පුවත්

ෂෙයික් හසීනාගේ ජයග්‍රහණයට ජනපති රනිල් සුබ පතයි !
බංග්ලාදේශයේ පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ ෂෙයික් හසීනා මහත්මිය මෙතෙක් බංග්ලාදේශ ජනතාවට ලබා දුන් දක්ෂ හා දූරදර්ශී නායකත්වය මෙම විශිෂ්ඨ ජයග්‍රහණයට ඉවහල් වූ බවයි.
ෂෙයික් හසීනා මහත්මියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේ දී එම සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කර තිබේ.
හැකි විගස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ෂෙයික් හසීනා මහත්මිය වෙත ඇරයුම් කර ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගනිමින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට එම සංචාරය ඉවහල් වනු ඇති බවත් සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පසුගිය සමයේ ෂෙයික් හසීනා මහත්මියගේ පෞද්ගලික මැදිහත්වීම මත බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහාය පිළිබඳව ද සිහිපත් කර ඇති ජනාධිපතිවරයා ෂෙයික් හසීනා මහත්මිය ශ්‍රී ලංකාව සහ ජනතාව කෙරෙහි දක්වන ලැදියාව සහ හිතෛෂීභාවයද කෘතවේදීව අගය කර තිබේ.
බංග්ලාදේශ ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය වෙත නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය හෘදයාංගම ශුභාශිංසන පළ කර ඇත.

සජිත් අධිකරණයට !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
ඒ දැනට අයකරන විදුලි ගාස්තු අඩු නොකිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමිනි.
ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල අමාත්‍යවරයා හා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම පක්ෂ අභ්‍යන්තරයේ කතා බහක් මතුව ඇත්තේ , පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු හෝ බහුජන සංවිධාන නියෝජිතයකු යොමුකර සිදුකළ යුතු කටයුත්තක් සඳහා විපක්ෂ නායක ඉදිරිපත්ව සිදුකිරීම ය. ඒ සම්බන්ධයෙන් ඇතමුන්ගේ මතය වී ඇත්තේ තම නායකයා දිගින් දිගටම one man show හැසිරීමක නිරතව සිටින බවයි.
පාර්ලිමේන්තු අවස්ථාවේ පවා විපක්ෂ නායක ලෙස සජිත් අනෙක් විපක්ෂ මන්ත්‍රීවරුන් ට අදහස් දැක්වීමට ඇති කාලය වෙන්කර ගනිමින් කටයුතු කිරීම ද ඔවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

අනුර කුමාර මහත්තයෝ එන්න ප්‍රසිද්ධ සංවාදයකට - දිලිත් ජයවීරගෙන් අභියෝගයක් !
ජනතාවට යහපත්, අහයපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත් එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවති මහනුවර දිස්තික්‍රක් සමුලුව අමතමින්ය.
"එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහැ . ඒ විරෝධතා ඇහෙන්නෙත් නැහැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ." යැයිද හෙතෙම කිවේය.
තුන්වැනි ලෝකෙන් "යම" ලෝකයට ගෙන යන මෙම රැඩිකල් පක්ෂ හොරු අල්ලලා ඒවා මිනිස්සුන්ට දෙන බවට සිදු කරන ප්‍රකාශ පුහු කතා බව පැවසු ඒ මහතා රට ඉදිරියට යාමට නම් සියලු දෙනා එකතු වු සභ්‍යත්ව මාවතකට යා යුතු බවද පැවසීය.
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.
"එළියේ තිබෙන දේශපාලන රික්තය නිසා අපිට සොභාවධර්මයා විසින් ලබාදුන් ආශිර්වාදයක් ළෙස සලකා ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කිරීම තමයි අපේ අරමුණ. අප රෙට් ඉතිහාසය පුරාම දේශපාලනය බල කඳවුරු දෙකකට බෙදිල තිබුණා. ඒ කඳවුරු දෙකට තිබුණු ඡන්ද අද වෙනස් වෙලා. සමීක්ෂණ වාර්තාවලින් පැහැදිළිව ප්‍රකාශ කරන්නේ සියයට 60 කට වැඩි පිරිසක් ඒ සාම්ප්‍රදායික කඳවුරුවලින් මිදිලා නව විසඳුමකට එමින් සිටින බව. ඒ නව විසඳුම කුමක්ද. ඒ සදහා කිනම් සාධනීය අවකාශයක් ප්‍රවේශයක් තිබේද කියල තමයි සාකච්ඡා කළ යුත්තේ. අවලාද මඩ ගැහිලි මැද අපි ඉදිරියට යන්නේ නැහ. ඉදිරියට ගිහිල්ල තියෙන්නේ සුලු පිරිසක් පමණයි. ශ්‍රි ලංකාවේ තවත් රැකියාවක් හැටියට දේශපාලනයේ නිරතව ඉන්න, මේක වෘත්තියක් විදියට කරගෙන ඉන්න බොහෝ දෙනා මේ දේශපාලනය ඇදගෙන ඇවිත් තියෙනවා මෙතනට. ඒ නිසා තමයි අද රටට මේ තත්වය උද්ගතවෙලා තියෙන්නේ. අපි සංකල්ප හතරක් ගැන කතා කරනවා. සභ්‍යත්වය, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රෙරණය හා උපාය මාර්ගික සැලස්ම. ඒ තමයි ඒ හතර. අපි කතා කරන්නේ මේ හතර ගැන විතරයි. අපි මේ හතරෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලු සාම්ප්‍රදායික දේශපාලනයන්ට දේශපාලන බලවේගවලට මම නැවත නැවත ආරාධනා කරනවා අපි ඔය මඩ වලට ඇදගෙන යන්න එපා කියල. මම සුදාමින් සිටිනවා අනුර කුමාර සහෝදරයා එක්ක සජීව සාකච්ඡාවකට යන්න. මම නැවත නැවත ඔහුට ආරාධනා කරනවා.
