ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අභියෝගවලට මුහුණ දෙන පසුබිමක දුප්පත්කම සහ ආදායම් අසමතුලිතභාවය ජන ජීවිතයට තවදුරටත් බලපෑම් කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 -2 යටතේ ප්‍රශ්න කරමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
වර්ධිත දුප්පත්කම ගැන දත්ත ලබා දෙන්න
''ආහාර සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් දුප්පත්කම බහුමාන ආකාරයෙන් ප්‍රකාශ වන අතර එය ජාතික සංවර්ධනට බාධාවක් වන මූලික ගැටලුවක් ද වෙනවා. ශ්‍රී ලංකාවේ දුප්පත්කම ගැන වත්මන් තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය යි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් පෙළෙන ජනතාව දිස්ත්‍රික් වශයෙන් දැන ගැනීමට අවශ්‍ය යි. මැදපෙරදිග යුද්ධය සහ බඩුමිල ඉහළ යාම නිසා වර්ධිත දුප්පත්කම ගැනද දත්ත ලබා දෙන්න. රජය විසින් දුප්පත්කම නිර්වචනය කරන ආකාරය සහ මේ තුළින් රටට ඇති බලපෑම ගැන රජයෙ තක්සේරුව ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ජාතික දරිද්‍රතා රේඛාව සහ බහුමාන දරිද්‍රාතා දර්ශක නිර්මාණය හා මිණුම් කිරීමට භාවිත දර්ශක හා නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසත් යුද්ධය නිසා වන බලපෑමද ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
රජය, බහුමාන දුප්පත්කම තුරන් කරන්නේ කෙසේ ද?
දුප්පත්කම ජාතික ආර්ථිකයට කරන බලපෑම ගැන රජය විසින් කළ අධ්‍යයන හා දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂක වැඩසටහන් හා ආදායම් වැඩි කිරීමේ වැඩසටහන් මෙන්ම එහි ප්‍රගතිය ඉදිරිපත් කරන්න. දුප්පත්කම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව රජය පිළිගන්නේද කිය දැන ගැනීමට අවශ්‍ය යි. අස්වැසුම නම් දුප්පත්කම තුරන් කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් මෙවැනි නව ප්‍රතිපත්තියක් සකස් කර ඇත්නම් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. අවදානමට ලක්වු කොට්ඨාස ඇති නිසා මේ අය ගැන රජය ගන්නා පියවරත් බහුමාන දුප්පත්කම තුරන් කරන රජයේ කෙටි මධ්‍ය හා දිගු කාලීන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න. මේවා අද පවතින යුද ගැටලුව, ඉන්ධන ගැටලුව ආදිය නිසා වැඩි වී ඇති දුප්පත්කම ගැන දත්ත ද ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.''

