මාලිමා ආණ්ඩුවේ තක්කඩිත් හොරකම් කරනවා - එස් එම්. මරික්කාර්

මාලිමා ආණ්ඩුවේ තක්කඩිත් හොරකම් කරනවා - එස් එම්. මරික්කාර්

රුපියලක්වත් හොරකම් කරන්නේ නැතැයි ජනාධිපතිතුමා පුන පුනා පවසද්දී මේ තක්කඩි හොරකම් ටික නොපෙනෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා ගෙන් විමසන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්. මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රිවරයා...

"අද ඓතිහාසික දවසක්. රුපියලක්වත් හොරකම් කරන්නේ නෑ කියලා ජනාධිපතිතුමා පුන පුනා කියනකොට මේ තක්කඩි හොරකම් ටික කොහොම ද පේන්නේ නැත්තේ කියලා ජනාධිපතිතුමා ගෙන් අහන්න කැමතියි. අද පැලවත්තේ ඩෝබි බළකාය ලෑස්ති වෙලා ඇති. අපි ඒවට බය නෑ. අපේ වගකීම තමයි මේ හොරකම් ටික එළි කරන එක.

ගල් අඟුරු පැටෙව්වේ දකුණු  අප්‍රිකාවෙන්;  රිපෝට් එක එන්නේ ඉන්දුනීසියාවෙන්

ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා මේ ටෙන්ඩර් එක දාද්දී විගණකාධිපතිවරයා විසින්  2022-09-30 දින දීලා රාජ්‍ය මුදල් කාරක සභාව විසින් 2022-10-04 දින අනුමත කරලා පාර්ලිමේන්තුවට ලබා දීපු දත්ත අනුව ක්‍රියාකළේ නැහැ. 2022 පෝලිම් තියෙනකොට කරන්ට් කපනකොට, හදිසි මිලදී ගැනීම් සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදය ම පාවිච්චි කරලා තියෙනවා. Normalize  ක්‍රමවේදයක් තුළ පාවිච්චි කරන්න කියලා විගණකාධිපතිවරයා උපදෙස් දීලා තියෙද්දි, ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් අවුරුදු තුනක් ඇතුළත සප්ලයි කරන්න ඕන කියලා තියෙන එක පහට අඩු කෙරුවා. කිලෝ කැලරි 5900 ට වැඩි ප්‍රමාණයක් ගේන්න ඕන කියන එකේ අත්දැකීම ලක්ෂයට අඩු කෙරුවා. ඒ හරහා දූෂිත සමාගම්වලට මේක ඇතුළට එන්න ඉඩ සැලැස්වූවා. ඒ විතරක් නෙමෙයි පිළිගත් සමාගම්වලට එන්න තියෙන ඉඩ නැති කළා දින හතළිස් දෙකක කාල සීමාව දින විසි එකකට අඩු කරලා. මෙහෙම තමයි සැලසුම් කරලා මේ වැඩේ පටන් ගත්තේ. එහෙම පටන් අරන් මේක කැබිනට්  මණ්ඩලයට දැම්මා. ඒත් කැබිනට් මණ්ඩලය දැනුවත් කළේ නැහැ විගණකාධිපතිවරයා ගේ මෙහෙම නිර්දේශයක් තියෙනවා කියලා. කැබිනට් මණ්ඩලයත් නොමග යැව්වා. Lowest ට ටෙන්ඩරය දුන්නා කිව්වා. හැබැයි කොලිටි එක බැලුවේ නැහැ. ඔන්න ඔතන තමයි ඩීල් එක. හරියටම බැලුවොත් පළවෙනි නැව එන්න ඕනෙ දෙසැම්බර් මාසෙ 14 වැනිදා. හැබැයි මා දන්නා තරමට පළවෙනි නැව ආවේ දෙසැම්බර් මාසයේ තිස් වෙනිදා මෙහෙම නැව ආවහම load port, පටවන වරායේ ඉඳලා රිපෝට් එකක් එන්න ඕනි. ලංකා ඉතිහාසයේ මෙන්න මේ සුපිරිසිදු ආණ්ඩුව, පළවෙනි වතාවට ගල් අඟුරු පටවන රටෙන් නැතුව, ගල් අඟුරු පැටෙව්වේ දකුණු  අප්‍රිකාවෙන්,  රිපෝට් එක එන්නේ ඉන්දුනීසියාවෙන්. එතකොට ඉන්දුනීසියාවට යවපු සාම්පල් මේ පටවපු එකේ සාම්පල් ද කියලා අපේ කමිටුවේදිවත් පිළිගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ටෙන්ඩරයෙන් දූෂණය පටන් ගත්තා. ඒක report එකෙන් ඉදිරියට ගෙනිච්චා. තුන්වෙනියට සාම්පල් පරීක්ෂා කරද්දී, මෙතන ඇවිල්ලා ඇමතිතුමා ලොකුවට මාධ්‍යයටත් කිව්වා ප්‍රශ්න නැහැ කියලා. නමුත් ගල් අඟුරු ෆේල්.

