V2025

පුවත්

කිසිඳු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තියන්නේ නැහැ - සුව ඇමැති

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පවසයි.

ඔහු පැවසුවේ දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 06 තුළදී යථාවත් වනු ඇති බවයි.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමණක් අනුගමනය කරන බවත් දීර්ඝ කාලයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සියල්ල විනිවිදභාවයකින් සිදු කරන බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටී.

රෝහල්වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, එම ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති මෙන්ම ඉදිරි සති දෙකක කාලය ඇතුලත එම ගැටළුව නිරාකරණය කරන බවයි.

මෙරට තිබෙන සීටි ස්කෑන් යන්ත්‍ර 46 ක වැනි ප්‍රමාණයකින් 03 ක පමණ ගැටළු ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන යන බවද සුව ඇමැතිවරයා පැවසීය.

මාර්තු 01 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර හියු­මන් ඉමි­යු­නෝ­ග්ලො­බි­යු­ලීන් ඖෂ­ධය මිල දී ගැනීම සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැය 11කට අධික කාල­යක් ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව ඊයේ (01) අත්අ­ඩං­ගු­වට ගන්නා ලදී.

ඔහුගෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කෙරුණු දෙවැනි අව­ස්ථාව මෙයයි.

මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනා අබේ­වි­ක්‍රම  විසින් පෙරේදා (29) දුන් නියෝ­ග­ය­කට අනුව වෛද්‍ය සමන් රත්නා­යකට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට පැමි­ණියේ ඊයේ (01) පෙර­වරු 9.00ට පම­ණය.

එහිදී ඔහු­ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේ විම­ර්ශ­න­ව­ලින් හෙළි වූ මිල දී ගැනී­ම්ව­ලට අදාළ අලුත් තත්ත්ව­යන් සම්බ­න්ධ­යෙන් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

වෛද්‍ය සමන් රත්නා­යක­ගෙන් මෙයට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රශ්න කරනු ලැබුවේ ඉකුත් ජන­වාරි 31 දාය.

එහිදී පැය 10ක පමණ කාල­යක් ඔහු­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කර තිබිණි. අධි­ක­ර­ණය දුන් නියෝ­ග­ය­කට අනුව පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාසයේ ඔහුගේ කාර්යා­ල­ය­ටද මුද්‍රා තැබී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගත්තේය. අන­තු­රුව එම කාර්යා­ලයේ තිබුණු වැද­ගත් ලිය­කි­ය­විලි කිහි­ප­යක්ද විම­ර්ශන කට­යුතු සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිය භාර­යට ගෙන තිබිණි.

ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණි.

ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

දිනෙන් දින වර්ධනය වන අලි – දුම්රිය ගැටළුවට විසඳුමක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව ගණනාවක් දීර්ඝ කාලයක් පුරාවට විසඳුම් ‍රැසක් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති නමුත්, දුම්රියන්හි අලි ඇතුන් ගැටීම වළක්වා ගැනීමට රටක් වශයෙන් තවමත් උත්සහ කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, “සුරකිමු දුම්රිය” ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කර, “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අලි – දුම්රිය ගැ‍ටුම් වැළැක්වීම උදෙසා යෝජනා ‍රැසක් රජයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අතුරින් ප්‍රධාන යෝජනාවක් වූයේ, පසුගිය වසර කිහිපය තුල දුම්රියන්හි ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය සහ වන අලි 150-200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන, අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙස වූ යෝජනාවයි.

එහිදී එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වුවද එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා අලිමංකඩ ස්ථානයේ නව වනජීවි උමඟක් ඉදිකිරීමට යෝජනා විය.

යාපනයේ දූපත් 03කට විදුලිය දෙන්න ගිවිසුමක්

යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් සිදු කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිතය.

සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කෙරේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා රජය සහ M/s. U Solar Clean Energy Solutions පුද්ගලික සමාගම එකතුව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ.

