තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවේ !

තංගල්ලේ අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව හෙළිවේ !

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව තංගල්ල මූලික රෝහලේදී ඊයේ (23) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බව මියගිය පුද්ගලයන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකල තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර විසින් තහවුරු කර ඇත.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු පෙරේදා (22) සොයාගත් අතර එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනාගේ සිරුරුවල වස අන්තරගතව ඇතැයි හැගෙන බැවින් ඔවුන්ගේ රුධිර සාම්පල සහ ශරීර පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරු තීරණය කර තිබිණ.

මෙම මරණකරුවන් මරණයට පත්වීමට පෙර දින යම් ස්ථානයකට ගොස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට පොලිසිය විසින් තොරතුරු සොයා ගෙන තිබිණ.

ඒ අනුව, ඔවුන් පානය කළ බියර් බෝතයක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රාවණයක් තිබී වෛද්‍යවරුන්ට හමුව ඇතැයි ද වාර්තා විය.


පැරණි නිවෙසක මළසිරුරු දෙකක්..

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවෙසක තිබී මළසිරුරු දෙකක් මුලින් සොයාගනු ලැබිය.

ඔවුන් සමඟ‍ සිටි දෙදරු පියෙකු ඔහුගේ විතාරන්දෙණිය, තලපිටියගම නිවසට ගිය අවස්ථාවේ හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

මොවුන්ගේ මරණ පිළිබඳව සිද්ධිය වූ සීනිමෝදර නිවසට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා බූතාවත්ත, මෙම මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසට තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට නියෝග කළාය.

ඒ අනුව තංගල්ල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි රුවන් නානායක්කාර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරින් වූ එස්. එච්. ප්‍රමුදිත්, ආර්.කේ.එස්.චන්දිම, ෂර්මිලා උභයරත්න ඔහුට සහාය වී තිබිණ.


හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සගවා තිබූ ලොරි තුනක් සොයාගනී !


මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ තංගල්ල, උණාකූරුව, ලන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි සුවඳ හැන්නදිගේ තුසිත වෙනුර කුමාර නමැති 50 හැවිරිදි දෙදරු පියෙකු සහ අම්බලන්තොට, ලුණම, රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව්. ඊ. කවිදු කල්හාර සහ අම්බලන්තොට, ලුණම මණ්ඩගල පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන අවිවාහක තරුණයින් දෙදෙනායි.

මෙම තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (23) සවස 1.30 ට පමණ ආරම්භ වුණා.

රෝහල් ගතව සිටි මියගිය දෙදරු පියාගේ පුතුන් ලබාදුන් සාක්ෂි අනුව දෙවන වරටත් සිද්ධියවූ සීනිමෝදර නිවසට ගොස් අධිකරණ වෛද්‍ය නිළධාරින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර කටයුතු කළේය.

තංගල්ල පොලිසියේ නිලධාරින් මියගිය තුසිත වෙනුර කුමාර යන අයගේ බිරිඳගෙන් අනෙක් තරුණයින් දෙදෙනාගේ මාපියන් ගෙන්ද සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව
පස්වරු පහට පමණ දේහයන් ඥාතීන්ට බාරදීම සිදුවිය.

මෙම අබිරහස් මරණ සිදුවීමත් සමග වහා විමර්ශන කටයුතු සිදුකල පොලිසිය හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සගවා තිබූ ලොරි තුනක් සොයාගනු ලැබිය.


අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක් සොයාගත් බව පොලිසිය පවසයි


තංගල්ල ගොඩැල්ලවෙල කදුරුපොකුණ පාරේ නිවසක ගරාජයක තිබී කොමඩු පැටවූ ලොරියක තිබී මුලින් මත්ද්‍රව්‍ය සොයාගත් අතර පසුව අබිරහස් මරණ සිදුවූ සීනිමෝදර නිවස අසල නවතා තිබූ ලොරි දෙකක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබිණ.

මෙම ලොරි තුනේම තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව මේවන විට සැකකරුවන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියා සිටියි.


සැකකරුවන් අතර සරසවි සිසුවෙක් !

මත්ද්‍රව්‍ය හසුවූ ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ එක් ලොරි රථයක රියදුරෙකු සහ අභිරහස් ලෙස මියගිය දෙදරු පියාගේ වැඩිමහල් පුතාවූ 25 හැවිරිදි සරසවි සිසුවෙකු සැකකරුවන් අතර වන බව පොලිසිය පවසයි.

මේ අතර සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදීමට කටයුතු කරන බව තංගල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසිය.

දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශාමික වික්‍රමසිංහ, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිලධාරින් සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න