පළවෙනි report එක ෆේල්

දැන් කියනවා ලක්විජය සමාගමට real time test  එක තග දාලා නවත්තන්නෙ. සුපිරි සුදු භාවයක් තියෙනවා නම් විනිවිදතාවයක් තියෙන්න ඕන. මේක නිකන් දැන් මෙගා ටෙලි නාට්‍යයක් වගේ. සාමාන්‍යයෙන් ලංකාවේ මුහුදට මේ නැව ඇවිල්ලා බෑවහම, බොයිලේරුවට දානවා real time එක බලන්න.  ලක්විජය බලාගාරයේ බොයිලේරුවල රියල් ටයිම්  report එක අනුව තමයි කොච්චර මෙගාවොට් ප්‍රමාණයක් ජනනය වෙනවා ද කියන එක පරීක්ෂා කරන්නේ. මොකද කොහේ මේවා ටෙස්ට් කරත් ලක්විජය බලාගාරයේ බොයිලේරුවට දාලා නේ විදුලිය නිෂ්පාදනය කරන්නේ.  පළවෙනි report එක ෆේල්. තුන්වෙනි පාර්ශ්වය චෙක් කරන ඉන්දියාවට යැව්වා ම පළවෙනි එකේ දෙකම සමපාත වෙනවා. හොරාට කලින් වැට පනිනවා වගේ, මේක ගේන්න කලින් අපි කමිටුවල දි අනතුරු ඇඟවීම් කළා මෙහෙම තත්ත්වයක් මතු වෙන්න පුළුවන් කියලා අමාත්‍යාංශ ලේකම්වරයාට. මං දන් නැහැ ලේකම්තුමාට ඇමතිතුමා වැඩ කරන්න දෙන්නේ නැති හින්දා ඒවා කොමියුනිකේට් උනාද නැද්ද කියලා. දෙවෙනි නැව එද්දිත් අපි කිව්වා මේක ෆේල්.එතකොටත් මේගොල්ලෝ කිව්වා නෑ එහෙම නෑ. එහෙම ෆේල් නම් අපි දඩ ගහනවා කියලා. මේවා හොඳ වට මේස සාකච්ඡාවල සාකච්ඡා වුන හින්දා තමයි එහෙම පැනලා කියන්නේ. 

ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශන

අපි එකක්වත් හිතලු කියන්නේ නැහැ. මේවා නිල රිපෝට්. අද මේ කියන සියලු රිපෝර්ට් සභාගත කරනවා. දෙක තුන හතර ෆේල් වෙනකොට, පිළිගත්තේ නැහැ. හැබැයි පළවෙනි නැවට ඩොලර් මිලියන 2.1 ක දඩයක් ගහනවා කියලා ටක් ගාලා මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. මේගොල්ලෝ හිතාගෙන ඇති මේ ගල් අඟුරු සමාගමේ නිලධාරීන්ව තියලා  press conference එකක් තියලා පැලවත්තෙ ඩෝබි බළකාය දාලා ශෝෂල් මීඩියා එකේ ෆේක් ප්‍රොෆයිල්වලින් ගැහුවහම මේ ඔක්කොම හරියයි කියලා. පුළුවන් නම් තියන්නකො පළාත් සභා ඡන්දෙ. ලිට්මස් පරීක්ෂාව කරගන්න. පහුගිය ආණ්ඩුවලත් හොරකම් වෙලා තියෙනවා. හැබැයි මේ වගේ මහ දවාලේ හොරකම් කරලා නැහැ. මොකද මේක මහ බැංකු බැදුම්කර මංකොල්ලය වගේ දෙතුන් ගුණයක් ගහලා තියෙන්නේ. අනේ පව් මාලිමාවේ මන්ත්‍රීවරු. මං දන්නෑ කීයක් හරි දුන්න ද කියලා. කට වහගෙන ඉන්න වෙලා තියෙනවා. අද වෙනදා වගේ මන්ත්‍රීවරු ඇත්තෙත් නෑ මෙතන.

