පුවත්

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි ඉරාන - ශ්‍රී ලංකා ජනපති ඒකාබද්ධ මාධ්‍ය හමුවක !
ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සමඟ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.
රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සාකච්ඡාව තුළින් කලාපයට පමණක් නොව ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ඉරාන ජනාධිපති රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
පලස්තීන ගැටලුව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව සහ ඉරානය පිළිගන්නා බවයි. 1967 වසර වන විට පැවති දේශසීමා මත පදනම්ව එකිනෙකට යාබදව පිහිටි රාජ්‍යයන් දෙකක් ලෙස පිහිටුවීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුකූලව පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම අප්‍රේල් 24 වනදා විවෘත කෙරුණු උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවද පැවසූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හි පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ සතුටු වන බවද කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පුළුල් කර ගැනීමේ දී සීමාවක් හෝ බාධාවක් නොමැති බවයි.
දෙරට අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම තුළ පවතින බව පෙන්වා දුන් ඉරාන ජනාධිපතිවරයා ඉරානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක තුළම ඉතා ඉහළ විභවයන් සහ හැකියාවන් පවතින බවත්, මෙම අවස්ථාවන් දෙරට අතර හුවමාරු කර ගැනීම රටවල් දෙකට මෙන්ම කලාප දෙකටද ප්‍රයෝජනවත් වනු ඇති බවත් පැවසීය.
ඒකාබද්ධ මාධ්‍ය හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසත්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ලෙසත් මා කළ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිට මාගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය උත්පාදනය කර එක් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ ජල හිඟයට පිළියම් යෙදීම වෙනුවෙන් සැලසුම් කර ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප එක්ව විවෘත කළා. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවෙන අතර ආහාර නිෂ්පාදනය, ස්ථාවර විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කිරිම සඳහා එය දායක වෙනවා.
උමා ඔය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබා දීම පිළිබඳව පමණක් නොව ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍රවල දැනුම බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
මෙම ව්‍යාපෘතියෙන් හිමිවන ප්‍රතිලාභ අප ප්‍රදේශයේ ජනතාවට ලබාදී තිබෙනවා. පර්සියාවේ සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ ඉපැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි නූතන යුගයේ එකතුවක් ලෙස මම මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමට කැමතියි. නවීන ලෝකයේ අවශ්‍යතාවයන් වන විද්‍යාව හා තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති උත්පාදනය වැනි ක්ෂේත්‍රයන්හි විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන ඇති ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාවට මම සුබ පතනවා.
අද දින විවෘත කරන ලද උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවට පත්වෙමින් ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හී පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ මම සතුටට පත්වෙනවා.
පසුගිය කාලසීමාව තුළ මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව අපගේ සාකච්ඡා අතරතුර මම මගේ කෘතඥතාව පළ කළා.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය පිළිබඳව ද මම ජනාධිපති රයිසි මහතා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනාධිපති රයිසි සිය විශ්වාසය පළ කළා.
එමෙන්ම අපගේ සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු පුළුල් කර ගැනිම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ආදිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අප අවධානය යොමු කළා.
අපගේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර සංස්කෘතික, අධ්‍යාපන, තරුණ කටයුතු, මාධ්‍ය, සංචාරක හා චිත්‍රපට කර්මාන්තය යන ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබුවා.
මෙම ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාව මෙන්ම දෙරටේ ජනතාව අතර ද සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා විශාල හැකියාවක් පවතින බව අප දකිනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM), G-77 සංවිධානය මෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) වැනි අනෙකුත් කණ්ඩායම් ද ඇතුළුව බහුපාර්ශ්වික සහ කලාපීය සංසදවලදී රටවල් දෙක සමීපව කටයුතු කිරීම පිළිබඳව ද අප ඉතා සතුටු වෙනවා. බහුපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් වත්මන් ගෝලීය අභියෝග පිළිබඳව විවෘත හා ප්‍රයෝජනවත් සංවාදයක අපි නිරත වී සිටිනවා.
දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා ගෝලීය දකුණේ රටවල් සාමූහිකව කටයුතු කළ යුතු බවට අප එකඟ වුණා. ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි.
රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ සාකච්ඡාව තුළින් කලාපයට පමණක් නොව ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මම සතුටු වෙනවා.
පලස්තීනයේ පවතින බරපතල තත්ත්වය සහ පලස්තීනයේ ජනතාවට අත්විඳීමට සිදු වී ඇති අතිමහත් වූ දුක් වේදනා පිළිබඳ අපගේ දැඩි කනස්සල්ල පළ කරනවා.ශ්‍රී ලංකාව සහ ඉරානය පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය පිළිගනු ලබනවා.
1967 වසර වන විට පැවති දේශසීමා මත පදනම්ව එකිනෙකට යාබදව පිහිටි රාජ්‍යයන් දෙකක් ලෙස පිහිටුවීමට අදාළව එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුකූලව පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටිනවා.
එවැනි ඕනෑම විසඳුමක් සඳහා පළමුව ගාසා තීරයේ සිදුවන මනුෂ්‍ය ඝාතන නතර කළ යුතුයි. දෙවනුව වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි. තුන්වනුව, ස්වෛරී රාජ්‍යයන්ට ගරු කළ යුතුයි සහ සිව්වනුව සියලුම රාජ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මේ කරුණු පිළිබඳ අවධානය යොමු කර වහාම ගාසා තීරයේ මනුෂ්‍ය ඝාතන නතර නොකළහොත් එම විසඳුම සොයා ගැනීම දුෂ්කර වනු ඇත.
එක්සත් ජාතීන්ගේ පද්ධතිය ක්‍රියා විරහිත කිරීමෙන් සිදුවන්නේ ජාතීන්ගේ සංගමයට සිදු වූ ආකාරයටම එම පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය නැතිවීම පමණි. අප ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබෙනවා.
ශ්‍රී ලංකා රජය “ගාසා හි ළමා අරමුදල” පිහිටුවා ගාසා තීරයේ විපතට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා 2024 අප්‍රේල් 1 වන දින පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සැලසීමේ සහ ක්‍රියාත්මකවීමේ නියෝජිතායතනය (UNRWA) වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළා.
ඉරාන ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අපගේ රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය රයිසි මැතිතුමාගේ යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම මෙන්ම ඉරාන ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් මගේ සුබ පැතුම් එක් කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
📌 ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි :
