පුවත්

කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරයට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

නිදහස වෙනුවෙන් සිරකරුවන් 700කට ජනාධිපති සමාව
76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 700ක පමණ පිරිසක් නිදහස ලැබීමට නියමිතව ඇත.
මේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සඳහා හෙට (4) සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් මෙරට සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට මේ විශේෂ රාජ්‍ය සමාව හිමි වේ.
ඒ අනුව බන්ධනාගාරගතව 2024.02.04 වන දිනට සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් හට ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් දීම, දඩ මුදල් නොගෙවීම මත 2024.02.04 දින වන විට සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම, 2024.02.04 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී, ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවූවන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරීම සිදු කර ඇත.

ජනපති ප්‍රධානත්වයෙන් මාතර කලා උළෙල ඇරඹේ
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.
ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.
ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමකි. චිත්‍ර සහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා, ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විතය.
මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා සිතුවම් නිර්මාණය කරන ස්ථානයේ දී පින්තාරු සටහන් දෙකක් තබා සමරු සටහනක් ද තැබීය.
UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.
දිවංගත මංගල සමරවීර මහතාගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන යන මහත්මීන්ගේ හා මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර යන මහත්වරුන් විසිනි.
ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ඉදිරිපත් කිරීමකින් සහ මහාචාර්ය ජගත් වීරසිංහගේ මඟපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා වැඩසටහනක් මෙය සමන්විතය.
පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සහ ඇමරිකාවේ රැප් (Rap) සහාකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රාසාංගික කලා දැක්ම සඳහා සහභාගී වේ.
ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.
මාතර කලා උළෙලට සහභාගීවීමෙන් අනතුරුව නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද සොයා බැලීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණා කොඩිතුවක්කු, නිපුණ රණවක, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැංග් යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇමති කෙහෙළිය අත්අඩංගුවට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම, කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් ද පනවමින් ඊයේ නියෝග කළේ, අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසයි.
ඒ අනුව අද උදෑසන 9යට පමණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණියේ ය.
එහිදී කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටින් අවසන්
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසති.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මේ බව අවධාරණය කර ඇත.
අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණ බව අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව ද වෘත්තීය සමිති සමාජිකයෝ වැඩිදුරටත් පවසති.

ග්‍රාමීය කෘෂි හා පශු නිෂ්පාදන ඉහළ නැංවීමට ජාත්‍යන්තර සහාය
දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR ) සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ වසරේ ශ්‍රී ලංකාව තුළ නව වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායමෙහි (CGIAR) විධායක කළමනාකාර අධ්‍යක්ෂ ඉස්මහානේ එලෝවාෆි මෙනෙවිය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි ( IWMI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාර්ක් ස්මිත් මහතා අතර හමුවක් අද (02) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
කෘෂිකාර්මික නිෂ්පාදන, ධීවර හා කුකුළු මස් නිෂ්පාදන වැඩි කිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ අපනයන ව්‍යාපාර මෙන්ම පෝෂණය ඉහළ නැංවීමේ නව ක්ෂේත්‍ර පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.
අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායමෙහි (CGIAR ) විධායක කළමනාකරණ අධ්‍යක්ෂ පැවසුවේ, ශීඝ්‍රයෙන් වෙනස් වන පසුබිමක් තුළ සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රවේශයන් විකල්පයක් නොවන අතර ඒ සඳහා නව ව්‍යාපාරික ප්‍රවේශයන්ගේ අදාළත්වය සහ බලපෑම වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිය අවධානය තවදුරටත් යොමු කරන බවයි. ඒ අනුව එම සංවිධාන දෙක ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සඳහා නව ක්‍රමවේදයක් යෝජනා කිරීමට නියමිතය.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෙන්යාවේ සහ ඉතියෝපියාවේ ජාත්‍යන්තර පශු සම්පත් පර්යේෂණ ආයතනය සමඟ එක්ව අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR) ඉතා සාර්ථක වැඩසටහනක් දියත් කර ඇති බවත්, එම රටවල සියලුම පාසල් දරුවන්ට ඔවුන්ගේ ආහාර වේල සමඟ දිනකට බිත්තරයක් මෙම සැලැස්ම යටතේ ලබා දෙන බවත් ඇය පැවසුවාය. එවැනි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කළ හැකි බව ඇය සඳහන් කළාය.
වසර ගණනාවක් පුරා ජලය, වාරිමාර්ග සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම ( CGIAR) වෙත ස්තුතිය පුද කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි (IWMI) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සියොන් නියෝගි (Syon Niyogi )යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.

