ට්‍රම්ප්, ඉරාන අධ්‍යාත්මික නායකයා ඝාතනය - ඉඟුරු දී මිරිස් ගත්තා වැන්නක් වේවි ද..?

ට්‍රම්ප්, ඉරාන අධ්‍යාත්මික නායකයා ඝාතනය - ඉඟුරු දී මිරිස් ගත්තා වැන්නක් වේවි ද..?

බටහිරට ගැති නායකයකු පත් කර ගැනීම උදෙසා ඇමෙරිකාව ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කළ ද එය එසේ සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව පෙනේ. සිය නායකයා මිය යාමට පෙර ඔහුට විරුද්ධව එරට තුළ උද්ඝෝෂණ දැඩි වුවත් මේ වන විට එරට සිටින විදෙස් ප්‍රවෘත්ති වාර්තාකරුවන් පවසන්නේ රට තුළ බෙදුණු මතයක් නිර්මාණය වී ඇති බවයි.

පවතින පාලනයට විරුද්ධව ජන අරගලයක්...?

ඉස්ලාම් ආගමෙන් සිරකර ඈති සීමා බිඳ දමා වැඩි නිදහසක් ඉල්ලා සිටින තරුණ ජනතාව අලුත් පාලනයක් ඉල්ලමින් පෙර නායකයා මිය යෑම ගැන සතුට පළ කරමින් ප්‍රීති ඝෝෂා නැගුව ද ඒ හා සමාන හෝ ඊට වැඩි ජන කොට්ඨාසයක් ඇමෙරිකාව සිය නායකයා මරා දැමීම ගැන දැඩි වෛරයකින් පසුවේ. මේ නිසා එරට තුළ පවතින පාලනයට විරුද්ධව ජන අරගලයක් ඇතිවීම යන්න ඉතා අවම සම්භාවිතාවක් පවතී. (ඊට තවත් හේතු මෙම ලිපියේ අවසානයට ඇත)

නමුත් ට්‍රම්ප් තවමත් උත්සාහ කරමින් සිටින්නේ ඉරානය තුළ අරගලයක් ඇති කර, පවතින රජය පෙරළා දමා තමන්ට හිතැති නායකයෙක් පත්කර ගැනීමටයි. ඒ සඳහා ඔහු එරට ජනතාව උසිගන්වමින් සිටි. " Take Over Your Government" ලෙස පණිවිඩ යවමින් ඔහු එරට ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ 'තමන් අවශ්‍ය දේ සිදුකර ඇති බවත් මෙය නව රජයක් ඇතිකර ගැනීම සඳහා අවස්ථාවක් ලෙස භාවිතා කරමින් කටයුතු කරන ලෙසයි. නමුත් රට දේශපාලන ව්‍යුහය නව නායකයෙක් පත්කර ගැනීම යන කාරණා විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ ට්‍රම්ප්ගේ සිහිනය ඉෂ්ට කර ගැනීම ඉතා අපහසු බවය.

ඊට හේතු කාරණා මම මතුවට පැහැදිලි කරමි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු නව නායකයා ඇමරිකානු හිතවාදියකු වීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතී. ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක්:

1. වත්මන් පාලන පද්ධතිය

ඉරානයේ පාලන ව්‍යුහය සකස් කර ඇත්තේ බටහිර විරෝධී මතවාදයක් මත ය. මේ වන විට එරට පාලනය මෙහෙයවන තාවකාලික කවුන්සිලය සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඉතා දැඩි මතධාරීන්ගෙන් සමන්විත වේ. ඔවුන් කිසිසේත් ම ඇමරිකානු හිතවාදී නායකයකු බලයට පත්වීමට ඉඩ නොදෙනු ඇත.

2. අනුප්‍රාප්තිකයා කවුරු විය හැකිද?

ඊළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගන්නා 'විශේෂඥ මණ්ඩලය' (Assembly of Experts) විසින් සලකා බලනු ලබන ප්‍රධාන පුද්ගලයින් සියලු දෙනාම පාහේ දැඩි මතධාරීන් වේ.

* මොජ්තාබා කමේනි (අලි කමේනි ගේ පුත්‍රයා): මොහු ආරක්ෂක අංශ සමග සමීප සබඳතා පවත්වන අතර තම පියා ගේ දැඩි ප්‍රතිපත්ති එලෙස ම ඉදිරියට ගෙන යනු ඇතැයි සැලකේ.

* අලිරේසා අරාෆි: මොහු බටහිර විරෝධී මතවාද දැඩිව ආරක්ෂා කරන ප්‍රබල පූජකවරයෙකි.

3. වත්මන් යුධමය තත්ත්වය

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන නායකයා මිය යෑම හේතුවෙන් එරට තුළ ඇමරිකානු විරෝධය වෙනදාටත් වඩා දැඩි වී තිබේ. මෙවන් මොහොතක ඇමරිකාවට සහය දක්වන නායකයකුට පාලනය නතු කර ගැනීම දේශපාලනිකව කළ නොහැක්කකි.

4. ඇමරිකානු හිතවාදී නායකයකු පැමිණිය හැකි එකම මග

ඇමරිකානු හිතවාදී නායකයකු බලයට පත්වීමට නම් වත්මන් 'ඉස්ලාමීය සමූහාණ්ඩු' පාලන ක්‍රමය සම්පූර්ණයෙන් ම බිඳ වැටී ජනතා විප්ලවයකින් නව රජයක් පිහිටුවිය යුතු ය. දැනට වීදි බැස සිටින විරෝධතාකරුවන් එවැනි වෙනසක් අපේක්ෂා කළ ද, හමුදාව තවමත් පාලනය තදින් අල්ලාගෙන සිටී.

සාරාංශය:

ඉදිරියේ දී පත්වන නායකයා බොහෝ විට හමුදා බලය සහිත දැඩි මතධාරියකු වනු ඇත. ඔවුන් ඇමරිකාව සමග වඩාත් දැඩි ගැටුම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීමට ඉඩ ඇත.

සටහන - මාධ්‍යවේදී සඳුන් ආරෝෂ ප්‍රනාන්දු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න