ශ්‍රී ලංකාව වැනි රටක මගේ කණ්ඩායම සමඟ සංචාරය කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. ඉරාන ඉස්ලාමීය ජනරජයේ දැනුම, තාක්ෂණය සහ ශක්තිමත් සහයෝගීතාව මත ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරගත් විශිෂ්ට ව්‍යාපෘතියක් අද දින ජනතා අයිතියට පවරා දීමට ලැබීම පිළිබඳවද මම සතුටු වෙනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සාමාන්‍ය ව්‍යාපෘතියක් නොවෙයි. මෙය ඉරාන වෘත්තිකයන් විසින් විශාල කැපවීමකින් සහ විශේෂඥභාවයකින් යුතුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභසාධනය මූලික කරගනිමින් සම්පුර්ණ කළ ව්‍යාපෘතියක් බව කිවයුතුයි.
ඉස්ලාමීය විප්ලවය ජයග්‍රහණය කළ දා සිට ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට ඉරානය කටයුතු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා, මෙම සබඳතා වර්ධනය වී පුළුල් වී තිබෙනවා. අද අප දෙරට අතර ඉතා ඵලදායී සාකච්ඡා සහ කථා බහක් සිදු වුණා.
දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, කෘෂිකාර්මික, සංචාරක, විද්‍යා මෙන්ම තාක්‍ෂණික ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට අප එකඟ වුණා.
ඉරානය සහ ශ්‍රී ලංකාව යන මිත්‍ර රටවල් දෙක තුළම හොඳ විභවයන් සහ හැකියාවන් ගණනාවක් පවතිනවා. මෙම හැකියාවන් සහ විභවයන් අපගේ රටවල් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීම සහ බෙදා හදා ගැනීම අපගේ රටවල් දෙකට, අපගේ ජාතීන් දෙකට සහ අපගේ කලාප දෙකට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
අප දෙරට අතර ආර්ථික, වෙළඳ, කෘෂිකාර්මික, විද්‍යාත්මක තාක්ෂණික ක්ෂේත්‍රයන් සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සොයා බැලෙන ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසමේ මීළඟ වටය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාට මම ස්තූතිවන්ත වෙනවා.
තර්ජනවලට හෝ සම්බාධකවලට ඉරාන ජනතාව නැවැත්වීමට නොහැකි වූ බවත් ඔවුන්ට කිසි විටෙකත් රටේ සංවර්ධනය හා ප්‍රගතිය කඩාකප්පල් කළ නොහැකි බවත් මා මෙහි දී ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාව හමුවේ ප්‍රකාශ කරනවා.
අද ඉරාන ඉස්ලාමීය ජනරජය තාක්‍ෂණික සංවර්ධනයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස හැඳින්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ අපගේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ද ලබාදීමට අප සූදානම් බව ප්‍රකාශ කළ යුතුයි.
මෙම සහාය ලබාදීම තුළින් ශ්‍රී ලංකාවෙ ආර්ථික වර්ධනයට දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳ හොඳ උදාහරණයක්.
අද මුස්ලිම් රටවලට සහ මුස්ලිම්වරුන්ට පමණක් නොව ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන සියලුම මිනිසුන්ට ඇති ප්‍රධානම අභියෝගයන්ගෙන් එකක් වන්නේ පලස්තීනයයි. එය මහා පීඩනයක් වගේම රටට ලොකු තර්ජනයක් ලෙස මම දකිනවා.
ඒ වගේම එය පලස්තීනයේ සහ ගාසා තීරයේ ජනතාවට කරන මහා අපරාධයක් බව කිවයුතුයි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන මෙම බිහිසුණු අපරාධය සියලු මිනිසුන්ගේ කනස්සල්ලට හේතු වන කාරණාවක්. මේ ප්‍රශ්නය නිසා සියලු දෙනා කණස්සල්ලට පත් වෙලා සිටිනවා. නමුත් ජාත්‍යන්තර ආයතන සහ සංවිධාන මෙන්ම ඒවා බාරව සිටින පුද්ගලයින් ගාසා තීරයේ සහ පලස්තීනයේ සිදු කරන ජන සංහාර සහ ළමා ඝාතන නතර නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්.
අද වන විට ගාසා තීරයේ මෙතරම් අපරාධ සහ ළමා ඝාතන සිදු වන බව දැකීම ඉතා කණගාටුදායකයි. මුස්ලිම්වරුන් පමණක් නොව, ලොව පුරා සිටින සෑම ජන කොට්ඨාශයක්ම මෙම සාහසික ක්‍රියා සහ ඝාතන හෙළා දකිනවා.
මිනිස් ස්වරූපයෙන් සිටින වෙනත් ජීවීන් පිරිසක්, සතුන් පවා සිදු නොකරන අන්දමේ මෙවැනි අපරාධ සිදු කරන බව ඇතැමෙකුගේ විශ්වාසයයි. අවාසනාවකට අද වන විට වඩාත් කණගාටුදායක කරුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ සියලුම මානව හිමිකම් ආයතන සහ සංවිධාන ඔවුන්ගේ කාර්යක්ෂමතාව හා ක්‍රියාකාරිත්වය නැති කර ගෙන තිබීමයි. ඔවුන් මෙම ජන සංහාරයට හෝ මෙම අපරාධයන්ට එරෙහිව ඒවායේ අවසානය තෙක් කිසිදු ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගැනීමයි.
ගාසා තීරයේ අහිංසක ජනතාවට එරෙහිව සියොන්වාදී ඊශ්‍රායල පාලනයේ බෝම්බ ප්‍රහාර සහ එම ප්‍රහාර වහා අවසන් කිරීම පිළිබඳව සහ මෙම අහිංසක මිනිසුන්ට ජලය, ආහාර, ඖෂධ සහ බෙහෙත් ඇතුළු ආධාර කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් වූ අපගේ ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ මම සාකච්ඡා කළා.
මෙහි වැදගත් කාරණය වන්නේ පලස්තීනයේ ප්‍රශ්නය සහ එම ප්‍රශ්නය විසඳීම සඳහා වන පිළිතුරයි. ඉරාන ඉස්ලාමීය ජනරජය මුලුමනින්ම සහ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ආරම්භ කර තිබෙනවා. එනම්, සෑම පලස්තීනුවෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමයි. මෙයින් මා අදහස් කරන්නේ පලස්තීනුවන්, මුස්ලිම්, ක්‍රිස්තියානීන් හෝ යුදෙව්වන් වේවා, ඔවුන් සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි.
එමඟින් ඔවුන්ට මීළඟට පැමිණෙන රජය පිළිබඳව තීරණය කළ හැකි වෙනවා. මෙය සම්පුර්ණයෙන්ම යුක්ති සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී මුලපිරීමක්. පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කොල්ලකෑම සම්බන්ධයෙන් ගත් කළ, සියොන්වාදී ඊශ්‍රායල පාලනය වසර 75 ක් තිස්සේ පලස්තීනයේ ජනතාවට පීඩා පමුණුවමින් සිටිනවා. ඔවුන් සිය බල ප්‍රදේශ කොල්ලකමින් සිට තිබෙනවා. එබැවින් කොල්ලකරුවන් සහ පීඩකයන් සම්බන්ධයෙන් ගත් කළ, ඔවුන්ගේ මෙහෙයුම් සිදු කිරීමට වැඩි ඉඩකඩක් සහ නිදහසක් අප විසින් ලබා නොදිය යුතුයි.
නමුත් පළමුවෙන්ම, අපි පීඩකයන් එළවා දැමිය යුතු වෙනවා. අනතුරුව, ඔවුන් විසින් සිදු කරන ලද සියලුම හානි සඳහා වන්දි ගෙවීමට අප කටයුතු කළ යුතු වෙනවා. තෙවනුව, අපි එම පීඩකයන් සහ කොල්ලකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආ යුතුයි.
වෙනත් කණ්ඩායමක් විසින් අනෙකෙකුට අයත් ඉඩම් සහ භූමි ප්‍රයෝජනයට ගැනීම හෝ අත්පත් කර නොගන්නා බව තහවුරු කිරීමට හැකි කිසිඳු සහතිකයක් නැහැ. අපි ඔවුන්ව යුක්තිය ඉදිරියට ගෙන නොයන්නේ නම්, ඔවුන් තව නව භූමි ප්‍රදේශ කිහිපයක් ද අල්ලා ගැනීමට කටයුතු කරනු ඇතියි.
ඔවුන් තම ජනතාවට, ඔවුන්ගේ කාන්තාවන්ට සහ දරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත් වීමට බල කරනු ඇතියි. ලෝකයේ සාධාරණ අවකාශයක් ස්ථාපිත වී ඇති බව අප ඔප්පු කළ යුතු වෙනවා. සාපරාධී සියොන්වාදී ඊශ්‍රායල පාලන තන්ත්‍රය ඉතා යුක්ති සහගත ලෙස එහි ක්‍රියාමාර්ග හා ක්‍රියාමාර්ගවලට වගවීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයෙන් විමසිය යුතු වෙනවා. ඒ නිසා කිසිවෙක්, කිසිම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ කිසිම රටක් කාන්තාවන් සහ ළමයින් මරා දැමීම, වැසියන් ඔවුන්ගේ භූමියෙන් බලහත්කාරයෙන් නෙරපීම වැනි දේ නොකළ යුතු වෙනවා.
අපව පිළිගැනීම සහ අපට සංග්‍රහ සත්කාර කිරීම පිළිබඳව මම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාටත්, රජයටත් ස්තූතිවන්ත වෙනවා. මගේ මෙන්ම ඉරාන රජයේත් ස්තූතිය ඒ වෙනුවෙන් පිරිනමනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළඳ මෙන්ම සංස්කෘතික සබඳතා පුළුල් කිරීම සඳහා සීමාවක් හෝ බාධාවක් නොමැති බව මා ප්‍රකාශ කරනවා. අප දෙරට අතර දේශපාලන, ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අප දෙරටම අධිෂ්ඨානයෙන් කටයතු කළයුතු වෙනවා. එසේම අපගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ අවශ්‍යතා අපගේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම තුළ පවතින බව අපි තදින්ම විශ්වාස කරනවා.

ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද : විජේදාසට NO චාන්ස් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත්කරගෙන තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (25) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රීලනිප වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මෙම දේශපාලන රැස්වීම පවත්වා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය දවසින් දවස ඔඩුදුවන්න ගෙන ඇති බවක් කෙරේ.
ඊයේ (24) දිනට පමණක් එම පක්ෂයට අදාළ අධිකරණ වාරණ නියෝග තුනක් පැනවිණ.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත්කළ වාරණ නියෝගය, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කල වාරණ නියෝගය සහ , මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස ගනු ලැබු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කල වාරණ නියෝගය වශයෙන්ය.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබුනේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.
මෙම වාරණ නියෝග මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවද නියෝගවල සඳහන් වෙයි.
මෙසේ වාරණ නියෝග පැනවීමත් සමඟ ශ්‍රීලනිප සිරිසේන පාර්ශවයේ වැඩ ඇනහිට ඇති බවත් වාර්තා වෙයි. එහිදී හිටපු ජනාධිපති සිරිසේන පාර්ශ්වය නියෝජනය කළ තිලංග සුමතිපාල ද එම සබඳතා අත්හැර දමන තැනට පැමිණ ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසයක් පක්ෂයේ සාමාජිකයන් තුළ නොමැති බවත් , ඔහු කෙරෙහි පක්ෂයේ සාමාජිකයන් තුළ තිබූ විශ්වාසය ඔහු විසින්ම මේ වනවිට මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල පවසා තිබේ.
ඒ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදීය. එහි වැඩිදුරටත් පවසා ඇත්තේ අධිකරණ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් පැනවීම දෛවයේ සරදමක් බවය. තමන්ගේ බලය සහ ශක්තිය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීම හේතුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් නිකුත්වීම එතුමාගේ තනතුරටත්, දේශපාලනයටත් කැළලක් ලෙස ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙම නඩු හබ හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට ශ්‍රීලනිප ''අත '' ලකුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමේ අවස්ථාවද අහිමිවනු ඇති බවය.

සන්නස්ගලට ඇප
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලව ඇප මත මුදාහැර තිබේ.
කඳාන පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන්පසු ඔහු වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

අධිකරණ තීන්දුව අනුව ගුරු සේවයට බඳවා ගන්නවා - අධ්‍යාපන ඇමති
සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට 2023 මාර්තු මස තරඟ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහිදී අධිකරණය විසින් පැනවු අතුරු තහනම් නියෝගය හේතු කොට ගෙන පැවැත්වීමට නියමිතව තිබු විභාගය අත්හිටවනු ලැබූ බවයි.
මේ වනවිට එම පෙත්සම් විභාග වන බව ද පැවසීය.
තවද, සංවර්ධන නිලධාරීන්හට අසාධාරණයක් වී ඇති බව පවසමින් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවාට වඩා විවිධ හේතු මත පදනම්ව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති සංවර්ධන නිලධාරීන් මෙම පෙත්සම් ඉවත් කර ගත්තා නම් එම නඩුව අවසන් බවත්, ඊළඟ සති දෙක තුන තුළ ඉදිරි කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසීය.
නැතහොත් අධිකරණය හමුවේ එම පෙත්සම් විභාග වන බැවින් අධිකරණය විසින් ලබා දෙන තීන්දු ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

ඉරාන - ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටෙහි නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවති බවද වාර්තා වෙයි.
එම සාකච්ඡා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙලෙස අත්සන් තැබූ ගිවිසුම් 5 පහතින්,
චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,
මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,
ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම,
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,
සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම

කිරිපිටි මිල පහළට
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවය.
එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

“උමා දිය ජනනි” ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කෙරිණි.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඉරානයේ සහාය නොවන්නට ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳිඔයට ගෙන යාමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. ඒ පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවද පැවසීය.
ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව ආසියානු කලාපයේ ජාතින් අතර උපරිම සහයෝගිතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකමේ සහතිකයක් ද වන බවයි.
ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මෙහිදී සහතික කළ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානමින් සිටින බවද සඳහන් කළේය.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ආචාර්ය ජමිලේ සදාත් අලමොල්හෝදා මැතිණිය ප්‍රමුඛ දූත පිරිස අද (24) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළින් මෙරටට ළඟා වූහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් විසින් එහිදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවේ එක්දින නිල සංචාරයකට එක්ව සිටින අතර 2008 වසරේ අප්‍රෙල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
සිය සංචාරය සනිටුහන් කරමින් ඉරාන ජනාධිතිවරයා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.
මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.
ඉරානයේ ෆරාබ් (FARAB) සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.
2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ. නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් ආරම්භ විය.
විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ.
ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ. මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මම ඉරාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අප දෙරට අතර වඩා සමීප සබඳතාවක් ඇති කළ අවස්ථාවක් ලෙස මා දකිනවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මගේ ධූර කාලයට පෙර සිටි නායකයන් බව කිව යුතුයි. ඒ වගේම වියළි කලාපයට ජලය ලබාදෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්වනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන කටයුතු කළා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප දෙරටටම අභියෝගවලට මුහුණ දී මනා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා අපි මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන්නා.
ඒ වගේම මෙම උමා ඔය ව්‍යාපෘතිය අප දෙරටේම පැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි එකතුවක් ද වෙනවා. ඉරානයේ පරිසියාව සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වාරි සම්ප්‍රදාය මෙහි තිබෙනවා. ඉරානයේ තාක්ෂණික දැනුම නොතිබෙන්නට අපට උමා ඔයේ ජලය කිරිඳිඔයට ගෙන යාමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි.
ඉරානයේ තාක්ෂණික හැකියාව සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිඳී ගොස් තිබෙනවා. ඉරානය සිය රටේ තාක්ෂණික දියුණුව තමන් විසින්ම පවත්වාගෙන යන රටක් බව ද කිව යුතුයි. ඒ නිසා අප දෙරටටම පොදු කරුණු අප විසින් ශක්තිමත් කරගත යුතුයි. අප සියලු දෙනා ගෝලීය දකුණේ රටවල්. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉරානය අපේ රටේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබාදීමට දායක වී තිබෙනවා. එමඟින් එම ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. වියළි කලාපයට ජලය ලබාදීම යනු එම කලාපයේ ජනතාවට ජීවත්විමේ අයිතිය ලබාදීමයි. ගිරුවාපත්තුවෙන් මෙහා මාගම්පත්තුවේ තිබෙන නියඟය නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එසේ නම් අද අප සිදු කර තිබෙන්නේ උඩවලවේ තිබෙන බහුකාර්ය ක්‍රමය, කිරිඳිඔයට ගෙන ඒමයි.
එම වාරි ක්‍රමවේදය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් සඳහා අප දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථිකයක් ලැබෙනවා.
මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර් 6000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන්නේ උඩවලවේ ප්‍රදේශයයි. ඒ වගේම දැන් හම්බන්තොට ප්‍රදේශයේද එම කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සමඟ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන දකුණු පළාත තුළ ද ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා. ගෝලීය දකුණේ දියුණුවන රටවල් ලෙස ඉරානය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මීට වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යමු කියා මම ප්‍රකාශ කරනවා.
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි,
මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.
මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.
ඒ වගේම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වඩා වැදගත් වන්නේ ඒ තුළ පවතින අප රටවල් දෙක අතර සහ ජනතාවගේ කැමැත්ත සහ අධිෂ්ඨානය බව කිවයුතුයි.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව මම ප්‍රකාශ කිරීමට කැමතියි. පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා.
https://www.newstube.lk/news?start=1422#sigProIdbcb67c17bf

