V2025

පුවත්

කුලී හේවායන් වීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක්

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත යෑම සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සිය කනස්සල්ල පළ කර තිබේ.

ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටින්නේ විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත කුලී හේවා කණ්ඩායම් වෙත යොමු කරන වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි.

“කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි.” ඔහු අවධාරණය කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ සම්බන්ධව කරන ලද ඉල්ලීම පහතින්,

 ඔබේ ගෞරවය සහ අභිමානය රැකගන්නා ශ්‍රී ලංකා හමුදා ප්‍රවීණයන් වෙත කෙරෙන ඉල්ලීමක්

ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වශයෙන් අපි අපගේ මාතෘ භූමිය පිළිබදව ගෞරවනීය හැඟීමකින් හා පක්ෂපාතීත්වයකින් බැඳී සිටින්නෙමු. එමෙන්ම, ජාතියේ යහපත වෙනුවෙන් කැපවෙමින් මාතෘ භූමිය මුහුණ දෙන සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම නිර්භීතව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් නැගී සිටින්නෙමු.

එනමුදු, කෙටි කාලීන මුදල් ඉපයීම හා තාවකාලික යස ඉසුරු සපයා ගැනීම සඳහා එම අභිමානය හා පක්ෂපාතිත්වය අත්හැර දැමීමට අප අතරින් යම් පිරිසක් පොළඹවා ගැනීමට දරනු ලබන රහසිගත උත්සාහයන් පිළිබදව මෙම කාල සීමාවේදී නිරීක්ෂණය වේ.

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත ගොස් තිබෙන බව මෑත කාලීනව පල වූ වාර්තා හා සිදුවීම් මගින් අනාවරණය වී තිබෙන කරුණකි. බොහෝ කාලයක් අපගේ මාතෘ භූමියේ පැවැත්ම වෙනුවෙන් රණකාමීන් සහ දේශප්‍රේමීන් ලෙස අභිමානනීය සේවාවක් ඉටු කළ මෙම රණ විරුවන් විවිධ පොරොන්දු සහ ලාභ ප්‍රයෝජනයන්ට මුලා වී මෙම කුලී හේවා කණ්ඩායම් සමග එක්වීමට උත්සාහ දරන තත්වයක්ද නිරීක්ෂණය වී තිබේ.

අපගේ විරෝදාර රණවිරුවන් රට වෙනුවෙන් කළ අප්‍රමාණ කැප කිරීම් කිසිදා අමතක කළ නොහැක. එසේම අනේක විධ දුෂ්කරතා විඳිමින් මාතෘ භූමිය වෙනුවෙන් ලේ වගුරවමින් අපගේ සහෝදර සෙබලුන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කළ අයුරු අප දැක ඇත්තෙමු.

අපගේ විරෝදාර රණවිරුවන් සතු නිර්භීතකම පුද්ගලික වාසි සඳහා වෙළඳාම් කළ යුතු භාණ්ඩයක් නොවේ; එය මාතෘභූමියේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් අපගේ රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ උත්තරීතර පරිත්‍යාගයකි.

 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා WWV RWP RSP VSV USP ndc psc MPhil, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ලෙස මෙන්ම විරෝදාර රණවිරුවන් සමඟ යුධ භූමියේ උරෙන්උර ගැටී සටන් කල ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස වර්තමානයේ ගොඩ නැගී තිබෙන මෙම ප්‍රවනතාව පිළිබද තම දැඩි කනස්සල්ල පළකර ඇත. එසේම, මෙහි ඇති භයානකත්වය හා අනතුරුදායක බව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත මෙම කුලී හේවා කණ්ඩායම් වෙත රණවිරුවන් යොමු කිරීමේ වංචාකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් සියලුම විශ්‍රාමික රණවිරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

 කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි. ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ ජයග්‍රාහී හමුදාවක සාමාජිකයන් ලෙස අප අපගේ වෘත්තියේ ගෞරවය හා අවංකභාවය ආරක්ෂා කළ යුතුය.

සැබෑ නිර්භීතකම පවතින්නේ කෙනෙකුගේ වැටුපේ ප්‍රමාණයෙන් නොව අපගේ යහපත් ප්‍රතිපත්ති හා අරමුණු වලින් සන්නද්ධ වීමෙන් බව අප වටහාගත යුතුය. තිස් වසරක් මාතෘ භූමිය වෙනුවෙන් කැපවෙමින් ජීවිත පරිත්‍යාග කළ අපගේ විරෝදාර සහෘද රණවිරුවන්ගේ පරිත්‍යාගයන්ට ගෞරව කරමින් ත්‍රිවිධ හමුදාවේ කීර්ති නාමය හා ප්‍රෞඩත්වය සුරක්ෂිත කිරීමට අපි සියලු දෙනාම කැපවෙමු.''

විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07)  නියෝග කර ඇත.

විජේදාස රාජපක්ෂ  ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන්  විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිශ්ප්‍රභ කරන බව අධිකරණය සදහන් කළ බව වාර්තා වේ.

අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න / මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන  ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ  පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති අරමුදලෙන් අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක් වන අතර දිවයින පුරා පිහිටි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන 822 ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ යටතේ එක් පිරිවෙනකට/ සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 06කි. ඒ අනුව පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති විසින් තම පිරිවෙනට/ සීලමාතා අධ්‍යාපන ආයතනයට අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුය.

කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3000/- බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙන් ලබාගත හැකිය.

එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගිහි පැවිදි ශිෂ්‍යත්ව අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද තම අයදුම්පත්‍රය 2024 මැයි 22 දිනට පෙර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති වෙත පමණක් භාරදිය යුතු අතර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපතිවරුන් විසින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛන ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමට හැකිවන පරිදි කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( පිරිවෙන්) මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙත එවනු ඇත.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන අරමුදල් මඟින් ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහයෝගය මත ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනද දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් ලබාදීමට සැලසුම් කර ඇත. මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund යන නිල Face Book ගිණුමෙහි හා www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එසේම මේ සම්බන්ධ තොරතුරු විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේද පළ කිරීමට කටයුතු කර ඇත.

මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරිමට සුදුසුකම් සහිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024 මැයි මස 22 හෝ ඊට පෙර සෘජුවම ජනාධිපති අරමුදල වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ද 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර 2024 පෙබරවාරි 07 වන දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් කළ ආකාරයට ජනාධිපති අරමුදල විසින් 2024 වර්ෂය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙන අතර ඒ සියල්ල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 2022/2023 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පොස (උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දිවයිනේ අධ්‍යාපන කලාප 100 අතුරින් එක් කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60දෙනෙකු බැගින් තෝරාගෙන අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකය.

දැනට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභීන් 6000ක් තෝරාගෙන අදාළ ශිෂ්‍යත්වලාභීන් පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල Face Book පිටුවේ හා නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. මෙම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අප්‍රේල් මස සිට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර හිඟ මුදල් ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතය.

මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන යටතේ මෙරට තිබෙන පාසල් 10,126 ආවරණය වන පරිදි එක් පාසලකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 04ක් හා උපරිම වශයෙන් ශිෂ්‍යත්ව 22ක් ලැබෙන පරිදි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් සඳහා මසකට රුපියල් 3,000/- බැගින් ශිෂ්‍යත්ව ලබා දීමට ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ කටයුතු දැනට සිදු කරමින් පවතින අතර මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු නුදුරු දිනකදීම සිදු කිරීමට නියමිතව ඇත.

දැනට මෙම ශිෂ්‍යත්ව අයදුම්කරුවන් පිළිබඳව විස්තර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් ජනාධිපති අරමුදල වෙත ලැබෙමින් පවතින අතර අදාළ සියලුම විස්තර පරිගණක ගතකර අවසන් කළ පසු මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු සිදු කරන අතර එක් එක් ශිෂ්‍ය/ ශිෂ්‍යාව වෙනුවෙන් ආරම්භ කර ඇති බැංකු ගිණුම් වෙත මාසිකව සෘජුවම අදාළ මුදල් බැර කර ශිෂ්‍යත්වලාභියා වෙත කෙටි පණිවිඩයක් (SMS) මඟින් ඒ පිළිබඳව දන්වා යැවීමට කටයුතු සලසා තිබේ.

වසර 5කට පසුව චන්ද්‍රිකා ශ්‍රීලනිප මහ ගෙදරට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද (06) ශ්‍රීලනිප මූලස්ථානය වෙත පැමිණ ඇත.

ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන , අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක , හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ද ඒ වෙත පැමිණ තිබේ .

එහිදී හිටපු ජනාධිපතිවරිය මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් පක්ෂයේ හැමදාමත් සිටි බවත් ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇයව පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත් ය.

එසේම පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බවත් රට හදන්න සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවත් ය.