නැව් අටකින් සිදු වුණ පාඩුව 

දෙවැනි නැව ආවා. ඒකත් ෆේල්. හැබැයි මට හිතෙනවා දෙවැනි නැව ෆේල් උනහම කූඨ ලේඛන වැඩේකට ගියා කියලා. අද හිනාවෙන්න. අනාගතයේ දවසක දොඩවන්න කියවන්න. පෙරේදා සාකච්ඡාවක් තියලා මේ ටෙන්ඩරය ගැන අද කතා නොකර, previes tenders  ගැන කතා කරමු කියලා ප්‍රැක්ටිස් සෙෂන් එකක් දාලා ඇවිල්ල තියෙන්නෙ. මේ සියලු ලිපි ලේඛන අද සභාගත කරලා අද පියවර නොගත්තත්, අද කවුරු කාව රැක්කත්, අනාගතයේ දඬුවම් ලැබෙයි. හිටපු ඛනිජතෙල් ඇමතිටයි, සභාපතිටයි අල්ලස් කොමිසම මිලියන 800ක නඩු දැම්මේ හොරා කෑවා කියලා නෙමෙයි. රජයට පාඩු කළා කියලා. එතකොට මේ ඇමති කොච්චර පාඩු කරලා තියෙනවද?  මෙයා පාඩු කරලා තියෙනවා පළවෙනි නැවෙන් මිලියන 595.1 යි, ඒකට 644ක් අයකරගෙනන තියෙනවා. දෙවෙනි නැවෙන් මිලියන 288.5 යි, තුන්වෙනි නැවෙන් මිලියන 1047.4 යි, හතරවෙනි නැවෙන් මිලියන 865 යි, පස්වෙනි නැවෙන් මිලියන 1444.2 යි, හයවෙනි නැවෙන් මිලියන 1197.7 යි, හත්වෙනි නැවෙන් මිලියන 974.9 යි, අටවෙනි නැවෙන් මිලියන 1559.3 

මේවා මම කියන ඒවා නෙමෙයි. විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා අත්සන් සහිතව විදුලිබල මණ්ඩලයේ  සාමාන්‍යාධිකාරීගේ office එකෙන් යවපු එක. මේක මම සභාගත කරනවා. නැව් අටම පාඩුයි. මේ නැව් අටම පාඩුවේදී තමයි ඇමතිවරයා කියන්නේ ටෙන්ඩර් එක අහෝසි කරන්න ඕනේ නැහැ කියලා. මේ ටික එකතු කරහම මහ බැංකුවට වඩා වැඩියි. මහ බැංකුව බිලියන 10යිනෙ මේක ඊට වඩා වැඩියි.

මාලිමා ආණ්ඩුවේ ලොකු ම මංකොල්ලය 

බොයිලේරුව ක්‍රියාත්මක කරන ලක්විජය බලාගාරයේ report එක අනුව ෆේල්. හැබැයි ඉන්දියානු සමාගම අනුව පාස්. ඔන්න කූට ලේඛන. මා ගාව තියෙන ලක්විජය බලාගාරයේ පළවෙනි නැවේ රිපෝට් එකේ, 5900ට වැඩිය තියෙන්න ඕන එක, 5689 යි. දෙවැනි නැව 5684යි.  තුන්වෙනි නැව 5078 යි. හතරවෙනි නැව 5562 යි. පස්වෙනි නැව 5670 යි. හයවෙනි නැව 5415 යි. මේකත් හැන්සාඩ් ගත කරනවා ඓතිහාසික මහා මංකොල්ලය පිළිබඳව. මාලිමා ආණ්ඩුවේ ලොකු ම මංකොල්ලය. මේ එකක්වත් සමගි ජන බලවේගයවත්, මරික්කාර්වත් හදපු ලිය කියවිලි නෙවෙයි. මේවා ලක්විජය බලාගාරයෙන් සහ ලංකා විදුලි බල මණ්ඩලයෙන් හදපු ඒවා. කොමිටි එකට එද්දි ඇමති ගෙනල්ලා මීටිමක් තියලා, තගකුත් දාලා එවන්නේ. ඕගොල්ලෝ ඔක්කොමල ගේ ෆයිල් මංගාව තියෙනවා කියලා, බය කරලා එවන්නේ. ඒ කාලෙ ඉවරයි. දැන් යුගය වෙනස් සමාජය වෙනස්. ඕගොල්ලෝ බොරු කියලා මේ රටේ ජනතාව තවදුරටත් රවට්ටපු කාලෙ ඉවරයි. 

