V2025

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අභාවප්‍රාප්තවී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි.

පරාක්‍රම ද සිල්වාගේ 'හෙවනැලි ඇද මිනිස්සු' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබුණි.

ඒ මහතාගේ දේහය හෙට (5) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සෙනසුරාදා (06) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.

‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී පැවති විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද එක් විය.

ඉන් අනතුරුව ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.

විදුලි අලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

දකුණු ආසියානු තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල දායකත්වය සහිතව ඉදි කෙරුණු මෙම වෙසක් කලාපයේ බෞද්ධ උරුමයන් නිරූපණය වන අයුරින් එම රටවල් විසින් ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබිණ.

එම සියලු ප්‍රදර්ශන කුටි වෙත ගිය ජනාධිපතිවරයා එහි බෞද්ධ නිර්මාණ නිරීක්ෂණය කළ අතර එම නිර්මාණකරුවන්ගේ ද තොරතුරු විමසීය.

පාකිස්ථාන බෞද්ධ උරුමයන් පිළිබඳ ප්‍රදර්ශන කුටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එහි තබා තිබූ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.

අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මේ අතර බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සැදැහැවතුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සුහද කථා බහක නිරත විය.

කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර, නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බර්කි, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතනන් ජෙනරල් විකුම් ලියනගේ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරු සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජපක්ෂ පවුල ගැන විමල්ගෙන් අනාවැකියක් !

නාමල් රාජපක්ෂ මෙරට රාජ්‍ය නායකයා කරවීමට සක්‍ර දෙවියන්ට වත් නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

නාමල් රාජපක්ෂ යනු බ්‍රොයිලර් කුකුලෙක් බවත් ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී දේශපාලන සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

දේශපාලනයේ යම් මට්ටමක රැඳී හිටියත් රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් මෙරට රාජ්‍ය නායකත්වයට කිසිදිනක පත් නොවුණු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ගාලු මුවදොර අරගලය ඇති වූ සමයේ වුවද මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වය සිටියේ නම් ඔහු එය නිසි පරිදි කළමනාකරණය කරනු ඇති බවත් ආර්ථිකයද එතරම් දරුණු කඩා වැටීමකට ලක් නොවනු ඇති බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් රජයට කෝටි 200 ක පොල්ලක් !

උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණීම හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය විය යුතුව ඇති බව පසුගියදා රැස්වූ කෝප් කමිටුව හමුවේ අනාවරණය වී ඇත.

එහිදී අනාවරණය වූ වැඩිදුර තොරතුරු අනුව විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධවද එහිදී අවධානය යොමුකර තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වී මේ වන විට මාස දෙකකුත් සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇත.

ආයෙත් මුඛ ආවරණවලට හුරුවෙන්න !

මේ දිනවල පැතිර යන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න පවසන්නේ එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදය ඇති විය හැකි බවය.

ඒ සම්බන්ධව ඔහු මෙසේ පවසයි.

"මේ රෝගයේ ස්වභාවය එහෙමයි. අලුත් ප්‍රභේද ඇති වෙනවා. ප්‍රභේද පිළිබඳව අපිට හරි අවබෝධයක් නෑ. ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් කරලා ඒවා වාර්තා ලැබෙන්න කල් යනවා. ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි හැම රටකම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. නමුත් අපි කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වගේ පැතිර යන නිසා, ඒවා කොවිඩ් රෝගයෙන් වෙන්කර හඳුනාගැනීමට අමාරු නිසා කොවිඩ් කාලයේ පිළිපැදපු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඒ විදියටම අපි පිළිපැදීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මුව ආවරණයක් නිසි ලෙස පැලඳීම ඉතාම වැදගත් වෙනවා."

තවද පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂ එක හා සමාන බැවින් එකිනෙකට වෙන් කර හඳුනාගැනීම ද අපහසු වී ඇති බව එම සංගමය පෙන්වාදෙයි.

කෙසේවෙතත් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ඔවුන් සඳහන් කළේය.

මේ අතර මී උණ ව්‍යාප්තියෙහි වර්ධනයක් පෙන්වන බැවින්, ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසද වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"උණ තියෙනවා නම් ඇස් රතු වෙනවා නම්, මස් පිඬුවල වේදනාව ඇති වෙනවා නම්, මුත්‍රා තද පාටට යනවා නම් මේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත්තොත් හොඳින් ප්‍රතිකාර කරලා ඒ රෝගයේ සංකූලතා ඇති වීම වළක්වා ගන්න පුළුවන්." ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

ජුලි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් !

ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස විදුලි ගාස්තුව සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (3) පැවසීය.

පිරිවැය පදනම්ව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොමිෂන් සභා 2කට සාමාජිකයන් පත්කෙරේ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී.ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ.ජි. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරු පත් කර සිටිති.

මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ සුමිත් අබේසිංහ මහතායි. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයෝ වෙති.

ලිට්‍රෝ ගෑස් අඩු කළාට ලාෆ් අඩු නෑ !

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100.00 කින් අඩු කළ බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් දක්වා පහත දැමූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (3) පස්වරුවේ පැවසීය.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 40 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 19 කින් ද, අඩු කළ බවත් නව මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු පවසයි.

ඒ අනුව රුපියල් 1,502 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,462 ක් දක්වා ද, රුපියල් 700 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 681 ක් දක්වා ද, මිල පහළයාම සිදුව තිබේ.

කෙසේ වුවත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බවය.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) මේ බව සඳහන් කරන අතර ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම අභියෝගය මාධ්‍යයේ වුවද ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට ගෑස් සැපයුම අඛණ්ඩව පත්වාගෙන යන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක තව දුරටත් පවතී.

