2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට අදාලව, ගාස්තු ඉහළ දැමීම සඳහා සිදුකර ඇති හේතු දැක්වීම් වල බරපතල මග හැරීම් තිබෙන අතර ඒවා නොදැනුවත්ව සිදුව ඇති බවක් විදුලි පාරිභෝගිකයකු ලෙස විශ්වාස නොකරන බවත් අවධාරණය කරමින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීණ ආර්ථික - දේශපාලන විශ්ලේෂකයකු වන කුසල් පෙරේරා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර ඇත.
පාරිභෝගිකයින් විසින් දැන ගත යුතු ඉහත සියලු විස්තර හා තොරතුරු ලං.වි.ම විසින් ලබා දෙන තුරු ගාස්තු ප්‍රතිසංශෝධනයකට අවසර නොදෙන ලෙසද ඔහු එහිදී සඳහන් කර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි.
අදාළ ලිපිය පහත දැක්වෙයි.
2023 ඔක්තෝම්බර 05 වන දින
සභාපති මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු සහ
අනෙක් සියලු සභිකයින් වෙත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම
06 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,
අංක 28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.
2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමට අදාලවය
ඉහතින් දැක්වෙන කාරණාව සම්බන්ධව මහජන අදහස් විමසීමට ප්‍රතිචාර වශයෙන් මෙය යොමු කරමි. මෙරට විදුලිය පාරිභෝගිකයින් අතුරින් විශාලම හා වැදගත්ම පාර්ශවකාර ක්ෂේත්‍රය මම නියෝජනය කරන්නෙක්මි.
මහජන අදහස් විමසීමේදී ඊට අදාල ලේඛන කිසිවක සිංහල හෝ දෙමළ පරිවර්තන ඔබ ආයතනය විසින් ලබාදී නොමැති හෙයින් මගේ පරිවර්තනයට අනුව, ඔබගේ 2023 සැප්තැම්බර 28 වන දින ලිපියෙහි සඳහන් වන්නේ පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීම් කෙරෙන්නේ “2023 ජූලි - දෙසැම්බර කාලය සඳහා ඇස්තමේන්තුගත වැය වැඩිවීම පියවා ගැනීමට විදුලිබල මණ්ඩලය ගාස්තු ප්‍රතිසංශෝධනය කිරීම වෙනුවෙන්” ඉදිරිපත් කර ඇති ඉල්ලීම පදනම්ව ය. එකී ලිපියෙහි සඳහන් අනෙක් කාරණාව නම්, “ඇමති මණ්ඩල කාර්යාලයෙන් ඇමති මණ්ඩලයේ තීන්දුව සම්බන්ධව වෙනත් කාරණා වලට අමතරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට දන්වා ඇත්තේ (අ) වියදම් පියවා ගැනීමේ ගාස්තු නියම කිරීමේ විධික්‍රමයට අනුව ලං.වි.ම විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව වහා සළකා බලන ලෙස සහ (ආ) 2024 ජනවාරි සඳහා කාල නිර්ණයකර ඇති ගාස්තු ප්‍රතිසංශෝධනය සියලු වියදම් පියවා ගැනීම වෙනුවෙන් 2023 ඔක්තෝම්බර වෙත ඉදිරියට ගෙනෙන ලෙස ය.”
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අමතා 2023 සැප්තැම්බර 04 වන දිනයේ ලං.වි.ම ලියූ පළමු ලිපියෙහි ඔවුන් විදුලිය ගාස්තු වැඩි කිරීම වෙනුවෙන් (1) ජලවිදුලි ජනනය පහත වැටීම (2) විදුලිය සඳහා ඉල්ලුම ඉහළ යාම සහ (3) විදුලි ඉල්ලුම වෙනුවෙන් විදුලිබලය ජනනය සඳහා අමතර වියදම් පියවා ගැනීමේ අවශ්‍යතාව යැයි හේතු කාරණා 03 ක් දක්වා ඇත.