අපිට අවශ්‍ය සාධක අපිම සපුරා ගත යුතුයි. මේ රටේ අද මිනිස්සු දුක්විදින විදිය අපි ඔක්කොම දන්නවා. අන්ත දුගි දුප්පත් තත්වයට රටේ මිනිස්සු සියයට 80ක්ම පත්වෙලා. වැඩිපිරිසකට කරකියා ගන්න දෙයක් නැහ. ලංකාවේ මධ්‍ය පරිමාණ මහාපාරිමාණ සුලු පරිමාණ ව්‍යාපාර සීග්‍රයෙන් වැහිල යනවා. පත්තර බලන විට තේරෙනවා ඇති මේ ව්‍යාපාර කොයිතරම් වෙන්දෙසි දානවද කියල. මේ කෙන් අපි මිදිය යුතුයි. අවලාද නගන මේ බාල දේශපාලනයෙන් අපි මිදිය යුතුයි. අපි ඉස්සරහාට යන්න ඕනෑ. අපේ රටේ තරුණයින්ට අගයක් තියෙන්න ඕනෑ. ජාති ආගම්වලට ගරුකරන ශිෂ්ටාචාරය පළමුවෙන්ම රැක ගත යුතුයි. ඒ තුලින් විතරයි මේ රටේ මානව ප්‍රාග්ධනය මේ සියලු දෙනා අතර එකතු වෙන්න පුලුවන් ක්‍රමය. පවතින දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන පක්ෂ වන එජාපය, සජබ, ජාතික ජනබල වේගය, පොහොට්ටුව එක තැනකට එකතු වෙලා. ඒකයි පාර්ලිමේන්තුවේ හැම පනතක්ම සම්මත වෙන්නේ. මිල වැඩි කිරීම්, බදු වැඩිකිරීම් ඕනෑම වෙලාවක කරන්න පුලුවන්. ඔක්කොම එකට ඉන්නේ.
ගමේ ඉන්න සෑම දුප්පත් මනුස්සයෙක්ම පවුලක්ම ගන්න සමෟද්ධිය කියන අටමගලය නැති කරල ඒ මිනිස්සු බලාත්මක කරමු. ඒ අය කීයක් හරි උපයා ගන්න වැඩපිළිවෙලකට යොමු කරමු. ඒකට තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන්නේ. ඒ තුලින් ඇතිවෙන ප්‍රතිපලයක් ලෙස අන්තිම දුගි පැලටත් ඔවුන්ගේ විශ්වාසය මත කටයුතු කළ හැකියි. ඔවුන්ට සතුටින් ජිවත් වීමේ පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එයින් අදහස් වෙන්නේ නැහ ලංකාවේ ව්‍යවසායකයා අපි අමතක කළා කියලා. අද රටේ ව්‍යවසායකයා අතින් රටට ලොකු සේවයක් වෙනවා. ඔවුන් තමයි රැකියා ටිකවත් ලබල දෙන්නේ. රජය ගෙන යන මේ බදු ප්‍රතිපත්තියට වැඩිදුරක් යන්න වෙන්නේ නැහ.
අද ලෝකේ සෑම රටක් දියුණු වෙලා තියෙන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යක් තුලින්. වසර 70ක් දුක්වින්ද ඉන්දියාව අද දියුනු වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකත්ව රාජ්‍ය මෝදි විසින් ඇතිකළ නිසා. ජනතාවගේ ඔලුවට හැමෝම සෘණාත්මක දේවල් පමණක් දැම්මොත් කවදාමත්ම මේ ජාතිය ගොඩ එන්නේ නැහ. ඒ නිසා තමයි අපි මේ සෘණාත්මක ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන්නේ. අපි කතාකරන්නෙ කරන්න පුලුවන් දේ ගැන පමණයි. අපේ ජනතාව දැනුම බුද්ධියෙන් පිරි පිරිසක්. අපි කියන මේ හැමදේකටම උපාය මාර්ගික සැලැස්මක් තියෙනවා. අපි කතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේදිත් උපාය මාර්ගික සැලස්ම ගැන පමණයි. ඒකට දින වකවානු තිබෙනවා. ඒ අනුව වැඩකරල ඔබ හැම අභිප්‍රේරණය කරලා ජාතිකත්වය මත පදනම් වු රජයක් තුළ මේ වැටුණු වලෙන් ගොඩ ඒමට පුලුවන් කමක් තිබෙනවා. සාප්‍රදායික දේශපාලන බලවේග එක්ක හැප්පෙන එක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් අපි ඊට වඩා එහාට ගිය උපාය මාර්ගික වැඩපිලිවෙළක් තුළ ජයග්‍රහණය කාර ගොස් ඉල්ලක ගත වැඩපිලිවෙළකට අනුව කටයුතු කරනවා. සාම්ප්‍රදායික දේශපාලන ගති ලක්ෂ අපි දන්වා ඒවා අතික්‍රමණය කරමු."

ධම්මිකට පොහොට්ටුව දුන්නේ ලණුවක් - ලන්සා කියයි !
‘ධම්මික පෙරේරාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ අද (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් සමඟ කොළඹ දී පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදී නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙසේද පවසා සිටියේය.
“ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ විශාල පිලිගැනීමක් තියෙනවා එතුමා වැටුනු රට යම් ක්‍රමයකට ගොඩගත්තා කියන එක පිළිබඳව. මේ ක්‍රමය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියන එක ජනතාව විශ්වාස කරනවා. කයිවාරුකායින්, බොරු කාරයින් ඇවිල්ලා එක එක ඒවා කියලා රට ආයෙත් ආපස්සට යන්න පුලුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඉල්ලන්න කියලා රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා.
ධම්මික පෙරේරා කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික ඥාානය තිබුනට එතුමට දේශපාලන ඥානය නැහැ. පොහොට්ටුව කිව්වා කියනවා, එතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කොනිදේසි 10 ක් දාලා තියෙනවා, ඒ කොන්දේසි 10 සපුරලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියලා. පොහොටේටුවේ කවුරුත් කියලා නැහැ එතුමා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. ධම්මික පෙරේරා මහතාට කවුරුහරි ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව පොහාට්ටුව කඩ නොකරයි කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තුව දුන්න කෙනා දැන් කියන්න ඕනේ අපි ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. තාම එහෙම දෙයක් පේන්න නැහැ. ධම්මික පෙරේරා මහත්තයා නිකන් කියන්නේ නැහැනේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ධම්මික පෙරේරා මහතාට මේ පණිවුඩය දුන්න වගකිවයුතු කෙනාට කියනවා ඇවිල්ලා රටට කියන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්ම්ක පෙරේරා කියලා. ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ. ව්‍යාපාර කියවීමට හැකියාව තිබුනට දේශපාලනය කියවීමට හැකියාවක් ධම්මික පෙරේරා මහතාට නැහැ. මම දන්න පොහොට්ටුව දැන්ම හදිස්සි වෙන්නේ නැහැ තමන්ගේ ජනාධිපති අපේක්ෂාකයා ධම්මික පෙරේරා කියලා කියන්න.
අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වනවා. අපේ වැඩපිළිවෙලේ අපි වෙන කිසිම අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නැහැ. මේ ආර්ථික වැඩිපිළිවෙල ගෙනියන ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එකයි අපේ බලාපොරොත්තුව.