සජබ බුද්ධි අංශ පොරටෝක් අස්සේ හිරුණිකා බොරු විදලා මාට්ටු !
සමගි ජනබල වේගය විසින් පවත්න ලද විරෝධතා පාගමනට පහර දෙන ලද සියලුම පොලිස් නිලධාරීන් තම පක්‍ෂයේ බුද්ධි අංශය විසින් මේ වන විට හඳුනාගෙන ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
එම සියලු දෙනාටම එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරා අධිකරණයට ගෙන යන බවද ඇය සඳහන් කළාය.
හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මේ ආකාරයේ ප්‍රහාරයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ සජබ සතුව වෙනම බුද්ධි අංශයක් පැවතීම කෙසේ වෙතත් සජබ නායක නායිකාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බවය.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය පැවැත්වූ උද්ඝෝෂණයක් පාලනය කිරීමට පොලිස් මැදිහත්වීමක් සිදුකෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නම් චන්ද්‍රිකා පාලන සමයේ එක්සත් ජාතික පක්ෂය දියත්කළ ජනබල මෙහෙයුම ට එල්ල කෙරුණු ප්‍රහාරය කුමක්ද යන්නත් ඔවුන් ප්‍රශ්න කරයි.
එසේම එදා පැවති ජනබල මෙහෙයුම ට සාපේක්ෂව සජබ උද්ඝෝෂණය ඉතාම ප්‍රාථමික බවද විචාරක මතය වී තිබේ.

විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි !
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.
ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකි බවත්, රට සංවර්ධනය කරා ගෙන යාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීමට නම් විදේශ නිල සංචාර අතිශය වැදගත් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මෙසේ ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වුණා. එහිදී ව්‍යාපාරික ප්‍රජාව ද හමු වුණා. ලංකාව නැවත ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කලා. ලංකාවට ආයෝජකයින් කැඳවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කලා.
ඒ වගේම උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ පවතින බල කඳවුරු සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කලා. 2050 වසරේ දී ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.
අනතුරුව G77 සහ චීනය සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කාලගුණ විපර්යාස සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම තත්ත්වයන් අප වැනි රටවල්වලට බලපාන ආකාරයත්, ඒ හමුවේ ආර්ථිකමය හසුරුවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයක් වුණා. හරිත ආර්ථිකයක් කරා යොමු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අදහස් හුවමාරු වුණා.
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදුකළත් ඒ සියල්ල පදනම් විරහිත බව මගේ අදහසයි. මෙවැනි ජත්‍යන්තර සමුළුවලට සහභාගී වීමේ වාසිය නම්, අප සහ ලෝකය අතර සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකියි. රට සංවර්ධනය කරා ගෙනයාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම ද අවශ්‍යයි. ඒ සඳහා විදේශ නිළ සංචාර අතිශය වැදගත් වනවා.
දේශපාලන නායකයන්ට පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සමඟ කටයුතු කිරීම සහ සංවර්ධනය පිළිබඳව විශේෂ තීන්දු තීරණයන්ට එළඹීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා.
එමෙන්ම නොබැඳි ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමට ද පසුගිය සංචාරයන් අපට ඉවහල් වුණා. යුක්රේන සහ මැද පෙරදිග යුද්ධ ආසියානු කලාපයට පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් ද එහිදී විශේෂ සාච්ඡාවට බඳුන් වුණා. රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සාමකාමී ලෝකයක් පවත්වා ගැනීමට මෙම සාකච්ඡාවන් ඉවහල් වූ බව ද සඳහන් කළ යුතුයි.
ඒ වගේම ආර්ථික සහ සාමාජීය වශයෙන් ගත යුතු පියවර පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් විදෙස් රාජ්‍ය නායකයින් වෙත ආරාධනා කළා.

ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට රජයෙන් දිවා ආහාරය !
මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
විදේශීය භාෂා ඉගෙනීම සඳහා මේ වනවිට සිසුන් තුළ පවත්නා වැඩි නැඹුරුව සහ ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් ද මෙරට වත්මන් ආර්ථික ප්‍රමුඛතාවන් ද සැලකිල්ලට ගෙන දැනට පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කරගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී.

නව මහකොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහකොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්ව සිටිති.
අද අක්ත පත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නම් පහත පරිදි වේ.
01- මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා - මහකොමසාරිස් - එස්වාටිනි රාජධානිය
Mr. Menzie Sipho Dlamini High Commissioner of the Kingdom of Eswatini)
02- ස්ටෙලුටා ආහයර් මහත්මිය - තානාපති - රුමේනියාව
Ms. Steluta Arhire Ambassador of Romania
03- අස්කාර් බෙෂිමෝව් මහතා - තානාපති - කිර්ගීස් ජනරජය
Mr. Askar Beshimov Ambassador of the Kyrgyz Republic
04- ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා - තාතාපති - තුර්ක්මේනිස්ථානය
Mr. Shalar Geldynazarov Ambassador of Turkmenistan
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර අද පත්වීම් ලැබු නව මහකොමසාරිස්වරයා සහ තානාපතිවරු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ කෙටි සාකච්ඡාවකට ද එක් වූහ.
https://www.newstube.lk/news?start=2070#sigProId4b9ceaedb3

ඩීසල් වැඩි වුණාට බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ !
ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ශෂී වෙල්ගම පවසා ඇත්තේ ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බවයි.
බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

