මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (27) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත විය.
එම අවස්ථාවේ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් දැක්වීය.
(උපුටා ගැනීම)
"2010 දෙසැම්බර් 9 රාත්‍රී යාපනය අධි ආරක්ෂිත ප්‍රදේශයකදී ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. මේ වනවිට වසර 16ක් ගෙවී ගියා ඔවුන් ගැන ආරංචියක් නෑ. ඔවුන් දෙදෙනා පැහරගෙන දින කිහිපයක් තුළ එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ ඔවුන් දෙදෙනා පැහරගෙන නැති අතර අත්අඩංගුවට ගත් බව. ඒ කියන්නේ මේ පැහැරගැනීම් කෙරෙන්නේ රජයේ අවබෝධයෙන්.
පසුව අපි මේ පිළිබඳ පැවරූ නඩුවේ සාක්ෂි දෙමින් හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන් එය පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් තොරතුරු ආශ්‍රිතව බව. අපි වසර ගණනාවක් උත්සාහ කර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගෙනාවා.
පසුගිය නඩු වාරයේ අහපු හැම ප්‍රශ්නයකටම ගෝඨා කිව්වේ මට ඇහෙන්නේ නෑ, මට මතක නෑ කියලා විතරයි. එයාට එහෙම මගහරින්න බෑ. 2015 නොවැම්බර් 8 සත්හඬ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිලිව කියනවා කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැරගැනීම ඔහුගේ අවබෝධයෙන් වුණේ කියලා. එහෙමනම් ලලිත් සහ කුගන් පැහැරගැනීම විතරක් නොදැන ඉන්න හේතුවක් නෑ.
අපි යුක්තිය සඳහා සටන නවත්වන්නේ නෑ. අපට අවශ්‍ය පළිගැනීමක් නෙවෙයි. වරදක් කළ අයට කවදා හෝ දඬුවම් ලැබෙන බව තහවුරු කළොත් විතරයි අනාගතයේ මේවා සිදුවීම නවත්වන්න පුළුවන්. අපේ මේ සටන ලලිත් සහ කුගන් වෙනුවෙන් විතරක් නෙවෙයි දසදහස් ගණන් අතුරුදන් වූ මිනිසුන් වෙනුවෙන්. අපේ මේ සටන අතීතයට යුක්තිය ඉල්ලා සිටීමක් විතරක් නෙවෙයි, අනාගතයේ කිසිවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම වලක්වන්න.”
(උපුටා ගැනීම අවසන්)








newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