මෙම දූපත් තුනේ ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් ව්‍යාපෘතිය, ඉන්දීය රජයේ (GOI) ප්‍රදාන ආධාර හරහා ක්‍රියාත්මක වේ. මෙම දෙමුහුන් ව්‍යාපෘතිය මඟින් සූර්ය සහ සුළං යන දෙකම ඇතුළුව විවිධ ආකාරයේ බලශක්ති ඒකාබද්ධ කර, ධාරිතා ප්‍රශස්ත කිරීම සඳහා යොදා ගනී.

2023 ජූලි මාසයේදී ජනාධිපති එච්.ඊ.රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී සම්මත කරගත් ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ලේඛනයේ බලශක්ති ක්ෂේත්‍රය ප්‍රමුඛතා අංශයක් ලෙස හඳුනාගෙන ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ බහු නිෂ්පාදන ද්වි-මාර්ග තෙල් නල මාර්ගය මේ වන විට සාකච්ඡා වෙමින් පවතී.

ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් සිරිසේන ; ඒකමතික තීන්දුවක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹෙන  ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි .

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව , දේශපාලන මණ්ඩලය සහ සමස්ථ ලංකා කාරක සභාව මීට අදාළ ඒකමතික තීන්දුව ගනුලැබූ බවද ඔහු පවසයි .
 
එසේම ඉදිරි මහ මැතිවරණයක් අවස්ථාවේ හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ජනපති විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ  දරුවන්ගේ තොරතුරු විමසයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විල්ගමුව පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීමට අද (29) එක් විය.

“අස්වැසුම” වැඩසටහන පිළිබඳව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවට එක්වීමට යන අතරතුර පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සිටි සිසු දරුවන් දුටු ජනාධිපතිවරයා ඔවුන් අසලට ගොස් සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.

එහි සිටි ගුරුවරුන් සමඟ ද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පාසලේ අඩුපාඩු පිළිබඳව ද විමසා බැලීමට කටයුතු කළේය.

එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳව සොයා බලන බවට සිසු දරුවන්ට පොරොන්දු වූ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශීර්වාදය පිරිනැමීය.

මේ අතර ඒ අසල රැස්ව සිටි දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ තොරතුරු විමසීමට ද ජනාධිපතිවරයා අමතක නොකළ අතර රාජකාරි බහුල වුවද දරුවන් මඟහැර නොගොස් ඔවුන්ගේ තොරතුරු විමසීමට පැමිණීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියහ.

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ලංකාවට !

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි.

කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ද සහභාගී විය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්/දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එහිදී ශ්‍රී ලංකාවට හිමිවූ සම්මානය ලබා ගත්තේය.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ පරිහානිය සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුද සඳහා විසඳුම් සෙවීමේ දී ගෝලීය සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දීම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරයේ ප්‍රමුඛ අරමුණක් විය.

සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රථම, රැස්වීමේ සාකච්ඡා සඳහා අවශ්‍ය පදනම සකස් කිරිම සඳහා එහි ස්ථිර නියෝජිතයන්ගේ විවෘත කමිටුව රැස් වූ අතර කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් බව එහිදී ඉස්මතු කෙරිණි.
අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසිවාරයේදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර මිනිසා සහ සොබාදහම අතර නව සබඳතාවක් ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡාවන්ට එහි න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයක් හිමි විය.

පාරිසරික ගැටලු පිළිබඳවද පුළුල්ව විමසා බැලෙන සහ ඒ වෙනුවෙන් කැපවූ ප්‍රධාන ගෝලීය සංසදය වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සුරක්ෂිත පරිසර පද්ධතියක් වෙනුවෙන් වූ තීරණාත්මක මුලපිරීම් සහ නවෝත්පාදන උපාය මාර්ගයන් සඳහා පුළුල් වේදිකාවක් සපයනු ලබයි.
රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, පර්යේෂකයන් සහ විද්වතුන් සහභාගී වන මෙම සමුළුව පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීමේ වේදිකාවක් ලෙස ද කටයුතු කරයි.

ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ !

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පසුගිය කාලයේ 4.73% ක්ව පැවති ඩිජිටල් ආර්ථිකය අද වන විට 5%කට වඩා ඉහළ තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය එක්ව කටයුතු කරනවා.