සමගි ජන බලවේගය පහුගිය කාලය පුරාම කිව්වේ පොහොට්ටුව, රාජපක්ෂවරු සහ එතුමා එක්ක හිටපු අය හොරු කියලා. ආර්ථිකය වැටෙන්න ප්‍රධානම හේතුව රාජපක්ෂවරු ගත්ත තීරණ කියලා කිව්වා. එහෙනම් සජබෙන් අහන්න කැමතියි නාලක ගොඩහේවා, ජී. එල්. පීරිස් වගේ අය ගන්නේ රෙදි ඇඳගෙනද කියලා. නාලක ගොඩහේවා තමා ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත. ආර්ථිකය වැටෙන්න බදු අඩු කරන්න උපදෙස් දුන්නේ ප්‍රධාන වශයෙන් නාලක ගොඩහේවා මහතා. වියත්මග, එළිය සංවිධාන හඳාගෙන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක්, දේශපාලනය කරපු නැති කෙනෙක් ගේන්න ඕනේ කියලා මතයක් ගොඩනැගුවේ මේ අය. අපි ඒ වේලාවෙත් කීවා ගෝඨාභය මහතාට දේශපාලනය කරන්න බැහැ කියලා. ඒක ජනතාව පිළිගත්තෙත් නැහැ, එතුමලා පිළිගත්තෙත් නැහැ. හැබැයි ගෝඨාභය ගෙනල්ලා අපේ අවුරුදු 30 ක දේශපාලනය නැති කරලා, නාලක ගොඩහේවා සජබයට කරනමක් ගැහැව්වා. සජිත් මහත්තයත් ආදරයෙන් වැලඳගෙන ඉන්නවා. ජී එල් කියන්නේ පොහොට්ටු පක්ෂයේ සභාපති. මේ අය එලියට ගියේ වේලාසනින් නෙමේ. අරගලයට ඉස්සෙල්ලා එලියට ගියේ මම. මේ අය අරගලයෙන් එළියට දාපු අය. නාලක ගොඩහේවා, ජී එල් ගෝඨාභය මහතාගේ අන්තිම කබිනෙට්ටුවෙත් හිටියා. මේ අය තමා ආණ්ඩුව කළේ. බදු අඩු කරලා රට නන්නත්තාර කළේ. සජබ අය නාලකට, ජී.එල් ට බැන්නා, පොහොට්ටුවට බැන්නා. රෙදි ඇඳගෙනද මේ අය වැළදගත්තේ කියලා අහනවා.
ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා ඉන්න පුලුවන් කියලා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික විශේෂඥයා කියනවනම් ඒ එයාගේ දැනුමේ තරම තමයි මේ. රටේ දැනුමක් තියෙන අය පිළිගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණට බැහැ කියන එක. ජවිපෙ කියන්නේ අනුන්ගෙන් අරගන්න, අනුන්ගෙන් යැපිලා ජීවත්වන පිරිසක්. අනුර කුමාරට, සුනිල් හදුන්නෙත්තිට, විජිත හේරත්ට රස්සාවක්, ව්‍යාපාරයක් තියෙනවද ? නැහැ. පෞද්ගලික ආයතන වල වෘත්තීය සමිති පිහිටුවලා කප්පම් ගන්නවා, රාජ්‍ය ආයතනවල වැඩක් කරන්න දෙන්නේ නැහැ. මේ අය කියනවා අවුරුදු 70 ක් රට කෑවලු. 20 කෑවේ ඒ අය. අවුරුදු 30 ක් කෑවේ ප්‍රභාකරන්. ඉතිරි අවුරුදු 20 අධයාපන ප්‍රතිසංස්කරණ, විදුලිබල ප්‍රතිසංස්කරණ කරන්න දුන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයේ පාඩුව අවම කරගත්තොත් ලක්ෂ 20 කට රුපියල් 10,000 ගානේ දෙන්න පුලුවන්. ඒකට ඉඩ දෙන්නේ නැත්තේ කවුද ජවිපෙ වෘත්තීය සමිති. ‘හා මංචං ස්වෛරී බැදුම්කර ගෙවන්නේ නැතිව ඉන්න පුලුවන් කියලා’ සුනිල් හදුන්නෙත්ති කියන කාරණාව හෝඩියේ පන්තියේ ළමයෙක්වත් නොකියන කාරණාවක්. මේ අය බැංකුවකින් ණයක්, ව්‍යාපාරයක්, කඩයක්වත් නොකරපු අය තමා රටේ ආර්ථිකය හදන්න බණ දේශනා කරන්නේ.
අද වෙනකොට විදේශ සංචිත බිලියන 4.5 ට වැඩිවෙලා. ගිය අවුරුද්දට සාපේක්ෂව ප්‍රේෂණ එවන එක සියයට 53 කින් වැඩිවෙලා. සංචාරකයන්ට එන්න එපා කියලා ඒ අය කිව්වා. යුක්රේනයෙන් ගණිකාවෝ එනවා කියලා විවිධ චෝදනා කළා. අද සංචාරකයෝ විශාල වශයෙන් එනවා. ආර්ථිකය යම් හොද මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේක බලාගෙන ඉන්න ජවිපෙ කයිවාරුකාරයින්ට බැහැ. සුනිල් හදුන්නෙත්ති සමූපකාර සමිතියකවත් ණයක් අරන් නැති නිසා ණය ගෙවීම පිළිබඳව වගකීමක් නැති ප්‍රකාශයක් කරලා තියෙන්නේ.
වැට් හා බදු වැඩිකිරීම තුළ ජනතාවට විශාල අපහසුතාවයක් තියෙනවා. ඒක ජනතාවට දාරාගන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ බදු අඩු කිරීමෙන් ඉන්ධන, විදුලිය අර්බුද ආවා. මිනිස්සු පැය ගණන් පෝලිමේ හිටියා. බේත් ටික ගෙන්නගන්න බැරිවුනා. බදු අඩු කිරිම තුළ රටේ ආර්ථිකය වැටීමෙන් රුපියල් නැතිව ගියා. විදේශ විනිමය නැතිවුනා. ඒ නිසා අරගලයක් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩුව එලෙව්වා. දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහටත් බදු අඩු කරලාා, රටේ ආර්ථිකය වට්ටලා ආපහු තිබුන තත්ත්වයට පත් කරන්න කියලද ?. බදු වැඩි කරනකොට මිනිස්සු බනිනවා, මිනිස්සු ජන්දෙ දෙන්නේ නැහැ කියලා දන්නවා. දන්නවා වුනාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ගන්න, බංකොලොත් භාවයෙන් මිදෙන්න, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ආධාර ගන්නනම් ආර්ථිකය පිළිබඳ ගන්න ඕන තීන්දු තීරණ ඉතා පැහැදිලිව ගන්න ඕනේ. ඒකට ජනතාව බනියි, ජන්දය නොදී ඉදියි කියලා තීරණ ගන්නේ නැතිව ඉන්න බැහැ. එහෙම වුනොත් ගෝඨාභය රාජපක්ෂගේ අනිත් එක සිදු වෙන්නේ. මේ තීන්දු ගන්නකොට ජනතාව බනියි කියන එක, ජන්දය නොදී ඉදියි කියලත් දන්නවා. හැබැයි බුද්ධිමත් ජනතාව මේක තේරුම් ගනියි කියලත් අපි දන්නවා. පහුගිය අවුරුදු එක හමාර තුළ සිදූවූ දේ අමතක කරන්න බැහැ. බදු අඩු කරලා රටට වුනු විපත්තිය දැක්කා. ජනතාව පීඩනයට පත්වුනා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙන කෙනෙක් කරන්නේ නැහැ. මොකද ජනවාරි පළවෙනිදා බදු වැඩි කරන්නේ නැහැනේ කිසිම නායකයෙක්. එතුමට ජන්දය ලැබුනා හෝ නොලැබුනා රටේ ඉදිරි දරුවන්ට මේ රටේ ආර්ථිකය හදන්න එතුමට ඕනේකම තියෙනවා. දේශපාලන පොරොන්දු, සුරංගනා කතා කියලා රටේ ආර්ථිකය හදන්න බැහැ.
