2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි”  යන්නට පණ දෙන වසරක් - ජනාධිපති අනුර කුමාර දිසානායක

2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි”  යන්නට පණ දෙන වසරක් - ජනාධිපති අනුර කුමාර දිසානායක

නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත්, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බැවින් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) නුවරඑළිය නගරයේ පැවති  විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක.

ආර්ථික අර්බුදයක් ඇතිවීමට ඇත්ත හේතු

''මෙහි සිටින අපි සියලු දෙනාම විවිධ වගකීම්වලට උර දෙන පිරිසක්. අපි කවර වෘත්තියක නිරත වුව ද, අපි සියලු දෙනාට මේ රට පිළිබඳ අපේක්ෂාවක් තිබෙනවා, දරුවන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ රට මේ තිබෙන තත්ත්වයට වඩා හොඳ රටක් බවට පත් කළ යුතු යි. අපේ දරුවන්ට මීට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතුයි. එය අප සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම සහ අපේක්ෂාවයි. එම ගමන යාමේදී අපි ක්ෂේත්‍ර කිහිපයක ජයග්‍රහණ අත්පත් කරගත යුතුයි. පළමු කොටම අපි ශක්තිමත් සහ නොසෙල්වෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතු යි. අපේ රටට හිමිව තිබෙන්නේ මොනවගේ ආර්ථිකයක්ද කියා අපි දන්නවා. අපි අවුරුදු 30ක් පුරා කතා කළා මේ යුද ව්‍යසනය නිසා අපේ රටේ  ආර්ථිකය බිඳ වැටුණා කියලා. හැබැයි ආර්ථිකය කඩා වැටුණේ යුද්ධය අවසන් වී වසර 13කට පමණ  පසුවයි. එසේ නම් ඇත්ත හේතුව යුද්ධය ම ද? මම හිතන්නේ ඇත්ත හේතුව යුද්ධයම නොවෙයි. අපේ රට අනුගමනය කරමින් තිබු ආර්ථික ප්‍රතිපත්තිය සහ ඒ හා බැදුණු වංචා දූෂණ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතු සාධක වුණා.

නොසෙල්වෙන ආර්ථිකයක් ගොඩනැගීමේ අපේක්ෂා

අපි බොහෝ විට උත්සාහ කළේ ආර්ථික අර්බුදය විවිධ හේතුමත පැටවීමට. විටක යුද්ධය කියනවා, විටක ස්වභාවික ව්‍යසන කියනවා. විටක වසංගත කියනවා. ඒ නිසා අපි මේ ආර්ථික කඩා වැටීමට විවිධ හේතු වගඋත්තරකරුවන් කිරීමට උත්සාහ කළ ඉතිහාසයක් තිබුණා. හැබැයි ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් අපි දැන් ගොඩනඟනවා. ඔබට මතක ඇති පහුගිය කාලයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර යම් යුද වාතාවරණයක් ඇතිවන විට අපේ රට බිඳ වැටෙයි කියා ඇතැමුන් කල්පනා කළා. ඊළඟට මැද පෙරදිග කලාපයේ යුද උණුසුමක් එන විට අපේ රට කඩා වැටෙයි කියා කල්පනා කළා. එක්සත් ජනපදය විසින් අපිට බදු අනුපාත හඳුන්වා දෙන විට ආර්ථිකය කඩා වැටෙයි කියා සිතනවා. දිට්වා සුළි කුණාටුව ආ විට අපේ රටේ ආර්ථිකය කඩා වැටෙයි කියා කල්පනා කළා. හැබැයි එම කිසිදු තත්ත්වයක් හමුවේ නොසෙල්වෙන ආර්ථිකයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරමින් සිටිනවා.

