ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.

ඉරානයේ අනුග්‍රහය ලබන යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් අමතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

කැනඩාවේ,වීථි සැණකෙළියක් අතරතුර රිය අනතුරක්

කැනඩාවේ වැන්කුවර් නුවර පැවති වීථි සැණකෙළියකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැන්කුවර් නුවර පදිංචිකරුවෙකි.

පිලිපීනයේ විශාලතම සැමරුමක් ලෙස සැලකෙන, ලපු ලපු දින සැමරුමක් කැනඩාවේ වැන්කූවර් නුවර පැවැත්වෙන අතරතුර අනතුර සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය ශෝකය පළ කළේ ය.

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක අගයක් සටහන් වී ඇති බවයි.

තවමත් හානි පිළිබඳ නිෂ්චිත වාර්තා ලැබී නොමැති වුවත්, ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත වියහැකි ගොඩනැගිලිවලට නොයන ලෙසයි.

භූමිකම්පාවට මුහුණදුන් ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ වසර හයක් තුළ මෙතරම් ප්‍රබල භූමිකම්පාවකට තමන් කිසිදා මුහුණ දී නොමැති බවයි.

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරගයක්

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී ඊයේ  (19) පවත්වා තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි.

මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

2025 04 19t025815z 438498506 rc2q0eaifagb rtrmadp 3 athletics china robots 1536x1044

කොලොම්බියාවේ කහ උණ වසංගතයක්

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වන විට රෝගීන් 74ක් හමු වූ බවයි.

ඉන් පුද්ගලයන් 34දෙනෙක්ම මියගොස් තිබෙයි.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට මෙම අවදානම් තත්ත්වය උද්ගත වී තිබෙන බව වාර්තා වෙයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ගාසා වැසියන්ට ඊශ්‍රාලයෙන් දැඩි බලපෑම්

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර,  ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය අධාර අවශ්‍ය කෙරෙන බවයි එම සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ මාර්ග ද අවහිර කරමින් ඊශ්‍රායලය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් විදෙස් වාර්තා සදහන් කරයි.

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

එරට වේලාවෙන් අද (05) උදෑසන මෙය ඇති වී ඇති බවයි සඳහන් වෙයි.

පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුවී ඇත.

එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇතිව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම භූමිකම්පාවෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ද ඇති වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ දත්තවලට සඳහන් වේ.

භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම සමීක්ෂණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

කෙසේ නමුත් ඉන් අනතුරුව එම සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බවයි සඳහන් වෙයි.

දකුණු කොරියානු ජනපති ඉවතට‍

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කර තිබේ.

එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කෙරුණි.

තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 08 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසින් වන අතර, එහිදී ඔවුන් 08 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 03දාය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.

ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි එතෙක් ධුරයේ කටයුතු කරනු ඇත.

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට තහවුරුවී තිබේ.

කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රෝහල් පද්ධතිය ද අර්බුදයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

භූකම්පනයෙන් රෝහල් ගොඩනැගිලි ද හානියට පත්ව ඇති අතර බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම සංවිධානය පවසයි.

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයෙන් දැඩි හානි

මියන්මාරයේ ඇති වූ භූ කම්පන තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එමෙන්ම තවත් පුද්ගලයින් සිය ගණනින් තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර අද දෙරණ කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවය.

එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී ඇත.

ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරුණි.

59 වන වියේ පසුවන මාර්ක් කාර්නි ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ.

පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ පනස්දෙදහසකට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරගයක දී වැඩි ප්‍රතිශතයක් අත්කර ගැනීමට ඔහුට හැකිවී ඇත.

ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබාගත් කාර්නි මෙසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බව කැනඩා වාර්තා සඳහන් කරයි.

ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලන නවකයෙකු වන මාර්ක් කානි කැනඩාවේ සහ එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කර තිබේ.

දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව අදහස් පළ කරමින් කැනඩා අගමැතිවරයා පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.

එක්සත් ජනපදයට සහ ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරන බව ද කැනඩා නව අගමැතිවරයා එහිදී පවසා තිබේ.

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් බ්‍රිස්බේන් ප්‍රදේශයට දැඩි බලපෑම්

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් තිබෙන අතර, සුළගේ වේගයද ඉහළගොස් තිබේ.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ද සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි වාර්තා වෙයි.

ඒ අනුව එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි ඇණහිට තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත්කර ඇත.

කුණාටුව ක්වීන්ස්ලන්ඩ් අගනුවර සිට බ්‍රිස්බ්‍රේන් දෙසට ගමන් කරමින් පවතින අතර ප්‍රදේශයේ මිලියන 4ක පමණ ජනතාවක් මෙහි බලපෑමට ලක්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුළි කුණාටුව අත්ලාන්තික් ද්‍රෝණියේ නිවර්තන කුණාටුවකට සමාන බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.

කෙසේ වුවද සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බව පුරෝකතනය කෙරේ.

එමෙන්ම වෙරළ තීර ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000ක දඩයක් පැනවීමටත් බලධාරින් තීරණය කර ඇතැයි සඳහන් වේ.

නවදිල්ලි දුම්රිය ස්ථානයේ මගී තෙරපුමක්

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රයාග්‍රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්වේ.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇත.

පාප්වහන්සේ අසනීප වී රෝහල් ගත කරයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උන්වහන්සේට උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

එමෙන්ම පාප්වහන්සේ මීට පෙර බ්‍රෝන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලබා ඇත.

විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේව මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ලම අවලංගු කර ඇති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න