ජනතාවට ඇත්ත කියලා, මේ දේවල් පැහැදිලි කරන්න ඕනේ. හැබැයි එහෙම නැතිව එන ඕන කෙනෙක් මාස තුනයි. ඔය අයට වැට් එක් අඩු කරන්නත් බැහැ. බදු අඩුකරන්නත් බැහැ. පෞද්ගලීකරණය කරන්නත් බැහැ. එතකොට ආණ්ඩුවක් ඒ අයට ගෙනියන්න බැහැ. පෞද්ගලීකරණය කළොත් තමා පාඩු ලබන ආයතන වලින් අරගෙන ජනතාවට දෙන්න පුලුවන්. පාඩු ලබන ඒවා අඩුකරගත්තොත් තමා ණය ගෙවන්න පුලුවන් වෙන්නේ. රටේ ජනතාවගෙන් සියයට තිහක් තිස්පහක් තේරුම් අරන් තියෙනවා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හැර වෙන ක්‍රමයක් නැහැ කියලා. තව ටික කාලයක් මේක ඉවසගෙන හිටියොත් තව මාස දෙක තුනකින් ජනතාවට සහන සලසන්න පුලුවන් වෙයි.
මම රාජපක්ෂවරුන්ට බලය තියෙනකොට එලියට ආව කෙනෙක්. අරගලයට ඉස්සෙල්ලා එලියට බැස්සා. සජබයට යන අය එලියට ආවේ අරගලයෙන් එලෙව්වට පස්සේ. ඒ නිසා අපිට නැවත රාජපක්ෂවරු බලයට ගේන්න උවමනාවක් නැහැ වගේම පොහොට්ටුව සමග වැඩ කරන්නේත් නැහැ. අපිත් එක්ක සන්ධානයේ ඉන්න මන්ත්‍රීවරුන් ඉන්නේ පොහොට්ටුවත් එක්ක ආයේ දීගකෙට යන්නේ නැහැ කියලා.”
– Media unit

නියමිත කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමට ඉදිරියේ දී නීතියක් !
ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී විශ්වවිද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යාපාරික, තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරිවර්තනීය ප්‍රයත්නයන් සඳහා ක්‍රියාකාරීව එක් වන ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට ඇරයුම් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමඟ පසුගියදා යාපනය ජෙට්වින්ග් හෝටලයේ පැවති හමුව අමතමිනි.
රටේ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව වෙත පැවරී ඇති ප්‍රමුඛ කාර්යභාරය පිළිබඳව පැහැදිළි කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.
මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දිය හැකි අන්දමින් උතුරු පළාත දැවැන්ත සංවර්ධනයකට ලක් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සිසුන් දැනුවත් කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වෙන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
රටක් සංවර්ධනය කරා ගෙන යාමේ ගාමක බලවේගය එරට මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීම ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරිමේ රජයේ සැලසුම් පිළිබඳවද සිසුන් දැනුවත් කළේය.
එසේම ඩිජිටල් තාක්‍ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටක් ලෙස කලාපීය සහයෝගීතාවයේ ඇති වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සහ ත්‍රිකුණාමලය ශක්තිමත් වරායන් බවට පත් කිරීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා කළේය. දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් මන්නාරම සිට ඉන්දියාව දක්වා ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම පිළිබඳව ද තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2025 වන විට 5% ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සහ 2030 වන විට එය 7%ක් දක්වා ක්‍රමයෙන් වැඩි කර ගැනීමේ ඉලක්ක පිළිබඳවද කරුණු පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව කඩිනමින් ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.
සමෘද්ධිමත් හා සංවර්ධිත ශ්‍රි ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සියලුදෙනා එක්වීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම ඉටු කිරීමට විශ්වවිද්‍යාල සිසුන්ද කැපවනු ඇති බවට විශ්වාසය පළ කළේය.
මෙහිදී සිසුන් නැගු ප්‍රශ්නවලට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන් අතර එම ප්‍රශ්න කිහිපයක් සහ ඊට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය:
රටක ආදායමේ ප්‍රධාන සාධකය වන්නේ බදු ආදායමයි. ව්‍යවසායකත්ව අදහස් සහ ව්‍යසායකත්වය පිළිබඳ අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලදී හදාරනවා. නමුත් ජනාධිපතිතුමනි, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා, ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් සඳහා සිසුන්ගේ අදහස් ඇතුළත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් වැඩිදියුණු කරන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර:
ඔබට ඔබේ පීඨයේ එවැනි කවයක් ස්ථාපිත කරගෙන අපගේ ආර්ථික කටයුතු පිළිබඳ කණ්ඩායම සමඟ ඍජුවම සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, මෙම වැඩසටහන සියලුම විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරනවා නම් එය වඩාත් සුදුසු බව කිවයුතුයි.
පිළිතුර:
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වලට දිනක් හෝ දෙකක් මහා භාණ්ඩාගාරයට පැමිණ එහි කටයුතු සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දිය හැකියි.
ප්‍රශ්නය
විශ්වවිද්‍යාල සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණදී සිටිනවා. එක් අවස්ථාවක අපගේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවීමට සිදුවීම නිසා සියදිවි නසාගැනීමේ සිදුවීමකුත් වාර්තා වුණා. එබැවින් මූලික මට්ටමේ සිටම සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවාද?