ඒ වගේම පසුගිය වසරේ SLSI ආයතනයෙන් ලැබුණු ලාභයෙන් මිලියන 50ක් භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා. මෙරට ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තාක්ෂණිකව සවිබල ගැන්වීම එහි අරමුණ වී තිබෙනවා. එහිදී ව්‍යවසායකයින් සඳහා GMP සහතිකය සහ SLSI සහතිකය ලබාදීමට කටයුතු කරනවා. අනතුරුව ඔවුන්ට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හරහා අඩු පොලියට ණය ආධාර ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා. එම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳපළ වෙත යොමු කිරීම අපගේ අරමුණයි.

එමෙන්ම ශ්‍රී ලංකා ස(ර්)ට් ආයතනය (Sri Lanka Cert Institute) මඟින් ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වනවා. ඉන්පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට ද ඉතාමත් කඩිනමින් කටයුතු කරනවා.

ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව අන්තර්ජාල පහසුකම් නොමැති තෝරා ගත් පාසල් 1000කින් 700ක් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා. එහි දෙවැනි අදියර ලෙස පාසල් මට්ටමින් “කෘත්‍රිම බුද්ධිය” විෂය හඳුන්වාදීම සඳහා AI මධ්‍යස්ථාන පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා.

එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව තාක්ෂණ නොවන උපාධිධාරීන් 10,000ක් සඳහා සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහුණුවක් ලබාදීම මැයි මාසයේ දී ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා.

නව පොලිස්පති ජනපති හමු වෙයි !

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මෙලෙස ජනාධිපතිවරයා හමු විය.

නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමඟ සුහද කථා බහකට ද එක්විය.

නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

කෙහෙලිය ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ් !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවූ අවස්ථාවේදීය.

මේ අතර, ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වී තිබේ.

ඒ් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා සිටගෙන සිටීමේ අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුට අසුනක ඉඳගෙන සිටීමට අවස්ථාව දෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය කියාසිටියේ හිටගෙන සිටීමේ අපහසුවකින් පෙළෙන ඕනෑම සැකකරුවෙකුට විත්තිකූඩුවේ අසුන්ගත හැකිබවය.

පසුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙරදින අධිකරණට ඉදිරිපත් නොකිරීමට හේතු වූ රෝගී තත්ත්වය පරීක්ෂාවට පත්කළ නවදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවාය.

"ස්වාමීනී, මේ වනවිට මගේ අතට ලැබී ඇති එම විශේෂඥ වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පෙර දින අධිකරණයේ පෙනී නොසිටීමට තරම් බරපතළ රෝගී තත්ත්වය නොතිබූ බව. සැකකරුට ශ්වසන අසාත්මිකතාවක් හා පපුවේ වම්පස වේදනාවක් පැවත තිබුණද එය අධිකරණයේ පෙනී නොසිටීමට තරම් හේතුවක් නොවන බව මෙම කමිටුව සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සැකකරු බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට තරම්වත් සංකීර්ණ රෝගී තත්ත්වයකින් පසුනොවූ බවයි. එබැවින් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස මා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා "

එම ඉල්ලීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වූවාය.

"බන්ධනාගාර වෛද්‍යවරු දැනගන්න ඕනේ මේ වගේ නඩුවකට වෙනදා සැකකරුවන් සම්බන්ධයෙන් ලබාදෙන සාමාන්‍ය වාර්තා නොදෙන්න. මොකද, මෙහිදී එම වාර්තාව විනිසුරුවරයාගේ තීරණයට ද බලපාන්න පුළුවන්. එබැවින් නීතිපති මැදිහත්වෙලා වෛද්‍ය සභාව සමඟ එකතු වෙලා බන්ධනාගාර වෛද්‍යවරු අධිකරණයට සත්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන ආකාරයට සුදුසු කාර්ය පටිපාටියක් හදන්න"

අනතුරුව මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නකර සිටියේ ප්‍රශ්නගත එන්නත සම්බන්ධ සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත්වීම කෙබඳු ද යන්නයි.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.

