ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක්

ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක්

ඩිජිටල් කාර්ය සාධක බලකාය පත් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් බවත්‍ ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදු කළ හැකි බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ‍ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසී ය,

“ඩිජිටල් අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ එක් ව ඉදිරියට යන ක්‍රියාවලියක්. මේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටත් ප්‍රතිපත්ති සකස් කරමින් ඒ සඳහා මග පෙන්වීමටත් අපි අවුරුදු තුනක් සඳහා ඩිජිටල් කාර්ය සාධන බලකාය පත් කළා.

ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම හදලා අපි දරුවන්ට දුන්නහම දරුවන් ඒ මාර්ගයේ ඉදිරියට යයි. ඒ නිසා ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම, ව්‍යුහය, ප්‍රතිපත්ති ආදිය හදලා ඒකට අවශ්‍ය පියවර සකස් කර දීම අනිවාර්යයෙන් ම අපි අතින් සිද්ධ විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් ඔබෙන් ලැබෙන දායක්ත්වය අගය කරනවා.”

අමාත්‍යවරියගේ අදහස් දැක්වීමෙන් අනතුරු ව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ. බී. එම් අස්රෆ් මහතා ද මෙහි දී අදහස් පළ කළේ ය:

“දැනට 42,000ක පමණ ගුරු හිඟයක් පවතිනවා. සියලු ම විෂයන්ට හා සියලු ම ප්‍රදේශවලට මෙය පැතිරිලා තියෙන්නේ. අපි මෙහි දී ඩිජිටල්කරණයෙන් යම් සහනයක් ලබා දෙන්න උත්සහ කරනවා. අධ්‍යාපනය ලැබීම සඳහා තොරතුරු තාක්ෂණයෙන් සූදානම් කිරීම හා ඊට අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් ඉදිරියේ දී අපි කටයුතු කරනවා.

ව්‍යසනයක් ඇති වුවහොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ, පාසලට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය මොන වගේ විය යුතු ද කියලා අපි සොයා බලනවා. ඒ වගේ ම අන්තර්ජාලයට හා විද්‍යුත් උපාංගවලට ළමුන් ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්නත් අප සූදානම්.”

වැඩිදුරටත් අදහස් දක්වමින්, දරුවන් අධ්‍යාපනයේ සිරකරුවන් නොකර ඩිජිටල්කරණයෙන් දරුවන්ට අලුත් ජිවිතයක් නැවත ලබා දෙන්න කටයුතු කළ යුතු අතර පවතින අසමතුලිතතාව අඩු කර දුෂ්කර පළාත්වල පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඩිජිටල්කරණය උපයෝගි කරගත යුතු බවත් ඒ. බී. එම් අස්රෆ් මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න