පිළිතුර:
මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙවැනි ප්‍රශ්නයක් නැහැ. මොරටුව විශ්වවිද්‍යාලයේද එවැනි ප්‍රශ්නයක් මතුව නැහැ. නමුත් ඔබ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාව හැදෑරිය යුතුයි. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක්. ඔබ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය සමග වැඩකරනවා නම් ඔබට ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කටයුතු සිදු කරනවා. ඉදිරියේදී බොහෝ දුරට චීනයත් මේ මාවත අනුගමනය කරනු ඇතියි.
ඉදිරි වසර දෙක තුළ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පාඨමාලාවක් හඳුන්වා දීමට අප සැලසුම් කර තිබෙන නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම අනිවාර්ය වී තිබෙනවා.ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මෙන්ම අවශ්‍යනම් බ්‍රිතාන්‍ය කවුන්සිලය වැනි ආයතන මගින් ඒ සඳහා පහසුකම් සළසා දීමට අප අපේක්ෂා කරනවා.
ප්‍රශ්නය:
ජනාධිපතිතුමනි, රාජ්‍ය විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අධ්‍යයන සුදුසුකම් ලබා ගැනීමට වැය කරන කාලය, පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් සම්පූරණ කිරීමට වැය කරන කාලයට වඩා ඉතා වැඩියි. එබැවින් අප රැකියා වෙළඳපොළට යන විට, අපට වඩා අත්දැකීම් ඔවුන්ට තිබෙනවා. මේ සඳහා ඔබතුමාගේ යෝජනාව කුමක්ද?
පිළිතුර:
මම අධ්‍යාපනය ලැබුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක. මම අවුරුදු 18දි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කළා, වයස වුරුදු 21දි උපාධිධාරියෙක් ලෙස විශ්වවිද්‍යාලයෙන් පිට වුණා. වයස අවුරුදු 23 දි නීතිඥයෙක් වුණා.
මෙය විශ්වවිද්‍යාල තුළ පවතින අභ්‍යන්තර ප්‍රශ්නයක්. අද ඇතැම් පිරිස් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවුල් කරනවා. නමුත් අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරනකොට, උපකුලපතිතුමා සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබුණා පළමු වාරයේ අවසාන සති දෙක පමණක් වර්ජන සඳහා වෙන් කරනවා කියලා. ඉතින් එතුමාත් ඊට එකඟ වුණා. අපි එය කළා. ඒ නිසා මම හිතන්නේ අප එක් ක්‍රමයකට අනුව වැඩ කිරීම ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත් වූ පසු නියමිත අවුරුදු තුන හෝ හතරකින් අධ්‍යාපන කටයුතු අවසන් කර විශ්වවිද්‍යාලයෙන් පිටවිය යුතු බවට ඉදිරියේ දී නීතියක් ගෙන ඒමට ද අප අපේක්ෂා කරනවා. වෛද්‍ය විද්‍යාලවලට එසේ අවශ්‍ය වන්නේ නැහැ.
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, මට යෝජනාවක් කරන්න පුලුවන්ද? බොහෝ විට රජයේ පාසල් ආරම්භ වන්නේ සහ අවසන් වෙන්නේ එකම දවසක. ඇයි රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් ඒ දේම කරන්න බැරි?
පිළිතුර:
විශ්වවිද්‍යාලවල අධ්‍යයන වර්ෂය ඔක්තෝබර් මාසයේ ආරම්භ කරනවා. ඒ වගේම එය ඊළඟ වර්ෂයේ සැප්තැම්බර් 30 වෙනිදායින් අවසන් වෙනවා. අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදීත් අධ්‍යයන වර්ෂය ආරම්භ වුණේ ඔක්තෝබර් මාසයේ. බොහෝ රටවල් වලත් ඔක්තෝබර් සිට සැප්තැම්බර් දක්වා තමයි විශ්වවිද්‍යාල අධ්‍යයන වර්ෂය ක්‍රියාත්මක් වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, උතුර පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තික්ෂණ අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්කුනරාජා, යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනි වසන්ති අරසරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චීනයෙන් නවීන තාක්ෂණයෙන් යුතු සහල් මෝලක් !
අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් බවත් එම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .
රජයට එම කාර්ය තනිවම කළ නොහැකි නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් චීන සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් සකස් කරන බවහ අමාත්‍යවරයා පවසයි .
චීන සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මත්පැන් හලක් විවෘත කරන්න නම් කෝටියක් තැම්පතුවක් අනිවාර්යයි !
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .
කෙසේ වුවත් මීට පෙර මත්පැන් හලක් විවෘත කිරීමේදී එවැනි මූලික ගාස්තුවක් අය කෙරුණේ නැත.
කෙසේ වුවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.
සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙනවා - ජනපති
ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ඒ යටතේ යාපනයේ ශික්ෂණ රෝහල සඳහා ඉඩම් වෙන්කර දීමටත්, ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කිරීමටත් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ තරුණ ප්‍රජාව සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් 300කට ආසන්න පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙනු ලැබීය.
උතුරු පළාත ජාතික ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස සහ තරුණ ප්‍රජාව ලෙස තම දායකත්වය ලබාදෙන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
යාපනය විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සහ එහි භෞතික සම්පත් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවලියක් ද මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන් යන මහත්වරුන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්කුනරාජා, හිටපු උපකුලපති මහාචාර්ය වසන්ති අරසරත්නම් යන මහත්ම මහත්මින් සහ වත්මන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්ය මහචාර්යවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණි ජනාධිපතිවරයා අයිස් ක්‍රීම් රස බැලීමටද අමතක නොකළේය.
meet-and-greet නමින් සංවිධානය කර තිබු මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා චිත්‍රපට කලාව, සමාජ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උතුරු පළාත තුළ විශිෂ්ඨතා දැක්වූවන් පිරිසක් ද එක්ව සිටී අතර ඔවුන් සමග සුහද කථා බහක නිරත වු ජනාධිපතිවරයා සුබපැතුම් ද පිරිනැමීය.

නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට
මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) සිදු කෙරිණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රු. මිලියන 448ක ආයෝජනයකින් ඉදිකළ මෙම පස් මහල් තැපැල් පරිපාලන සංකීර්ණය තුල නැගෙනහිර නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය,ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය,දිසා පාලන නිලධාරී කාර්යාලය,දිසා ගණකාධිකාරී කාර්යාලය, තැපැල් අභ්‍යාස ආයතනය ඇතුළු අංශ රැසක් ස්ථාපනය කර ඇත.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් , ආහාර සුරක්ෂිතතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් ,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් , තැපැල්පති රුවන් සත්කුමාර ඇතුළු ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් - ජනපති
ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය.
උතුරු පළාතේ පවතින ආගමික එකමුතුව ආරක්ෂා කිරීමට සියලු දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ද කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ආගමික සහජීවනය වෙනුවෙන් රජය ගත යුතු පියවර පිළිබඳ එහි සියලු ආගමික නායකයන් සමග සාකච්ඡා කර තමා වෙත දන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරියට උපදෙස් දුන්නේය.
