සෑම් ඇල්ට්මන් සහ මාර්ක් සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ

සෑම් ඇල්ට්මන් සහ මාර්ක් සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ

සමාජ මාධ්‍ය මගින් දරුවන් ගේ මානසික සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව ලෝකය පුරා පවතින විවාදය දැන් අතිශය තීරණාත්මක මොහොතකට අවතීර්ණ වී තිබේ.

මෙතෙක් පැවති දැවැන්තම නඩු විභාගයකට මුහුණ දීම සඳහා තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් වන සෑම් ඇල්ට්මන් මෙන්ම මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ද මේ සතියේ ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ පෙනී සිටියේ මේ අතරතුර ය.

ඒ, "සමාජ මාධ්‍ය වේදිකා හිතාමතාම දරුවන් ඇබ්බැහි වන අයුරින් නිර්මාණය කර තිබේද?" යන්න සඳහා පැවති නඩුවිභාය යි.

නඩු නිමිත්ත

මෙම නඩුව ගොනු කර තිබුණේ කැලිෆෝනියානු තරුණියකි. ඒ, මෙටා (ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්) සහ ගූගල් (යූටියුබ්) සමාගම්වලට එරෙහිව ය. ඇගේ පැමිණිල්ල වූයේ වයස අවුරුදු 6 සිට යූටියුබ් ද, 11 සිට ඉන්ස්ටග්‍රෑම් ද භාවිතා කිරීම නිසා තමන් දැඩි මානසික පීඩනයකට සහ සියදිවි නසාගැනීමේ සිතිවිලිවලට ගොදුරු වූ බවයි. මෙම සමාගම් තම ලාභය වෙනුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය අනතුරේ හෙළන බවට ද ඇය චෝදනා කරන්නී ය.

සකර්බර්ග් ගේ සාක්ෂිය

මෙම අවස්ථාවේ දී සාක්ෂි ලබා දුන් ෆේස්බුක් සමාගමෙහි හිමිකරු වන සකර්බර්ග් මෙසේ පවසා ඇත්තේ වයස අවුරුදු 13ට අඩු පරිශීලකයින් හඳුනා ගැනීමට ඉන්ස්ටග්‍රෑම් ආයතනය ගත් ක්‍රියාමාර්ග මීට වඩා වේගවත් විය යුතුව තිබූ බවයි. මේ පිළිබඳව කනගාටු වන බව ද හෙතෙම පවසා තිබුණි.

එමෙන් ම සමාජ මාධ්‍ය යනු සායනික අර්ථයෙන් "ඇබ්බැහියක්" (addiction) යන්න තරයේ ප්‍රතික්ෂේප කරන බව ද මෙටා පාලනාධිකාරිය පවසා තිබුණි. ඔවුන් ගේ අදහස වන්නේ මෙය පරිශීලකයාට ප්‍රයෝජනවත් සේවාවක් මිස මත්ද්‍රව්‍යයක් නොවන බවයි.

රූපලාවණ්‍ය ෆිල්ටර් ගැටලුව ද කරළියට

තරුණ ගැහැනු ළමයින්ගේ ආත්ම විශ්වාසය හෑල්ලු කරන රූපලාවණ්‍ය ෆිල්ටර් (Cosmetic filters) සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කර ඇත. ඒයට පිළිතුරු ලෙස සකර්බර්ග් පවසා ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (Free expression) වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.

නඩු තීන්දුවෙහි බලපෑම

මෙම නඩු තීන්දුව ලෝකයේ අනෙකුත් රටවලට ද විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි අතර එය මතු දැක්වෙන පරිදි විග්‍රහ කළ හැකි ය.

*ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරිම.

*බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා දැඩි සීමාවන් සහ වයස තහවුරු කිරීමේ (Age verification) නීති හඳුන්වා දීමට සූදානම් වීම.

*ප්‍රංශය සහ නෝර්වේ පිළිවෙලින් වයස අවුරුදු 15 සහ 16 ලෙස සීමා පැනවීමට සාකච්ඡා කරමින් පැවතීම.

ලංකාවට බලපාන්නේ කෙසේ ද?

මෙම කරුණු සලකා බලන විට ලංකාවට ද කිසියම් පාඩමක් උගත හැකි බව ද සිහිපත් කළ යුතු ය.

අපේ රටේ බොහෝ දරුවන් පාසල් වියේ දී ම ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයට පුරුදු වී සිටීම රහසක් නොවේ. අධ්‍යාපනයට තාක්ෂණය අත්‍යවශ්‍ය වුව ද, එහි ඇති අඳුරු පාර්ශ්වය පිළිබඳව දෙමාපියන් මීට වඩා අවධානය යොමු කළ යුතු කාලය පැමිණ තිබෙන බව ද අවිවාදිත ය.

ඒ සඳහා මතු දැක්වෙන කරුණු වෙත අපගේ අවධානය යොමු විය යුතු ය.

*දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීමේදී තමන්ගේ සැබෑ වයස සඟවනවාද?

*දරුවන් දිනකට කොපමණ වේලාවක් දුරකනය සමඟ ගත කරනවාද සහ ඔවුන් බලන්නේ කුමක්ද?

*සමාජ මාධ්‍යවල දකින දේ සැබෑ ලෝකය නොවන බව ඔබේ දරුවාට වටහා දී තිබේද?

තාක්ෂණය යනු මෙවලමක් පමණකි; එය දරුවාගේ ජීවිතය පාලනය කරන "අධිපතියකු" වීමට ඉඩ නොදීම අප සැම ගේ වගකීමකි.

 

මූලාශ්‍ර Reuters, The Guardian, Daily Journal

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න