ජනපති අනුර කුමාර දිසානායක හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් භාන්ඩාගාරයෙහි නොමැති බවත්,ඩ මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුණේ රුපියල් බිලියන 110කින් පමණක් යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ආණ්ඩුකාරවරුන්ගේ සංසදය ආරම්භ කරමින් කොළඹ නිපෝන් හෝටලයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන්...
ව්‍යාපාර කළමනාකරණයේ දී ආණ්ඩුව ආධුනිකයි
''ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුළ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුණේ රුපියල් බිලියන 110 කින් විතරයි. බොරු කියන එකයි, අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න එකයි මේ ආණ්ඩුව හොඳටම කරනවා. ආර්ථික කේෂ්ත්‍රයේ දී මේ පාලකයින්ගේ ආණ්ඩුකරණයේ අසමත් භාවය පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. මෙරට ආර්ථික විනාශය කරා රැගෙන යමින් ඇති ප්‍රමුඛතම සාධකය රජය සතු ව්‍යාපාර කළමනාකරණයේ දී ආණ්ඩුව දක්වන ආධුනික භාවයයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය අවුරුද්දකට රු. බිලියන 25ක් පාඩු ලබනවා
2023 වසරේ දී රු. මිලියන 2,835 ක් ලාබ ලැබු ලංකා සීනි සමාගම 2024 දී රු. මිලියන 1,944 ක් ද, 2025 දී රු. මිලියන 3,193 ක් ද පාඩු ලබනවා. සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා දුඹුරු සීනි කඩ විවෘත කරමින් මාධ්‍ය සංදර්ශන තියලා රාජ්‍ය මුදල් කාබාසිනියා කරන්නටත්, උක් ගොවීන්ට නිසි පරිදි මුදල් ගෙවීම පැහැර හැර තියෙනවා. උක් වගාව කරන්න ගොවීන්ට සල්ලි නෑ. පොහොර සහ වෙනත් පහසුව නෑ. දේශපාලන බලපෑම් හේතුවෙන් සීනි සමාගමේ සභාපතිනිය හා ප්‍රධාන විධායක නිලධාරිනිය ඉල්ලා වුණා. රජය සතු ව්‍යාපාර බලාගෙන සිටිය දී කඩා වැටෙනවා. ඒ සමඟම ආර්ථිකය වලපල්ලට යනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023 වසරේ රු. මිලියන 3,872 ක ලාභයක් ලැබුවා. මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම 2024 දී රු. මිලියන 7,595 ක් පාඩු වුණා. 2025 දි රු. මිලියන 23,211 (බිලියන 23.2) ක අති දැවැන්ත පාඩුවක් ලබා තිබෙනවා. මෙම පාඩුව ලබන්නට පෙර භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකන් ආයතනයට රුපියල් බිලියන 25ක් ලබාදුන්නා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුද්ගලික අංශයේ සභාපතිවරයෙක් පත් කළා. ඔහු ගේ සමයේ ශ්‍රී ලංකල් සමාගමට වැඩිම ලාභයක් ගෙනෙන ලන්ඩන් - කොළඹ සහ මෙල්බන් - කොළඹ ගුවන් ගමන් සඳහා පුද්ගලික විදේශීය තරගකරුවෙකු හඳුන්වා දීලා අස්වෙලා ගියා. දෑන් ශ්‍රී ලංකන් විකුණන්නත් බෑ. අවුරුද්දකට රු. බිලියන 25 ගානේ පොම්ප කරලත් පාඩු ලබනවා. භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති 2025 වාර්ෂික වාර්තාවට අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) 2024 වසරසේ රු. බිලියන 115 ක් වූ අතර එය 2025 දී බි. 165 දක්වා 43% කින් වැඩිවෙලා. එය අස්තමේන්තු ගත බදු මුදලට වඩා රු. බිලියන 39 ක වැඩිවීමක්. ඒ කියන්නේ ආණ්ඩුව හාල්, අල, ලූනු, පරිප්පු, හාල්මැස්සෝ වැනි දෛනික අවශ්‍ය භාණ්ඩවලට හිත් පිත් නැතුව බදු ගහලා එකතු කරන සල්ලි. කිසිම දවසක ගුවන්යානයක් ළඟටවත් දැකලා නැති මිනිස්සුන්ට බදු ගහලා එකතු කර ගත්ත මේ සල්ලි රු. බිලියන 39 න් බිලියන 25 ක් ශ්‍රී ලන්කන් එකේ පාඩුව පියවන්න දානවා.
ආර්ථික වර්ධන වේගය එක තැන පල්වෙනවා
රුපියල අඛණ්ඩව බාල්දු වෙනවා. බැංකු පොලිය පදනම් එක්ක 100 කින් වැඩි කරනවා. මහ බැංකු අධිපති මාධ්‍යයට කියනවා ‘අපි තමයි හොඳට ම කරන්නේ' කියලා. උද්ධමනය වැඩි වෙනවා. 5% ක් නෙවෙයි 7% ක උද්ධමනයක් බාලාපොරොත්තු වෙන්න කියලා ගමන් කියනවා අපි හොඳට ම කරනවා කියලා. මුදල් සංචිත එක තැන පල්වෙනවා නම් කොහොමද ආර්ථිකය හොඳටම කරන්නේ...? ආර්ථික වර්ධන වේගය එක තැන පල්වෙනවා. සංසරණය වන ව්‍යාවහාර මුදල් ප්‍රමාණය 26% කින් වැඩි කරලා තියෙනවා. එකේ ප්‍රතිඑලය තමයි ගිනිපෙට්ටියේ ඉඳන් බත් පැකට් එක දක්වා දිනපතා වැඩිවෙන්නේ. තෙල්, ගෑස්, විදුලිය හෑම දේම මිල වැඩිවෙන්නේ.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