උතුරු පළාතේ සියලු ජන කොටස්වල ආගමික අයිතීන් සුරක්ෂිත කරමින් එම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ උදාකර දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ආගමික නායකයන්, නිරන්තරයෙන් උතුරට පැමිණෙමින් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට කටයුතු කිරීම පිළිබඳවද කෘතවේදීවත්වය පළ කළේය.
එසේම රටේ ආගමික සහජීවනය සුරක්ෂිත කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළටද ආගමික නායකයන් සිය ආශිර්වාදය පළ කළහ.
යාපනයේ අන්තර් ආගමික කමිටුව විසින් යෝජනා මාලාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දුන්නේය.
ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා කිසිදු ආගමකට අසාධාරණයක් නොවන ආකාරයට සර්ව ආගමික දෙපාර්තමේන්තුව යටතේ වැඩ කටයුතු සිදු කරන බව ද සඳහන් කළේය.
යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිවිමල නායක හිමිපාණන් වහන්සේ ද, පී.ජේ. ජෙබරද්නම් පියතුමා , ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා, ආර් . ඒ .රලීම් මවුලවීතුමා ඇතුළු සර්ව ආගමික නායකයින් ද, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩෙංගු ගැන කියන්න දුරකථන අංකයක්
ඩෙංගු රෝග වැලැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ස්ථාපිත කර ඇති 011- 7 966 366 මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලුව පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ඇත.

ස්වයංක්‍රියව මුහුණු හඳුනාගැනිමේ පද්ධතියක්
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව සඳහන්ය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

වියදම් කරන්න සල්ලි නැත්නම් පළාත් සභා මොකට ද?
අද වන විට තමන්ගේ වියදම තමන්ට ම සපයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග පසුගිය දා (ජන. 4) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.
අනෙකුත් සියලු පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වන බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් පළාත් සභා දියුණු කිරීමට අවශ්‍ය නම් එම පළාත් තුළින් ම ශක්තිමත් වී පෙන්වන ලෙසට දැනුම් දුන්නේ ය.
ඒ අනුව, කොළඹින් මුදල් එනතුරු බලා නොසිට පළාත් සභාවල සියලු දෙනා පළාතේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගත යුතු බව පැවසූ හෙතෙම, දේශපාලනඥයන් බලය බෙදීම ගැන කතා කරන ආකාරයට ම එම බලතල පළාත්වල දියුණුවටත්, රටේ දියුණුවටත් යොදා ගත යුතු බව ද ප්‍රකාශ කළේ ය.
විවිධ පාර්ශව දේශපාලනික වශයෙන් බලය බෙදීම පිළිබඳ කතා කරන බව පැවැසූ ජනාධිපතිවරයා, නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකි නමුත් පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් එම බලතලවල ඇති වටිනාකම කුමක්දැයි ප්‍රශ්න කළේ ය.
උතුරු පළාත සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට හැකියාව තිබෙන බව පැවසූ හෙතෙම ඊට අවශ්‍ය සියලු සම්පත් එම පළාත තුළ තිබෙන බව ද කීය.
උතුර පමණක් නොව රටේ ම සංවර්ධනයට ඊට දායක කරගත හැකි බවත්, ඒ සඳහා දැනට ම ත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා දහතුන් වන සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතුවලට ප්‍රමාණවත් බව සඳහන් කළේ ය.
උදාහරණයක් වශයෙන් පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා ඉල්ලුමක් තිබේ නම් ඊට රජය මුදල් ලබාදෙන තුරු බලා නොසිට පළාත් සභාව මුදල් සම්පාදනය කර ගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනපති අපේක්ෂකයකුවීමට සුදුසුකම් ඇතත් සල්ලි නෑ - වෙල්ගම
ජනාධිපති අපේක්ෂකයෙකු විම සඳහා තමන්ට සියලු සුදුසුකම් ඇති නමුත් ඒ සඳහා දැන් මුදල් නැතැයි සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
පසුගිය අරගල සමයේ තමන්ට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ගැනීමට කෝටි දෙකක පමණ මුදලක් වියදම් වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
එනිසා ජනාධිපතිවරණයකට වියදම් කිරීමට තමන්ට මුදල් නැති බවද රටේ ආර්ථිකයට මෙන්ම අද තමන්ගේ ආර්ථිකයට ද අසීරු බවද ඔහු පැවසීය.
අද මන්ත්‍රීවරුන් සත පහකට ගණන් නොගන්නා බවද බවත් වෙනදා මළගෙදරකට ගොඩ වූ විට නැගිටින්නේ නැත්තේ මිනිය පමණක් වුවත් අද කිසිවකු නැගිටින්නේ නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට !
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 4 වැනිදා නිකුත් කර තිබිණ.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචිවීමට පිරිවැටුමේ සීමාව පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට බලාත්මක වන පරිදි කෝටි 12 සිට කෝටි 6 දක්වා අඩු කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සලසා ඇති බවත් වාර්තා වෙයි.

කොට්ටාව දිවි නසාගැනීම් පොකුරට හේතුව ආගමික විශ්වාසයක් ද?
මරණින් මතු ආත්මයක දී සැපවත් ජීවිතයක් ගත කිරීම උදෙසා සියදිවි නසාගැනීම්, මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීම් මෙන් ම, ආගමික හෝ දේශපාලනික විශ්වාසයක් වෙනුවෙන් එලෙස සියදිවි නසාගැනීම් හෝ අන් අය ඝාතනය කිරීමේ කණගාටුදායක සිදුවීම් ලෝක ඉතිහාසයට කළු පැල්ලම් එකතු කරමින් විවිධ කාලවල දී අසන්නට ලැබේ.
ලෝක ඉතිහාසයේ කළු පැල්ලම්
දකුණු ඇමරිකානු මහද්වීපයේ ගයනාවේ ජෝන්ස්ටවුන්හි එක්සත් ජනපද පුරවැසියන් 900කට ආසන්න ප්‍රමාණයක් 1974 වසරේ දී මියයාමේ සිද්ධිය එලෙස ලෝකයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමක් ය.
මෑතක දී තවත් එවැනි සිදුවීමක් පසුගිය වසරේ වාර්තා වූයේ අප්‍රිකානු මහද්වීපයේ යි.
2023 අප්‍රේල් මාසයේ දි එක්තරා ආගමික විශ්වාසයක් විශ්වාස කරන අනුගාමිකයන් කණ්ඩායමක් ආහාර නොගෙන උපවාසයක යෙදී සිටිය දී කෙන්යා පොලිසිය විසින් සොයාගන්නා ලද අතර, එලෙස සොයාගන්නා විටත් හතරදෙනෙකු කුසගින්නේ සිට මියගොස් තිබුණි.
