අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාර්තු මස අවසානයේ දී චීනයේ නිල සංචාරයක නිරත වන බව ධවල මන්දිරය නිල වශයෙන් තහවුරු කර ඇත.
2017 වසරෙන් පසුව ට්‍රම්ප් චීනයට යන පළමු සංචාරය මෙය වන අතර, එය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංචාරයේ කාලසටහන
ධවල මන්දිර ප්‍රකාශකයින්ට අනුව ජනාධිපතිවරයා ගේ මෙම සංචාරය මාර්තු මස 31වන දා සිට අප්‍රේල් මස 02වන දා දක්වා දින තුනක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම සංචාරයේ දී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ මෙම චීන සංචාරයේ මූලිකම අරමුණ වී ඇත්තේ දෙරට අතර පවතින වෙළෙඳ ගැටලු සහ නව වෙළෙඳ ගනුදෙනු පිළිබඳව සෘජුව සාකච්ඡා කිරීමයි.
අමෙරිකානු නිෂ්පාදන සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරගැනීම,තීරුබදු සම්බන්ධයෙන් පවතින අර්බුද නිරාකරණය කිරීම, දෙරට අතර පවතින වෙළඳ හිඟය අවම කරගැනීම කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇත.
උපක්‍රමශීලී පියවරක් ද...?
කෙසේ වෙතත්, මෙම සංචාරය පිළිබඳව විදේශීය දේශපාලන විචාරකයින් විවිධ මත පළ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කලින් අනුගමනය කළ දැඩි "චීන විරෝධී" ස්ථාවරයෙන් බැහැරව මෙවැනි සංචාරයකට එක්වීම, ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය තුළ පවතින අස්ථාවරභාවයක් පෙන්නුම් කරන බවයි.
තවත් පිරිසක් පවසන්නේ මෙය අමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔහු ගන්නා උපක්‍රමශීලී පියවරක් විය හැකි බවයි.
මෑතකදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප් රජය පනවා තිබූ ඇතැම් තීරුබදු සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් හමුවේ, මෙම සංචාරය වඩාත් වැදගත් වී තිබේ. එසේම, මෙම සංචාරයට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද චීන බලධාරීන් සමඟ මූලික සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