කරාපිටිය රෝහලට නවීන CT Scanner යන්ත්‍රයක්
ඉදිරි වසර තුල ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
එම රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම අද (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇති අතර, රෝහලේ විකිරණ විද්‍යා අංශය (Department of Radiology) තුල ස්ථාපිත කර ඇත. පසුගිය සදුදා දින මෙම CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින තෙක් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන ලද අතර, අද දින සිට රෝගීන්ගේ CT Scan පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකි වේ. එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සදහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මීට පෙර ස්ථාපිත කර තිබූ සීට් ස්කෑන් යන්ත්‍රය වසර 15 ක් පමණ පරණ CT Scanner යන්ත්‍රයකි. CT Scanner යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම අංශය සදහා අවශ්‍ය මානව සම්පත් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සංවර්ධන කටයුතු ද මෙහිදී නිරික්ෂණය කරන ලද අතර, දැනට සිදු කෙරෙන ප්‍රතිංස්කරණ කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන ලෙස කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් වෙත උපදෙස් ලබාදෙන ලදි. මෙම වසරේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් යෝජනා වී ඇති වැඩසටහන් රාශියක් අතර, එක් කටයුත්තක් ලෙස මෙම නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් යන්ත්‍රය ලබාදීම පෙන්වා දිය හැකි බවත්, දකුණු පළාතේ ජනතාවට විශාල සේවාවක් සපයන කරාපිටිය ශික්ෂණ රෝහලෙහි පැරණි අබලන් සීටි ස්කෑනර් යන්ත්‍රය වෙනුවට මෙම රුපියල් මිලියන 220 ක් පමණ වටිනා සීටී ස්කැනර් යන්ත්‍රය ලබාදුන් බවත්, ඉදිරි වසර තුල දී රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 100 ක් සහ වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 ක මුදලක් වෙන් කර ඇති බව ද පැවැසීය. නව මහාචාර්ය ඒකකයත්, ශල්‍ය ඒකකයත්, ස්ථාපිත කර රෝහලේ රෝගී තදබදය ද අවසන් කිරීමට පියවර ගන්නා බව පැවැසීය.
මෙම අවස්ථාවට කරාපිටිය ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ ස්.ඩී.යූ.එම් රංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

දමිතාට හා සැමියාට ඇප
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.
ඒ, ඔවුන් අද (අප්‍රේල් 24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙස ය.
කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකාර යුවළට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර තිබිණි.
මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා සැකකාර යුවළ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඇප අයැදුම්පතක් යොමු කර තිබුණ ද අධිකරණය මගින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.
එම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම යුවළ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.

මෛත්‍රීට ස්ථිර අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (අප්‍රේල් 24 වැනිදා) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් 2022 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කළේය.
දිසා විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ 2019 සහ 2021 වසර වල පක්ෂයේ විධායක සභාව පත්වූ ආකාරය පිළිබඳව පෙත්සම්කරු අභියෝගයට ලක්කර ඇති බව ය.
ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කළ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ලේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය පෙනී සිටිමින් පෙරකලාසි ඉදිරිපත් කළාය.
ඉන් අනතුරුව නඩුවට අදාළ උත්තර ජුනි මස 24 වැනි දා ඉදිරිපත් කරන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කළේය.

'Fox Hill Supercross 2024' අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.
මෙම තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 07 දෙනකු ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර පවසයි.
යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේගේ උපදෙස් පරිදි මේජර් ජනරාල්වරයකුගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම කමිටුව පිහිටුවා ඇති බව රසික කුමාර පවසයි.