O/L ඉහළින් සමත් 3000කට ජනාධිපති ශිෂ්‍යත්ව !

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110කට අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

මේ යටතේ ශිෂ්‍යත්වලාභියෙකු අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රු. 5,000.00 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360 කි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට සමගාමීව ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික කඩදාසි සංස්ථාවේ අනුග්‍රහයෙන් පාසල් බෑග්, පොත් කට්ටල, කුඩ, ඔරලෝසු සහ රුපියල් පන්දහසක් වටිනා තිළිණ පතක් ද ශිෂ්‍යත්වලාභීන් වෙත පිරිනැමිණ.

එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඉතිරි ශිෂ්‍යත්වලාභීන් වෙත ඉදිරි සති දෙක ඇතුළත ශිෂ්‍යත්ව තිළිණපත් හා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට කටයුතු සලසා තිබේ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=3150#sigProId9654f15b5e

ඩයනාගේ පෙත්සම විභාගයට ගන්න තීන්දුවක් !

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 02) නියෝග කර තිබේ.

අදාළ නියෝගය නිකුත්කර ඇත්තේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව, මෙම පෙත්සම ජූනි මස 08 වන දා විභාගයට ගැනීමට නියමිත දින නියම වී තිබේ.

පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට සහය පළ කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රී ධූරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බව ය.

එම තීරණයට එළඹීමට පෙර කිසිදු විනය පරීක්ෂණයක් නොකළ බව ද මන්ත්‍රීවරිය පෙන්වා දී ඇත.

ආදිවාසි නායකයාගේ නිජබිම් ප්‍රශ්න පෙත්සම ගැන තීන්දුවක් !

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කර ඇත.

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනු කර තිබිණි.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වන දා කැඳවන ලෙස නියෝගකර තිබේ.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ, රඹකැන් ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබා දීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බව ය.

එමගින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බව ත් එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම පෙත්සම ගොනු කර ඇත.

ගුවන් හමුදාපතිගේ තීරණයකට එරෙහිව පෙත්සමක් !

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ, තමන්ව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්වී උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගීවී ඇති බවය.

ඒ, වෙනුවෙන් වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් තමන්ට හිමිවී තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඉකුත් මාර්තු මස 10 වනදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් පළ කෙරුණු අතර එම ලිපිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව ප්‍රකාශ කර තිබුණේ යැයිද පෙත්සම්කරු කියා සිටියේය.

මෙවැනි අසාදු ලේඛනගත කිරීමක් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙතෙක් තමන්ව දැනුවත් කර නොමැති බවත් තමන් කිසිදු නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධවී නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරු, මෙවැනි අසාදු ලේඛනගත කිරීමේ තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමාගෙන් නිදහසට කිසිදු කරුණු විමසීමක් සිදුනොකළ බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම විශ්‍රාමික නිලධාරියෙකු සම්මත නීති පටිපාටීන් අනුගමනය කිරීමකින් තොරව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදා රෙගුලාසි ප්‍රකාරව ගුවන් හමුදාපතිවරයා හෝ ඔහුගේ නියෝජිත නිලධාරීන්ට බලයක් හිමිවී නොමැති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛනගත කිරීම සිදුවු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් සඳහන් කරයි.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අසාධු ලේඛනගත කරමින් සිය විශ්‍රාමික වරප්‍රසාද හා අයිතිවාසිකම් අහිමි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්සිකරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දියක් අය කර දෙන ලෙස නියම කරන මෙන්ද ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් අයැද සිටී.

ජන දුකට සිරිකොත දොරටු හැරේ !

ජනතා ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදෙන මහජන හමුව එජාප නියෝජ්‍ය නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (02) පැවැත්විණි.

මෙම මහජන දිනය එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සෑම සතියකම සඳුදා හෝ අඟහරුවාදා යන දින වලින් එකක පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම සෙසු සියලූ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් අනුව මෙම මහජන හමු සංවිධානය කර තිබේ.

2048 ජය ගන්නවා : 2025දීත් ජනපති රනිල් - එජාප මැයි රැළියේදී රවී කියයි !

වසර 2048 දී බලගතු ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් වන ඉලක්කය ජයගැනීම ඉදිරි වසර 25 තුළ අභියෝගයන්ට මුහුණදී රට ගැන සිතා කටයුතු කළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

එසේම 2024 මැයි මාසය වන විටද ජනාධිපති වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඒ සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙක් පක්ෂ සම්බන්ධකරගත් ආණ්ඩුවක් පිහිටුවීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සංවිධානය කළ මැයි දින සමරු උත්සවය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද ලෝක වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරනවා. ඊට වැදගත් ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසා මේ දවස අවුරුදු ගානක් තිස්සේ සමරනවා. නමුත් අද අප මෙය සමරන්නේ ඉතාම වැදගත් සංධිස්ථානයක සිටිමිනුයි.