අපේ විදෙස් ප්‍රතිපත්තිය

විශේෂයෙන් මේ දිට්වා කුණාටුව හමුවේ ආර්ථිකය පසුපසට යනවා වෙනුවට ශක්තිමත්ව ඉදිරියට යාමට හැකිවන ලෙස ශක්තිමත් මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්තියක් අපි සකස් කර තිබුණා. දැනට ලෝක බැංකුව වාර්තා කර තිබෙන විදියට දිට්වා සුළි කුණාටුවෙන් අපේ ආර්ථිකයට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් පමණ වෙනවා. රුපියල් ට්‍රිලියන 1.2ක පමණ විනාශයක් සිදුව තිබෙන බව වාර්තා වී තිබෙනවා. එය අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක වගේ ප්‍රමාණයක්. අපිට හැකියාව ලැබණා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති නොවන ආකාරයෙන් එම ඇති වූ විනාශය දරා ගැනීමට හැකි මට්ටමේ ආර්ථිකයක් ගොඩනැගීමට. අපි රුපියල් කෝටි 50,000කට අධික මුදලක් දිට්වා සුළි කුණාටුව හමුවේ යළි ගොඩනැගීම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සතයක්වත් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍රණය කිරීමක් කළේ නැහැ. අපේ භාණ්ඩාගාර ගිණුමේ තිබුණා කෝටි එක්ලක්ෂ විසි දහසක්. එයින් කෝටි 50,000 අපි මේ සඳහා වෙන් කළා. අපි තව දුර යා යුතුයි. අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ දිශාවට මේ රට ගොඩනඟමින් තිබෙනවා. දෙවනුව අපි අපේක්ෂා කරනවා ඉතා යහපත් සහ ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියකට අපේ රට අවතීරණ විය යුතුයි කියලා. අපි දන්නවා ලෝකය මතුපිටින් සාමකාමී ලෙස පෙනුනට අභ්‍යන්තරයේ විවිධ ප්‍රතිවිරෝධතා සහ ගැටුම් සහිත ලෝකයක් තිබෙනවා. වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා යුද්ධ තිබෙනවා. මේ ගැටුම්කාරී ලෝකයේ අපේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් කිසිදු පාර්ශ්වයකට අනුගත වන්නේ නැතිව ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැඩ කරමින් සිටිනවා. එය අපේ රට ගොඩනැගීමේ වැදගත් සාධකයක්.

රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් ජීවිතයක්

ඒ වගේම රට ගොඩනැගීම සඳහා අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඉතා දියුණු ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් අපි උපරිමයෙන් උත්සාහ දරමින් සිටිනවා. ඩිජිටල්කරණය, වාහන ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීම සිදු කරනවා. මේ සියල්ල ලබා දී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතුයි. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. අපි රාජ්‍ය සේවයට ඉහළම වැටුප් වැඩි කිරීමක් සිදු කළා. වැටුප් වැඩිවීම සඳහා පමණක් රුපියල් කෝටි 33,000ක් අපි දරනවා. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම මෙන්ම රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් ජීවිතයක් ලබා දීමේ අරමුණක් අපිට තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය අපේ රටේ පැවැත්මේ වැදගත් සාධකයක්. ඒ වගේම පොලීසිය, ත්‍රිවිධ හමුදාව රටේ පැවැත්මේ ප්‍රධාන සාධකයක්. මම දන්නවා ඔබේ දීමනාවන්හි ගැටලුවක් තිබෙන බව. හමුදාවේ අයගේ ආහාර දීමනා, පොලිසියේ අයට අවදානම් දීමනාව, අපි මේ සියල්ල සමාලෝචනය කරමින් තිබෙනවා. අපිට පොඩි කාලයක් ලබා දෙන්න. 2027 වසරේදී 03 වන වැටුප් වර්ධකය සිදු කිරීමෙන් පසුව අපේ අයවැය ලේඛනය පිළිබඳ අවධානය යොමු කරමින් ඉතිරි දීමනා ලබා දීම පිළිබඳ සැලකිලිමත් වෙනවා.

පොදුජනයා තුළ නීතිය පිළිබඳ තිබු විශ්වාසය

ඒ වගේම අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. පුරවැසියාට අසාධාරණයක් වූ විට පුරවැසියා යන්නේ පොලිසියට. ඔහු තමන්ට වූ අසාධාරණයට සාධාරණයක් අපේක්ෂා කරනවා. ඔහු යන්නේ අධිකරණයට. අයුක්තියට, යුක්තිය අපේක්ෂා කරනවා. අයුක්තියට යුක්තිය ලබා දීමට නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. එය අපේ රට ගොඩනැගීම සඳහා යන ගමනේදී ඉතා වැදගත්. ඒ නිසා අපි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරනවා. අපේ රටේ ජනතාව තුළ මේ පිළිබඳ සැකයක් ඇති වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් කියමනක් තිබෙනවා නීතිය මකුළු දැලක් වගේ කියලා. පොඩි සත්තු හසුවෙන, ලොකු සත්තු බේරෙන නීතියක් තිබුණා. මෙය තමයි පොදුජනයා තුළ නීතිය පිළිබඳ තිබු විශ්වාසය. හැබැයි රටක් හදන්න නම් නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි යන්නට අපි පණ දිය යුතුයි.