ලං.වි.මට අනුව, ඔවුන් සියයට 3.15 ක ගාස්තු අඩු කිරීමක් යෝජනාකර තිබියදී උපයෝගිතා කොමිසම විසින් සියයට 14.2 ක විදුලිය ගාස්තු අඩු කිරීම හේතුවෙන් 2023 වසර සඳහා වැය පියවීමේදී රුපියල් බිලියන 33 ක හිඟයක් ඇතිව තිබේ. මෙහිදී සටහන් කළ යුත්තේ මෙම සියයට 14.2 ක ගාස්තු අඩු කිරීම කෙරෙන්නේ 2022 අගෝස්තුවෙහි සියයට 75 ක සහ ඉන් මාස 06 ට පසු 2023 පෙබරවාරියේ සියයට 65 ක ගාස්තු වැඩි කිරීම් වලින් පසුව බවය. වැදගත් වන්නේ පෙබරවාරියේ සියයට 65 ක් වැඩි කරනු ලැබූයේ 06 මසකට පෙර සියයට 75 ක් වැඩිකර ලබා ගත් වැඩි ගාස්තුවට වන බවය.
අතීතයේද සියලු ගාස්තු වැඩි කරනු ලැබූයේ ජා.මූ.අරමුදල කියන “වැය පියවීමේ ගාස්තු ප්‍රතිසංශෝධන” විධික්‍රමයටම විය. අතීතයේත් විදුලිය ගාස්තු වැඩි කෙරුණේ ලං.වි.ම සමස්ථ වාර්ෂික වියදම පියවා ගැනීමට ය.
විදුලිය පාරිභෝගිකයෙකු වශයෙන් ගාස්තු ඉහළ දැමීම සඳහා කෙරෙන මෙම හේතු දැක්වීම් සතු බරපතල මග හැරීම් මම දකිමි. ඒවා නොදැනුවත්ව සිදුවන්නේ යැයි මම විශ්වාස නොකරමි.
එවැනි හේතු කාරණා සමග, විදුලිය පාරිභෝගිකයින් වශයෙන් සියලු විස්තර හා තොරතුරු දැන ගැනීමේ සම්මුති විරහිත අයිතියක් ඇති පාරිභෝගිකයිනට පහත විස්තර සියල්ල ලං.වි.ම විසින් ලබා දෙන තෙක් විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සඳහා කිසිදු අවසරයක් නොදෙන මෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් මම ඉතා දැඩිව ඉල්ලා සිටිමි. ඉල්ලා සිටින එකී විස්තර මෙලෙස ය.
ඉහත කාරණා සියල්ල ලං.වි.ම වාර්ෂික අය සහ වැය තීන්දු කෙරෙන සාධක බැව් ඔබද පිළිගන්නවා ඇත. එබැවින් මේ මොහොතේ විදුලිය ගාස්තු ප්‍රතිසංශෝධනය කිරීම වෙනුවෙන් එකඟ වන්නට පෙර, ඒ සම්බන්ධ සියලු විස්තර ලබා ගැනීමේ පරම අයිතියක් පාරිභෝගිකයින්ට ඇත.
එවගේම මහජනතාවගෙන් අදහස් විමසීමේදී මේ රටේ රාජ්‍ය භාෂා වන සිංහල සහ දෙමළ භාෂාවලින් අදාල ලේඛන ලබා නොදීමේ වරද, සමාව භජනයකට වඩා මහජන අදහස් විමසීම සම්බන්ධ කිසිදු වගකීමක් උපයෝගී කොමිසමට නොමැති බව සනාථ කරන්නකි. එවගේම මෙලෙස කෙරෙන අදහස් එකතුකර ගැනීම සහ අවසන් තේරීම් විවෘත සාකච්ඡාවකින් තොරව උපයෝගිතා කොමිසමෙහි අයිතියක් ලෙස තිබීම, පාර්ශවකරුවන් සමගින් කෙරෙන විවෘත උපදේශනයක්ද නොවන්නේය. එනිසා ලබා ගන්නා සියලු අදහස් හා යෝජනා ඒවා ඉදිරිපත් කරනු ලබන අතළොස්සකට සීමා නොකර, බහුතර පාරිභෝගිකයින්ගේ අවධානයට හා අදහස් දැක්වීම වෙනුවෙන් ප්‍රසිද්ධ කළ යුතු යැයි මම අවධාරණය කරමි.
අවසන් වශයෙන් පාරිභෝගිකයින් විසින් දැන ගත යුතු ඉහත සියලු විස්තර හා තොරතුරු ලං.වි.ම විසින් ලබා දෙන තුරු ගාස්තු ප්‍රතිසංශෝධනයකට අවසර නොදෙන්න යැයි වන මගේ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.
ස්තුතියි.
මෙයට විශ්වාසි,
කුසල් පෙරේරා
විදුලි පාරිභෝගික සහ ලාංකීය පුරවැසි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