"ස්වාමීනී, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකා සාදා තියෙන්නේ වෛද්‍ය සමන් රත්නායක යටතේ තිබූ වෛද්‍ය නිෂ්පාදන හා සැපයුම් නියාමන අංශය තුළයි. එමෙන්ම අද දිනය වනතුරු විමර්ශන නිලධාරීන්ට සොයාගැනීමට නොහැකි වූ අදාළ කැබිනට් පත්‍රිකා සැකසීමට මුල්වූ ලේඛන ඇතුළත් මුල් ගොනුව පිළිබඳ වගකිව යුතු තැනැත්තාද ඔහුයි. එබැවින් මෙම නඩුවට අදාළ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට අද පෙරවරුවේ CIDය හමුවේ පෙනීසිටින ලෙස ඊයේ දින ඔහුගේ කුරුණෑගල ස්ථිර ලිපිනයට අප ලිඛිතව දැනුම් දුන්නා. එය ඔහුගේ බිරිඳ භාරගත්තා. එහෙත් ඊයේ සිට අද උදෑසන වනතුරුම ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනය ක්‍රියාවිරහිතයි. එමෙන්ම ඔහු තාවකාලිකව පදිංචිවී සිටින බවට විමර්ශන නිලධාරීන්ට දී තිබෙන්නේ ව්‍යාජ ලිපිනයක්. කෙසේවෙතත් ඔහු අද දහවල් අපගේ විමර්ශන නිලධාරියෙකුට කෙටි පණිවිඩයක් එවා තිබුණා පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ලබාගත් බවට. මේ වනවිට ඔහු සිටින්නේ වනාතවිල්ලුවේ බැවින් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කරලා. එහෙත් ස්වාමීනි ඒ කියූ දේ ගැන අප කළ විමර්ශනයේදී අපට අනාවරණය වුණේ ඊයේ සහ අද නිවාඩු ලබාගත් බව ඔහු අපට පැවසුවත් ඊයේ සවස්වරුව වනතෙක්ම සිය කාර්යාලයේ රාජකාරී කර ඇති බවයි. එබැවින් ස්වාමීන් මෙම සියලු කරුණු සලකා බලා හෙට පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස ඔහුට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. "

කෙසේවෙතත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ කිසියම් පුද්ගලයෙකු විමර්ශන මගහරින්නේනම් ඊට අදාළ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.

  • Derana

අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි !

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් ගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය, චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසට ඊයේ (28) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළේය.

අනතුරුව තොරතුරු විමසමින් පවුලේ ඥාතීන් සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේහය අසළ තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

ඇමති ටිරාන් සහ දේශබන්දුගෙන් පොලිසියට සහනයක් !

පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අනුමැතිය ලබාදී තිබේ.

මීට අදාළ කැබිනට් යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර මීට පෙර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථය තුළ සිදුකළ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පෞද්ගලික නීති සහාය ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍යමය සහාය ලබාදීම මෙම නව යෝජනා ක්‍රමයේ අරමුණ වී ඇත.

එසේම පොලිස් නිලධාරියෙකු විසින් රාජකාරී විෂය පථය තුළ සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීති කෘත්‍යයකට භාජනය වුවහොත් සහ එයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ නීති සහාය ලබාදීම ප්‍රතික්ෂේප කරන හෝ නීති සහාය ලබා නොදෙන අවස්ථා වලදී, පුද්ගලික නීතිඥ සහාය ලබා ගැනීම සහ වෙනත් නීති සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සිදුවන ආර්ථික අපහසුතාවයන් සදහා මෙම ක්‍රමය හරහා සහනයක් හිමිවනු ඇත.

මෛත්‍රීට නිවසක් දීමට ගනුලැබූ කැබිනට් තීරණය බල රහිත කරයි !

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහුගේ විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ඊට අදාළ 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩකර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකර තිබිණ .

එය විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති සිරිසේන විශ්‍රාම යාමටත් පෙර තමාට හිමි නිවස අමාත්‍ය මණ්ඩලය හරහා වෙන්කර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල එය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

දේශබන්දු පොලිස්පති ධුරයේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස් මූලස්ථානයේදී අද (29) රාජකාරි ආරම්භ කළේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන දේශබන්දු තෙන්නකෝන්, ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූයේ 1998 වසරේ පෙබරවාරි 23 වැනි දාය.