පසුගිය කාලවකවානුව තුළ පෙට්‍රල් පෝලිම්. ඩීසල් පෝලිම්, භූමිතෙල් පෝලිම් , ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් යුගයක් තිබුණා . නැත්නම් රටේ අඛණ්ඩ විදුලි සැපයුමක් කරන්න බැරි වුණා. අද ඒ සියල්ල විසඳීමට අවශ්‍ය නායකත්වය දීලා ඉදිරියට ගිය ගමනක් තිබෙනවා. නමුත් පැවති තත්වය තුළ වැඩකරන ජනතාවට විතරක් නෙවෙයි, ආයෝජකයන්ටත් ප්‍රශ්න තිබ්බා. එය දෙගොල්ලොන්ටම තිබුන ප්‍රශ්නයක් නිසා, අලුතෙන් හිතන්න සිදුවන යුගයකට අපි ගමන්කර තිබෙනවා. අපි ඉන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරක් සටන් කරන යුගයක නෙවෙයි. රටේ නව යුගයක් වෙනුවෙන් අපි සටන් කරන්න අවශ්‍යයි. ආයෝජකයන්ට සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන්නටත් , වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් දිනාගන්නටත් එක කොන්දේසියක් සැපිරිය යුතු වෙනවා. ඒ තමයි අපි සියලු දෙනාට ජීවත්වීමට හැකි සාමකාමී රටක් තිබීම. ඒ යතාර්ථය අපි තේරුම් ගත යුතුයි.

ඉතින් මේ මැයි දිනයේදී නව චින්තනයකින් පිබිදෙමු. රට පෙරට තබා වැඩ කරමු. රට වෙනුවෙන් වැඩ කරමු. එවැනි රටකදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අයිතිවාසිකම් ඔබ වටා ගොඩ නැගෙනු ඇතියි. වැඩ කරන ජනතාවට වැඩි වැඩියෙන් සහන දෙන්නට, වැඩි වැඩියෙන් ආර්ථිකය ශක්තිමත් කල යුතුයි. ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩකරන ජනතාව අතර වගේම ආයෝජකයින් අතරත් සංහිඳියාවක් අවශ්‍යයි. මම මේ කතාවේදී කම්කරුවන් යන වචනය වෙනුවට වැඩකරන ජනතාව කියන වචනය ඕනෑකමින් පාවිච්චි කළේ , ලේබර් කියනකොට අපේ සිහියට එන්නේ, දහදිය දාගෙන වැඩකරන කුලී සේවකයෙක්, වතු හෝ කම්කරු සේවකයෙක් නිසා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඩිජිටල්කරණය තුලින් විශ්වීයකරණය තුලින් අද සම්පුර්ණයෙන්ම රැඩිකල් වෙනසක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා එදා තිබුන සටන් පාඨ පාවිච්චි කරලා රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. අලුතෙන් හිතලා අලුතෙන් වැඩකරන යුගයකට අපි පාතබන්න තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කතාකරන අවස්ථාවේදී 2048 ඉලක්කය පෙන්නලා අපි ඒ ඉලක්කර ජයගන්න වැඩකරමු කියන්නේ. මේ යතාර්ථය අපි තේරුම් ගතයුතුයි.

අපි එක්සත් ජාතික පක්ෂය ලෙස ඒ අලුත් වෙනස තේරුම් ගෙන කටයුතු කරන පක්ෂයක්. අපි දැන් ස්වයං විවේචනාත්මකව අපේ අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩ කටයුතු කරමින් අපි සිස්ටම් චේන්ජ් එකකට යමින් සිටිනවා. එජාප ආණ්ඩුවක් තියනකොට හැමදාමත් ආර්ථිකය ශක්තිමත් කළා. ඒ නිසා වැඩකරන ජනතාවට සහන ලබාදුන් ආණ්ඩු ලෙස ඒ ගැන අදටත් කතා කෙරෙනවා.

ඔන්න දැන් ජනතාව එජාපය ගැන ඇත්ත තත්ත්වය දැනගෙන. එදා අපි කිව්ව දේ අමිහිරි වුණත් , අද ජනතාව එය විශ්වාස කරන්න ගෙන තිබෙනවා. අප නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිව තිබෙනවා. එය අපේ පක්ෂයට වගේම රටටත් යෝද ශක්තියක්. ඒ නිසා රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙලට එක්සත්ව සහය දෙන යුගයට මේ අවස්ථාවේ අවතීරණ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එදා ඉඳන් ආර්ථිකය ගැන කියපු ඒ නියම දැක්ම අද ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් තිබෙනවා. නොයෙන් පක්ෂ චෝදනා කලත් අද මුළු ලෝකයම එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසයි බලාගෙන ඉන්නේ.

ගන්න බෑ කියපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල ලැබුණේ මුල්‍ය විනයක් තිබුණු නිසයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම අවස්ථාවේම රටට සේවය කරපු පක්ෂයක්. 1948 නිදහස ගන්න මුලික වූ පක්ෂය, 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ලෝකයට සම්බන්ධ කළා, අදටත් එහි ප්‍රතිඵල පේන්න තිබෙනවා . නොයෙන් පක්ෂ කෑගැහුවට අවසානයේ ආර්ථිකය විවෘත කරන, ලෝකයට ලංකාව එක්සත් කරන වැඩ පිළිවෙල තමයි ඉදිරියට ගෙනයන්නේ. 2022 ජූලි මාසයේ ඉඳන් මේ වැටිච්ච , බංකොලොත් කියූ රට නැවත නායකත්වයදීලා අලුත් ගමනක් ලෙස ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඊට ජනතාවත් සහය දුන්නා. තෙල් මිල තෙවරක් අඩු කළා. ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙනවා. මට මතක් වෙනවා, 2015 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස මාව මුදල් ඇමති ලෙස පත්කර දුන්න උපදෙස. ඒ තමයි මේ රට මුල්‍ය විනයක් ඇතුව කටයුතු කරන්න ඕන කියලා.