ජවිපෙ යළි සන්නද්ධ වීමක් ගැන සජබට සැකයක් !

ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප‍්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම පක්ෂයේ කේඩි ලාල්කාන්ත කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවද ඔහු පැවසීය .

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

88, 89 කාල වක­වා­නුවේ දස දහස් ගණ­න­කගේ මර­ණ­යට පාර කපපු දේශ­පා­ලය නැවත මතු­වෙ­මින් තිබෙ­නවා. ජනතා විමුක්ති පෙර­මු­ණට සුළු සාමා­ජි­ක­යන් පිරි­සක් සිටින කාල වක­වා­නුවේ ජනතා විමුක්ති පෙර­මුණේ ග්‍රාමීය කමිටු හරහා යුක්ති පස­ඳ­ලීම සිදු කළා අපිට මත­කයි. ඒ හරහා පුද්ගල ඝාතන රැසක් සිදු වුණා.

ඔවුන් නඩු අහල පුද්ග­ල­යන්ට දඬු­වම් නියම කළා. සම­හර පිරිස් ඝාත­නය කළා. මයි­කල් රොද්‍රිගෝ පිය­තුමා, මොර­ටුව සර­ස­ර­වියේ උප­කු­ල­ප­ති­ව­රයා, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ස්ටැන්ලි විජේ­සු­න්දර වගේ පුද්ග­ල­යන් මරා දමන්න තීර­ණය කළේ ජනතා විමුක්ති පෙර­මුණ විසින්. ඔවුන් යුක්තිය පස­ඳ­ලීම කළේ එහෙ­මයි.

ජනතා විමුක්ති පෙර­මුණේ ත්‍රස්ත­වාදි ක්‍රියා­දා­ම­යට, මත­වා­ද­යට විරුද්ධ පිරිස ඔවුන් මරා දැම්මා. ඒ ත්‍රස්ත­වාදි ව්‍යාපා­රයේ නාය­ක­යෙක්ව සිටි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙර­මුණේ මැයි දින­යට පැමිණි සෙනඟ දැකලා ඔහුට කිය­වුණා නීතිය ක්‍රියා­ත්මක කිරීමේ බලය සහ අධි­ක­රණ බලය ලබා­දෙ­නවා කියලා.

සංචාරක වීසා ගාස්තුව පැරණි අගයේම පවත්වාගෙන යාමට කැබිනට් තීරණයක් !

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි.

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කරයි.
සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලා තිබිණි.

එමෙන්ම එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹිණි.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර තිබේ.

කෙහෙළිය ඇතුළු 08ක් යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනා මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරතකර සිටි එක් සැකකරුවෙකු අද ඇප මත මුදාහැර තිබුණි.

මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනය.

On Arrival වීසා පහසුකම ගැන ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  අද (06) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය .

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් වෙයි

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇත.

එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි.එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා කියයි.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක පවසයි.

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ය. 2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස හොදින් සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ.

බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එය සංවර්ධනය කෙරෙන බව අධ්‍යක්ෂකවරයා කියයි.මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන තිබේ.ඊට අදාල ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සිදුවෙමින් පවතින බවද අධ්‍යක්ෂකවරයා කියයි.

බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක් ක්‍රියාත්මක විය.2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ගියහ. බෝගම්බර බන්ධනාගාරය දැනට මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘතය.

බෝගම්බර බන්ධනාගාරය ඉදි කිරීමට පෙරාතුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූයේ හැන්ග්මන්ස් හිල් (Hangmans Hill) නම් වර්තමාන මහනුවර මධ්‍යම වෙළදපොළට ඉදිරියේ පිහිටි කදු ගැටයකයි.ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වීමෙන් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහයද ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් නිර්මාණය විය.නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණින් බෝගම්බර වැව ගොඩ කරමින් පෝරකයක් ද සහිතව ඉංග්‍රීසීන් විසින් මෙම බන්ධනාගාරය ඉදි කරන ලද්දේ වර්ෂ 1876 දී යි. ඒ රජයේ වැඩ දෙපාර්තමේන්තුව හරහා එවක ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස් වූ එන්.ආර් සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේයි. රුපියල් ලක්ෂ 4 ක මූල්‍ය පිරිවැයක් දරා සිරකරුවන් 92 ක ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම බන්ධනාගාරය ඉදි කර තිබේ.

මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න.....