සෑම කළු රටක ම පදනම 

ඔහු හොබවන බලය, ඔහු සතු ධනය විසින් නීතියෙන් ගැලවිය හැකියි කියන විශ්වාස ගොඩනැගෙන්න හොඳ නැහැ. ඒ වගේම ධනයෙන්, බලයෙන් තොරව නීතිය ඉටු වනවා කියන විශ්වාසය ජනතාව තුළ ඇති විය යුතුයි. ඇතැම් අය හිතාගෙන හිටියා නීතියට තමන් ළගට එන්න බැහැ. තමන් ගාව තිබෙන රශ්මි කදම්භය නීතිය ප්‍රතික්ෂේප කරනවා කියලා. එහෙම රටකට ඉදිරියට යන්න බැහැ. හැම කෙනාම නීතියට යටත්විය යුතුයි. නීතිය පිළිබඳ බියක් ඇති විය යුතුයි. ඒ නිසා මේ 2026 වසර නීතිය ඉදිරියේ සැවොම සමානයි යන්නට පණ දෙන වසර බවට පත් කරනවා. සියලුදෙනා නීතියට යටත් විය යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳ වැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කරගෙන නැහැ. නීතිය බිඳ වැටුණු තැනක බලය හොබවන්නේ අපරාධකරුවන්. නීතිය නැති තැන වැජඹෙන්නේ අපරාධකරුවන්. සෑම කළු රටක ම පදනම වන්නේ නීතියේ බිඳ වැටීම. මෙයයි සත්‍යය. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍යය තහුවරු වූ රාජ්‍යයක් බවට අපේ රට පත් කිරීමට අපි සියලුදෙනා එක්ව කටයුතු කරමු.

වෙඩි තැබීම් පසුපස සැඟවුණු රහස

අපි විදපු දුක් අපේ දරුවන්ට හිමි නොවන රටක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපි මුහුණ දුන් අර්බුදවලට අපේ දරුවන් මුහුණ නොදෙන රටක් අපිට අවශ්‍යයි. අපි ගොඩනගන්නේ එවන් රටක්.  එහි දී අපි හමුවේ තිබෙන ප්‍රධාන තර්ජනය වන්නේ විෂ මත්ද්‍රව්‍යයි. මා පෙර සඳහන් කළ සියලු කරුණු ජයග්‍රහණය කළත් වැඩක් නැහැ අපේ දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්ව තිබෙනවා නම්. අද විෂ මත්ද්‍රව්‍ය ගම් නියම්ගම් පුරා පැතිර තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමේ දී එහි පළමු වින්දිතයා බවට පත්වන්නේ ඊට ගොදුරු වූ දරුවා. ඒ වගේම අම්මා, තාත්තා, පවුලේ සාමාජිකයන් එහි වින්දිතයන් බවට පත් වෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටින පවුලක් සියලුදෙනා ප්‍රතික්ෂේප කරන පවුලක් බවට පත් වෙනවා. ඒ දෙමාපියන්ගේ බලාපොරොත්තු මුළුමණින්ම බිඳ වැටෙනවා. අනාරක්ෂිතභාවයක් ඇති වෙනවා. මුළු සමාජයම මේ ව්‍යසනයට ලක් වෙනවා. එසේ නම් කිසිදු දරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත් නොවන රටක් අපි ගොඩනැගිය යුතුයි. කිසිදු මවක්, පවුලක් වින්දිතයන් බවට පත් නොවන සමාජයක් අපි හදන්න ඕන. ඒ පිළිබඳ අප තුළ විශාල අපේක්ෂාවක් තිබෙනවා. ඒ ව්‍යසනය එතනින් නතර වෙන්නේ නැහැ. අපරාධ හිස ඔසවනවා. පසුගිය කාලයේ තැන තැන සිදු වූ වෙඩි තැබීම් පසුපස තිබෙන්නේ මේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තිබෙන තරගය යි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ම දේශපාලනඥයා වීම