අපි ඒ අනුව කටයුතු කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. රුපියල් 10000ක වැටුප් දීමනාව මුලික වැටුපට එක්කළා. ඔය විදිහට වැඩකරන ජනතාවට සහන දෙන අතරේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කළා. අද වන විට බදු ආදායමින් 76%ක් වගේ ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ ලක්ෂ 17 ක් නඩත්තු කරන්න වැය කරනවා. නමුත් එහි නියම ප්‍රතිඵලයක් ලැබෙනවද කියන එක ජනතාව සිතා බැලිය යුතුයි. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය තිබෙනවා. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රීලන්කන්. ජලසම්පාදන ය වගේ ආයතන පසුගිය කාලයේ බිලියන ගණනින් පාඩු ලබා තිබෙනවා. මේවා පවත්වාගෙන යනවද කියලා ජනතාව තීන්දු කළ යුතුයි. මේවායේ අලාභයන් ගණනය කළ විට නිවාස ලක්ෂ 12ක් හදන්න පුළුවන්. සෑම පුරවැසියෙකුටම 178000ක ඉතුරුම් මුදලක් වෙන් කරන්න තිබුණා.

ඒ නිසා තවදුරටත් පැරණි ක්‍රමය වෙනුවට අලුත් ගමනක් යන්න තීරණය ගත යුතුයි.

සජිත්ගේ මඤ්ඤං මැයි දින කතාවේදීත් එළියට පැනලා !

සමගි ජලබලවේග රජයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එළැඹ ඇති ගිවිසුම නැවත සාකච්ඡා කොට අලුත් ගිවිසුමකට එළැඹෙන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් ‘ ඒ.ඊ. ක්‍රීඩාංගණයේ අද (01) පැවැත්වුණු මැයි දින සමරුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් මෙසේද පැවසීය .

“වැඩකරන ජනතාවට මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අයි.එම්.එෆ්. ගිවිසුම අපි නැවත සාකච්ඡා කරනවා. නැවත negotiate කරලා ඒක නැවත සාකච්ඡා කරල මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය පොඩි මිනිහගේ පැත්තෙන් මේ රටේ ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින, එදා ප්‍රේමදාස යුගයේ නිර්මාණය වුණු ජනතාවාදී ජනහිතකාමී ප්‍රතිසංස්කරණයට ලක් වුනු අලුත් අයි.එම්.එෆ්. ගිවිසුමකට අපි නැවතත් වරක් සාකච්ඡා අපේ රජයකින් ආරම්භ කරනවා කියන එක මං ඒ අවස්ථාවේ කියන්න කැමතියි. ගම් නියම් ගම් මැයිදින ඉන්පසුව අපි නැවතත් වරක් බලාපොරොත්තු වෙනවා ඔබගේ ගම් නියම් ගම් සිසාරා පැමිණෙන්න. අද රටේ තියෙන්නෙ ඡන්ද වලට බය බියගුළු නිවට කශේරුකාවක් කොන්දක් නැති ආණ්ඩුවක්.”

සජිත්‍ට මඤ්ඤං !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF වැඩසටහන සම්බන්ධයෙන් අවශ්‍ය මූලික දැනුවත් බවක් නොමැතිව හෝ ජනතාව වෙත ජනප්‍රිය සටන් පාඨයක් දීමට මේ ප්‍රකාශය සිදුකර ඇති බවයි.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩු මාරුවූවා කියා බංකොලොත් රටක් වෙනුවෙන් විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කොහෙත්ම වෙනස් නොවන බවය.

වෙනත් තත්ත්වයක් යටතේ IMF කොන්දේසි සම්බන්ධයෙන් සහන කාල හෝ වෙනත් සරල සංශෝධන ලබාගන්නට හැකි නමුත් පූර්ණ බංකොලොත් බවක් ප්‍රකාශ කළ රාජ්‍යක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමක් ගැන සිතීම පවා හාස්‍යජනක බවද ඔවුන් පවසයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF සම්බන්ධයෙන් දක්වන අදහස් විමසුමේදී පෙන්නුම් කරන්නේ IMF ගනුදෙනුව ආණ්ඩු සමග සිදුකරන්නක් බවට වැරදි අදහසක සිටින බව යැයිද දේශපාලන විචාරකයන් පෙන්වා දෙන අතර විපක්ෂ නායක ඔලුවෙන් හිටගෙන කිව්වත් IMF ගනුදෙනුව සිදුවන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය සමග බව තේරුම් ගතයුතු බවත් අවධාරණය කරයි.

2048 ජයගමු !

මහළු කුරුල්ලන් දහයියා වලින් ඇල්ලිය නොහැකිය කියා කතාවක් ඇත. එහෙත් ඒ කියන්නේ කුරුල්ලන් ගැන කතාවක් නොව, පරිණත බව, අත්දැකීම් බහුලත්වය සම්බන්ධ කතාවක්ය. කිසියම් ව්‍යාපාරයක්, පක්ෂයක්, බලවේගයක්, පරිණත වන විට, මෝරා යන විට ඊට "දහයියා මොනවාද ? වී මොනවාද ?" කියා හරියට හඳුනාගත නොහැකි නම් සිදුවන්නේ ළපටි කුරුල්ලන්ට සිදුවන දෙයමය. අවසන් ඉරණම ඛේදනීයය. නිදහස අහිමිවන, මරණ මංචකයේදී පවා උරුම රැවටීම පමණය.