දරුණු ලෙස රෝගී වි සිටි අනෙකුත් 11 දෙනා ද රෝහල්ගත කිරීමෙන් පසුව ද ආහාර ප්‍රතික්ෂේප කර තිබුණේ එලෙස මියයාමෙන් ඔවුන්ට ස්වර්ගය වෙත පහසුවෙන් යා හැකි බව පවසමින් ය.
ඉහත ලෝක ඉතිහාසයේ සිදු වූ ආගමික ඇදහීම් හෝ විශ්වාස නාමයෙන් සියදිවි නසාගැනීමේ සිද්ධියකට සමානයැ යි සැක පළකෙරෙන කණගාටුදායක සිදුවීමක් කොට්ටාව, හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
දිවි නසාගැනීමට හේතුව ආගමික විශ්වාසයක් ද?
කොට්ටාව, මාකුඹුර මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයෙක් වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය විසින් 2023 දෙසැම්බර් 28 දින සොයාගත් අතර, ඉන් දින දෙකකට පසු එම 46 හැවිරිදි පුද්ගලයාගේ අවමඟුල් අවසන් කටයුතු සිදුකර තිබුණි.
එදින රාත්‍රියේ, එනම් දෙසැම්බර් 30 වනදා, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ඔහුගේ ඥාතියෙකුගේ නිවසක් තුළ වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට සොයාගෙන තිබුණි.
පොලිසිය විසින් මුලින් සැක පළ කළේ යම්කිසි පවුල් ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් සියදිවි නසාගන්නට ඇති බව යි. කෙසේ නමුත්, මෙම අවස්ථා දෙකේදීම භාවිත කර තිබූ විෂ වර්ගවල සමානකමක් සහ ඒවා බහා තිබූ කවරයේ සමානකමක් පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබුණි.
මේ අතර යක්කල ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියක ඉහත පිරිස ආකාරයටම වස වර්ගයක් පානය කර සියදිවි නසාගෙන තිබූ අතර, අම්බලන්ගොඩ පදිංචි 34 හැවිරිදි තරුණයෙකු ද ඊට සමාන ආකරයෙන් ම සියදිවි නසාගෙන තිබුණේ මහරගම ලැගුම්හලක් තුළ දී ය.
මෙම සිදුවීම් දාමයේ සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත.
පළමුව සියදිවි නසාගත් පුද්ගලයා රටපුරා විවිධ ආගමික දේශනා පවත්වා ඇති අයෙකු වන අතර, නිවන හා මාර්ගඵල ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු සිදු කළ දේශනයක වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයන්හි හුවමාරු වෙමින් තිබේ.
පසුව සියදිවි නසාගත් තරුණයා සහ තරුණිය ඔහුගේ දේශනවලට සම්බන්ධ වී ඇති අතර, ඔවුන් දෙදෙනා ඔහුගේ අවමඟුලට ද සහභාගී වී තිබේ.
අම්බලන්ගොඩ පදිංචි තරුණයාගෙන් පොලිසිය විසින් අවමඟුල් දිනයේ දී ප්‍රකාශයක් ද සටහන් කරහෙන ඇති අතර, එහි දී ඔහු පවසා ඇත්තේ තමා මෙම පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයෙකු බව යි.
මේ ඔස්සේ විමර්ශන සිදු කළ පොලිස් කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇත්තේ, මෙම පුද්ගලයා විවිධ ස්ථානවල සහ සමාජ මාධ්‍ය හරහා යම් අන්තවාදී ආගමික ප්‍රචාරයන් සිදුකර ඇති බව ය.
ඔහු අවසන් වරට දේශනයක් පවත්වා ඇත්තේ 2023 දෙසැම්බර් 26, එනම් උඳුවප් පොහොය යෙදී තිබූ දින ගාල්ල, හබරාදූවේ දී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව විසින් 2024 ජනවාරි 04 කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලින් අනාවරණය වූයේ මොහු විවිධ පන්සල් ද කේන්ද්‍ර කරගනිමින් දේශන පවත්වා ඇති බව යි.
'කාගේ හෝ ජීවිතයට හානි කරන විශ්වාස ඇදහීම වරදක්'
මේ වන විට සිදු වන පරීක්ෂණ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
එමෙන් ම මෙම මරණ හතේ දී ම භාවිතා කර ඇති විෂ වර්ගය මොනවාදැ යි හඳුනාගැනීමට සහ ඒවා සමානදැ යි හඳුනාගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද ඔහු පැවසුවේ ය.
"ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය ආගමක් හෝ විශ්වාසයක් හෝ දැරීමේ නිදහස තියෙනවා. නමුත් කවුරුන් හෝ කෙනෙක් අනෙක් අයගේ ජීවිතයට හෝ තමාගේ ජීවිතයට හානියක් එමඟින් කරන්න උත්සහ කරනවා නම් අපි ඒ ගැන විමසිලිමත් වෙනවා. එවැනි දෙයක් සිදුවෙනවා නම් පොලිසිය දැනුවත් කිරීම ජනතාවගේ වහකීමක්," ඔහු පැවසුවේ ය.
මේ අතර මෙම දේශන පැවැත්වූ පුද්ගලයාගේ අනුගාමිකයන්යැ යි පැවසෙන කණ්ඩායමක් ජනවාරි 04 දින මාළඹේ පොලිසියට ද කැඳවා තිබුණි.
පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ දේශනවලට සහභාගී වූ යම් අයෙක් හඳුනන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ය.
මෙවැනි සියදිවි නසාගැනීම් සිදුවන්නේ ඇයි?
ආගමික විශ්වාසයක් මත සිදුකරන ලදැ යි දැනට පොලිසිය විසින් සැක පළ කරනු ලබන මෙම සියදිවි නසාගැනීමේ සිදුවීම්වල මනෝ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරගැනීමට බීබීසී සිංහල විසින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසංක බුලත්වත්තගෙන් විමසීමක් සිදු කරන ලදී.
එහි දී ආචාර්යවරයා ප්‍රකාශ කළේ මෙම හුදෙකලා සිදුවීමට අදාළව අධ්‍යයනයක් නොකර නිශ්චිත හේතු පැහැදිලි කිරීමක් සිදු කරන්නට නොහැකි නමුත්, මෙම සියදිවි නසාගත් පුද්ගලයන් විෂාදයට ගොදුරු වී සිටියේ නම් ඔවුන් සියදිවි නසාගැනීමට එය ද හේතුවක් වන්නට ඇති බව යි.