මාලිමා ආණ්ඩුවත් හොරු රකී

මේ ගෙනාපු ගල් අඟුරු හොඳ බඩු නම්, සාමාන්‍ය අළු ප්‍රතිශතය තියෙන්න ඕන එකොළහයි. නමුත් මේ හැම නැවකම අළු ප්‍රතිශතය 16% ට වැඩියි. 

අළු ප්‍රතිශතයන් ටික මෙන්න මේ විදිය යි. පළවෙනි නැව: 20.1% යි, දෙවෙනි නැව: 21.38% යි, තුන්වෙනි නැව : 25.5% යි. මෙන්න මේ විදිහට දිගට තියෙනවා. 

මම මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මේසා විශාල හොරකමක් දෑස් පනාපිටම ලිඛිතව ඔප්පු වෙලා තියෙද්දි කොහොමද රකින්නේ? 

ඩීසල් මාෆියාවෙන් විදුලිය

දැන් මේ සැපයුම්කරුවා ගල් අඟුරු සමාගම රවට්ටනවා. ඒගොල්ලන්ට අනුව ලෝඩ් පෝට් රිපෝට් ඔක්කොම පාස්. හැබැයි ලක්විජය බලාගාරයට අනුව, ඒ රිපෝර්ට් ෆේල්. මේකේ තියෙන බරපතළ ම කාරණය තමයි මෙගාවොට් 300 නිෂ්පාදනය කර ගන්න බැරි උනහම සහ මේ සා විශාල අළු ප්‍රමාණයක් නිෂ්පාදනය වුණහම,  මේ බොයිලේරුවලට හානියක් වෙන්නන පුළුවන්. මේ බොයිලේරු හානි වුනොත්, ඒවා රෙපෙයාර් කරන්න මාස හයක කාලයක් යනවා. මාස හයක කාලයක් ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වුණේ නැත්නම්, ලංකාවේ අඛණ්ඩ විදුලි සැපයීම සඳහා ඩීසල් මාෆියාවෙන් විදුලිය ගන්න වෙනවා. ඒක තව ගේමක් ගහන්න සෙට් වෙලාද කොහෙදෝ ඉන්නේ.  අලු ප්‍රමාණය 16%ට වඩා වැඩි නම් මේක කැන්සල් කරන්න ඕන. ඒ වගේම නැව් දෙකක් ප්‍රතික්ෂේපිත නම් ටෙන්ඩරය කැන්සල් කරන්න ඕන.ඒ එකක්වත් කරන්නැතුව වටේවටේ යවනවා.  ඒ කාලෙ හෝමාගම මහජන බැංකුවට wife ගේ අම්මගේ එකවුන්ට් එකට සල්ලි වැටුනද කියලා හොයලා බලන්න.  ඔය ටෙන්ඩර් කාලේ, වයිෆ්ගේ අම්මාගේ කවුන්ට් එකට මහජන බැංකුව හෝමාගම සල්ලි වැටුනද කියලා හොයලා බලන්න.

අනුන් ගේ හිල් ජොක්කු

දැන් අර කලින් ගෙනාපු ගල් අඟුරුයි මේවයි මික්ස් කරලා ගහන්ඩ යන ගේමකුත් යනවා. ඒ කොහොම මික්ස් කරලා ගැහුවත් පෙර ගල් අඟුරු පෙබරවාරි මාසය වෙනකොට ඉවර වෙනවා. ඒ නිසා මාර්තු මාසයේ ඉඳලා මේ ටෙන්ඩරයේ තියෙන බාල ගල් අඟුරු දිගින් දිගටම පාවිච්චි කළොත්  අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කරන්න බැරි උනහම , අනිවාර්යයෙන්ම එක්කෝ කරන්ට් කපන්න ඕන. එහෙම නැත්නම් ඩීසල් මාෆියාවෙන් විදුලිය මිලදී ගන්න ඕන. අපිට බලය ගන්න ඕන ඒක ඇත්ත. නමුත් කරන්ට් කපලා ගෑස් පෝලිම් හදලා, මිනිස්සු පෝලිම්වල තියලා ආණ්ඩු ගැනීමේ කාලකණ්ණි ආසාවක් අපිට නැහැ. මොකද ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මේක පොහොට්ටුව නෙමෙයි. මේක සමගි ජන බලවේගය. අපිට දූෂණ චෝදනා නැහැ. අපිට නඩු නැහැ. අපි හොරා කාලා නැහැ වගේම හිඟා කාලාත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි අනුන්ගේ හිල් ජොක්කු ඇඳලා නැහැ. 