ඉලක්කවලට නොයන පොලිස් ලොක්කන්ගේ පට්ටම ගැලවෙන ලකුණු !
තමන් බලාපොරොත්තුවල ඉලක්කයට යාමට අපොහොසත්වන පොලිස් නිලධාරින් තනතුරුවලින් ඉවත් කිරිමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
යම් වැඩපිලිවෙලක් සිදුකරගෙන යන විට ඊට සියලු දෙනා එක් විය යුතු බවත් සියලු දෙනාට ලොකු වැඩ කොටසක් පැවරී ඇති බවයි ටිරාන් අලස් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
“පොලිසිය නව ජවයකින් වැඩ කරනවා. මම බලාපොරොත්තුවෙනව ඉලක්කයට යන්න බැරි පොලිස් නිලධාරීන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ගේ තනතුරු වලින් ඉවත් කරනවා. අපි එහෙම වැඩපිළිවෙලක් කරනකොට ඔබ සියලු දෙනාම අපි සමග එක් වෙන්න ඕනේ. සියලු දෙනාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.”
'' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ''
පොලිසියට ගිනි අවි ලබා දී ඇත්තේ බලා සිටිමට නොව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමිට බව ද ටිරාන් අලස් ඇමැතිවරයා අවධාරණය කළේය.
“පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ බල බලා ඉන්න නෙමෙයි, අතගගා ඉන්න නෙමෙයි. තුවක්කුවක් දීල තියෙන්නෙ පාවිච්චි කරන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න. ගම්වල චණ්ඩි ඉන්න බැහැ. මේ පාතාලේ කියන්නේ ගම්වල ඉන්න චණ්ඩි ටිකක් කල් යනකොට සල්ලිවලට මිනී මරනවා.”
ඔහු එම කාරනා සඳහන් කර සිටියේ, නුවරඑළියේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී මෙසේද සඳහන් කළේය.
''මට තිබුණු එකම අභියෝගය තමයි මේ රට නිවන එක''
මේ අමාත්‍යාංශය බාරගන්නකොට මට තිබුණු එකම අභියෝගය තමයි මේ රට නිවන එක. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පාරවල් වල යන්න බැහැ. එක එක ගම් පිහිටුවාගෙන එකම විදේශිකයෙක්වත් මේ රටට ආවේ නෑ, ඔබ සියලු දෙනාම ගෑස් පෝලිම්වල ,පෙට්‍රල් පෝලිම්වල. අන්න ඒ වැනි තත්ත්වයක් තමයි වෙලා තිබුණේ. ඒ වෙලාවේ මම තීරණය කෙරුවා ඒ තත්ත්වය වෙනස් කරන්න දැඩි තීරණ ගන්න ඕනේ කියලා. එහෙම තමයි මහ පාරේ තිබුණු අරගලය මම ඉවර කරේ. ඔබ සියලු දෙනාට තිබුණු අමාරුකම් මම දැනගෙන හිටියා, නමුත් ඒකට විරෝධය ප්‍රකාශ කරන වෙලාවේ , ඒකෙන් දේශපාලන වාසි ගන්න බැලුවා. එක එක චණ්ඩිකම් කරන්න බැලුව මහ පාරේ. ඒ දේවල් වලට ඉඩ තියන්න මට හැකියාවක් තිබුණේ නෑ. අපි රට සමනය කෙරුවා.
ආර්ථිකය ගොඩ ගන්න එක ජනාධිපතිතුමා භාරගත්තා. අපි එහෙම කෙරුවේ නැත්නම් සමහරවිට ඔබ සියලු දෙනා තවමත් ගෑස් පෝලිම් වලයි පෙට්‍රල් පෝලිම් වලයි, මට ඊළඟට තිබුණ ප්‍රශ්නය තමයි මේ රටේ කුඩු ප්‍රශ්නයයි පාතාලයයි. පොලිස්පතිතුමා පත්වෙන්න මාස හයකට විතර කලින් එතුමාගේ සභාපතිත්වයෙන් මම කමිටුවක් පිහිටෙව්වා . එම කමිටුවට මම කිව්වේ මුළු රටේම තත්ත්වය අධ්‍යයනය කරලා මට කියන්න කියලා. අපි ඒක මාස හයක් විතර කෙරුවා. ඒ වෙලාවේ මට අවශ්‍යතාවය තිබුණා මෙතුමාව පොලිස්පතිතුමා බවට පත්කරන්න. මෙතුමා පොලිස්පති ධූරයට පත් වෙනවාට විරෝධය පෑවේ මේ වැඩකටයුතු ටික හරියට කරගෙන යනවට අකමැති උදවිය. කොහොම හරි අපි මෙතුමාව පොලිස්පති ධූරයට පත් කරගෙන ඊට පස්සේ මම මෙතුමාට කිව්වා මට එක දවසක මුළු දකුණු පළාතම ආවරණය වෙන පරිදි මෙවැනි සම්මන්ත්‍රණ තියන්න ඕනේ කියලා. අපි පසුගිය දෙසැම්බර් 16 වෙනිදා මෙවැනි සම්මන්ත්‍රණ හතරක් දකුණු පළාතේ තිබ්බා. එහෙම තියලා තමයි අපි රටට දැනුම් දෙන්නේ පහුවදා ඉඳන් අපි යුක්තිය මෙහෙයුම පටන් ගන්නවයි කියලා. අපි දැන් මාස හතරක් විතර වෙනවා යුක්තිය මෙහෙයුම පටන් අරගෙන. ඔබේ ප්‍රදේශයේ කුඩු අඩු වෙලාද පාතාලේ අඩුවෙලාද කියලා ඔබ හොඳටම දන්නවා දැන්.
අපි ඉස්සර ප්‍රජා පොලිස් කමිටු පිහිටවපු විදිය මම වෙනස් කෙරුවා. ඒකටත් මම පොලිස්පතිතුමා පොලිස්පති වෙන්න ඉස්සෙල්ල මං එතුමාට තමයි බාර දුන්නේ අලුත් ක්‍රමයක් හදන්න කියලා ඒක අපි අවසන් කෙරුවේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ . හැබැයි දැන් පොලිස්පතිතුමා මට දැන් කිව්වා ප්‍රජා කමිටු පිහිටුවීම හරියට සිදුවෙලා නෑ කියලා.
''මැයි 31 වෙනකොට ජේෂ්ඨ නිලධාරීන් වැඩේ හරියට කරලා නැත්නම් ඒගොල්ලන්ට ඒ පළාතේ ඉන්න බෑ. ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ.''
''මං අද පොලිස්පතිතුමාට කියනවා මැයි 31 වෙනකොට ජේෂ්ඨ නිලධාරීන් වැඩේ හරියට කරලා නැත්නම් ඒගොල්ලන්ට ඒ පළාතේ ඉන්න බෑ. ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. හරියට ප්‍රජා පොලිස් කමිටු පිහිටවලා අපිට වුවමනා වෙලා තිබුණු ඔබ සියලු දෙනාම එක්ක එකතු වෙලා මේ වැඩේ හරියට කරන්න. මේ වෙනකොට සන්තෝසයි අද වෙනකොට විශාල වෙනසක් පෙන්නලා තියෙනවා. මේ අප්‍රේල් මාසෙ වෙනකොට මට පෙනිලා තියෙනවා රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. නමුත් හිතන්න එපා මේක හරි ලේසි වැඩක් කියලා. මේක පටන් ගත්තු වෙලා ඉඳලා මට තිබුණු විරෝධය ඉතා විශාලයි.''
ජාත්‍යන්තරය විසින් මට ලියුම් එව්වා පොලිස්පති තුමාට ලියුම් එව්වා ජනාධිපතිතුමාට ලියුම් එව්වා මේක නවත්තන්න කියලා. පොලිස්පතිතුමාට විරුද්ධව විවිධාකාරයේ වැඩ කෙරුවා. ඒ ඔක්කොම පිටිපස්සේ තිබුනේ කුඩු සල්ලි. සමහරු නීතිඥවරු වෙන්න පුළුවන් සමහර බලවත් අය වෙන්න පුළුවන් ඒ සියලු දෙනාම කුඩු සල්ලි වලින් යැපෙන අය තමයි මේ විරෝධය ප්‍රකාශ කළේ. මං ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා මං මේ ඇමතිකමේ ඉන්නකම් මොන බලවතා මොන විදියට බලපෑම් කෙරුවත් . මම මේ රට කුඩු වලින් හා පාතාලේ මුදවා ගෙන තමයි නතර කරන්නේ.
පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ බල බලා ඉන්න නෙමෙයි, අතගගා ඉන්න නෙමෙයි. තුවක්කුවක් දීල තියෙන්නෙ පාවිච්චි කරන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න. ගම්වල චණ්ඩි ඉන්න බැහැ. මේ පාතාලේ කියන්නේ ගම්වල ඉන්න චණ්ඩි ටිකක් කල් යනකොට සල්ලිවලට මිනී මරනවා. එහෙම තමයි පාතාලේ හැදෙන්නේ. ඉතින් පොලිසිය වැටිලා තිබුණු තත්ත්වය ඔබ සියලු දෙනාම දන්නවා. ඔබ මාධ්‍යයෙන් දකින්න ඇති අරගල කාලේ පොලිස් නිලධාරීන්ට මහපාරේ සැලකුවේ කොහොමද කියලා. ඒ තත්වයට පොලිසිය වැටිලා තිබුණේ. අපි අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. පොලිසිය නව ජවයකින් වැඩ කරනවා. මම බලාපොරොත්තුවෙනව ඉලක්කයට යන්න බැරි පොලිස් නිලධාරීන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ගේ තනතුරු වලින් ඉවත් කරනවා. අපි එහෙම වැඩපිළිවෙලක් කරනකොට ඔබ සියලු දෙනාම අපි සමග එක් වෙන්න ඕනේ. සියලු දෙනාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.
තමන්ගේ ප්‍රදේශය තුළ කුඩු විකුණන අය ගැන පාතාල ක්‍රියාකාරකම් කරන අය ගැන අපිට දන්වන එක විතරයි සියලු දෙනාට කරන්න තියෙන්නේ. ඉතුරු හරිය අපි කරන්නම්. පොලිස්පතිතුමා දුන්නු අංකය හරහා අපිට දැනුම් දෙන්න. මම මේ ඇමතිකමේ ඉන්නකම් මොන ජගත කෝල් කෙරුවත් ගැලවීමක් නෑ.ඉතින් ඒක හින්දා අපිට මේ කමිටු සාමාජිකයන්ට කියන්න තියෙන්නේ තොරතුරු එකතු කරන්න.එකතු කරලා අපිට කියන්න. තමන්ගේ පලාතේ හඳුනන්නැති කවුරු හරි ඇවිල්ලා සැකකටයුතු විදියට ගැවසෙනවා නම් අපිට කියන්න. ඒ විදිහට කිව්වොත් තමයි තමන්ගේ ගම බේරගන්න පුළුවන්.
අපි මේ සියලු දේවල් කරන්නේ අපිටත් ජීවිත තර්ජන තියාගෙන .මට ලියුම් එවනවා ටෙලි ෆෝන් කෝල් එනවා . එවැනි තර්ජන මැද අපි මේ දේ කරන්නේ ඔබ වෙනුවෙන් ඔබලාගේ දූ දරුවන් වෙනුවෙන්, ඔබලාගේ පවුල් වෙනුවෙන්. අපි දන්නවා ලංකාවේ පවුල් කොච්චරක් කැඩිලා තියෙනවද මේ කුඩු ප්‍රශ්න හින්දා. අම්මලාට කිසිම දෙයක් තියාගන්ඩ බෑ ඒක උස්සගෙන ගිහිල්ලා විකුණනවා. සාරිය පවා විකුණනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න තමයි අපි මේ දේ පටන් ගත්තේ. ඉතින් ඔබ සියලු දෙනාට කරන්ඩ තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන්න. තමන්ගෙ දරුවට පවුලට රටට ආදරේ නම් අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න උදව් කරන්න.
මේ රටේ කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් අපි දැක්කා. ඉතින් මම පොලිස්පතිතුමාට කිව්වා ඒකට අපි වෙනම දුරකථන අංකයක් දීලා කාන්තාවන්ට හා ළමයින්ට තියෙන හිංසනය නැති කරන්න. අපි දන්නවා බස්වල කෝච්චි වල යනකොට මහ පාරේ යනකොට තියෙන ප්‍රශ්න. ඒවා නැති කරන්න අපි පටන් ගත්තා වැඩපිළිවෙළක්. කාන්තාවන් සියලු දෙනාම බය නැතුව අපිට කතා කරලා කියන්න තියෙන ප්‍රශ්න ගැන.
අපි මේ සියළු දේම රැයක් දවාලක් නැතුව කරන්නේ මේ රටේ මහජනයා වෙනුවෙන් ඉතිං අපිට කියන්න තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපිට උදව් කරන්න තොරතුරු සපයන්න.

