ජනපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, රට යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් පරිපාලනය අවනත නොවේ නම්, වෙනිසියුලාවට යළි ප්‍රහාර එල්ල කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (4) තර්ජනය කළේය.
සිය නිල ගුවන් යානය වන 'එයාර් ෆෝර්ස් වන්' හි සිට මාධ්‍යවේදීන් අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඔහු, ලතින් ඇමරිකානු රටවල් සිය අණසක යටතේ තබා ගැනීමට තවදුරටත් ආක්‍රමණයේ යෙදෙන බවට එම ප්‍රකාශයෙන් පැහැදිලි වන බව, ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එක්සත් ජනපදය වෙත පැමිණෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය සීමා නොකරන්නේ නම්, කොලොම්බියාව සහ මෙක්සිකෝව වෙත ද එක්සත් ජනපද හමුදාමය මැදිහත්වීමක් සිදු කිරීමට ඉඩ ඇතැයි, ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් ට පැවසීය.
"ඔපරේෂන් කොලොම්බියා කියල නම දැම්මොත් හොඳයි කියල මට හිතෙනවා, නැද්ද? වෙනිසියුලාවේ අඹ යාලුවා - කියුබාවත් වැටෙන්න ඔන්න මෙන්න කියල පේනවා," ඔහු කීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු රටින් පිට කෙරුණු මදුරෝ, වොෂිංටනයේ විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටී. ඔහුට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ඔහු අද (5) අධිකරණයේ පෙනී සිටීමට නියමිතය. තෙල් රාජ්‍යයක් වන වෙනිසියුලාවේ අනාගතය අවිනිශ්චිතව පවතී.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිටු දැකීම සහ තෙල් කර්මාන්තය යථාවත් කිරීම පිණිස මදුරෝ රජයේ ඉතිරි පරිපාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් කරන බව, ජනපති ට්‍රම්ප් කියා සිටී. වෙනිසියුලාවේ නව රජයක් පිහිටුවීම පිණිස ඉක්මන් මැතිවරණයක් වෙත ප්‍රවේශ වනවාට වඩා එය ප්‍රායෝගික බව ඔහුගේ අදහසයි.
මදුරෝ රජයේ ඉහළ පරිපාලනය තවමත් බලයේ රැඳී සිටී. ජනපති මදුරෝ සහ ආර්‍යාව, සිලියා ෆ්ලොරෙස් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම පැහැර ගැනීමක් බව කියා සිටිති.
"මෙහි සිටින්නේ එක ජනාධිපතිවරයෙක්. ඒ, නිකොලස් මදුරෝ පමණයි. මේ කිසිවක් සතුරාගේ ප්‍රකෝප කිරීම් හමුවේ නොසැලේ," වෙනිසියුලා අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍ය, ඩියොස්ඩාඩෝ කබෙල්ලෝ නිකුත් කළ හඬ පටයක කියැවේ.
දෑස් බැඳ, විලංගු ලා රඳවා සිටින ජනපති මදුරෝගේ රුව දැකීමෙන් වෙනිසියුලානුවෝ කැළඹීමට පත් ව සිටිති. මීට වසර 37කට පෙරාතුව එක්සත් ජනපද හමුදා පැනමාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ලතින් ඇමෙරිකාවේ සිදු කරන ලද ඉමහත් ආන්දෝලනාත්මක ප්‍රහාරය මෙය ය.
එක්සත් ජනපද ප්‍රහාරයෙන් එරට හමුදා භටයින්, සිවිල් පුරවැසියන්, සහ ජනපති මදුරෝගේ ආරක්ෂක නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත්වූ බව ආරක්ෂක අමාත්‍ය, ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ පැවසීය. වෙනිසියුලාවේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීම පිණිස සියලු හමුදා සන්නද්ධ සූදානමේ තබා තිබේ.
එක්සත් ජනපද මෙහෙයුමේදී, කියුබානු සිවිල් වැසියන් 32ක් ඝාතනය වූ බව එරට රජය පවසයි.
වෙනිසියුලා, තෙල් ඇමතිනිය ලෙස ද කටයුතු කරන උප ජනපතිනි, ඩෙල්සි රොද්‍රිගෝස් වෙත එරට අන්තර් පාලන නායකත්වය පවරා තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Trump says second Venezuela strike possible if government does not cooperate
Trump warns new Venezuelan leader as Maduro set to appear in court
Venezuela live updates: Maduro to appear in federal court Monday on alleged drug charges
Trump lays out plans for Venezuela, threatens other countries as Maduro awaits court appearance