මැයි 01 වෙනිදා, ලෝක කම්කරු දිනයේ ලංකාවේ පිටපත සම්බන්ධව ලියන මේ සටහනට ඒ පූර්විකාව ගත්තේ හේතු ඇතුවය. එනම් සියවසකට ආසන්න ඉතිහාසයක් ඇතත් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ,වැඩකරන ජනතාවගේ දිනය කොහේවත් යන කාසිමුට්ටකාරයන්ගේ කතා අසා සිටින නැතිනම් දේශපාලන පක්ෂ ඔළුගෙඩි වලින් තම බලය පෙන්වන දිනයක් දක්වා වැඩකරන ජනතාවගේ දිනය පහතට වැටී ඇති බවය. අද කාසි මුට්ටි වෘත්තීය සමිති වගේම දේශපාලන පක්ෂ තමන්ගේ මැයි දින වේදිකා සකස් කර ඇති "ජනප්‍රිය ඊනියා සටන් පාඨ" ඒ බව තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්ය.

සැබවින්ම එතැන ඇත්තේ නිර්මාණාත්මක වේදිකා සහ මුඛරි කතා සාප්පු වල පම්පෝරි පමණය. ඉතිහාසය පුරාත් බොහෝවිට සිදුව ඇත්තේ එයමය. ප්‍රතිපත්ති , වැඩසටහන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැන මොනවා කිව්වත් ඒ සියල්ල හිස් වචන පමණය. මුට්ටිකාසි වෘත්තීය සමිති තම පැවැත්ම තහවුරු කරන්නටත් අවස්ථාවාදී දේශපාලනඥයන් සිය බල දේශපාලන අරමුණු ඉටුකර ගැනීම දක්වා වැඩකරන ජනතාවගේ දිනය කෙළෙසා දමා ඇත.

මැයි 01 වනදා වැඩකරන ජනතා දිනයේදී වැඩකරන ජනතාව මුට්ටි කාසි වෘත්තීය සමිති සහ බහුතරයක් දේශපාලන පක්ෂ වලට හිතේ හැටියට තමන් කෙළෙසීමට ඉඩදෙන , ඉන් අනතුරුව එළඹෙන හිස්කම ඇතුළේ ඔහේ ඇවිදයන ශාපලත් ප්‍රාණ බවට පත්කර ඇත. නැතිනම් තමන්ගේ පසුම්බිය සිතුසේ කොල්ලකන්න ඉඩදී, ඒ කොල්ලකරුව ආදරයෙන් වැළඳගෙන සිටින බේබද්දකු තත්ත්වයට වැඩකරන ජනතාවගේ ඉරණම කොටුකර ඇත. එතැන නැත්තේම වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වන එක් උදලු පහරක්වත්ය. නැතිනම් වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වන දියුණු දැක්මක් හෝ දුරදර්ශී ප්‍රායෝගික වැඩපිළිවෙලක් හැර අනිත් සේරම එතනය.

2022 වන විට ලංකාව බංකොලොත්වූ ලෝක පොළුකාරයකු තැනට ඇද වැටුනේද මෙන්න මේ දේශපාලනය නිසාය. රටේ ජනතාවට ඉන්ධන, ගෑස් , කිරිපිටි , ඉල්ලා පෝලිමේ ලගින්න සිදුවූයේ ද මේ දේශපාලනය නිසාය. විදුලිබලය පවා අහිමිව කර්මාන්ත බිඳ වට්ටාගෙන රැකියා අහිමිව එදාවේල සොයාගන්නට නොහැකි තත්ත්වයක් මතුවූයේ ද ඒ දේශපාලනය නිසාය. ජීවත්වීමේ මූලික කොන්දේසි පවා අහිමිව පවුල් පිටින් සාගතයෙන් මියැදෙනවාද ? ඖෂධ හිඟව රෝදුක් විඳවා මියදෙනවාද ? විඳවන්නට පෙර පවුල් පිටින් සියදිවි නසා ගන්නවාද ? තිබෙන දෙයක් කාට හෝ විකුණා දමා කොහේ හෝ පිට දේශයකට පලා යනවාද ? වැනි තෝරාගැනීම් මිස ඊට වඩා දෙයක් 2022 මැයි 01 වනදා වන විට මෙරට ජනතාවට නොතිබුණේද ඒ දේශපාලනය නිසාය. නීතියේ පාලනයක් වෙනුවට දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වයේ සහ අරාජිකත්වය තුළ උත්තර සොයන තැනට ජනතාව පහත වැටුනේද ඒ දේශපාලනය නිසාය.

එසේ නම් වෙනස් කළ යුත්තේ ඒ දේශපාලනය නොවේද ? නමුත් ඒ දේශපාලනය යන්න දේශපාලනඥයන්ට වෙනස් වෙන්න කියන, දේශපාලනඥයන් වෙනස් කරන දේශපාලනයකට ලඝු නොකරගත යුතුය. මෙහිදී අදහස් කෙරෙන්නේ , ජනතාවගේද වෙනස් වීමක්ය. ඊට අදාළව මැයි 01 වෙනිදා කෙරෙන අවධාරණය නම්, වැඩ කරන ජනතාවද වෙනස් වන දේශපාලන වෙනසක් ය.

1986 වසරේ ඒ අවාසනාවන්ත මැයි මාසයේ ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් කම්කරු නැගිටීම සිදුවුණේ " වැඩ නොකර, වැඩ මඟහැර, තම තමන්ගේ කාසිමුට්ටි වෘත්තීය සමිති වල හයිය පෙන්වීමට හෝ රට ගොඩනැගීම මුවාවෙන් පරම්පරා කිහිපයකට සරිලන ලෙස ධනය ගොඩගසන, බලය සූදුවක් කරගෙන පිස්සු නටන දේශපාලනඥයන් ගේ පක්ෂ වල හයිය පෙන්වීමට නොවේය. දහනව වන ශතවර්ෂය අගභාගයේදී කම්කරු පන්තිය “පැය 8ක වැඩ කරන දිනය” ලබා ගැනීම සඳහා නිරන්තර අරගලයක නිරත වුනේ විශ්ව සාධාරණ හේතු ඇතුවය. එකල පැවති සේවා කොන්දේසි දරුණු විය.

