Image

ජනපති සහභාගිත්වයෙන් මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

ජනපති සහභාගිත්වයෙන් මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරිණි.

අතරමග නතර වී තිබූ මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම ඉතා සතුටක් බව එහි දී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ය. මෙම අවස්ථාවට සමගාමීව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක්

මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල තුළ ළමුන් වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබීම ද විශේෂත්වයකි.

රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම සඳහා දක්වන උනන්දුව අගය කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් බවද, මෙම මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් දමිළ ජනතාවගේ පොත් කියවීමේ සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාම දිරිමත් කරනු ඇති බවද පැවසී ය.

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා, මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත විය. එහිදී මඩකළපුව නගරාධිපති කේ. සිවම් පාක්‍කියනාදන් ජනාධිපතිවරයාට සමරු සිහිවටනයක් ද පිරිනැමී ය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් පුස්තකාල භූමියේ පැළයක් රෝපණය කරන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන මහත්වරුද, කන්දසාමි ප්‍රභූ, ජී. ශ්‍රීනේශන්, එස්. රාසමානික්කම්, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, මඩකළපුව මහනගර සභාවේ මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

beticalo

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න