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 06කට පෙර නැගෙනහිර වවුනතිව්හී දී පොලිස් මුරපොළක කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නිසි තොරතුරු ලබාදුන්නේ නම්, මෙම මෙම ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබූ බවයි.

එමෙන්ම අමෙරිකානු FBI ඔත්තු සේවාවේ සහායෙන් අනාවරණය කරගත් එක් කරුණක් වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් සමඟ රහස්‍ය හමුදා බුද්ධි අංශ මෙහෙයුම් අන්තර්ජාල ලිපිනයක් ඔස්සේ නිරන්තර සන්නිවේදනයක් සිදු ව ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ සමීපතයන් හෝ ප්‍රශ්න කිරීම් ජාතික ආරක්ෂක මෙහෙයුම්වලට බලපාන බව පවසා බුද්ධි අංශ නිලධාරින් දෙවරක්ම වැළැක්වූ බව ද ඔහු ප්‍රකාශ කරයි.

  • Derana

IMF දෙවැනි වාරිකය ලැබෙන දවස ඇමති නිමල් හෙළිකරයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ දිගු කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේද පැවසීය.

මෙවර ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවකින් තොරව කඩා වැටුණ ජාතික ආර්ථිකය ගොඩනැගීමේ දිගුකාලීන වැඩපිළිවෙළක තවත් ආරම්භයක් සනිටුහන් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති මේ අයවැයේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ඇතැමුන් එය මැතිවරණ අයවැයක් ලෙස හඳුන්වනවා. නමුත් මෙය එවැනි මැතිවරණ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ අයවැයක් නොවෙයි.

එය මැතිවරණ ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් නම් සංවර්ධනයට අදාළ යෝජනා හා ප්‍රතිපත්ති සියල්ල අමතක කර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු අසීරු තීන්දු තීරණ නොගෙන සිටීමට තිබුණා. ඒ වගේම මුදල් මුද්‍රණය කර හෝ සාමාන්‍ය ජනතාවට තවත් සහන සැලසීමට ඉඩ තිබුණා.

පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධතා හේතුවෙන් රටේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය නැති වී ගොස් තිබුණා. දේශපාලන සහ සමාජ ස්ථාවරත්වයක් නැති රටකට මූල්‍ය ආධාර, ණය පහසුකම්, ආයෝජන ලැබෙන්නේ නැහැ. මේවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට පැවති පාලනය අසමත් වුණා. එම තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම භාරගැනීමට විරුද්ධ පක්ෂයට ආරධනා කළත් ඔවුන් එය පිළිගත්තේ නැහැ.
ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ දුෂ්කර වගකීම භාර ගත්තේ.

එතුමා තම ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කළා. තමන් ක්‍රියාත්මක කරන්නේ කෙටි කාලීන ජනප්‍රිය ව්‍යාපෘති නොව දීර්ඝ කාලීනව රට ගොඩනගන ව්‍යාපෘති බව ද ඔහු අවධාරණය කළා. මෙම ප්‍රතිපත්තිය සමඟින් ජාතිය ගොඩනැගීමේ ගමනේ ඉදිරියට යාමේදී ඉහත සඳහන් කළ පරිදි ජනතාවට ජනප්‍රිය සහන සැලසීමක් අපේක්ෂා කළ නොහැකියි. නමුත් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ සමග ජාතික ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයට බාධාවක් වූ විවිධ ප්‍රශ්න විසඳමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය පසුබිම අප මෙවර අයවැයෙන් නිර්මාණය කර තිබෙනවා.

2024 අයවැයෙන් ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් අත්වී නැති බව ඇතැමුන් පවසනවා. නමුත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වැඩිහිටි හා ආබාධිත දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රාදේශීය සංවර්ධනය, ඉඩම් අයිතිය සින්නක්කරව ජනතාවට ලබාදීම ඇතුළු විවිධ සහන රැසක් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී තිබෙනවා. මේ සියල්ල ලබාදීමට රජයට ආදායමක් ද අවශ්‍යයි.

අප වියදම් කරන ප්‍රමාණය අනුව ආදායම ද ලැබිය යුතුයි. අය වැය කියා කියන්නේ එයයි. රජයන් බොහෝවිට මෙවැනි සහන ලබාදීමට වියදම් දරන්නේ ජනතාව වෙතින් එකතු කරගන්නා බදු ආදායමයි.

ඒ නිසා අප වියදම් සහ ආදයම් අතර සමබරතාවයක් පවත්වා ගත යුතුයි. පවතින තත්ත්වය යටතේ ජනතාවට තවත් සහන ලබාදීමට නම් බදු අයකිරීම වැඩි කරන්න සිදුවෙනවා. මේ යාන්ත්‍රණය ජනතාව තේරුම් ගත යුතුයි. වැටුප 10,000 කින් වැඩි කළත් ඇතැම් පාර්ශ්ව වැටුප තවත් වැඩිකරන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියනවා. අපි ප්‍රායෝගිකව හිතුවොත් ඒවා ආණ්ඩු විරෝධී සටන් පාඨ පමණයි. ඒවා ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව අද මේ රටේ ජනතාවට වටහා ගත යුතුයි.
ඒ වගේම ආර්ථික පරිහානියට හේතුව ලෙස පසුගිය රජය දැවැන්ත බදු සහන ලබාදීම බව විරුද්ධවාදීන් පවසනවා. ඒ විවේචනය තුළ බදු වැඩි කළ යුතුය යන්න ඔවුන් පිළිගෙන තිබෙනවා. නමුත් බදු වැඩි කළත් ඊට එරෙහිව ද සටන් පාඨ මතු කරනවා. මේ අනුව ඔවුන් එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය දෙසැම්බර් මාසය වන විට අප වෙත නිදහස් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම අදායම් එකතු කරගැනීමේ දී ගැටළු පවතින ආයතන කිහිපයක් ප්‍රතිසංවිධානය කිරීම ද කළ යුතුව තිබෙනවා. ඒ අනුව රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවතින දූෂණ අවම කොට ඒවා රජයට විධිමත් ලෙස එකතු කර දෙන ආයතන බවට පත් කර ගත යුතුයි.