අනාරක්ෂිත තත්වයන් තුළ පවා පැය 10 සිට 16 දක්වා වැඩ කිරීම, වැඩ කරන ජනතාවට සාමාන්‍ය දෙයක් විය. බොහෝ සේවා ස්ථානවල මරණයන් සිදුවීම හා තුවාල සිදුවීම සරල දෛනික අංගයක් බවට පත්ව තිබිණ. ඒ අනුව පළමු අවස්ථාවේම වැඩකරන ජනතාව නැගී සිටියේ "වැඩ නොකර සිටීමේ", "කාර්ය කටයුතු මඟහැර සිටීමේ" අයිතියක් වෙනුවෙන් නොව, විධිමත් සහ වඩාත් මානුෂික වැඩ දිනයක් ලබාගැනීම වෙනුවෙන්ය. 1889 වසරේ මැයි 1 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සෑම වසරකම මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනය ලෙස නම් කළේ හේමාකට් නැගිටීමට දායකවූ කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතුය යන අදහසින්ය. 1926 සිට අප රටද ඊට එක්වන්නේ ඒ අනුවය.

නමුත් අද සිටින්නේ එදා සිටි කම්කරු පංතිය නොවේය. එදා සිටි ස්වාමි පක්ෂයද නොවේය. එදා තිබුණු ආර්ථික හැසිරීමද නොවේය. එදා මාක්ස් නිර්ධන කම්කරුවා හඳුන්වනු ලැබුවේ ජීවත්වීම සඳහා ශ්‍රමය හැර වෙනත් කිසිඳු දෙපළක් අහිමි තැනැත්තා ලෙසය. ඒ වැටුප් ශ්‍රමිකයා අද නැත. අද ලෝක තත්ත්වය වෙනස්ය. අද වැටුප් ශ්‍රමිකයා හෙට ප්‍රාග්ධන හිමියෙක් දක්වා වෙනස් කරවන තැනට ධනවාදය වෙනස්වී ඇත. වැඩකරන කාටත් උසස් ජීවන තත්වයක් වෙත යාමට මාර්ග ඕනෑතරම් විවෘතය. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන අධ්‍යාපනය ඇතුළු පහසුකම් කිහිපයක් සැපයීම පමණය. නැත්නම් කදිම ව්‍යවසාය ඉවක්ය. නමුත් මෙරට වම්මු මෙන්ම නිකම්මු වැඩකරන ජනතාව පෙළගස්සවන්නේ ඒ අර්ථයෙන්ද යන්න ප්‍රශ්නයක්ය.

කොහොමටත් මෙරට වෘත්තීය සමිති සාතිශය බහුතරයකට ස්වාධීන පැවැත්මක් නැත. ඒවා නඩත්තු වන්නේ විවිධ දේශපාලන පක්ෂ යටතේය. අනෙක් අතට වැඩකරන ජනතාව වැඩ බිමේදී වෘත්තීය සමිති සමඟත් ඉන් එපිට තමාගේම වූ විශ්වාසය මත දේශපාලන පක්ෂ සමඟත් සම්බන්ධය. මේ සම්බන්ධය පසුගිය කාලය පුරා යොදාගනිමින් ඇත්තේ රටෙහි සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීම උදෙසා වැඩකරන ජනතාව බලගැන්වීම සඳහා නොවේය. ඒ වෙනුවට පටු දේශපාලනික වුවමණාවන් හෝ අසාධාරණ වෘත්තීය ඉල්ලීම වෙනුවෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහභාගී කරගැනීම සඳහාය. කිසිදු සාධාරණ පදනමක් නැති වැඩවර්ජන දිගින් දිගටම දියත් කිරීමේ රහස ඒකය. ඔවුන්ට "රෝගී ජීවිතද ? පාසල් දරුවන්ද ?" කියාවත් වෙනසක් නැත. මෙරට ඇත්තේ කම්කරු අයිතීන් වෘත්තීය සමිති මාෆියාකරණය වෙනුවෙන් යොදා ගැනෙන තත්වයක්ය. එනිසා මේ 2023 මැයි 1 වනදා වැඩකරන ජනතාව ඒ බව නිවැරදිව කියවා ගත යුතුය. එවිට දහයියා වලින් වී වෙන්කර ගැනීම දුෂ්කර නැත. ඉදිරියට යන්න හරි පාර තෝරාගන්න හැකිවන්නේද එවිටය.

දැන් යන්තමින් සැනසුම් සුසුම් හෙළන තත්ත්වයක් පැවතියත් ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය තවමත් සමනය වී නැත. මේ පවතින්නේ වේදනා නාශක සමඟ යම් ඖෂධ සැපයීමක් හරහා රෝගය සුවකරන සමයක්ය. ප්‍රතිකාර කරණයේ සිදුකරන එක් කුඩා වරදක් හෝ අතපසුවීමකින් යළිත් රෝගය උත්සන්න විය හැකිය. එබැවින් ප්‍රතිකාරවේදය නිවැරදිව ක්‍රියාවට නගන අතර යළිත් රෝගය ඇති නොවන සේ ශක්තිමත් රෝග නිවාරණයක්ද මෙරට ආර්ථිකයට අදාලව අත්‍යවශ්‍යව පවතී. ඒ කියන්නේ රට බංකොලොත්ව, දරුණු ආර්ථික අර්බුදයක ගෝලීය ආදර්ශයක් බවට මෙරට පත්කළ පැරණි ව්‍යුහය ඉවත්කර නව ව්‍යුහයක් මත රට යලි ගොඩ නැගිය යුතු බවය.

