මියන්මාරයේ පසුගිය (28) වැනි දින සිදූ වූ භූ කම්පනයෙන් මේ වන විට මිය ගොස් ඇති ප්‍රමාණය 1600 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට පුද්ගලයින් 3400 පමණ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 139 ක් පමණ අතුරුදහන් වී ඇත.
ලැබෙමින් පවතින තොරතුරු මත මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ඉඟි පළවෙමින් ඇත.
භූ චලනයෙන් තායිලන්තයේ පුද්ගල මරණ 17ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 83 දෙනෙකු අතුරුදන්ව තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාව ඇති බව ය.
මෙය ඇස්තමේන්තුවක් පමණක් වන අතර එය ගණනය කරනු ලබන්නේ කම්පනයේ තීව්‍රතාවය සහ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනගහනය ඇතුළු අනෙකුත් සාධක මත ය.
භූ කම්පනය තායිලන්තය ඇතුළු අසල පිහිටි රටවල්වලට ද දැනුණු අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මියන්මාරයේ සහ තායිලන්තයේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.
මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, එය එරට වේලාවෙන් දහවල් කාලයේදී සිදු වූ අතර ඉන් පසුව රික්ටර් පරිමාණ ඒකක 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද එම ප්‍රදේශයේ සිදුව ඇති බව ය.
මියන්මාරයේ ඇති වූ භූ කම්පන තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම තවත් පුද්ගලයින් සිය ගණනින් තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර අද දෙරණ කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවය.
එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී ඇත.
ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කෙරුණි.
59 වන වියේ පසුවන මාර්ක් කාර්නි ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ.
පක්ෂ සාමාජිකයන් එක්ලක්ෂ පනස්දෙදහසකට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරගයක දී වැඩි ප්‍රතිශතයක් අත්කර ගැනීමට ඔහුට හැකිවී ඇත.
ප්‍රකාශිත ඡන්දවලින් 86%ක් ලබාගත් කාර්නි මෙසේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ බව කැනඩා වාර්තා සඳහන් කරයි.
ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලන නවකයෙකු වන මාර්ක් කානි කැනඩාවේ සහ එංගලන්තයේ මහ බැංකු අධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කර තිබේ.
දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව අදහස් පළ කරමින් කැනඩා අගමැතිවරයා පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කිරීමට ද තමන් බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජනපදයට සහ ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරන බව ද කැනඩා නව අගමැතිවරයා එහිදී පවසා තිබේ.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් තිබෙන අතර, සුළගේ වේගයද ඉහළගොස් තිබේ.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ද සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි වාර්තා වෙයි.
ඒ අනුව එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි ඇණහිට තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත්කර ඇත.
කුණාටුව ක්වීන්ස්ලන්ඩ් අගනුවර සිට බ්‍රිස්බ්‍රේන් දෙසට ගමන් කරමින් පවතින අතර ප්‍රදේශයේ මිලියන 4ක පමණ ජනතාවක් මෙහි බලපෑමට ලක්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුළි කුණාටුව අත්ලාන්තික් ද්‍රෝණියේ නිවර්තන කුණාටුවකට සමාන බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
කෙසේ වුවද සුළි කුණාටුවේ ප්රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බව පුරෝකතනය කෙරේ.
එමෙන්ම වෙරළ තීර ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000ක දඩයක් පැනවීමටත් බලධාරින් තීරණය කර ඇතැයි සඳහන් වේ.
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ප්රයාග්රාජ් හී මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බව සදහන්වේ.
කෙසේ වෙතත්, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උන්වහන්සේට උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එමෙන්ම පාප්වහන්සේ මීට පෙර බ්‍රෝන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලබා ඇත.
විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේව මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ලම අවලංගු කර ඇති බවයි.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබේ.
එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය ඇලස්කා මුහුදේ අයිස් මතට කඩා වැටී තිබේ.
යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති හෙයින් දැනට එයට ප්‍රවේශ විය නොහැකි බව ඔවුන් පවසයි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව ,මෙක්සිකෝව හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පනවා තිබේ.
කැනඩාව ,මෙක්සිකෝව යන රටවලට අද (02) සිටම එම තීරු බදු ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ලබන අඟහරුවාදා සිට තීරු බදු ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව හා මෙක්සිකෝව යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 25 % තීරු බද්දක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් එලෙස පනවා ඇත.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ අමෙරිකානු ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය අර්බුදය විසඳීම සඳහා මෙලෙස තීරුබදු ක්‍රියාත්මක බවයි.
තීරු බදු ක්‍රියාත්මක කිරීමත් සමග චීන වාණිජ අමාත්‍යාංශ පවසන්නේ මෙලෙස තීරුබදු පැනවීම චීනයට හා ලෝකයේ සෙසු රටවලට හිතකර නොවන බවයි.
මේ අතර කැනේඩියානු වාණිජ මණ්ඩලය විසින් ද තීරුබදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඔවුන් සඳහන් කළේ තීරු බදු වැඩිවීමත් සමග සෑම අංශයකම පිරිවැය ඉතා ඉක්මනින් වැඩි වන බව හා එය සෑම මිනිසෙක්ටම හා සෑම ව්‍යාපාරයක් සඳහාම බලපැමක් එල්ල කරන බවයි.