2019 වසරේ නොවැම්බර් මාසයේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලැබූ ඔහු එම වසරේ දෙසැම්බර් මාසයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණි.

ඔහු පොලිස් සේවයේ විවිධ තනතුරු හොබවමින් නීතිය හා සාමය ස්ථාපිත කිරිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළ නිලධාරියෙකි.

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට පත්කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනි දායි.

අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ආරම්භ කෙරුණු 'යුක්තිය' මෙහෙයුමට නායකත්වය ලබා දෙන්නේ ද දේශබන්දු තෙන්නකෝන් ය.

නාගානන්දගේ නීතිඥභාවය අහෝසි කිරීමට තීන්දුවක්

නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර ඇත.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි මෙම තීන්දුව ලබා දී ඇත.

ප්‍රියන්ත ජයවර්ධන ,ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දී ඇති බව වාර්තා වෙයි.

විත්තිකාර නාගානන්ද කොඩිතුවක්කු 2014 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින්, විනිසුරුවරුන් කිහිපදෙනෙකු දූෂිත බැවින් තමා විසින් ගොනුකරන නඩු කටයුතු ඔවුන් හමුවේ කැඳවීමට පියවර නොගන්නා ලෙස ඉල්ලීමක් සිදුකර තිබිණි.

එකී ක්‍රියාව මඟින් ඔහු විෂමාචාර නැමැති වරද සිදුකර ඇති බවට විනිසුරු මඩුල්ල අද (29) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වාදී ඇත.

“අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා - ජනපති

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එමෙන්ම “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (29) පෙරවරුවේ එක් වෙමිනි.

රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සහාය ලබාදෙන බවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15 වනදා ආරම්භ වූ අතර අද (29) වන විට නව අයදුම්පත් 35,920ක් ලැබී තිබේ. ඒ අතරින් අයදුම්පත් 14,537ක් ප්‍රාදේශීය ලේකම් හරහාද, අයදුම්පත් 21,383ක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද ලැබී ඇත.

ඒ අනුව පළමු අදියර යටතේ මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන 2.4ක පිරිසකට සහන සැලසීම අරමුණයි.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් එහි පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආයතනික අංශය, ගිනුම්කරණ සහ මූල්‍ය අංශය වෙත පැමිණ එම කටයුතු ද නිරීක්ෂණය කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලොග් සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සාකච්ඡාවකට එක් වූ අතර දිස්ත්‍රික්කය තුළ “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අනතුරුව ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂකයින් ද හමු වූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටළු බොහොමයකට එම අවස්ථාවේදීම සාධනීය විසඳුම් ලබා දීම විශේෂත්වයකි.

මේ අතර විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා සුහද පිළිසඳරක යෙදුණු අතර ඔවුන් මුහුණ දී ගැටලු ජනාධිපතිවරයා වෙත වාචිකව මෙන්ම ලිඛිතව ද ඉදිරිපත් කළේය.

එම ගැටලු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට කටයුතු කළේය. දුෂ්කරතා හමුවේ වුවද ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කළ ජනාධිපතිවරයා අස්වැසුම සහ උරුමය වැඩසටහන සඳහා සහාය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ද ග්‍රාම නිලධාරීන් වෙත සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම මෙම අවස්ථාවේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාව ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබාදීමට පියවර ගත්තේය. එමෙන්ම අනෙකුත් ගැටලු සොයා බලා කඩිනම් විසඳුම් ලබා දීමට නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අද මා විල්ගමුවට පැමිණ තිබෙනවා.

ජනාධිපති ධූරයේ වගකීම මා භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්ව තිබූ අවස්ථාවකයි. එදා ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා කිසිදු නායකයෙක් ඉදිරියට ආවේ නැහැ. එවැනි බංකොලොත් පරිසරයක් තුළ ජනතාවගේ රැකියා අහිමිවී ජීවත්වීම පිළිබඳ ගැටලු මතුව තිබුණා.