ඒ වෙනුවෙන් දැක්මක් සහිත ලෝකයම පිළිගත් වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර හමාරය. 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් 17 වන වතාව වූ මේ වතාවෙන් පසුව යළිත් IMF යන්න ඉඩනොතබන බව ප්‍රසිද්ධියේ කියන්න තරම් ධෛර්යයක් ජනාධිපති ඇත්තේද ඒ නිසාය. IMF ගිය 16 වතාවේම නොකළ 17 වෙනි වතාවේ ජනාධිපති රනිල් කළ තවත් දෙයක් තිබිණ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රි ලංකා රජය අතර වූ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සදහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අනුමැතිය ගැනීමය. ඊට අදාළ ජන්ද විමසුම ජනපති රනිල් ජයගත්තේ ප්‍රධාන විපක්ෂයට පාර්ලිමේන්තුවේ රෙදි ඇඳගෙන ඉන්න නොහැකි පසුබිමක් සකසමින්ය. කොටින්ම කිව්වොත් නිතර කොන්ද ගැන කතා කරන විපක්ෂ නායක ඡන්දය විමසීම අවස්ථාවේ පාර්ලිමේන්තුව සභාවෙන් පලා ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව IMF යෝජනාවට පක්ෂ ද විපක්ෂ ද යන්න හරි තීරණයක් ගැනීමට ඇති බැරිබැරියාව නිසාය. මේ හැර විපක්ෂ නායක සජිත් යළි තහවුරු කර සිටියේ තමන් අකලට පැසුණු හිස් කෝම්බයක් මිස අභියෝගයකට මුහුණ දීමට හෝ තීරණාත්මක අවස්ථාවක සෘජු තීරණයක් ගැනීමට හැකි පරිණත දේශපාලනඥයෙකු නොවන බවය. ඒ හැර යෝජනාවට විරුද්ධ වුයේ අරගලයට බයේ "නිදහස" නම් අට්ටාලයක් අටවාගත්, රාජපක්ෂවාදයේ නරකම පැතිකඩ පෝෂණය කර රටේ විනාශය ඉක්මන් කල නිදහස නඩේ ඇතුළු කොහොමටත් ඉතිහාසයේ කුණු කූඩය උරුම කිහිපදෙනෙකු පමණය. එනිසා ඔවුන් විශේෂ නැත.

මෙහි අපට ඇති සුවිශේෂත්වය වන්නේ IMF සමග වන එකඟතා ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමය. ඒ කියන්නේ මෙම ගිවිසුම ප්‍රකාරව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායිතාවය සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව එකඟය. එසේම එම එකඟතාව අනුව ශ්‍රීලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නැවත වතාවක් ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටද හැකිව ඇත.

කෙසේ නමුත් විපක්ෂය මෙම එකඟතාවයට එරෙහිව ජන්දය පාවිච්චි කිරීම සහ එය මඟහැරීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රට අර්බුදයෙන් ගලවාගැනීම සම්බන්ධයෙන් ඇති ඔවුන්ට ඇති අකමැත්තය. සැබවින්ම IMF එකඟතා ගිවිසුම අනුව මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ හැර වෙනත් කිසිදු විකල්ප විසඳුමක් විපක්ෂය ඉදිරිපත් කළේ නැත. අප්‍රේල් 26 -28 පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව පැවති විවාදය පුරා සජබ බහුතරය අදහස් දැක්වුයේ ගිවිසුමේ අන්තර්ගතයෙන් පරිභාහිර කරුනු ගැනය. එනම් රජය විසින් ක්‍රියාත්මක කලයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර වල ඇති අඩුපාඩු , විපක්ෂය කියපු කාලයේ IMF නොයාම, එදා නොයන්න සහය වූ පොහොට්ටුවේ ඇතැමුන් අද ජනාධිපතිට කඩේ යාම , ජනාධිපති ජනපතයක් නෑ වැනි මන්ස්ගාතය. වඩාත් හාස්‍ය දනවන සිදුවීම නම් විපක්ෂය මේ කියූ කිසිවක් IMF නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමට අදාල නොවීමය. ආණ්ඩුව හෝ ජනාධිපති මාරුවූවා කියා වෙනස් නොවන සියල්ලට විපක්ෂය එකඟ විය. ඒ කියන්නේ ජනාධිපති රනිල් කියූ ලෙසම මෙම ගිවිසුම පිළිගන්නවා හැර වෙනත් විකල්ප විසඳුමක් විපක්ෂයට තිබී නැත.