පර්මිට් ගත්ත ද, නැද්ද...?

මේක මහ දවල් මංකොල්ලයක්. මේක සාධාරණීකරණය කරන්න බැහැ. ඇයි කෑ ගහන්නෙ .permit එකක් ඉල්ලුවා.  ඔයාගේ අනුර කුමාර දිසානායක පර්මිට් හයක් අරගෙන තියෙනවා. නලින්ද ජයතිස්ස ඇමතිතුමා 2015 පර්මිට් එක ගත්තද?  නැද්ද ? ගත්තා. විජිත හේරත්? ,  බිමල්?  ගත්තද නැද්ද ? ගත්තා. වැඩිය කතා කෙරුවොත් ඔළුවෙන් හිටවනවා හරිද? මම ඒ පර්මිට් ඔක්කොම ඊළඟ සභා වාරයේදී සභාගත කරනවා. අනුර කුමාර දිසානායක , නලින්ද ජයතිස්ස ,  බිමල් රත්නායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති ,  ගත්තු පර්මිට් ඔක්කොම සභාගත කරන්නම්. ජවිපෙ  කාඩර් එකේ ඉන්න මිනිස්සු පව්. පසු පෙළ පව්. අර ගමේ ඉන්න ජේවීපී මහත්තුරු පව්වැඩේ. තමන්ගේ ජීවිතයේ කැප කරලා දරුවන්ගේ ජීවිත ගැන බලන්නේ නැතුව, ඒගොල්ලො පව්.

හොරකම දරා ගැනීම සඳහා මිල වැඩි කරයි

ලබන මාසේ ඉඳලා මේ බාල ගල් අඟරු පාවිච්චි කළහම මොකද වෙන්නේ? මෙගාවොට් 300 නිෂ්පාදනය කරන්න බැහැ. එතකොට රුපියල් විසි හතරට ගල් අගුරුවලින් නිපදවන විදුලි ඒකකයක් වෙනුවට, බාල ගල් අඟුරු නිසා රුපියල් 40 විතර  එක ඒකකයට වැඩිපුර ගෙවලා, රුපියල් 64 ගානේ ඩීසල් මාෆියාවෙන් මිලදී ගන්නසිද්ධ වෙනවා. එතකොට මේ ගොල්ලෝ හොරකම් කරන ටික විදුලි පාරිභෝගිකයා ගෙවන්න ඕන. 13.5% කින් කරන්ට් බිල වැඩි කරන්න කියලා යෝජනාවකුත් ගේනවා. ඒ නිසා PUSL  ,මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලන්න කැමතියි කවුරුවත් හොරකම් කරන ඒවා මහජනතාව ගෙවන්න ඕන නැහැ. මම ගරු කරන අනිල් ජයන්ත  මැතිතුමා ගැන මට කණගාටුයි. පිරිවැය දරා ගැනීම සඳහාලු ගාණ වැඩි කරන්නේ. පිරිවැය නෙමෙයි හොරකම දරා ගැනීම සඳහා. කිව්වේ නම් තුනෙන් එකකින් කරන්ට් බිල්එක අඩු කරනවා කියලා. ජනාධිපතිතුමාම කිව්වා නම දාහේ බිල හය දාහට ගේනවා කියලා. අනේ අර යූටියුබ් එකයි ටික් ටොක් බල බල උයන අම්මලා හිතුවා අම්මට උඩු,  අනුර කුමාර ආවහම අපිට මාර සහනයක් ලැබෙයි කියලා. දුන්නා පැනගෙන ගිහිල්ලා ගෙදර මිනිහා කියන දේත් අහන්නේ නැතුව.

හනිමුන් කාලය අවසන් 

මේ විදුලි බිල වැඩි කරන්න උත්සාහ කෙරුවොත් අපි මහජනතාව පාරට ගෙනල්ලා බස්සනවා. දැන් හනිමුන් කාලේ මාස දාසය ඉවරයි. ගමේ ගියොත් අපි නෙමෙයි ගහන්නෙ,  පෙරටුගාමීන් ගෙන් ගුටි කන්න බලාගෙන ඉන්න. අපි සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒ නිසා මාලිමාවේ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලනවා ඔබතුමන්ලා මේවට අනුබල ආධාර දෙන්න එපා. මේ හොරකමට විරුද්ධ වෙන්න කාටද කොන්දක් තියෙන්නේ කියලා අපි බලන්න ලෑස්තියි.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න