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ, උස මීටර 2.5-3.0 ක් පමණ සහ තරංග කාලය තත්පර 12 - 16 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

තවද කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතින බවත් කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා සිටී.

මුහුදේ රළ අඩි 05ක් 08ක් අටක් අතර ඉහළට ගැසීම නිසා මෙසේ ගාලු කොළඹ මාර්ගයට වැලි සහිත මුහුදු ජලය ගලා ඒම සිදුව ඇත.

තෙල්වත්ත පැරැලිය සුනාමි ස්මාරකය අසල ගාලු කොළඹ මාර්ගයද ජලයෙන් යට වී තිබුණි.

කරඳගොල්ල නාය යාමට උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ නෑ !

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි .

අදාළ ස්ථානයේ භූ විද්‍යාලඥයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් කළ පරික්‍ෂණයෙන් ඒ බව හෙළි වූ බවත් ඔහු සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කරඳගොල්ල නායයෑම අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ සාමාන්‍ය නායයෑමක් බවයි .

“හාම්පුතුන් උසාවි ගියොත් රජය වතු සේවකයන්ගෙ පැත්තේ” – ජනපති

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වුවහොත් කම්කරුවන්ට නීති සහාය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව කම්කරුවන්ට අවශ්‍ය නීතිඥ සහාය හා උපදෙස් සපයා දීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කම්කරු ඇමැති මනුෂ නානායක්කාර ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේ කොටගල පැවැති මැයි දින රැලියේදී ය.

අදාළ වැටුප වැඩිවෙන ආකාරය එහිදී ඇමති මනුෂ නානායක්කාර  පැහැදිලි කළේ ය.

මේ අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඊට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් වතු හාම්පුතුන්ගේ සංගමය හා රජය අතර පසුගිය දිනවල පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අතරමග නතර වී තිබූ අතර මෙම ගැසට්ටුව සම්මුතියකින් තොරව නිකුත් කළ එකක් බවට වතු හාම්පුතුන්ගේ සංගමය චෝදනා කළේ ය.

වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අදාළ වැටුප් වැඩිවීම සිදුකර ඇති හෙයින් සිය සංගමය අධිකරණය හමුවට යන බව ද ඔවුහු පැවසූහ.

මේ අතර, වතු කම්කරු සංගම් කීපයක්ද ප්‍රකාශ කර තිබුණේ මෙම තීන්දුව නිසි සම්මුතියකින් තොරව ගත් දේශපාලනික තීන්දුවක් බව ය.

මව්බිම

රුපියල අත්කර ගෙන ඇති තත්ත්වය මෙන්න !

ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමග ම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට මෙම වසරේ මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත් කරගෙන ඇති අතර රුපියල යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව ද 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇත.

ස්ටලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන ඇත.

ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 9.5%කින් ද වර්ධනය වී ඇති රුපියල ඕස්ට්‍රෙලියානු ඩොලරයට සාපේක්ෂව 14.2%කින් වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ලංකාව ගැන ජපානයේ ස්ථාවරය එළියට !

ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කළාය.

එහිදී ඇය පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කළ පසු සහ ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ අභිප්‍රාය ශ්‍රී ලංකා රජය තහවුරු කළ පසු එලෙස අදාළ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි බවය.

ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය දීමට ජපානය සූදානම් බවද ඇය තවදුරටත් පෙන්වා දී තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් සම්පූර්ණ වනු දැකීම ජපානයේ අපේක්ෂාව බවද ඇය පෙන්වා දී ඇත.

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් උදෙසා ශ්‍රී ලංකාවට සාමුද්‍රික ක්ෂේත්‍රයේ සහාය ලබාදීමටද ජපානය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය කියා සිටියාය.

ඒ සඳහා 'සෝනාර්' තාක්ෂණයෙන් සන්නද්ධ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවද ඇය සඳහන් කළාය.

මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති ලෙස කටයුතු කරමින් ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරියට ස්තුතිය පළ කර තිබේ.

කබීර්ගෙන් ආණ්ඩුවට කොළ එළියක් !

පක්ෂ දේශපාලන පැත්තකින් තබා ජාතික ආණ්ඩුවක් බිහි කළ හැකි නම් එය රටේ යහපතට හේතුවනු ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් සඳහන් කරයි.

නමුත් නිල නොවන මැතිවරණ කාලයක් ලෙසින් පවතින කාලයක පොදු අරමුණක් වෙනුවෙන් දේශපාලන පක්‍ෂය එකඟවනු ඇතිදැයි ප්‍රශ්නයක් පැන නගින බවද ඔහු පවසයි.

ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඒකාබද්ධ වන්නයි ජනාධිපතිවරයා මැයි දින කළ ආරාධනාව ගැන කළ විමසුමකට ප්‍රතිචාර ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

ජනාධිපතිගේ ආරාධනය ගැන නිල මතය ප්‍රකාශ කළ යුත්තේ පක්ෂ නායකයන් අභ්‍යන්තර සාකච්ඡාවකින් පසුව බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

කෙසේ නමුත් රට අද ඇත්තේ දරුණු අර්බුද සමයක බවත් පැවසූ ඔහු රටේත් ජනතාවගේත් යහපත වෙනුවෙන් තවත් අවුරුදු පහක් වුවද ඉවසා සිටීමට තමන්ට හැකි බවද කියා සිටියේය.

සැබැවින්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අතහැරී අවස්ථාවේ වුවද කවර හෝ හේතු මත එම අවස්ථාව ගිලිහී ගිය බවද කබීර් හෂීම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ පසුගිය මැයි දින පැවති සජබ රැලිය සඳහා සහභාගි නොවූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු සමඟ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ඊට ලැබෙන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බවද විචාරකයන් පවසයි .

ලංකා ආර්ථිකය ස්ථාවර කරන ජනපතිගේ වැඩපිළිවෙළ : ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට !

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් විය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදි අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් තැබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමිකාවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදාළව නව නීති සම්පාදනය කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති සාධනීය පියවර ඇගයීමට ලක් කළාය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම තම අරමුණ බවද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන්‍ ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240504 WA0001

ජනාධිපතිවරණයේ සහාය කාටද ? ලොහාන් තීන්දුව අරගෙන !

එළැඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ තම උපරිම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් ජනාධිපති කිරීමට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (04) පැවසීය .

වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මේ බව සඳහන් කර සිටියේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

"මාගේ ජීවිත කාලය තුළ ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කළේ නැහැ ඔබතුමත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. කෙසේවුවත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය ඇමතිවරයෙක්වීම ගැන."

"අපේ පක්ෂයේ අපේ වැරදිත් තිබ්බා... රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම භාර ගත්තා."

"අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි."

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම විප්ලවීය පියවරක් - ජනපති

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බවද සඳහන් කළේය.

මෙම ඉඩම් අයිතිය සමඟ රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

සියලු දෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමඟ පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දීමට එක්වන්නැයි ද සියලු පාර්ශ්වවලට ආරාධනා කළේය.

එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදා දීම මෙහිදී සිදු විය.

ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මේ ශාලාවේ සිටින ඔබ මෙම ස්ථානයට පිවිසියේ බලපත්‍රලාභීන් ලෙසයි. නමුත් ඔබ මෙතැනින් පිටව යන්නේ ඉඩම් හිමියන් ලෙස බව මම සිහිපත් කිරීමට කැමතියි. ඔබේ ඉඩමට අද සින්නක්කර අයිතිය ලැබෙනවා. අපේ සමාජයේ ඉඩම් හිමිකම ගෞරවයක් ලෙසයි සළකනු ලබන්නේ. ඉඩමට තිබෙන වටිනාකම අපට තිබෙන පිළිගැනීම බවට පත්ව තිබෙනවා.

අද මේ රටේ විශාල පිරිසකට පරම්පරා ගණනක සිට ජීවත්වුවත් එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය හිමිව නැහැ. උරුමය වැඩසටහන හරහා සිදුවන්නේ එම ඉඩම් අයිතිය සින්නක්කර ඉඩම් ඔප්පුවකින් ජනතාවට ලබා දීමයි. මින් පසුව ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ. ඔබට ලැබෙන නීත්‍යානුකූල ඉඩම් අයිතිය කිසිවෙකුට අහෝසි කිරීමේ හැකියාවක් නැහැ.

අපි සියලුදෙනා පසුගිය වසර තුනේදී ඉතා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. රටේ ආර්ථිකය වගේම අපේ ආර්ථිකයත් කඩා වැටුණා. අත මිට මුදල් හිඟ වුණා. සියලුදෙනා අසීරුවෙන් ජීවත් වුණේ. දැන් එම ආර්ථික ගැටලු අප ටිකෙන් ටික විසඳාගෙන යනවා. අප තව වසර දෙක තුනක් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

රජයේ සේවකයන්ට රැපියල් දස දහසක් වැටුප් වැඩිවීමක් ලබාදීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. පුදිගලික අංශයේත් බොහෝ ආයතනවල වැටුප් වැඩි කිරීම් සිදු කළා. ඒ වගේම වතුකරයේත් වැටුප් වැඩි කිරීමට අප දැන් නියෝග කර තිබෙනවා.