එම නිසා රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා භාරගත්තා. ඒ අනුව ආර්ථික වශයෙන් රට ගොඩනැඟීමට අප කටයුතු කළා. ඉන්පසුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් අප “අස්වැසුම”වැඩසටහන යටතේ මූල්‍ය ආධාර පිරිනැමීමට කටයුතු කළා. ඒ අනුව අස්වැසුම හරහා සමෘද්ධිය මෙන් තුන් ගුණයක ආධාර ජනතාවට ලබා දීමට අපට හැකියාව ලැබුණා.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ අවශ්‍ය සියලුදෙනා හඳුනා ගෙන එම ආධාර ලබාදීම අපේ අරමුණයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු හඳුනාගෙන කටයුතු කිරීමෙන්මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අපේ රටේ සමෘද්ධිලාභීන් සිටියේ ලක්ෂ 16ක පමණ පිරිසක්. නමුත් අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට රජය කටයුතු කළා. ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් ඔවුන්ට හිමි වෙනවා. 2015 වසරේ අගමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට මම කටයුතු කළා. නැවත වැටුප් වැඩිකිරීමක් වසර දහයකින් කිරීමට නියමිතව තිබුණත් ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසාම 2024 දී එය සිදු කිරීමට අප තීරණය කළා.

ඒ වගේම අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. 1935 සිට ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් බලපත්‍ර ලැබූ සියලුදෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා. තමාට ඉඩමේ නීත්‍යානකූල අයිතිය හිමි වීම නිසා දිගු කලක් තිස්සේ එම ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලුවට විසදුම් ලැබෙනවා.

උරුමය වැඩසටහන යටතේ ලක්ෂ විස්සකට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. මෙම වසර අවසන් වන විට ඉඩම් ඔප්පු ලක්ෂ දහයක් ලබාදීමට කටයුතු කරනවා. මේ සියලුම වැඩසටහන් යටතේ ජනතාවට සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනගා දීම අපේ අරමුණයි.

අස්වැසුම සහ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විශාල වැඩකොටසක් පැවරෙනවා. ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් අප ඒ සඳහා කැපවී කටයුතු කළ යුතුයි.

මේ වැඩසටහන සමඟ රටේ ආර්ථිකය ද අපි පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැන් රටේ ආර්ථිකය ධන වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. එම නිසා මේ පළාත තුළ ආදායම් මාර්ග වර්ධනය කිරීමට හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස මෙම පළාත දියුණු කළ හැකියි. නවීන කෘෂිකර්මාන්ත භාවිතය සහ අපනයන කුළු බඩු කර්මාන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

කොකෝවා සහ කෝපි වගාවන් සඳහා නව ආයෝජකයන් සහිතව නව වගාවන් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවත නඟාසිටුවීමට අප බලාපොරොත්තු වෙනවා.

විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කේ.ඒ.ජී.තෙන්නකෝන්,

රට බංකොලොත්ව තිබෙන අවස්ථාවක ධනාත්මකව කතා කළ එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පමණයි. ආර්ථික වශයෙන් රට කඩා වැටෙද්දි රට ගොඩනැගීමේ වගකීම භාරගත් දැවැන්ත නායකයෙක් ලෙස අපි ඔබතුමා දකිනවා. අදුරු යුගයෙන් රට බේරාගෙන ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ ඔබතුමාට මාතලේ විල්ගමුව ජනතාවගේ සහයෝගය හිමි වෙනවා. ඒ වගේම විල්ගමුව වනෝද්‍යානය සංචාරක කලාප ලැයිස්තුවට ඇතුළත්කර මේ පළාතට සංචාරකයන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යූ. ගමගේ,රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ,සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න යන අය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උද්ධික පුතාගේ රංගනය හෙළිවෙයි !

27 වෙනිදා උදේම දේශපාලන පිටිය රත්වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා කියන නිව්ස් එකකින්.

ඒ කියන්නේ 27 වෙනිදා පුවත් මවන්නා වුනේ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න.

දැනට ලැබිල තියන ආරංචිවල හැටියට , උද්දික කියන්නේ අති දක්ෂ නළුවෙක් කියන කාරණේ තහවුරු වෙනවා. ඒ ආරංචිවල හැටියට උද්දිකගේ ආරක්ෂක නිලධාරියෙක් උද්දික ඉල්ලා අස්වීමේ ලියුම කතානායක තුමාට ගෙනත් දෙනකොටත්, උද්දික රටින් ගිහින්. ඒ කියන්නේ ඒ වෙනකොටත් උද්දික ඉඳලා තියෙන්නේ කැනඩාවේ. ආරංචි විදියට දේශපාලන රැකවරණ ත් අරගෙන ලු..

