ඉරාන නායකයා මියගිය බවට, ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරාන නායකයා මියගිය බවට, ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනී මියගොස් ඇතැයි BBC අල්ජසීරා ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කරයි.

ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ය.

සිය ටෲත් ෂෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනපතිවරයා ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වූ බවට ප්‍රකාශ කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයතුල්ලා අල් කමේනි රැදී සිටි ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි ස්ථාන රැසකට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදු කළ ප්‍රහාර හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

එමෙන්ම අල් කමේනිගේ දියණිය සහ මුනුපුරා ද ප්‍රහාර හේතුවෙන් ඝාතනය වී ඇතැයි අල්ජසිරා පුවත් සේවය වාර්තා කළේ ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පාලකයකු මේ වන විට මියගොස් ඇති බවයි.

ඉරාන ජනතාවට තම රට නැවත අත්පත් කර ගැනීමට ලැබුණු විශාලතම අවස්ථාව මෙය බවත් ජනපතිවරයා පැවසුවේ ය.

එමෙන්ම ඔහුගේ මරණය හේතුවෙන් ඇමරිකානුවන්ට මෙන්ම ලෝකවාසීන්ටම යුක්තිය ඉටු වූ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

අයතුල්ලා අල් කමේනිගේ නිල 'X' ගිණුමෙන් "බෙනාම් නාමි හයිඩර්" පණිවුඩයක් නිකුත්කර තිබේ.

ඒ ඔහු ඝාතනය කළ බවට අමෙරිකානු ජනපති කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකින් අනතුරුවයි.

පර්සියානු භාෂාවෙන් එම පණිවුඩය නිකුත් කර තිබේ.

"හයිඩර්ගේ නාමයෙන්" යන්නෙන් අදහස් වන්නේ ඉමහත් ශක්තිය සහ නිර්භීතකම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වූ පළමු ෂියා ඉමාම්වරයා වන අලි ඉබ්නු අබි තාලිබ්ව සිහිපත් කිරීමයි.

එය සටනකට කරනු ලබන කැඳවීමක හා එමගින් වීරත්වය සහ දේව ජයග්‍රහණය සංකේතවත් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර පසුගිය පැය කිහිපය තුළ කටාර්, කුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , බහරේනය ,ජෝර්දානය ,සෞදි අරාබිය සහ ඉරාකය යන රටවල පිහිටි ඇමරිකානු නාවික සහ ගුවන් කඳවුරු වෙත ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එලෙස එල්ල කළ බැලැස්ටික් මිසයිල 137 ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 209 ක් ව්‍යර්ත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ප්‍රහාර හමුවේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන්තොටුපල හා බහරෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ද හානි සිදුව ඇතැයි සඳහන් ය.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා වසා දැමූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා.

ඒ ඉරාන භූමිය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙසයි.

එම වසා දැමීමත් සමඟ ගෝලිය තෙල් සැපයූමට විශාල බාධාවක් එල්ල වෙතැයි විශ්ලේෂකයින් පවසයි.

ඒ දිනපතා පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කිරීම හේතුවෙන් ය.

ඒ අනුව එම මාර්ගය අවහිර වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සහ ආනයනික තෙල් මත යැපෙන රටවලට දැඩි ආර්ථික බලපෑමක් එල්ල වනු ඇතැයිද විදෙස් වාර්තා වල සඳහන්.

මේ අතර අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදු කළ ප්‍රහාර හමුවේ මේ වන විට ඉරානයේ පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් 108 දෙනෙකු බාලිකා පාසලක දරුවන් බවයි.

ඉරානය විසින් ඊශ්‍රායාලයේ ටෙල් අවීව් වෙත එල්ල කළ ප්‍රහාරක් හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් 20 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

newsfirst.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න