පසුගිය ආර්ථික දුෂ්කරතාවන් හමුවේ රටේ දිළිදු කණ්ඩායම වර්ධනය වුණා. ඒ වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ සඳහා ලෝක බැංකුවේ සහාය හිමි වු අතර ඒ අනුව සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක් වැඩි කර අස්වැසුම ප්‍රතිලාභ ජනතාවට ලබා දිමට අපට හැකි වුණා. ඒ වගේම ප්‍රතිලාභීන් ප්‍රමණය ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට කටයුතු කළා.

තවද, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කළා.

මේ සියල්ල සමඟ රටේ ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ එන විට එහි ප්‍රතිලාභය එක කොටසකට හිමි වන්නයි, අනෙක් කොටසට නොලැබී යාමටයි ඉඩ තබන්න බැහැ. ඒ නිසා දැනට රජයේ ඉඩම්වල සිටින සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් මෙම පියවර විප්ලවකාරී පියවරක් බව කිවයුතුයි. ලෝකයේ වෙනත් රටවල මෙලෙස ඉඩම් අයිතිය ජනතාවට ලබාදී නැහැ. එසේනම් අප සිදු කර තිබෙන්නේ විශාල විප්ලවයක්. කෘෂිකර්මාන්තය සඳහා පමණක් නොව නිවාස සඳහා ද ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. ඒ වගේම මහල් නිවාසවල සිටින අයට එම නිවාසවල අයිතිය ලබාදී තිබෙනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ලෝකයේ තිබෙන විප්ලවකාරී පියවරක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම මෙය මෙරට ජනතාවට ලබා දෙන විමුක්තියක් ලෙස මම සලකනවා.

මෙම ඉඩම් ඔප්පු කඩිනමින් සකස් කිරීම පිළිබඳ අප පසුගියදා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. අගමැතිතුමා මේ කටයුතු භාරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට දැනුම් දෙන්න කැමතියි. මෙම වැඩසටහන ඉදිරි මාස දෙක තුළ කඩිනමින් අවසන් කළයුතුයි. ඉඩම් කොමසාරිස් කාර්යාල, මහවැලි අමාත්‍යාංශය, මිණුම් දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු එක්ව මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම මෙම ඉඩම් ලබාගත් පසු රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සමග එක්වීම ඔබේ වගකීම වෙනවා. රටේ කෘෂිකර්මාන්තය නවීකරණ කරමින් තරගකාරී කෘෂි අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමට අප සියලුදෙනාට වගකීමක් තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ පිළිබඳ සාකච්ඡා කර ලබාදිය හැකි සහාය පිළිබඳ සොයා බැලීමට ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණෙනවා. ඒ වගේම මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බලා ඉදිරි වසර තුන හතර තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ලබන ජුනි මාසයේ ලෝක බැංකුවේ නියෝජිතයන් මෙහි පැමිණෙනවා.ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ සැලසුම් ඉදිරිපත් කළ යුතු නිසා මෙම කටයුතු නීතිගත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම පොළොන්නරුව දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. අප මේ වන විටත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇතැම් අය අහනවා අවුරුදු 76ක් මොනවද කළේ කියලා. වාර්මාර්ග ඉදිකර, විදුලි බලය ලබාදී ජනතාව එහි පදිංචි කර ගොවිතැන් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළා. නමුත් මේ පළාත්වලට නොලැබී ඇති සංවර්ධනය ලබාදීමේ වගකීම මම භාරගෙන තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.

මම කිසි දවසක කියන්නේ නැහැ ආණ්ඩුව බෙදෙන්න ඕන කියලා. අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක්. අනිත් අය එපා කියපු ආණ්ඩුවකුයි අපි භාරගත්තේ. සියලුදෙනා මේ ආණ්ඩුව භාර ගැනීමට අකමැති වුණා. නමුත් දැන් අප එක්වෙලා රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. දැන් අප සියලුදෙනා එකතුවෙලා ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් රට තුළ ගොඩනඟා තරුණ පුරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දෙමු කියලා මම ඉල්ලා සිටිනවා.

Page 77 of 464