“ලෝකයේ හොඳම විනිසුරු” අභාවප්‍රාප්ත වෙයි

දයානුකම්පිත අධිකරණ තීන්දු හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ අමෙරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු සිනහවකින් යුක්තිය පසිඳලන වීඩියෝ සමාජ මාධ්‍යවල බිලියනයකට වඩා නරඹා තිබීමත් සමඟ ඔහු “ලෝකයේ හොඳම විනිසුරු” ලෙස ආදරයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මිලියන 3.2 ක අනුගාමිකයින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සිටියි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. දීර්ඝ කාලීනව අග්න්‍යාශ පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රෑන්ක් කැප්‍රියෝ යනු අමෙරිකානු නීතිඥයෙක් සහ විශ්‍රාමික මහ නගර අධිකරණ විනිසුරුවරයෙකි.

ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වුණේ, “Caught in Providence” නමැති රූපවාහිනී වැඩසටහන හේතුවෙනි.

මෙම වැඩසටහනින් ඔහු අධිකරණයේදී විවිධ පුද්ගලයන් සමඟ කතා කරන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වුණි.

“ලෝකයේ හොඳම විනිසුරු” අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවට දරුණු ගංවතුරක්......

ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඊයේ (16) සහ අද දිනයේදී මෙම ආපදාව සිදුව ඇත.

අධික වර්ශාවත් සමග ඇති වූ නායයාම් හේතුවෙන් මෙම මරණ වාර්තා වී ඇත.

එමෙන්ම මෙම ආපදාවෙන් පුද්ගලයින් පස් දෙනෙකුද තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාපතනයක් ඇදැ හැලෙනු ඇති බවත් සිදුවිය හැකි ආපදාවන්වලින් ආරක්ෂා වන ලෙසත්ය.

එමෙන්ම ගංගා, ඇළදොළ, සහ අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිටීමෙන් වළකින ලෙසත් කඳුකර සහ නායයෑම් සහ අනෙකුත් අවදානම් සහිත ප්‍රදේශවලින් වැළකී සිටින ලෙසත් එරට මහජනතාවට අනතුරු අඟවාද තිබේ.

මේ අතර පසුගිය 14 වැනි දින ජම්බු හා කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයට බලපෑ වළාකුළු පිපිරීමේන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

ඉන්දියාවට දරුණු ගංවතුරක්......

ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වූ බවය.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.

ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Tomorrowland වේදිකාව ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tomorrowland වේදිකාව ගිනිගනී

ඇමරිකාවේ භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන ඇත.

රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම නිසා ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ඇමරිකාවේ භූ කම්පනයක්

ටෙක්සාස්හි දරුණු ගංවතුරක්

මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක බවත් ය.

කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක මියගිය ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු බව තහවුරු වී තිබේ.

තවමත් ළමයින් 10 දෙනෙකු සහ උපදේශකවරයෙකු අතුරුදහන් බව වාර්තා වේ.

කාළගුණ අංශ පවසන්නේ තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කරන බවයි. මේ නිසා හදිසි ගංවතුර හටගැනීමේ අවදානමක් ද පවති.

ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේද යන්න පිළිබඳව මේ වන විට ගැටලු මතු වී ති‌බේ.

ධවල මන්දිරය පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් මේ සති අන්තයේ ගංවතුරින් විනාශ වූ ප්‍රදේශ වෙත යාමට සැලසුම් කර ඇති බවයි.

ටෙක්සාස්හි දරුණු ගංවතුරක්

ඉන්දියාවේ කම්හලක දැවැන්ත ගින්නක් !

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි ඖෂධ කම්හලක දැවැන්ත පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් 34දෙනෙක් මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ 100 කට අධික පිරිසක් සේවය කරමින් සිට ඇති අතර, ඉන් 27 දෙනෙක් අතුරුදන්ව ඇත.

පිපිරීමේ බලපෑමෙන් කඩාවැටුණු තෙමහල් ගොඩනැගිල්ලක සුන්බුන් ඉවත් කරමින් සේවකයන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

මියගිය සහ තුවාල ලැබූ බහුතරයක් බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ඔඩිෂා වැනි ප්‍රාන්තවලින් පැමිණි සංක්‍රමණික සේවකයින්ය.

පිපිරීමත් සමඟ ඇතිවූ ගින්නෙන් හඳුනාගත නොහැකි ලෙස කැඩුණු සහ පිලිස්සුණු ඇතැම් සේවකයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය දමෝදර් රාජා නරසිංහ පැවසුවේ, පිපිරීමට හේතුව මෙතෙක් තහවුරුවී නොමැති බවයි.