'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ඇරඹේ - ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්
ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමගින් 'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ('ශ්‍රී රාමායණ මංපෙත්'- Shree Ramayan Trails sri Lanka) ව්‍යාපෘතිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (21) නිල වශයෙන් ආරම්භ කරනු ලැබිය.
ඉන්දයාවේ අයෝධ්‍යා හී සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්‍ෂේත්‍ර භාරයේ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊට අදාල උත්සවය සංවිධානය කර තිබිණ.
ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමට අඩිතාලම දමමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේත් සංස්කෘතික හා අධ්‍යාත්මික ක්ෂේත්‍රයේත් සුවිශේෂී සිදුවීමක් සිදු වන ඓතිහාසික දිනයක් ලෙසින් මෙම දිනය ඉතිහාසයට එකතු වනු ඇති බව අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන් ටාජ් සමුද්‍රා හි ඊයේ (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයකි.
ඉංදියාව හා ශ්‍රී ලංකාව එක්වී රාමායණ පුරාවෘතයට නව මානයන් එක් කරමින් එය ආගමික සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් පෝෂණය කර වර්තමාන හා අනාගත පරපුරට ලබා දීම සඳහා ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ('ශ්‍රී රාමායණ මංපෙත්') ව්‍යාපෘතියේ මුලික අරමුණ බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශවිය.
රාමායණ වීර කාව්‍යයේ අධ්‍යාත්මික හා ඓතිහාසික සාරය විදහා දක්වමින්, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාත්මික ස්මාරක නවයක් (09) ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක ඉඳිකිරීම 'ශ්‍රී රාමායණ මංපෙත්' ව්‍යාපෘතියේ අරමුණකි.
එසේම, මෙම ව්‍යාපෘතියේ ගොඩනැගිලි ව්‍යුහයන් පමණක් නොව, එය පැරණි අධ්‍යාත්මිකත්වය, නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයන් සහ AI තාක්ෂණයෙන් නිර්මාණය ඇතුළු අති නවීන තාක්‍ෂණය සමඟ මිශ්‍ර කර මැකී ගිය ඓතිහාසික සිද්ධීන් සජීවිකරණය කර ප්‍රේක්ෂකයින්ට තිලිණ කිරීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදුකිරීමට නියමිතය.
එහිදී, මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා සෑම භූමි අඩවියක්ම තෝරාගෙන ඇත්තේ රාමායණ කතාවේ කොටස් ස්පර්ශ කළ හැකි හා පරිවර්තනීය ලෙස එම පුරාවෘතය වර්තමාන සමාජයට පැවසීමට ය. මෙම භූමි අඩවි සංස්කෘතික උරුමයන් සහ අධ්‍යාත්මික අභ්‍යන්තර තොරතුරු විශ්ලේෂණය කිරීමට වඩාත් පහසු හා විධිමත් මාර්ගෝපදේශ සපයන ප්‍රදීපාගාර ලෙස ක්‍රියා කරනු ඇති අතර, ලොව පුරා සිටින සුව සහසක් සංචාරකයින් අතිශයින් ආකර්ෂණය කරන්නාවු සංචාරක මධ්‍යාස්ථාන බවට පත් වනු ඇතිබව මෙහි සංවිධායකයින්ගේ අදහසයි.
ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන් විසින් ශ්‍රී ලංකාවේ සිය මංගල සංචාරයේදී අනුමත කරන ලද මෙම ව්‍යාපෘතිය දිවයිනේ සංචාරක ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට නියමිත බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන 'ශ්‍රී රාමායණ මංපෙත්' ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන් පැවසුහ.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ්, හිටපු කතානායක කරු ජයසූරිය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ නෙරංජන් දේවාදිත්‍ය මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය. ශ්‍රී ලංකාව ලොව පුරා අධ්‍යාත්මිකත්වය සහ සහෝදරත්වය සඳහා වඩාත්ම කැමති ගමනාන්තය බවට පත් පත් කරන්නට කැපවෙමු යයි මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් වරයා පැවසිය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසුරිය ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
jaishreeram.lk වෙබ් අඩවියද ඊයේ පැවති මාධ්‍යහමුවේදී නිලවශයෙන් එළිදැක්විණ.