ඒ පසුබිමේ ඔවුන්ට තිබුණු ඇත්ත ප්‍රශ්නය නම්, IMF සමඟ එන එකඟතාවට අදාළ යෝජනාවට පක්ෂ වුවහොත් එය ජනාධිපති රනිල් ගේ ජයග්‍රහණයක් වීමය. රටත් ජනතාවත් කවර ඉරණමකට ගොදුරු වූවත් එය නොතකා ගිවිසුමට පක්ෂ නොවීමේ තීන්දුව ගත්තේ ඒ නිසාය. ඒ කියන්නේ ඔවුන්ගේ බල දේශපාලන අරමුණු ඉදිරියේ, රට සහ ජනතාව යනු රම්පෙ කරපිංචා මිස ඊට වැඩි දෙයක් නොවන බවය. ඉතිහාසයේ දරුණුම අර්බුදය මැදින් ඉදිරියට යන්න ඇත්තේ මෙහෙව් පිරිසක් සමඟය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුමට අදාළ යෝජනාවට අනුමැතිය හමුවීම තුල, ඒ අනුව ක්‍රියාත්මක වී රට අර්බුදය ජයග්‍රහණය කිරීම දක්වා රැගෙන යාමේ අභියෝගය තවදුරටත් ජනාධිපතිවරයා මත ඇත. ඒ සඳහා ජනපතිගේ ප්‍රතිඥාව වී ඇත්තේ, 2048 බලගතු සංවර්ධිත ශ්‍රීලංකාවක් වෙනුවෙන් වන ඔහුගේ අරගලය ජයගැනීම සදහා මේ මොහොතේ සහය දෙන ලෙසය. ජනපති රනිල් එය, කිහිපවරක්ම අවධාරණය කර ඇත. නමුත් රට ගොඩනගන ඒ මල්වට්ටියට , පසුගිය අතිදුෂ්කර වකවාකුවේ හැසිරුණු ආකාරයට ම, වෘත්තීය සමිති මාෆියාව හෝ විරුද්ධ පක්ෂය සහය දෙන්නේ නැත.

එසේනම් ආර්ථික අඝාදයට වැටුණු රට ස්ථාවර කර, බලගතු රටක් බවට පත්කරන කටයුත්ත සඳහා ජනපතිට සහයදීම මෙරටේ වැඩකරන ජනතාවගේ යුතුකම සහ වගකීමය. මන්ද පාර පෙන්නුවේ නායකයන් වුණාට රටවල් ගොඩනැගුවේ ජනතාව වන නිසාය. චීනයේ මහජන විප්ලවයේ නායකයා වූ මාඕ සේතුං 1976-09-09 දින මිය යාමෙන් පසුව චීනයට දින හතරක ශෝක දිනයක් රජය ප්‍රකාශයට පත් කළේය. එහෙත් චීනය ගොඩනැංවූ සිය නායකයාට ගරු කිරීම සදහා එම නිවාඩුව ලබා ගැනීම පසෙක තැබූ එරට කම්කරුවෝ සිදුකළේ පැය 8ක දෛනික සේවා මුරය වෙනුවට, පැය 16ක් දක්වා තම සේවා මුරය දිගුකොට වැඩ කිරීමය. දෙවන ලෝක යුද්ධයෙන් අළු ධුලිව ගිය ජපානය බලවත් රටක් කළේද වැඩකරන ජනතාවගේ ජවය ධෛර්යය සහ ඕනෑකම විසින්ය. දකුණු කොරියාව ගොඩ නැගුවේද වැඩකරන මිනිසුන්ය. ජනප්‍රිය සටන් පාඨ හෝ අරාජිකත්වය හෝ දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වය විසින් රටවල් ගොඩනගා නැත. රටවල් ගොඩනැගුවේ පරිණත දේශපාලන නායකත්වයන් සමඟ කැටිවුණු වැඩකරන ජනතාවය. වී මොනවද දහයියා මොනවද කියා හරියට වෙන්කරගත් මිනිස්සුය. 2048 ජයගන්න ඒ මිනිස්සු පෙරට ආ යුතුය. 2023 මැයි 01 වනදා කියන්නේ ඒ මිනිසුන්ට සිය වගකීම සිහිපත් කරන දවසය.

එස්. එම්. ලියනගේ

2023- 05- 01 දිනමිණ

දිය යට ගින්දර එළියට : ක්‍රිකට් ප්‍රධානීන්ගෙන් අර්ජුන ගේම ඉල්ලයි !

වැරදි තීරණ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සඳහන් කරයි.

ක්‍රිකට් යනු මහේල ජයවර්ධන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ෂම්මි ද සිල්වා ඇතුළු පිරිසගේ බූදලයක් නොවන බවත් ඔහු පවසයි .

ක‍්‍රිකට් යනු මෙරට මිලියන විසි දෙකක මිනිසුන්ට අයත් ක‍්‍රීඩාවන් බවත් අර්ජුන රණතුංග පවසයි .

ක‍්‍රිකට් කළමනාකාරිත්වය දුර්වල බවට චෝදනා කරන ඔහු 20-20, එක්දින හා ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා කල යුතු ක්‍රීඩකයන් කවුරුන්ද යන්නවත් නිසි ලෙස තෝරා ගැනීමට පරිපාලන අසමත් බවද කියා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායෙම් මෑතක මෑතකදී වාර්තා වන ඇතැම් හැසිරීම් වලට පරිපාලනය වගකිව යතු බවද පවසන සභාපතිවරයා තරඟ පැරදීම හෝ වරදක් සිදු වූ විට එය භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමද ගැටලුවක් බවත් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයන් පවසන්නේ මෙතෙක් කාලයක් දියයටින් ගින්දර ගෙනගිය අර්ජුන රණතුංග මේ සමග අවසන් සටන දියත්කර ඇති බවක් පෙන්නුම් කරන බවයි.

ක්‍රීඩා ඇමති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුවීම පිටුපස ද අර්ජුන රණතුංග සිටින බව විශ්වාස කළ හැකි බවත් විචාරක මතය වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සීමා පන්නලා !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදි ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105ක ආදායමක් උපයා තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී අපේක්ෂිත ආදායමෙන් රේගුව සියයට 89ක ද සුරාබදු දෙපාර්තමේන්තුව සියයට 64ක ද බදු ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව ද අමාත්‍යවරයා පවසයි .

කෙසේ වුවත් සුරාබදු ආදායම අඩුවීමට හේතූන් තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි .

Page 176 of 444