අවුරුදු 40-45 ක් පැරණි මෙම සමාගම ක්ෂුද්‍ර ස්ඵටිකරූපී සෙලියුලෝස් නිෂ්පාදනය කරන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ කම්හලක දැවැන්ත ගින්නක් !

දකුණු කොරියානු නව ජනපති දිවුරුම් දෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බවයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කර තිබෙයි.

දකුණු කොරියානු නව ජනපති දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ දරුණු සුළි කුණාටුවක්.....

අමෙරිකාවට බලපා ඇති සුළි කුණාටුවක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 25 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙන්ටකී, මිසුරි, වර්ජිනියා, ඉලිනොයිස්, ඉන්දියානා ඇතුලු ප්‍රාන්ත රැසකට ඉන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 5000 කට පමණ හානි සිදුව තිබේ.

විදුලිය විසන්ධි වී ඇති නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුලු ගොඩනැගිලි සංඛ්‍යාව, හාර ලක්ෂ පනස් නමදහසක්.

ගස් කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් ප්‍රවාහන කටයුතු මෙන්ම සන්නිවේදන සබඳතා ද අඩාල වී ඇත.

සුළි කුණාටුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් මිලියන 50 කට පමණ බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ බලධාරීන් පුරෝකතනය කළේ ය.

ඇමෙරිකාවේ දරුණු සුළි කුණාටුවක්.....

Microsoft සමාගමෙන් දැවැන්ත සේවක කප්පාදුවක්

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇති බවය.

මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව වාර්තා වේ.

සේවක කප්පාදුව හරහා සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන්ය.

2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙයයි.

මේ වන විට මයික්‍රොසොෆ්ට්සමාගමේ සේවකයින් 228,000 ක් පමණ සේවය කරනු ලැබේ.

Microsoft සමාගමෙන් දැවැන්ත සේවක කප්පාදුවක්

ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.

ඉරානයේ අනුග්‍රහය ලබන යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් අමතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක්

කැනඩාවේ,වීථි සැණකෙළියක් අතරතුර රිය අනතුරක්

කැනඩාවේ වැන්කුවර් නුවර පැවති වීථි සැණකෙළියකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැන්කුවර් නුවර පදිංචිකරුවෙකි.

පිලිපීනයේ විශාලතම සැමරුමක් ලෙස සැලකෙන, ලපු ලපු දින සැමරුමක් කැනඩාවේ වැන්කූවර් නුවර පැවැත්වෙන අතරතුර අනතුර සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය ශෝකය පළ කළේ ය.

කැනඩාවේ,වීථි සැණකෙළියක් අතරතුර රිය අනතුරක්

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක අගයක් සටහන් වී ඇති බවයි.

තවමත් හානි පිළිබඳ නිෂ්චිත වාර්තා ලැබී නොමැති වුවත්, ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත වියහැකි ගොඩනැගිලිවලට නොයන ලෙසයි.

භූමිකම්පාවට මුහුණදුන් ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ වසර හයක් තුළ මෙතරම් ප්‍රබල භූමිකම්පාවකට තමන් කිසිදා මුහුණ දී නොමැති බවයි.

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරගයක්

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී ඊයේ  (19) පවත්වා තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි.

මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

2025 04 19t025815z 438498506 rc2q0eaifagb rtrmadp 3 athletics china robots 1536x1044

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරගයක්

කොලොම්බියාවේ කහ උණ වසංගතයක්

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වන විට රෝගීන් 74ක් හමු වූ බවයි.

ඉන් පුද්ගලයන් 34දෙනෙක්ම මියගොස් තිබෙයි.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට මෙම අවදානම් තත්ත්වය උද්ගත වී තිබෙන බව වාර්තා වෙයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

කොලොම්බියාවේ කහ උණ වසංගතයක්

ගාසා වැසියන්ට ඊශ්‍රාලයෙන් දැඩි බලපෑම්

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර,  ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය අධාර අවශ්‍ය කෙරෙන බවයි එම සංවිධානය පෙන්වා දෙයි.

මේ වන විට ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමේ මාර්ග ද අවහිර කරමින් ඊශ්‍රායලය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් විදෙස් වාර්තා සදහන් කරයි.

ගාසා වැසියන්ට ඊශ්‍රාලයෙන් දැඩි බලපෑම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න