බටහිර තුර්කියේ දී අද (25) අලුයම සිදු වූ දරුණු ගුවන් අනතුරකින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි. මෙම අනතුරෙන් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුර්කි ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, බලිගේසීර් (Balıkesir) ප්‍රදේශයේ පිහිටි 9 වන ප්‍රධාන ජෙට් කඳවුරෙන් පුහුණු පියාසර කිරීමක් සඳහා අලුයම 12:50 ට පමණ පිටත් වූ මෙම යානය, ඉන් සුළු මොහොතකට පසු රේඩාර් පද්ධතියෙන් විසන්ධි වී ඇත.
යානය කඩා වැටී ඇත්තේ ඉස්තාන්බුල් - ඉස්මීර් අධිවේගී මාර්ගයට නුදුරු නයිප්ලි (Naipli) ගම්මානය අසල ජනශුන්‍ය ප්‍රදේශයකටය.
බිම පතිත වීමත් සමඟ යානය දරුණු ලෙස ගිනිගෙන ඇති අතර එහි සුන්බුන් විශාල ප්‍රදේශයක විසිරී ගොස් තිබේ.
රේඩාර් සබඳතා බිඳ වැටුණු වහාම තුර්කි බලධාරීන් සෝදිසි කිරීමේ සහ සහන සේවා කණ්ඩායම් යෙදවූ අතර, පසුව යානයේ සුන්බුන් සහ නියමුවාගේ දේහය සොයාගෙන ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් තුර්කි අධිකරණ අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දී අසල පිහිටි අධිවේගී මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව සීමා කිරීමට ද පියවර ගෙන තිබුණි. අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් ද නැතහොත් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මූලාශ්‍ර