මේ වන විට රජය ආරම්භ කළ ආර්ථික වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුව අද වන විට මෙරට සංචිතවල ඩොලර් බිලියන 3.5ක් පවතින බව මහ බැංකුව පවසනවා.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි

නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ වන විට එය යථාතත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතුබලාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බවත් නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වුවත් මේ හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර, මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව ද නිවේදනයේ දැක්වෙයි .

තවද මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර, මේ වනවිට එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදුකරන බවත් විදුලි බල මණ්ඩලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමුකිරීමට හැකි බව ද එහි සඳහන් ය.

ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක්

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (17) පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

ඇමති සුසිල්ට ඉහළ පුටුවක් !

ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත.

ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය.

අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.

කෝප් කමිටු සභාපතිට එරෙහිව කතානායකට ලිපියක් !

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප්) වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් ඉල්ලා තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2022 සැප්තැම්බර් මස සිට පත් වූ නව සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ කෝප් කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවය.

මේ හේතුවෙන් ව්‍යවස්ථාව හරහා පාර්ලිමේන්තුවට පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් නිසිලෙස ඉටුනොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එහිදී දක්වා තිබේ.

කෝප් කමිටු සභාපතිවරයට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලෙස පහත කරුණු එහි ඇතුළත් ය.

එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත්කරන සාකච්ඡා සටහනෙහි ඇතුළත් ප්‍රමුඛතම හා විශේෂිතම කරුණු මගහැර සාපෙක්ෂව අඩු අවධානමක් සහිත කරුණු ඉස්මතුකරමින් ඒ සඳහා වැඩි වේලාවක් ගනිමින් විශේෂ හා ප්‍රධාන කරුණු උපක්‍රමශීලීව මඟහැරීම,

කමිටුව විමර්ශනය කරන කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබාදීම මගහැරීම මෙන්ම නිගමනයකින් තොරව සාකච්ඡා අවසන් කිරීම මඟින් කමිටුවේ වගකීම් පැහැර හැරීම,

කෝප් කමිටුව පැවැත්වෙන අතරතුර විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් සමඟ හස්ත මුද්‍රාවෙන් උපදෙස් ලබාදීම හා කරුණු දැක්වීම්වලදී ආයතන සාමාජිකයන්ට වාසිදායක ලෙස කටයුතු කිරීම.

වේරගොඩ විද්‍යාලයේ යළි ඛේදවාචකයක් නොවීමට රවී මැදිහත් වෙයි !

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක මියයෑම පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (16) පෙරවරුවේ එම විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව හිටපු මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී සිටිය පාසලේ ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබෙන සියලු ඉදිකිරීම් ප්‍රමිතියකින් යුක්තව ඉදිකිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසය.

මීට අමතරව පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමටද පියවර ගැනිණ.

ජනාධිපති මාලදිවයිනට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්වගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට පසුගියදා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීමේ නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත .

ජනපතිගේ අපේක්ෂාව ගැන අශෝක කියයි !

භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.

භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ලබන වසරෙහි පළමු කාර්තුව තුළ එහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කළේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2024 අයවැය ලේඛනය පිළිබඳ විවිධ කතිකාවන් නිර්මාණය වී තිබෙනවා. එහිදී මා විසින් නියෝජනය කරන ස්වදේශ කටයුතු විෂයට අදාළව රාජ්‍ය සේවකයින්ට බලපානු ලබන විවිධ ගැටලු, වේතනයන් පිළිබඳව සහ උද්ධමනය සමඟ ජීවත්වීමට ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කෙරුණා.

බඩු මිල වැඩිවීම සහ උද්ධමනය රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපා තිබෙනවා. එය වැටුප් වැඩි කිරීමකින් පමණක් විසඳීමට නොහැකියි. නමුත් ජනතාව පත්ව සිටින පීඩනය පිළිබඳව රජයක් ලෙස අප සංවේදී විය යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම 2024 අයවැය මගින් විශ්‍රාමිකයින්ට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ රැසක් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අලුතින් අයදුම්කරන අයෙකුට එය ලබා ගැනීමට මෙතෙක් මාස තුනක පමණ කාලයක් ගතවුණා. නමුත් අප එම කාලය සතියක් හෝ දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

භාණ්ඩ මිල පාලනය කරමින් නිෂ්පාදනය වැඩි කර සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ වනවා. 2024 අයවැය අනුව ද ලබන වසරෙහි පළමු කාර්තුව තුළ භාණ්ඩ මිලෙහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම, නව විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම මෙන්ම අබලන් වූ මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙවර අයවැයේදී අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් සංවර්ධන වීමට අවශ්‍ය පදනම මෙවර අයවැයෙහි ඇතුළත් බව සඳහන් කළ යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.

Page 144 of 473