Image

දේශීය ආදායම් බදු සන්නිවේදනය වෙනත් පාර්ශ්වයක් අතට?

දේශීය ආදායම් බදු සන්නිවේදනය වෙනත් පාර්ශ්වයක් අතට?

බදු ලිපිගොනු සහ නීති රීති ගැන කතා කරන විට සාමාන්‍ය පුරවැසියාට දැනෙන්නේ පැහැදිලි බවකට වඩා බියකි.

විශේෂයෙන්ම මේ දිනවල බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සම්බන්ධයෙන් පොදු සමාජය තුළ ඇති වී තිබෙන්නේ විශාල ව්‍යාකූලත්වයකි.

 

වගකීම කාගේද? වැඩ කරන්නේ කවුද?

රටේ බදු පරිපාලනය සහ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ නීත්‍යානුකූල වගකීම පැවරී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු එම සන්නිවේදන කාර්යභාරය මේ වන විට ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය (RARMB) විසින් පවරාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

සීවලී අරුක්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කාර්යාංශයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද අනුයුක්ත කර ඇත.

ප්‍රතිසංස්කරණ කාර්යාංශයක සැබෑ කාර්යය විය යුත්තේ පවතින ආයතන ශක්තිමත් කිරීම මිස, නීත්‍යානුකූල දෙපාර්තමේන්තුවල බලතල අභිබවා යන සමාන්තර ව්‍යුහයන් ගොඩනැගීම නොවන බව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

 

මාධ්‍ය සංදර්ශන සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න

මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් TIN අංකය ගැන කරුණු පැහැදිලි කරන ඇතැම් නිලධාරීන්ගේ ප්‍රකාශ දිනෙන් දින වෙනස් වන බවට බදු ගෙවන්නන්ගෙන් චෝදනා එල්ල වේ.

මේ අතර, මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් පෙනී සිටින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ කොමසාරිස්වරියකගේ භූමිකාව පිළිබඳව දේශපාලන සහ පරිපාලන කවයන් තුළ විවිධ සංවාද මතුව තිබේ.

විශ්‍රාම යාමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන් ඇය මෙලෙස මාධ්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නේද යන්න පිළිබඳව ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න මතු කරයි.

ඇයගේ සැමියා සහ වත්මන් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා (සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා) අතර පවතින බව කියන සමීප සබඳතා ගැන ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ වී තිබේ.

රාජ්‍ය ආයතනවල වගකීම් පැවරීමේදී සහ ඉහළ පත්වීම් ලබා දීමේදී මෙවැනි සැක සංකා දුරු වන පරිදි විනිවිදභාවයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.

 

ජනතාවට ඇති ප්‍රායෝගික ප්‍රශ්න 3ක්

නීතිය ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් ගැන පමණක් මාධ්‍ය හරහා බිය වැද්දීමෙන් සිදුවන්නේ ජනතාව බදු ක්‍රමයෙන් තවත් ඈත් වීමයි. ඊට පෙර සාමාන්‍ය පුරවැසියාට මතුවන ප්‍රායෝගික ගැටලු 3කට පැහැදිලි පිළිතුරු ලබා දිය යුතුය.

1- නිවැරදිව TIN අංකය ගන්නේ කෙසේද? අතරමැදියන්ගේ සහාය නොමැතිව සාමාන්‍ය පුරවැසියෙකුට තනිවම ලියාපදිංචි විය හැකි සරල පියවර මොනවාද?

2- මාර්ගගත (Online) පද්ධතිය භාවිත කරන්නේ කෙසේද? තාක්ෂණික දැනුම අඩු පුද්ගලයන්ට බදු වාර්තා යොමු කරන ආකාරය පියවරෙන් පියවර කියා දෙන ප්‍රායෝගික වැඩසටහන් කොහිද?

3- ගැටලුවකදී පිහිට වන්නේ කවුද? දුරකථන ඇමතුමකින් හෝ කාර්යාලයකට ගිය විට නිවැරදි උපදෙස් ලබා දෙන විධිමත් උපකාරක සේවාවක් ක්‍රියාත්මක වන්නේද?

 

ඉහළ කළමනාකාරීත්වයේ වගකීම

තනි තනි නිලධාරීන් මාධ්‍ය ඉදිරියට යැවීමෙන් පමණක් බදු පරිපාලනය ශක්තිමත් කළ නොහැකිය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් එක්ව, දෙපාර්තමේන්තුව තුළ විධිමත් සන්නිවේදන යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.

සාර්ථක බදු ක්‍රමයක් ගොඩනැගිය හැක්කේ මාධ්‍ය සංදර්ශනවලින් නොව, කාර්යක්ෂම පරිපාලනයක් සහ ජනතාව තුළ ගොඩනගන විශ්වාසය තුළින් පමණක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ පොදු මතයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න