නීතිවිරෝධි සන්නන්ධ කණ්ඩායම් බිහි වීමට මේ මත්ද්‍රව්‍ය ඉවහල් වී තිබෙනවා. ඒ නිසා අපේ දරුවන්, නීති විරෝධි අවි සමග ගනුදෙනු කරන තැනට පත්ව තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඔවුන් විසින් විශාල ධනයක් එක් රැස් කර ගන්නවා. මේ ජාලය සමග විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙනවා. සමහර දුර්වල රාජ්‍ය නිලධාරින් ඒ මුදල්වලින් බිලි බා ගන්නවා. අවසානයේ මේ මුදල් බලය විසින් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ දමනවා. එතනින් නතර වෙන්නේ නැහැ. ඔවුන් දේශපාලනයට එන්න පටන් ගන්නවා. ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරු අපරාධවලට සම්බන්ධ වූ අය. සමහර අය එම මුදල් වියදම් කර පක්ෂ හදනවා. දේශපාලන බලය මත්ද්‍රව්‍ය හා බැදුණු ජාල අතරට යාමේ අනතුරකට පත්ව තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආරක්ෂාව, රැකවරණය ලබා දුන් දේශපාලනඥයන් සිටිනවා. තව ටික කාලයක් යන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ම දේශපාලනඥයන් වෙනවා. ඒ හා සම්බන්ධව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය මෙලෙස වර්ධනය වීමට ඉඩ දෙන්න බැහැ.

මහජන සහයේ අවශ්‍යතාව

ජනාධිපතිවරයා ලෙස මටත්, ඔබ සිලුදෙනාටත් පුළුවන්, වුණ දෙයක් වුනාවේ කියා ඉවත බලා සිටීමට. හැබැයි මේ ව්‍යසනය ජාතික වශයෙන් ගමක්, ගෙයක්, පවුලක් අත් නොහැර පැතිරීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. එසේ නම් අපි කිසිවෙකුට යුක්ති සහගත අයිතියක් නැහැ ඉවත බලා සිටීමට. ඒ නිසා මෙය පරාජය කිරීමට අපි සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍යයි. මට මා පිළිබඳ සහතික විය හැකියි, ඒ වගේ අපේ හාමුදුරුවන් වහන්සේ, අපේ ආණ්ඩුව මේ පිළිබඳ ඒකමතික, අත් නොහරින තීරණයක සිටිනවා. අපේ රාජ්‍ය නිලධාරින්, පොලිස්පතිතුමා,  ආරක්ෂක අංශ අපි සියලුදෙනා එක් තැනකට පැමිණ තිබෙනවා. මේ සඳහා මහජන සහාය අවශ්‍යයි. ගමේ කුඩු විකුණන කෙනා තවදුරටත් සමාජයේ සැගවී නැහැ. හැබැයි සමාජය බිය වද්දමින් තිබෙනවා, ඒ වගේම අපේ බන්ධනාගාර නිලධාරින් බියපත් කර තිබෙනවා. මේවා නතර කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒ සඳහා මහජන සහාය අවශ්‍යයි.

