පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ර ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්,

යුක්තිය දිගටම : පැය 24ට සැකකරුවන් 987ක් අත්අඩංගුවට !
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම යටතේ අද (21) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324ක් ඊට ඇතුළත් ය.
ඊට අමතර ව පහත සඳහන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ද පොලිස් භාරයට ගෙන ඇත.
හෙරොයින් 270gක්
අයිස් 140gක්
ගංජා 18kgයි 358gක්
ගංජා පැළ 27,242ක්
මාවා 552gක්
මදන මෝදක 175gක්
තූල් 52gක්
මත්පෙති 1,080ක්
පොලිසිය සඳහන් කරන ආකාරයට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම වත්කම් විමර්ශන 05ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවද පොලීසිය පවසයි.
මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශය ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 324 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් ව සිටි සැකකරුවන් 90ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 222ක් ද සිටින බව පොලීසිය පවසයි.
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට නොගෙන සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 01ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

රට ගොඩදාන්න ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට
උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.
මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට එක්වීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සතුට පළ කළ උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දුන් නායකත්වය අගය කළ අතර ඊට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවත්, 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවයි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද මෙහිදී අදහස් දැක්විය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ඉතා සංකීර්ණ කාර්යයක් වූ අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදිය යුතු බව ශ්‍රි ලංකාවේ බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වු බව ඒ මහතා සිහිපත් කළේය. ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා කෙටි කලක් තුළ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අද ආර්ථික ස්ථාවරත්වයක් උදා කර ගෙන ඇති බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාගේ එම කාර්යභාරය අද බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව ඇති බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, උගන්ඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වී. කනන්තන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

වසරේ මුල් කාර්තුවේම ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනයට !
මෙම වසරේ පළමු කාර්තුව තුළදීම මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇපකර ක්‍රමවේදයක් ඉදිරියේ දී හදුන්වාදෙන බව ද ඔහු සඳහන් කරයි.
වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති උත්සවයකදී අදහස් දක්වමින් වන අතර ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිම ප්‍රතිලාභ ගෙන කටයුතු කරනු ලබන්නේ කාන්තාවන් බවද පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රුපියල් බිලියන 1.3ක් වෙන් කරනු ලැබුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු කොටස් භාණ්ඩාගාරය සතු කරගැනීමට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබේ.
අදාළ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ගණිකා වෘත්තීය : සමන්මලීගේ අමු කතාව හරිනි ඇකඩමික් කරයි !
ජාතික ජනබලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අපේක්ෂා නොකරන නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ගේ අපහසුතාවයට පත් කරන නීති කිහිපයක් සංශෝධනය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය සඳහන් කරයි.
ආර්ථික දුෂ්කරතා මත කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වන බැවින් ජාතික ජන බලවේගයේ ප්‍රධාන අවධානය රටේ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම බවද ඇය පවසයි.
ගණිකා වෘත්තිය නීති ගත කිරීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සාමාජිකා සමන්මලි ගුණසිංහ කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඇගේ කතාවේ ජනප‍්‍රිය කොටසක් පමණක් බවත් ඇය කළ සම්පූර්ණ ප්‍රකාශයත් නිවැරදි අදහසක් දරන බවත් මන්ත්‍රීවරිය සඳහන් කර සිටියාය.
ඇතැම් නීතින් හේතුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් පැවසූ ඇය එවැනි තත්ත්වයන් අවම කිරීමට හා කාන්තා අයිතීන් සුරැකීමට නීති සංශෝධනය කරන බවත් සූරා කෑමට ලක්වන ලිංගික ශ්‍රමිකයන් ඇතැම් නීති හේතුවෙන් ද තවදුරටත් හිරිහැරයට ලක්වන බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් !
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු විය.
ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර දෙරට අතර පවත්නා ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
එසේම ප්‍රමුඛ කපු අපනයනකරුවෙකු වන බෙනින් රාජ්‍යයේ කපු කර්මාන්තය තුළ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඇති අවස්ථාවන් මෙහිදී පෙන්වා දුන් බෙනින් උප ජනාධිපතිනිය ඒ සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයින් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා වෙත ආරාධනා කළාය.
මේ අතර රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රි ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.
මෙම ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින තිහක් (30) දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සපයයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද බෙනින් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඔලුෂෙගුන් අඩ්ජාඩි බකාරි (Olushegun Adjadi Bakari) මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකා - බෙනින් ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන එමින් දෙරට අතර ඇති කරගත හැකි නව ආර්ථික අවස්ථා පිළිබඳ සොයා බැලීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බෙනින් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) මහතා අතර හමුවක් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ඊයේ සිදු විය.
ශ්‍රි ලංකාව උදාකරගත් කඩිනම් ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පළ කළ ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය මෙන්ම නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කිරීම ඇතුළුව දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

Pekoe trail සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කරන්න - සාගල
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත "Pekoe trail" ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ.
"Pekoe trail" ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට ගෝලීය වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවට විශාල පිටිවහලක් වනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ Pekoe trail කණ්ඩායම පැහැදිළි කළේය.
එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නොසළකන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.
එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති නීතිමය හා අනෙකුත් ගැටළු පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත යුතු බවත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම වැදගත් බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රාදේශීය වතු සමාගම් සහ අනෙකුත් රේඛීය ආයතනවල නියෝජිතයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
රාජ්‍ය වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. එස්. එස්. බී යාලේගම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් , ප්‍රාදේශීය වතු සමාගම්වල නියෝජිතයින්, Pekoe trail කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ළඟදීම කැබිනට් ඔලු මාරුවක් !
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද දැනගන්නට ඇත.
මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රී ලැයිස්තුවක් කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.
වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
-lankadeepa ළඟදීම