අමරවීර ඉල්ලා අස්වුණත් තිලංග ඉල්ලා අස්වුනාද ? සැකයක් !
අමාත්‍ය මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූරයක් ලබාගැනීම පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර එහිදී පුරප්පාඩු වූ මහ ලේකම් ධූරය සඳහා පත්කරනු ලැබුවේ තිලංග සුමතිපාලය.
ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර නීති මාර්ගයට ගිය අතර ඒ පදනම් කරගෙන මැතිවරණ කොමිසම දැනුම්දී සිටියේ දෙදෙනාවම මහ ලේකම්වරු ලෙස පිළිනොගැනීම කොමිසමේ තීරණය බවයි.
මේ අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සහ ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යොදා ගන්නට ශ්‍රීලනිපය පසුගියදා තීන්දු කළත් මෙම නඩු කටයුත්ත ඊට බාධාවක්වී තිබේ.
ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ ඒ අනුවය.
මේ සම්බන්ධව එකඟතාව දක්වමින්අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනා ඉල්ලා අස්වූ බවට දේශපාලන ආරන්චිමාර්හ දක්වා සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ජනවාරි 31 වැනිදා යනව ලද ලිපියේ මෙසේ දැක්වේ.
“එකී නීති කෘත්‍යය අධිකරණය ඉදිරියේ විවාදයට තුඩු දී ඇති කරුණක් බැවින් ගරු අධිකරණයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එකී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඉහත අංක දරණ නඩුවේ මහින්ද අමරවීර මහතා හා අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන්ද එකඟ විය යුතුය.”
“ඉහතින් සඳහන් කරන ලද කරුණු වලට යටත්ව ගරු අධිකරණයේ අවසරය මත නීති කෘත්‍යය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමට මා කටයුතු කරන බව ඔබතුමා වෙත කාරුණිකව දැනුම් දෙමි.” යයිද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
ඒ අනුව තවත් දේශපාලන තොරතුරු ලැබෙන මුලාශ්‍රයක් පවසන්නේ තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත් අදාළ නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගැනීමට මහින්ද අමරවීර අමාත්‍යවරයා කටයුතු කළොත් පමණක් එම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවත්ය.

ONLINE පනත ගැන මල්වතු නායක හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් !
දිගු කලක පටන් සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමි පවසති.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.
කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවද එහිදී උන්වහන්සේ පැවසුහ.
සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු නමුත් එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කළෝය.

හිමි නැති දීමනාවක් ඉල්ලා දියත්කල සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව !
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (01) උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේද සිදුකරන බව වාර්තා වෙයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වන අතර මේ හේතුවෙන් අද දිනයේ රෝහල් කටයුතු අඩපණව තිබිණ.
ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.
වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ රජයෙන් තම ඉල්ලීම පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වුවත් වර්ජනය සඳහා නිමිත්ත කරගෙන තිබෙන ප්‍රවාහන පහසුකම් දීමනාව වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කොහෙත්ම අදාළ නොවන්නක් වන අතර එය රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පමණක් හිමිවන දීමනාවකි.

ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි
පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව ජනවාරි 09 දින සම්මතවූ ජාතික ජලශාස්ත්‍රීය සහ ජනවාරි මස 10 වැනි දින සම්මතවූ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් ද්විත්වයට ද මෙහිදී කථානායකවරයාගේ සහතිකය හිමිවිය.
ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

කෙහෙළිය CIDයට කැඳවයි : විදෙස් ගමන්ද තහනම්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හෙට හෙට පෙරවරු 9.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළා ය.
ඇය මෙම නියෝගය කළේ, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ලක්මීණි ගිරිහාගම කළ ඉල්ලීම සලකා බලමින් ය.
ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම් දී තිබියදී ඔහු ඒ සදහා නොපැමිණිමට ඉදිරිපත් කළ එක් හේතුවක් ද අසත්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළා ය.
ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය වියදම් කළමනාකරණ අමාත්‍ය අනුකමිටුවේ රැස්වීමට අමාත්‍යවරයා ඊයේ දිනයේ සහභාගී නොවූ බව එහි ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවයි.
කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර හෙට උදෑසන 9.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කළා ය.

සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි
අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහාය.
එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැය 4කට අධික කාලයක් සිදු කළ කරුණු දැක්වීම්වලදී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුලු විවිධ ගැටලුවලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.
සමාජ මාධ්‍ය සමාගම් ඔවුන්ගේ වේදිකාවල පළ කර ඇති කරුණු සඳහා ගිණුම්ගත කිරීම අරමුණු කරගත් නීති සම්පාදනය දැනට කොන්ග්‍රසය හරහා සිදුවෙමින් පවතී.
සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි කළ බව පවසන පවුල්වලින් එහිදී සකර්බර්ග් සමාව අයැද තිබේ. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පවත්වාගෙන යන සකර්බර්ග් අදාළ ශාලාවේ පවුල් දෙස හැරෙමින් මෙම සමාව ඉල්ලීම සිදු කර ඇත.

ඉන්ධන මිලේ සංශෝධනයක් !
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කර ඇත .
ඊට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371.00 කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363.00 කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 26.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262.00 කි.
මේ අතර 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 8.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456.00කි.
එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 7.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468.00 ක් වෙයි .
Page 116 of 474