ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සහතික කිරීම සඳහා වන උපායමාර්ගික සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවකට ජනාධිපතිවරයා අද (12) ජනාධිපති කාර්යාලයේ දී එක්විය.
ආර්ථික තරගකාරිත්වය, පාරිසරික තිරසාරත්වය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාව සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතතාව යන ප්‍රධාන කුලුනු 05ක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ උපායමාර්ගික සැලැස්ම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
මහජනතාවට අවශ්‍ය වන්නේ ක්‍රමවත් සහ ගෞරවනීය ප්‍රවාහන සේවාවක් බැවින්, ඒ සඳහා විසිරුණු බස් සේවා වෙනුවට ප්‍රවාහන සමාගම් හෝ ‘බස් ක්ලස්ටර්’ (Bus Clusters) ක්‍රමයක් ස්ථාපිත කිරීම වඩාත් සුදුසු බව ද, ප්‍රවාහන සේවකයන් ගේ වෘත්තීයභාවය ඉහළ නංවමින්, ඔවුන් ගේ ශුභසාධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහි දී පැවසී ය.
එසේම, දුම්රිය සේවය වඩා ආකර්ෂණීය සේවාවක් බවට පත් කර, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (Multi-modal Hubs) නිර්මාණය කිරීමේ දී, ප්‍රධාන දුම්රිය ස්ථාන හරහා අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය දුම්රිය මාර්ග පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
‘සිසු සැරිය’ සේවාව පුළුල් සහ යාවත්කාලීන කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
තිරසාර ප්‍රවාහන ප්‍රතිපත්තියක් යටතේ ඉලෙක්ට්‍රික් බස්රථ (Electric Buses) හඳුන්වාදීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදන කටයුතු මාස කිහිපයකින් අවසන් කිරීමට නියමිත අතර, ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කර ඩිජිටල් ගෙවීම් ක්‍රමය විධිමත් කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කළේ ය.
මෙරට ප්‍රවාහන සේවය මගීන්ට සුවපහසු සහ කාර්යක්ෂම සේවයක් කිරීමේ වැඩපිළිවෙළ එක රැයකින් සාක්ෂාත් කළ හැක්කක් නොව විධිමත් සහ ඒකාබද්ධ සැලැස්මක් මගින් දිගුකාලීනව ළඟා කර ගත යුත්තක් වන බවද එහි දී අවධානයට ලක් විය.
ජනාධිපති මාධ්‍ය අංශය