"යම් ආගමික හෝ විශ්වාසයක් සම්බන්ධයෙන් අනුගාමිකයන් අතර අන්ධ භක්තියක් තබාගන්න දේශන පවත්වන කෙනා යම් යම් ආකල්ප සහ කරුණු උගන්වලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දි විෂාදයට ගොදුරු වුණ අය සිටියොත් ඒ අය මේ වගේ දෙයක් අහලා සියදිවි නසාගැනීමකට පෙළැඹෙන්න ඉඩක් තිබෙනවා."
කෙසේ නමුත් ආචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ මනෝභාවයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමෙන් ඒ සඳහා ආගමික විශ්වාසයක් බලපා තිබේ ද යන්න සොයාබැලීම සිදු කළ යුතු බව යි.
'මෙය විශේෂ පෞරුෂත්ව ප්‍රශ්නයක්'
මෙවැනි සිදුවීම් බොහෝවිට සිදුවන්නේ පෞරුෂත්ව ප්‍රශ්නයක් මත බව, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝචිකිත්සක වෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.
"ලෝකයේ හැමතැනකම වගේ මෙවැනි අන්තවාදී අදහස් දරණ කණ්ඩායම් සිටිය හැකියි. මෙවැනි සිදුවීම් දෙආකාරයකට සිදුවෙනවා. එකක්, පුද්ගලික මනෝභාවයන් මත මෙවැනි දේට යොමුවීම. අනෙක් කාරණය, සමාජයෙන් එල්ල වන පීඩනය නිසා මෙවැනි දේට යොමු වීම. මෙවැනි දේට යොමුවෙන හෝ ගොදුරු වෙන පුද්ගලයන් බොහෝ වෙලාවට විෂාදය වගේ විවිධ මානසික රෝගවලින් පෙළෙන, සමාජයට වෛර කරන, ළමා කාලයේ දි හෝ තමාගේ ජීවිත කාලය තුළ මුහුණදුන් යම් කම්පනසහගත අත්දැකීමක් නිසා පීඩාවෙන් ඉන්න අය," වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
එවැනි පුද්ගලයන්ගේ පෞරුෂත්ව ලක්ෂණ සම්බන්ධයෙන් වෛද්‍යවරයා මෙසේ පැහැදිලි කළේ ය: "මේ විදිහට අන්තවාදී දේශන මඟින් සියදිවි නසාගැනීම්වලට අනුබල දෙන අයට තිබෙන පෞරුෂත්වය අපි හඳුන්වන්නේ 'පරපීඩා මායාකාරී පෞරුෂත්ව ලක්ෂණ' (Paranoid schizoid personality) හැටියට යි."
"මෙවැනි මානසික තත්ත්වයක සිටින පුද්ගලයන්ට තමාට සියදිවි නසාගන්න හෝ තමා සියදිවි නසාගන්න ගමන් අනෙකුත් අයගේත් දිවිතොර කරන්න අදහසක් එන්න පුළුවන්. නමුත් ඒ අදහස ඔවුන් පිළිගන්න සාරධර්මවලට හෝ ආගමික විශ්වාසවලට පටහැණියි. එතකොට මේ අයට තමාගෙ අදහස් සහ තමා විශ්වාස කරන දේවල් අතර පරස්පරයක් ඇතිවෙනවා. මනෝවිද්‍යාවේ දී එය 'සංජානන පරස්පරය' (Cognitive dissonance) කියා හඳුන්වනවා. එතැනදි මේ අය සියදිවි නසාගැනීම හෝ ඝාතනය හෝ සාධාරණීකරණය කරන නව මතවාදයක් ගොඩනගාගැනීම සිදුකරනවා."
සියදිවි නසාගතහොත් මීළඟ ආත්මය යහපත් වන්නේයැ යි හෝ එලෙස සිදුකිරීමෙන් මීළඟ ආත්මයේ දී සැපවත් ජීවිතයක් ගත කරන්නට ලැබේයැ යි විශ්වාස කරන මතවාදයන් එවැනි ඒවා බව වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
"බොහෝවිට මේ අය ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් විදිහට. එවැනි කණ්ඩායම්වල නායකයන්ට අනෙක් අය ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට කතා කරන්න වගේ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ මානසික පීඩනයන්ගෙන් ඉන්න අයව එවැනි අය පහසුවෙන් පොළඹවා ගන්නවා. අවසානයෙ දී සිදුවෙන්නේ තමාගේ වගේම අනෙක් අයගෙත් ජීවිත නැතිවෙන එක. එවැනි සිදුවීම් තමයි ලෝකයේ විවිධ කාලවලදී සමූහ දිවිනසාගැනීම් විදිහට බොහෝවිට වාර්තා වෙන්නේ."
වෛද්‍යවරයා පවසන්නේ මෙවැනි කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් දන්නේ නම් වහාම පොලිසියට දැනුම් දීම හා මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.
"මෙවැනි මතවාදයන්වලට ගොදුරු වුණ මුල් අදියරේ අයට අපි ප්‍රතිකාර කරලා තිබෙනවා. නමුත් කණගාටුවට කාරණය තමයි ඒවගේ දේවල් හෙළිවෙන්නෙත් මේ මෙවැනි ව්‍යයසනයක් වුණාට පස්සෙයි."
අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909
බීබීසී සිංහල

ලංකාවේ නිල සංචිත තවදුරටත් ශක්තිමත් !
2023 වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඊට අනුව ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ.
චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය පහසුකම ද මෙයට ඇතුළත් වූ අතර, එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වෙන බව ද මහ බැංකුව නිවේදනය සඳහන් කරයි.

පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා !
විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.
නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
2023 වසරේ දී අප විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කළා. පැවති විදුලිබල පනතේ අඩුපාඩු සකස් කර පාරිභෝගිකයන්හට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයේ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාව සහ නියාමනයට අදාළ කරුණු නව පනතට ඇතුලත් කරමින් තිබෙනවා.
ඒ වගේම විදුලිබල උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 70%ක විදුලිබලයක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ඉලක්ක කරමින් ජනන සැලැස්ම සකසා තිබෙනවා. එම සැලැස්මට අනුව 2024 වසරේ දී අප මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.
ඒ වගේම සූර්ය පැනල ඉදිකිරීම අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා කඩිනම් සැලැසුමක් ක්‍රි යාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා. මන්නාරම, පුනරීන් සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා විශාල ව්‍යාපෘති රැසක් ජනන සැලැස්මට එක් කර තිබෙනවා.
එමෙන්ම ජලවිදුලිය, සූර්ය බලය සහ සුළං බලය භාවිතා කරමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර විදුලි බිල තවත් අඩු කිරීම අපගේ අරමුණයි. විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම 2024 වර්ෂයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි.
විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙනවා.ඒ වගේම සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිතයි. විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මකයි.
Page 127 of 473