අත්හැරිය නොහැකි වගකීම

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ඒ සියල්ලට අපි ගරු කරනවා. ඒ සියල්ලට වඩා ඉහළින් ජනතාවගේ ජීවිත සුරක්ෂිතභාවය පිළිබඳ අපි වග වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්. අපි රට පුරා ග්‍රාම නිලධාරී මට්ටමින් මහජන ආරක්ෂක කමිටු ගොඩනගා තිබෙනවා. ගමේ අපි සියලුදෙනා එක් වෙමු. මීට ගොදුරු වී සිටින්නේ අපේ දරුවන්. මේ කිසිවෙක් ඉපදෙන විට මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමේ වුවමනාවෙන් ඉපදුණ අය නොවෙයි. ඔහු මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම වළක්වා ගැනීමට අපේ සමාජය අසමත් වුණා. ඒ නිසා අප සියලු දෙනාට අත්හැරිය නොහැකි වගකීමක් තිබෙනවා. එසේ නම් අපි සියලුදෙනා එකිනෙකාගේ වගකීම් ඉටු කිරීමට සුදානම් විය යුතුයි. දේශපාලන අධිකාරිය ලෙස අපි, පොලිසිය, ත්‍රිවිධ හමුදාව අපි සියලුදෙනා එකම බලයක් ලෙස මීට එරෙහිව නැගි සිටිය යුතුයි. මේ සඳහා වසර කිහිපයක අත් නොහරින දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග අපි අඩපණ කළ යුතුයි. ඒ සඳහා නාවික හමුදාව විශාල කැපවීමකින් කටයුතු කරනවා. ඒ වගේම ගොඩබිමේ බෙදා හරින ජාලය අඩපණ කරනවා. ඒ සඳහා වන වැටලීම් කරමින් අපේ පොලිසිය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ දෙනෙක් විදේශගතව සිටිනවා, ඔවුන්ගේ යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ගොදුරු වූ අය බේරාගත යුතුයි. ඒ වෙනුවෙන් රට පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගොඩනැගීම වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කළා. අපේ මහා සංඝරත්නය සහ ආගමික නායකයන් එක්ව ජාතික සභාවක් ස්ථාපිත කර තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ගොදුරු වු කෙනාට යළි තමන්ට හිමි ජීවිතය ලබා දීමට අපි උත්සාහ කළ යුතුයි. මේ වෙලාවේ ජීවත්වන අපිට, මේ ව්‍යසනය පිළිබද අවබෝධයක් ඇති අපිට මේ ව්‍යසනයෙන් අපේ දරුවන් මුදා ගත යුතුයි කියා කල්පනා කරන අපි පෙරට අවේ නැත්නම් කවුද පෙරට එන්නේ. මෙය සිදුකළ යුත්තේ අපියි. ඒ නිසා අපි එකට එක්ව මේ ව්‍යසනය පරාජය කරමු.

පොදු සමාජයේ කාර්යභාරය

මෙහි දී විශාල කාර්යභාරයක් අපේ හාමුදුරුවන් වහන්සේලාට සහ ආගමික නායකයන්ට පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. ඔබ වහන්සේලාගේ දේශනාවල විනාඩි 05-10ක් මේ ව්‍යසනය පිළිබද සමාජයට පණිවිඩයක් ගියොත් අපිට විශාල සමාජ මතයක් ගොඩනැගිය හැකියි. පාසල් ගරුවරු, විදුහල්පතිවරු සමාජයට පණිවිඩයක් ගෙන ගියොත් මෙය සමාජ මතයක් ලෙස ගොඩනැගිය හැකියි. ඒ නිසා මෙය ආණ්ඩුවේ, පොලිසියේ, හමුදාවේ  පමණක් කාර්යභාරයක් නොව පොදු සමාජයේ කාර්යභාරයක් බවට පත් විය යුතුයි. අපිට මේ ව්‍යසනය පරාජය කළ හැකියි. ඒ සඳහා අපි සියලුදෙනා එක්විය යුතුයි. ඒ නිසා ඉවත බලා නොසිට මේ ව්‍යසනය පරාජය කිරීමට මැදිහත් වෙමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි මත්ද්‍රව්‍ය ජාවාරම්ක්වරුන්ට තිබු දේශපාලන රැකවරණය මුළුමනින්ම ඉවත් කළ ආණ්ඩුවක්. අපි පොලිසියට, හමුදාවට මේ කාර්යය කිරීම සඳහා පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. අපිට බේරගන්න කුඩු ව්‍යාපාරිකයෝ, ජාවාරම්කරුවෝ නැහැ. ඒ නිසා ඔබේ වෘත්තීය ගෞරවය, තනතුරේ වගකීම සහ ඔබගේ රාජකාරීය ඉටු කිරීමට මැදිහත්වන්න. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සහ නිදහස අපි ලබා දෙන්නම්.''

වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන් මෙම අවස්ථාවේ ආරාධිත දේශනය සිදු කළ අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි ද අදහස් දැක්වීය.

මධ්‍යම පළාතේ මහා සංඝරත්නය සහ ආගමික නායකයන් ද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී. රාධක්‍රිෂ්ණන්, කලෙයිචෙල්වි යන ඇතුළු මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන අය ඇතුළු ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද, දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන්ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ප්‍රදේශයේ ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

 

anura2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න