උද්දික ප්‍රේමරත්න කියන්නේ , විමල් වීරවංස ගේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් .. පහුගිය මහ ඡන්දෙදී උද්දික පාර්ලිමේන්තු ආවේ පොහොට්ටුවෙන් තරග කරලා , අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප 1,33, 550 ක් අරගෙන

ඒ මහ ඡන්දෙදී විමල්ගේ පක්සේ 06 දෙනෙක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආවා.

කොහොම වුනත් උද්දිකලට අපල කාලේ පටන් ගත්තේ විමල්ලා , රාජපක්ෂලත් එක්ක අවුලක් හදාගෙන එලියට ආපු දවසේ ඉඳලා. ඔන්න ඊට පස්සේ කට්ටිය උත්තර සන්ධානේ කියලා සන්ධානෙකුත් අටව ගත්තා. අරගලෙත් එක්ක රාජපක්ෂලත් එක්කම උද්දිකලා ඩවුන් ගියා. ඊට පස්සේ උද්දික '' ඔන්න මම ස්වාධීනයි '' කියල ප්‍රකාශයකුත් කෙරුවා.

ඔන්න මාසයක් දෙකක් යද්දී, උද්දික මන්ත්‍රීතුමාගේ නතර කරලා තිබුන වාහනේට වෙඩි ප්‍රහරයකුත් එල්ලවෙනවා. මේ දක්වා කිසිම සැකකරුවෙක් හොයාගන්න පොලිසියට බැරිවෙලා. හැබැයි දැන් කතාව නම් යන්නේ , ඒක මන්ත්‍රී සගයෙක් ලව්වා කතාබහ කරගෙන කරපු වැඩක් විදියට.

ඒ කොහොම වුනත් රටින් පැනපු ගමන්, උද්දික මන්ත්‍රීතුමා , තමන්ගේ පක්ෂයේ නායක විමල්ට කතාකරලා , මන්ත්‍රී කමෙන් අස්වෙන කතාවක් කියල ලු..

'' පිස්සු කෙලින්නේ නැතුව ඉන්නවා. එන්න බැරිනං මාස තුනෙන් තුනට නිවාඩු ඉල්ලලා කතානායකට ලියුමක් ලියලා නිවාඩු ගන්නවා. කොහොමටත් තව අවුරුද්දකින් විතර මහ ඡන්දයක් එනවනේ .. එතකන් අස්වෙන්න හිතන්නවත් එපා.. තව ඔයා අස්වුනොත් එන්නේ පට්ට රාජපක්ෂ කෙනෙක්.. ''

විමල් කිව්වා කියන්නේ එහෙමලු.

ඒ කොහොම වුනත් උද්දික ඉල්ලා අස්වීමේ ලිපිය එවල තියෙන්නේ , කැනඩාවේ ඉන්න නීතිඥ කණ්ඩායමක උපදෙස් අනුව ලු.. කොහොමද ලංකාවේ ජිවිත තර්ජනයක් තියනවා කියලා රඟපාපු රැඟිල්ල ..

ජනකාන්තවාදී දේශපාලනයේ ප්‍රතිඵල පේනවා නේද ?

සනත් ජයසූරිය, ගීතා කුමාරසිංහ, උපේක්ෂා ස්වර්ණමාලි වගේ අයත් ඔය ජනකාන්තවාදී දේශපාලනයේ අනුහසින් ව්‍යවස්ථාදායකය ඇතුලට ආපු උදවිය.

උද්දික ප්‍රේමරත්න කියන්නෙත් ඒ වගේ දක්ෂ කලාකාරයෙක්. වීර චරිත පවා රඟපාපු නලුවෙක්.

කොහොමද එයාගේ පොලිටිකල් රැගිල්ල ..

හැඟීම්බර කතාවලින් - දුටුගැමුණු රංගනවලින් ජනතාව රවටා ඡන්දය ලබාගත් වැඩබැරිදාස කෙනෙක් වෙන , හිටපු ජනාධිපති ගෝඨා ජනාධිපතිකමත් දමා පලා පැනල ගියා.