සිවිල් ඇඳුමින් වාහන පරීක්ෂා කිරීම තහනම් !
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙස තමන් නව උපදෙස් මාලාවක් නිකුත්කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන ආකාරයට අදාළ නව උපදෙස් මාලාව ඊයේ (19) දින දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට යොමුකර ඇත.
පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

ජනපති ගෝලීය දකුණේ නායකයන් සමඟ සාකච්ඡා පවත්වයි !
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.
මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය.
එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip E. Davis) , ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) , බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

නොබැඳි ජාතීන් තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ : ජනපති අවධාරණය කරයි !

උගන්ඩා ගිය ජනපති අද නොබැඳි සමුළුව අමතයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද (19) සහ හෙට (20) පැවැත්වීමට නියමිතය.
හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය.
සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබු අතර එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගෙන තිබුණි.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ 'කිසිවෙකු අත් නොහරිමු' යන්නයි.
මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.
නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර බැන්ඩුන්ග් මුලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජයේ නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.
ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ද එක්ව සිටිති.

සේවා කටයුතු වලට බාධා කළ විදුලි සේවක පිරිසකගේ වැඩ තහනම් !
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටින්නේ පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය.
විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.
ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණි.

වාරණ මණ්ඩලය අහෝසියි..!

ජනාධිපති අපේක්ෂකත්වය : ධම්මික සහ පොහොට්ටුව අතර එකඟතාවක් නෑ -ප්‍රසන්න
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවත් එවැනි සාකච්ඡාවක් සිදුවූ බවට දැනුවත් නොමැති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නය විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බවයි.
ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලරයේ ගැනුම් මිල පහළට : විකුණුම් මිල ඉහළට !
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.92ක් දක්වා පහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 326.06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහත දැක්වෙයි.
මහජන බැංකුව - රු. 315.30 - රු. 326.28
ලංකා බැංකුව - රු. 317.25 - රු. 325.25
කොමර්ෂල් බැංකුවේ - රු. 314.92 - රු. 325.00
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 316.00 - රු. 325.00
සෙලාන් බැංකුව - රු. 314.00 - රු. 326.00
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.314.50 - රු. 326.50
එන්.ඩී.බී. (NDB) - රු. 312.75 - රු. 325.75
අමානා බැංකුව - රු. 318.00 - රු.324.00

හිටපු ලොක්කෙකුගේ අමුතුම පරිස්සමක් !
පසුගිය දවසක මැතිසබා ලොබියෙ ආණ්ඩුවටත් විපක්ෂයටත් සම්බන්ධ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රසකතා කිය කියා හිටියලු.
මෙහෙම ඉන්නකොට පසුගිය කාලෙ රට පාලනය කරපු එක්තරා පක්ෂ නායකයකුත් එතැනින් යන්න ගියේ මේ අයට පොඩි හිනාවක් එහෙම දාගෙන. ඈත රජරටටත් එහා පළාතකින් ආපු මේ නායකය එතැනින් ගියාම කතා කරමින් හිටපු තරුණ කටකාර මන්ත්‍රී කෙනෙක් අපූරු කතාවක් කිව්ව...
''දන්නවද වැඩක්. ඔය පරණ ලොක්ක පසුගිය දවස්වල තමන්ගෙ පක්ෂයට බදවාගත්ත දෙන්නෙක් ගැන අමුතුම ප්‍රතිපත්තියක් අනුගමනය කරනවය කියල.''
''මොකද්ද බං ඒ කතාව?'' තවත් මන්ත්‍රී කෙනෙක් ඇහුව.
''මේකයි වැඩේ. කලින් මහින්ද ලොක්කගෙ ළඟම ඉඳල දේශපාලන කරණමක් ගහපු දෙන්නෙක් ඉන්නව. එක් කෙනෙක් බොහොම ගුණය වර්ධනය කරපු කෙනෙක්... අනෙක... හුඟක් ලොකුම ලොකු - ඩාර කෙනෙක්.''
ඔය දෙන්නම ළඟදි හිටපු ලොක්ක තමන්ගෙ ළඟට ගත්ත...
ඒ වුණත් දවසක් උන්නැහේ මේ දෙන්න එයාගෙ
කන්තෝරුවට එනකොට තමන්ගෙ ගෝලයන්ට
කතා කරල කියනවලු, මේ අරගොල්ල එනකොට
ඔය වටින කියන දේවල් ඇතුළෙන් තියන්න කියල.
එහෙම කියල උන්නැහේ මහ හයියෙන්
හිනා වෙනවලු...
ඒකට හේතුව මොකද්ද කියල කාටවත්
කියන්නෙත් නැතිලු. ඒත් හැමදාම ඔයගොල්ලො
එනකොට අර විදියටම කියනවලු...
Deshaya - gossip

කැරට් අල කතාවලට අහුවුනොත් අනාගතයක් නෑ - අකිල
කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප කරන ආකාරය නොකියන බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි .
සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතු බවද හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව ද සඳහන් කළේය.
ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බවද සඳහන් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත් ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද පැවසීය.
Page 121 of 474