තීරු බදු සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා අද රාත්රියේදී ප්‍රකාශක් නියමිත බව ද, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී තිබේ.
ඒ, එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි.
අමෙරිකානු කොංග්‍රසය රැස්වන, වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේදී පදවි ප්රාප්ති උත්සවය පැවැත්විය.
බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇතුළු අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම, එලෝන් මස්ක්, ජෙෆ් බේසොස් සහ මාක් සකර්බර්ග් වැනි තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් සහ සුපිරි ධනවතුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පවුලේ සමීපතමයින් ද ඊට එක් වූ බව විදෙස් වාර්තාවල සඳහන් විය.
අමෙරිකාවේ නව උපජනාධිපතිවරයා ලෙස ජේ ඩී වෑන්ස් දිවුරුම් දීමෙන් අනතුරුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම සිදුවිය.
ඉන් අනතුරුව අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට සිය ජනතාව ආමන්ත්‍රණය කළේ ය.
පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව සහ නව උපජනාධිපති ජේ ඩී වෑන්ස් සහ ඔහුගේ බිරිඳ කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේ හිටපු ජනාධිපතිවරයාගේ නික්ම යෑම වෙනුවෙනි.
මුලින්ම පසුගිය ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ හිටපු උපජනාධිපතිනී කමලා හැරිස් සහ ඇයගේ සැමියා කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටව ගිය අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපති ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් නව ජනාධිපතිවරයාට සමුදී කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටව ගියේ ය.
කැපිටල් ගොඩනැගිල්ලේම පිහිටි ජනාධිපති කාර්යාලයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් සිය වැඩ භාරගැනීමේ පත්‍රිකාවලට අත්සන් තැබුවේ ඉන් අනතුරුවයි.
දැඩි ශීත කාලගුණය හේතුවෙන් මෙවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටට පාක්ෂිකයින්ට රැස්වීමට අවස්ථාව හිමිවුයේ නැත.
ඒ හේතුවෙන් සිය පාක්ෂිකයින් හමුවීමට ජනාධිපතිවරයාට "කැපිටල් වන් අ'රීනා" ක්‍රීඩාගාරය වෙත යාමට සිදු විය.
එහිදී ජනාධිපතිවරයාට ලැබුණේ, උණුසුම් පිළිගැනීමක් සහ අලංකාර පෙළපාලියකින් ද සැමරුම් උත්සවය වර්ණවත් විය.
ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන් ඉදිරියේ විධායක නියෝග කිහිපයකට අත්සන් තැබුවේ ය.
එක්සත් ජාතීන්ගේ පැරිස් සම්මුතියෙන් අමෙරිකාව යළිත් ඉවත් කරගැනීම ඒ අතරින් සුවිශේෂී.
1902 වසරෙන් පසු අඛණ්ඩ "නොවන" වාර දෙකකදී අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුණු පළමු පුද්ගලයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගත වේ.
අපරාධ නඩු විභාගයකින් වරදකරු වූ පුද්ගලයෙකු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයකි.
පළමු ධුර කාලයේදී දෝශාභියෝග දෙකකට මුහුණ දුන් ඔහු ඝාතන ප්රයත්න දෙකකින්ද දිවි ගලවා ගෙන ඇත.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් එරට අධිකරණයක් නියම කර ඇත.
ඒ ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද (17) කැඳවූ අවස්ථාවේදී මෙම නියමය ලබා දී තිබේ.
ඉම්රාන් ඛාන්ට අයත් අල්-කදර් විශ්වවිද්‍යාල ව්‍යාපෘති භාරයට සම්බන්ධ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය සම්බන්ධ නඩුවක් මෙලෙස විභාග කර ඇතැයි වාර්තා වේ. මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකේ.
මේ වන විට ඉම්රාන් ඛාන් 72වැනි වියෙහි පසුවේ.
ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිට සිරගතව සිටියි.
මේ අතර, ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ද වසර හතක සිර දඬුවමක් නියම වී තිබේ.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ.
විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇගවීමට අවශ්‍ය බවයි.
බලය සහ ලාභ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පවසා තිබුණි.
අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්රජාතන්ත්රවාදය බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බව ද ඔහු පවසා තිබේ.
තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර ඇත.
ප්රජාතන්ත්රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජෝ බයිඩ්න්, තමන් අමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
දෝෂාභියෝගයට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
අද(15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවනවරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වූ බව වාර්තා වේ.
යූන් ගැන විමර්ශනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරන දූෂණ විමර්ශන කාර්යාලයේ (CIO)විසින් පසුගිය දෙසැම්බර 03 වන දින යුද නීතිය පැනවීමට කෙටිකාලීන උත්සාහයකින් පසුව කැරැල්ලේ චෝදනා මත විමර්ශනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.
මෙම වරෙන්තුව මඟින් විමර්ශකයන්ට පැය 48ක් දක්වා යූන් රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා එම කාලය තුළ CIO අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සඳහා ඉල්ලුම් කළ යුතුය.
ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනකායක් සිටින අතර, යූන්ගේ ආධාරකරුවන් සහ විවේචකයන්ගෙන් පිරී ඇති අතර, පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.
පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ලැව්ගිනි හේතුවෙන් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මොහොතක සිකුරාදා උදෑසන සැන් ෆ්රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 3.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.
සැන් ෆ්රැන්සිස්කෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව හානි හෝ තුවාල පිළිබඳ මෙතෙක් වාර්තා නොමැත.
භූමිකම්පාව ප්‍රධාන වශයෙන් සැන් ෆ්රැන්සිස්කෝ සහ අර්ධද්වීපයේ දැනී ඇති අතර එය මැරින් ප්‍රාන්තය දක්වා උතුරින් සහ සැන් ජෝස් දක්වා ද දැනුණු බව සදහන් වේ.
කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූමිකම්පාව ඇතිව ඇති බවයි.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූකම්පන තත්ත්වය ඇතිව ඇත.
ටිබෙටයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක අද (07) අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වන Xinhua වාර්තා කරයි.
මෙම භූ කම්පන තත්ත්වය අසල්වැසි නේපාලයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට දැනී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සංගමය (USGS) ප්‍රකාශ කළේ රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු 9.05 ට සිදු වූ අතර ඉන් අනතුරුව විවිධ පසු කම්පන ඇති වූ බවයි.
භූමිකම්පාවෙන් තවත් පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කම්පනය ඇති ටින්ග්‍රි ප්‍රාන්තයේ නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව Xinhua වාර්තා කර ඇත.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 86 ක් (සැතපුම් 53) පමණ දුරින් ලාට්සේ ප්‍රාන්තයේ වීදිවල හානියට පත් වහලවල්, සාප්පු ඉදිරිපස සහ සුන්බුන් ගොඩගැසී ඇති බව පෙන්නුම් කළේය. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයකට ද හානි සිදුව ඇති බව දර්ශනවල දැක්වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විඩියෝ සහ ඡායාරූප මගින් කම්පනයේ බලපෑමෙන් අර්ධ වශයෙන් කඩාවැටී ඇති ගොඩනැගිලි පෙන්නුම් කෙරේ.
එවරස්ට් කඳු පාමුල පිහිටා ඇති සහ උෂ්ණත්වය ඉතා අඩු ආපදා ප්‍රදේශයට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා චීන ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.
මේ වන විට එම කලාපයේ විදුලිය හා ජලය සැපයුම් විසන්ධි වී ඇති බව ද චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ.
ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බව සඳහන් කර ඇත.
ඒ වෙනුවට ඔහුට “කොන්දේසි විරහිත නිදහස් කිරීමක්” ලබා දෙන බවත්, තේරී පත් වූ ජනාධිපතිවරයාට පෞද්ගලිකව නඩු විභාගය සඳහා පෙනී සිටිය හැකි බවත් ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජනාධිපතිවරණ ජයග්‍රහණය යොදාගෙන ඔහුට එරෙහි මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කර තිබුණි.
නමුත් විනිසුරුවරයා තීරණය කළේ දඬුවම් නියම කිරීම සඳහා නඩුව ඉදිරියට ගෙන යාමටය.
ට්‍රම්ප්ගේ කණ්ඩායම විනිසුරුවරයා ගත් එම තීරණය විවේචනය කළේ එය නීති විරෝධී නඩුවක් නිසා වහාම නිෂ්ප්‍රභ කළ යුතු බව පවසමින්ය.
වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ඩොලර් 130,000 (£105,000) ක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී වරදකරු කෙරුණි.
2016 මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දිනවල වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ට්‍රම්ප් සමඟ සිදු වූ බව කියන ලිංගික හමුවීමක් පිළිබඳව නිහඬව සිටීමට මෙම මුදල් ගෙවීම කර තිබුණි.
කෙසේ වෙතත් තේරී පත් වූ ජනාධිපතිවරයා සියලු වැරදි ප්‍රතික්ෂේප කරන අතර, තවදුරටත් තර්ක කරන්නේ මෙම නඩුව ඔහුගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ ප්රයත්නයක් බවයි.
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වේ.
1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා, මිය යන විට 92 වැනි වියේ පසුවිය.
2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර තිබේ.
සතියක ශෝක කාලයක්
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.
මීට අමතරව අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆ්ලොරීඩාවේ සිට සිය පාක්ෂිකයන් අමතමින් මීට සුලු මොහොතකට පෙර ට්‍රම්ප් පැවසුවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බවයි.
“ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී ඇත,” ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට පැවසීය.
ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අපේක්ෂකයකු අමෙරිකාවේ මැතිවරණ විද්‍යාල 538 න් 270 ක බහුතර බලය හිමිකර ගත යුතුය.
ට්‍රම්ප් මේවනවිට එම ආසන 266 ක බලය හිමිකර ගෙන තිබේ.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හිමිකර ගෙන ඇත්තේ ආසන 219 ක් පමණකි.
කෙසේවෙතත් තවමත් අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත්ව නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
