Image

බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර "Per Anger" සම්මානය ශ්‍රී ලාංකික සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු වෙත පිරිනැමීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද (21) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.30 ට ස්වීඩනයේ දී පැවැත්වේ.

1980 දශකයේ අග භාගයේ සිට, ලොව වැඩිම නොවිසඳුණු බලහත්කාර අතුරුදහන් කිරීම් සංඛ්‍යාවක් ඇති රටක් වන ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු නිරතව සිටින නොනවතින අරගලය, මෙම සම්මාන⁣යට පදනම් විය.

පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු නිදහස් වෙළඳ කලාපයේ කම්කරු ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වූ ලයනල් හා රංජිත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු ක්‍රියාකාරිකයින් විසින් ආරම්භ කළ අරගලය, අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයා යෑමේ නව ගමනක ආරම්භය සටහන් කළේය. බ්‍රිටෝ ඇතුළු පිරිසගේ පරිශ්‍රමයෙන්, රද්දොළුගම හන්දියේ අතුරුදන් වූවන් වෙනුවෙන් ඉද කළ ස්මාරකය, එම අරගලය පිළිබඳ ප්‍රබල සංකේතයකි.

අතුරුදහන් වූවන්ට යුක්තිය සෙවීමේ ක්‍රියාවලියේදී ඔහුගේ සුවිශේෂීදායකත්වය වන්නේ, එතෙක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල 1988–89 කාලයේ අතුරුදහන් වූවන්ට පමණක් සීමා වී තිබූ අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය සෙවීමේ කටයුතු, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ද ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමයි.

මෙවැනි කාර්යභාරයක් ඉටු කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර සම්මානයක් ලබා දීම, ඔහුගේ වටිනා සේවාව පිළිගැනීමකි. එම සම්මානය ප්‍රදානය කිරීමේදී, විනිශ්චයකාර මණ්ඩලයද ඔහුගේ දායකත්වය ඉහළින් අගය කර ඇත.

සම්මානය ප්‍රදානය කරමින් ජුරි මණ්ඩලය සඳහන් කර ඇත්තේ "බ්‍රිටෝ ප්‍රනාන්දු, සමාජයේ අසරණ හා පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැගීමේ ද, ශ්‍රී ලංකාවේ දේශපාලන හිංසනයන්ට ගොදුරුවූවන් සහ සිවිල් යුද්ධ කාලය තුළ අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය අනාවරණය කිරීමේ ද, සිය ජීවිතය පුරා කැපවී සිටි අයෙකි. Per Anger සම්මානය ප්‍රවර්ධන කරන ආදර්ශයන්ට අනුව, පුද්ගලික ලාභයක් හෝ විශේෂ ගෞරවයක් අපේක්ෂා නොකර, හඬක් නොමැති අය වෙනුවෙන් ධෛර්යයෙන් ඉදිරියට පැමිණ සිටීම බ්‍රිටෝ ප්‍රනාන්දුගේ විශේෂත්වයකි.

අපරාධයන්ට වගකිව යුත්තන් හෙළි කර ගැනීමට සහ යුක්තිය ඉටු කිරීම සඳහා ඔහු, අඛණ්ඩව කැප වී ක්‍රියාකරයි. ඔහු තමන්ගේ ආරක්ෂාවට පවා අවදානමක් ඇතිව තිබියදී, සමාජ සාධාරණත්වය වෙනුවෙන්, සියලු දෙනාටම සමානව යුක්තිය ඉටු වන සමාජයක් ගොඩනැගීමට උත්සාහ දරයි. ගැඹුරු බේද භින්නවීම්වලට ලක්වූ රටක, ජාතික හා ආගමික කණ්ඩායම් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමටද ඔහු කැපවී සිටියි.

ඒ අනුව, බිටෝ ප්‍රනාන්දුහට Per Anger සම්මානය ප්‍රදානය කිරීම, මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහු ඉටු කළ දිගුකාලීන හා නිර්ලෝභී කැපවීම පිළිබඳ ඉහළ පිළිගැනීමක් ලෙස සැලකිය හැකිය.” යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න