විමල්ගේ පළුවක් ආණ්ඩුවට : ඩලාගේ පළුවක් සජබ ට !
සමහර කෑලි තියෙනවා කොහෙත්ම හලන්න බැරි. කපලාවත් අයින් කරන්න බැරි. නැකත් කියන්නෙත් එහෙම දෙයක් . විශේෂයෙන් දේශපාලනඥයින් ට. ඉතිං මේ පාර, මැදියම් රැයේ යෙදී තිබුණු අවුරුදු නැකැත් නිසා වැඩිපුරම කලබලවෙලා තිබුනේ දේශපාලනඥයෝ.
කොයි නැකත සුබ වෙයිද කියලා දැනගන්න විදියක් නැතුව බොහෝ දේශපාලනඥය නැකැත් දෙකටම කිරි උතුරුවලා,. ඒ අතරේ සමහරු ගම්බිම් බලා ගියත් තවත් දේශපාලනඥයන් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුදු නිවාඩුව වෙනුවෙන් රට රටවල විනෝද චාරිකා යොදාගෙන තිබුනා.
ඔන්න එහෙම රටගිය ඇත්තෝ ඊයේ පෙරේදා වෙනකොට ආයෙමත් එන්න පටන් අරන්.. ඒ ආපු වෙලාවේ ඉඳලා , එහෙමෙහෙ දුවන්නේ කොහොම හරි මැයි දිනේ ගොඩ දාගෙන තමතමන්ගේ හයිය පෙන්නන්න.
මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ තමන්ගේ මැයි දින රුලි පැවැත්වීමට ස්ථාන වෙන්කර ගැනීම සඳහා ඉකුත් සතියේ කටයුතු කරමින් හිටියා. මේ අතර බොහෝ දේශපාලන පක්ෂ මහා මාර්ග ඇතුළු ප්‍රධාන ස්ථානවල සිය මැයි රැලි පැවැත්වීම සඳහා අවසර ඉල්ලා තිබුනා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීම පිළිබඳ අවසන් තීන්දු අරගෙන.
මෙහිදී බොහෝ පක්ෂ මැයි රුලි පැවැත්වීම සඳහා මහා මාර්ග ඉල්ලීම සුවිශේෂී තත්ත්වයක් . ඒ අනුව, ජාතික ජන බලවේගයට නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයක් කොළඹ මැයි රැලිය වෙනුවෙන් ලැබිලා. සමගි ජන බලවේගයේ ඉල්ලීමත් ඉටු වෙලා.
සමගි ජන බලවේගය මෙවර ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්විය යුතුය යන හැඟීමෙන් බරටම වැඩ. ලක්ෂයකට අධික පිරිසක් සිය මැයි රැලියට ගේනවා කියලා , සජබ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී මරික්කාර් කියනවා.
මේ අතර පොහොට්ටුවේ මැයි රැලිය සඳහා කැම්බල්පිටිය වෙන්කරගෙන. ඔවුන්ද සිය හයිය පෙන්වීමට මෙවර මැයි රැලිය යොදාගෙන..
“තිස්සෙන් එහෙම කට්ටිය ගේන්න සෑහෙන්න වියදමක් දරන්න වෙනවා. බස් එකකට ලක්ෂයකට අධික වියදමක් යනවා."
පසුගිය හිස තෙල් ගාන නැකැත යෙදුණු දා ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවක නාමල් රාජපක්ෂ කියලා .
“අපි නම් මේ පාර මැයි දින රැලි හතරක් සංවිධානය කරනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් අපිට නෑ." - ආරංචි අනුව නලින්ද , නාමල්ට කියලා.
ආරංචි විදියට UNP එකත් මෙදාසරේ ලොකුවටම බැහැලා .. බස් 2000 ක් සෙනග ගෙන්න වජිර බාර අරගෙන ලු. කොළඹින් 50,000 විතර ගේන්න රවී ට කියලා .
ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන ජනාධිපතිවරයා, මැයි මස මැදදී සිය අපේක්ෂකත්වය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කරන්න යනවා කියලත් රාවයක් යනවා.
ඔන්න ඒ අස්සේ, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් ඉදිරි මැයි දිනය කිරුළුපණ ක්‍රීඩාංගණයේ දී එකතුවෙලා තියන්න සැලසුම් කරලා .
මුලදී ඒ සඳහා සහභාගි වන බවට සූදානමක සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් අරගෙන නෑ කියලයි ආරංචිය .
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (22 වැනිදා) නිදහස ජනතා සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි කියලත් වාර්තා වෙනවා .
දයාසිරි ජයසේකරගේ ‘මානුෂීය ජනතා සන්ධානය’ හා විමල් වීරවංශගේ උත්තර ලංකා සභාවේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවකුත් අද ම දාගෙන කියලත් ආරංචියි.
ඔය විමල්ලාගේ කණ්ඩායම් සියල්ල එකතු වී ඉදිරි මැතිවරණයන් සඳහා මුහුණ දීමට නව සන්ධානයක් පිහිටුවීම ගැනත් මේවෙනකොට සාකච්ඡා පවත්වමින් ඉන්නවා.
නමුත්, විමල් පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ වෙත ත්, ඩලස් පාර්ශවයේ ඇතැමුන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වෙතත් සහය පලකිරීමේ සුදානමක් ගැනත් කනින් කොනින් වාර්තාවෙනවා.
තත්ත්වය සමනය කිරීමට නම් ඉහත නම් සඳහන් නොකෙරුන පුද්ගලයෙකු පොදු අපේක්ෂක ලෙස වරම් ගැන්විය යුතු බවටද මේ සෑම පාර්ශවයකම අවධානය යොමු වෙලා.
ඔය විදියට බලනකොට එළඹෙන මැයි මාසය ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ තීරණාත්මක මාසයක් වෙන්න නියමිතයි .
එසේම ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිල දේශපාලන මෙහෙයුම් රැසක් මැයි මාසය තුළදී ආරම්භ වෙන්න නියමිතයි කියලත් වාර්තා වෙනවා.
මේ අහන්න දකින්න තියෙන ඒවා එක්ක ඉතිං , පක්ෂ විපක්ෂ කස්ටිය හැරෙන්නේ මොකකටද කියලා තේරුම් ගන්න අමාරු නෑ . කාගෙත් ට්‍රයි එක මැයි දිනය පදනම් කරගෙන හොඳ පොලිටිකල් මොරාල් බූස්ට් එකක් ගන්න . ඒ ගැම්මෙන් 2024 ජනාධිපතිවරණය ගොඩදාගන්න .

මුදලට තරග පාවාදීම : ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවන් දෙදෙනෙකුට අධි චෝදනා !
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිට, එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩකයින්ට බලපෑම් කළ බව කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා, අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක නීතිපතිවරයා වෙනුවෙන් මෙසේ අදහස් දැක්වූ අතර මුදලට තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධව අධිකරණය මඟින් පනවා ඇති රටින් පිටවීමේ තහනම ඉවත් කරවා ගැනීමට සැකකාර ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් ගොනු කළ විශේෂ මෝෂමට විරෝධය ද පළකර සිටියේ ය.
මෙම නඩු දෙක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර සැකකාර කළමනාකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ තහනම් නියෝග ඉවත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ උදාර කරුණාතිලක ක්අළ්ධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග වරුසවිතාන ක්‍රීඩකයාට බලපෑම් කළ ඉන්දියාවේ කෑන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල්ට පසුගිය 16 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බවය.
2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා නඩුව ගොනුකර ඇති බවද සඳහන් කළේය.