අන්තිමේදී උද්දිකත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද හැර දමා පලා ගිහින්..

ඉස්සරහටත් මේ විදියට දුටුගැමුණු, විහාරමහාදේවි චරිතවලට ඇඳලා , කටින් බතල හිටවන සෙට් එකක් පාර්ලිමේන්තු එන්න wholesale ලෑස්ති වෙන බව පේන්න තියෙනවා.

ඒ නිසා ලංකාවේ ඡන්ද දායකයෝ උද්දිකලගේ කතාවෙන් හරි පාඩමක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්..

ඒත් ඉතින් පරණ අත්දැකීම අනුව නම්, ජන්දයක් එනකල් දේශපාලනඥයන්ට බනින ජනතාව, ජන්දයක් ආපු ගමන් තමන්ගේ ඉරණම කොහෙහරි යන අබබ්බයෙකුට දෙන්න දෙපාරක් හිතන්නේ නෑ. ඊට පස්සේ කරන්නේ ආයෙත් දේශපාලනඥයන්ට සාප කර කර මැසිවිලි නගන එක. ඒ නිසා මේ පාරවත් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් වගේම ඒ දේවල් ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද කියලා බලලා , දෙපාරක් හිතලා ජන්දය දෙන්න හිතුවොත් හොඳයි. අත්හදා බැලීම් කරන්න, හැබැයි තමන්ගේ ජීවිතය එක්ක අත්හදා බැලීම් කරද්දී ටිකක් හරි පරිස්සම් වෙන්න. දෙපාරක් හිතන්න.

  • දේශපාලන වාර්තාකරු

විදුලි බිල 37%කින් අඩුකරනවා : මාලිමාව අවධානම් පොරොන්දු දේශපාලනයට බහියි !

ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව සියයට තිස් හතකින් අඩු කළ හැකි බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි .

තම පක්ෂයෙන් නියෝජිතයන් විසින් මේ බව මහජන උපයෝගීතා කොමිසම විසින් කැඳවා තිබූ මහජන අදහස් විමසීමේදී සදහා පැහැදිලිව සඳහන් කළ බවද ඔහු සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනත විමුක්ති පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය .

‘ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කර්මාන්තකරුවන්ටත්, මහජනතාවටත් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ සියලුම ඉඩකඩ ලබාදෙනවා.

විදුලි බල මණ්ඩලයම ඉදිරිපත් කළ ගිණුම්වල තිබෙන වංචනික සහ වැරදි ක්‍රියාකාරකම්වල දත්ත තමයි අපි කොමිසම හමුවේ ඉදිරිපත් කළේ.

37%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල අඩුකර මණ්ඩලයට පාඩු නොවෙන ලෙස පවත්වාගෙන යා හැකි බව අපි පැහැදිලි කර දුන්නේ ඒ අනුවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මාලිමාව දරුණු දේශපාලන පොරොන්දු සංස්කෘතියක් වෙත යොමුවෙමින් ඇති බවත් යම් ආකාරයකට ඔවුන් රාජ්‍ය බලය ලබාගතහොත් ලබාදී ඇති පොරොන්දු ඉටුකිරීම හමුවේ යළිත් රාජ්‍ය ආදායම් අඩුවී බංකොලොත් තත්ත්වයක් නිර්මාණය වීමේ අවධානමක් ඇති බවත් ය.

එහිදී දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ , ආදායම් බදු , වැට් ඇතුළු බදු අඩු කිරීම , රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම , විදුලි බිල 37%කින් අඩුකිරීම , IMF වැඩසටහන සංශෝධනය කිරීම , ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් වැඩපිළිවෙළ වෙනුවට " පුළුවන් දවසක ගෙවීම" ඇතුළු ක්‍රියාමාර්ග කිසිසේත් ක්‍රියාත්මක කිරීමට නොහැකි , යම් ලෙසකින් ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආදායම් හිඟවී, ජාත්‍යන්තර සහය අහිමිවී 2022 මතුවූ දරුණු ආර්ථික අර්බුදයට එහා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවය.

Page 106 of 474