තවත් ඔන්ලයින් මුදල් වංචාකරුවෙක් මාට්ටු !
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට ප්‍රකාශය කරමින් මුදල් වංචා කළ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
එසේම මෙම සැකකරු වාහන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාගයකට අදාළව අධිකරණය මගහැර දීර්ඝ කාලයක් සැඟව සිට ඇති බව ද පොලිසිය පවසයි.
එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකදී තිහගොඩ පොලීසිය විසින් මෙම සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී ටැබ් පරිගණකයක්, ජංගම දුරකථන හයක්, විවිධ බැංකු කාඩ්පත් අටක් සහ මුදලින් රුපියල් හතලිස්දහසක් පමණ පොලීසිය භාරයට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ සැකකරු විසින් ඔන්ලයින් ණය ලබාදෙන මුවාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ණය සේවා ගාස්තු ලෙස රුපියල් 3000 සිට 5000ක් දක්වා වූ මුදලක් විවිධ බැංකු වෙත බැර කරවාගෙන ඇති බවය.
අනතුරුව ණය මුදල් ලබාදීමක් සිදු නොකර අදාළ ණය ඉල්ලුම්කරුවන් මගහරිමින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මේ සඳහා සැකකරු මුහුණුපොත සහ වට්ස්ඇප් භාවිතයට ගෙන ඇති බවට හෙළිවී ඇත.
සැකකරු අද (22) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

විජේදාස ගේ පත්වීමට තිලංගගෙන් බාල්දියක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ, එම පක්ෂයෙන් කැඩී ගිය කොටස් කිහිපයක් සමගි ජන බලවේගය සහ ලංසා කඳවුරේ නව සන්ධානය සමඟ එකතුවෙන සාකච්ජා පටන් අරගෙන.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් ගිය සතියේ වාර්තා වූනා. හිටපු ජනාධිපති සිරිසේනට පනවා තිබූ පක්ෂ සභාපතිත්වය තහනම දීර්ඝ කිරීමට අධිකරණය කටයුතු කළා.
පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දන්වා තිබුණේ සභාපතිවරයාගේ අනුදැනුමින් තොරව රැස්වූ දේශපාලන මණ්ඩලේ පත්වීම් නීත්‍යානුකූල නෑ කියලා . මේ අතර පක්ෂයේ නව පත්වීම් ලද පිරිසත් මැතිවරණ කොමිසම වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනා.
මෙම දැන්වීම සම්බන්ධ ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියලා තිබුනේ, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නෑ කියලා. ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට කියලා තිබුනා.
කොහොම වුනත් ඊයේ පෙරේදා ශ්‍රීලනිප අවුලේ අලුත් පොලා පැනීමක් සිද්ධ වුනා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති විදියට පත්කර ගෙන. ඊට පස්සේ අධිකරණ ඇමති එයාගේ පිරිසක් සමග පක්ෂ මූලස්ථානය ට ඇතුල්වෙන්න හදද්දී , පොලිසියෙන් ඉඩදීලා.
'' පක්ෂ මූලස්ථානය ට ඇතුල්වෙන්න බෑ කියලා අධිකරණ වාරණ නියෝගයක් නෑ .. අපි මේ ගැන පොලිසියට විරුද්ධව FR එකක් ෆයිල් කරනවා '' - විජේදාස එතනදී පොලිසියේ ලොක්කෙකුට කියලා තිබුනා. විජේදසගේ චෝදනාව එල්ලවෙලා තිබුනේ පොලිස් ඇමති ටිරාන්ට..
කොහොම වුනත් ඊයේ වෙච්ච සීන් එකට මෛත්‍රී පාර්ශවයේ උප සභාපති තිලංග ඉන්නෙත් ලොකු අවුලක.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා කැඳවූ රැස්වීම අනීතික විධායක සභා රැස්වීමක් කියලා තිලංග සුමතිපාල කියනවා.
'' කවද්ද විජේදාස ශ්‍රී ලංකා එකට බැඳුනේ .. එයාට සමාජිකත්වේ දුන්නේ කව්ද ? '' - තිලංග අහනවා.
ආරංචි හැටියට විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා එකේ සමජිකත්වේ ගත්ත ද කියලා අහලා පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් අද හෙට විජේදසට ලියුමක් යවන්න ලු හදන්නේ. එහෙම ලියුමක් යවලා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙන්නේ බැසිල් ලු.
- ----------
ඒ කතා කොහොම වුනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක නම් කියන්නේ , පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8 කට ශ්‍රීලංකා එක විජේදාසට විකුණලා ද කියලා සැකයක් මතුව තියනවා කියලයි.
“විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සාමාජිකයෙක් ද?”
මෛත්‍රීපාල සිරිසේන සමග සිටගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කරලාවත් නැති බව දුමින්ද කියනවා.
“නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය වික්කා. අද පාස්කු ප්‍රහාරයට අවු. 5 යි. වින්දිතයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මිලියන 100 ක් ගෙවන්න තියෙනවා, මිලියන 15 යි ගෙවලා තියෙන්නෙ. තව මිලියන 85 ක් ගෙවන්න තියෙනවා. හෙට කිව්වොත් කවුරුහරි මිලියන 85 ක් ගෙවන්නම් කියලා.. ඒ මිනිහටත් මේ පක්ෂෙ දෙයි නෙ. එහෙම පක්ෂෙ දන්දෙන්න පුළුවන් ද?” - දුමින්ද අහනවා.
දුමින්දලා- තිලංගලා එහෙම කියද්දී විජේදාස නම් කියන්නේ වෙනම කතාවක්.
'' නිමලු යි - අමරවීර යි , දුමින්ද යි - ලසන්ත යි හදන්නේ ශ්‍රී ලංකා එක UNP එකට අරගෙන යන්න . ඔය තිලංග හදන්නේ ශ්‍රී ලංකා එක සජබෙට ගැටගහන්න . එහෙම ගැටගහලා ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් ගන්න. ඔය හතර පස්දෙනා හැරෙන්න, ශ්‍රී ලංකා එකේ හැමෝම ක් ඉන්නේ , ඔය කාටවත් ජැක් ගහන්නේ නැතුව ශ්‍රී ලංකා එක ගොඩදාමු කියන ස්ථාවරේ. අනික රනිල් ජනාධිපතිවරනෙට එන්නේ නෑ ..රනිල් තව ටික දවසකින් ඕක කිව්වම තමයි අමරවීර ලට උණ හැදෙන්නේ '' - ඔන්න ඔහොම , විජේදාස ඊයේ මාධ්‍ය සාකච්ජාවෙන් පස්සේ , මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුට වෙනම කියලා .
වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙකුට කැබිනට් එකේ ඉන්න බැරිකමක් නෑ කියලත් විජේදාස කියනවා. '' ජනාධිපතිතුමා මේ දැනුත් මට කතාකලා .. එතුමාට නම් මේවා ප්‍රශ්නයක් නෙමෙයි.. '' විජේදාස එහෙමත් කියලා .
- දේශපාලන වාර්තාකරු

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
මුතියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය මුරුංදෙණියේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.
Page 80 of 464